Sri Lanka

Wednesday, May 27, 2020

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 16



නැවතත් මිණිපේ අමුණ ලග

මහවැලි මහා ජලාශ පහු කරගෙන ආව අපි මිණිපේ අමුණ ලගදි නැවතුනා. ඉන් පස්සේ අපි වම් ඉවුරු ඇල දිගේත් වස්ගමුව වැව දක්වාත්, දකුණු ඉවුරු ඇල දිගේ මාදුරු ඔය ජලාශය දක්වාත් ගමන් කලා. එන් පස්සෙ අපි නැවතත් එනවා මිනිපේ අමුන ලග ඉදින් මහවැලි ග දිගේ ගමන පටන් ගන්නට. මිනිපේ අමුණෙන් පසුව මළ ගගක් වන මහවැලි ගග නැවත් ප්‍රකෘතිමත් වන්නේ, මිණිපේ අමුණේ සිට තවත් කිලොමීටර් 4ක් පමණ පහළින් මහවැලි ගගට එකතුවෙන බදුලු ඔය නිසයි. ඔබට මතක අති මිණිපේ දකුණු ඉවුරු ඇල විශේෂිත පාලමක් මගින් බදුලු ඔය තරණය කළා. මේ බදුලු ඔයත් මහවැලි ගගට එක් වන තවත් සුවිශේෂී ඔයක්. ඒ නිසාම එහි මුල් දියත්තේ සිට ගමන් මග ගැන අපි සොයා බලමු.

බදුලු ඔය

බදුලු දිස්ත්‍රික්කයේ පිහිටා ඇති, මුහුදු මට්ටමේ සිට උස මීටර් 2035ක් වුන නමුනුකුල කදුවැටි වලින් ඇදෙන දිය සීරාවන් වලින් තමයි බදුලු ඔයේ මුල් දියතු ආරම්භ වන්නේ. මේ ඔයට බදුලු ඔය යැයි නම් වැටෙන්නට ප්‍රධානම හේතුව තමයි මෙය බදුල්ල හරහා ගලා බැසීම. මෙහි මුල් දියත්තේ සිට මහවැලි ගගට වැටෙන ස්ථානය දක්වා දිග කිලොමීටර් 60ක් පමණ වේ. එනම් සැතපුම් 37.5 ක් පමණවේ. මේ බදුලු ඔය සන්චාරක වශයෙන් බොහොම වැදගත් ස්ථාන කිහිපයක්ම නිර්මාණය කරනවා. දුන්හිද ඇල්ල, දෙමෝදර පාළම, කයිලගොඩ ස්වභාවික තටාකය මින් කිහිපයකි. බදුලු ඔය විසින් කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර 2ක්ද නිර්මාණය කරයි. 

දෙමෝදර

මේ දෙමෝදර යන නම හැදෙන්නේ ගංගා දෙකක් එකතු වීමෙන්. එනම් නාවල ඔය සහ හීල් ඔය. අතු ගංගා කියුවට මේවා කුඩා ඔයවල්. නමුත් දෙමෝදර වඩාත් ප්‍රසිද්ධ වූයේ මේ දෙගන් මෝය නිසා නොවෙයි. වෙනත් හේතුවත් නිසා. ඒ තමයි දෙමෝදර රේල් ගැටය. එනම් කොළඹ සිට දෙමෝදර දුම්රිය ස්ථානයට පැමිණි දුම්රිය මාර්ගය එම දුම්රිය ස්ථානය පිහිටි කන්ද වටේ තවත් සැතපුම් භාගයක් පමණ දුර ගෙවා රවුමක් ගොස් එම කන්දෙහිම දුම්රිය ස්ථානයට යටින් ඇති උමගකින් කන්ද යටට රින්ගා, මීටර් 172ක් බිංගෙය තුළින් ගොස් බදුල්ල දෙසට යයි. මේ සුන්දර නිර්මාණය ගැන සවිස්තරව වෙනමම ලිපියකින් කතා කල යුතු නිසා මෙසේ කෙටියෙන් විස්තර කෙරේ. බදුලු ඔයේ දුම්රිය පාලම පහිටන්නේ මේ අපි කියූ උමගට මද දුරක් ඉදිරියෙනි. එහි දිග මීටර් 100කි. 
 
දෙමෝදර දුම්රිය ස්ථානය

දෙමෝදර දුම්රිය ස්ථානය පිහිටි කන්ද වටා ගමන් කරන දුම්රිය

බදුලු ඔ්‍ය හරහා ගමන් කරන දෙමෝදර දුම්රිය පාලම

දෙමෝදර දුම්රිය ගැටය දළ දටහනක්

දෙමෝදර දුම්රිය ගැටය Google Maps වල දැක්වෙන අයුරු. කහ පැහැයෙන් දක්වා ඇත්තේ දුමිය මාර්ගයයි

මේ ත්‍රිමාන රූපයක්


බදුලු ඔයේ මුල් දියතු සොයාගෙන යන කෙනෙකුට නමුනුකුළ කන්දේ මුල් දිය සීරාවන් වෙත ලගා විය නොහැකියි. වනාන්තරය ඇතුළත ලගාවීමට ඉතාමත්ම දුෂ්කර සීමාවන් වල ඉදන් තමයි බදුලු ඔයේ මුලි දියතු ගල එන්නේ. ඒ නිසා ඊට කිලෝමීටර් 5ක් පමණ මෙපිටින් පිහිටි දෙමෝදරින් තමයි අපි බදුලු ඔයේ ගමන ආරම්භ කරන්නේ.

දුන්හිද ඇල්ල

දුන්හිද ඇල්ල

දුන්හිද ඇල්ල අපිට හමුවන්නේ දෙමෝදර සිට තවත් කිලොමීටර් 12ක් පමණ පහළට බදුලු ඔය දිගේ යන විටයි. මෙයි පිහිටලා තියෙන්නේ බදුල්ල නගරයට කිලෝමීටර් 5ක් පමණ දුරකින්. දුන්හිද ඇල්ල ලංකාවේ පිහිටි අති සුන්දරම දියඇලි වලින් එකක්. එහි උස අඩි 210කි. එනම් මීටර් 64කි. දිය ඇල්ල කඩා හැලෙන විට එයි නැගෙන ජලා වාෂ්ප වලින් සැදෙන දුම ඒ අවට ප්‍රදෙශය පුරාම පැතිරෙයි. දුන්හිද ඇල්ල යන නම ලැබීමට හේතුව එයයි. දිය ඇල්ලට ලගා වීමට කි.මී 1ක් පමණ පිවිසුමේ සිට පයින් ගමන් කල යුතුය. ඒ මාවත එතරම්ම පහසු මාවතක් නොවුනත් ඉතාමත්ම සුන්දර ගමනක්. වර්ථමානයේදී මෙය පාලනය කරනු ගලන්නේ සොරනාතොට ප්‍රාදේශීය සභාව මගින්ය. මේ දුන්හිද ඇල්ලට යන මාවතේම  මේ ඇල්ල හමුවන්නට කලින් තවත් කුඩා දියඇල්ලක් හමු වෙනවා. එය හදුන්වන්නේ කුඩා දුන්හිද නමින්. නමුත් නරඹන්නන්ට නම් ඒ ස්ථානයට ලගා විය නොහැකියි.

දුන්හිද ඇල්ල

මීට අමතරව බදුලු ඔයේ කුඩා විදුලි බලාගාර 2ක හමුවෙනවා. ඒ සොරනාතොට සහ කන්දකැටිය ප්‍රදේශයේ දී. මේ බලාගාර දෙකත් පසු කරගෙන තවත් කිලෝමීටර් 10ක් පමණ ගෙවාගෙන ගිහින්, මිණිපේ අමුණට පහළින් තමයි බදුලු ඔය මහවැලියට එකතු වෙන්නේ.

වේරගන්තොටින් මහියංගනයට ගොඩබසිමු

අපි බදුලු ඔය දිගේ ඇවිත් නැවතත් මහවැලි ගඟට බහිනවා. බදුලු ඔය වැටෙන තැන ඉදන් ඉදරියට ගඟ ගලන්නේ උතුරු දෙසටයි. මේ හරියෙදි මහවැලි ගග මීටර් 180ක් පමණ පළලකින් යුක්ත වෙනවා. අපි මහවැලි ගඟ දිගේ තවත් කිලොමීටර් 15ක් පමණ ගියාම අපි පිවිසෙන්නේ වේරගන්තොටට. ඒ කිවුවේ මහියංගනයට පිවිසෙන ගංතොටට. මහියගනය ඓතිහාසික පුරවරයට අපි පිවිසසෙන්නේ අපි මේ කියන වේරගන්තොටින්. ඒ කිවුවේ දැන් ඔය මහියංගනය පාලම අසල පිහිටි ගන්තොට. 

වේරගන්තොට Google Maps වල දැක්වෙන අයුරු


මහියංගනය ඓතිහාසික පසුබිම

අපි මේ කතා කරන වේරගන්තොටට එම නම ලැබුන අයුරු පිළිබදව කතා කිහිපයක්ම තිබෙනවා. එකක් තමයි මහියංගන වෙහෙර පිහිටා ඇති නිසා වෙහෙර මැදුම් පිදුමි කිරීමට ආගිය ගං තොට වේරගංතොට බවට පත් වූ බව එක් මතයක්. තවත් එක් කතාවක් තමයි, එක් කාලයකදී දුටුගැමුණු රජතුමා මහියංගන වෙහෙර බදින අතරෙදි රජතුමාට බුලත් සැපයූ බුලතා නැමැත්තා වැවක් බදිනවා. වැව බැද අවසන් කර බුලතා විසින් රජතුමාට වැව පෙන්වන්නට කැන්දාගෙන ගිය අවස්ථාවේ රජතුමා  මහත් පුදුමයට පත්වී බුලතා අමතා වෙහෙර ගං තොට. වැව දිය මට” කියා පවසා තිබේ. එසේ කියූ නිසා වෙහෙරගංතොට වී පසුව වේරගංතොට වූ බව කියැවේ.

දුටුගැමුණු රජුගේ සේනාව ගමන් ගත් මාර්ගය

            මහියංගනය හෙවත් බිංතැන්න අපේ ඉතිහාසයට අවස්ථා ගනනාවකදීම සම්බන්ධවේ. මේ මහියංගනය අවට භූමිය නාග සහ යක්ඛ ගොත්‍රිකයන් ගැවසුන භූමියක්. ඒ වගේම තමයි එළාර රජුගේ එක් බලකොටුවක් මහියංගනයේ පිහිටුවාගෙන තිබෙනවා. ගැමුණු කුමරුගේ සේනාව උතුරු දෙසට ගමන් කිරීමට තොරාගතතේ මහවැලිගග වැටී තිබූ මාර්ගයයි. එහිදී එළාර රජුගේ මහියංගන කදවුර අල්ලා ගැනීම ඉතා වැදගත් කාරණයක් විය. විජිතපුරය තරමි නැති වුවත් යම් දිගු සටනකින් පසු මහියංගනය අල්ලා ගැනීමට ගැමුණු කුමරුගේ සේනාවට හැකි විය.

            එපමණක් නොව මේ ඓතිහාසික බිම් පෙදෙසෙහි මහවැලි ගගින් මෙතෙර මිනිපේ ද්‍රෝණියෙන් මෙපිට ලම්භකර්ණ ගෝත්‍රක රජ පෙළපතක් බිහිවිය. වසභ, වංකතාසික තිස්ස, පළමුවන ගජබාහු ආදීන් එම පරපුරට අයත්ය. ඒ පමණක් නොව එම පරපුරටම අයත් වූ මහසෙන්, මහා වෙදැදුරු බුද්ධදාස, බොසත් සිරිසඟබෝ ආදීන්ද බිහිවූයේ මෙම පින් බිමේය. මහා රණශූරයෙකු වූ දෙවන රාජසිංහ බින්තැන්නේ දෙවියෝ නමින් හැදින්වූයේ ද මෙම බිමෙහි උපන් නිසා ය. එම පුණ්‍ය භූමියට පෙර දවස මහනුවර දෙසින් වන්දනාවේ ගිය සැදැහැවතුන් කමන් කළේ දුෂ්කර මාරගයක් ඔස්සේය. පෙර සිටි අපේ මුතුන් මිත්තන් මැද මහනුවර සිට කිරිපට්ටිය, මැදිවක, කලුන්තැන්න, උඩුවාහින්න, මහවෙල, බෝපාන පසුකොට ගල්පඩිපෙළ බැස වේරගන්තොටට පැමිණ එතැන සිට ඔරුවලින් මහවැලි ගඟ තරණය කර මහියංගනය වැදිමට ගිය බව පැරැන්නන් සදහන් කරයි. ඉහත සදහන් ගල්පඩිපෙළ දුටුගැමුණු රජුගේ පසුකාලීන යොධයෙකු වූ සොරබොර වැව ඉදිකළ බුලතාගේ නිර්මාණයක් බව ජනප්‍රවාදයේ එයි. මේ සියල්ලටම වඩා මහියංගනය වැදගත් වෙන කාරණයක් ඇත. ඒ මහියංගනයේ පිහිටි මියුගුණ සෑයයි.

මහියංගනය මියුගුණ සෑය

            බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් නම වැනි මාසයේ දුරුතු පුර පසලොස්වක පොහෝ දින ලංකාවට වැඩම කළහ. ඒ මහියංගනය මහානාගවනයෙහි යක්ෂ ගොත්‍රිකයන් සහ නාග ගොත්‍රකයන් අතර සිදුවන්නට ගිය සටනක් වැළැක්වීමටය. මහා වංශයෙහි සදහන් වන පරිදි ඒ ප්‍රථම ගමනේ දී බුදුන් වහන්සේ මහියංගන සෑරදුන් පිහිටි ස්ථානයේ වැඩ සිටි බව සදහන්වේ. උන්වහන්සේ එදින සවස් කාලයේ මහවැලි ගංතෙර පිහිටි මහානාගවනයෙහි රැස්ව සිටි යක්ෂ සමාගම දමනය කිරීම සදහා අහසට නැගී පෙළහර පෑ බවද අන්ධකාරයක් මවා ඔවුන් දමනය කළ බව ද දමනය කළ යකුන් ගිරි දිවයිනට පළවා හැර ලක්දිව මනුෂ්‍ය වාසයට සුදුසු දිවයිනක් බවට පත්කළ බව ද සදහන් වේ. 

            නමුත් වර්ථමාන වැදි නායක ඌරු වරිගේ වන්නිලෑ ඇත්තන්ගේ යක්ෂ දමනය පිළිබද මතය වෙනස් එකකි. අපි ඒ පිළිබදව දාඹානේදී කතා කරමු. කෙසේ හෝ ලංකාවේ පළමුවැනි චෙත්‍යය ගොඩනංවා ඇත්තේ අපේ කතාවට මුල් වූ මෙම ස්ථානයේය. සමන්තකූඨ පර්වත වාසී මහා සුමන දිව්‍ය රාජයා ද බුදුන් වහන්සේගෙන් ධර්මය ඇසීමට පැමැණි පිරිස අතර විය. බණ ඇසීමෙන් සෝවාන් ඵලයට පත්වූ සුමන සමන් දෙවියන් බුදුන් වහන්සේගෙන් පුද පූජාවන් කිරීම සදහා යමක් ඉල්ලා සිටියේය. බුදුන් වහන්සේ හිස පිරිමැද කේශ ධාතු මිටක් පමණ දෙවියන්ට දුන් සේක. රන් කරඩුවකින් එය පිළිගත් සුමන සමන් දෙවියන් සත් රියනක් උස සෑයක නිදන් කලේය. බුදුන් වහන්සේගෙ පරිනිවනින් පසුව ශරභු රහතන් වහන්සේ විසින් බුදු හිමියන්ගේ ග්‍රිවා ධාතු නිදන් කොට රියන් දොළහක් උසට එම සෑය බදවන ලදී. නමුත් පුරාවිද්‍යාතමක සාධක අනූව දැන් මෙම මතය වෙනස්වී ඇත. ඒනම් මෙහි තැන්පත් කර ඇත්තේ ග්‍රිවා ධාතුව නොව අකු ධාතුව බවය. එයට හේතු වී ඇත්තේ මේ අකු ධාතුව රැගෙන ආවා යැයි සැලකෙන කරඩුවක් ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරයේ තැන්පත් කර ඇති නිසාය. එහි කරෝෂ්ඨී අක්ෂරයෙන් "සේ ක ධාතු" යනුවෙන් සදහන් කර ඇති නිසා ශාක්‍යරාජයාණන් වහන්සේගේ අකු ධාතුව රැගෙන යන ලද කරඩුව යැයි විශ්වාස කෙරෙනවා.  

 
මියුගුණ සෑයේ පිවිසුම් මාර්ගය

            පසු කලෙක එනම් ක්‍රි. පූ. 267 දී පමණ දෙවනපෑතිස් රජුගේ සොහොයුරු උත්තිය රජු දොළොස් රියන් දාගැබ වසා තිස් රියන් දාගැබක් සාදවන ලදී. ක්‍රි. පූ. 161 දී පමණ අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු රජු අසූරියන්  උස මහා චෛත්‍යයක් කරවීය. වසර 24ක් පමණ සිරිලක සරු සාරවත් කරමින් බුදු සසුන බැබැළ වූ දුටුගැමුණු රජු සර්වඥ ධාතූන් වහන්සේ 160 නමක් සහිත කරඩුවක් මෙම චෛත්‍යයේ තැන්පත් කරවීය. වරින් වර රජ වූ ධාතුසේන, සිරිසඟබෝ, අග්බෝ, පරාක්‍රමබාහු ආදී රජවරු මෙම සෑය ප්‍රතිසංස්කරණය කර අලංකාර කළහ. පළමුවැනි විජයබාහු රජු සොළින් සමග සටන් කරන කාලයේ දී මහියංගනයේ කදවුරු බැද සිටියේය. එවකට මහියංගන දාගැබ නටඹුන්ව පැවැතියේය. රජතුමා ජයග්‍රහනයෙන් පසුව දාගැබ පිළිසකර කරවා ඇත. කීර්ති ශ්‍රි නිශ්ශංකමල්ල රජු මියුගුණ මහ වෙහෙර ප්‍රතිසංස්කරණය කල බවද සදහන්වේ. 

            දෙවැනි විමලධර්මසූරිය රජ සමයේ (ක්‍රි. ව. 1687 - 1707) ඔලන්ද හමුදාව විසින් මියුගුණ සෑය කොල්ලකෑ බව ඉතිහාසයේ සදහන් වේ. ඉන් පසුව විදේශීය ආධිපත්‍යයට යටත්ව තිබූ කාලයේ දිගින් දිගමට නටඹූන් බවට පත්වූ මහියංගන දාගැබ 1857දී ඉද්දමල්ගොඩ ධර්මපාල හිමියන් විසින් ද, 1871 දී යටවත්තේ චන්ද්‍රජෝති හිමියන් විසින්ද ප්‍රතිසංස්කරණ කටයුතු කරවා ඇතත් එතැන් පටන් නිදහස ලැබෙන තුරු නැවතත් චෙත්‍යය ගරා වැටී ඇත.

ක්‍රි. ව 1949 වන විට ගර්භයේ උඩ කොටස කඩා වැටී ඇත. ගර්භයේ විශාල කොටසක් පුපුරා ඇදහැලෙන තත්වයටකට පත් විය. නිදහස් ලංකාවේ ප්‍රථම අගමැතී වූ මහමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමන්ගේ ප්‍රථම කාර්යය වූයේ මෙම සෑයේ ප්‍රතිසංසකරණ ඇරඹීමයි. එම ප්‍රතිසංසකරණයෙන් පසුව 1961 සැප්තැම්බර් මස 21 වන දින ඩී. එස් සේනානායක මහතා විසින් කොත පළදවා තිබේ.   
     
මහියංගනය මියුගුණ සෑය
ඩී.එස් සේනානායක මහතා විසින් මෙහි කරන ලද ප්‍රතිසංස්කරණයේ දීපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා සාරිස්වරයා වූ ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් පර්යේෂණ කැනීමකට මහියංගනය යොදා ගන්නා ලදී. මහියංගන දාගැබ කැනීමේදී ආචාර්ය පරණවිතානයන්ට ලංකාවේ ප්‍රථමවරට දාගැබක් තුළ ධාතු ගර්භයෙහි බිතු සිතුවම් තිබුණු බවට සාධක හමු විය. මෙම ධාතු ගර්ය අයත් වූයේ අපි කලින් සදහන් කල විජයබාහු රජුටයි. මහියංගන දාගැබ සංරක්ෂණ කිරීම පමණක් නොව එහි බිතුසිතුවම් ද එම ධාතු ගර්භයෙහි තිබී හමු වූ ලෝකඩ අශ්වාරෝහක හා අනෙකුත් රූප සහ පූජනීය වස්තුද ඒ රජුගේ කාලයේ දී නිම කරන ලද බව පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් සනාථ වේ. නමුත් මෙම කැණිම කළ දින රාත්‍රියේ මහා වර්ෂාවක් වැස ධාතු ගර්භය තුළ තිබූ චිත්‍ර ආදී බොහොමයක් දේ විනාශෙයට පත් වෙනවා. නමුත් පරණවිතානයන්ගේ සහ අනෙකුත් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙහි චිත්‍ර කීපයක් ඵලක පිටින් බේරා ගන්නවා. ඒ චිත්‍ර දැනට අනුරාධපුර කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.
           
මහියංගනය මියුගුණසෑයේ ධාතු ගර්භයෙන් මතුවූ චිත්‍ර

No comments:

Post a Comment