ලංකාවේ ජනශ්‍රැතිය තුළ එන දේවතා නාමාවලියේ බණ්ඩාර දේවතා නාමයන් පිළිබදව බොහෝ විට අසන්නට ලැබෙයි. නමුත් මෙම දේවතා නාමවලිය ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වන්නේ බණ්ඩාර යන නාමය යෙදී ඇත්තේ සමහර උප දෙවි වරුන් හැදින්වීම සදහාය. ඒ අතර කළු දේවතා බණ්ඩාර, සෙනරත් බණ්ඩාර, ගගේ බණ්ඩාර, ගලේ බණ්ඩාර, කැලේ බණ්ඩාර ආදී ලෙස බොහෝ බණ්ඩාර දෙවි වරු හමුවේ. මෙම බණ්ඩාර දෙවිවරු සතු බලය සීමිතය. ඉතාමත් කුඩා සීමාවක් තුල ඔවුන්ගේ බලය පැතිරවිය හැකිය. බොහෝ විට මෙම දෙවි වරුන්ට ප්‍රධාන දෙවි වරුන්ගෙන් පැවරුන නිශ්චිත කාර්යයක් ඇත. එනම් ජය ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කිරීම, දළදා වහන්සේ ආරක්ෂා කිරීම හෝ කුමක් හෝ සිද්ධස්ථානයකට පූජා කරන ලද ගම් වරයක් ආරක්ෂා කිරීම, වනාන්තර ආරක්ෂා කිරීම වැනි නිශ්චිත කාර්යයන් පැවරී තිබේ.
අද අපගේ මතෘකාවට අදාල දෙවි වරයා වන්නේ කැලේ බණ්ඩාර දෙවියන්ය. ජනප්‍රවාද වලට අනූව කැලේ බණ්ඩාර දෙවියන්ගේ උප්පත්ති කතාව විජය රජ සමය දක්වාම දිව යයි. මහා වංශයේ සදහන් වන පරිදි විජය රජතුමන් විසින් සිදු කල යක්ෂ ගොත්‍රික සංහාරයේ දී එවකට යක්ෂ ගෝත්‍රික නායකයෙකුව සිටි කැලේ බණ්ඩාරගේ පියාද ඝාතනයට ලක්වී ඇත. මෙම සංහාරයෙන් කෙසේ හෝ දිවි ගලවා ගත් එවකට ගැබිනියක්ව සිටි කැලේ බණ්ඩාරගේ මව වන නන්දතී බිසව මහ වන මැදට පලා ගොස් ඇත.
මහා වනෙය්දී ඇය විසින් දරුවා ප්‍රසූත කර ඇතත් දින හතකට පසුව ඇය වනය තුළදීම මිය ගොස් ඇත. මෙම කුමරුවා මහා පින් ඇත්තෙකු ලෙස පෙනී ගිය නිසාම වග වලසුන් විසින් මෙම දරුවා හදා වඩාගත් බව ජනාප්‍රවාදයේ කියැවේ. මෙම පුවත කියවෙන කෝල්මුර කවි පන්තියේ එය මෙසේ දක්වා ඇත.
දකිනා දිවි සිහ වග වැලහින්නේ
පැමිණා කිරි පොවමින් ඔහු යන්නේ
ලකුණා පෙර පින් ඇති බව දන්නේ
රැකුණා දිවි මෙම ලෙස කුමරුන්නේ
කෙසේ හො වනය තුළම දිවි ගෙවු මේ කැලේ බණ්ඩාරයන් වනය විනාශ කිරීමට පැමිණෙන මිනිසුන්ගෙන් වනාන්තරය බේරාගත් නිසාම පසුකාලීනව කැලේ බණ්ඩාර නමින් දෙවත්වයට පත්වූ බව ජනප්‍රවාද වල කියැවේ.
ලංකාවේ ආදී වාසි ගෝත්‍රික ජන කොට්ටාශයක් වන යක්ෂ ගෝතිකයින් තමන් විසින් අදහන දෙවිවරුන් හදුන්වා ඇත්තේ ‘නෑ යකුන්’ ලෙසින්ය. නමුත් මෙම කැලේ බණ්ඩාර දෙවියන් මෙකී නෑ යකුන් ගණයට අයත් නොවන දෙවි කෙනෙකු වන අතර මෙම දේව වන්දනාව ඌව පළාතේ සිංහල බෞද්ධ ජනතාව අතර පමනක් ව්‍යාප්ත වී ඇත බවක් පෙනී යයි. අනෙකුත් බොහෝ දෙවි වරුන්ට මෙන් පුද පූජා පවත්වනු ලබන දේවාලයක් හිමි වී නොමැති වුවද කැලේ බණ්ඩාර දෙවියන් සිහිකොට ගසක කොල අත්තක් කඩා ගස් දෙබලක එල්ලීමෙන් පවා එම දෙවියන්ගේ පිහිට ලැබෙන බව ඌව පළාතේ වැසියන්ගේ විශ්වාසයයි.
පහතින් දැක්වෙන්නේ කැලේ බණ්ඩාර දෙවියන්ගේ උප්පත්ති කතාව පිළිබදව කියැවෙන කෝල්මුර කවි පන්තියයි.
වසන් නොව කවි කර
බසින් පවසම් තොර තුර
උතුන් දෙව් පින් සර
අසන් මේ කවි කැලේ බණ්ඩර
පෙර සිට පැවත එන
පරසිඳු ලක්ගලය යන
විජය රජ පැමුණුන
කලෙහි සැම යක්සෙන් කපාලන
යක් සෙනෙවි ජන පති
කැපෙමින් ගියා දැක නිති
ඔහු බිසව නන්දති
බිසව පැනලා ගොසින් හැංගෙති
යක් පෙදෙස හැරලා
රුක් ගල් හිමය සිටලා
කුසය බර වීලා
උපන් කුමරෙක් වීය එකලා
ගත්තිය සෝ ගිනි තනි වන මැද වෙති
අත්විය කුමරෙක් පෙරකම් පල දෙති
මත්විය යක් බිසවුන් ඇද වැටෙති
පත්විය සත් දින දී මරු නන්දති
දකිනා දිවි සිහ වග වැලහින්නේ
පැමිණා කිරි පොවමින් ඔහු යන්නේ
ලකුණා පෙර පින් ඇති බව දන්නේ
රැකුණා දිවි මෙම ලෙස කුමරුන්නේ
වෙර ඇති කුමරුන් දින දින වැඩෙනා
මෙර උසුලන මෙන් සවිබල ලැබුණා
බෙර පැළි ලෙස තිබු නිදන් පිපිරුණා
පෙර පින් ලෙස රන් ගබඩා ඇරුණා
සදා පුරය කරනෙමි මෙ කැලේ යා
කියා වැදුණි මහ සෙනඟ කැලේ යා
තදා සෙනඟ ගල් කරපු කැලේ යා
එදා පසිඳු විය දෙවියො කැලේ යා
බලේ සෙනඟ ගල් වැඩ කරමින් නේ
කැලේ කෝවිලක් කර ගනිමින් නේ
බලේ සෙනඟ මුදවා හරිමින් නේ
කැලේ එ බණ්ඩර දෙවියො වඩින්නේ
මෙම කවි පන්තියේ එන කවි දෙකක් ආශ්‍රය කරගෙන දඬුබස්නාමානය ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමේ දී ජයන්ත චන්ද්‍රසිරි මහාතා විසින් එහි තේමා ගීතය රචනා කර ඇත..
දඬුබස්නාමානය තේමා ගීතය
දකිනා දිවි සිහ වග වැලහින්නේ
පැමිණා කිරි පොවමින් ඔහු යන්නේ
ලකුණා පෙර පින් ඇති බව දන්නේ
රැකුණා දිවි මෙම ලෙස කුමරුන්නේ
සදා පුරය කරනෙමි මෙ කැලේ යා
කියා වැදුණි මහ සෙනඟ කැලේ යා
තදා සෙනඟ ගල් කරපු කැලේ යා
එදා පසිඳු විය දෙවියො කැලේ යා
සංගීතය : ප්රේමසිරි කේමදාසයන්
සටහන - චතුරංග ජයසුන්දර
No comments:
Post a Comment