Sri Lanka

Wednesday, July 2, 2025

සැබෑ විමුක්ති කාමිණියකගේ කතාවක්....


 


ඇය නමින් තුමු සරලා ය. ඇය ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ වරන්ගල් දිස්ත්‍රික්කයේදී උපත ලැබුවේ 1976 දීය.  පහළ මධ්‍යම පාන්තික පවුලකින් පැමිණි ඇය නිහතමානී මෙන්ම විවිධ දක්ෂතා දක්වා ඇති දැරියකි. ඇය වයස 16 ක් වන තුරුම පාසල් අධ්‍යාපනය හදාරුවාය.

 

    ඇයගේ උපන් ගම පිහිටා තිබුනේ 1980 සහ 1990 දශකවල වාමාංශික/නැක්සලයිට් දෘෂ්ටිවාදයෙන් ගැඹුරින් බලපෑමට ලක් වූ කලාපයකය. නැක්සලයිට් ව්‍යාපාරය යනු ඉන්දියාවේ කොමියුනිස්ට් විප්ලවවාදී ව්‍යාපාරයක් වන අතර එය සන්නද්ධ අරගලයක් හරහා රජය පෙරලා දැමීමට උත්සාහ කර ඇත. විශේෂයෙන් ග්‍රාමීය සහ ගෝත්‍රික ප්‍රදේශවල පැතිරී තිබූ එය මාඕවාදී දෘෂ්ටිවාදයෙන් ආභාෂය ලබා ඇති අතර අසමානතාවය, ඉඩම් සූරාකෑම සහ ආන්තික ප්‍රජාවන්ගේ පීඩනයට එරෙහිව සටන් කිරීම අරමුණු කරගෙන බිහිවූවකි.

 

    මෙම සංවිධානය මගින් විවිධ පොත්පත් හා පුවත්පත් ආදිය මගින් තම මතය ජනතාව අතරට ගෙන යාමට කටයුතු කර ඇත. මොවුන්ගේ පොත් පත් පරිශීලනය කිරීමට අවස්ථාව ලැබු එවකට බුද්ධිමත් තරුණ ගැහැණු ළමයෙකු වූ සරලා,  විප්ලවවාදීන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ කථා වලින් ගැඹුරින් සංවේගයට පත් වූවාය.

 

නැක්සලයිට් ව්‍යාපාරයට සම්බන්ධ වීම

    නැක්සලයිට් කරුවන්ගේ පොත්පත් සහ ක්‍රියාකලාපයෙන් අමන්දානන්දයට පත්වී සිටි සරලා කෙසේ හෝ මෙම සංවිධානය සමග එක්වී තම පීඩිත ජනතාවට විමුක්තිය උදා කරදීමට දැඩි සේ අදිටන් කර ගත්තාය. එවකට ඇය නව යොවුන් වියට පත් වුවා පමණි. තම දෙමාපියන් සාහෝදරයින් සියලුම දෙනා අතහැර දමමින් තම සමස්ථ පීඩිත ජනතාව වෙන්වෙන් ඇය ඇයට වයස අවුරුදු 16 ක් වූ  1992 වසරේ දී සරලා තම නිවස සහ අධ්‍යාපනය අතහැර, තෙලන්ගානා සහ ආන්ද්‍ර ප්‍රදේශ්හි ක්‍රියාත්මක වන නැක්සලයිට්-මාඕවාදී සංවිධානයක් වන පීපල්ස් වෝර් ගෲප් (පීඩබ්ලිව්ජී) සමඟ සම්බන්ධ විය. ව්‍යාපාරයට සම්බන්ධ වීමෙන් පසු, ඇය සෙසු සහෝදර සහෝදරියන් අතර "සරලා අක්කා" ( සරලා සහෝදරිය) යන නම භාවිතා කළ බව කියනු ලැබේ.

 

 ඇයගේ අභිරහස් මරණය

     මෙම වෘපාරයට සම්බන්ධ වී මාසයකට පමණ පසු, ඛේදජනක ලෙස  සරලා ඝාතනය කරන ලදී. ඒ පොලිසිය විසින් නොව, ඇගේම කණ්ඩායමේ සාමාජිකයින් විසින් අභිරහස් ලෙස ඝාතනය කර ඇත.

     මෙම කණ්ඩායම අතරින් ඇය වඩාත් ඇලුම් කල ඇයගේ පරමාදර්ශී චරිතය වූයේ ගංගන්නාය. ඒ සරලාට කියවීමට අවස්ථාව ලැබූ බොහෝ ලිපි ලේඛන ලියා ඇත්තේ ගංගන්නා නිසාය. කෙසේ හෝ ගංගන්නා හමුවීමට ඇයට අවශ්‍ය විය. එම නිසා ඇය මුලින්ම සිර්නපල්ලි වෙත පැමිණ තමන් ගංගන්නාගේ සහහෝදරිය බව ඔවුන්ට පවසා එහිදී කණ්ඩායම සමග එක්වී ඇත.

     නමුත් පසුව එක් දිනක් ගංගන්නා සිර්නපල්ලි දුම්රිය ස්ථානයට ගිය පසු තුමු සරලා නම් කාන්තාවක් ඔහු සොයා පැමිණි බව සටන්කාමීන් හරහා ඔහුට දැනගැනීමට ලැබී ඇත. සරලා ඔවුන්ට පැවසුවේ තමන් ගංගන්නාගේ සහෝදරිය බවත්, එබැවින් සටන්කාමීන් සිර්නපල්ලි හි මාසයක් ඇයව හොඳින් රැකබලා ගත් බවත් ඔවුන් ගංගන්නා සමග පැවසා ඇත. නමුත් ඔහුට සහෝදරියක් නොමැති බව ඔහු ඔවුන්ට පවසා ඇත.




මෙහිදී සරලාගේ මෙම ක්‍රියා කලාපය පිළිබදව සැක සිත් පහල කරගත් ශංකර් ඇතුළු ඉහළ පෙළේ නැක්සලයිට් නායකයින්ගේ උපදෙස් මත සරලාව රාම්සාගර් ටන්ඩා වෙත ගෙනගොස් ඇත. පසුව ඇයව දනින් සිටවා ප්‍රශ්න කිරීම් සිදුකර ඇත්තේ ඇය පොලිස් ඔත්තුකාරියකැයි වැරදි වැටහීමෙන්ය.

ශංකර් සෑම විටම ඔහු සමඟ මිලිමීටර් 9 අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයක් රැගෙන ගියේය. ඔහු ඇයට සත්‍යය පවසන ලෙස තර්ජනය කළේ පිස්තෝලය ඇය දෙසට පෙන්වමිනි. තමන් වෙතට එල්ලවන පිස්තෝලය දැකීමෙන් ඉමහත් බියට පත්වූ සරලා ශංකර්ගේ අත අල්ලාගෙන තමාව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළාය. ඔහුගේ ඇඟිල්ල පිස්තෝලයේ කොකා මත තිබූ නිසා, අහම්බයෙන් වෙඩි උණ්ඩය නිකුත් වී සරලා සරලා ගේ පපුව පසාරු වී ගියේය. ඇය එම මොහොතේම ලේ විලක් මැද මහපොළව සිපගත්තේ තමන්ගේ අවසන් හුස්ම පොද වාතලයට මුසු කරමිනි. විප්ලවය පිළිබදව දහසක් බලාපොරොත්තු තැබූ ඇය ජීවිතයෙන් සමුගත්තේ තමන් විශ්වාස කල තමන්ගේම නායකයින්ගේ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසාය.

 ඇගේ මරණය නැක්සලයිට් නායකත්වය විසින් කිසි විටෙකත් ප්‍රසිද්ධියේ පිළි නොගත් අතර, එය වසර ගණනාවක් මහජනතාවගෙන් සඟවා තිබුණි. අද සරලා නැත. සත්‍ය වශයෙන්ම ඇය ඝාතනය වූයේ කෙසේදැයි දන්නේ ඇයම පමණ. නමුත් ඇයගේ එම කෙටි ජීවිතය පිළිබදව සොයාගැනීමට එතරම් මූලාශ්‍ර නැතත් අද ඇයගේ කතාව, ඇයටද සාධාරණයක් කරමින් සිනමාවට නැගී ඇත.

 

විරාත පර්වම් (Virata Parvam) (2022)

වරන්ගල් හි හැදී වැඩුණු සහ දේශීය විප්ලවවාදී වාතාවරණයෙන් ගැඹුරින් බලපෑමට ලක් වූවෙකු වූ අධ්‍යක්ෂක Venu Udugula, සරලාගේ ජීවිතයෙන් ආභාෂය ලැබූ කතාවක් නිර්මාණය කළේය.

     මෙම චිත්‍රපටයේ සත්‍ය නම් ගම් වෙනුවට වෙනත් නම් ගම් යොදාගෙන ඇත. ජනප්‍රිය ඉන්දීය නිළි සායි පල්ලවි, ආදරය සහ දෘෂ්ටිවාදයෙන් නැක්සලයිට් අරගලයට සම්බන්ධ වන විප්ලවවාදී කවියෙකුගෙන් (රානා දග්ගුබාටි විසින් රඟපාන) ආභාෂය ලැබූ වෙන්නෙලා නම් ගැහැණු ළමයෙකු ලෙස රඟපායි. ඒ සැබෑ කතාවේ එන සරලායි.





     මෙම චිත්‍රපටයේ එන කතාව සරලාගේ සැබෑ ජීවිතයේ අරමුණ සහ ඇගේ ඛේදජනක අවසානය සඳහා සිදුකල කැපකිරීමට සමාන්තර වේ. චිත්‍රපටය ප්‍රබන්ධය නාට්‍යානුසාරව සහ සැබෑ ඓතිහාසික හැඟීම් සමඟ මිශ්‍ර කර සරලාගේ මතකය නැවත මහජන සාකච්ඡාවට ගෙන එයි.

     චිත්‍රපටය නිකුත් කිරීමෙන් පසු, නළු නිළියන් සහ කාර්ය මණ්ඩලය වරංගල්හි සරලාගේ මව සහ පවුලේ අය බැලීමට ගියහ. සරාලාගේ මව, දැන් වයෝවෘද්ධව සිටින අතර, සායි පල්ලවි දුටු විට කඳුළු සැලුවාය, නිළිය තම දියණියට සමාන බව පැවසුවාය.




තුමු සරලාගේ කතාව ප්‍රධාන ධාරාවේ ඉතිහාසයේ පුළුල් ලෙස ලේඛනගත කර නොමැති නමුත් වාචික සාක්ෂි, ප්‍රාදේශීය වාර්තා සහ දැන් සිනමාව හරහා නොනැසී පවතී. ඇය දෘෂ්ටිවාදාත්මක ව්‍යාපාරවල සංකීර්ණ ප්‍රචණ්ඩත්වයට හසු වූ පරමාදර්ශී යෞවනයේ සංකේතයක් බවට පත්විය.ඇගේ ජීවිතය විප්ලවවාදී ව්‍යාපාර ගෙන එන බලාපොරොත්තුව සහ භීෂණය යන දෙකම ඉස්මතු කරයි.

 

සටහන

චතුරංග ජයසුන්දර


No comments:

Post a Comment