වැස්ස....වැස්ස...වැස්ස... මම ආසම දේත් වැස්ස.. අකමැතිම දේත් වැස්ස... ඔයා දවසෙම ගොඩක් මහන්සිවෙලා වැඩ කලා. වතුර ටිකක් බොන්න, කෑම ටිකක් කන්න, තේ එකක් බොන්න... ඒ කිසිම දේකට ඔයාට නිදහසක් තිබුනේ නෑ... ගෙදරින් ගෙනාව කෑම එකෙන් කටක් දෙකක් කාලා ආයෙත් වැඩ වලට දුවන හැටි මම බලාගෙනයි උන්නේ...
මේ සොච්චම් පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි කියලා ඔයා නිතරම කිය කියාමයි හිටියේ.. ඔයාට වැඩට අඳින්න අනිත් අයට වගේ සාරිත් ගොඩක් නෑ කියලා මම දන්නවා.. අදත් ඔයා කිවුවේ මේ සාරියම තමයි හෙටත් අඳින්න තියෙන්නේ කියලා... එහෙම කියපු ඔයා මගෙන් සමු අරගෙන මහරගම පැත්තට යන්න පිටත් වුනේ මම ඔයා ඈතට යන තුරුම බලාගෙන ඉද්දිමයි.
ඊට පස්සේ තමයි මම දැක්කේ අහස කලු කරගෙන එනවා... මට මතකයි ඔයාගෙ අතේ කුඩයක්වත් තිබුනේ නෑ...ඔයාට බස්නැවතුමට වෙලා තෙමි තෙමී තමයි ඉන්න වෙන්නේ. මට වෙන කරන්න දෙයක් නෑ.. දෙවියන්ගෙන් ඉල්ලන්න එකම දෙයයි තියෙන්නේ.. අනේ දෙවියනේ මහරගමට වහින්නේ නැතුව වෙන ඕනම තැනකට වහින්න...
ඔයා අද වැස්සට තෙමුනොත් ඔයාට හෙට වැඩට ඇඳන් එන්න සාරියකුත් නෑ... මට ඔයාව බලන්න වෙන්නෙත් නෑ... ඒ වගෙම තමයි වැස්ස පායනකල් හිටියොත් ඔයාට ගෙදර යන්න වෙන්නේ මහ රෑ වෙලා... අනේ දෙවියනේ ඒ නිසා අද මහරගමට වහින්න එපා...
මහරගමට වහින් නැතුව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතුව
ඈ ඇති බස් නැවතුම ළඟ...
උදේ ඉඳන් වද විඳලා
දැනුයි ගියේ වැඩ ඇරිලා
ඇඳන් හිටපු සාරියමයි
හෙටත් අඳින්නේ කියලා...
මහ වැස්සට තෙමුණොත් ඈ
හෙට අඳින්න ඇඳුමක් නෑ
මග හිටියොත් වැස්ස නිසා
ගෙදර යන්න වෙන්නෙත් රෑ...
ගායනය : චාමර වීරසිංහ
ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ