Sri Lanka

Tuesday, September 3, 2019

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 08


පෙර ලිපි 





 මහවැලි ගට නම වැටෙන තැන....

අපි මේ ආව ගමන මුල ඉදන් නැවත් මතක් කරගත්තොත් ගොඩක් පහසුයි මේ කතාවට. හෝර්ටන් තැන්නෙන් පටන් ගන්න පුංචි දියකදුරට අග්‍රා බෝපත් කදු වලින්, තොටුපොල කන්දෙන් එන දිය සීරා එකතු වෙලා අග්‍රා ඔය හැදෙනව. අග්‍රා ඔයට දඹගස්තලා ඔය සහ නානු ඔය එකතු වෙලා කොල්මලේ ඔය  හැදෙනව. කොත්මලේ ඔයට මල්දෙණියෙදි පූන්ඩලු ඔය එකතු වෙනව. එතනින් පස්සෙ ඉහල කොත්මලේ සහ කොත්මලේ මහා ජලාශය හැදෙනව. පූනා ඔය කොත්මලේ ඔයට එකතු වෙන්නෙත් දැන් මේ ජලාශය හරියෙදි. ජලාශයෙන් පස්සෙ මල ගක් වන කොත්මලේ ඔයට නැවතත් ජලාශයෙන් කොත්මලේ බලාගාරයට ගත්ත වතුර කිලොමීටර පහක් පමණ එහායින් එකතු වෙනව. ඒ ජලයත් තවත් දියසීරාවලුත් එක්වන කොත්මලේ ඔය තවත් ඉදිරියට යනව. අපි මීලගට කතා කරපු ඇබෝස්ලි වත්තෙන් පටන් ගන්න හැටන් ගග අනිත් පැත්තෙන් ගලනව. මෙන්න මේ ඔයවල් දෙක අපේ ගමනේ සුවිශේෂීම සන්ධිස්ථානයකට පැමිණෙනවා. ඒ තමයි මහවිල්ලාව..

අපි කතා කලා ගිණිගත්හේනෙදි වැස්සෙන් එන වතුර ගිණිගත්හේනෙ පොළිසියේ වහලට වැටිලා ඒ වතුරෙන් කොටසක් කෙහෙල්ගමු ඔයටත් අනෙත් කොටස හැටන් ගටත් එකතුවෙන හැටි. ඒ ගත් කොත්මලේ ජලාශෙන් පස්සෙ ගලන කොත්මලේ ඔයත් මහවිල්ලාවෙදි එකට එකතු වෙනව. අන්න එතනදි තමයි මුල්ම වතාවට මේ ගමහවැලි ගකියන නම වැටෙන්නෙ. මෙතන ඉදන් අපි යන්නෙ මහවැලි ගග දිගේ..


හැටන් ගගත් කොත්මලා ඔයත් එක්වී මහවැලිය නිර්මාණය වන තැන


මෙම ස්ථානය ගූගල් සිතියමේ දැක්වෙන අයුරු

මේ කියන ගං මන්සල අමුතුම ආකාරයේ තුන් හුලස් සථානයක්. මේ ඉවුරු තුනෙන් ගම්මනා තුනක් හැදිල තියනව. මේ ගංගා දෙකට මැදිවෙලා තියෙන්නෙ පොල්වතුර කියන ගම. වම්පැත්තෙන් පල්ලෙගම සහ දකුණු පැත්තෙන් මහවිල. මේ අතුරින් මහවිල කන්ද මුදුනට නැග ගත්තොත් මේ ගං මංසල හොදින්ම බලාගන්න පුලුවන්. මේ ස්ථානය අපිට මතක් කරල දෙනව පැරගුවේ, ආජන්ටිනා සහ බ්‍රසීලය වෙන්කරන, Parana සහ Iguazu නම් ගංගා හමුවන ස්ථානය.


ආජන්ටිනා සහ බ්‍රසීලය වෙන්කරන, Parana සහ Iguazu නම් ගංගා හමුවන ස්ථානය.


මේ ගංගා දෙක හමුවෙලා මහවැලි ගඟ කියන නම ලැබුනට පස්සෙ ඊට ටිකක් පහළින් අපිට හමු වෙනව මහවැළි ගගේ පළමු පාලම ඒතමයි උලපනේ පාලම. මේහි මුලින්ම තිබුනෙ යකඩ පාලමක්. නමුත් පසුකාලීනව මෙහි කොන්ක්‍රීට් පාලමක් ඉදිවෙලා තියනව.



උලපනේ පාලම

මෙම ස්ථානයේ  Street View බලන්න මෙතනින් යන්න

 මේ පාලම් දෙකටම එහායින් තියනව තවත් අපූරු පාලමක්. උලපනේ පරන පාලම. මේ පාලම දිහා බැලුවොත්, බැලූ බැල්මටම පේන්නෙ පාලම අනිත් පැත්තට හයි කරල වගේ. මෙහි ගම්මු මේ පාලමට කියන්නෙ මෝඩ පාලම කියල. ඒකට ලස්සන කතාවකුත් තියනව. මේ පාලම හදපු ඉංජිනේරුවාට සැලැස්ම වැරදිලා උඩ අතට හයිකරන්න ඕන කැලී ටික යට අතට හයි කරලා මෙහෙම හැදුවලු. හදල ඉවර වුනාට පස්සෙ වැරදිච්ච බව දැනගෙන කරන්න දෙයක් නැතුව ඒ පාලම උඩට නැගල ගට පැනල දිවි නහගත්ත කියල. නමුත් ඒ කතාව බොරු. නිකන්ම කතාවක් විතරයි. මේ පාලම් වර්ගෙ හැටි තමයි ඒ. මෙම පාලම් වර්ගය ඉංග්‍රීසියෙන් හදුන්වන්නෙ Bowstring truss bridge කියල. මේ සඳහා පේටන්ට් බලපත්රය 1841 දී ස්ක්යයර් විපල් Squire Whipple විසින් ලබාගෙන තියනව. 


Ulapane Fool’s Bridge (Upside Down Bridge) – උලපනේ මෝඩයාගේ පාලම (උඩ යට පාලම )


මේ හරියෙදි මහවැලි ග ටිකක් බොහොම කලබලකාරී විදියට ගලනව. මේ ඉසව්ව රාෆ්ටිං ක්‍රිඩාවට යොදාගන්න හැකියාව තිබෙනව. නමුත් ටිකක් භයානකයි. ඒ නිසාම බොහොම හොදින් පුහුණු වුන රාෆ්ටිං ක්‍රීඩකයෙකුගෙ සහය නැතුව මේ තැන්වල රාෆ්ටිං ක්‍රීඩාව කරන්න යන්න එපා කියන අවවාදය මතක තබාගත යුතුයි.


මේ හරියෙදි රාෆ්ටිං ක්‍රිඩාඩ භයානකයි
 

 ගඟ සිරි පුර නොහොත් ගම්පොලට ගොඩබහිමු

උලපනේ නගරය පසු කරගෙන මහවැගි ග බොහොම සරු සාරෙට ගලනව. ඉන් පසුව මේ ගඟ ගලගෙන යනව. ඉන් පසුව බොහොම සශ්‍රීක කලාපයක් හරහා ගලාගෙන යනව. මේ සශ්‍රීක කලාපයට නම ලැබුනෙත් මේ ගඟ නිසාමයි. ඒ තමයි ගඟ සිරි පුර. ගඟ නිසා සශ්‍රීක වුන පුරවරය තමයි ගඟ සිරි පුර නමින් හැදින් වුනේ.  අද මේ ප්‍රදේශය හදුන් වන්නෙ ගම්පොළ නමින්. ගම්පොල නගරය ගම්පොල රාජධානිය නිසා තමයි වඩාත් ප්‍රසිද්ධ වුනේ. කාලිංග මාඝ සමග ඇති වුන චෝල ආක්‍රමණත් සමග ලංකාවේ රාජධානිය නිරිතගට සංක්‍රමණය වෙනව.

 නමුත් මේ කිසිදු රාජධානියකට අනුරාධපුරයේ හෝ පොළොන්නරුවේ තරම් ස්ථාවර වෙන්නට නොහැකි වුනා. මේ හේතුව නිසාමයි දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, රයිගම, කෝට්ටේ සහ මහනුවර යන රාජධානි බිහිවෙන්නෙ. අපි හේ කථා කරන ගඟ සිරි පුර රාජධානියේ මුලින්ම රජවුන රජතුමා තමයි හතරවැනි බුවනෙකබාහු රජතුමා. එතුමා රජ කරන්නෙ ක්‍රි .ව එක්දාස් තුන්සිය හතලිස් ගණන් වල. එතැන් පටන් රජවරු හතර දෙනයි මේ රාජධානියේ රජකම් කරන්නෙ. බොහොම සුලු කාලයක් තමයි ඔවුන් රජකම් කරන්නෙ. එක්දහස් තුන්සිය හතලිස් ගණන් වල ඉදන් එක්දාසි නවසිය අසූ ගණන් වෙනකල්. හතරවෙනි බුවනෙකබාහු, පස්වෙනි පරාක්‍රමබාහු, තුන්වෙනි වික්‍රමබාහු සහ පස්වෙනි බුවනෙකබාහු කියන රජවරු තමයි වෙහි රජකම් කලේ. මේ රාජධානිය ඉතාමල් කුඩා කාලයක් පැවතුනත් අපි කවුරුත් දන්න ලංකාතිලකය, ඇම්බැක්කේ, ගඩලාදෙනිය වගේ ස්ථාන අපේ සංස්කෘතියට එකතු වුනේ.

 

ගම්පොල නගරය හරියෙදි අපේ මහවැලි ගඟ අඩි දෙදහසේ සීමාව පසු කරනව. අපි මේ ගමන පටන් ගත්තේ අඩි හත්දහසකටත් ඉහළින්. අපි හෝර්ටන් තැන්නෙදි දැක්ක අඩියත්වත් පළල නැති දිය උල්පත මේ හරියෙදි මහ විශාල ජල භාරයක් දරගෙන ගලනව. කාලෙකට ඉහතදි මේ ගම්පොළ ප්‍රදේශය ගං වතුරෙන් යටවෙලා තියනව. ඔය කොත්මලේ මහා ජලාශය ඉදි කරන්නට එක අරමුණක් ලෙස මෙහි ගංවතුර උවදුරින් මුදා ගැනීමත් සදහන් වෙලා තිබුන කියනව. විශාල ජල කදක් රැගෙන මේ ප්‍රදේශයේදි ගඟ ගලන නිසා ගංවතුර උවදුරක් තිබුනාය කියල අපිට හිතන්නටත් පුළුවන්. ඒ කෙසේවෙතත් දැන් ජලාශය ඉදිකිරීමෙන් පස්සෙනම් ඒ ගං වතුර උවදුර නැතිවෙලා ගිහින්. 

 

     අපිට ගම්පොලදී හමුවෙනවා මහවැලිය මතින් ඉදවුන තවත් පාලමක් වන ගම්පොල පාලම. A5 පේරාදෙණිය - චේන්කඩි ප්‍රධාන මාර්ගයට සම්බන්දවයි. මෙය මහවැලි ගගේ හමුවන දෙවන පාලමයි. එමෙන්ම උලපනේ යකඩ පාලමෙන් පසුව බ්‍රිතාන්‍යයන් මහවැලි ගගේ ඉදිකල දෙවන යකඩ පාලමද මෙහි දැකගත හැකිය. වර්තමානයේ එය පුරාවස්තුවත් ලෙස ආරක්ෂා කර ඇති නිසා ඒ මතින් රථවාහන වලට ගමන් කල නොහැක.                               

 

 මෙහිදී බ්‍රතාන්‍යයන් විසින් මුලින්ම ඉදිකල පාලම සංගිල් පාලමකි. නැතහොත් වැල් පාලමකි.එම පාලම 1859යේ ජනවාරි 01 වැනි දින එවක ශ්‍රී ලංකාවේ ආණුඩුකාරවරයා වූ හෙන්රි වෝඩ් ආණ්ඩුකාරය විසින් විවෘත කරන ලදී. මෙම පාලම ජල මට්ටමේ සිට අඩි 50ක් උසින් හා අඩි 205ක දිගකින් යුක්ත විය. එය වර්ෂ 59ක් පුරා මහජනතාව විසින් භාවිත කරන ලදී.                               

     
ගම්පොල පැරණි පාලම සහ නව පාලම
පැරණි යකඩ පාලම



    1918 දී එම පැරණි සංගිලි පාලම වෙනුවට යකඩ පාලමක් ඉදිකරන ලදී. එය අඩි 300ක් දිග හා අඩි 20ක් පළල විය. මෙම පාලම අඩි 150ක් බැගින් වූ කොටස් දෙකකින් සාදා ඇත. මෙය විවෘත කර ඇත්තේ 1926ාය් පෙබරවාරි 07 වැනි දින එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර වරයා වූ සර් හියුග් ක්ලිෆර්ඩ් විසින්ය. මෙහි නිර්මාණ ශිල්පියා ලෙස දක්වා ඇත්තේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ජේ. ස්ටාචන් විසින් සහ එහි ඉංජිනේරු ජේම්ස් ග්රේ විින් බව සදහන් වී තිබේ. අද අපිට ගමන් කරන කොන්ක්‍රීට් පාලම ඉදිවන්නේ මෑත යුගයේ දීය. 


ගම්පොළ පසුකරගෙන පේරාදෙණියට යන්න කලින් අපිට හම්බවෙනව බෝතලපිටිය තොටපල. මේ තොටපලෙන් අපිට යන්න පුලුවන් ලංකවේ මෑත ඉතිහාසයට බොහොමත්ම සම්බන්ධ ස්ථානයකට. ඒ තමයි ලූල්කදුර වතුයාය. මේ වතුයාය පිහිටන්නෙ මුහුදුමට්ටමේ සිට අඩි 3600ක් පමණ උසින්. මේ ඓතිහාසික වත්ත අපිට වැදගත් වෙන්නෙ ඇයි කියල දන්න නොදන්න හැමොටම දනගන්නත් එක්ක අපි ඒ ගැනත් කතාකරන්න හිතුව.

 

අපි ලූල් කදුර වතු යායට යමු

 

 

මේ වත්තට ගොඩවුනාම හේවාහැට සහ දෙල්තොට මිටියවත් බොහොම හොදට දැකගන්න පුළුවන්. 1850 වන විට ඉංග්‍රීසීන්ගේ කෝපි වගාව බොහොම ජයටම කෙරීගෙන ගියා. ඒ කාලෙ ලංකාව කියන්නෙ සුද්දන්ගෙ බොහොම සාරවත් කෝපි වත්තක්. නමුත් කොපි වගාවට ධරුණු දිලීරයක් බෝ වෙලා 1880 දශකය වන විට මුළුමනින්ම විනාශ වෙලා යනව. ලංකාවේ වතු වැවිලි ආර්ථිකය මීළගට ගෙනයන්නේ කොයිබටද කියන කාරණාව හිතමින් ඉන්න කාලෙක තමයි ජේමිත් ටේලර් මහත්තය ලංකාවට එන්නෙ. ඔහු විසින් උතුරු ඉන්දියාවේ ඇසෑමයේ (Assam) සිට සොරකම් කරගෙන ආව තේ ඇට ස්වල්පයක් මේ ලූල්කදුර වත්තේ වගාකර පර්යේෂණය කලා. ඒ පර්යේෂණ සාර්ථක වීම නිසා ලංකාවේ පළමුවැනිම තේ වැවිලි වත්ත මේ ලූල්කදුර වත්තේ ආරම්භ කලා. 

 


සුන්දර ලූල්කදුර වතුයාය
 
 

ජේම්ස් ටේලර් මහතා

ලංකාවේ තේ කර්මාන්තයේ පුරෝගාමියා වූ ජේම්ස් ටේලර් 1835 දී ස්කොට්ලන්තයේ කිංකාඩිනේෂිරෝ හි ලෝරන්ස්කිර්ක් හි මොන්බොඩෝ වතුයායේ මොස් උද්‍යානයේ මයිකල් සහ මාග්‍රට් ටේලර්ට දාව උපත ලැබීය (වික්ටෝරියා රැජින සිංහාසනයට පත්වීමට වසර දෙකකට පෙර). 17 හැවිරිදි තරුණයෙකු ලෙස 1851 ඔක්තෝබර් 22 වන දින ලන්ඩනයේ සිට පිටත්ව ගිය ඔහු 1852 දී ලංකාවට පැමිණියේය. පැමිණීමෙන් පසු මහනුවර සිට සැතපුම් කිහිපයක් ඈතින් පිහිටි හේවාහැටෙහි ලූල්කදුර වතුයායට යවන ලදී.

ලංකාවේ තේ වගාවේ පියා ජේම්ස් ටේලර්

 
ලූල්කදුර වතුයායේ ඉදිකර ඇත් ජේම්ස් ටේලර් ප්‍රතිමාව
 

කඳුකරයේ බොහෝ වතු වල කෝපි වගා කළ කාලය මෙයයි. කෝපි වගාව දිලීරයකින් විනාශ වී ඇති හෙයින්, තේ වගාව එහි ස්ථානයට පැමිණ වර්ධනය වීමට විකල්ප බෝගයක් බවට පත්විය.ටේලර් ප්‍රථම වරට 1867 දී ලූල්කදුර වතුයායේ අක්කර 19 ක තේ වගා කිරීම ආරම්භ කළේය.

 ඔහු භාවිතා කළ බීජ අසාම් සිට ගෙනවිත් තිබේ. ඔහුගේ පරිපූර්ණ පුරෝගාමී ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන්, තේ කර්මාන්තය දිවයිනේ ආර්ථිකයේ ගැඹුරට මුල් බැස ගත් අතර ජේම්ස් ටේලර් “ලංකා තේ කර්මාන්තයේ පියා” ලෙස පිළිගැනීමට ලක්විය.

 

ආරම්භයේ දී ජේම්ස් ටේලර් බංගලාවේ ආලින්දයේ දී තේ සාදා ගත්තේ කොළ අතින් මේස මත රෝල් කරමිනි. ඔක්සිකරණය වූ කොළ ගිනිගැන්වීම සඳහා මැටි උදුන සහ අඟුරු ගිනි භාවිතා කරන ලදී. ඔහු මෙම අතහාදා බැලීම සදහා භාවිතා කල‍ෙ Trial and error method නෙැමති දීර්ඝ ක්‍රමයකි. එනම් ක්‍රම ගණනාවක් යොදාගෙන තම ප්‍රතිඵලය ලැබෙන තුරු විසදුම් හොයන ක්‍රමයකි. ඔහුගේ පළමු තේ දේශීයව අලෙවි වූ අතර ඒවා රසවත් යැයි ප්‍රසිද්ධියට පත් විය.

සෑම විටම ඉගෙනීමට කැමති ඔහු අත්දැකීම් ඇති පුද්ගලයින්ගෙන්, විශේෂයෙන් ඇසෑම් වැවිලිකරුවන් කිහිප දෙනෙකුගෙන් උපදෙස් ලබා ගත්තේය. ටේලර් පැවසුවේ, “තේ නිෂ්පාදනය සම්බන්ධයෙන්, මම ප්‍රධාන වශයෙන් අන් අයගෙන් සහ කියවීමෙන් ඉගෙන ගත් නමුත් මම ඉතා සාර්ථක වීමට පෙර එය අත්හදා බැලීම් රාශියක් ගත කළෙමි. කැචර්හි ඉන්දියානු තේ වැවිලිකරුවෙකු වන නොබෙල් මහතා අසල්වැසි කෝපි වත්තක් බැලීමට ගිය අතර, මගේ බංගලාවේ උයනේ පැරණි තේ පඳුරු කිහිපයක වැඩෙන කුඩා කොළයක් සමඟ උදුරා ගැනීමට හා වියළීමට හා පෙරළීමට මට මග පෙන්වීය. ” .කෙසේ වෙතත් පසුව ඔහුගේ තේ මන්දිරයට තවත් උපකරණ හඳුන්වා දුන් අතර ලංකාවේ මෙතෙක් නිපදවන ලද පළමු රෝලරය ඒ සඳහා භාවිතා කරන ලදී.

 

කුඩා පැකට් දෙකකින් රාත්තල් 23 කින් සමන්විත ලංකා තේ තොගය ලන්ඩන් තේ වෙන්දේසියට යවන ලදි. නැව්ගත කිරීමේ වටිනාකම රුපියල් 58 කි. 1873 දී ඔහුගේ පළමු ගුණාත්මක තේ ලන්ඩන් වෙන්දේසියේදී ඉතා හොඳ මිලකට අලෙවි විය.එය මිනිසෙකු සඳහා වූ කුඩා පියවරක් වූවත්, යෝධ පිම්මකින් සමෘද්ධිමත් වෙළඳාමකට මග පෑදූ අතර, අද දක්වාම එය වටිනා සම්පතක් ලෙස සැලකේ.ජේම්ස් ටේලර් තම හදවත සහ ආත්මය තේ වගා කිරීමට යොමු කළේය. ඔහු කවදාවත් විවාහ වී සිටියේ නැත.ඔහු ශ්‍රී ලංකාවේ ගත කළ අවුරුදු හතළිහ තුළ නිවාඩුවක් ගත කර ඩාර්ජිලිංහි තේ හැදෑරීමට ගත කළේය. ජේම්ස් ටේලර් 1892 මැයි 02 වන දින ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 57 දී අභාවප්‍රාප්ත වූ අතර මහනුවර “මහයාවා සුසාන භූමියේ” තැන්පත් කරන ලදී.

 
ජේම්ස් ටේලර් සොහොන
 
ජේම්ස් ටේලර් පිළිබදව විස්තර සටහන් කර ඇති ඵලකය
 

ජේම්ස් ටේලර් භාවිතා කළ උපකරණවල නටබුන් ලංකා තේ කෞතුකාගාරයට ගෙන ගොස් ඇති අතර ඒවා කෞතුකාගාර පරිශ්‍රයේ ඇති “ජේම්ස් ටේලර් කොටසේ” ප්‍රදර්ශනය කෙරේ.

     අපි මේ කථා කරන මේ ලූල්කදුර වත්තේ එක් ස්ථානයක තිබෙනවා ගල් ආසනයක්. ජේම්ස් ටේලර් මහත්තයා මේ ගල් ආසනයේ ඉදගෙන තමයි මේ වත්ත සැලසුම් කලේ කියල විශ්වාසයක් තියනව. අවුරුදු 17දී තමයි ජේමිස් ටේලර් මහත්තය ලංකාවට එන්නෙ. 1867දී තමයි ලංකාවේ තේ වගාව ආරම්භ කරන්නෙ. මේ තේ වගාවත් එක්ක ලංකාවේ ආර්ථිකය, සමාජය, දේශපාලනය උඩු යටිකුරු වුනා. අද වන විට මොන තරම් දේවල් ලංකාවේ ආර්ථිකයට එකතුවෙලා තියනවද. ඒ තරම් විශාල වගාවක් ආරම්භ කරන්නට පර්යේෂණය කරපු ඒ ජයභූමිය අපි දැකගත යුතුමයි.

 

ලංකාවේ මුල්ම තේ පැලය රෝපනය කල ඒ ජය භූමිය..
 
 

චීනය තමයි ලෝකයට තේ කියන බෝගය හදුන්වා දුන්නේ. බොහෝ කාලයක් එහි වැවිලි බෝගයක් ලෙස ජාත්‍යන්තරය හමුවේ එහි පුරෝගාමීත්වය දැරුවේ චීනයයි. චීනයේ සිට ඉන්දියාවේ ඇසෑමයට එහි අදිකාරීවරයෙක් තමන්ගෙ සැරයටියේ තේ ඇට ස්වල්පයක් සගවාගෙන ගියා කියල තේ ලෝක ඉතිහාසයේ සදහන් වෙනව. නමුත් ඇසැමයේ සිට ජේම්ස් ටේලර් මහත්තයා ලංකාවට තේ ඇට ගෙනාවෙ කොහොමද කියල අපි දන්නෙ නැහැ. නමුත් ඒ තේ ඇට පැල කෙරුවෙ අපි මේ කතා කරන ලූල් කදුර වතුයායේමයි. එයින්පසුව ලංකාවේ තේ වගාව නිසා වෙනස් වුන ආර්ථික හා සමාජීය කරුණු නම් බොහොමයි.

 

මේ ජේම්ස් ටේලර් මහත්තයා ජීවත් වුනෙත් මේ ලූල්කදුර වතුයායෙමයි. ඔහු ජීවත් වෙලා තියෙන්නෙ ලී බංගලාවක. ලී වලින් සදා තිබූ නිසමා අද මෙයි නෂ්ඨාවශේෂ බොහොම අඩුවෙනුයි දකින්න ලැබෙන්නෙ. දැනට මෙහි ඉතිරි වෙලා තියෙන්නෙ එම නිවසේ තිබූ ගිණි උදුන පමණයි. 

 
ජේම්ස් ටේලර් මහතා ජීවත් වූ ලී බංගලාවෙන් දැනට ඉතිරිවී ඇත්තේ ඔහු භෘවිතා කල ගිණි උදුන පමණයි

 මේ ස්ථානයේ 360 view photo බලන්න මෙතනින් යන්න

 
ජේම්ස් ටේලර් මහතා තමන්ගේ වතු යාය සැලසුම් කලේ මේ ගල් ආසනය මත ඉදගෙනයි...
 

ඉතිරිය මීලග ලිපියට...




No comments:

Post a Comment