අපේ මහවැලි ගඟ රන්ටැඹේ ජලාශය පසු කලාට පස්සෙ තවත් විශාල ජලාශ
නිර්මාණය කරන්නෙ නැහැ. රන්ටැඹේ ඉදන් තවත් කිලෝමීටර් 3ක් විතර පහළට ගියාම අපිට
මුණගැහෙනවා ලංකාවේ වාරි ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් සටහන් කරන සුවිශේෂී ස්ථානයක්. ඒ
තමයි මිණිපේ අමුණ. ඓතිහාසික සාක්ෂි සහිත අදටත් ක්‍රියාත්මක වන මහවැලි ගගේ අපිට
හමුවන එකම අමුණ තමයි මිණිපේ අමුණ.
මිණිපේ අමුණ
ක්‍රි.ව 459 සිට ක්‍රි.ව 473 දක්වා ලංකාවේ රජ කළ දාස්කෙළිය හෙවත් ධාතුසේන
රජතුමා විසින් කරවන ලද කලා වැව ආදී වාරි
නිර්මාණ අතරින් මිණිපේ ඇළ මාර්ගය අද දක්වාම පවතින විශිෂ්ඨ නිර්මාණයක් බවට ඉතිහාසය සාක්ෂි දරයි. මෙතුමා විසින් මහවැලි නදියේ වම් ඉවුරේ ස්ථානයක කුඩා
අමුණක් බැද ජලය හරවා සැතපුම් 17ක් (27Km පමණ) දිගට මිණිපේ ඇළ කරවූ බව මහාවංශයේ
සදහන් වේ. උමා ඔය හා මහවැලි ගග එක්වන ස්ථානයට කිලොමීටර් තුනක් පමණ පහළින් පිහිටි
ස්ථානයක ඉදිකල මණිමේඛලා නම් මේ අමුණේ නටඹුන් අදටත් දක්නට ලැබේ. සමහර මූලාශ්‍ර වල පබ්බත ඇළ නමින්ද යක්ඛ ගෝත්‍රිකයන් විසින් ඉදිකරන ලද බැවින් යකුන් බැදි ඇල ලෙසින්ද
මිණිපේ ඇළ හදුන්වනු ලබයි.
ක්‍රි.ව. 564 හා 598 අතර කාලයේ මෙරට පාලනය කළ 1වන අග්ගබෝධි රජතුමා
විසින් මිණිපේ ඇළ මාර්ගය ප්‍රති සංස්කරණය කර ඇති අතර ක්‍රි.ව. 853 හා 887 අතර
කාලයේ මෙරට පාලනය කළ දේවැනි සේන රජතුමා විසින් මිණිපේ ඇළ මාර්ගය සැතපුම් 47ක් (74Km ක් පමණ) දක්වා ඇළ ඉදිකර කුඹුරු කරවූ බව මහාවංශය සදහන් කරයි.
මිණිපේ අමුණ පිළිබඳව
ලන්දේසීන්ගේ සටහන්
ක්‍රි.ව 1602 දී පමණ කාලයේදී කන්ද උඩරට රජකම් කල පළමුවන විමලධර්මසූරිය රජු සමග වෙළඳාම් සඳහා ගිවිසුමක් ඇති කරගැනීමට මහනුවරට පැමැණි ස්පිල්බර්ග් මිණිපේ ප්‍රදේශය
ගැන ද විස්තර කොට තිබේ.
මෙම ප්‍රදේශය ඉතාමත් සශ්‍රීකව පැවති බවත්,
ඉතාමත් මිත්‍රශීලී වූ මෙම ප්‍රදේශයේ ජනතාව තමන් සමග සිටි පිරිසට මැණික් ගල් විශාල
ප්‍රමාණයක් විකිණූ බවද සදහන් කර තිබේ. දුටුගැමුණු රජ සමයේ සිටම යුධ භූමියක් ද
වූ මෙම ප්‍රදේශය නිතර නිතර යුධ පීඩා වලට ලක්වී තිබුණ අතර අවසානයේ දී කොන්ස්තන්තීනු
ද සා, හොරෝනා සහ ඔලිවර්ස් යන පෘතුගීසි සෙනවියන් විසින් ඇළ අමුණු හා කෘෂි බිම්
විනාශකර මුළුමනින්ම රට අඳුරට ඇද හෙලන ලදී.
බ්‍රෝහියර් හදුනාගත් මිණිපේ
බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ සේවය කළ මිනින්දෝරු වරයෙකු
වන ආචාර්ය රිචඩ් ලෙස්ලි බ්‍රෝහියර් මහතා මෙරට පුරාණ වාරි ශිෂ්ධාචාරය පිළිබද ඉතා
උනන්දුවක් දැක්වූ සහ ඒ පිළිබදව ගවේෂණය කළ නිලධාරියෙකි. එතුමා විසින් රචිත Seeing Ceylon නම් කෘතියේ මිණිපේ ඇළ හා අමුණ සාදා ඇති ආකාරය
පිළිබදව මනා විස්තරයක් කර තිබේ.
![]() |
රිචඩ් ලෙස්ලි බ්‍රෝහියර් විසින් මිනුම් කරන ලද පැරණි මිණිපේ යෝධ ඇල. මෙහි කඩ ඉරි වලින් දක්වා ඇත්තේ තහවුරු කර නොගත් කොටස්ය. පසුව ඒවාද තහවුරු කරගන්නා ලදී. |
මිණිපේ අමුණ නිර්මාණය කර ඇති විස්මිත සැලැස්ම
මිණිපේ හරියෙදි එක්තරා තැනකදි මහවැලි ගග නැම්මක් ගන්නවා. ඒ කිවුවේ ඔය
කටුගස්තොට පැත්තෙන් මහවැලිය වක් වෙලා ගිනිකොණ දිශාවට ගලලා මිණිපේ හරියෙදි නැවත
උතුරට හැරෙනවා. මේන්න මේ නැම්ම පටන් ගන්න හරියෙදි ඉවුර අද්දරම තිබෙන දූපතක් නිසා
සෑදී තිබෙන පටු ඇළක් තුළට ගගෙන් ඇදී යන විශාල ජලස්කන්ධයක් ඇළේ අනික් කෙළවරේ තිබෙන
ගල් දෙකක් අතරින් ඇති පටු විවරයකින් නැවත ගඟට වැටීමට පෙර තරමක් දුරට ජලය ඇළේ සිරවේ. පුරාණ නිර්මාණ ශිල්පීන්
විසින් මේ ගල් දෙක බැම්මකින් යා කර ඇති නිසා ස්වාභාවික ඇළට ඇදී ආ ජලය ගගේ මට්ටමට
වඩා බොහෝ සෙයින් ඉහල නගී. මෙතැනින් පටන්ගෙන තිබෙන මිණිපේ ඇළෙන් මෙකී ජලස්කන්ධය ගගේ
මට්ටමට වඩා උස්වූ උතුරු දෙසට ගෙනගොස් තිබේ.
![]() |
වාර්ල්ස් අර්ස්කින් මහතා විසින් ඇද ඇති මිනිපේ අමුණ සාදා ඇති අපූරු සැලැස්ම |
ඒසේම පළමු වන
පරාක්‍රමබාහු රජතුමා විසින් කරවූ වාරිමාර්ගවල මුදුන්මල්කඩ වන් පරාක්‍රම සමුද්‍රයට
ජලය සැපයීමට අංගමැඩිල්ල නම් ස්ථානයේ දී අඹන්ගග හරහා ඉදිකර ඇති අමුණ හා ඇළ මාර්ගය
මිණිපේ ඇළේම කොටසක් බවට ද විශ්වාසයක් පවතී. ක්‍රි.ව 1855 දී පමණ ඉහත කරුණ පිළිබදව
මුලින්ම පරීක්ෂා කර බලා මුලින්ම මතයක් ඉදිරිපත් කළේ මිණිපේ ඇළ වැටී ඇති මාර්ගය
සෙවීමට මිණුම් කටයුතු කළ ඇඩම්ස් සහ බ්‍රෝඩ් යන මිනින්දෝරු දෙපළ විසින්ම ය. එසේම බ්‍රිතාන්‍ය
යටත්විජිත පාලන සමයේ මෙරට සිටි ආණ්ඩුකාර හන්රි වෝඩ් ද ජනකතා හා යම් පර්යේෂණයන්
ඇසුරුකොට මිණිපේ ඇළ සම්බණ්ධයෙන් මෙවන් අදහසක් පළකොට තිබේ.
"මනුෂ්‍යයන් විසින්
සාදනු ලැබූ මේ ඇළ පොළොන්නරුව දක්වා වැටී තිබේ. එහිදී ඇලහැර ඇළට යාකොට නොතිබුනත්
පරාක්‍රම සමුද්‍රය යනුවෙන් දැක්වෙන නැව් ගමනාගමනය සදහා සෑදූ වාරිමාර්ගය හා
සම්බන්ධවේ. දකුණු දෙසට හැතැක්ම පනහක් තරම් දික්වූ මේ ඇළ ඉහත කී වාරිමාර්ගයේ
ශාඛාවකි. එය ගොවිතැන සදහා සහ නැව් ගමනාගමනය සදහාද යොදවන්නට ඇත."
පසුව මිනින්දෝරු දෙපාර්තමේනුතුවේ
සේවය කළ වාර්ල්ස් අර්ස්කින් මහතා විසින් ක්‍රි.ව 1903 අගොස්තු මස 28 හා 29 යන
දිනයන්හි දී මිණිපේ අමුණේ න්ෂාඨාවශේෂ පරීක්ෂාකර බලා තමන් විසින් ලියන ලද වාර්තාවක
මිණිපේ අමුණ පිළිබදව සදහන් කොට ඇති අතර ඔහු විසින් අමුණ මිණුම් කර සැලසුම් දෙකක්ද
ඇද තිබේ.
නූතන තාක්ෂණය යටතේ විද්‍යාගාර
වල පරීක්ෂණ කර (tidal
studies) සොයාගෙන තිබෙන කරුණු අනූව ගංගාවක් හරස් කර ජලය හැරවීමට
ඉතාමත්ම සුදුසු ස්ථානය වන්නේ ගගේ වංගුවක් ආර්ම්භවන ස්ථානය වන බවත් එවිට මඩ අංශු
තැන්පත්වීම අවම වී නිර්මිතය හොදින් ක්‍රියාත්මක වන බව පැහැදිලි වී තිබේ. මිණිපේ
අමුණ ඉහත මූලධර්මවලට අනුකූලව ඉදිකර තිබීමෙන් පැහැදිලි වන්නේ අතීත සිංහලයා මීට
අවුරුදු 1500කට එහා කාලයේ දීත් මෙවැනි උසස් තාක්ෂණික ක්‍රම අනුගමනය කිරීමට තරම්
වාරි තාක්ෂණයේ හිනිපෙත්තේ වැජඹුණු බවය. එසේම ගග සම්පූර්ණයෙන් හරස් නොකිරීම නිසා
වියළි කාලවලදී ගගේ පහළට සැලකිය යුතු ජල ප්‍රමාණයක් ගලා යන බැවින් ගග වියළී ගොස්
ජීවීන්ට හානි සිදුවීම වැළකේ.
මිණිපේ අමුණ පිළිබද ඓතිහාසික සාධක
අපි මුලින් කතා කල පරිදි මහවැලි ගග
වංගුවක් ගෙන උතුරට හැරෙවන ස්ථානයෙන් ගගෙන් ඉවතට බෙදෙන අතු ගංගාව (අපි
කියනවා ගගෙන් පිටතට ගලන නිසා මෙයට අප ශාඛාව කියලත්) මද දුරක් ගොස්
නැවතත් ගගට වැටෙනවා. මේ අප ශාඛාව පටන් ගන්නා තැන තිබුන පැරණි වේල්ලෙහි කොටස් අපිට
තවමත් දැකගන්නට පුලුවන්. ඒ වගේම මේ අප ශාඛාව නැවත ගගට එකතු වෙන තැන හරස් කරලා
බැදපු තවත් අමුණක් තිබෙනවා. එතැනත් විශාල ගල් පුවරු අපිට දකින්නට පුලුවන්. මේ
සියල්ලම මෙතැන ඓතිහාසික අමුණක් තිබූ බවට සාක්ෂි දරනවා. අපිට අහන්න ලැබෙනවා මෙතනදී
මේ අමුණ ඉදිකිරීම පිළිබදව නම් කීපයක්ම. මුලින්ම ලැබෙන නම තමයි දාස්කෙළිය නැත්තන්
දාසෙන්කැලි ලෙස හදුන්වන ධාතුසේන රජතුමා. තවත් කතාවක් තමයි අග්බෝ රජතුමාගේ මෙකිත්තා
නැමති සෙනවියා මේ අමුණ මුලින් කරවූ බව. අනෙක් නම් තමයි දෙවැනි සේන රජතුමා, පරාක්‍රමබාහු
රජතුමා, බහාම ඇමතියා සහ සංඛ ඇමතියා. මේ අය අතරින් සමහරු මෙම අමුණ ප්‍රතිසංස්කරණය
කරවූ බව පොත පතේ සදහන් වෙනවා. නමුත් අපිට වැදගත්ම සාක්ෂීයක් හමුවෙනවා. ඉතාමත්
වැදගත් සෙල්ලිපියක්. ඒයත් දැන් මේ අමුණ අසලම සුරක්ෂිතව ප්‍රදර්ශනය කර තිබෙනවා.
කළ්‍යාණවති බිසවගේ සෙල්ලිපිය
මේ සෙල්ලිපිය හමුවෙලා තියෙන්නේ වේරගන්තොට
පාරේ හත්වැනි සැතපුම් කණුව අසල තිබිලා. මෙය අඩි 5ක් උස සහ අඩි 3ක් පළලයි. මේ
සෙල්ලිපිය අධ්‍යයනය කිරීමෙන් මේ සෙල්ලිපිය ක්‍රි.ව 12 හෝ 13 වැනි සියවසේ බව
හදුනාගෙන තිබෙනවා. මේ තුළ සමාජ දේශපාලනික කාරණා කිහිපයක්ම සදහන් වනවා. පළමු කාරණාව
තමයි බුදුන්වහන්සේ පළමු වරට මහියංගනයට වැඩි බව මෙහි සදහන් වෙනවා. ඒ වගේම පරාක්‍රමබාහු
රජු, නිශ්ෂංකමල්ල රජු, සහස්සමල්ල, ලීලාවතී සහ කල්‍යාණවතී ආධී රාජ රාජාධීන් සිරිලක
රජ කල බව මෙහි සදහන් වෙනවා. මෙහිදී අපිට වැදගත් වෙන කාරණය තමයි මේ මිණිපේ අමුණ සාදා
ඇත්තේ පළමු අග්බෝ රජතුමාගේ මේකිත්තා නැත්තන් මේඝ කිත්ත නාග කියන ඇමතියා බව මෙහි
සදහන් වෙනවා. මෙහි ධාතුසේන රජතුමාගේ නම සදහන්ව නැතත් වෙනත් මූලාශ්‍ර වල එතුමන්ගේ නමත් සදහන් වන බැවින් අපිට එළඹිය හැකි නිගමනය වන්නේ රජවරුන්ගේ කාලය සැලකූ විට මුලින් ධාතුසේන රජතුමන් විසින් ගොඩනගන ලද මෙම අමුණ පළමුවන අග්බෝ රජතුමා විසින් වඩාත් සංවර්ධනය කර ඇත බවය. නමුත් මේ කාරණා තාර්කික නිසා අපි ඒ කාරණය ඉතිහාසයටම බාර දෙමු.
![]() |
කළ්‍යාණවති බිසව විසින් කරවන ලදැයි සැලකෙන සේල්ලිපිය |
මිණිපේ යළි ගොඩනැගීම
රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිටම පැවති වාරි ශ්‍රී
විභූතිය යළි නගාසිටුවීමට මහත් සේ වෙහෙස මහන්සි වී කටයුතු කළ එවකට කෘෂිකර්ම ඇමැති
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාට රඹුක්වැල්ලේ දිසාව විසින් ලබාදෙන ලද විශාල
සහයෝගයක ප්‍රතිඵලයක් වශයෙන් මිණිපේ ඇළ මාර්ගය නැවත ප්‍රකෘතිමත් කිරීමට හැකි විය.
හසලක ප්‍රදේශයේ සිට මිණිපේ අමුණ පිහිටි ප්‍රදේශයට ළගාවීමට මාර්ගයක් නොතිබුණු
බැවින් රඹුක්වැල්ලේ දිසාවේ විසින් අමාත්‍යවරයාව කරත්තයක නංවා හදගනාව ප්‍රදේශයට
කැදවාගෙන පැමැණ ඉන්පසු ගොනෙකු පිට නංවා ගස් අතරින් ඇළ හා අමුණ පෙන්වීමට ඇළ කණ්ඩිය
දිගේ ඉතාමත් අසීරුවෙන් කැදවාගෙන ගිය ආකාරය ඒ ප්‍රදේශයේ ගැමියන් තවමත් සිහිපත්
කරති.
මේ ව්‍යපෘතිය යටතේ මිණිපේදී අපි කලින් සදහන් කල
පැරණි වේල්ල මතම මහවැළි ගග සම්පූර්ණයෙන්ම හරස් කොට මීටර් 240ක් පමණ දිග කොන්ක්‍රිට්
වේල්ලක් බැද අමුණක් ඉදිකල අතර මිණිපේ වම් ඉවුරු ඇළ කිලෝමීටර 30ක් පමණ දුරට (හසලක
වැව දක්වා) සංවර්ධනය කර ගොවිතැන් කිරීමට ජලය ලබාගත හැකි වන ලෙස ප්‍රතිසංස්කරණය කර
ක්‍රි.ව 1941 පෙබරවාරි මස 22 වන දින ජනසතු කරන ලදී
![]() |
පෞරාණික මිණිපේ අමුණ මතම මහාමාන්‍ය ඩී. එස් සේනානයක මැතිතුමන් විසින් ඉදිකරවන ලද පැරණි අමුණ |
මිණිපේ වම් ඉවුරු ඇල
මිණිපේ වම් ඉවුරු
ඇල දැනට වයස අවුරුදු 1400ක් පමණ වෙනවා. රිචඩ් සෙල්ලි බ්‍රෝහියර් මහතා මුලින්ම
හදුනාගන්නා විට මෙම ඇළ යම් යම් තැන් වලින් ඇළක් ලෙස පැවතුනද යම් යම් තැන් වලින්
ගොඩවී විනාශ වී තිබුණි. මහමාන්‍ය ඩී.එස් සේනානයක මහතාගේ වාරි ව්‍යාපෘති යටතේ මුලින්ම
කිලෝමීටර් 30ක් පමණ දුරට සංවර්ධනය කල මිණිපේ වම් ඉවුරු ඇළේ සංවර්ධනය නොකර තිබූ
ඉතිරි කොටස අදියර .තුනක් යටතේ සංවර්ධනය කර කිලෝමීටර් 74ක් දුරට සකස් කර තිබේ.
ආරම්භයේ දී තත්පරයට කියුබික් මීටර් 20ක් පමණ ජල ප්‍රවාහයක් ගමන් කළ හැකි වන සේ
සකස් කොට තිබෙන මිණිපේ ඇළ කුඹුරු හෙක්ටයාර 7500ක් පමණ අස්වැද්දීමට දියවර නිකුත්
කරයි.
![]() |
මිණිපේ යෝධ ඇලේ ගමන් මග |
![]() |
යෝධ ඇලට ජලය නිකුත් කරන සොරොව්ව සහ ඉහත සදහන් කල අතු ගංගාව නැවත මහවැලි ගගට එකතු වුන තැන හරස්කොට ඉදිකරන ලක දොරටු හතරක් සහිත සොරොව්ව |
මුල් අදියර හසලක
වැවට එක්වූ පසු එතනින් එහාට තවත් කිලොමීටර් 44ක් පමණ මේ ඇළ ගමන් කරනවා. මේ ඇල
මාර්ගය දිව යන්නේ හසලක වස්ගමුව ප්‍රධාන මාර්යගට සමාන්තරවයි. මෙහිදී තවත් වැව්
කිහිපයකටම මේ මගින් දයවර සැපයෙනවා.
1 හසලක වැව
2 උඩපාතගම වැව
3 උඩවෙල වැව
4 කාණියාගල වැව
5 දෙහිමිගම වැව
6 කොලොන්ගොඩ වැව
ඉහත වැව් වලට ජලය සපයන මෙම ඇළ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ පිහිටි
වස්ගමුව වැව නැමති කුඩා වැවකින් ගමන නිමා කරනවා. නමුත් මෙම වැවේ වාන් ඇළ නැවතත්
මහවැලි ගග දක්වාම දිව යනවා.
![]() |
හසලක වැව ගුවනින් |
![]() |
හසලක වැව |
මේ ඇළමාර්ගය දිගේ යන අපට එක් සුවිශේෂී ස්ථානයක් හමු වෙනවා. ඒ තමයි හසලක වස්ගමුව මාර්ගයට සමාන්තරව ගලන ඇලට හෙට්ටිපොළ නැමති ප්‍රදේශයේදී, මීමුරේ ප්‍රදේශයේ සිට ගලා බසින හීංගග තරණය කළ යුතු වීමයි. මේ සදහා එම ඉදිකිරීම
සැලසුම් කල ශිල්පීන් විශේෂ උපක්‍රමයක් භාවිත කර ඇත. එනම් හීන් ගග හරහා ඉදිකරණ
පාලමක් මතින් මෙම මිණිපේ වම් ඉවුරු ඇළේ ජලය ගෙනයාමටයි. නමුත් මෙම ස්ථනයෙන් හසලක
මාර්ගයත් වැටී ඇති නිසා ජලය ගෙනයාමටත් ගමනාගමනයටත් එකම පාලම යොදා ගැනීමට සැලසුම්
කෙරුණි. එම නිසා පාළම තුළින් ඉදි කරන ලද කොන්ක්‍රිට් බට දෙකක් මගින් මෙම ජලය හීංගග
තරණය කර හසලක දෙස සිට හෙට්ටිපොළ දෙසට ගෙන යන ලදී. මෙහි දිග අඩි 600ක් වන අතර බට
දෙක පළල අඩි 7ක් සහ උස අඩි 5.5ක් වේ. මෙය හෙට්ටිපොල ගිණිපෙට්ටි පාලම ලෙසද
හැදින්වේ. මේ සුවිශේෂී පාලම 1969 මාර්තු මස 3 වැනි දින එවකට අගමැති වූ ගරු ඩඩ්ලි
එස් සෙනානායක මැතිතුමන් විසින් ජනතා අයිතියට පත් කරන ලදී.
![]() |
හීංගග ගිනිපෙට්ටි පාලම තුළට හසලක දෙසින් යෝධ ඇලේ ජලය ඇතුළුවන විවරය සහ පාලම |
![]() |
මෙම පාලම පිළිබදව විස්තර සටහන් කර ඇති පුවරුව |
![]() |
ඩඩිලි සේනානයක මැතිතුමන් විසින් මෙම පාලම විවෘත කරන අවස්ථාවේ ඉදිකරල ලද සමරු ඵලකය |
මෙම මිණිපේ පෞරාණික ඇළ මාර්ගයට වම් ඉවුරු ඇළ යයි නම් වැටුනේ මේ
මිණිපේ අමුණෙන් තවත් ඇළ මාර්ගයක් දකුණු ඉවුරෙන් ආරම්භ කිරීමත් සමගයි.
මිණිපේ දකුණු ඉවුරු ඇළ
ගාමිණී දිසානයක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කඩිනම් මහවැළි
සංවර්ධන වැඩසටහන යටතේ මහවැලි ගගේ දකුණු ඉවුරේ සංවර්ධනය කර නොතිබූ බිම් ප්‍රදේශ වල
කෘෂිබිම් ඇති කර සංවර්ධනය කිරීමේ අරමුණින් මිණීපේ පැරණි අමුණට මදක් පහළින් අලුතින්
අමුණක් ඉදිකර දකුණු ඉවුරේ අලුත් ඇළ මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කරන ලදී. මෙම අමුණ
මුහුදු මට්ටමේ සිට මීටර් 114ක් උසින් තමයි පිහිටන්නේ. මෙහි දිග මීටර් 224ක් වේ.
මේ අමුණ පැරණි අමුණට වඩා උසින් වැඩි බැවින් මිණිපේ පැරණි අමුණ යටවී ගිය
අතර ජලය අඩු වෙලාවට මෙම පැරණි වේල්ල අදටත් පැහැදිලිව දැකිය හැකිය.
මහවැලි කඩිනම් ව්‍යාපාරය යටතේ මිණිපේ දකුණු ඉවුරේ ඇළ මාර්ගයක් හා
ජලාශ පද්ධතියක් ඉදිකර මහවැලි කලාප දෙකකට ජලය සපයන අතර තත්පරයට ඝන මීටර් 64ක් ගමන්
කරවිය හැකිවන සේ ඇළ මාර්ගය සකස් කොට තිබේ. මිණිපේ අමුණ අසලින් ආරම්භ වී
උල්හිටිය-රත්කිද නිවුන් ජලාශ දක්වා කිලෝමීටර් 30ක් දිග මේ ඇළ මාර්ගය ලොග්ගල්ඔය,
හෙප්පොල ඔය සහ දියබාන ඔය යන සම මට්ටමේ ජලාශ තුනකින් සමන්විත වන අතර රත්කිද ජලාශයේ
සිට උමගකින් මාදුරුඔය ජලාශයට ද මහවැලි ජලය සැපයීම සිදු කරයි. මේ සියලු ජලාශ මගින්
මහවැලි E සහ C කලාප වල කුඹුරු හෙක්ටයාර 70000කට පමණ
මහවැලි දියවර නිකුත් කිරීම සිදු කරයි.
![]() |
මිණිපේ අමුණ Google Maps වල දැක්වෙන අයුරු |
![]() |
පැරණි අමුනෙහි සහ නව අමුණෙහි පිහිටීම |
![]() | |
නව අමුණ ගග පහළට පෙනෙන අයුරු |
![]() |
දකුණු ඉවුරු ඇළට ජලය සපයන සොරොව්ව |
![]() |
මිණිපේ දකුණු ඉවුරු ඇළ |
මේ දකුණු ඉවුරු ඇල දිගේ ගමන් කරන අපිට හමුවෙනවා තවත් සුවිශේෂී
ස්ථානයක්. ඒ තමයි වම් ඉවුරු ඇළට හීංගග තරණය කළයුතු වුනා සේම දකුණු ඉවුරු ඇළට බදුලු
ඔය තරනය කරන්නට සිදු වෙනවා. මෙහිදීත් හීන් ගගේදී වගේම පාලමක් මතින් තමයි ජලා ගෙන
යන්නේ. මේ තාක්ෂණය ජලපැන්නුම නැත්තන් Aqueduct කියල තමයි හදුන් වන්නේ. මෙහිදී නම් වම් ඉවුරු ඇලේ දී මෙන් නොව මහාමාර්ගය
වෙනම යන නිසා පාලම මතින් ජලය නිදහසේ ගලාගෙන යනවා. මේ පාලම බදුලු ඔයට වඩා මීටර්
150ක් උඩින් තමයි ඉදිවෙන්නේ. මෙය මීටර් 7ක් පළල සහ මීටර් 4ක් ගැඹුරුයි. මේ පාලම
ඉදිකරලා තියෙන්නේ මීටර් 20ට මීටර් 1ක අනුක්‍රමයක් (gradient) පිහිටන විදියට.
මේ පාලම දකිනකොට අපිට මතක් වෙනවා ලොක්යේ එවන් වූ විශිෂ්ඨ නිර්මාණයක්.
ඒ තමයි ජර්මනියේ මැග්ඩෙබර්ග් ජල පැන්නුම. මැග්ඩෙබර්ග් ජල පැන්නුම (Magdeburg Water Bridge) යනු ජර්මනියේ නැව් යාත්‍රා කළ හැකි
ජලපැන්නුමක් වේ. මෙය එල්බේ-හැවෙල් ඇළ මිට්ල්ලෙන්න්ඩ් ඇළට සම්බන්ධ කරන අතර එල්බේ ගග
හරහා ඉදිකර ඇත. මෙහිදී පාලම මතින් එල්බේ ගග හරහා නැව් ගමනාගමනයට අවස්ථාව සලසා දී
ඇත. මීටර් 918ක දිගකින් යුතු එය ලොව දිගම නාවික ඇල මාර්ගය වේ. ඒල්බේ-හැවෙල් සහ
මිට්ල්ලෙන්ඩ් ඇළ මාර්ග මීට පෙර මැග්ඩබර්ග් අසල හමුවූ නමුත් ඒ එල්බේ ගගට දෙපැත්තෙන්ය.
මෙහි මිට්ල්ලෙන්ඩ් ඇල එල්බේ ගගේම ජලය පිටතට ගලන අප ශාඛාවක් වන අතර එල්බේ-හැවෙල් ඇල
එල්බේ ගගේ අතු ගංගාවකි. එමනිසා මෙහිදී සිදුවන්නේ එල්බේ-හැවල් ගගේ ජලය මෙම කෙටි
ඇලමාර්යට හරහා එල්බේ ගගට උඩින්, මේ අපි කියන ජල පැන්නුමට උඩින් ගොස් මිට්ල්ලෙන්ඩ්
ඇලට එකතු වීමයි. මෙම ඇල මාර්ගය ඉදි කිරීමට පෙර මේ අතර ගමන් කරන නැව් වලට කිලෝමීටර්
12ක දුරක් ගමන් කිරීමට සිදුවී අැති අතර, මෙම ඇලමාර්ගය නිසා නාවික ගමනාගමනයට පහසු විය.
මෙහි ඉදිකිරීම් 1930 ගණන් වලදී ආරම්භ කරන ලද නමුත් දෙවන ලෝක යුද්ධය හා පසුව සුප්‍රසිද්ධ
බර්ලින් තාප්පයෙන් නැගෙනහිර සහ බටහිර ලෙස ජර්මනිය බෙදීම නිසා 1997 වන තෙක් වැඩ
කටයුතු අත්හිටුවා ඇත. පසුව මෙහි ඉදිකිරීම් අවසන් කර 2003දී මහජනතාව සදහා විවෘත
විය.
![]() |
සුප්‍රසිද්ධ මැග්ඩෙබර්ග් ජල පාලම |
මිණිපේ වම් ඉවුරු ඇළේ ජල හිගය
මිණිපේ අමුණට ජලය ලැබෙන එකම මූලාශ්‍රය වන්නේ රණ්ටැඹේ ජලාශයේ ඇති ජලය
විදුලි ජනනයෙන් පසුව නැවතත් මහවැලි ගගට මුදාහැරීමෙන් ලැබෙන ජලය පමණකි. මෙහිදී
රන්ටැඹේ බලාගාරයේ විදුලි ජනනය දිනය පුරාම ඒකාකාරී නොවේ. වැඩි විදුලි ඉල්ලුමක් ඇති විට
වැඩි ජලයකුත් අඩු ඉල්ලුමක් ඇති විට අඩු ජල ප්‍රමාණයකුත් නිකුත් කෙරේ. සාමාන්‍යයෙන්
ඕනැම ජල විදුලි බලාගාරයක කියාවලිය මෙයයි. එමනිසා මිණිපේ අමුණට ලැබෙන ජලය දවස පුරාම
ඒකාකාරී නොවේ. මෙම ජලාශයේ ගබඩා කල හැක්කේ ජලය ඝන මීටර් 180,000 ක් පමණි. අපි ඉහත
කී හේතුව නිසා මේ ධාරිතාව පහළ මට්ටමක පවතින විට ගැටලුවක් මතුවේ. එනම් පහළ මට්ටමක
පිහිටා ඇති දකුණු ඉවුරු ඇලෙන් වැඩි ජල ප්‍රමාණයක් ගලා යාමත් ඊට ඉහළ මට්ටමක ඇති
වම් ඉවුරු ඇළේ ගලන ජල ප්‍රමාණය අවම වී දිනය තුළ විචලනය වෙමින් පැවතීමත්ය. එමගින්
වම් ඉවුරු ඇලෙන් ජලය ලබා ගන්නා ගොවීන්ට කන්නය අගදී ජලය මදිවී යයි. මෙයට පිළියමක්
වශයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය මගින් ක්‍රයාත්මක වන මහවැලි ජල
සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන වෘපෘති අතරින් මිණිපේ අමුණ මීටර්
3.5කින් ඉහළ නැංවීම හා වම් ඉවුරු යෝධ ඇල මුළුමනින්ම ප්‍රතිසංකරණය කිරීම ගැන අවධානය
යොමුකර ඇත. මිණිපේ අමුණේ උස වැඩි කිරීම නිසා අමුණට ඉහළින් ඝන මීටර් මිලියන 1.06ක
ධාරිතාවක් රදවාගත හැකි අතර එමගින් වම් හා දකුණු ඉවුරු ඇළ මාර්ගවලට දිනය පුරා
ස්ථාවර ජල ප්‍රවාහයක් ලබාගත හැකිවේ. මිණිපේ යෝධ ඇලේ ප්‍රතිසංස්කරණ කටයුතු ව්‍යපෘති
4ක් යටතේ අරඹා ඇත.
මිණිපේ ජනපදයේ ඓතිහාසික පසුබිම
මිණිපේ ජනපදය වඩාත්ම ප්‍රසිද්ධවෙන්නේ ධාතුසේන රජතුමා, අග්බෝ රජතුමා
වැනි රජවරුන් විසින් මේ මිණිපේ අමුණ ඉදිකිරීම නිසාය. මීට අමතරව ලංකාවේ ඉතිහාසය ගැන
කතා කරන විට අපිට හමුවෙනවා රජවරු තිදෙනෙක්. ඒ තමයි සංඝ තිස්ස, සංඝබොධි සහ ගෝඨාභය. එතුමන්ලා අනුරාධපුරයට පිටත් වෙන්නෙ
මිණිපේ ඉදලා තමයි. ඒ කිවුවේ ඔවුන්ගේ උපන් ගම් බිම් මිණිපේ. මෙහි ගෝඨාභය රජතුමා
තමයි ශ්‍රේෂ්ඨ නරපතියෙකු වන මහසෙන් රජතුමාගේ පියා. මීට අපතරව ගැමුණු කුමාරයාගේ
සේනාවන් මේ මිණිපේ ප්‍රදේශයේදී එළාර රජුගේ සේනාවන් සමග සටන් වැදුනු බව සදහන්. ඒ
වගේමයි පොළොන්නරු යුගයේ දී බහම සෙන්පතියා මිණිපේදී කදවුරක් බැදගෙන කාලිංග මාඝගෙන්
රුහුණට වෙන හානිය වැළැක්වුවා කියලා ඉතිහාසයේ සදහන් වෙනවා.
මීට අමතරව තවත් වැදගත් සටහනක් අපිට හමුවෙනවා බ්‍රෝහියර් මහතාගේ සටහන්
වල. ඒ සටහන් වලට අනූව 1603 දී පමණ ස්පිල්බර්ග් නැමති අද්මිරාල්වරයෙක් බදුල්ලේ සිට
මහනුවරට යනවා විමලධර්මසූරිය රජු බැහැදකින්න. මේ යන ගමනේදී ඔහුට මිණිපේ හමුවුන බවත්
එහි වැසියන් මැණික් කර්මාන්තයේ යෙදී සිටි බවත් වටිනා මැණික් ගල් කීපයක් ඔහුට
විකිණූ බවත් ස්පිල්බර්ග් සටහන් කර තිබූ බව බ්‍රෝහියර් ගේ සටහන්වල සදහන් කර ඇත.
No comments:
Post a Comment