පෙර ලිපිය උඩරට මැණිකේ 13
අපි උඩරට මැණිකේ දුම්රියෙන් රඹුක්කට සිට ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය දක්වා පැමිණි ගමනේ අලගල්ල සිට ඉදිරියට ඇදෙන විට ඈතින් ඈතට දිවයන කදු හෙල් සහිත මිටියාවතේ පතාක යෝධයන් දෙදෙනකු මෙන් අපට දිස්වූයේ උතුවන්කන්ද සහ බතලේගල කන්දයි. ඉතින් අපේ මෑත අතීතයට බොහෝ නෑකම් කියන මෙම ස්ථාන දෙක වෙත අප යායුතුමයි. මෙම ස්ථාන සංචාරක වශයෙන්ද වඩාත් ආකර්ශනීයත්වයට පත්වී ඇත.
උතුවන්කන්ද සහ සූර සරදියෙල්..
ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිට මෙන්ම ගංගොඩ දුම්රිය ස්ථානයේ සිටද මාවනැල්ලට ගොස් එතැනින් උතුවන්කන්ද වෙත ළගා විය හැකිය. කෑගල්ල දිස්ත්‍රික්කයට අයිති මෙම පර්වතය මුහුදු මට්ටමේ සිට මීටර් 430ක උසින් පිහිටයි. මෙම පර්වතය තරණය කිරීම තරමක් වෙහෙසකරය. පර්වතයට පිවිසෙන මාර්ගයේ මුල් භාගයේ රබර් වගාවක් දැකිය හැකි වුවත් එතැනින් පසුව හමුවන්නේ කැලෑබද ප්‍රදේශයකි. මෙම කලෑබද ප්‍රදේශයේ ගස් අතරින් ඉතා සීග්‍ර නැග්මක් ඇති මාර්ගයක ගමන් කර පර්වතය මුදුනට පිවිසිය හැකිය. පර්වතයට පිවිසි පසු එළිමහන් ගල් තලාවක් හමුවේ. එහි සිට මාවනැල්ල නගරයේත් අවට ග්‍රාමීය පරිසරයේ සුන්දරත්වයත් මැනවින් රස විදිය හැකිය. තල්තලාව කෙලවර කොතක් ලෙස පිහිටි තවත් ගල් පර්වතයක් දැකිය හැකිය. මෙහි මුදුනට ඉතාමත් ප්‍රවේශමෙන් ලගා විය යුතුය. එතැනින් එහා පැත්තේ ඇත්තේ මහා ප්‍රපාතයකි. නමුත් කන්ද මුදුනේ දී හමන නැවුම් මද නල ඔබගේ ගත වෙහෙස නිවා දමනවා නොඅනුමානය.
![]() |
ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය |
![]() |
ගංගොඩ දුම්රිය ස්ථානය |
පරිසරයේ සුන්දරත්වය මෙසේ වුවද උතුවන්කන්ද යනු මහා ශෝකාන්තයක් සහිත කතා ප්‍රවෘතියක් සගවාගෙන නිහඩව සිටින පර්වතයකි. එනම් එවකට උතුවන්කන්ද තම රාජධානිය කරගෙන සිටි උතුවන්කන්දේ සූර සරදියෙල්ගේ කතාවයි. මෙම පර්වතය පුරාම සරදියෙල් සහ තුන්සියයක් පමණ වූ ඔහුගේ සගයන් සැගව සිටි ගල් ගුහා පවතින බව ගැමියන්ගේ මතයයි. එයින් ප්‍රධාන ගුහාව අදවන විට හමුවි ඇත. එහි විශේෂත්වය වන්නේ ගල් ගුහාවට ඇතුළු වූ පසු පිටවීමට හෝ ඉදිරියට යෑමට තවත් මාර්ග දෙකක් පැවතීමයි. එහි අවසානය අදටත් සොයාගත නොහැකි වී තිබේ.
![]() |
උතුවන්කන්ද මුදුන |
![]() |
උතුවන්කන්ද පර්වතය |
![]() |
උතුවන්කන්ද පර්වතය මුදුනට පෙනෙන ඈත දසුන් |
ලංකාවේ රොබින්හුඩ් නොහොත් උතුවන්කන්දේ සූර සරදියෙල්
කරත්ත රස්සාව එවකට සිටි ගැමියන් අතර ප්‍රචලිත වී තිබූ රැකියාවකි. කරත්ත වල ගමේ ගොඩේ දී ලබා ගත හැකි බොහෝ දේ නගරයට ගෙන ගොස් විකුණා නගරයෙන් ගමට ගෙන එන භාණ්ඩ රැගෙන ඒම බොහෝ විට ඔවුන් අතින් සිදුවී ඇත. අදාසි අප්පු නැමැත්තාද එවකට කරත්ත රස්සාව ජීවන වෘත්තිය කරගත් ගැටවරයෙකි. ඔහුද නිතර නිතර ගමේ සිට නගරයට ආගිය කෙනෙකි.
එවකට රූමත් තරුණියක වූ පිචෝහාමිගේ තේ කඩය (මෙනමින් හැදින්වුවද එකල තේ නැමති පානයක් ලංකාවේ භාවිතා නොවුනි. ලංකාවේ තේ වගාව ආරම්භ වී ඇත්තේ 1867 වසරේ දීය. එම කඩ වල දක්නට ලැබුනේ ගැමි කෑම වර්ග සහ බෙලිමල්, පොල්පලා, ඉරමුසු වැනි පාන වර්ගය) පිහිටියේ උත්වන්කන්දේ මොල්ලිගොඩයි. නිතර නිතර මහනුවරට කරත්ත වල බඩු පටවාගෙන යන අදාසි අප්පු ඒ අතර මග පිහිටා තිබූ පිචෝහාමිගේ කඩයට ගොඩවැදී කහට කෝප්පයකින් සප්පයම් වීමට අමතක කරන්නේ නැත. මෙලෙස නිතර නිතර ආගිය ගමන් බිමන් වලදී දැන හදුනාගත් මේ දෙදෙනා පසුව විවාහා විය.
උතුවන්කන්දේ පිචෝහාමිටත්, දීකිරි කෑවගේ අදාසි අප්පුටත් දාව වර්ෂ 1832 මාර්තු මස 25 දින ඉපදුන බිළිදාට නම් ලැබෙන්නේ “දී කිරි කෑවගේ සරදියෙල්” යනුවෙනි. එයින් පසුව පේදුරු, ගේබ්‍රියල්, මාර්තා සහ ඇන්ටනී යනුවෙන් තවත් දරුවන් හතරදෙනෙක් ඒ දෙපලට ලැබී ඇත. සරදියෙල් කුඩා කල සිටම තරමක මුරණ්ඩු ගති පැවතුම් පෙන්වූ අයෙකි. එම නිසාම අසල්වාසීන්ගේන් ලැබුණ පැමිණිලි වල ඉවරයක් වී නොමැත. මේ හේතූන් නිසා අදාසි අප්පු අනෙක් දරුවන් රැගෙන හාල්දඩුවන ප්‍රදේශයට ගොස් ඇත. නමුත් පිචෝහාමිගේ තේ කඩයත් තව පුතුට ඇති ආදරයත් නිසා ඇය එහි යාමට අකමැතිවී ඇත. නිතරම රදල දරුවන්ගේ අසාධාරණකම් වලට විරුද්ධව කටයුතු කල නිසා මව විසින් සරදියෙල්ගේ කේන්දරය බලවා ඇත. එහිදී පවසා ඇත්තේ ලංකාවේ එඩිතර රණශූරයෙකු වී එයින්ම ජීවිතය අහිමිකරගන්නා බවය.
සරදියෙල් මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ තලවිල පල්ලියේ පියතුමාගෙන් සහ ඉලුක්ගොඩ ස්වාමීන්වහන්සේගෙනි. කුඩා කල සිටම අධ්‍යාපනයට දක්ෂ මොහු චිත්‍ර ශිල්පයටද දක්ෂකම් දැක්වීය. මේ නිසා රදල දරුවන් ඔහුට ඊර්ෂ්‍යා කළහ. මේ අතර කෝරළේ මහත්තයාගේ පුතෙකු සමග ඇතිකරගත් ආරවුලකදී ඔහුට පහරදීම නිසා සරදියෙල් මහනුවර පොළීසියට ගෙනගොස් පහරදී සිරගත කර ඇත. මෙම සිරගත කිරීම සරදියෙල්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. හිරෙන් පැන යන සරදියෙල් තම වාසභවනය බවට පත්කරගන්නේ උතුවන්කන්දේ ගල් ලෙනයි.
සමාජ අසාධාරණයෙන් බැට කෑ සරදියෙල් රදලයන්ට එරෙහිය කටයුතු කිරීමට එතැන් පටන් පටන්ගෙන ඇත. රදලයන්ගෙන් මුදල් පැහැරගන්නා ඔහු අහිංසක දුප්පත් ජනතාව අතර ඒවා බෙදා දී තිබේ. මේ නිසා බොහෝ දෙනෙකුගේ හිත දිනාගැනීමට සරදියෙල් සමත්විය. මාවනැල්ලේ ගඩොල් පාලම වෙඩි දමා පිපිරවීම මෙන්ම දුම්රිය කම්කරුවන්ට වැටුප් ගෙවීමට මුදල් රැගෙන ගිය අශ්ව කෝචිචියට පහරදී මුදල් පෙට්ටියක් පැහැර ගැනීම සරදියෙල්ගේ අපරාධ අතිරින් ප්‍රධාන තැනක් ගනී. අශ්ව කොච්චිය කොල්ලකෑමේ දී සරදියෙල් තම කාණු හයේ පිස්තෝලයෙන් හය දෙනෙකුට වෙඩි තබා ඇති අතර ඉන් දෙදෙනෙක් ඒ අවස්ථාවේදීම මරණයට පත් වී ඉතිරි හතරදෙනාට බරපතල තුවාල සිදුවූ බව ඉතාහාස කතා වල සදහන් වේ.
සරදියෙල් සමග නිතරම සිටි ප්‍රාණසම මිතුරා වූයේ මහම්මදු මරික්කාර (මම්මලේ මරික්කාර්) ය. තවද කුඩා කාලයේ සිට මිතුරන් වූ සිරිමලා, සාවන්, උක්කිදු, හෙන්දා, නසර්දීන් ආදී සිංහල මෙන්ම මුස්ලිම් පිරිසක්ද ඔහු සමග සිටියේය. උතුවන් කන්ද මුදුනේ සිට බැලූ විට නුවර පාරේ බොහෝ දුරක් දර්ශනය වීම මොවුන්ට සැඟව සිටීමට මෙන්ම තම කොල්ලකෑම් සංවිධානය කිරීමටද ඔවුන්ට මහත් රුකුලක් විය. මේ නිසාම මාර්ගයේ ගමන් කල මුස්ලිමි වෙළෙන්දන් සහ සුදු ජාතිකයින් පහසුවෙන් මංකොල්ලකෑමට සරදියෙල් කල්ලියට හැකියාව ලැබුණි. සරදියෙල් මුළු මහත් කෑගල්ලේම වතු හිමිකාර සුදු ජාතිකයින් සහ ඔවුන්ට හිතවත් ධනවත් වෙළෙන්දන් බියට පත් කිරීමට සමත් විය. එමෙන්ම ඔහු ගැමි ජනතාව අතර වීරයෙක් බවට පෙත්වෙමින් සිටියේය.
වර්ෂ 1850 - 1860 කාලයේ සරදියෙල් පිළිබදව මුළු රට පුරාම ප්‍රචලිත වී තිබුණි. ඒ නිසාම ආණ්ඩුව විසින් ඔහු අල්ලා දෙන කෙනෙකුට පවුම් 5ක් ලබා දෙන බව මුලින් පැවසුවද එන්න එන්නම තත්වය ධරුණු වන නිසා එය පවුම් 100ක් බවට පත් කරන ලදී. දිගින් දිගටම සිදුවන මෙම කොල්ලකෑම් පාලනය කිරීම සදහා එවකට කෑගල්ල දිස්ත්‍රික්කයේ උප දිසාපති වූ එෆ්.ආර් සොන්ඩර්ස් භට පිරිසක් යැවීය. වර්ෂ 1864 මාර්තු 17 වැනිදා සරදියෙල් මොලගොඩ මවගේ නිවසේ සිටින බවට ලැබුණ ආරන්චියක් අනූව භට පිරිස සිංහල වැසියන් සරදියෙල්ට උදව් කරන බැවින් මුස්ලිම් පිරිසක් සමග එහි පැමිණ සරදියෙල් වට කර ඇල්ලීමට ගත් උත්සාහයේ දී එහි පැමිණ සිටි ජෙෆ්වැන් හොට් නම් තරුණයෙකු මිය ගියේය. හොට්ගේ සුළුපියා වූ ක්‍රිස්තියන් අප්පු එතැනදී කෑගසානෙ ඉදිරියට පැන්න අතර ඔහුටද සරදියෙල් වෙඩි තැබූයෙන් ඔහුද මිය ගියේය. බියට පත්වූ පොළීසිය මෙහිදී පසු බැස්සේය. මේ නිසා සරදියෙල් අල්ලාගැනීමට නොහැකි විය. මේ නිසා ඔවුන් දිසාපති වරයාගෙන් උදව් ඉල්ලා පණිවිඩයක් යවා ඇත.
දිසාපතිවරයා එනවිට ගේ තුළ සිටි සරදියෙල් හා මම්මලේ මරික්කාර් පැන ගොස් සිටියහ. එයින් පසුව 1864 මාර්තු 21 වැනිදා සරදියෙල් මාවනැල්ල ගඩොල් පාලම අසල සොල්දොර නිවසක සිටින බවට පොළීසියට ඔත්තුවත් ලැබුණි. එසේ ඔත්තුව ලබා දී තිබුනේ කලෙක සරදියෙල්ගේ ගජ මිතුරෙකු වූ සිරිමලා විසින්ය. එම නිවසේ සැගවී සිටින ලෙස උපදෙස් දී තිබුනේද සිරිමලා විසින්මය. පොළීසිය නිවස වට කර පහර දුන් අතර සරදියෙල්ගේ අතකට වෙඩි වැදුනි. මේ සටනේ දී කොල්ල කරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය වූ පළමු පොළිස් නිලධාරියා බවට පත්වූයේ මම්මලේ මරික්කාර් විසින් මුලින්ම මරා දැමූ ‘කොස්තාපල් සභාන්’ ය. වෙඩි වැදී අඩපණව සිටි සරදියෙල් සහ මම්මලේ මරික්කාර් පොළිස් අත්තඩංගුවට පත්විය.
අත්තඩංගුවට පත් සරදියෙල් සහ මම්මලේ මරික්කාර් කරත්ත පෙරහැරකින් බෝගම්බර සිර ගෙදරට ගෙන ගිය බවත් ඔවුන් දැක බලා ගැනීමට මහා ජන ගඟක් මග දෙපස රැස්වී සිට ඇති බවත් ඉතිහාසයේ කියවේ. මේ දෙදෙනාට එරෙහි නඩුව 1864 අප්‍රේල් මස 7 දින තොම්සන් විනිශ්චකාරවරයා සහ ජූරි සභිකයන් 13 දෙනෙකු ඉදිරියේ අසන ලදී. නඩුවේ අවසන් තීන්දුව වූයේ මේ දෙදෙනා 1864 මැයි මස 4 වැනි දින බෝගම්බර සිර ගෙදර එළිමහන් ස්ථානයක එල්ලා මරා දැමීමටයි. බෝගම්බර එළිමහන් ස්ථානයකදී එල්ලා මරා දැමූ අවසන් දෙදෙනා වූයේද මේ දෙදෙනායි. මෙසේ මිය යන විට සරදියෙල්ගේ වයස අවුරුදු 32ක් පමණයි.
![]() |
අතට වෙඩි වැදුන සරදියෙල් අත්තඩංගුවට පත්වීමෙන් පසු |
![]() |
අත්තඩංගුවට පත්වූ මම්මලේ මරික්කාර් |
![]() |
01 සරදියෙල් සතුවූ තුවක්කුව. 02 මම්මලේ මරික්කාර් සතුවූ තුවක්කුව. |
![]() |
දයා විමලවීර අධ්‍යක්ෂණය කල සරදියෙල් චිත්‍රපටයෙන් |
![]() |
සරදියෙල් චරිතය අලලා ලියවුන පොත් |
මම්මලේගේ වෙඩි පහරින් මිය ගිය කොස්තාපල් සභාන් වෙනුවෙන් ඔහුගේ බිරිදට ජීවිතාන්තය දක්වා මාසිකව පවුම් 2කුත් සිලිම් 6කුත් ගෙවූ බව වාර්තා වේ. සරදියෙල් සහ මරික්කාර් අල්ලාගත් මාර්තු මස 21 වනදා පොළිස් දිනය සමරනු ලබයි. එහිදී සේවය වෙනුවෙන් තම වටිනා ජීවිතය පුදකරන ලද පොළිස් නිලධාරීන් අනුස්මරණය කරනු ලබයි. කොස්තාපල් සභාන් සිහිවීම පිණිස මාවනැල්ල තරුණ බෞද්ධ සංගම් ගොඩනැගිල්ල අසළ කළුගල් පුවරුවක් 1935 වසරේ ස්ථාපිත කර ඇත.
![]() |
තොස්තාපල් සභාන් වෙනුවෙන් තැනූ ස්මාරකය |
සරදියෙල් ගම්මානය
කොළඹ නුවර මාර්ගයේ ගමන් කරන විට හමුවන උතුවන්කන්දේ පිහිටි උතුවන තැපැල් කාර්යාලය අසළින් වමට හැරී කිලෝමීටරයක් පමණ ගිය තැන සරදියෙල් ගම්මානය හමුවේ. අක්කර හයක පමණ භූමි භාගයක පැතිරී ඇති මෙම ගම්මානය වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතාගේ සංකල්පයක් අනූව ගොඩනැගුනු ස්ථානයකි. සරදියෙල්ගේ කුඩා කාලයේ පටන් එල්ලා මැරීම දක්වා වූ ඔහුගේ ජීවිතයේ විවිධ සිදුවීම් සහ එකල ගම පැවති ආකාරය පිළිබඹු වන පිළිරූ බොහොමයක් මෙම ගම්මානය තුළ දැකගත හැකිය. වර්ෂ 2012 ජනවාරි මස 29 වැනි දින මහජනතාව වෙත විවෘත වූ මෙය නැරඹීම සදහා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු වුවද පූජ්‍ය පක්ෂය සහ පෙරපාසල් ළමයින්ගෙන් අයකිරීමක් සිදු නොකෙරේ.
බතලේගල කන්ද
උඩරට මැණිකේ දුම්රිය කඩිගමුව පසුකරනවාත් සමගම දකුණු පසින් දිස් වෙන තවත් සුවිශේෂී පර්වතයකි බලලේගල කන්ද. මෙය මාවනැල්ලට නුදුරු හත්ගම්පොළට ආසන්නව පිහිටා ඇත. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 670ක උසින් පිහිටයි. මෙය එක් පසෙකින් පොතක් ආකාරයෙන් දිස්වන නිසා එකල බ්‍රිතාන්‍ය ජාතිකයින් මෙය Bible Rock ලෙසින් හදුන්වා ඇති අතර පුන්චි සීගිරිය නමින්ද ප්‍රසිද්ධියට පත්වී ඇත. අතීතයේ මෙම පර්වතය තරණය කිරීමට ඉතාමත් අපහසු මාර්ගයක් තිබුණද අද වන විට ‘බතලේගල බෞද්ධාලෝක මහා විහාරය’ නමින් පාන්සලක් ආරම්භ වී ඇති නිසා කන්ද මුදුනට පැමිණෙන මාර්ගය තරමක් දුරට පිළිසකර වී ඇත. මෙම පර්වතය අක්කර 17 පමණ ප්‍රදේශක පැතිරී ඇති අතර ග්‍රැනයිට් පාෂනයෙන් නිර්මාණය වී ඇත. උතුරෙන් සරදියෙල් කන්ද නොහොත් උතුවන් කන්දටත්, දකුණින් සාමසර කන්දටත්, නැගෙනහිරින් අමුබුළුවාව කන්දටත් හා බටහිරින් ඌරා කන්දටත් මැදිව මෙය පිහිටා ඇත.
අක්කර හතක් පුරා පැතිරී ඇති මෙම පර්වතය මුදුනේ සිට අවට බැලූ විට දිස්වන්නේ අවට පිහිටි හරිත පැහැ නිම්නයයි. කන්ද පිහිටි ප්‍රදේශය ආසන්නයටම ගම්මාන පැතිරි ඇත. කන්දේ තැනින් තැන හෙල්මළු කුඹුරු දකින්නට ලැබේ. අඹ, කෝපි, කරාඹු, මැංගුස්, දෙහි, ගම්මිරිස්, කොස්, කෙසෙල් වැනි බෝග වලින් පිරි ගෙවතු මෙම පර්වතය මුදුන දක්වා දිවෙන මාර්ගය දෙපස දකින්නටහැකිය.
රවණා රජු මේ ප්‍රදේශයේ වල් ඌරන් දඩයමේ ගිය බවට පුරා වෘත්තයක් ඇතත් ඓතිහාසික ලේකන වල මෙම පර්වතය පිළිබදව සදහන්වී නොමැති අතර සෙල්ලිපි හෝ නටඹුන් කිසිවක් හමුවී නොමැත. නමුත් මහනුවර රාජධානි සමයේ ඔත්තුබැලීමේ මුරපොලක් ලෙස භාවිත කර ඇති බව පනප්‍රවාද වල පැවසේ. නමුත් අතීත ජන කවි වල බතලේගල පිළිබදව සදහන් වන මෙවැනි කවියක් හමුවේ.
“අලට කන්න බැරි
අලගල්ලේ කන්ද
බතට කන්න බැරි බතලේගල
කන්ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි
කන්ද
මෙකඳු තුනට නායක සමනොළ
කන්ද”
![]() |
Bible
Rock නොහොත් බතලේගල කන්ද |
![]() |
බතලේගල කන්ද මුදුන |
![]() |
බතලේගල පිවිසුම් මාර් ගය |
![]() |
බතලේගල අවට සුන්දරත්වය |
![]() |
හත්ගම්පොළ දෙසින් බලනවිට බතලේගල දිස්වෙන අයුරු |
නිදහස්දාට නිදහසේ නගින අලගල්ල කන්ද
උඩරට මැණිකේ දුම්රියත් සමඟ යන ගමනේ හමුවන සුවිශේෂි පර්වතයකි අලගල්ල පර්වතය. දුම්රිය මාර්ගය තැනීමේ දී වඩාත් තද පාෂාණයකින් සැදුම් ලත් අලගල්ල දුර්ගය හරහා දුම්රිය මාර්ගය තැනීමට බ්‍රිතාන්‍ය ජාතිකයින්ට මහත් වෙහෙසක් දැරීමට සිදු විය. මෙම පර්වතයට පැමිණීමට මාර්ග කිහිපයක්ම ඇත. ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් බැස අලගල්ල තේ කර්මාන්ත ශාලාව වෙත වැටි ඇති මාර්ගයේ ගමන්කර මෙම පර්වතයට පැමිණිය හැකිය. එමෙන්ම ගංගොඩ දුම්රිය ස්ථානයෙන් බැසීමෙන්ද අලගල්ල පර්වතයට නැගීමට පිවිසිය හැකිය.
මුහුදු මට්ටමේ සිට මීටර් 1140ක් පමණ උසින් පිහිටා ඇති මෙම වර්වතය මධ්‍යම පළාතටත් සබරගමුව පළාතටත් මායිම්ව විහිදී ඇත. කන්දෙහි මුල් කොටස නැගීමට පහසු වුවද පර්වත මුදුනෙහි උසම ස්ථානයට ළඟා වීම තරමක් අපහසුය. තරමක සුමට ගල් තලාවක් ඔස්සේ අඩි 30 ක් පමණ උසක් නැගීමෙන් පසුව උරගයෙකු මෙන් බඩගාගෙන ඉතිරි කොටස නැගිය යුතු වේ. කදු මුදුනේ සියගණනකට රැස්විය හැකි අඩකඩක් සහිත තැනිතලාවක් පිහිටා ඇත. කන්ද මුදුන ආසන්න වන තෙක්ම රබර් වතු හා තේ වතු පැතිර තිබේ. එමෙන්ම බොහෝ දුරක් යන තුරුම ජනාවාසද දැකගත හැකිය.
![]() |
අලගල්ල පර්වතය |
![]() |
අලගල්ල පර්වතය මුදුනෙහි ඇති පූජාගල නැමති ස්ථානයේ ඉදිකර ඇති චෛත්‍යය |
![]() |
අලගල්ල පර්වතය මුදුනට පෙනෙන අවට සුන්දරත්වය |
![]() |
අලගල්ල දුර්ගය පසුකරමින් ඉදිරියට ඇදෙන දුම්රියක් |
නිදහස්දාම විශේෂයෙන් අලගල්ල තරණය කරන්නේ ඇයි?
වරෂ 1948 පෙබරවාරි 04 දා ලංකාවට නිදහස ලබාදෙන පුවත එකල රට පුරාම පැතිරී ඇත. නමුත් අලගල්ල පාමුල පිහිටි තුම්පනේ ගමේ ජනතාවට ‘නිදහස ලබා දීම’ යනු කුමක්ද සහ එදින සිදුවන්නේ කුමක්ද යන වග පිළිබදව හරිහැටි තේරුමක් තිබී නැත. මෙම නිදහස් උත්සවය පවත්වන්නේ කොළඹදී බව ගැමියන්ට ආරංචි වී ඇත. එම නිසා ගමේ තරුණ හා වැඩිහිටි බොහෝ දෙනෙක් නිදහස්දා උදෑසනම අලගල්ල තරණය කර එදින සිදුවන්නේ කුමක්දැයි බලා ගැනීමට කොළඹ දිශාව බලාගෙන සිට ඇත.
නමුත් හිමිදිරියේ සිටම අලගල්ල පර්වතය මුදුනේ සිටියද කොළඹ දෙසින් සිදුවූ කිසිවක් ඔවුන්ට දැකගැනීමට ලැබී නොමැත. බොහෝ රෑ බෝ වී කන්දෙන් ආපසු බසින පිරිසෙන් සෙසු ගම් වැසියන් “හැබෑට කොයි උඹලා ඔය ලැබුනයි කියන නිදහස දැක්කද?”යි විමසා තිබේ. එවිට ඔවුන් “ බුදු අප්පොච්චියේ දක්කද කියලත් අහනවා. එහෙම නිදහසක් නම් අපේ උපන්තේකට දැක්කේ නෑ” යනුවෙන් පවසා ඇත. එතැන් පටන් සෑම අවුරුද්දකම ගම අවට අනිත් පිරිස්ද නිදහස් දා නිදහස කෙසේදැයි බැලීමට අලගල්ලට නැගීමට පටන්ගේන තිබේ. නගින පිරිසේ කිසිවෙකුත් කිසිවක් නොදැක්කද අනෙක් පිරිස් වලට තමන් කිසිවක් නොදැක්ක බව පවසා නොමැත. මෙය කාලයක් තිස්සේ සිදුවීම නිසා එය පසු කාලීනව සිරිතක් බවට පත්වී ඇත. මෙය කාලයත් සමඟ බොහෝ ජනප්‍රිය වූ නිසා කන්දට පිවිසෙන මාර්ගය දෙපස කඩ පිල් පවා නිදහස් දිනට ඉදි වන්නට විය.
බෝ ඇල්ල
ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් මාවනැල්ලට පැමිණි අපිට නැරඹිය හැකි තවත් සුන්දර ස්ථානයකි බෝ ඇල්ල. මාවනැල්ල නගරයේ සිට කොන්දෙනිය මාර්ගයේ කිලෝමීටර් හතරක් පමණි ගිය පසු මෙම සුන්දර දිය ඇල්ලට පිවිසිය හැකිය. සරදියෙල්ගේ වාසභවන වූ උතුවන් කන්දට මිනිත්තු පහක පමණ දුරින් මෙය පිහිටා ඇත. එකල සරදියෙල් මෙම ඇල්ලේ එක් පසෙක සිට අනෙක් පසට පැන ඇති බව ගැමියන් පවසයි.
මෙම ඇල්ල බෝ පතක හැඩයට පිහිටා ඇති යුගල ඇල්ලකි. මෙම ඇල්ලෙහි කොටස් තුනක් පවතී. ඒ ඉහළ කොටස, මැද ජලාශය සහ පහළ කොටස යනුවෙනි. මෙකී ඉහළ කොටසින් සහ පහළ කොටසින් ජල කද පහළට කඩා වැටේ. මෙහි ජලාශය කොටසෙහි පතුලේ සැඟවුන දිය යට ගුහාවක් ඇති බව ජනප්‍රවාදයේ පැවසේ. මෙම සුන්දර දිය ඇල්ල නිර්මාය කරන්නේ මා ඔයයි.
![]() |
බෝ ඇල්ල ගූගල් සිතියමේ දැක්වෙන අයුරු |
මීලග කොටසින් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථායේ දිට ඉදිරියට යමු.
සටහන
චතුරංග ජයසුන්දර
No comments:
Post a Comment