Sri Lanka

Wednesday, April 23, 2014

මිහිරැති වසන්ත කාලේ.... කිම ඔබ මෙතෙක් නො ආවේ.....



එක්‌ යුගයකදී මිල්ටන් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල වැනි සම කාලීනයන් සමග සලකද්දී ෂෙල්ටන් පෙරේරාට හිමි වූයේ ජනප්‍රිය සංස්‌කෘතියෙන් ඔබ්බට ගිය සුවිශේෂී ස්‌ථානයකි. ප්‍රේමය සහ විරහ වේදනාවට මැදිව බෙහෙවින් හැඟුම්බර රිද්මයකින් ගී නිර්මාණ ඉදිරිපත් කරන්නකු ලෙස වර්තමාන රසිකයන් අතරද ඔහු ප්‍රචලිත විය. ඒ මධුර මනෝහර හඬ පිළිබඳ මතකය අවධි කරන්නට පසුව අප හා හද බැද ගත්තේ ඔහුගේ ආදරණීය පුත් සතිෂ් පෙරේරාය.

අවසන් ලියුමයි ඔබට ලියන්නේ, එගොඩහා යන්නෝ වැනි ගීත වලින් ප්‍රසංග වේදිකාවේ රසික හද බැඳගත් සතිෂ් පෙරේරා පසුගිය 2012.04.22 දින ඔහුගේ ගී හඬට ආදරය කළ රසිකයන්ගෙන් සදහටම නික්‌ම ජීවිතයට සමුදුන්නේය. මියයනවිට ඔහු 43 වැනි වියේ පසු විය. ලියුකේමියා රෝගයෙන් පීඩා විදි ඔහු දින 42ක් තිස්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ නමුත් එහිම දැඩි සත්කාර ඒකකයේදී අවසන් හුස්ම හෙළීය. යොවුන් හදවත් මවිත කළ ගායන ශිල්පියකු වූ සතිෂ් පෙරේරා මහතා එක් දරු පියකු වන අතර එකම පුතුගේ වයස මාස 08 කි. දිනේෂා පෙරේරා සතිෂ්ගේ ආදරණීය බිරියයි. ඔහු අපෙන් සමු අරන් 2014.04.22 වසර 2ක් සපිරුණි.



මව ශෂී පෙරේරා සහ සොයුරිය අනුරාධා පෙරේරා සමග


සතිෂ් විවාහ වූ දා...




සතිෂ් අප හදබැදගත් ගායන ශිල්පියෙක්. ඔහුගේ හඩ කිසිදා අප සිත් වලින් මැකි නොයනු ඇත. ඔහුගේ මතකය අපගේ සිත් සතන් තුළ සදාකල් රැදී ඇති නිසාම ඔහුගේ පියාගෙන් උරුමව ඔහු විසින් නව සංගීතය මුසුකර ගැයූ ගීතයක් වන "මිහිරැති වසන්ත කාලේ" ගීය පිළිබදව මේ සටහන තබන්නේ නැවතත් ඔහුගේ මතකය අවදි කරවමිනි.
ජීවිතයේ වසන්තය කියල කියන්නේ කිනම් කාලයටද කියල ඔබ කවදාක හරි හිතල බැලුවද? ළමා කාලය තම ජීවිතයේ වසන්තය කියල සමහරු කියාවි. තවත් කෙනෙක් වසන්තය කියන්නේ තමන්ගෙ යෞවන කාලයට කියල කියන්න පුළුවන්. ඇතැම් කෙනෙකුට මේ වසන්තය උදාවෙන්නේ ජීවිතයේ මැදි වියේ දී හෝ මහලු වියේදී වන්නටත් පුළුවන්.
මොකද කියනවනම් වසන්තය කියන්නෙ ජීවිතේ සාරථක වන පැතුම් ඉටුවෙන අපූරු කාලයක් හන්ද. හැබැයි වසන්තය තියෙන්නෙ තමන්ගෙ සිතේ. සිතේ මේ වසන්තයට කාල බේදයක් නහැ. සිතක් මිහිරට පත්වන්නේ සිත කැමැති සිත ඉල්ලන දේ ලැබුණොත් පමණයි.
අපි කැමති දේ දකිනකොට, අපි කැමතිදේ අහනකොට, අපි කැමතිදේ ලැබෙනකොට නිකන්ම අපේ හිත් වලට වසන්තය උදා වෙනව. ඒක තමයි ජීවිතයේ ඇතිවන වසන්තයේ ස්වරූපය.
මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් ව
තනිවීමි වේදනාවේ

සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවී වෙළී නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

දාහය ගතේ වෙලීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගියා ඒ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදා වූ
යුගයකි ගෙවා නිමා වූ
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
පෙර සංගීතය හා ගායනය - විශාරද ෂෙල්ටන් පෙරේරා
නව සංගීත සංයෝජනය සහ ගායනය - සතිෂ් පෙරේරා
ආදරයෙන් ගෙවූ කාලය සිහි කරන්නට අපි කැවුරුත් කැමතියි. ඒ තමයි ආදරවන්තයින්ගෙ ජීවතයේ වසන්ත කාලය. වසන්තය කියල කියන්නෙ වෙන කිසිවක් නොවේ ආදරයමයි. වසන්තය කියල කියන්නෙ පෙම්වතුන්ගෙ හමුවීමයි. සිත ළඟ හිදීමයි. එක්ව ආදරය විඳීමයි.  ආදරය එක් පසකින් තියෙද්දි ගිම්හානය ගැන කතා කළොත්, ගිම්හානය කියන්නෙ වෙන්වීමය. සිතෙන් විදවීම. සිතේ තියන සුන්දරත්වය විනාශවී යාමයි.
මොහු වසන්තය ගැන සිහින මවන්නේ අලුතින් නොවේ. හැමදාමත් ඔහු වසන්තය බාලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. තමා ළඟ තිබිල දුරස්වෙලා ගිය වසන්තයකට තමයි ඔහු අමතන්නෙ. ගිම්හානයේ උණුසුම හිතට දැනුනම ඔහුගෙ හිත ගිලන්වෙලා වේදනාවේ තනිවෙනව. ඇළදොළ දිය හිඳී ගිහින් තුරුලතා ඉපල් බේරුණ පොළව ඉරි තැලී ගිහින් දූලි නංවන මේ නියඟයේදී ඔහුගෙ හදවත කෘශ වී වේදනා දෙනව. තමන්ගෙ හුස්ම තමන්ට අහිමි වෙලා යනව වගේ දැනෙනව. හුස්ම අල්ලාගන්නට බැරි තරමට නහර ගැට ගැසෙනව වගේ දැනෙනව. ගෙවූ අතීතය ජීවිතයේ ගෙවා නිමා කළ යුගයක් පමණක් ය කියා හැඟෙන විට සිතේ කීරි ගැහෙන වේදනාව ඔබට තේරෙනවාද? එහෙයින් ඔහු ඔහු තවත් බලාගෙන ඉන්නව කවදාක හරි වසන්තය තමන්ගෙ ජීවිතයට එකනල්. කොහොමද ඔහු හිතන්නෙ ඔබෙන් උදාවූ දෙනෙහස ජීවිතයේ තවත් එක් යුගයක් කියල.
ඇත්තටම මේ ගීතයෙන් කියල තියෙන්නෙ ෂෙල්ටන් පෙරේරා මහත්තයගෙ ජීවිත කතාවමයි. ඔහුගෙ බිරිද වන ශෂී පෙරේරා මහත්මිය ගීතය නිර්මාණය වුන විදිය ගැන කියලා තිබ්බෙ මේ විදියට.
මේ ගීතය නිර්මාණය වුණේ මට මතක හැටියට 1976 දී විතර අපේ ආදරයට හුඟාක් කරදර බාධක ආපු යුගයක් තමා ඒ. මම ඉන්දියාවේ ඉඳන් ලංකාවට ඇවිත්. අපේ එක්වීමට දෙමාපියන්ගේ බරපතළම විරෝධය ක්‍රියාත්මක වෙච්ච කාලෙදි ෂෙල්ටන්ට මේ ගීතය ගයන්න ලැබුණේ. ප්‍රේමකීර්ති මේ ගීතය ලියා තියෙන්නෙ අපේ ප්‍රශ්නෙ ගැනමයි කියලා ඒ දිනවල බොහොම කතාබහට ලක් වුණා. ඇත්තටම ෂෙල්ටන් හුඟාක්ම ප්‍රිය කරපු ඔහුම සංගීතවත් කරපු ගීතයක්...
ඒ ශෂී පෙරේරා මහත්මියගේ වදන් ය.
ප්‍රේම කීර්ති ද අල්විස් මහත්තයගෙ ආදරයේ විරහ වේදනව අපූරුවට මුසු වූ පද මාලාවට සංගීතය කාවද්දා එය සිතට කාවදින සේ ගායනා කළ සංගීතවේදියා වන ෂෙල්ටන් පෙරේරා ශිල්පියාගේ මේ ගීතය අදටත් අප සිත වෙනස්ස සමාධියකට ගෙන යනව. නව සගීතයට මුසු කරල අපි අතරට මේ ගීය අරන් අවෙ සතිෂ්. ඔහු සංගීත ප්‍රසංගයකට ගියාම රසිගයින්ගෙන් අනිවාර්යෙන්ම ඉල්ලන ගීතයක් තමයි මේ ගීතය. මට මතකයි අපේ යාපහුව මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියෙ පවත්වපු සංගීත ප්‍රසංගයකට සතිෂ් සහභාගි වුන වෙලාවෙ කට්ටිය එකම හඩින් මේ ගීය ගයන්න කියල කෑ ගහපු හැටි. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕන සතිෂ් කියන්නෙ බොහොම නිහතමානී ගායන ශිල්පියෙක් මිසක් ජනප්‍රියත්වයෙන් ඔලුව ඉදිමුවගත්ත කෙනෙක් නම් නෙමෙයි. මට මතකයි එදා රසිකයෝ ඉල්ලපු හැම ගීයක්ම සංගීත කණ්ඩායමේ සහයෝගයත් එක්ක පුළුවන් විදියට ගායනා කරල තමයි ඔහු ගියෙ.
දශක තුනකටත් වඩා ඉකුත් වී ඇති මේ ගීතය ඇසූ දා පටන් මේ දක්වා එහි ඇති රසයේ කිසිම වෙනසක් ඇත්තේ නැත. සාර්ථක නිර්මාණයක හැටි සොබා එයම නොවේද?

වීඩියෝව බලන්න මෙතනින්.. 


මේ ඔහුගේ ආදරණීය හඩ

කරදරයක් නම් මා නුඹ හට..
අවසරයි ඉතින් සමුගෙන යන්න...
යලි ඕනේ උනොත් මගේ සෙනෙහස..
අවසරයි මගේ ලඟ නවතින්න....