Sri Lanka

Sunday, December 20, 2015

මහගම සේකරයන් මලක් ගැන කිවුව කතාවක්





තාත්ත මළාට පස්සෙ
අම්මයි මායි රැකුනෙ මල් විකුණලා
ඔහොම ඉන්නකොට ඉන්නකොට....
අම්ම අසනීප උනා දවසක්දා
පහුවෙන්දා උදයේ
ලස්සන මලක් පිපිල ලේ පාටට
අම්ම මට කීව
අද කොහේවත් යන්න එපා
ගෙදරට වෙලා ඉදපන්
ගෙරට වී මම හිටිය
අම්මට බේත් ගන්ඩ නෑ සල්ලිත්

ඒඅතරෙ ඔහු ආව
මල් කඩේ මුදලාලි
ඔය මල මට දෙනවද කඩා ගන්නට
බේත් ගන්ඩ ඕනෑ තරම් සල්ලි දෙන්ඩ

ඒ මල මම විකුනන්ට නොවේ හිටියෙ
ඒ උනාට
මම ඉඩ ඇරිය මල කඩන්ඩ
එයා දුන්න සල්ලි වලින් බේත් අරන්
අම්මට මම පෙව්වා
අම්ම එළි වෙනකල් ඉකි ගහ ගහ ඇඩුවා

ඊට පස්සෙ
අයිත් මල් පිපුනෙම නෑ
මාත් ලෙඩා උණා
කන්ඩ නැතුව කන්ඩ බැරුව
අපි දෙන්න ඇඩුවා හරියට
මම අම්මා බදාන අම්මා මා බදාන
ඒ එක්කම මට ඇහුනා හීන් හඩින්
කවි ගීයක් මා ඇතුලත්
ඒ කුස තුළ
ඒ කවි දියවෙලා ගියා ඊට පස්සෙ
ආයිත් මම ඇඩුවා
බැරිම තැනදි මම හිතුවා
මීට පස්සෙ නෑ අඩන්නෙ
හොදටම හිනාවෙනව
හිනාව පණ යනකල්

මේ කතාව තමයි අද දවසෙ ගොඩක් දරුවන්ගෙ කතාව. මගේ මතකය නිවැරදි නම් මේ කවි පෙළ තියෙන්නෙ මහගම සේකරයන්නෙ නොමියෙමි කාව්‍ය සංග්‍රහයේ. ඉතින් මේ කතාව ලියන්න හිතුනෙ අද වැඩියෙන්ම අපිට අහන්න ලැබෙන්නෙ මේ වගේ සිදුවීම් නිසා. පැහැදිලිවම අම්ම තාත්ත ළග නැතුව අසරන වුන කුඩා දරුවන් නරුමයන් අතින් දූෂණයට ලක් වෙලා කුඩා කාලෙදිම දරුවන් බිහි කරණ අවස්ථා කොපමණ නම් තිබුණද. මේ හැම දේකටම මැදි වෙන්නෙ ගොඩක් දුප්පත් දරුවන්. 

මේ කවි පන්තියෙ තියෙන්නෙත් ඒ වගේ දුප්පත් දරුවෙකුගෙ කතාවක්. තමන්ගෙ පියා නැතුව අන්ත අසරණ භාවයට පත් වෙන අම්මෙක් සහ දුවෙක්. බොහොම අමාරුවෙන් තමයි ජීවිතය ගැට ගහගන්නෙ. ඒ අතරෙදි අම්ම අසනීප වෙනව. අසනීප වුන අම්මට බේත් ටිකක් අරන් දෙන්නවත් සල්ලි නැහැ. ඒ කතාවෙ කියනව අපි ජීවත් වුනා මල් විකුණල කියල. මට දැනෙන විදියට නම් මේ අම්ම දරුව වෙනුවෙන් ඇග විකුණන තත්වයට පත් වෙලා. දරුව ඒක දන්නව.

ඒ අතරෙදිම තමයි මේ දරුව වැඩි වියට පැමිණෙන්නෙ.

පහුවෙන්දා උදයේ
ලස්සන මලක් පිපිල ලේ පාටට

ඉතින් මේ අම්ම කවදාවත් තමන්ගෙ දරුවව තමන්ගෙ තත්වයට දාන්න ඉදල නැහැ. එත් එක් පුද්ගලයෙක් එනව මේ ගෙදරට. කවි පන්තියෙ ඔහුව හදුන් වන්නෙ මල් කඩේ මුදලාලි කියල. ඇත්තටම මොකක් ද මේ මල් කඩය. මේ දරුවගෙ අම්ම ඇග විකුණන රස්සාව කරල තියෙන්නෙ මේ මනුස්සය හරහා. ඒකයි හේතුව.
මේ අම්මවත් මේ දරුවවත් අසාවක් නෑ දරුවව මේකට යොමු වෙනව දකින්න. ඒත් අම්ම අසනීපෙන් බේත් ගන්න නැතුව වේදනා විදිනකොට දරුවට වෙන කරන්න දෙයක් නෑ. දරුවට සිද්ධ වෙනව මේ පාපතරයාගේ ගොදුරක් වෙන්න. 

ඒ මල මම විකුනන්ට නොවේ හිටියෙ
ඒ උනාට
මම ඉඩ ඇරිය මල කඩන්ඩ

ඒ වෙනුවෙන් ඔහු දුන්න සල්ලි වලින් තමයි ඇය අම්මට බේත් අරන් දෙන්නෙ. එත් අම්මට ඒක දරාගන්න බැහැ. නමුත් ඔවුන් දෙන්නම මේ කුරිරු සමාජය විසින් අසරණ කරල. අන්තිමේදි ඇයට දරුවෙක් ලැබෙන්න එනව මේ සිදුවීම නිසාම.

ඒ එක්කම මට ඇහුනා හීන් හඩින්
කවි ගීයක් මා ඇතුලත්
ඒ කුස තුළ

ඉතින් මේ තමයි අද අපේ රටේ බොහොමයක් දැරිවියන්ට සිදුවෙලා තියන විනාශය. හැම දිනකම වගේ මෙහෙම දේවල් අහන්න ලැබෙනව.  ඒත් මාධ්‍යයට නිරාවරණය වන්නෙ සිදුවීමි කිහිපයක් පමණයි. එත් එහෙම නොවන සිදුවීම් සිය දහස් ගණනක් අද රටේ සිදුවෙනව. මට මතකයි මගේ සහොදරියගෙ රාජකාරි වැඩකට යන්න වුනා එක ගෙදරකට. ඒ ගෙදර හිටිය මැදි වියේ ගැහැණු කෙනාගෙ මනුස්සය මිය ගිහින්. දුව බැදල. ඒත් බලනකොට දුවටත් දරුවෙක් ලැබෙන්න අම්මටත් දරුවෙක් ලැබෙන්න. ඒ දරුවො දෙන්නටම තාත්ත මේ දුවගෙ මනුස්සයමයි. එ ගමේ වැඩි හරියක් ඒ විදියෙ සිදුවීම් තමයි සිදු වෙලා තියෙන්න. ඒ අය ගානක්වත් නැතුව ඒව කියනව. තාත්තල අතින් දුවල දූෂණය වුනා ඒවා, අයියලා අතින් නන්ගිලා දූෂණය වුනා ඒව අනන්තයි. ඒත් ඒ එක සිදුවිමක්වත් පොළිසියට නම් යන්නෙ නැහැ. ඒව දැන් ඒ මිනිස්සුන්ට සාමාන්‍ය දේවල් වෙලා. 

ඉතින් අපි මේ සටහන තියන්නෙ අපිටත් වගකීමක් තියනව අපේ රටේ අනාගතය භාරගන්න ඉන්න මේ මල් කැකුළු අකාලයේ විනාශ වෙල යන්න ඉඩ නොදී රැකගන්න අපිටත් මොනයම් හෝ දෙයක් කරන්න පුළුවන්නම් අන්න ඒ දේ නොසුබටව අපි කරන්න ඕන. මේ අකලට මිලින වන මල් කැකුළු ඒසේ වීමට නොදී අනාගතය වෙනුවෙන් ඔසවා තබන්න අපි හැම විටම උත්සාග ගනිමු...