පෙර ලිපිය මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 25
අංගමැඩිල්ල අමුණ දිගේ පොළොන්නරුවට යමු
අංගමැඩිල්ල අමුණ
බුදුරුවයායට ගියාට පස්සෙ අපි නැවතත් අඹන් ගඟ දිගේ නැවතත් යනවා ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ තවත් සුවිශේෂී නිර්මාණයක් වන අංගමැඩිල්ල අමුණ වෙත. පොළොන්නරුවේ පිහිටි පරාක්‍රම සමුද්‍රය වෙත අඹන් ගගේ ජලය රැගෙන යනු ලබන්නේ මේ අංගමැඩිල්ල අමුණ හරහායි. මේ අපූරු නිර්මාණය කරවනු ලබන්නේ ක්‍රි.ව 12වන සියවසේ ලංකාව පාලනය කල මහා පරාක්‍රමබාහු රජතුමායි. මේ අංගමැඩිල්ලේ සිට පරාක්‍රම සමුද්‍රයට ජලය ගෙනයන අකාස ගංගාව නැමති ඇල මාර්ගය නිර්මාණය වන්නේ මේ අංගමැඩිල්ලේ සිටයි.
මෙම ඇල ඉදිකිරීම සදහා ස්ථානයක් ගැන විපරම් කරමින් සිටින පරාක්‍රමබාහු රජතුමාට මේ අංගමැඩිල්ල හරියෙදි අඹන් ගගේ අංගමැඩිල්ල හරියෙදි හමුවෙනවා සුවිශේෂී පිහිටීමක්. ඒ තමයි මේ හරියෙදි අඹන් ගගේ පිහිටා ඇති ස්වභාවික ගල් ගඟ හරයා වැටි ඇති ගල් වැටි ලෙස පිහිටා තිබීමයි. ඒ නිසා මේ ස්වභාවික පිහිටීම දුටු රජතුමා මේ ගල් වැටි අතර ඇති හිඩැස කළුගල් වලින් පුරවා අංගමැඩිල්ල අමුණ නිර්මාණය කිරීමට තීරණය කරනවා. එම පැරණි වේල්ල විදේශීය ආක්‍රමණ ආදියත් සමග රාජධානිය බිද වැටීම නිසා විනාශ වී ගොස් ඇත. මේ අමුණ වසර 900කටත් වඩා පැරණිය.
නටඹුන් වී විනාශ වී ගොස් තිබූ මේ අමුණ පිළිබදව 1887 මෙහි මිණුම් කටයුතු බ්ලෙයාර් මහතාගේ වාර්තා වල සදහන් කර තිබෙනවා. ඉන් පසුව 1950 ගණන් වලදී මහාමාන්‍ය ඩී. එස් සේනානයක මැතිතුමන්ගේ වාරි ව්‍යාපෘති යටතේ තමයි නැවතත් අංගමැඩිල්ලට පණදෙනු ලබන්නේ. ඒදා සිට මේ දක්වා පොල්ගොල්ල මහවැලි හැරවුමෙන්ද පෝෂණය වී වසර ගණනාවක් වියළි කලාපයේ ජන ජීවිත පෝෂණය කරනු ලබනවා.
අංගමැඩිල්ලෙන් හරවන ජලය ඇල මාර්ගයක් දිගේ රිදීබැදිල්ල නැමති අමුණක් වෙත ගෙන යනු ලබනවා. මෙහි දී ඇල හරහා බැම්මක් බැද ඇති අතර ඇල දිගේ අමුණ මැද සිට ඇල මැදට තවත් වේල්ලක් ඉදිකර ඇත. මේ මගින් ඇල දිගේ එන ජලය දෙකට බෙදේයි. එයින් එක් කොටසක් සොරොව්වක් තුළින් ගොස් පරාක්‍රම සමුද්‍රය වෙත ගමන් කරන යෝධ ඇල වෙත මුදාහරින අතර අනෙක් කොටස නැවතත් ඇල මාර්ගයක් දිගේ අඹන් ගඟටම ගමන් කරනු ලබයි.
යෝධ ඇල දිගේ පරාක්‍රම සමුද්‍රය වෙත
පරාක්‍රම සමුද්‍රය යනු පොළොන්නරුවේ හදවත බදු ස්ථානයයි. "අහසින් වැටෙන එක් දිය බිදක්වත් ප්‍රයෝජනයට නොගෙන මහමුහුදට ගලා යන්නට නොදෙමියි" කියන පැරකුම් රජුගේ ප්‍රකාශයත් සමගින් මේ මහා විශාල ජලාශය ඉදි කරන්නට යෙදුන බව ඉතිහාසයේ සදහන් වේ. පරාක්‍රම සමුද්‍රය යනු එක් වැවක් නොව වැව් සංකීර්ණයකි. එම සංකීර්ණයට අයත් වන්නේ තොපා වැව, රඑමුදු වැව, දුඹුතුළු වැව, කලහගල වැව, හා භු වැවයි. මෙහි වර්ථමාන වැව් බැම්ම කිලෝමීටර් 12.38ක් දිග වන අතර උසින් මීටර් 9.45ක් වේ. මෙහි ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලොමීටර් 71.71ක් වන අතර ජල ධාරිතා ප්‍රදේශය වර්ග හෙක්ටයාර 2539.5ක් හෙවත් වර්ග කිලෝමීටර් 25.395කි. මෙහි ජල ධාරිතාවය අක්කර අඩි 109,000ක් හෙවත් ඝන මීටර් දසලක්ෂ 134.5කි. අතීතයේ පරාක්‍රම සමද්‍රය තුළ සොරොව් 7ක් තිබූ බවත් ඇල මාර්ග 11ක් ඔස්සේ ගොවි බිම් කරා එම ජලය ගෙන ගිය බවත් වංශ කතා වල සදහන් වේ. නමුත් අද වන විට සොරොව් 3ක් ඔස්සේ පමණක් ගොවිබිම් කරා ජලය ගෙන යනු ලබයි. මේ මගින් පෝෂණය වන ඉඩම් ප්‍රමාණය අක්කර 20,000ක් පමණ වේ.
අප මෙහි සදහන් කල වැව් සමූහයෙන් බැඳි වැව හැරෙන්නට අනි සියලු වැව් අභ්‍යන්තර වේළිවලින් එකිනෙකින් වෙන් වී තිබී ඇත. එහෙත් 1937න් පසුව සිදුකල ප්‍රතිසංස්කරණ වලදී කලහගල වැව සහ භු වැව නොසලකාහැර ඇත. විදේශ ආක්‍රමණ හමුවේ වල් බිහිවුන පොළොන්නරු රාජධානියත් සමග පරාක්‍රම සමුද්‍රයද විනාශ වී ගොස් ඇත. විනාශ වී තිබූ වැව නැවතත් කරලියට ගෙන එන්නේ ආර්. එල් බ්‍රෝහියර් මහතා විසින්ය. මේ වැව සම්පූර්ණයෙන්ම ප්‍රතිසංසකරණය කරනු ලබන්නේ 1954 දී පමණ ඩී.එස් සේනානායක මහතා විසිනි. එතුමාගේ අති මහත් උත්සාහය නිසාම 1954 පෙබරවාරි 22 දින මේ මහා සමුද්‍රය ජලයෙන් පුරවාලන්නට හැකියාව ලැබුණි.
පරාක්‍රම සමුද්‍රය මධ්‍යයේ පිහිටි සීත මාළිගය
පරාක්‍රම සමුද්‍රය මධ්‍යයේ පිහිටා ඇති දූපතක තමයි මේ මළිගාව පිහිටා තිබෙන්නේ. හතරැස් හැඩයකින් යුතු මෙමෙ ගොඩනැගිල්ලේ දොරටු 7ක් තිබූ බව සදහන්වේ. සෑම දිශාවකින්ම ජලවාෂ්ප මිශ්‍ර සීත සුළං හැමීම සදහා කවුළු පිහිටා තිබූ බවද සදහන් වේ. මෙහි ඇති විශේෂත්වය නම් මේ සදහා හුණුගල් බදාම යොදාගැනීමය. පෙර යුග වල නොතිබූ පොළොන්නරු යුගයේ සොයාගැනීමකි මේ හුණු බදාම. වර්ථමානයේ දී අපිට පෙර හමු වූ පරිදිම මෙයද නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුවී ඇත. මෙ දූපතට ගමන් කිරීම සදහ ධීවර බෝට්ටුවක් සපයා ගත යුතුය. අධික නියන් සමයකදී නම් පයින් ගමන් කල හැකිය.
පොළොන්නරුවේ ඓතිහාසික නටඹුන් නරඹන්නට යමු
පොළොන්නරුව නටඹුන් ගත් කල ඒ පිළිබදව ලියවුන පොත් බොහොමයක් ඇත. අපේ මේ ගමන ලංකාවේ වාරි ඉතිහාසයක් යොයාගෙන මහවැලි ගග දිගේ නිසා පරාක්‍රම සමුද්‍රය අවට ඉතා වැදගත් ස්ථාන කිහිපයක් ගැන පමණක් කතා කරමු.
පරාක්‍රමබාහු ප්‍රතිමාව
මෙම පතිමාව කවුරුන් විසින් කුමක් සදහා කරවන ලදදැයි හෝ මේ තුළින් කවුරුන් නිරූපණය වන්නේ දැයි තවමත් නිෂ්චිතවම හදුනාගෙන නොමැත. නමුත් බහුතර පිරිසක් භාවිතා කරන නිසාම අපිද මෙයට පරාක්‍රමබාහු ප්‍රතිමාව යැයි කියමු. මෙම ප්‍රතිමාව සම්පූර්ණයෙන්ම ගලෙන් මතුකර නිමවන ලද්දකි. මෙහි උස අඩි 11යි අඟල් 6කි. මෙය පුලතිසි සෘෂිවරයාගේ යැයි තවත් මතයක් පවතී. තවත් සමහරෙක් එය කපිල සෘෂිවරයාගේ යැයි මතයක් පල කරති. මහාචාර්ය පරණවිතානයන් පළමුවෙන්ම ඉදිරිපත් කල මතය වන්නේ මෙය කිසියම් තාපසයෙකුගේ හෝ සෘෂිවරයෙකුගේ ප්‍රතිමාවක් බවයි. පසුව එතුමා සිය මතය වෙනස් කරමින් එය පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිමාවක් බවයි. එතුමන් දැතින් දරා සිටින්නේ නගුලක් බවත් කාලයාගේ අවෑමෙන් දෙපස කොටස් විනාශ වී ඇති බවත් බවසා ඇත. මෙම ප්‍රතිමාවේ හිස පිටුපසට වන්නට මදක් ගෙවී ගිය ශිලා ලේඛනයක පුල-ස-ත යනුවෙන් සදහනක් ඇත. ඇතැමෙකුගේ මතය මෙය පුලස්ති යන අර්ථය කියැවෙන බවයි. එනයින් මෙම ප්‍රතිමාව පුලතිසි සෘෂිවරයාගේ යැයි මතය සනාත කිරීමට සාධකයක් ලැබෙන අතර තව දුරටත් සංවාද අවශ්‍ය නොවිය හැකිය. කෙසෙ නමුත් මේ පිළිබදව නිශ්චිතම මතයක් තවමත් ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමණවත් සාක්ෂි සාධක හමුවී නොමැති නිසා තවදුරටත් සංවාදයට විවෘතව පවතී.
ගල් විහාරය නොහොත් උත්තරාරාමය
පොළොන්නරුවේ ඇති ජනප්‍රියම මෙන්ම වැදගත්ම ස්ථානයක් ලෙස ගල් විහාරය පෙන්වාදිය හැකිය. මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ක්‍රි.ව 12වන සියවසේ දී පමණ ඉදිකරවන ලද උත්තරාරාමය නොහොත් ගල් විහාරය දිගින් අඩි 168ක් පමණ වේ. මෙහි අති විශිෂ්ඨ ගල් පිලිම නිර්මාණ 4ක් දැකිය හැකිය. ඒ අතරින් කාගේත් වඩාත්ම කතාබහට ලක්වී ඇත්තේ ඔත් පිළිමය නොහොත් සැතපෙන පිළිමය වෙතය.
මෙම සැතපෙන පිළිමය අඩි 4ක් පමණ දිගය. මෙහි සිවුරේ රැලි ඉතා තාත්විකව නිර්මාණය කර ඇත. මෙම නිර්මාණ ශිල්පියාගේ දක්ෂතාවය කොතෙක්ද කිවහොත් හිස තබා ඇති කොට්ටය හිසේ බරට ගිලී ඇති ආකාරය පවා ගලින් නිමවා ඇත. පාද දෙක සමාන්තරව තබා නැත. එනම් දකුණු පාදයට වඩා වම් පාදය පසුපසින් තබාගෙන ඇත. මේ විලසින් බුදුන් වහන්සේ පාද තබාගෙන සිටින්නේ පිරිණිවන් මංචකයේදී බව බොහෝ දෙනාගෙ මතයයි. ඒ අනූව මෙය බුදුන් වහන්සේගේ පිරිණිවන් මංචකය බව ඇතැමෙකුගේ මතයයි. එය සනාත කිරීමට ඔවුන් උපයෝගී කරගන්නා සාධකය වන්නේ ඒ අසළම පිහිටා ඇති හිටි පිළිමයයි.
හිටි පිලිමයයෙන් පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව නිරූපණය වන බව මහාචාර්ය පරණවිතානයන්ගේ මතයයි. එතුමන් පවසන්නේ මෙයද පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවෙන් යුක්ත බුදුන්වහන්සේගේම ඉතා දුර්ලභ ප්‍රතිමාවක් බවයි. සැතපෙන පිළිමය පිරිණිවන් මංචකය යැයි පවසන පිරිස් පවසන ආකාරයට මෙය බුදුන් වහන්සේගේ පිරිණිවන්පෑම නිසා ඒ දෙස දුකෙන් බලා සිටින ආනන්ද තෙරුන් වහන්සේගේ ප්‍රතිමාවක් බවයි.
මෙහි ඇති හිදි පිළිමයද ඉතාමත් ආධ්‍යාත්මික ගති ලක්ෂණ වලින් යුක්තව පද්මාසනයක් මත නෙලා ඇත. ඒ වගේම විද්‍යාදර ගුහාව ලෙස හදුන්වන ඇතුළත කුටියෙහි ඇති පිළිමයද විශිෂ්ඨ ලක්ෂණ වලින් යුක්තය.
මීට අමතරව නිශ්ෂංකලතා මණ්ඩපය, වටාදාගෙය, පරාක්‍රමබාහු මාළිගය, තිවංක පිළිමගෙය, ලංකාතිලකය, කිරිවෙහෙර ආදී බොහෝ ස්ථාන අපට හමුවන නමුත් මේවා පිළිබදව දීර්ඝ ලෙස විස්තර කිරීමට නම් පොත් ගණනාවක් ලිවිය යුතුය.