Sri Lanka

Sunday, October 27, 2024

උඩරට මැණිකේ 19

 


පෙර ලිපිය උඩරට මැණිකේ 18


මහනුවර දක්වා මෙතෙක් ගමන

බ්‍රිතාන්‍යයයන් මෙරටට පැමිණීමේ සිට ලංකාවේ දුම්රිය මාර්ග ඉදිකිරීමේ ඉතිහාසය මෙන්ම ලංකාවේ පළමු දුම්රිය ගමන පිළිබදවද අපි ලිපි කිහිපයකින්ම කතා බහ කළෙමු. එමෙන්ම කොළඹ කොටුව සිට මහනුවර දෙසට පැමිණෙන විට හමුවන අනෙකුත් දිශාවන්ට ගමන් කරන දුම්රිය මාර්ග මෙන්ම පැති දුම්රිය මාර්ග පිළිබදවද අපි කතාබහ කළෙමු. රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, අලව්ව සහ පොල්ගහවෙල ආදී දුම්රිය ස්ථාන පිළිබදවත් එම දුම්රිය ස්ථාන වල සිට ගමන් කළ හැකි වැදගත් සංචාරක ස්ථාන පිළිබදවත් අපි කතා බහ කළෙමු. පොල්ගහවෙලින් පසුව උඩරට මාර්ගයට පිවිසිසුන අපි රඹුක්කන, ඉහළ කෝට්ටේ, බලන, කඩුගන්නාව, පිළිමතලාව ආදී දුම්රිය ස්ථාන පිළිබදවත් ඒ අවට ඇති සංචාරක ස්ථාන පිළිබදවත් කතාබහ කරගෙනම මහනුවර දක්වා පැමිණියෙමු. බදුල්ල දක්වා මාර්ගය ආරම්භ වන්නේ පෙරාදෙණිය හංදිය දුම්රිය ස්ථානයෙන් වුවත් වර්ථමානයේ බොහෝ දුම්රිය කොළඹ කොටුව සිට මහනුවර දක්වා ගමන් කරන බොහෝ දුම්රියන් මහනුවර දක්වා ගොස් නැවත බදුල්ල බලා ගමන් ආරම්භ කරන බැවින් අපිද මහනුවර වෙත ගමන් කළෙමු. ඒ නැතත් මහනුවරට පැමිණෙන අපිට බෞද්ධයාගේ මුදුන් මල්කඩක් බදු වූ මහනුවර දළදා මාලිගාව පිළිබදව කතාබහ නොකර සිටිය නොහැකි නිසාය. කෙසේ නමුත් මේ ලිපියේ සිට උඩරට මාර්ගයේ ආරම්භය සිදු වන පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානයේ සිට ඉදිරියට ගමන් කරමු.

 

පෙරාදෙණිය හංදිය දුම්රිය ස්ථානය

පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානය  අපිට මීට පෙරදී හමු වූ පොල්ගහවෙල දුම්රිය ස්ථානය මෙන්ම අතිශය වැදගත් දුම්රිය ස්ථානයකි. දුම්රිය මාර්ගය පොල්ගහවෙල හංදියෙන් මහනුවර දෙසට බෙදී වෙන් වුනා සේම පෙරාදෙණිය හංදියෙන් බදුල්ල මාර්ගයත් මහනුවර සහ මාතලේ මාර්ගයත් බෙදී වෙන් වේ. පේරාදෙණිය හංදිය මුල්ම දුම්රිය ස්ථානය ඉදිවන්නේ වර්ෂ 1867 දීය. එය කුඩා ප්‍රමාණයේ තනි ගොඩනැගිල්ලකි. එම දුම්රිය ගොඩනැගිල්ල අදද පැරණි පේරාදෙණිය දුම්රිය ස්ථානය ලෙස සංරක්ෂණය කර ජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව සලසා ඇත. එකල පේරාදෙණිය දුම්රිය ස්ථානය සාමාන්‍ය කුඩා දුම්රිය ස්ථානයක් පමණි.

වර්ෂ 1873 ජනවාරි 15 වන දින උඩරට දුම්රිය මාර්ය බදුල්ල දක්වා දීර්ඝ කිරීමේ කටයුත්ත ආරම්භ කෙරිනි. ඒ අනූව පළමු අදියර ලෙස පේරාදෙණියේ සිට ගම්පොළ දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම ඇරඹිනි. මෙම නව දුම්රිය මාර්ගය ආරම්භ කිරීමට සැලසුම් කළේ පේරාදෙණිය දුම්රිය ස්ථානය අසළිනි. මුල් යුගයේ මහනුවර ප්‍රධනතම නැවතුම වූ නිසා කොළඹ සිට පැමිණෙන දුම්රිය මහනුවර දක්වා ගමන් කර, මහනුවර සිට ආපසු පැමිණ බදුල්ල දෙසට ගමන් කිරීම සිදුවී ඇත. එම නිසා මාර්ගය ඉදිකර ඇත්තේ මහනුවර දෙස සිට ගම්පොළ දක්වා සම්බන්ධ වන මාර්ගයක් ලෙසටයි. එම නිසා මුලින්ම ගම්පොළ දෙසටද තවත් වේදිකාවක් නිර්මාණය වී ඇත. පසුකාලීනව භාන්ඩ ප්‍රවාහන දුම්රිය ආදියට මහනුවර වෙත ගමන් නොකර කොලඹ දෙස සිට කෙලින්ම ගම්පොල දෙසට දුම්රිය ධාවනය කිරිමට හැකි වෙන ලෙස තවත් කෙටි මාර්ගයකින් එම මාර්ග දෙක සම්බන්ධ කර ඇත. මේ නිසා එම කොටසේද දුම්රිය වේදිකාවක් නිර්මාණය කර ඇත. එම නිසාම පේරාදෙණිය හංදිය ප්‍රධාන දුම්රිය ස්ථනය දුම්රිය මාර්ග තුනකින් ත්‍රිකෝණාකාරව වටවී ඇත.පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට පැමිණෙන විට හමුව 54 වන දුම්රිය ස්ථානයයි. මෙම දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට කිලෝ මීටර් 115.34 ක දුරකින් පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර් 473.47 ක උසකින් පිහිටා ඇත.


නානු ඔය හරහා ඇති පාලම්


ත්‍රිකෝණාකාරව වටවී ඇති පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානය


පේරාදෙණිය හංදිය දුම්මරිය ස්ථානයේ නුවර අන්තය



පේරාදෙණිය පැරණි දුම්රිය ස්ථානය



පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානයේ සිට ඉදිරියට නැවතත්

 

පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානය පසුකර ඉදිරියට යන විට දුම්රිය ස්ථානය අසළින්ම මහවැලි ගට වම් ඉවුරෙන් එක් වන අතු ගංගාවක් වන නානු ඔය හමු වේ. මේ එකම ඔය තුන්වන වරට දුම්රිය මාර්ගයට හමුවන ස්ථානයයි. මෙම ස්ථානයේදීද ආසන්න වශයෙන් අඩි 80 ක් පමණ වන යකඩ පාලමක් ඉදිකර ඇත. මෙතැන් සිට ඉදිරියට පිළිවෙලින් කොස්හින්න, ගෙලිඔය පොල්ගහඅ, වැලිගල්ල, ගංගාතිලක සහ කහටපිටිය යන දුම්රිය ස්ථාන හමුවේ. මෙ ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගය තැනිතලා ප්‍රදේශයක ගමන් කරයි. උන්නතිය වෙනස් වන්නේ මීටර් කිහිපයකින් පමණයි. මීළගට හමුවන්නේ අපගේ උඩරට දුම්රිය චාරිකාවේ තවත් වැදගත් දුම්රිය ස්ථානයකි. එනම් ගම්පොළ දුම්රිය ස්ථානයයි. ගම්පොළ දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට හමුවන 62 වන දුම්රිය ස්ථානයයි. එය කොළඹ කොටුවේ සිට කිලෝ මීටර් 127.38ක දුරකින් පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර් 479.26 ක උසකින් පහිටා ඇත.


කොස්හින්න දුම්රිය ස්ථානය


ගෙලිඔය දුම්රිය ස්ථානය


පොල්ගහඅග දුම්රිය ස්ථානය



කහටපිටිය දුම්රිය ස්ථානය



ගම්පොළ දුම්රිය ස්ථානය



ගම්පොළ දුම්රිය ස්ථානය


ගම්පොළ දුම්රිය ස්ථානයට පැමිණෙන අපට සංචාරය කිරීමට වැදගත් ස්ථාන කිහිපයක්ම හමුවේ. ඒවා අතරින් කිහිපයක් ගැන අපි කතාබහ කරමු.

 

අම්බුළුවාව ජෛව විවිධත්ව හා සරව ආගමික සංකීරණය

 

අම්බුළුවාව යනු මුහුදු මට්ටමේ සිට අඩි 3567 ක උසකින් පිහිටි ප්‍රධාන කන්දකි. ගම්පොළ නගරයේ සිට හෙම්මාතගම මාර්ගයේ කිලොමීටර් 5ක් පමණ ගමන් කළ විට අම්බුළුවාව පර්වතයට පිවිසනෙ මාර්ගය හමුවේ. හෝර්ටන් තැන්න සේම ප්‍රපාතාකර වංගු සහිත මාර්ගයක ගමන් කර පර්වතය මුදුනට පිවිසිය හැකිය. මෙම පර්වතය මුදුනේ පිහිටා ඇති අම්බුළුවාව ගොවිජන චෛත්‍යය අද වන විට සියළුම සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගෙන ඇත. මෙම පර්වතය මුදුනේ එම චෛත්‍යය සහිත පන්සල, කතෝලික පල්ලිය, කොවිලක් සහ මුස්ලිම් පල්ලියක් දැකිය හැකිය.

 

අම්බුළුවාවේ ඉතිහාසය ගම්පොළ රාජධානි සමය දක්වාම දිවයයි. ලක්දිව හතරවන රාජධානිය බවට පත්වූ ගම්පොළ රාජධානියේ රජවරු සිව්දෙනෙකු රජකම් කළ බව ඉතිහාසයේ සදහන්වේ. එකල ගම්පොළ රාජ මාළිගාව පිහිටා තිබී ඇත්තේ අම්බුළුවාව කදු පාමුල පිහිටි වර්ථමානයේ ගොඩගම නමින් හදුන්වන ප්‍රදේශයේ බව ඉතිහාසඥයන් හදුනාගෙන තිබේ. එම නිසාම අම්බුළුවාව එකල රාජධානියේ ප්‍රදාන ආරක්ශක මුරපොළ ලෙස භාවිතා වන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ නමුදු පසුකාලීනව සිදුවූ ඉංග්‍රීසි ආක්‍රමණයෙන් පසුව ගම්පොළ රාජමාළිගාවේ සියලු පුරාවස්තු විනාශ කර දමා එම ඉඩම් සියල්ල ඔවුන්ගේ කෝපි වගාව සදහා යොදාගෙන තිබේ. කෙසේ වෙතත් අම්බුළුවාව කන්දේ වැඩි ප්‍රමාණයක තද කළු ගලෙන් යුක්ත වූ නිසාවෙන් හෝ එහි පරිසර පද්ධතියට ඉංග්‍රීසීන්ගෙන් බලපෑමක් සිදුවී නැත.

පසුකාලීනව අම්බුළුවාව පිළිබදව අසන්නට ලැබෙන්නේ ඩඩ්ලි සේනානයක පාලන සමයේදීය. අහිදී එම රජය විසින් ගම්පොළ සිංහයාපිටිය ආරාමයට පූජාභූමි ඔප්පුවකින් මෙම කදු මුදුන සහිත ප්‍රදේශය පූජා කර තිබේ. කෙසේ හෝ ජෛව විවිධත්වයෙන් ඉහළ වූ මෙම භූමිය වර්ෂ 1976 දී රක්ෂිත වනෝද්‍යානයක් වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇත. පසුකාලීනව මෙහි ජෛව විවිධත්ව සංකීර්ණයක් ඉදිකරීම සදහා 1994 දී එවකට පොදුජන පෙරමුණු රජයේ ඉඩම් හා වැවිලිකර්මාන්ත අමාත්‍ය දි.මු ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේ අමාත්‍යමණ්ඩල පණතක් සම්මත කර ඇත.

පසුව 1997 දී අමාත්‍ය දි.මු ජයරත්නගේ මැදිහත්වීමෙන් අමුබුළුවාව ප්‍රවේශ මාර්ගය ඉදිකිරීම ආරම්භ කරන ලදී. පසුව එහි ඇතුළතින් මුදුනට ගමන් කළ හැකි ලෙස අඩි 223ක් උසැති ගොවිජන චෛත්‍යය නිර්මාණය කර ඇත. එහි වී බිස්සක ආකාරය ඇති මුල් කොටසින් වී ගොවියා සංකේතවත් වන බවත්, වට්ටක්කා ගෙඩියක හැඩැති දෙවන කොටසින් එළවළු ගොවියා සංකේතවත් වන බවත්, කොකෝවා ගෙඩියක හැඩැති තුන්වන කොටසින් පළතුරු ගොවියා සංකේතවත් වන බවත් මෙහි නිර්මාතෘ වූ දී.මු ජයරත්න මහතා පවසා ඇත. මීට අමතරව මෙහි කතොලික පල්ලිය, මුස්ලිම් පල්ලිය හා කෝවිල ඉදිකර ඇත්තේ මෙය සර්ව ආගමික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමටය. තවද මේ ඉදිකිරීම් වලට පහළින් උමං මාර්ගයක්ද ඉදිකර ඇත.

මෙම ඉදිකිරීම් ආසන්නයේම අවට කදු පන්ති නිරීක්ෂණය කිරීම සදහා නැරඹුම් මැදිරියක් ඉදිකර ඇත. එමෙන්ම මෙහි සිට සමනළ කන්ද, නකල්ස් කදු වැටිය, පිදුරුතලාගල, කිරිගල් පොත්ත කන්ද හා හන්තාන කදු වැටිය ආදී බොහෝ සුන්දර ස්ථාන නැරඹිය හැකිය. අක්කර 927 ක් පුරා පැතිරී ඇති අතිශය සුන්දර පරිසර පද්ධතියක් වන අම්බුළුවාව තුළ ඉහළ ජෛව විවිධත්වයක් ඇත. මෙහි අපෘෂ්ඨවංශික සතුන් හා ශාක විශාල ප්‍රමාණයක් මෙන්ම කෘමීන් හා කුරුමිණි වර්ග රැසක් මෙහි දැකිය හැකිය. මෙහි ඇති සුන්දරත්වය නිසාම අද වන විට දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද ආදරයට අම්බුළුවාව පත්වී ඇත.








තේ වතු කම්කරු කෞතුකාගාරය (Tea Plantation Workers’Museum & Archive)

සමාජ සංවර්ධන ආයතනය විසින් ප්‍රථම තේ වතු කම්කරු කෞතුකාගාරය සහ ලේඛනාගාරය 2007 වර්ෂයේදී ස්ථාපිත කරන ලදී. එය ගම්පොළ සිට දොරගල දෙසට දිවයන මාර්ගයේ පාරදෙක හංදියෙන් කෙලින්ම ගොස් හමුවන දොරගල හන්දියේ සිට තවත් මීටර් 200ක් පමණ දුරින් පිහිටා  ඇති පරණ පීකොක් වත්තේ වසර සියයක් පමණ පැරණි ලයින් කාමරයක (කම්කරුවන්ගේ නිල නිවාස) පිහිටා ඇත. ගම්පොල තේ වතු කම්කරුවන්ගේ කෞතුකාගාරය සහ ලේඛනාගාරය මුල් වතුකරයේ ප්‍රජාවගේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා පිහිටුවන ලදී. කෞතුකාගාරය මුල්කාලීන වතුකරයේ ජන ජීවිතය පැති හතරකින් ඉදිරිපත් කරයි. අතීතයේ තේ දළු නෙලීම සදහා භාවිතා කරන ලද උපකරණ, තේ වගාව පිළිබද පැරණි ඡායාරූප, පැරණි සංගීත උපකරණ වැනි භාණ්ඩ රැසක් මෙහිදී දැකගත හැකි අතර වතු කම්කරුවන්ගේ ලයින් කාමරයක සැබෑ ස්වරූපය මෙහිදී දැකගත හැකිය. කෞතුකාගාරය අඟහරුවාදා සිට ඉරිදා දක්වා 9.00 සිට 4.00 දක්වා විවෘතව පවතී.







කබරගල කන්ද

ගම්පොළ සිට කුරුදුවත්ත හරහා කබරගලට පිවිසිය හැකිය. දුම්රියෙන් ගමන් කරන ඔබට නාවලපිටියෙන්ද කබරගලට පිවිසිය හැකිය. දොලොස්බාගේ කදු පන්තියට අයත් උසම ශිඛරය වන කබරගල මුහුදු මට්ටමේ සිට මීටර් 1506 ක උසකින් යුක්ත වේ. කදු නගින්නන් මෙන්ම රාත්‍රි කදවුරු බදින්නන්ගේ ද නොමද ආදරයට ලක්වූ මෙම ස්ථානය පිළිබදව ඔවුන්ගේ මතය නම් මෙය අතිශය සුන්දර අත්දැකීම් ලබා දෙන පාරාදීසයක් බදු ස්ථානයකි.

කූඩැල්ලන් බහුලව ගැවසෙන ප්‍රදේශයක් බැවින් මෙහි සංචාරය කරන්නන් ඒවාට පිළියම් සපයාගත යුතුය. නිතර මීදුමෙන් වැසෙන මෙම කන්ද අවට කාලගුණය විටින් විට වෙනස් වේ. මෙම කන්ද මුදුනට දිස්වන අවට සුන්දර පරිසරය අතරින් කොත්මලේ ජලාශය, මොණරා ඇඩු කන්ද, පුස්සැල්ලාව, අම්බුළුවාව අවට ප්‍රදේශ මෙන්ම ශ්‍රීපාදය දක්වා දිවෙන මධ්‍යම කදුකරයේ නිරිත දිග ප්‍රදේශයත් ඉතා මනරම්ව දැකිය හැකිය.








ඉතිරිය ඊළග කොටසට

 (ඡායාරූප අන්තරජාලයෙනි)


සටහන

චතුරංග ජයසුන්දර