Sri Lanka

Friday, May 15, 2015

සුළග නුඹ වගෙයි




අද අපි තොරගත්ත අපි ආදරය කරන ඉතාමත් සුන්දර ගීතයක්. මේ ගීතය ගැන සටහන අපිට ගෙනත් දුන්නෙ අපේ හිතවතෙක් වන හරුෂාන් පල්ලෙතැන්න සහෝදරයා. අපි ඔහුට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව ඒ පිළිබදව. අධික වැඩ රාජකාරි කටයුතුත් එක්ක ලිපි ලියන එකට පුංචි පුංචි බාධා එල්ල වුනත් ඉඩක් ලැබුන ගමන්ම යමක් ලියන්න තමයි උත්සාහ කරන්නෙ. අපේ ලිපි වලට Like කරල Comment කරල අපිට ආශිර්වාද කරන හැමෝටම ගොඩක් ස්තූතියි. අපි දන්නව තවත් අය ලිපි කියවලා විතරක් යන්න යනව. අපි එ කවුරුත් එක්කවත් තරහ නෑ. ඒ මෝටමත් ගොඩක් ස්තූතියි.

යමුනා මාලනි පෙරේරා යනු සිංහල ගීත ක්ෂේත්‍රයට ගීත බොහොමයක් දායද කල පරිණත ගීත රචිකාවියකි. දිවුලගනේගේ රෝස තොල් සිඹිමි, චන්දනගේ සුවද මට දී වැනි ගීත තාමත් අපේ මතකයේ රැදී පවතී. යමුනා මාලිනීයගේ ගම ගාල්ලය. ඇගේ සුන්දර පාසල් සමය ගතකරන විට ඇය සිටියේ ඒ ලස්සන ගාලු පුරවරයේය. මුහුදු සුළග හැල්මේ විත් ගාලු කොටුවේ බැම්මට උඩින් කඩා පනින අපූරුව මේ සොදුරු යෞවනියට කවියක් වැනි විය. ඇයත් ඇගේ ළගම යෙහෙළියත් මේ කොටු බැම්ම දිගේ ඇවිද ගෙන ගොස් එක්තරා බංකුවක වාඩි ගත්හ.

සුළගේ ඝෝෂාවත් මුහුදේ ඝෝෂාවත් අත්වැල් බැදගෙන ගාලු කොටුව වටකර ගෙනය.

"අර බෝයි ඊයෙත් මට හම්බ වුණා."
 
ඒ සුළගේ ඝෝෂාවට අස්සෙන් යෙහෙළිය කියනු යමුනාට ඇසුනි.

"ඉතිං"

"ඒ වුනාට මං ගර්ල් ප්‍රේන්ඩ් කෙනෙක් වෙන්න බයයි. මට පිරිම් විශ්වාස නෑ."

"හොද පිරිමිත් ඉන්නව"

"ඉන්නව තමා. ඒත් ඒ ගොල්ලෝ තාම ඉපදිලා නැහැ. එහෙම නැතිනම් මැරිලා."

යමුනාට සිනා ගියේය. තම යෙහෙළිය පැහිලා යැයි ඇයට සිතුනි.

"මොකද උඹ හිනා වුණේ"

"උඹේ දාර්ශනික අදහස් වලට හිනා ගියා. "

"මං කියන්නෙ බොරුද? "

"අනේ මන්දා බං මට තේරෙන්නෙ නෑ"

"උඹ කියන්නෙ මට ඌ  එක්ක යාළු වෙන්න කියලද? "

"පිස්සුද මං මුකුත් කියන්නෙ නෑ. "

බොහෝ වෙලාවකට පසුව බංකුවෙන් නැගිට ගත් යෙහෙළියෝ කොටු බැම්ම දිගේ ඔහේ ඇවිද ගියහ.
 
කාලය ගෙවී ගියේ පුරුදු විදියටමය.

 යෙහෙළියට හිතගිය තරුණයා ඔහුගේ ලුහුබැදීම නතර කළේ නැත. යුවතිය ප්‍රේමයට අකමැති බව දැන දැනත් ඔහු ඇගේ පසුපසම ලුහු බැන්දාය. අවසානයේ ඇගේ ගැහැණු සිත වෙනස් විය. පිරිමින් විශ්වාස නොකළ ඇය ඒ තරුණයා විශ්වාස කරන්නට පටන් ගත්තාය. ඇගේ හිත ආදරයෙන් පිරී ගියේය. පිහාටුවක සැහැල්ලුවක් ඇයට දැනෙන්නට විය. මේ ලොව සිටින විශ්වාස කළ හැකි එකම පිරිමියා ලෙස ඔහුව යමුනාදට දවසක් හදුන්වා දුන් ඒ යෙහෙළිය ඉන් පසුව ගාලු කොටු බැම්ම දිගේ ඇවිද ගියේ ඔහු සමගය.

අත්තටු ලද කිරිල්ලියක මෙන් ප්‍රේමයේ විසල් අහස පුරා ඇය ඉගිලුනාය. ඔහුත් සමගින් සිහින මවමින් ආදරයේ අනන්තයටම ඇය ඇවිද ගියාය. ඉරෙත් හදෙත් කවුරුවත් කවදාවත් නොදුටු ලස්සනක් දකිමින් මල් පෙති වල ආදරය ලියමින් ඔවුහු ඇවිද ගියහ. ආදරයේ සොදුරු සිත්තමි අහස පුරා සිතුවම් කලාය. ජීවිතයම සිහිනයක් දැයි ඇයට සිතුනි.

වසර තුනක් පමණ ගෙවී ගිය පසුව එම යෙහෙළිය යමුනාගේ ගෙදරට ආවාය. 


"හුග කාලෙකින් මොකෝ අද තනියම? කො උඹේ කුරුල්ලා? "
යමුනා ඇසුවේ යෙහෙළියගේ කම්මුල් මත තම කම්මුල් තද කරමින්.

යෙහෙළිය සිනාසුනේ නැත. ඇගේ මුහුණ වැහි වලාකුළු වලින් පිරුණු අදුරු අහසක් වැන්න. 

"මං ඉස්සරෝම උඹට කිවුව දේ හරි. "

යෙහෙළිය කිවුවේ සන්සුන් ලෙසය.

"මොකක්ද? "

යමුනා විපිලිසරව යෙහෙළියගේ මුහුණ දෙස බැලුවාය.

"පිරිමි විශ්වාස කරන්න බෑ"

යෙහෙළිය කියද්දී ඇගේ ඇස් තෙත් විය. යමුනා ඇගේ සුරත ගෙන හිස අතගෑවාය.

ප්‍රේමයේ කදුළින් ඇගේ ලෝකය වැසී ගොසිනි.

"මං ආදරේ කරන්න බෑම කියද්දි මගේ පස්සෙන්ම ආවා. කොහොම හරි මාව ආදරේ කරන්න පොළඹවා ගත්තා. අනිතමට මට දුකක් දීලා එයා යන්න ගියා. ඒත් මං එයා එක්ක තරහ නෑ. මට කරහ වෙයන්න බෑ. මං එයාට වෛර කරන්නෙ නෑ. ආදරේ කරපු හිතින් මට එයාට වෛර කරන්න බෑ. "

යෙහෙළිය යමුනාගේ උරහිස මත තම හිස තියාගන ඇති තරම් හැඩුවාය. යෙහෙළිය නික්ම ගියේ බොහෝ වේලාවක් අඩා දොඩා ප්‍රේමයේ ගතු කීමෙන් පසුවය.

යමුනාගේ හිත බරය. යෙහෙළිය වෙනුවෙන් ඇයගේ හිතද හඩා වැලපෙන්නට විය.  ඒ හැගුම් වලින් බරවූ හිතට සැනසීම උදා කරන්නට නම් ඒ බර කඩදාසියක සටහන් කළ යුතුමය. ඇය පෑන අතට ගත්තාය. වචන ගලා ආවේ සුළග සේමය.

සුළග නුඹ වගෙයි - සිත් මල වටා එතෙයි
මල් සුවද හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේයි - සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි....

සිත හැදිනුවෙත් නුඹයි
පසු පසම එළව එළවා විත්
සැනසුවෙත් නුඹයි....
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි.....

සිත තනි කළෙත් නුඹයි
මගේ හිතේ සියුම් තැන් සොය සොයා
රිදෙවුවෙත් නුඹයි...
ඒත් නුඹෙන් සිත නොමිදේ
පුදුමයක් තමයි.....


මේ පදවැල යෙහෙළියගේ නමින් ඉතිරිව තිබියදී යෙහෙළිය පිට රටකට ගියාය.
යමුනා මාලනී මේ පදවැල කරුණාරත්න දිවුල්ගනේට දුන්නාය ඒ වන විටත් යමුනා ලියූ රෝස තොල් සිඹිමි ගීතය ගයා දිවුලගනේ බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්වී සිටි බැවින් යමුනාගේ තවත් ගීතයක් ගැයීමට සිතුවා විය හැකිය.
අවසානයේ සුළග නුඹ වගෙයි ගීතය දිවුලගනේගේ නිල් දියවර කැසට් පටයේ පහළොස්වැනි ගීතය ලෙස තැන්පත් වී රසික සිත් සතන් පැහැර ගන්නට සමත්කම ලැබුවේය.
"මේ ගීතය පුරාවටම තියෙන්නෙ සුළග වැස්ස මල් සුවද වගේ සොබැදහමේ දේවල්. ඇයි ඔබේ බොහෝ ගීත මේ සොබා දහමේ බැදිලා තියෙන්නෙ. "
එසේ ඇසූ විට යමුනා දුන්නේ මෙවැනි පිළිතුරකි.
"සොබාදහම කියන්නෙ මගේ අනිත් අම්ම. ඉතින් ඉතින් මං හැමදේම දකින්නෙ සොබාදහම ඇසුරෙන්. "
ඉතින් මම දවුල්ගනේගේ සුළග නුඹ වගේ ගීතය දෑස් පියගෙන සවන්දෙමි. මගේ සිතේ බොහෝදේ චිත්‍රනය වේ.
ගාලු කොටු පවුර දෙසින් එන මුහුදු සුළගේ හඩ මට ඇසෙයි. ඒ හඩට මම සවන් දෙමි. ඒ හඩ අතරින් ගාලු කොටු පවුර මතින් ඇවිද යන පෙම් යුවලක් මගේ දැස් මානයේ මැවී පෙනෙයි..

ගීතය මෙතනින් බලන්න




No comments:

Post a Comment