Sri Lanka

Friday, February 25, 2022

එංගලන්තයේ රෝස යුද්ධය - ලංකාවේ සංදේශ යුද්ධය

 


එංගලන්තයේ රෝස යුද්ධය - ලංකාවේ සංදේශ යුද්ධය

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාව මේ වන විට නොදන්න කෙනෙක් නැති තරම්. ඇතැම් විට ඔබ විට නරඹලා නැති වුණත් ඒ ගැන අසා ඇති. සමහර විට එම පොත් මාලාව කියවා ඇති. ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාවට පදනම වූයේ ජෝර්ජ් ආර්. ආර්. මාර්ටින් විසින් ලියන ලද එම පොත් මාලාව යි. 15 සියවසෙහි එංගලන්තයේ කිරුළ සම්බන්ධව සිදු වූ "රෝස යුද්ධය" නම් සිදුවීම් මාලාවක් ඇසුරින් මාර්ටින් එම පොත් මාලාව සඳහා මූලික සංකල්පය ගොඩ නගාගත් බව සඳහන් වේ. මෙහිදී ප්‍රධාන පවුල් දෙකක් සහ ඊට සම්බන්ධ විවිධ පිරිස් එංගලන්තයේ රජකම අරභයා සටන් වැදුණා.

අද මම මේ ලිපියෙන් කතා කරන්න යන්නේ කෝට්ටේ යුගයේ ලංකාවේ රජ කිරුළ වෙනුවෙන් සිදුවූ සුන්දර යුද්ධයක් පිළිබදවයි. මේ ගැන ගොඩක් දෙනෙක් දන්නවා ඇති. නමුත් නොදන්න අය වෙනුවෙන් ලියන්න හිතුනා. ලංකාවේ සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන්නේ කෝට්ටේ යුගය බව අවිවාදත්මකයි. ඒ සදහා දායකවූ පිරිස් අතරින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ නාමය ඉහළින්ම වැජඹෙන නාමයකි.

 

කෝට්ටේ යුගය ආලෝකමත් කළ ශ්‍රේෂ්ඨතම පාලකයා වූයේ පස්වන බුවනෙකබාහු රජතුමාගෙන් පසු බලයට පත් වූ හයවන පරාක්‍රමබාහු රජු ය. ක්‍රිස්තු වර්ෂ 1415 සිට ක්‍රිස්තු වර්ෂ 1467 දක්වා වසර 53ක් රජ කළ මේ රජතුමා මුළු ලංකාවම එක්සේසත් කළ පාලකයෙක් විය. මේ රජු අභිෂේකයෙන් වසර 3කට පසු තම අගනුවර කෝට්ටේ ට ගෙන ගියේය. කෝට්ටේ නගරය අංග සම්පූර්ණ නගරයක් බවට පත් වූයේ මේ කාලයේ ය. මේ කාලය ලංකා ඉතිහාසයේ අවසාන විභූතිමත් කාලය ලෙස සැලකේ.

 

නමුත් කෙතරම් ප්‍රභල රජ කෙනෙකු වුනත් මෙතුමාගෙන් පසුව කිරුළ හිමිවන්නේ කාටදැයි ගැටලුවක් පැන නැගුනා. මන්ද එතුමාගෙන් පසුව කිරුළ භාර දීමට එතුමාට පුතෙකු සිටියේ නැත. රජතුමන්ට සිටියේ දූවරු දෙදෙනෙක් පමණයි. ඒ චන්ද්‍රාවතී දේවිය සහ ලෝකනාථා දේවියයි. මේ ලෝකනාථා කියන දේවිය උලකුඩය දේවිය නමින්ද හදුන්වා ඇත. එකල රජ පෙළපතේ සම්ප්‍රදාය අනූව කිසිවිටෙකත් රජුගේ ගැහැණු දරුවන්ට රජකම පැවරිය නොහැක. මේ නිසා රජු පුතුන් තිදෙනෙක්ව දරුකමට හදාවඩාගෙන ඇත්තේ අනාගතයේ දී එයින් කෙනෙකුට රජකම පැවරීමටය.

 

ඒ පුත් කුමරුවන් තිදෙනා අතරින් වැඩිමලා සපුමල් කුමාරයාද, දෙවැන්නා ජයබාහු කුමාරයාද, තුන්වැන්නා අමුබුලුගල කුමාරයාද විය. මේ අතරින් අපගේ කතාවේ වැදගත්ම චරිතය වන ජයබාහු කුමාරයා පසුව තොටගමුවේ ශ්‍රී රහුල නමින් පැවිදි භාවය ලබාගන්නවා. එකල පැවති රාජ නීතියට අනූව සයවන පැරකුම්බා රජුගෙන් පසුව රජකම ලැබිය යුතුව තිබුනේ සපුමල් කුමාරයාටය. අනෙක් කාරණය නම් එකල යාපනය ජයග්‍රහණය කරමින් එතුමන් දක්ෂ සෙන්පතියෙක් ලෙස ජනතාව අතර ජනප්‍රියත්වයටද පත්වී තිබුනා.

 

කෙසේ නමුත් තුන් සහෝදරයන් අතර තිබූ කුමන හෝ විරසකයක් නිසා පැවිදි භාවයට පත්වී සිටියත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සපුමල් කුමාරයාට රජකම පැවරීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. මේ නිසා තොටගමුවේ හිමියන් රජුට යෝජනා කරනවා එතුමන්ගේ දියණිවරුන්ගේ දරුවෙකුට මේ රජකම පවරන ලෙස. ඒ මොහොතේ සියල්ලන්ගේම අවධානය යොමු වන්නේ චන්ද්‍රාවතී බිසව වෙතයි. නමුත් ඒ වන විට රජුගේ වැඩිමල් දියණිය වූ චන්ද්‍රාවතී බිසව විවාහා ප්‍රාප්ත වී සිටියේ නැත. නමුත් මෙතැනදී තොටගමුවේ හිමියන් පරාජය භාරගැනීමට සූදානම් වුනේ නැත. ඒ මොහොතේ මෙම ඓතිහාසික දේශපාලන ප්‍රශ්නය විසදීමට එතුමන් සතු සාහිත්‍ය දැනුම භාවිතයෙන් අපූරු උපක්‍රමයක් එතුමන් භාවිතා කරනු ලබනවා.

 

මේ මොහොත වන විට තමන්ගේ අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීමට රාහුල හිමියන්ට කාරණා දෙකක් ජයගැනීමට සිදුව තිබුණා. එනම් චන්ද්‍රාවතී බිසව විවාහාකර දී පුත් කුමරෙකු බිහිකරවීම සහ ඒ වන විට ජනතා ප්‍රසාදය දිනා සිටි සපුමල් කුමරු පිළිබදව ඇති ජන මතය වෙනස් කරවීම. ඉතාමත් විශිෂ්ධ සාහිත්‍යය දැනුමකින් හෙබි රාහුල හිමි මේ කාරණා දෙකම එකම උපක්‍රමයකින් ජයගැනීම සදහා ඉතාමත් සුවිශේෂී ක්‍රමයක් යොදාගන්නවා. ඒ තමයි මේ කියන කාරණා මුදුන් පැමිණෙන ලෙස මෙතුමන් විසින් මනරම් සංදේශ කාව්‍යයක් රචනා කරනු ලබනවා. සන්දේශ යන වචනයේ අර්ථය හොඳින් දක්වා ලීමයනුයි. කිසියම් පණිවිඩයක් දුර ප්‍රදේශයක සිටින්නෙකුහට හොඳින් දක්වා ලීම සන්දේශ නම් වේ. එහෙත් එපමණකින් සන්දේශ කාව්‍යයක් සම්පූර්ණ විය නොහැකිය. මග තොරතුරු හා ප්‍රභූ වර්ණනා ආදිය ඇතුළත්ව, මේධාවි ගුණයෙන් යුත් දූතයෙකු අත ‍යැවෙන හස්නක ව්‍යාංගයෙන් යුතුව විචිත්‍ර වූ කල්හි පමණක් එය සන්දේශ කාව්‍යයක් වේ. මේ සංදේශ කාව්‍යය යනු පණිවිඩ කරුට මගදී හමුවන ගම්බිම්, ඇළදොල, ගංගා, පොකුණු, වෙහෙර විහාර, වන සතුන් ආදී බොහෝ දේ  ගැන වර්ණනා කිරීමෙන් තමන්ගේ හිතවත් දේශපාලන නායකයින් ජනතාව අතර ගෞරවයට පත් කළහැකි අපූරු ක්‍රමයකි. රාහුල හිමියන් බොහොම උපක්‍රමශීලීව මේ ක්‍රමය භාවිතා කළා.

 

මේවෙනුවෙන් රාහුළ හිමියන් ලියූ සංදේශ කාව්‍යය පරෙවි සංදේශයයි. මේ සංදේශ කාව්‍යයේ අරමුණ වූයේ කුලවත් පුරුෂයෙකු චන්ද්‍රාවතී බිසවට ලැබෙන්නත් කිරුළ දැරීමට සුදුසුකම් ඇති පුත් කුමරෙක් චන්ද්‍රාවතී බිසවට ලබා දෙන ලෙසත් උපුල්වන් දෙවියන් නොහොත් විශ්නු දෙවියන්ගෙන් කරනු ලබන ඉල්ලීමකි. නමුත් අවාසනාවකට මෙන් චන්ද්‍රාවතී බිසව විවාහා නොවීම මිය යනවා. නමුත් මේ නිසා රාහුල හිමියන් තමන්ගේ සටන අත්හරින්නට සූදානම් වූයේ නැත.

 

මීලගට රාහුල හිමියන්ගේ අවධානය යොමු වන්නේ සයවැනි පරාක්‍රමබාහු රජුගේ දෙවන දියණීය වන උලකුඩය දේවිය වෙතයි. රාහුල හිමියන් ඇය වෙනුවෙන් ලියනු ලබනවා ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුන විශිෂ්ඨතම සංදේශ කාව්‍යය. ඒ තමයි සැළලිහිණි සංදේශය. මේ සංදේශයේ අරමුණ වූයේ උලකුඩය දේවියට කිරුළ දැරීමට සුදුසුකම් ඇති පුත් කුමාරයෙක් ලබා දෙන ලෙස කැළණියේ විභීෂණ දෙවියන්ගෙන් කරන ඉල්ලීමකි. නමුත් මෙවර මේ ඉල්ලීමෙහි යම් වෙනසක් සිදු කරනවා. ඒ තමයි මේ ඉල්ලීම රාහුල හිමියන්ගෙන් නොව උලකුඩය දේවියගේ සැමියාගෙන් කෙරෙන් ඉල්ලීමක් විදියටයි මෙම සංදේශය ලියනු ලබන්නේ. මෙවර රාහුල හිමියන්ගේ පැතුම ඵල දරනවා. උලකුඩය දේවියට පුත් කුමරෙකු ලැබෙනවා. මේ පුත් කුමරාගේ නමත් ජයබාහු. මේ ජයබාහු කුමාරයා සයවැනි පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පසුව රජ කමට පත් වෙනවා.

 

කෝට්ටේ රාජ මාළිගාව තුළ මේ සිදුවීම් පෙළ සිදුවීගෙන යන අතරම කෝට්ටේ රාජධානිය තුළම මීට විරුද්ධ සිදුවීම් පෙළකුත් සිදුවෙමින් පවතිනවා. ඒ තමයි රජ කිරුළ සපුමල් කුමාරයාට හිමි වනවාට කැමති පිරිසක්ද කෝට්ටේ රාජධානිය තුළ සිටිනවා. මේ පක්ෂයෙන් තවත් සංදේශ කාව්‍යයක් ලියවෙනවා. ඒ තමයි කෝකිල සංදේශය. සපුමල් කුමාරයා මෙහි කතා නායකයා වන අතර, මෙය පිළිගන්වනු ලබන්න්නේ ඔහුට ය​. කර්තෘ දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි ය(නමුත් කතෘ පිළිබදව නිශ්චිත සදහනක් නොමැත)​. දෙවිනුවර සිට යාපා පටුන දක්වා මග විස්තර කෙරෙන මෙය​, දීර්ඝතම සිංහල සංදේශය යි. ආර්ය චක්‍රවර්තී රජු පරදවා ජය ගත්, සපුමල් කුමාරයාට හා ඔහු ගේ ඇමති ගණයා ඇතුළු සෙනගට ද ආරක්‍ෂාව සලසා දෙන ලෙස ඉල්ලීම උපුල්වන් දෙවියන්ගෙන් යැදීම මෙහි පරමාර්ථය යි.

 

කෙසේ නමුත් සයවැනි පැරකුම්බා රජුගෙන් පසුව කිරුළ හිමි වූ ජයබාහු කුමාරයාට සිහසුන දැරීමට ලැබෙන්නේ වසර දෙකක් වැනි කෙටි කාලයකි. යාපනයේ සිට පැමිණි සපුමල් කුමරු ජයබාහු කුමාරයාව මරා දමා හයවැනි බුවනෙකබාහු ලස රාජ්‍යත්වයට පත්වෙනවා. මේ සිදුවීමෙන් ඇතිවන කනගාටුව නිසා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ආගමික හා දේශපාලන කටයුතු වලින් ඈත් වී කල් ගත කරනවා. රාහුල හිමියන් පසුව වනවාසීව ජීවත් වූ බව වංශ කතා වල කියවේ.

 

මේ අවධියේ තමයි වීදාගම හිමියන් කරළියට එක්වන්නේ. තොටගමුවේ හිමියන්ගේ ගුරු හිමියන් ලෙස වීදාගම හිමියන් සමහර තැන් වල සදහන් වුවද රාජ්‍යත්වය පිළිබදව දෙදෙනා දරා ඇති වෙනස් මත නිසා එය පිළිගැනීමට යම් අසීරුත් තත්වයකට අපව පත් කරනු ලබයි. මුල් අවධියේ එක්ව කටයුතු කර පසුව විරසක වීද යත් කිසිවෙකුටත් කිව නොහැකිය. බුවනෙකබාහු නමින් රජවු සපුමල් කුමරුගේ සමයේ ලක්දිවෙන් ගිලිහී තිබූ උපසම්පදා කර්මය නැවතත් ඇති කිරීමට රාමඤ්ඤ දේශයෙන් ගෙන ආ උපසම්පදා කර්මය සදහා භික්ෂූන් වහන්සේ එක්රැස් කලේද වීදාගම හිමියන් විසින්. මේ නිසා වීදාගම හිමියන් බුවනෙකබාහු රාජුගේ සමීප හිතවතෙක් ලෙස සැලකිය හැකිය.

 

මේ අවධියේ දේශපාලන පසුබිමකින් තොරව ලියැවුන සංදේශ කාව්‍ය දෙකක් ලෙස ගිරා සහ හංස සංදේශය සැලකේ. ගිරා සංදේශයේ කතුවරයා පිළිබදව පැහැදිලි සදහනක් නැතත්  හංස සංදේශය ලිවුවේ වීදාගම හිමියන් බවට පළිගැනේ. මේ කාවය දෙකෙන් ශාසනික වශයෙන් වැදගත් ආයතන දෙකක් ගැන වර්ණනා වේ. එනම් කෝට්ටේ යුගයේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා වනසාසී සහ ග්‍රාමවාසී ලෙස කොටස් දෙකක් වාසය කර ඇත. මෙයින් වනවාසයේ ප්‍රධානියා වූයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ය. ගිරා සංදේශයේ වර්ණනා කරන්නේ රාහුල හිමියන් වැඩ විසූ තොටගමුවේ විජයබා පිරිවෙන ගැන වර්ණනාවකි.

ගිරා සංදේශයේ රාහුල හිමියන් ගැන මේසේ වැයුමක් ඇත

ගැඹුරු විජම් පෙළ කිරි සයුර ඇම විට

සොඳුරු නුවණ මෙර පහරින් සකොබ කොට

මියුරු පද අරුත් අම ගෙන දෙන ලොවට

කවුරු සදිසි වෙති මෙකලට එ යතිඳුට

වනවාසයේ නායකයා වූයේ කෑරගල වනරතන හිමියන්ය. හංස සංදේශයේ වර්ණනාවට ලක්වන්නේ වනතරන හිමියන් විසූ කෑරගල වෙහෙර සහ ගම පිළිබදවය. ඒත් සමගම ගිරා සංදේශයේ වර්ණනාවන් සිනහවට ලක් කරන ලෙසයි හංස සංදේශය ලියවෙන්නේ. මේ නිසා වීදාගම හිමි මේසේ ලියා ඇත්තේ රාහුල හිමියන්ගෙන් සපුමල් කුමාරයාට සිදුවූ එදිරිවාදී කම් නිසා කුමරුන් සතුටු කිරීමට යැයි උපකල්පනය කල හැකිය. හංස සංදේශයෙනුත් ගිරා සංදේශයෙනුත් එන වර්ණනා තුළින් රාහුල හිමියන් සතු වූ මහා දැනුම් සම්භාරය ලඝු කොට දැක්වීමට දරා ඇති උත්සායහන් නිසා මේ කාව්‍යයන්ටද දේශපාලන බලපෑමක් තිබූ බවට සිතන්නට අවකාශ සැලසේ.

 

ඉතින් කෙසේවෙතත් උක්ත කතුවරුන්ගේ සංදේශ කාව්‍යයන් තුළින් තම දේශපාලන අරමුණු ඉටුවුනත් තැතත් මේ දේශපාලන ගැටුම යුද්ධ වලින් තොරව සාහිත්‍යයෙන් සිදුවූ නිසා ලංකාවේ සාහිත්‍ය කලාවට ඉතාමත් විශිෂ්ඨ සංදේශ සාහිත්‍යයක් හිමිවූ බව නම් කිය යුතුමය...