Sri Lanka

Friday, April 24, 2020

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 13

පෙර ලිපිය මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 12



රන්ටැඹේ ජලාශය


රණ්ටැඹේ ජලාශය

 

රන්දෙණිගල ජලාශය බලන්න ගියපු අපි මීගලට යනව රන්ටැඹේ ජලාශය බලන්න. මේ වේල්ල පිහිටලා තියෙන්නෙ රන්දෙණිගල ජලාශයට පහළින්. ඒ කිවුවෙ රන්දෙණිගල වේල්ලෙන් එහා පැත්තෙ තියෙන්නෙ රන්ටැඹේ ජලාශයේ මෙපිට ඉම. මේ වේල්ල මීටර 420ක් දිගයි. ඒ වගේම මීටර 41.5 ක් දිගයි. මේ වේල්ල තනිකරම කොන්ක්‍රීට් වලින් නිම කරපු සාමාන්‍ය වේල්ලක්. අපි අර වික්ටෝරියාවෙදි කතා කලා වගේ මේ ජලාශය නිර්මාණයේදි සුවිශේෂී කාරණා නම් නැහැ මේ වේල්ල ගැන කියන්න. මේ ජලාශයට යාබදව ඇති විදුලිබලාගාරය මගින් මේගා වොට් 50ක විදුලියක් නිපදවෙනව. මේ රන්ටැඹේ තමයි ඉහ මහවැලි ව්‍යාපෘතියේ අවසාන ජලාශය. මෙතනදි කියන්න ඕන තවත් වැදගත් දෙයක්. ඒ තමයි වික්ටෝරියා බලාගාරයේදි නිපදවෙනව මෙ.වො 210ක්, රන්ණෙිගලදි මෙ.වො ‍120ක් සහ රන්ටැඹේදි මෙ.වො 50ක් නිපදවෙලා හැදෙන මෙ.වො 380ක විදුලිය යැවෙනව අපි අර කලින් කතා කරපු කොත්මලේ සම්ප්‍රේෂනාගාරය වෙතට. එතනින් තමයි ලංකාව පුරාම විදුලිය බෙදෙන්නෙ. එහෙම කිවුවට ඉතින් ලංකාව පුරාම විදුලිය බෙදෙන විදිය ටිකක් සංකීර්ණ වැඩක්. ඒක ගැන වෙනමම දීර්ඝ ලිපියකින් කතා කරන්න ඕන දෙයක්.


 
රණ්ටැඹේ වේල්ල

උමා ඔය

රන්ටැඹේ ජලාශයට ජලය සැපයෙන ප්‍රධානතම අතු ගංගාව තමයි උමා ඔය. මෑතකදි ඔය ගොඩක් ගැටළුකාරී තත්වයන්ට මුහුණ දුන්න උමාඔය ව්‍යපෘතිය ආරම්භ වෙන්නෙත් මේ උමා ඔයෙන්ම තමයි. උමා ඔය සැතපුම් 46.5කි. උමා ඔය කියන්නෙ ප්‍රධාන ගංගාව හැදෙන්න කලින් අතු ඔයවල් බොහොමයක් එකතු වෙලා හැදෙන ඔයක්. මොකද මේ අතු ඔයවල් වලටත් එකතු වෙන තවත් අතු ඔයවල් තියනව. අපි මේ උමා ඔයේ මුල් දිය කුර හොයාගෙන ගියොත් අපිට යන්න වෙන්නෙ උෘව ද්‍රෝණිය පැත්තට. අපිට සිද්ද වෙනව ප්‍රධාන අතු ඔයවල් ගැන පමණක් කතා කරන්න. මොකද අපේ ප්‍රධාන කතාව මහවැලි ගග නිසා.

උමා ඔය
උමා ඔය




Lovers leap දියඇල්ල

නුවර එළිය උඩුපුස්සැල්ලෑව පාරෙ ටික දුරක් යනකොට හම්බවෙනව හාවා එළිය. හාවා එළියෙන් තමයි මේ දියඇල්ල තිබෙන ස්ථානයට යන්න පුලුවන්. Lovers leap යනු සිත් ඇදගන්නාසුළු දිය ඇල්ලකි. මෙම ස්ථානයට ළඟා වීමට කෙනෙකුට Pedro Tea Estate තේ කම්හල හරහා ගොස් කුඩා පාරක් දිගේ තේ කළමනාකරුගේ බංගලාවට යා යුතුය. එහි ඇති සලකුණු අනුගමනය කිරීමෙන් අමුත්තන්ට මෙම ගමනාන්තයට ළඟා විය හැකි අතර අවසානයේ කෙනෙකුට ශිව සිද්ධස්ථානයක් කරා ළඟා විය හැකිය. දේවමාළිගාවෙන් ඔබ්බට ගිය කෙනෙකුට දිය ඇල්ල දැකගත හැකිය. පුරාවෘත්තයට අනුව මෙම දිය ඇල්ලෙන් පෙම්වතුන් ඔවුන්ගේ මරණයට පැන ඇති අතර එම නිසා ලවර්ස් ලීප් යන නම ලැබී ඇත. උසින් මීටර 30ක් වන මේ දියඇල්ල ලගදි අපිට නතරවෙන්නට සිද්ධවෙන්නෙ මේ ඔයේ උල්පත සොයන්න අපිට අපහසුයි. කිසිවෙකුටත් ලගාවිය නොහැකි මානයක තමයි මෙහි මුල් උල්පත පිහිටලා තියෙන්නෙ. මෙය පිහිටලා තියෙන්නෙ පිදුරුතලාගල කදු පාමුල. මේ දියපාර පහලට 2Km පමණ ගලාගෙන ගිහින් බොඹුරු ඇල්ල ජලාශය හැදෙනව. 


Lovers leap දියඇල්ල
 
Lovers leap දියඇල්ල පිහිටීම Google maps වල

බෝඹුරු ඇල්ල

නුවර එළිය නගරය ආසන්නයේ "බොඹුරු ඇල්ල ජලාශය" පිහිටා තිබෙනවා. මේ සාදා තිබෙන්නේ වැලිමඩ සානුවේ වාරි ජලය කළමනාකරනය කිරීමටයි. මේ ජලාශයේ සොරොව්වෙන් පිටවන ජලයෙන් " ගමන ආරම්බ කරන "දුහුල්ගොල්ල ඔය" ( උමා ඔය)බෝඹුරු ඇල්ල රක්ශිතය හරහා කිලෝමීටර 4 ක් පමන ගමන් කොට රක්ශිතයෙ අවසන් සීමාවේදී තවත් අපූරු දිය ඇල්ලක් නිර්මානය කරනවා. ඒ තමයි සුන්දර "බෝඹුරු ඇල්ල. බොඹුරු ඇල්ල යනු ලංකාවේ පළලතම දිය ඇල්ල ලෙස සැලකෙන දිය ඇල්ලයි. බෝඹුරු ඇල්ල, පේරවැල්ල ඇල්ල යනුවෙන්ද හදුන්වයි. මීටර 50 ක් පමන උස මෙම දිය ඇල්ල කොටස් 4 කින් පමන උඩ සිට පහළට කඩා හැලෙන අතර දෙමුහුම් දිය ඇල්ලක් ලෙසද හඳුන්වයි. ඌව පරනගම ප්‍රදේශයට අයත් වන අතර වැලිමඩ- අඹගස්දූව මාර්ගයෙ පැමිණ දුෂ්කර පා ගමනකින් පසුව බෝඹුරු දිය ඇල්ල අසලට ලඟා විය හැකියි. දිය ඇල්ල මීටර 1300 ක පමන උසක පිහිටන අතර දුහුල්ගොල්ල ඔය( උමා ඔය) එතැන් පටන් බෑවුමක් ඔස්සේ තවත් කිලෝමීටර 6 ක් පමන ගිය තැන " හල් ඔය" සමග එකතු වෙනවා.

බොඹුරු ඇල්ල

 අපි ගමන් කරන මීළග අතු ගංගාව තමයි හල් ඔය. හල් ඔය මුල් දියත්ත පිහිටන්නෙ නුවර එළියේ ග්‍රෙගරි වැවෙ තාවල්ලෙ පිහිටි කදු බෑවුමෙන්. අපි එහෙම කියන්නෙ සිතියම් වල විදියට කෙසේවෙතත් සැබෑ පිහිටීමට ගියොත් තත්වය වෙනස් නිසා. මොකද ග්‍රෙගරි වැව පැත්තෙන් බැලුවොත් ග්‍රෙගරි වැව ඉස්මල්තෙ තියන කදු වල ජල සීරාවන් ගල බහින්නෙ වැවටමයි. ඒ නිසා අපි සොයා බලන්න‍ට ඕන මේ කියන කන්දෙ දිය බෙත්මක් තියනවද කියල. ඇත්තටම මේ කන්දට වැටෙන වතුර වලින් කොටසක් ග්‍රෙගරි වැවට ලැබෙන අතර අනෙක් කොටසින් නැත්තන් අනෙක් බෑවුමෙන් තමයි අපි මේ කියන හල් ඔය නිර්මාණය වෙන්නෙ. 

 

උමා ඔය ව්‍යාපෘතිය

 

මීළගට තමයි උමා ඔය සම්බන්ධව අපි කතා කරන වැදගත්ම කාරණාව. එ තමයි ඉතාමත් ආන්දෝලනයකට තුඩු දුන්න උමා ඔය ව්‍යාපෘතිය උමා ඔය කියන්නේ මහවැලියෙන් පස්සේ අපේ රටේ ඇති වෙච්චි ලොකුම බහුකාර්ය ව්‍යාපෘතිය. ඒ කියන්නේ එක ව්‍යාපෘතියකින් විදුලිය නිපදවීම, පානීය ජලය, වාරි ජලය, ගංවතුර පාලනය වගේ වැඩ ගණනක් සිදුකරන ව්‍යාපෘතියක් කියන එක. වැස්ස කාලෙට උමා ඔය ඉහළට ලැබෙන වර්ෂා ජලය නිසා ගංවතුර ඇතිවෙන එක පාලනය කරන්න උමා ඔය ඉහළ ජලාශයක අවශ්‍යතාව ගැන කතාබහ ඇති වුණේ 1950 ගණන්වල ඉඳලා. කොහොම වුණත් මේ ව්‍යාපෘතිය මුලින්ම සැලසුම් වෙන්නේ 90 දශකයේ; ඒ කියන්නේ දැනට අවුරුදු 30කට විතර කලින්. ඒ හරහා මේ කියන ගංවතුර ගැටලුව විසඳන්න වගේම මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල වාරි ජල සහ පානීය ජල අවශ්‍යතා සපුරන්නත් මේ ව්‍යාපෘතිය හරහා සැලසුම් සකස් කරලා තිබුණා. කොහොම වුණත් 1991 දී මිනිස්සුන්ගේ නිදහසේ ජලය ලබාගැනීමට තියෙන අයිතියට බලපෑම් වෙනවා කියන පදනම උඩ ඇති වෙච්ච උද්ඝෝෂණ සහ තාක්ෂණික දෝෂ නිසා මේ ව්‍යාපෘතියට අනුමැතිය හිමිවෙන්නේ නැහැ.


පුහුල්පොල ජලාශය

එහෙම අතඇරලා දාලා තිබුණ මේ ප්‍රොජෙක්ට් එක ගැන ආපහු කතාබහ ඇතිවෙන්නේ 2008 දී. ඒ 2008 දී ඉරාන රජයේ තාක්ෂණික සහ මූල්‍ය උපකාර සහිතව උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩ්නිජාඩ් අතර අත්සන්කරන ගිවිසුමත් එක්ක.

උමා ඔය උමග

මේ සඳහා ඇස්තමේන්තුගත මුදල ඩොලර් මිලියන 529 කි. ඉන් 85% ක් ඉරාන රජයේ අපනයන සංවර්ධන බැංකුව ණය මුදලක් විදිහට ලබාදෙයි. ඉතිරි 15% ක මුදල ලංකා රජය විසින් දරනු ඇත. මෙම ව්‍යාපෘතිය තුළින් මෙගා වොට් 120 ක විදුලි ධාරිතාවක් උත්පාදන හැකියාවක් අපේක්ෂා කරයි. ඊට අමතරව එම ජලය හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක වෙත බෙද‌ා හරින අතර දකුණේ හා නිරිතදිග වියළි කලාපයේ ඉඩම් අක්කර 5000කට ජලය සම්පාදනය කිරීමට ද සැලසුම් කර ඇත. 

 
ආන්දෝලනයට තුඩු දුන් උමා ඔය ජලා කාන්දුව

මේ ව්‍යාපෘතිය කොටස් කිහිපයකින් යුක්ත එකක්. උමා ඔයේ ප්‍රඹෘන ගංගාවේ නිර්මාණය කරනව පුහුල්පොල ජලාශය. පුහුල්පොලෙන් පස්සෙ ඇටම්පිටියෙදි උමා ඔයට එකතුවෙන මාතැටිල්ල ඔය කියන ඔයේ ඩයරබාහිදී අනෙක් ජලාශය නිර්මාණය වෙනව. මේ ස්ථානයේ තමයි අර ආන්දොලනයට තුදු දුන්න උමග කැණීම් කරන්නෙ. උමා ඔයේ වැඩියෙන්ම කතාබහ කෙරෙන්නේ උමග ගැන. හැබැයි ඇත්තටම මේ ප්‍රොජෙක්ට් එකේ උමං 4ක් තියෙනවා.


 1.   පුහුල්පොල ඉඳලා ඩයරබා ජලාශයට ජලය ගෙන එන කි.මී. 4ක උමග

 2. එතැන ඉඳලා කරඳගොල්ලේ භූගත විදුලි බලාගාරයට ජලය ගෙනයන කි.මී. 15.2ක උමග

 3. භූගත විදුලි බලාගාරයට ජලය ඇතුළු කිරීම සඳහා කි.මී. 1.5ක් දිග උමග

 4. විදුලි බලාගාරයේ ඉඳලා අලිකොට ආර දක්වා කි.මී. 3.3 ක ජලය පිට කිරීමේ උමග
 

 කොහොම නමුත් මේ ව්‍යාපෘතිය කරගෙන යන අතරතුර විශාල පාරිසරික ගැටළු රාශියකට මුහුණ දෙන්න සිද්ධවුනා. නමුත් කොහොම හරි මේ කාරණා විසදගෙන මේ ව්‍යාපෘතිය නිම කරන්න තමයි රජය උත්සාහ කරන්නෙ. මොකද කෙසේ හෝ ගැටළු වලට නිසි විසදුම් දෙමින් මේ ව්‍යාපෘතිය නිම කළොත් එහි ප්‍රතිලාභ ජනතාවටමයි.

 
ඩයරබාහි පිහිටි ජලාශය

උමග ඇතුලත. උමග ඛනින යන්ත්‍රය


මාතැටිල්ල වාරිමාර්ග යෝජනා ක්‍රමය

මාතැටිල්ල ඔය ආරඹ්භ වෙන්නෙ තොටුපොල කන්දෙන්. අපිට මුලින්ම හමු වුනානෙ හෝර්ටන් තැන්නෙදි කොටුපොල කන්ද. ඒ තොටුපොල කන්දෙ අනෙක් බෑවුමෙන් තමයි මාතැටිල්ල ඔය ආරම්භ වෙන්නෙ. සුප්‍රසිද්ධ ඔහිය පැත්තෙන් තමයි මාතැටිල්ල ඔ්‍ය ගල්නෙ. එහෙම ගලපු ඔය තමයි ඩයරබාහිදී දැන් අලුතෙන් උමා ඔය ව්‍යාපෘතියෙදි හරස් කරන්නෙ. මේ ඔය ගලාගන ඇවිත් මාතැටිල්ල කියන ප්‍රදේශයේදි දියඇල්ලක් නිර්මාණය කරනවා. නමුත් දිය ඇල්ල මුදුනෙදි වේල්ලක් බැදල තියනවා. ඒ තමයි මාතැටිල්ල වාරිමාර්ග යෝජනා ක්‍රමය. මේ වේල්ල අඩි 42ක් දිගයි. මේ අමුණෙ ඉදින් සැතපුම් 7.25ක් දිග ඇල මාර්ගයක් දිගේ අරන් යනව අක්කර 500ක් පමණ ඉඩම් ප්‍රමාණයක් පෝෂණය කරන්න.


උමා ඔයට මාතැටිල්ල ඔය එකතුවෙන තැන



මාතැටිල්ල වාරිමාර්ග යෝජනා ක්‍රමය

 
මාතැටිල්ල අමුණ Google maps වලට පෙනෙන අයුරු

වෙල්ලවෙල ජල විදුලි බාලාගාරය

මාකැටිල්ල අමුණෙනුත් පස්සෙ මාතැටිල්ල ඔය තවත් කුඩා දිය ඇල්ලක් නිර්මාණය කරනවා. අන්න එතනදි නැවතත් ඔ්‍ය හරස් කරල ගන්න වතුර පාරකින් ඊට පහළින් පිහිටි වෙල්ලවෙල විදිලු බලාගාරය නිර්මාණය වෙනවා. මේ බලාගාරය හොදින් ජලාය ලැබෙන විටෙක කි.වො 150ක පමණ විදුලියක් නිපදවනවා. නමුත් උමා ඔය මහා ව්‍යාපෘතියත් එක්ක අපි මේ කතා කල ස්ථාන දෙකටම ජලය ලැබීම දැන් දැන් අඩු මට්ටමකට ලන් වෙනවා.

 
වෙල්ලවෙල ජල විදුලි බලාගාරය

බෝගොඩ පාලම සහ විහාරය

බොගොඩ පාලම නැමති ඓතිහාසික පාලම ඉදිවෙන්නෙ ගල්ලන්ද ඔය හරහා. මේ ගල්ලන්දා ඔය හලාබ කියන හරියෙදි තමයි උමා ඔයට එකතු වෙන්නෙ. බෝගොඩ විහාරය කියන්නෙ වළගම්බා රජතුමා සැගවී සිටියා යැයි සැලකෙන ලෙනක. මේ ලෙන තුළ ක්‍රි.පූ දෙවැනි සියවසට අයත් බ්‍රාහ්මීය අක්ෂර සහිත  ලෙන් ලිපියක් දකින්න පුලුවන්. අපිට දකින්න ලැබෙන ලෙන් විහාරය ඉදි කරන්නෙ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. මේ පන්සල් භූමිය තුළ තමයි මේ ඓතිහාසික පාලම පිහිටන්නෙ.

 

ඓතිහාසික බෝගොඩ රජමහා විහාරය

සුප්‍රසිද්ධ බෝගොඩ පාලම

මේ පාලම මුලින්ම තනන්නෙ 4වන පරාක්‍රමබාහු රජතුමා. ඒ කිවුවෙ ක්‍රි.ව 13 වෙනි සියවසේ දඹදෙණියෙ රජකල රජතුමා. එතුමන් මේ පාලම ඉදිකරන්නෙ බදුල්ලේ සිට මහනුවඑ දක්වා වැටී තුබුන ප්‍රධාන පාර මේ හරහා වැටී තිබුන නිසා කියලයි සැලකෙන්නෙ. එතුමන් විසින් ඉදිකරනු ලබන්නෙ මේ පාලමේ යට ඇන්ද පමණයි. ඉන්පසුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තමයි මේ පාලමට අම්බලමක අවශතාවයත් සපුරමින් අපූරු කැටයම් සහිත දැව වහලක් ඉදිකරන්නෙ. මේ පාලම මීටර 15ක් පමණ දිගින් යුතුව තනා ඇති අතර මීටර 1.5 ක පමණ පළලකින් සමන්විත වේ. මීටර 2.4 ක පමණ උසකින් යුතුව පාලමට සම්බන්ධ කොට වහළයක් නිර්මාණය කොට තිබීම බෝගොඩ පාලමෙහි සුවිශේෂත්වය වැඩිකිරීමට හේතු සාධක වී තිබේ. පාලමෙහි දැවමය වැට පැරණි කැටයම් වලින් අලංකෘත කොට තිබේ. මීටර 11 ක උසකින් යුතු විශාල දැව කඳක් මත පාළම පිහිටුවා තිබේ.

 

බෝගොඩ පාලම තවත් කෝණයකින්

හලාබ යකඩ පාලම

අපි කලින් කතා කල ගල්ලන්දා ඔය හලාබ කියන හරියෙදි තමයි උමා ඔයට එකතු වෙන්නෙත මේ හලාබ කියන හරියෙදි අපිට දකින්න පුලුවන් තවත් සුවිශේෂී පාලාමක්. ඒ තමයි හලාබ යකඩ පාලම. මේ පාලම දිස්ක්‍රික්ක දෙකක් යාකරමින් එනම් බදුල්ල සහ නුවර එළිය දිස්ත්‍රික්කය යාකරමින් තමයි මේ පාලම ඉදි කරල තියෙන්නෙ. 1919 දී රජයේ කර්මාන්ත ශාලාවෙන් මෙය නිර්මාණය කරන ලදි කියල පැරණි පුවරුවක සටහන් වෙලා තියනවාත මේ පාලම අඩි 380ක් පමණ දිගයි. අද වන විට මහා කැලයක් මැද්දෙ දිරා යමින් තිබුනත් අතීතයේදි බදුල්ලේ සිට මහනුවරට යන්නට ප්‍රධාන පාරක් මේ හරහා තිබෙන්නට ඇතැයි විශ්වාස කරනවා.

 
හලාබ යකඩ පාලම

හලාබ යකඩ පාලම google maps වල

ජාතික ශිෂ්‍ය භට බළකා පුහුණු මධ්‍යස්ථානය

රන්ටැඹේ ගැන කතා කල නිසාම ඒ අවට පිහිටි තවත් සුවිශේෂී ස්ථානයක් ගැන කියන්න ඕන. ඒ තමයි ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානය සහ ඇගයීම් කදවුර පිහිටලා තිබෙන්නෙත් මෙහි වීම. ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානය පිහිටා ඇත්තේ රන්ටැඹේ ජලාශයට ඉහළිනි. කලකට ඉහත මහවැලි ව්‍යාපාරය සිදු කරද්දී ඉංජිනේරුවරු සහ සේවකයන් ගේ නවාතැනක් වූ රන්ටැඹේ දැන් ශිෂ්‍යභටයන්ගේ පුහුණු බිමක් බවට පත්ව තිබේ. ශිෂ්‍යභට පුහුණු කිරීම් සඳහා මනා ලෙස සකස් කර ඇති මෙහි යුද හමුදා කඳවුරක මෙන් සියලු අංග සකස් වී තිබේ.


ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානය
 
 
ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පිහිටීම Google maps වල