පෙර ලිපිය මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 14
මිණිපේ දකුණු ඉවුරු ඇළ දිගේ ඇවිද යමු
මහවැලි ගඟ යනු හුදෙක් උල්පතකින් ආරම්භවී මහ මුහුදට ගලා ගන ගංගාවක් නොවෙයි. මෙය ලංකාවේ මානව ශිෂ්ඨාචාරයේ හදබිමයි. මානව ශිෂ්ඨාචාරයේ උන්නතිය වෙනුවෙන් දියවර සපයන මහා නදියයි. මේ මහා නදියත් එහි අතු ගංගාත් මානව ශිෂ්ධඨාචාරයට කර ඇති සේවය මෙපමණකැයි කිව නොහැකිය. එය එතරම්ම ජන හදවත් වලට සමීපය. ඊජිප්තුවේ නයිල් ගඟ සේම, ඉන්දියාවේ ඉන්දු නදිය සේම, චීනයේ හොවැංහෝ නදිය සේම, ලංකාවේ මහවැලි නදිය ශ්‍රි ලාංකික ශිෂ්ඨාචාරයේ හදබිමයි.
![]() |
මිනිපේ අමුණ |
අපි කතා කරමින් පැමිණි මිණිපේ දකුණු ඉවුරු ඇල මිණිපේ අමුණ අසලින් ආරම්භ වී උල්හිටිය-රත්කිද නිවුන් ජලාශ දක්වා කිලෝමීටර් 30ක් දුර ගෙවා යනවා. මේ ඇල V අකුරේ හැඩයට තමයි නිම කරලා තියෙන්නේ. මෙහි උඩ මට්ටම මීටර් 26කුත් යට මට්ටම මීටර් 6කිනුත් යුක්ත වෙනවා. මේ ඇල මගින් මහවැලි E සහ C කලාප වල කුඹුරු හෙක්ටයාර 70000කට පමණ මහවැලි දියවර නිකුත් කිරීම සිදු කරයි. මෙම ඇලෙන් ගෙන යන ජලය මාදුරු ඔයජලාශයෙන් අවසන් වුවත් එතැන් සිට මාදුරු ඔය ලෙසින් වැලිකන්ද පුනානි ප්‍රදේශ හරහා ගොස් මඩකලපුව කල්කුඩා ප්‍රදේශයෙන් මුහුදට වැටෙනවා.
දකුණු ඉවුරු ඇල දිගේ ගමන් කරන අපිට මේ ඇලේ දියවරෙන් පෝෂණය වන සුවිශාල ජලාශ හයක් හමුවෙනවා.
01. ලොග්ගල් ඔය ජලාශය
02. හිප්පොල ඔය ජලාශය
03. දියබාන ඔය ජලාශය
04. උල්හිටිය ජලාශය
05. රත්කිද ජලාශය
06. මාදුරු ඔය ජලාශය
මේ හැම ජලාශයක්ම සුවිශාල ජල භාරයක් ගබඩා කරගත හැකි ලෙසයි නිර්මාණය කර ඇත්තේ.
![]() |
මහවැලියෙන් පෝෂණය වන ජලාශ වල පිහිටීම |
ලොග්ගල් ඔය ජලාශය
අපි මේ කතා කරපු මිණිපේ දකුණු ඉවුරු ඇළ දිගේ කිලෝමීටර් 2ක් විතර ඇවිදගෙන යනකොට අපිට හමු වෙනාවා ලොග්ගල් ඔය ජලාශය. මේ ජලාශයේ එක් පෝෂකයක් තමයි ලොග්ගල් ඔය. මේ ඔය පටන් ගන්නේ පස්සර, නමුණුකුල කදු පන්තිය සහ මඩොල්සිම ප්‍රදේශයෙන්. මේ ජලාශය නිර්මාණය කරන්න කලින් මේ ඔය සැතපුම් 28 විතතර දුර ගෙවාගෙන ඇවිත් මහවැලියට වැටුනා. මේ ඔයත් හරස් කොට මිණිපේ දකුණු ඉවුරත් සම්බන්ධ කොට තමයි මේ ලොග්ගල් ඔය ජලාශය නිර්මාණය කරන්නේ. ලොග්ගල් ඔය දිය ඇලි 2ක් නිර්මානය කරනවා. එකක් තමයි මඩොල්සිම හරියෙදි හමුවෙන අරදුණු ඇල්ල. අනෙක් ඇල්ල තමයි බදුල්ල මීගහකිවුල ප්‍රෙද්ශයේ පිහිටා ඇති දුන් ඇල්ල. මේ ජලාශයේ විශේෂත්වය තමයි සිග් සැග් ක්‍රමයට සදා ඇති මෙහි පිට වාන. මෙය Irrigation engineering වලදී Labyrinth spillway කියල තමයි හදුන් වන්නේ. මේ විදියට ලොග්ගල් ඔය පුරවන මිණිපේ දකුණු ඉවුරු ඇල මීළගට ගමන් කරන්නේ හිප්පොල ඔය ජලාශය වෙත.
![]() |
ලොග්ගල් ඔය ජලාශයේ පිට වාන |
![]() |
ලොග්ගල් ඔය ජලාශයේ තවත් සුන්දර දසුනක් |
![]() | |
ලොග්ගල් ඔය ජලාශය Google Maps වල පෙන්වන අයුරු |
හිප්පොල ඔය ජලාශය
ලොග්ගල් ඔයේ ඉදන් නිකටුපිටිය මාපාකඩ වැව පාරේ කිලෝමීටර් 1.5ක් විතර ගියාම අපිට හමු වෙනවා හිප්පොල ඔය ජලාශය. මෙ වැව නිකටුපිටිය වැව කියලත් හදුන්වනවා. මේ වැවේ පිට වානත් ලොග්ගල් ඔයේ වානට සමානව සිග්සැග් ක්‍රමයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මිණිපේ දකුණු ඉවුරු ඇල මේ ජලාශයත් පුරවාගෙන මීගලගට යන්නේ දියබාන ඔය වෙතටය.
![]() |
හිප්පොල ඔය ජලාශය Google Maps වල පෙන්වන අයුරු |
දියබානා ඔය
දියබාන ඔය හරස් කරමින් තමයි දියබානා ඔය නිර්මාණය වන්නේ. මේ ජලාශය නිර්මාණය කිරීමෙන් මහියංගයනයේ සොරබොර වැවේ ප්‍රධානම පෝෂකය වන මේ දියබානා ඔයෙන් වැවට ලැබෙන ජලය අවහිර වී යනවා. මේ නිසා දියබානා ඔයට කලින් මිණිපේ දකුණු ඉවුරු ඇලෙන් දියබානා ඔය ජලාශයට පෙර කොටසේ ඇති පිටවුමකින් සොරබොර වැවට ජලය සපයනු ලබනවා. මේ නිසා අඩුවකින් තොරව වසර පුරා සොරබොර වැවේ ජලය පවතී. දියබාන ඔයත් පිරවූ දකුණු ඉවුරු ඇළ මීලගට ගමන් කරන්නේ උල්හිටිය ජලාශයට.
![]() |
දියබාන ඔය ජලාශය |
![]() |
දියබාන ඔය ජලාශය |
![]() |
දියබාන ඔය ජලාශය Google Maps වල පෙන්වන අයුරු |
උල්හිටිය සහ රත්කිද ජලාශ
දියබානා ඔයෙන් මෙපිටට ගමන් කරන දකුණු ඉවුරු ඇල තවත් කිලෝමීටර් 3.5ක් පමණ ගමන් කර උල්හිටියාව හරියෙදි උල්හිටිය ඔයට එකතු වෙන ලෙස තමයි නිර්මාණය කර ඇත්තේ.. එතැනදි මෙතෙක් දුර කොන්ක්‍රීට් පතුලක් සහිතව පැමණි දකුණු ඉවුරු ඇල අවසන් වෙලා ඒ සියලුම ජලය උල්හිටිය ඔය දිගේ ගමන් කර උල්හිටිය ජලාශයට ගමන් කරනවා. මුලදී බිබිල රිදීමාලියද්ද වැනි ප්‍රදේශ වලින් ඇරඹුනු උල්හිටිය ඔය කිලෝමීටර් 40ක් පමණ මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම ඔස්සේ ගලාගෙන විත් මහවැලි ගග සමග එකතු වුනා. නමුත් 1980 දශකයේ මහවැලි මහ සැලැස්ම යටතේ මිනිපේ දකුණු ඉවුරු ඇල ඉදිකිරීමත් සමග උල්හිටිය ඔය හරස් කොට නිවුන් ජලාශ දෙකක් වන උල්හිටිය සහ රත්කිද ජලාශ දෙක ඉදි කරනු ලබනවා. මේ ජලාශ දෙක ගබඩා ජලාශ ලෙසයි හදුන්වන්නේ. උල්හිටිය ඔයෙන් සහ දකුණු ඉවුරු ඇලෙන් එන ජලය ගබඩා කරගන්නා උල්හිටිය ජලාශයෙන් මීටර් 500ක් පමණ දිග ඇළ මාර්ගයකින් රත්කිද ජලාශය දක්වා ජලය රැගෙන යනු ලබනවා. මෙම නිවුන් ජලාශ දෙකේම වේල්ලේ දිග කිලෝමීටර් 3.3ක් පමණ වේ. මේවායේ ධාරිතාවය ඝන මීටර් මිලියන 146කි. මහවැලි C කලාපයේ ඉඩම් හෙක්ටයාර 22800කට මෙම ජලාශ මගින් දියවර සපයනවා.
![]() |
උල්හිටිය ජලාශය |
මේ ජලාශ මගින් පටන් ගන්නා ඇළ මාර්ගයක් මහවැලි C කලාපය වෙත ගමන් කරනවා. එම ජලය විවිධ ඇලමාර්ග සහ වැව් ඔස්සේ කිලෝමීර් 40ක් පමණ ගෙවා ගොස් දෙහිඅත්තකණ්ඩිය, පරසන්ගස්වැව, නුවරගල, සිරිපුර, දිඹුලාගල, අරලගංවිල ප්‍රදේශ දක්වා මහවැලි දියවර ගෙනයනු ලබනවා. අපි මේ කතා කරපු රත්කිද ජලාශයේ එක් කෙලවරකින් පටන් ගන්න උමගකින් මේ මහවැලි ජලය මාදුරුඔය ජලාශය දක්වාම ගෙනයනවා. මාදුරුඔය යනු හෙළ වාරි කර්මාන්තයේ තවත් එක් සුවිශේෂි සළකුණකි.
මාදුරු ඔය ජලාශය
ජලාශය සැලසුම් කිරීම
1970 දශකයේ මුල ආරම්භ වූ මහවැලි ව්‍යපාරය, 1977 දී බලයට පැමිණි රජය විසින් කඩිනම් සැලසුමක් බවට මහවැලිය පෙරළන ලදී. ඒ අනූව කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රංටැඹේ සහ මොරගහකන්ද යන පංච මහා ජලාශ ඉදිකිරීමට සැලසුම් කෙරුණි. මෙහිදී මොරගහ කන්ද හැරෙන්නට අනෙක් ජලාශ ඉදිකෙරුණි. නමුත් මහියංනයේ සිට ත්‍රිකුණාමලය දක්වා කොටසේ මහවලි ගගේ දකුණු ඉවුරේ පිහිටි මඩකලපුව, කල්කුඩා වැනි ප්‍රදේශ වලට ජලය සැපයීම සදහා ජලාශයක් ඉදිකිරිම පිළිදබව අවධානය යොමු කෙරුණි. එහි ප්‍රතිඵලයක් ලෙස මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුමෙන් පටන් ගෙන කල්කුඩා ප්‍රදේශයෙන් මුහුදට වැටෙන ‘මාදුරු ඔය’ හරස් කොට ජලාශයක් ඉදිකිරීමට තීරණය කෙරුනා.
![]() |
මාදුරු ඔය ජලාශය |
ජලාශය ඉදිකිරීම
මේ තීන්දු තීරණ වලට අනූව මාදුරු ඔය ගලන ගමන් මගේ පටුම ස්ථානයේ පිහිටි කදු දෙකක් වන දානගල කන්ද සහ කන්දෙගල කන්ද යාකරමින් මීටර් 1090ක් දිග සහ මීටර් 41 ක් උස වේල්ලක් ඉදි කෙරෙනවා. මේ ජලාශ හෙක්ටයාර 6390ක් පුරා පැතිර ඇති අතර එහි ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 597කි. මේ මගින් හෙක්ටයාර 35000කට දියවර සපයනු ලබයි. මෙම වේල්ල සාදා ඇත්තේ ගල් සහ මැටි මිශ්‍ර බැම්මකිනි. මෙම වේල්ලේ ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 1978දී වන අතර 1982 පෙබරවාරි 14 වැනි දින ජනතා අයිතියට පත් කෙරුණි. මේ සදහා ඉංජිනේරු තාක්ෂණික දායකත්වය ලබාදුන්නේ කැනඩා රජයයි. එ වගේම ව්‍යාපෘතියේ සමස්ථ වියදමෙන් 60%ක් එනමි රපියල් මිලියන 1500ක් කැනඩා රෙජයෙනුත්, 40% එනම් රුපියල් මිලියන 1100ක් ලක් රජයෙනුත් දායක කර ජලාශය ඉදි කරන ලදී. මාදුරු ඔය යනු වසරේ සෑම කාලයකදීම යහපත් ලෙස ජලය ලැබෙන ඔයක් නොවේ. ඒ නිසා මෙම ජලාශයේ පූර්ණ ධාරිතාවයට ජලය පුරවා ගැනීමට මහවැලි දියවර සැපයීමට තීරණය කරන ලදී. එ් අනූව රත්කිද ජලාශයේ සිට කිලෝමීටර් 5ක උමගක් මගින් මාදුරු ඔය ඔය ජලාශයට දියවර සැපයිනි. රත්කිද ජලාශයේ සිට උමගක් මගින් ජලය ගෙන යාමට ප්‍රධානම හේතුව වන්නේ මාදුර ඔය වනෝද්‍යානයයි. එහි අරමුණ කොන්ක්‍රිට් පතුලක් සහිතව වේගයෙන් ජලය ගලන ඇලකින් වනෝද්‍යානයේ සිටින සතුන්ට වන හානිය නැති කරගැනීමත් ඇලක් නිසා වනෝද්‍යානය දෙකඩවීමත් වළක්වාගැනීමය.
![]() |
මාදුරු ඔය ජලාශය |
![]() |
රත්කිද ජලාශයේ සිට මාදුරු ඔයට ජලය ගෙන යන උමග |
![]() | |
රත්කිද ජලාශයෙන් උමගට ජලය ඇතුල්වන තැන |
![]() |
මාදුරු ඔය දෙසට ජලය පිට වන තැන |
පුදුමයෙනුත් පුදුමයට පත්වුන කැනඩා ඉංජිනේරුවන්
ජලාශයක් සැදීමට ප්‍රථම විශාල මිනින්දෝරුමය මිනුම් කාර්යයන්, භූගෝල විද්‍යාත්මක අධ්‍යයනයන් මෙන්ම භූගර්භ විද්‍යාත්මක අධ්‍යනයන් විශාල ප්‍රමාණයක් කල යුතුව ඇත. මේ පරීකෂණ වාර්තා සියල්ල අධ්‍යනය කිරීමේන් පසුව තමයි ජලාශයේ බැම්ම ඉදි කිරීමට සුදුසුම ස්ථානය තීරණය කරනු ලබන්නේ. මේ මාදුරු ඔය ජලාශය ඉදිකිරීමට තාක්ෂණික සහය ලබා දුන් කැනඩා ඉංජිනේරුවන්ද මෙවැනි පරීක්ෂණාත්මක අධ්‍යයනයන් බොහොමයකින් පසුව දානගල කන්දත් කන්දෙගල කන්දත් අතර පටුම ස්ථානය මේ සදහා තෝරාගන්නා ලදී. ඒ අනූව බැම්ම ඉදිකිරීම සදහා පස් කපන යන්ත්‍ර සූත්‍ර භාවිතා කර මෙහි මූලික කැනීම් සිදු කරන විට ඔවුන් මවිතයට පත් කරමින් ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් කාරණයක් මතුවෙනවා.
ඒ තමයි 1981දී මේ නාවීන තාක්ෂණික ගණනය කිරීම් වලට අනූව යෝජනා කළ තැනම මීට වසර ගණනාවකට පෙර ඉදි කරන ලද ජලාශයක බිසෝකොටුව සොරොව්වක නටඹුන් හමුවීමය. මේ අවස්ථාවේ තමන් භාවිතා කරන තාක්ෂණයටත් එහා ගිය තාක්ෂණයක් අතීත ශ්‍රී ලාංකික වාරි ඉංජිනේරුවන් සතුව තිබුණ බව දැන ගැනීමේන් ඔවුන් මවිතයට පත්වූ බව සදහන් වේ. මේ අතීත වාරි ඉංජිනේරුවන්ට කරන ලද ගෞරවයක් වශයෙන් මේ කැනේඩියානු ඉංජිනේරුවන් තම හිස පැළදි හිස්වැස්ම ගලවා ගෞරව සමාචාර කල බව සදහන් වේ. මන්ද යත් ඔවුන් මේ කැණීම් ආරම්භ කරන විට පැරණි ජලාශයක කිසිම සලකුණක් හෝ තිබී නැත. පසුව මේ පුරා වස්තු සහිත ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවට භාර දුන් කැනඩා ඉංජිනේරුවන් ඊට මදක් පිටුපසින් නව වේල්ල ඉදි කළහ.
![]() |
මාදුරු ඔය ජලාශයේ පිහිටීම |
![]() |
මාදුරු ඔය ඉපැරණි සොරොව්ව |
මදුරු ඔය සොරොව්වේ ඓතිහාසික පසුබිම
විශේෂීත ජ්‍යාමිතික ක්‍රමයකට සකස් කරන ලද අතිශයින්ම දියුණු තාක්ෂනික ක්‍රමයකින් යුත් සොරොව්වක් ලෙස මෙයි හසුනාගනෙ ඇත. මෙහි හමුවුන නටඹුන් වල කොටස් ඇමරිකාවේ කාබන් 14 කාල නිර්ණ පරීක්ෂණයට යොමු කිරීමේන් මෙය ක්‍රි.පූ පළවැනි සියවසට අයිති බව සොයාගැනුනා. එනම් අදින් වසර 2000කටත් එහා කාලයක. එම කාලය සලකා බලන විට කූඨකන්න තිස්ස රජු විසින් මෙය නිර්මාණය කලා යැයි සැක කෙරුනා. එය එසේ නොවේ යැයි තර්ක මතු වූ නිසා තවත් සොයා බැලීම් සිදු කෙරුණා. ඒ අනූව මහසෙන් රජුගේ සොලොස් මහ වැව් වලින් මහාදාර ගල්ලක වාපි නමින් හැදින් වෙන වැව මේ යැයි හදුනා ගත්තා. මෙහි මහාදාර ගල්ලක යන්නෙන් ගල්ලක කොටස ඉවත් වී මහාදාර පසුව මහදුරු-මාදුරු වූ බවට මත පල වෙනවා. ඒ ලෙසින් මෙය මහාදාරගල්ලක වාපී නම් මහසෙන් රජුට පසුව එන ධාතුසේන රජු, මහා පරාක්‍රමබාහු රජතුමා වැනි අය මෙය තවත් වැඩි දියුණු කළ බව වංශ කතා වල සදහන් වේ.
මේ අපූරු ක්‍රමයකට සාදා ඇති සොරොව්වේ තරමක් කුඩා විවරයකින් ඇතුල් වන ජලය ඇතුළත ගුහාවක් වැනි ගර්භයකට පිවිසේ. පසුව ඊට වඩා පළල් අමානයක් සහිත විවරයකින් එළියට ජලය නිකුත් වීම සිදුවේ. මේ ගර්භය තුළ තිබී කැටයම් පුවරුවක් මතුවී තිබෙනවා. එහි නැට්ටුවන් බෙරකාරයන් වැනි චරිත කැටයම් කර තිබූ බවට අනුමාන කල හැකි පුරාවස්තුවක්. මෙය තැන්පත් කර ඇත්තේ කිසියම් වූ දේව විශ්වාසයක් මත යැයි සැලකේ. නමුත් අද වන විට එය දැකගත නොහැක්කේ තුච්ච නිධන් මංකොල්ල කරුවන්ට මෙය හසුවී විනාශ කර ඇති නිසාය.
මෙවන් වූ ශ්‍රේෂ්ඨ නිර්මාණයන් කිරීමට අතීතයේ සිටි අති දක්ෂ වාරි ඉංජිනේරුවන්ට අපගේ ගෞරව පූර්වක අචාරය පුද කරමු.
පැරණි බිසොකොටුව සොරොව්වේ විද්‍යාත්මක පසුබිම
බිසෝකොටුව සොරොව්ව අංග කිහිපයකින් සමන්විත වේ. එනම් ජලය ඇතුලු වන කුඩා විවරයෙ, ගර්භය. මෙය බොහෝවිට හතරැස් ලිදක හැඩය ගනී. නමුත් මාදුරු ඔය බිසෝකොටුවේදී නම් ජ්‍යමිතික හැඩ තල මීට වඩා වෙනස්ය. අනෙක් කොටස ජලය වැව් බැම්ම හරහා ඇළට මුදාහරින තරමක් විශාල විවරය වේ. මෙහිදී සුදුවන්නේ කඩා විවරය තුළින් වඩා වැඩි පීඩනයකින් ගර්භයට එකතුවෙන ජලයේ පීඩනය විශාල විවරය තුළින් යන විට අඩුවේ. මේ නිසා පීඩනයෙන් ඇති වන දෙදරීම් නිසා වැව් බැම්මට සිදුවන හානිය වැළකේ. මාදුරු ඔයේ දී නම් සාමාන්‍ය සාම්ප්‍රදායික බිසෝ කොටුවට වඩා තවත් බොහෝ දියුණු කළ තාක්ෂණයක් යොදාගෙන ඇති බව පැහැදිලි කරුණකි.
මාදුරු ඔය ලිඛිත ඉතිහාසය පිළිබදව විමසීමේ දී එළාර දුටුගැමුනු යුද්ධයේ දී දුටුගැමුණු රජුගේ සේනාව එක් රැස් කළ ප්‍රධාන ආරක්ෂක ස්ථානයක් ලෙසට මාදුරු ඔය ආශ්‍රිත හෙන්නානිගල හා උණුකිරිගල යන ස්ථාන ඉතිහාසයේ සදහන් වෙයි. යුධ සේනාවට කිරි උණුකර බීමට දුන් ස්ථානය උණුකිරිගල නම් වූ බැව් ජනප්‍රවාද පෙන්වා දෙයි. මාදුරු ඔය අවටින් සොයාගත් ප්‍රාහ්මී ශිලා ලිපි 11ක් මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් ප්‍රකාශිතය. මේවා ක්‍රි.පූ 3වැනි සියවස සිට ක්‍රි.පූ 1වැනි සියවස අතර කාලවකවානුවට අයත් වේ. මේවායින් 10ක්ම තිබෙන්නේ කද්දෙගම කන්දේය. අනෙක ඇත්තේ කොනත්තේගොඩය. මාදුරු ඔය අවට පළාතේ බුදු හදහම හෙඑාදින් මුල්බැසගෙන තිබූ බවට මෙකී ශිලා ලිපිවලින් හෙළිදරව් වන කරුණු සාක්ෂි දරයි. 19 වැනි සියවසේ දී මාදුරු ඔය හදුන්වාදෙන නාමය මාදර ඔය බව එචි. පී. පී. බෙල් මහතාගේ වර්ෂ 1897 වාර්තාවේ සදහන් කරුණුවලින් ස්නාත වෙයි. මෙහි ද්‍රවිඩ ව්‍යාවහාරය මන්දුර ආරු බව ආර්. එල්. බ්‍රෝහියර් සදහන් කොට ඇත. මාදුරු ඔය යන නම ප්‍රථමවරට ලේඛනගත කර ඇත්තේ වර්ෂ 1951 සී සී. ඩබ්. නිකලස් මහතා විසිනි.
1983 නොවැම්බර් 9 වන දින සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පණත අනූව හෙක්ටයාර 58850ක භූමි ප්‍රමාණයක් සහිතව මාදුරු ඔය ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කරන ලදී. මහැවැලි ව්‍යාපෘතිය යටතේ ජලාශ සදහා පෝෂක ප්‍රෙද්ශයක් ලෙස මෙම උද්‍යානය ස්ථාපිත කර ඇති අතර අලි ඇතුන් ඇතුළු වන ජීවීන් සදහා වාසස්ථාන සපයයි. අලින් සදහා ප්‍රසිද්ධ මාදුරු ඔය වනෝද්‍යානයේ දිවියා, කොටියා, වලහා, ගොනා, මුවා, වල් ඌරා, තිත් මුවා, උනහපුළුවා, නරියා, මීමින්නා, හායා, උරුලෑවා, කබල්ලෑවා, ඉත්තෑවා සහ කුළුහරකුන් වැනි තවත් සත්ව විශේෂ බොහෝ ගණනක් හමුවේ. ඒ වගේම ජලාශ ආශ්‍රිතව හැල කිඹුලා, කබරගොයා, ඉබ්බන්, සරපයන්, වැනි උරග විශේෂ බොහොමයක්ද හමු වෙයි. මෙහි ජීවත් වෙන පක්ෂීන් අතර පැස්තුඩුවා, සුදු මැදි කොකා වැනි කොක් විශේෂත්, දියකාවා, සේරුවා වැනි ජලජ පක්ෂීනුත්, වළි කුකුලා, කොට්ටෝරුවා, කුරුළු ගොයා, කළු උකුස්සා වැනි පක්ෂී විශේෂ 100ක් පමණ දැකිය හැකිය.
සියලුම වියළි කලාපීය වෘක්ෂලතා මාදුරු ඔය උද්‍යානයේ දැකිය හැකිය. වීර, පලු, බුරුත, කළුවර, වෙලන්, බෙලි, ඇහැළ, කුඹුක්, මිල්ල, කෝන් සහ දිවුල් ඒවායින් සමහරකි. කෙසේවෙතත්, විශාල ගස් සියල්ලම විනාශ කර විවෘත තැනිතලා බවට පත්කළ හේන් වගා කරුවන් සහ දැව ජාවාරම් කරුවන් විසින් දූෂණය කරන ලද වනානත්රයේ සමහර කොටස් දැකීමට ලැබීම කනගාටුවට කරුණකි.
![]() |
මාදුරු ඔය ප්‍රදේශයේ පිහිටීම |
No comments:
Post a Comment