Sri Lanka

Wednesday, July 2, 2025

සැබෑ විමුක්ති කාමිණියකගේ කතාවක්....


 


ඇය නමින් තුමු සරලා ය. ඇය ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ වරන්ගල් දිස්ත්‍රික්කයේදී උපත ලැබුවේ 1976 දීය.  පහළ මධ්‍යම පාන්තික පවුලකින් පැමිණි ඇය නිහතමානී මෙන්ම විවිධ දක්ෂතා දක්වා ඇති දැරියකි. ඇය වයස 16 ක් වන තුරුම පාසල් අධ්‍යාපනය හදාරුවාය.

 

    ඇයගේ උපන් ගම පිහිටා තිබුනේ 1980 සහ 1990 දශකවල වාමාංශික/නැක්සලයිට් දෘෂ්ටිවාදයෙන් ගැඹුරින් බලපෑමට ලක් වූ කලාපයකය. නැක්සලයිට් ව්‍යාපාරය යනු ඉන්දියාවේ කොමියුනිස්ට් විප්ලවවාදී ව්‍යාපාරයක් වන අතර එය සන්නද්ධ අරගලයක් හරහා රජය පෙරලා දැමීමට උත්සාහ කර ඇත. විශේෂයෙන් ග්‍රාමීය සහ ගෝත්‍රික ප්‍රදේශවල පැතිරී තිබූ එය මාඕවාදී දෘෂ්ටිවාදයෙන් ආභාෂය ලබා ඇති අතර අසමානතාවය, ඉඩම් සූරාකෑම සහ ආන්තික ප්‍රජාවන්ගේ පීඩනයට එරෙහිව සටන් කිරීම අරමුණු කරගෙන බිහිවූවකි.

 

    මෙම සංවිධානය මගින් විවිධ පොත්පත් හා පුවත්පත් ආදිය මගින් තම මතය ජනතාව අතරට ගෙන යාමට කටයුතු කර ඇත. මොවුන්ගේ පොත් පත් පරිශීලනය කිරීමට අවස්ථාව ලැබු එවකට බුද්ධිමත් තරුණ ගැහැණු ළමයෙකු වූ සරලා,  විප්ලවවාදීන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ කථා වලින් ගැඹුරින් සංවේගයට පත් වූවාය.

 

නැක්සලයිට් ව්‍යාපාරයට සම්බන්ධ වීම

    නැක්සලයිට් කරුවන්ගේ පොත්පත් සහ ක්‍රියාකලාපයෙන් අමන්දානන්දයට පත්වී සිටි සරලා කෙසේ හෝ මෙම සංවිධානය සමග එක්වී තම පීඩිත ජනතාවට විමුක්තිය උදා කරදීමට දැඩි සේ අදිටන් කර ගත්තාය. එවකට ඇය නව යොවුන් වියට පත් වුවා පමණි. තම දෙමාපියන් සාහෝදරයින් සියලුම දෙනා අතහැර දමමින් තම සමස්ථ පීඩිත ජනතාව වෙන්වෙන් ඇය ඇයට වයස අවුරුදු 16 ක් වූ  1992 වසරේ දී සරලා තම නිවස සහ අධ්‍යාපනය අතහැර, තෙලන්ගානා සහ ආන්ද්‍ර ප්‍රදේශ්හි ක්‍රියාත්මක වන නැක්සලයිට්-මාඕවාදී සංවිධානයක් වන පීපල්ස් වෝර් ගෲප් (පීඩබ්ලිව්ජී) සමඟ සම්බන්ධ විය. ව්‍යාපාරයට සම්බන්ධ වීමෙන් පසු, ඇය සෙසු සහෝදර සහෝදරියන් අතර "සරලා අක්කා" ( සරලා සහෝදරිය) යන නම භාවිතා කළ බව කියනු ලැබේ.

 

 ඇයගේ අභිරහස් මරණය

     මෙම වෘපාරයට සම්බන්ධ වී මාසයකට පමණ පසු, ඛේදජනක ලෙස  සරලා ඝාතනය කරන ලදී. ඒ පොලිසිය විසින් නොව, ඇගේම කණ්ඩායමේ සාමාජිකයින් විසින් අභිරහස් ලෙස ඝාතනය කර ඇත.

     මෙම කණ්ඩායම අතරින් ඇය වඩාත් ඇලුම් කල ඇයගේ පරමාදර්ශී චරිතය වූයේ ගංගන්නාය. ඒ සරලාට කියවීමට අවස්ථාව ලැබූ බොහෝ ලිපි ලේඛන ලියා ඇත්තේ ගංගන්නා නිසාය. කෙසේ හෝ ගංගන්නා හමුවීමට ඇයට අවශ්‍ය විය. එම නිසා ඇය මුලින්ම සිර්නපල්ලි වෙත පැමිණ තමන් ගංගන්නාගේ සහහෝදරිය බව ඔවුන්ට පවසා එහිදී කණ්ඩායම සමග එක්වී ඇත.

     නමුත් පසුව එක් දිනක් ගංගන්නා සිර්නපල්ලි දුම්රිය ස්ථානයට ගිය පසු තුමු සරලා නම් කාන්තාවක් ඔහු සොයා පැමිණි බව සටන්කාමීන් හරහා ඔහුට දැනගැනීමට ලැබී ඇත. සරලා ඔවුන්ට පැවසුවේ තමන් ගංගන්නාගේ සහෝදරිය බවත්, එබැවින් සටන්කාමීන් සිර්නපල්ලි හි මාසයක් ඇයව හොඳින් රැකබලා ගත් බවත් ඔවුන් ගංගන්නා සමග පැවසා ඇත. නමුත් ඔහුට සහෝදරියක් නොමැති බව ඔහු ඔවුන්ට පවසා ඇත.




මෙහිදී සරලාගේ මෙම ක්‍රියා කලාපය පිළිබදව සැක සිත් පහල කරගත් ශංකර් ඇතුළු ඉහළ පෙළේ නැක්සලයිට් නායකයින්ගේ උපදෙස් මත සරලාව රාම්සාගර් ටන්ඩා වෙත ගෙනගොස් ඇත. පසුව ඇයව දනින් සිටවා ප්‍රශ්න කිරීම් සිදුකර ඇත්තේ ඇය පොලිස් ඔත්තුකාරියකැයි වැරදි වැටහීමෙන්ය.

ශංකර් සෑම විටම ඔහු සමඟ මිලිමීටර් 9 අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයක් රැගෙන ගියේය. ඔහු ඇයට සත්‍යය පවසන ලෙස තර්ජනය කළේ පිස්තෝලය ඇය දෙසට පෙන්වමිනි. තමන් වෙතට එල්ලවන පිස්තෝලය දැකීමෙන් ඉමහත් බියට පත්වූ සරලා ශංකර්ගේ අත අල්ලාගෙන තමාව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළාය. ඔහුගේ ඇඟිල්ල පිස්තෝලයේ කොකා මත තිබූ නිසා, අහම්බයෙන් වෙඩි උණ්ඩය නිකුත් වී සරලා සරලා ගේ පපුව පසාරු වී ගියේය. ඇය එම මොහොතේම ලේ විලක් මැද මහපොළව සිපගත්තේ තමන්ගේ අවසන් හුස්ම පොද වාතලයට මුසු කරමිනි. විප්ලවය පිළිබදව දහසක් බලාපොරොත්තු තැබූ ඇය ජීවිතයෙන් සමුගත්තේ තමන් විශ්වාස කල තමන්ගේම නායකයින්ගේ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසාය.

 ඇගේ මරණය නැක්සලයිට් නායකත්වය විසින් කිසි විටෙකත් ප්‍රසිද්ධියේ පිළි නොගත් අතර, එය වසර ගණනාවක් මහජනතාවගෙන් සඟවා තිබුණි. අද සරලා නැත. සත්‍ය වශයෙන්ම ඇය ඝාතනය වූයේ කෙසේදැයි දන්නේ ඇයම පමණ. නමුත් ඇයගේ එම කෙටි ජීවිතය පිළිබදව සොයාගැනීමට එතරම් මූලාශ්‍ර නැතත් අද ඇයගේ කතාව, ඇයටද සාධාරණයක් කරමින් සිනමාවට නැගී ඇත.

 

විරාත පර්වම් (Virata Parvam) (2022)

වරන්ගල් හි හැදී වැඩුණු සහ දේශීය විප්ලවවාදී වාතාවරණයෙන් ගැඹුරින් බලපෑමට ලක් වූවෙකු වූ අධ්‍යක්ෂක Venu Udugula, සරලාගේ ජීවිතයෙන් ආභාෂය ලැබූ කතාවක් නිර්මාණය කළේය.

     මෙම චිත්‍රපටයේ සත්‍ය නම් ගම් වෙනුවට වෙනත් නම් ගම් යොදාගෙන ඇත. ජනප්‍රිය ඉන්දීය නිළි සායි පල්ලවි, ආදරය සහ දෘෂ්ටිවාදයෙන් නැක්සලයිට් අරගලයට සම්බන්ධ වන විප්ලවවාදී කවියෙකුගෙන් (රානා දග්ගුබාටි විසින් රඟපාන) ආභාෂය ලැබූ වෙන්නෙලා නම් ගැහැණු ළමයෙකු ලෙස රඟපායි. ඒ සැබෑ කතාවේ එන සරලායි.





     මෙම චිත්‍රපටයේ එන කතාව සරලාගේ සැබෑ ජීවිතයේ අරමුණ සහ ඇගේ ඛේදජනක අවසානය සඳහා සිදුකල කැපකිරීමට සමාන්තර වේ. චිත්‍රපටය ප්‍රබන්ධය නාට්‍යානුසාරව සහ සැබෑ ඓතිහාසික හැඟීම් සමඟ මිශ්‍ර කර සරලාගේ මතකය නැවත මහජන සාකච්ඡාවට ගෙන එයි.

     චිත්‍රපටය නිකුත් කිරීමෙන් පසු, නළු නිළියන් සහ කාර්ය මණ්ඩලය වරංගල්හි සරලාගේ මව සහ පවුලේ අය බැලීමට ගියහ. සරාලාගේ මව, දැන් වයෝවෘද්ධව සිටින අතර, සායි පල්ලවි දුටු විට කඳුළු සැලුවාය, නිළිය තම දියණියට සමාන බව පැවසුවාය.




තුමු සරලාගේ කතාව ප්‍රධාන ධාරාවේ ඉතිහාසයේ පුළුල් ලෙස ලේඛනගත කර නොමැති නමුත් වාචික සාක්ෂි, ප්‍රාදේශීය වාර්තා සහ දැන් සිනමාව හරහා නොනැසී පවතී. ඇය දෘෂ්ටිවාදාත්මක ව්‍යාපාරවල සංකීර්ණ ප්‍රචණ්ඩත්වයට හසු වූ පරමාදර්ශී යෞවනයේ සංකේතයක් බවට පත්විය.ඇගේ ජීවිතය විප්ලවවාදී ව්‍යාපාර ගෙන එන බලාපොරොත්තුව සහ භීෂණය යන දෙකම ඉස්මතු කරයි.

 

සටහන

චතුරංග ජයසුන්දර


Sunday, June 15, 2025

උඩරට මැණිකේ 24



පෙර ලිපිය උඩරට මැණිකේ 23 


හැටන් නගරයේ තවත් මොහොතක් නවතිමු.

කාසල්රී ජලාශය

          හැටන් නගරයට ආසන්නව පිහිටා ඇති ජලාශයකි කාසල්රී ජලාශය. මෙය දේශීය මෙන්ම විදේශිකයන්ගේද ආකර්ශනය දිනාගත් ස්ථානයකි. ලංකාව තුළ ජලවිදුලිය නිපදවීමේ පුරෝගාමියා වූ විමලසුරෙන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජලශය ඉදිරීම් අරඹා ඇත. කැළණි ගහේ ප්‍රධාන අතු ගංගාවක් වන කෙසෙල්ගමු ඔය හරස් කරමින් ඉදිකරන ලද කාසල්රී ජලාශය 1955 මර්තු මාසයේ දී ඉදිකරීම් අරඹා ඇති අතර 1958 දෙසැම්බර් මාසයේ දී ඉදිකිරීම් නිම කරවා ඇත. ලංකා විදුබල මණ්ඩලයේ භාරකාරත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම ජලාශයේ බැම්ම මුහුදු මහුදු මට්ටමේ සිට මීටර් 1100.33 ක උසකින් පිහිටා ඇත. බැම්ම මීටර් 203 ක දිගකින් යුක්තය.  මෙහි ධාරිතාවය ඝන මීටර් මිලියන 55.26ක් වන අතර මෙම ජලාශය වර්ග කිලෝමීටර් 139ක් පුරා විහිදී යනු ලබයි. මෙම ජලාශයේ ජලයෙන් මෙහාවොට් 50 ක විදුලි ධාරිතාවයක් නිපදවා ජාතික පද්ධතියට එක් කරනු ලබයි.




විමලසුරෙන්ද්‍ර ජලවිදුලි බලාගාරය

කාසල්රී ජලාශය

කාසල්රී ජලාශය


හැටන් දුම්රිය ස්ථානයේ සිට නැවතත් ඉදිරියට

          හැටන් යනු උඩරට දුම්රිය මාර්ගයේ අපට හමු වන 79 වන දුම්රිය ස්ථානයයි. මෙය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 175.98ක දුරිකින් පිහිටා ඇති ඇතර එය මුහුදු මට්ටමේ සිට මීටර් 1262.5 ක උසකින් පිහිටා ඇත. කොළඹ කොටුවෙන් පෙ.ව 5.55ට ගමන් අරඹන පොඩිමැණිකේ දුම්රිය හැටන් වෙත ලගා වන්නේ පෙ.ව 11.19ට ය. දුම්රිය ස්ථානයේ විනාඩි දෙකක් නවත්වා තබන දුම්රිය පෙ.ව 11.21ට නැවතත් ගමන් අරඹනු ලබයි. කොළඹ කොටුවෙන් පෙ.ව 8.30ට ගමන් අරඹන උඩරට මැණිකේ දුම්රිය හැටන් වෙත ලගාවන්නේ ප.ව 01.19ට ය. එය ප.ව 01.21ට ගමන් අරඹනු ලබයි.


හැටන් සිට කොටගල බලා ඇදෙන දුම්රිය



දුම්රිය මග දෙපස සුන්දරත්වය


උඩරට කඳුකරයේ....

ගමනක් යන කලයේ....

දුම්රිය උඩරට මැණිකේ...

ස්වර්ණා හමුවුයේ....

 

          හැටන් සිට නැගෙනහර දිශාවට මුහුන දෙමින් දිවෙන දුම්රිය මාර්ගය ඒකාකාරී භූ ලක්ෂන දැකියහැකි ප්‍රදේශයක් හරහා වැටී ඇත. හැටන් සිට කොටගල දක්වා ඇත්තේ ඉතාමත් කුඩා බැස්මක් වුවද දුම්රිය ධාවනයේ දී මාර්ගය දෙපස දක්වා ඇති වේග සීමවන් අනුගමනට කිරීමට දුම්රිය රියැදුරන් නිතරම වගබලා ගනු ලබයි. හරිතවර්ණ තේ වතු මැදින් ඉතාමත් චමත්කාර දසුන් මවමින් ගමන් ගන්නා මේ මගෙහි තවත් ඉතාමත් සුන්දර මෙන්ම වැදගත් ස්ථානකට අපි මීලගට පැමි‍නේ. ඒ සිංගිමලේ දුම්රිය උමගයි.

 

 

සිංගිමලේ උමග

 

          උඩරට දුම්රිය ගමනේ සිංගිමලේ අතිශය වැදගත් වන්නේ එය එම මාර්ගයේ හමුවන දීර්ගතම සහ වර්ථමානයේ ලංකාවේ දිගින් දෙවන ස්ථානය ගන්නා දුම්රිය උමග නිසාය. එය දෙවැනි වන්නේ මාතර සිට බෙලිඅත්ත බලා දිවෙන මාර්ගයේ කැකැණදුර ප්‍රදේශයේ පිහිටා ඇති උමගටය. කොළඹකොටුවේ සිට පැමිණෙන විට හමුවන අංක 14 දරන බිංගෙය සිංගිමලේ බිංගෙයයි. කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 175.28ක දුරකින් පිහිටා ඇති මෙහි දිග මීටර් 559.31කි. එනමි අඩි 1834.54කි. එහි පළල මීටර් 5.5 කි. මෙම දුම්රිය උමග 2019 වන තුරුම ලංකාවේ දිගම දුම්රිය උමග ලෙසින් කිරුළු දරා සිටියද 2017 ඉදිකිරීම් ආරම්භ කෙරුණ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ කැකණදුර දුම්රිය උමග අද වන විට එම කිරුළ දරාගෙන ඇත. එහි දිග අඩි 1835 කි.

 

          විශාල ගල් පර්වතයක් කපා සකස් කරන ලද දෙබොක්කාවක් මැදින් ගමන් කර මෙම උමගෙහි මුවදොර වෙත පවිසිය යුතුය. ගල් පර්වත කොටස් දෙකක් අතර පිහිටි මෙම ප්‍රදේශය වර්ශාව පවතින දින වලදී මනරම් දසුන් මවා පායි. දුම්රිය උමගෙහි මධ්‍යයේ වංගුවක් ඇති බැවින් උමගෙහි එක් කෙලවරක සිට අනෙක් කෙලවර දැකගත නොහැකිය. මෙම උමගෙහි ඉදිකිරීම් සිදු කර ඇත්තේ වර්ෂ 1880 - 1884 නාවලපිටිය සිට තලවාකැලේ දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ අදියරට සමගාමීවය. මෙම උමගෙහි සැලසුම් නිර්මාණය කර ඇත්තේ  ලංකා දුම්රිය දෙපාර්ථමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වූ Sir Guilford Lindsey Molesworth මහතා විසින්ය. මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කර ඇත්තේ F. W. Faviell මහතාය.


සිංගිමලේ උමගෙහි හැටන් අන්තය






වැසි සමයේ සොදුරු රටා මවන සිංගිමලේ

වැසි සමයේ සොදුරු රටා මවන සිංගිමලේ


    අශ්ව ලාඩමක හැඩයට නිමා ඇති මෙහි දිග මීටර් 555 වන අතර පළල මීටර්‍ 5.5කි. එහි උස මීටර් 5.95 කි. උමග දිගින් වැඩි නිසාම උමගෙහි දෙපසින්ම කැණීම් සිදුකර ඇත. දෙපසින් කැණීම් සිදුකරමින් පැමිණ කණ්ඩායම් දෙක එකිනෙක මුණගැහෙන අවස්ථාවේදී කල්කුට්ටි කාඩා වැටිමෙන් සිදුවූ කම්කරු මරණ කිහිපයක් ගැනම ඉතිහාස වර්ථාවල සදහන්වේ. පූල්බෑන්ක් තේ වතු යාය හරහා දිවෙන නිසා ඉංග්‍රීසීන් විසින් මෙම බිංගෙය පූල්බෑන්ක් උමග ලෙසින් හදුන්වා ඇත. මෙහි පිහිටි පර්වතයක ඇති පාෂාණ සැකැස්ම නිසා මෙම උමගෙහි සේවය කළ ද්‍රවිඩ කම්කරුවන් මෙයට සින්ගමලෙයි උමග ලෙසද හදුන්වා ඇත. ද්‍රවිඩ භාෂාවෙන් සින්කම් යනු සිංහයාය. “මලෙයි යනු කන්දය. මෙම වචන දෙක එක්ව සිංගමලෙයි යනුවෙන් හැදින්වූ බව ජනප්‍රවාද වල සදහන්වන අතර එය පසුකාලීනව සිංගිමලේ උමග ලෙස ප්‍රසිද්ධීයට පත්වී ඇත.




     විශාල අන්ධකාරයක් සහිත මෙම බිංගෙය වැහැලිහිණි පාරාදීසයකි. මෙහි පියස්සේ වැහැලිහිණි කූඩු බොහොමයක් දැකිය හැකිය. කොටගල ප්‍රදේශයේ ජීවත්වෙන ජනතාවට හැටන්වෙත පිවිසීමට වෙනත් කෙටි මාර්ගයක් නොමැති නිසා අනතුරුදායක වුවද මෙම උමග හරහා ගමන් කර හැටන් වෙත පිවිසීමට ඔවුන් පුරුදුවී ඇත. සිංගිමලේ උමග කෙලවරේ අපිට කුඩා දේවාලයක් මෙන්ම වතු කම්කරු නිවාස කිහිපයක්ම දැකගත හැකිය.


සිංගිමලේ කොටගල අන්තය

සිංගිමලේ කොටගල අන්තය


සිංගිමලේ කොටගල අන්තය


උමග කෙලවර ඇති දේවාලය


    ගල්කන්ද වත්ත මෙන්ම තොන්ඩමන් පුරය නමින් හදුන්වන මනරම් තේ වතු යායවල් මැදින් අපගේ දුම්රිය ගමන් කරනු ලබයි. දකුණුපසින් පෙනෙනතෙක් මානය ආගරපතන දක්වා දිව යන අතර වම්පසින් පෙනෙන මානය පූඩලුඔය දෙසට දිව යයි. කෙමෙන් කෙමෙන් උන්නතිය වැඩි වෙමින් පවතින සිංගිමලෙන් පසුව ගතට දැනෙන සීතලද ටික ටික වැඩිවීමට පටන් ගනී. නානුඔය දෙසට ලංවත්ම අපිට මෙම අත්දැකීම උපරිමයෙන් විද දරාගත හැකිය. මෙම ප්‍රදේශ වලදී විටින් විට ඇදහැලෙන වර්ශාව ගතට දැනෙන සීතල වඩාත් තීව්‍ර කරන්නට සමත්ය. ගල්කන්දවත්තේදී ගල්කන්දවත්ත නමින්ම හදුන්වන කුඩා දුම්රිය වේදිකාවක් දැකගත හැකිය.

කොටගල දක්වා මග දෙපස සුන්දරත්වය

කොටගල දක්වා මග දෙපස සුන්දරත්වය

කොටගල දක්වා මග දෙපස සුන්දරත්වය

ගල්කන්දවත්ත දුම්රිය වේදිකාව

ගල්කන්දවත්ත දුම්රිය වේදිකාව


ගල්කන්දවත්ත දුම්රිය නැවතුම පසුකරමින් ඉදිරියට ඇදෙන දුම්රියට තවත් සුන්දර පාලමක් හමුවේ. මෙම පාලමට යටින් ඇති මාර්ගයට ඉහළ මාර්ගයේ ගමන් ගන්නා දුම්රියේ සුන්දර දර්ශනයක් දැක බලාගත හැකිය. කළු ගලින් නිමවන ලද කුළුණු 2ක් සහිතව Spam 3කට යකඩ යොදාගනිමින් නිර්මාණය ඇති මෙම පාලමේ දිග මීටර් 81ක් පමණ වේ. මෙම පාලම ඉදිකර ඇත්තේ 1880 - 1885 නාවලපිටිය සිට නානුඔය දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ අදියරට සමගාමීවය. පියවර 60ක් පමණ දිගින් යුතු වන නිසා මෙය අඩි 60 පාලම ලෙසින් ගැමියන් අතර ප්‍රසිද්ධවී ඇත.

 

අඩි හැටේ පාලම

අඩි හැටේ පාලම

අඩි හැටේ පාලම

අඩි හැටේ පාලම

අඩි හැටේ පාලම

 මේ සියල්ල පසු කරමින් අපි පිවිසෙන්නේ කොටගල දුම්රිය ස්ථානය වෙතයි.


කොටගල නගරය සහ කොටගල දුම්රිය ස්ථානය

 

          කොටගල කියූ සැනින් අපේ සිහියට නැගෙන්නේ කොටගල කහටයි. එය පුදුමයක් නොවේ. මන්ද කොටගල ලංකාවේ ඉතා රසවත් තේ සදහා ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. කොටගල වගා ඉතිහාසය පිළිබද සොයාබැලීමේ දී එය ඉංග්‍රීසීන්ගේ කෝපි වගාවේ සිට තේ වගාවට මාරු වීම දක්වා ඉතිහාසයකට දිව යනු ලබයි. වර්ෂ 1860 ගණන් වලදී Drayton සහ Stonycliff වැනි වතු ආරම්භ කර ඇත්තේ කෝපි සහ සිංකෝනා වගාවන් සදහාය. මුල් අවධියේ දී  Drayton වතුයාය අක්කර 200 ක් පුරා විහිදී තිබී ඇත. කෙසේ වෙතත් 1880 ගණන් වල මැද භාගයේ දී සිදු වූ කෝපි කර්මාන්තයේ පරිහානිය නිසා 1890 ගණන් වල මුල් භාගයේ දී මෙම වතු තේ වගාව සදහා පරිවර්ථනය කෙරුනි. මෙම වතුවල වගා කරන ලද තේ යුරෝපයේ පවා එකල ප්‍රසිද්ධියට පත් විය. අද වන විටත් කොටගල සැලකිය යුතු තේ නිපදවන කලාපයක් ලෙසින් පවතී. එකල පැවති Drayton සහ Stonycliff වැනි වතු අද කොටගල වැවිලි සමාගම යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී.

 

 

          කොටගල දුම්රිය ස්ථානය මනරම් කදු වළලු වලින් වටවී ඇති කෙටගල නගරයට යාබදවම පිහිටා ඇත. බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලව නිර්මාණය කර ඇති කොටගල දුම්රිය ස්ථානයේ දක්නට ලැබෙන පැරණි දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල, බඩු ගබඩාව, දොඹකරය ආදී ඉදිකිරීම් බ්‍රිතාන්‍ය පාලන සමය සිහිගන්වනු ලබයි. මෙම දුම්රිය ස්ථානය මධ්‍යම ප්‍රමාණයේ දුම්රිය ස්ථානයක් වන අතර දුම්රිය වේදිකාව, ටිකට්පත් කවුන්ටරය සහ මගීන් හට රැදී සිටීමට වෙන්කල ප්‍රදේශය වැනි අත්‍යාවශ්‍ය පහසුක්ම ඇත. මෙහි ඇති දර්ශනීය පිහිටීම සහ සන්සුන් වටපිටාව උඩරට මාර්ගයේ සංචාරයේ නිරතවන්නන් හට අමතක නොවන දුම්රිය නැවතුමක් බවට මෙය පත් කරන අතර, ලංකාවේ මධ්‍යම කදුකරයේ සුන්දරත්වය සහ උරුමය පළිබදව මනරම් දර්ශනයක් ලබා දෙයි.

 

          කොටගල දුම්රිය ස්ථානය කලපයේ භාන්ඩ මෙන්ම මගී ප්‍රවාහනයේදී ඉතාමත් වාදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබයි. මෙම දුම්රිය ස්ථානය අවට වතුවල සිට නාගරික වෙළෙදපොල වෙත තේ, කළුබඩු මෙන්ම අනෙතුක් කෘෂිකාර්මික නිෂ්පාදන ගෙනයාමට සහාය වන අතරම රැකියා, අධ්‍යාපනික, වෙළදාම් මෙන්ම තවත්බොහෝ සේවාවන් සදහා මගී ප්‍රවාහනයද සිදු කරනු ලබයි. මෙහි මෙම ක්‍රියාකාරී සේවාවට අමතරව, කොටගල දුම්රිය ස්ථානය යනු මධ්‍යම කදුකරයේ ස්වාභාවික හා සංස්කෘතික ස්ථාන කිහිපයකටම පිවිසුම් දොරටුවකි. සංචාරකයන්ට අවට ඇති තේ වතු ගවේශණයට, සිසිල් කදුකර පිරිසරය වි ගැනීමට මෙමගින් අවකාශ සැලසේ.

      

   කොටගල දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 180.1 ක දුරකින් පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර් 1239.32ක උසකින් පිහිටා ඇත. මෙය කොළඹ කොටුවේ සිට පැමිණෙන විට හමුවන 84 වන දුම්රිය ස්ථානයයි. (මා මේහි සදහන් කර ඇත්තේ සියලුම දුම්රිය ස්ථාන, උප දුම්රිය ස්ථාන සහ දුම්රිය නැවතුම් සියල්ලෙහිම එකතුව නිසා 84 නැමති ඉලක්කම වෙනස් විය හැකිය.) කොළඹ කොටුවේ සිට පැමිණෙන පොඩි මැණිකේ දුම්රිය කොටගල දුම්රිය ස්ථානයට පැමිණෙන්නේ පෙ.ව 11.31ටය. උඩරට මැණිකේ දුම්රිය මෙම දුම්රිය ස්ථානයට ළගා වන්නේ ප.ව 01.31ටය.

 

කොටගල අවට සුන්දරත්වය

කොටගල අවට සුන්දරත්වය


කොටගල දුම්රිය ස්ථානය

කොටගල දුම්රිය ස්ථානය

කොටගල දුම්රිය ස්ථානය

ඉතිරිය මීලග කොටසින්

 (ඇතැම් ඡායාරූප සහ වීඩියෝ වල අයිතිය මුල් අයිතිකරුවන් සතුය)

සටහන

චතුරංග ජයසුන්දර