අපි සොරබොර වැවට යමු
බදුලු ටැම් ලිපිය
මහියංගනයට
යන ඕනැම කෙනෙකුට මතක් වෙන තැනත් තමයි සොරබොර වැව. මේ සොරබොර වැව පිහිටි ගමේ
ඉතිහාසයෙන් ඉතාම වැදගත් කාරණා බොහොමයක් කියවෙනවා අපි මේ කියන සොරබොර ගමෙන් හමුවූ
සොරබොර ටැම් ලිපිය හෙවත් බදුලු ටැම් ලිපියෙන්. එහි එක් තැනක සදහන් වෙනවා හෝපිටිගම්පදිය
යනුවෙන්. ඒ හෝපිටිගම්පදිය තමයි අපි අද සොරබොර ජනපදය යනුවෙන් හදුන්වන්නේ. අපි මේ
කියන ටැම් ලිපිය බදුලු ටැම් ලිපිය ලෙසින් හදුන්වන්නේ විශේෂ හේතුවක් නිසා. ඒ තමයි 1857දී බදුල්ල උප ඒජන්ත ලෙස කටයුතු කළ ජෝන් බෙලී විසින් සොරබොර පෙදෙසේ තිබී
මෙය සොයාගෙන බදුල්ල කච්චේරියේ තැන්පත් කිරීම නිසා.
![]() |
බදුල්ල කච්චේරියේ තැන්පත් කර ඇති සොරබොර ටැම් ලිපිය |
මේ සෙල්ලිපිය පිහිටුවන්නේ ඉතාම අපූරු සිදුවීමක් නිසා. ඒ තමයි මේ යුගයේ ලක්දිව රජකම් කළ උදය රජතුමාට සිදුවෙනවා සොළී ආක්‍රමණයකට මුහුණදීමට. ඒ හේතුවෙන් රජතුමා මාගම් පුරවරය පැත්තේ සැගවී සිටිනවා. ඒ අක්‍රමණය මැඩ පැවත්වීමෙන් පසු රජතුමා මහියංගනය හරහා අනුරාධපුරය බලා පිටත්වෙනවා. ඒ ගමනේ දී රජතුමා මහියංගන වෙහෙර වදින්නට යනවා. එහිදී ගැමියන් රජුට සන්නසක් භාර දෙනවා. ඒ සන්නසේ තිබුනේ එක්තරා පෙත්සමක්. ඒ පෙත්සමේ සදහන් වූයේ පෙර රජදරුවන් පනවා ඇති නීති රීති උල්ලංගනය කරමින් ජනතාව තලා පෙලමින් බදු අය කරන බවයි. ඉතින් රජු වහාම මේ පෙත්සම විභාගයට ගනු ලබනවා. මේ සියලුම කරුණු සලකා බැලීමෙන් පසුව ඒ පිළිබදව තමන්ගේ තීන්දු තීරණ සදහන් කරමින් රජතුමා මේ සෙල්ලිපිය පිහිටවනු ලබනවා.
![]() |
බදු එකතු කරන නිලධාරීන් |
පැති හතරකින් සමන්විත මේ ටැම් ලිපියේ උස අඩි 8යි අඟල් 5කි. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති දීර්ඝතම සෙල්ලිපිය මෙයයි. එහි එක් පැත්තක් අඩි 10 ½ක් වන අතර අක්ෂර පේළි 47කි. තවත් පැත්තක් අඩි 9ක් වන අතර, අක්ෂර පේළි 49කි. අනෙක් දෙපැත්ත අඩි 10 බැගින් පළල වන අතර, අක්ෂර පේළි 49 හා 50 බැගින් වේ. මෙහි මුලු අක්ෂර ගණන 2000කි. මේ ලේඛනය අනුරාධපුර යුගයේ අවසාන කාලය වූ ක්‍රි. ව. 10වැනි සියවසට අයත් අක්ෂර වලින් යුක්තය. අනුරාධපුර යුගයේ උදය නමින් රජවරු හතරදෙනෙක් රජ වූහ. අක්ෂර ලක්ෂණ අනූව මේ ලිපිය iv වැනි උදය රජ (ක්‍රි.ව. 946 - 954) කාලයට අයත් යැයි සැලකේ.
![]() |
බදුලු ටැම් ලිපියේ පිටපතක් |
පුර්වයෙහි සිට පවත්වාගෙන ආ බදු ක්‍රම වලට අනූව යමින් මේ බදු පනවන ලද බව ලේඛනයෙහි සදහන්ය. ක්‍රි. පූ. 6 වැනි සියවසට පෙර ශ්‍රි ලංකාව වෙළෙද කටයුතු පිළිබද චිර ප්‍රසිද්ධව තිබිණි. ඒ අනූව දේශීය හා විදේශීය වෙළෙදාම මේ රට තුළ සාර්ථකව ක්‍රියාත්මක වූ බවට මේ සෙල්ලිපිය සාධකයකි. බදු අයකිරීමට ගෙවල් වලට යෑම අඹුදරුවන්ට පීඩාවන සේ කඩාවැදී බදු අයකරගැනීම මේ ටැම් ලිපිය මගින් තහනම් කොට ඇත. ගමෙහි දීම දඩය අයකරනු මිස ගම් වැසියන් ගමෙන් පිට වෙනත් ස්ථානයකට ගෙන්වා දඩ අයකරගැනීම, රාජ්‍ය නිලධාරීන් ගම්වැසියන් දෙන මස්, රා, කිරි, දීකිරි, ගිතෙල් අල්ලස් ලෙස ගැනීමද මෙයින් තහනම් කොට ඇත. මේ සියල්ල සමග සමාජ ආරක්ෂාව සදහා අපරාධ නීතියට අදාළ සටහන්ද මේ ලිපියේ දී දැකගත හැකිය. එකල පොහෝ දින නිවාඩු දිනයක් ලෙස හෝ ආගමික වතාවත් සදහා වෙන් වූ දිනයක් ලෙස පැවති බව ¢හෝපිටිගම වෙළෙද නගරයෙහි පොහෝදින වෙළෙදාම් කරන්නන් මහියංගන සෑයට දඩ ලෙස තෙල් දිය යුතුය¢ යන්නෙන් පැහැදිලි වේ.
“වෙහෙර ගං තොට. වැව දිය මට”
එළාර
රජු හා සටන් වැදීමට දුටුගැමණු රජුගේ සේනාව මෙහෙයවීමට තෝරාගනු ලැබුවේ මහවැලි ගඟ
වැටී ඇති මාර්ගයයි. මේ යන ගමනේ දී මහියංගනය ඉතා වැදගත් මරමස්ථානයක් විය. මහියංගනයේ
එළාර බලකොටුව යටත් කරගත් දුටුගැමුණු රජු
සේනා සංවිධානය සදහා ටික කලකට මහියංගයනයේ කදවුරු බැඳගත්තේය. එහි දී තමන්ට අඩුපාඩු
පවතින ආහාර, ආයුධ රැස් කිරීම ආදිය සිදු කෙරුනි.
මේ අතර තුර මහියංගනයේ පිහිටි මියුගුණ සෑය ගරා වැටී තිබෙනු දැක රජ තුමා විසින් වහාම
එය පිළිසකර කිරීමට කටයුතු කළේය. මේ සෑයෙහි වැඩකටයුතු කරන පිරිස් වලට බත් බුලත්
සපයා ඇත්තේ බුලතා නැමති පුද්ගලයෙකි. බුලත් ගෙන ආ නිසා පිරිස බුලතා යනුවෙන් ඔහු
අමතා ඇති බව තවත් ජනප්‍රවාදයක සදහන් වේ. මොහු ජීවත්වී ඇත්තේ උඩුදුම්බර මාදුගොඩ
නැමති ගමේ. ඔහු යන එන මාර්ගයේ එක් තැනකින් දියබාන ඔයෙන් එතෙර වී යාමට සිදු විය. මේ
යන එන මගේ දියබාන ඔයේ එක් පැත්තක පිහිටි කළුගල් පර්වතයක් ස්වභාවිකව පැලී වෙන්වී
තිබෙනු බුලතා විසින් නිරීක්ෂණය කර ඇත. එවිටම මේ පැල්ම සොරොව්ව ලෙස භාවිතා කර
දියබාන ඔය හරස් කර මේ ගල් පර්වතයටම අල්ලා බැම්මක් බැදීම සුදුසුය යන සිතුවිල්ලෙන්
බුලතා විසින් තනිවම වැවක් බැද ඇත. දුටුගැමුණු රජුගේ සේනාව වෙහෙර බැද නිමවන විටම
බුලතා විසින් වැවෙහිද වැඩ නිමකොට ඇත. මේ අතර බුලතා සමග බත් බුලත් රැගෙන ගිය ඔහුගේ
භාර්යාව විසින් මහියංගනයට එන දුර්ග මාර්ගය පහසුවෙන් තරණය කිරීම සදහා ගල් පඩි 2000කින් යුත් පඩි පෙළක් තනා ඇත.
![]() |
බුලතා යෝධයා සොරබොර වැව හදන අතර ඔහුගේ බිරිද පඩිපෙලක් බැන්දාය |
මහියංගන වෙහෙරට කොත පැළදවූ දිනයේ බුලතා විසින් තමාගේ වාරි කර්මාන්තය හා භාර්යාව නිම කළ ගල් පඩිපෙළ බැලීමට එන ලෙස රජතුමාට ආරාධනය කර ඇත. රජතුමා එහි පැමිණි පසු බුලතාගේ මේ විශ්මකර්ම නිර්මාණය දැක පුදුමයට පත් වුන බව සදහන්වේ. මේ කර්මාන්තයට උදව් කළේ කවුරුන්දැයි රජතුමා විමසූ විට බුලතා විසින් තමන් භාවිතා කළ විශාල උදැල්ලත්, කූඩය, ගල් කටුව හා මිටියත් පෙන්වා ඇත. ඉන්පසු රජතුමා තවත් පුදුමයට පත්වී ඇති අතර රජතුමා “ඈ බොල යෝධයෝ මේක හර බර වැඩක්නේ” යනුවෙන් පවසා ඇත. වැවට නමක් නොතිබූ නිසා පිරිස මෙම වැව හරබර වැව නමින් හදුන්වා ඇත. පසුව මේ හරබර යන වචනෙන් බිදී අවුත් හොරබොර වැව බවට පත්වී පසුව සොරබොර වැව වූ බව ජනප්‍රවාද වල සදහන්වේ. තවද මේ වැවට ඉතාමත් ආශා කල රජතුමා “වෙහෙර ගං තොට. වැව දිය මට” යනුවෙන් පවසා ඇත. මෙහිදී වෙහෙර ගං තොට යනුවෙන් පැවසීම නිසා මහවැලි ගගේ මේ මහියංගන තොට වෙහෙරගංතොට බවට පත්වී පසුව වේරගංතොට බවට පත් වූ බව ජනප්‍රවාද වල සදහන් වේ.
පසුව බුලතා ගැන පැහැදුනු රජතුමා ඔහු හා භාර්යාව තම මෑණියන් වූ විහාර මහා දේවියටද හදුන්වා දී ඇත. එහිදී රජතුමා ඔහුට ගම්වරයක් ප්‍රදානය කොට ඇත. විහාර මහා දේවිය බුලතාගේ භාර්යාවට ඇගේ පළදනාවක් ප්‍රදානය කොට ඇත. පසුව රජතුමා විසින් බුලතා, බුලතා යෝධයා ලෙස නම් කර ඔහුට සෙන්පති තනතුරක් ලබා දී බලසේනාවක්ද පවරා දී ඇත. භාර්යාව විහාර මහා දේවියගේ ආරක්ෂාවට යොදවා ඇත. බුලතා යෝධයාගේ බිරිද බැදි පඩිපෙල සහිත මග අද දහඅට වංගු සහිත මාර්ගයයි.
මහියංගනය ස්වයංපෝෂිත කරවන සොරබොර වැව
ඔන්න බලාපන් බුලතා කරපු බලේ
යතුරුදාපු ගල්දොර යට වතුර හැලේ
එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ
සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ
ඉහත කවිය බුලතා විසින් සොරබොර වැව කරන ලදැයි ඔප්පු වන එක් ජන කවියකි. මෙම වැව ඉදිකිරීමේ දී බුලතා විසින් මේ ස්වභාවික භූගෝලීය පිහිටීම තමන් සතු වාරි ඉංජිනේරු දැනුම සමග එක් කර මනාව මේ නිර්මාණය කර ඇත. ස්වභාවික පැල්මක් නිසා දෙකඩ වී ඇති ගල් පර්වතය ඇල මාර්ගයක් ලෙස භාවිත කර මේ පැල්ම වැවට සම්බන්ධවෙන ඇතුල් පැත්තෙන් සොරොව්වක් කරවා ජලය පිටතට ගෙන ඇත. මේ ස්වභාවික ගල් පැල්ම සොරොව්වෙන් ජලය පිට කිරීමට යොදාගන්නා නිසා බැම්ම හරහා වෙනත් සොරොව් වලින් ජලය ගමන් කරන විට මෙන් පීඩනයෙන් බැම්මට බලපෑමක් සිදු නොවේ. ඒ නිසා ඉපැරණි වැව් වලින් බිසෝකොටුව සොරොව්වක් නැති එකම වැව සොරබොර වැව වේ. මුල් අවදියේ දී දියබාන ඔය හරස් කොට මෙම වැව තනවා තිබුණත් 1980 කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ සොරබොර වැවට ඉහලින් දියබාන ඔය ජලාශය ඉදි කිරීම නිසා සොරබොර වැවේ මූලික ජල මූලාශ්‍රය වැවට අහිමි විය. නමුත් දියබාන ඔය ජලාශයේ සිට තනන ලද අල මාර්ගයකින් සොරබොර වැවට ජලය සපයා ඇත. මේ අයුරින් තමයි සොරබොර වැව මහවැලියට සම්බන්ධ වන්නේ.
![]() |
සොරබොර වැව |
මහියංගනය නගරයෙන් කීලෝමීටර් තුනක් පමණ ඈතින් පිහිටි මෙහි වැව් බැම්ම උස අඩි 28 ක් පමණ වන අතර දිග අඩි 1590ක් වේ. වැව් බැම්මේ පළල අඩි 20ක් පමණ වේ. අක්කර 1440ක් පුරා පැතිරී ඇති මෙහි ධාරිතාවය අක්කර අඩි 16400කි. මෙහි වම් ඉවුරේ (වැව් බැම්මේ සිට වැව දෙස බලන විට වම් අත දිශාව වම් ඉවුර ලෙසත් දකුණු අත දිශාව දකුණු ඉවුර ලෙසත් සලකා ඇත) පිට වානද දකුණු ඉවුරේ මේ බුලතාගේ විශ්මිත සොරොව්වද පිහිටා ඇත. මේ සොරොව්ව සහිත ඇලේ දිග සැතපුම් තුනක් පමණ වේ. මේ වැව මගින් කුඹුරු අක්කර 3000කට පමණ දියවර සපයයි. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසිනි.
![]() |
සොරබොර වැවේ සොරොව්ව |
![]() |
සොරබොර වැවේ පිටවාන |
![]() |
ස්වභාවික ගල් පැල්ම තුළින් ගලා යන ජලය |
![]() |
ගල් පැල්මට සම්බන්ධ කර ඇති සොරොව්ව |
සොරබොර වැව ගැන කියවුනු කවි කිහිපයක් පහතින්
ඔබත් මොබත් ඔබ සොරබොර වැවානෝ
හඩා දිය වඩින මහවැලි ගඟානෝ
දිය නොසිදෙයි නුඹ මාවැලි ගඟානෝ
නිල්මල් බිසබ් දිය කෙලිනා වැවානෝ
සොරබොර වැවේ සොද සොද ඕළු නෙළුම් ඇතී
මේවා නෙලන්නට සොද සොද ලියෝ ඇති
අලු කරලා රතු කරලා උයා දෙතී
සුනු සාලේ බත් කන්නට මාළු ඇතී
අපේ ආදී වාසි වැදිජනතාව සමඟ පිළිසදරකට දඹානට යමු
සොරබොර වැවන් ඔරුවකට නැගුනොත් වැව් ඉස්මත්තට හබල් ගාගන ගිහින් දඹානට ගොඩ බහින්න පුලුවන්. වර්ථමානයේ නම් දඹානට ගමන් කිරිමට වෙනමම මාවතක් ඉදිකර තිබෙනවා. දඹාන යනු ආදිවාසි වැදි ජනයාගේ ගම් පියස වේ. මහවැලි ගඟ දිගේ හද බිමේ ඇවිද යමු පළමු කොටසින් මේ වැදි ජනතාව අපේ කතාවට සම්බන්ද වන මුල් පුරුක ගැන කතා බහක යෙදුනා. එහිදී අපි විජය කුවේණි කතාව ගැනයි කතා කළේ. විජය රජුගේ රාජාභිශේකය වෙනුවෙන් විජායි නැමති කුමරිය ගෙන්වා ගැනීමට තීරණය කළ නිසා කුවේණිය, ජීවහත්ත සහ දිසාල දරු දෙදෙනා සමග මාලිගාවෙන් පිට වෙනවා. පිටවී පැමිණෙන්නේ තමන්ගේ නෑදෑ පිරිස වෙත. නමුත් කුවේණියට තමන්ගේ නෑ හිතවතුන්ගෙන් එතරම් හොද පිළිගැනීමක් ලැබෙන්නේ නෑ. තම නෑ හිතවතුන්ගේ පහරකෑමට ලක්වී කුවේණියට මිය යෑමට සිදුවෙනවා. නමුත් ඊට පෙර කුවේණිය විසින් තම දරු දෙදෙනා පුලින්දයන්වෙත පිටත් කරනු ලබනවා. පුලින්දයන් යනු නිරි වැද්දන්. එනම් වැද්දන්ගේ ආදිතමයන්.
![]() |
ආදිවාසීන්ගේ පැරණි නැටුමක් |
අපි මේ කතා කරන කාරණය ගැන කතා කිරීමට සුදුසුම කෙනා තමයි වර්ථමාන වැදි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ. මේ අපූරු නායකයාට ඇත්තේ බොහොම දාර්ශණික චින්තනයක්. ඒ නිසා වැද්දන් පැවත එන්නේ මේ කියන්නා වූ කුවේණියගේ දරු දෙදෙනාගෙන්දැයි යන කාරණය පිළිබදව සහ ලංකාවේ මානව ඉතිහාසය පිළිබදව එතුමා දරන විද්වත් අදහස් පිළිබදව විමසා බැලිය යුතුය. වන්නියලෑ ඇත්තන්ගේ මේ පැහදිලි කිරීම ඉතාමත් දාර්ශනිකයි.
"මේ කාලෙ වෙනකොට බොහෝ දෙනෙක් කතා කරන්නේ කුවේණියගේ දරු දෙදෙනාගෙන් වැදි ජනතව පැවතෙන බව තමයි. කවුරු මොනවා කිවුවත් අපි ඒක විශ්වාස කරන්නේ නෑ. යක්ෂ, නාග දේව, රාක්ෂ, මිනිස්සු මේ ප්‍රදේශ වලත් හිටියා. ඒ කාලේ තමයි බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියේ. උන්වහන්සේ මහියංගනයට වැඩියේ යක්ෂ ගෝත්‍රිකයන් මුණ ගැසෙන්නයි. මුන ගැහිල කතා කළා. බුදු හාමුදුරුවෝ තුන් වතාවක් වැඩියට පස්සේ තමයි විජය කුමාරයා ලංකාවට ආවේ. ඒ නිසා විජයගෙන් මේ රටේ මිනිස්සු පැවතෙනවා කියන කතාව බොරු. යක්ෂ ගෝත්‍රය කියා කිවුවට මේ අය හිතන විදියට බුදු හාමුදුරුවෝ එළ හරක් වගේ මෝඩයෝ ගොඩක් මැද්දට වඩින්නේ නෑ. හොද බුද්ධිමත් මිනිස්සු හිටපු තැනකටයි උන් වහන්සේ වැඩියේ. ඒ කියන්නේ මහියංගන ප්‍රදේශයේ උන්වහන්සේට වඩින්න සුදුසු මිනිස්සු එදා ඉදලා තියෙනවා.” ඒ අපේ මානව ඉතිහාසය පිළිබදව එතුමන්ගේ අදහසයි.
![]() |
වර්ථමාන වැදි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ |
අපි මහියංගනය පිළිබදව කල විස්තරයේදී සදහන් කලා බුදුන් වහන්සේගේ යක්ෂ දමනය පිළිබදව වන්නියලෑ ඇත්තන්ගේ ඇත්තේ වෙනස්ම මතයක් බව. ඒ තමයි තමන්ගේ ආදීතමයින් වන යක්ෂ ගෝත්‍රිකයන් අවසරයක් නැතිව පැමිණි නන්නාදුනන කෙනෙක් නිසයි බුදුන්වහන්සේ දැක එතුමන්ට විරෝධය පා ඇත්තේ. නමුත් බුදුන් වහන්සේ තමන් කවුරුන්දැයි පෙන්වීමට යමාමහ පෙළහර පෑමෙන් මේ යක්ෂ ගෝත්‍රිකයන් බුදුන්වහන්සේ කෙරේ පැහැදී එතුමන්ගෙන් බණ අසා මහවැලි ගගෙන් එතෙරව තමන් වාසය කළ කදුකරය බලා නික්මුණ බවයි එතුමන් සදහන් කරන්නේ. එසේ නොමැතිව බුදුන් වහන්සේ කිසිවෙකුවත් බිය වැද්දුවේ නැති බවත් යක්ෂ ගෝත්‍රිකයන් ගිරි දිවයිනට පන්නා දැමුවේ නැති බවත් එතුමන් සදහන් කරයි. මේ යක්ෂ දමණය සංකේතවත් කරන නැටුමක් මේ ආදි වාසීන් විසින් මහයංගනයේ ඇසල පෙරහැරේ රග දක්වයි.
"අද විශ්ව විද්‍යාලවල උගතුන් මේවා ඔප්පු කරලා තියෙනවා. මේ මහ පොළොව හාරලා, ගල් ගුහා හාරලා ලක්ෂ ගණනින් මිනිස් ඇටකටු ගොඩ දානවා. ඒ කියන්නේ මිනිස් වාසයක්ව තිබිල තියෙනවා. ඉතින් මේ අනෙක් කතා බොරු විතරයි.”ඒ එතුමන්ගේ වචන.
වැදි ජනතාවගේ ඉතිහාසය පිළිබදව ජීවහත්ත දිසාල කතාව එතුමන් බැහැර කරනවා.
"විජය රජ්ජුරුවෝ කුවේණිය පිටුවහල් කළාට පස්සේ ඒ ඇත්ති දරු දෙදෙනාත් එක්ක පිටමං වුනා. එතනදී කුවේණියගේ නෑදෑයින් ඇයට විරුද්ධ වුනා. කුවේණිය ඔවුන්ට බයේ කැලයට ගියා. දරුවෝ දෙදෙනාව හදාගන්නෙ ඉරුගල් බණ්ඩාර, සදුගල් බණ්ඩාර කියන ප්‍රාදේශීය නායකයෝ දෙන්නා. මේ දරුවෝ දෙදෙනා විවාහ වෙලා අපේ පරම්පරාව ඇති වුනා කියන කතාව මම නම් විශ්වාස කරන්නෙම නෑ. ඒ වාගේ චාරයක් නැති මිනිස්සු මේ රටවල හිටියේ නෑ. ”ඒ තමයි එතුමන්ගේ දාර්ශනික අදහස.
මේ කාරණා පසෙක තබා එතුමන් අද මේ ජීවත් වන දඹානේ වනාන්තරය ගැන එතුමන්ගෙන් විමසුවහොත් එතුමන් දක්වන්නේ මේ වගේ අදහසක්.
"මේ කැළෑවත් අපේ පරම්පරාවත් දෙකක් නෙවෙයි එකක්. මේ කැළෑව තිබුනොත් තමයි අපේ වරිගය තියෙන්නේ - ආරක්ෂා වෙන්නේ. අද වෙනකොට මේ කැලෑව බොහෝ දුරට විනාශ වෙලා ගිහින්. ඉස්සර කාලය ගැන කතා කරනවා නම් ඉර මුදුන්වන විට කැළේ බිමට ඉර එළිය වැටෙන්නෙ නැති තරමට ඝන කැළෑව. මහා රූස්ස ගස් තිබුනා.. අද වෙනකොට කැළෑව බොහෝ දුරට නැතිවී ගොසින්. මම හිතන්නේ මේ කැළෑව අපේ කාලයට නම් සෑහෙයි. ඒත් අනාගත පරම්පරාවට මේ කැළෑව ආරක්ෂා කරදීම අද ජීවත් වන මිනිසුන්ගේ වගකීමක්. මේ සදහා මම හුගක් මහන්සි වෙනවා කැළෑව රැක ගන්න.”
අද වන විට මේ ගොඩක් දේවල් වෙනස් වෙමින් තියෙන්නේ දියුණුව නිසානෙ. වර්ථමන සමාජයේ දියුණුව ගැන එතුමන් දරන්නේ වෙනස්ම මතයක්.
" ඒ ගැන කතා කරනවා නම්... ඔය දියුණුව කියල අදහස් කරන එක නම් මට ප්‍රහේලිකාවක්. දියුණුව දියුණුව කියලා මිනිස්සු කතා කරනවා. දියුණුව කියලා වෙලා තියෙන්නේ මිනිස්සු අතර තරගයක් ඇති කරලා තියනවා. දියුණුවෙන්න නම් මිනිස්සු දියුණු වෙලා ඉන්න ඕනා. අපි නම් ඒ තරගයට එකතු වෙලා නෑ. මිනිස්සුත් දියුණුවෙලා නෑ. තරගයට කෙනෙක්ව සතුටු කරන්න තරගයට කෙනෙක්ගෙ මල්ල තර කරන්න, තව එකෙක් පාගලා ඉහළ යන එක තමයි දියුණුව කියලා සිද්ධ වෙලා තියෙන්නේ. මිනිස්සු දියුණු වෙච්ච කාලෙක ගම රට යහපත් වෙයි. අපි තාමත් දියුණුව නැමති තරගය පස්සේ ගිහින් නෑ...”
මෙතුමන්ගේ වදන් නිතැතින්ම සිහිපත් කරනේ රතු ඉන්දියානු නායක සියැටෙල්ගේ වදන්මයි. මෙතුමාත් ඒ තරම්ම දාර්ශනිකයි. දඹානේ වැදි ජනපදය අද සංචාරකයන්ගේ සිත් ඇදගන්නා ස්ථානයක් වී ඇති අතර දෙස් විදෙස් සංචාරකයින් බොහොමයක් මෙහි පැමිණෙති. ඒ සංචාරය කරන්නන්ගෙන් අප බලාපොරොත්තු වන එකම දේ ඔවුන්ගේ ජීවන රටාවට හානි නොකර තමන්ගේ සංචාරක කටයුතු සිදුකල හොත් ඔවුටත් රටටත් සිදුවන්නේ යහපතකි.
No comments:
Post a Comment