Sri Lanka

Friday, June 9, 2023

මහවැලි ගගේ අන්තිම දියඇල්ල - කිරිඅම්මා ඇල්ල




 වස්ගමුව වනෝද්යානය හරහා වැටී ඇති මහවැලි ගඟ දිගේ මද දුරක් ගිය විට මහවැලි ගඟේ අන්තිම දියඇල්ල හමුවේ. මේ ඇල්ල හදුන්වනු ලබන්නේ කිරිඅම්මා ඇල්ල නමිනි. උල්හිටිය ඔය මහවැලි ගඟට එක්වන තැන සිට තවත් කිලෝමීටර් 15ක් පමණ ගිය පසු මෙම කිරිඅම්මා ඇල්ල හමුවේ. මේ දිය ඇල්ල පිළිබදව විවිධ ජනප්රවාද පවතී. බොහොම ඈත අතීතයේ සිටම මෙම ඇල්ල කිරිඅම්මා ඇල්ල නමින් හදුන්වා තිබේ.

කිරිඅම්මා වරු ගැන කතා කරන විට ජනප්රවාද වල අපට කිරි අම්මාවරු හත්කට්ටුවක් හමුවේ. එනම් වෙල්ලස්සේ කිරි අම්මා, සලම කුමාරි කිරි අම්මා, කුකුලාපොළ කිරි අම්මා, හඳුන් කුමාරි කිරි අම්මා, ගෝනතලාවේ කිරි අම්මා, ඉඳිගොල්ලේ කිරි අම්මා, කොස්ගම කිරි අම්මා ලෙසයි. මොවුන් විවිධ ප්රදේශවල පූජනීය කොට සැලකූ අය වේ. එම නිසා බොහෝ විට කිරි අම්මා දානයටද කිරි අම්මා වරු හත් දෙනෙකු කැදවනු ලබයි. පුරාණ පොතපත අනුව හඳුන් කුමාරි කිරි අම්මා හා සලම කුමාරි කිරි අම්මා ලෙස හැඳින්වූයේ පත්තිනි දේවියම බව ද සඳහන්ය. ජනප්රවාද වලට අනුව කුකුලාපොල කිරි අම්මා කුවේණිය ලෙසත්, කොස්ගම කිරි අම්මා කොස්ගම දෙවිඳුන්ගේ දේවිය බවත් කියැවේ.
එක් ජනප්රවාදයකට අනූව එකල පැවති කිරිඅම්මා දානයකට සභාගී වී ආපසු පැමිණෙන ගමනේදී මහවැලි ගඟේ මෙම කිරි අම්මා ඇල්ල පිහිටන ස්ථානයෙන් ගඟ තරණය කිරීමේ දී එක් කිරි අම්මා කෙනෙකු මෙම ස්ථානයෙන් සැඩපහරට හසුව ගසාගෙන ගිය බව කියැවේ. එම නිසා මෙම ඇල්ල කිරි අම්මා ඇල්ල ලෙස හැදින්වු බව කියැවේ. ජනප්රවාදයේ සත්ය අසත්යතාව කෙසේ වුවත් තවමත් මෙම ඇල්ල කිරි අම්මා ඇල්ල ලෙසම හදුන්වයි.



මහියංගනයෙන් ඉදිරියට වියළි කලාපය තුළින් තැන්නේ ගමන් කරන මහවැලි ගඟේ දියඇල්ලක් පිහිටීම පුදුම දනවන කරණක් වුවත් මෙයද දිය ඇල්ලකි. මේ ස්ථානය ගල්පර කිහිපයක් අතරින් ක්ෂණිකව ජලය ගලා බහින ස්ථානයකි. මහවැලි ගගේ අපිට මුලින් හමුවන සෑම දියඇල්ලකටම පාහේ තබා තිබුනේ සෙන්ට් ක්ලෙයාර්, ඩෙවෝන්, ඩන්සිනන් ආදී ඉංග්රීසි නම්ය. නමුත් මේ දියඇල්ලට සිංහල නමක් තබා තිබේ.
සටහන
චතුරංග ජයසුන්දර

No comments:

Post a Comment