Sri Lanka

Saturday, March 21, 2020

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 12



අපි වික්ටෝරියා මහා වේල්ල බලන්න යමු.

 මහවැලි ගග පොල්ගොල්ලෙදි හරස් කලාට, එය පූර්ණ රැදවුමක් නෙමෙයි. එතනින් එහාටත් ගග ගලනව. ඒ කිවුවෙ අපි කලින් කතා කල කොත්මලේදි වගේ මෙතනින් එහාට ගග මළ ගගක් බවට පත් වෙන්නෙ නැහැ. ගග ඉදිරියට ගලනව. පොල්ගොල්ලෙන් පස්සෙ මහවැලි ගග මීලගට ගමන් කරන්නෙ කුණ්ඩසාලේ හරහා. කුන්ඩසාලේ කියන්නෙ ඓතිහාසික වශයෙන් ගත්තම ගොඩක් වැදගත් ප්‍රදේශයක්.

කුණ්ඩසාලේ සෙල්ලම් නිරිදු

කුණ්ඩසාලේ ප්‍රසිද්ධියට පත් වන්නේ කුණ්ඩසාලේ අගනුවර කරගෙන රජ කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුකලය. (ක්‍රි.ව 1707-1739) නරේන්ද්‍රසිංහ රජු කුණ්ඩසාලේ අගනුවර කොට ගෙන රජ කළේ 1707 සිට 1715 දක්වා කෙටි කාලයකි. ඉන්පසු ඔහු කුණ්ඩසාලේ අතහැර දියතිලකපුර හෙවත් හඟුරන්කෙත අගනුවර කර ගත්තේය. අවසාන සිංහල රජු ඔහුය. ඔහුගෙන් පසු රජකමට පත් වූයේ නායක්කාර් රජවරුය. තරුණ වියේදීම රජකමට පත් නරේන්ද්‍රසිංහ කුමරු ස්ත්‍රිය - සුරාව - විනෝදය තදින් ප්‍රිය කළ අයෙකි. ජන කවිවල පවා ඔහු හඳුන්වනුයේ ‘‘සෙල්ලම් නිරිඳු’’ යනුවෙනි. රජු වයස 49 අකාලයේ මිය ගියේ වැරදි රාගික ජීවිතයෙන් වැලඳුණු ලෙඩ හා සුව කළ නොහැකි රෝග නිසාය.


සිංහලේ අවසාන රජු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා

            නරේන්ද්‍රසිංහ රජුගේ නාන තොට පිහිටා තිබුනේ මේ අපේ මහවැලි ගග කුන්ඩසාලේ හරහා ගලා යන ලේවැල්ල නම් ප්‍රදේශයේදීමයි. රාගාධීක රජෙකු වූ නිසා තම ස්ත්‍රින් සමග දිය කෙළියේ යෙදී තිබුනේ මේ හරියෙදියි. බොහොම අපූරු කතාවක් තියනව මේ නාන තොටේදි රජතුමාට සිදු වුන. දිනක් රජතුමා නෑමට ගොස් ගිමන් හැරීමට ගග අසල ඇති ගලකට හේතුතු වෙලා ගග දිහා බලාගෙන ඉන්නකොට ගග මතුපිට බත්කූරො වහනව දැකල තියනව. මේක දැකපු රජතුමා තමන්ගෙ සේවකයන්ට වහාම දන්වලා තියනව ගිහින් බලන්න කියල. සේවකයො බලනකොට එතන උල් ඇනල. මේ උලේ තමයි බත් කූරො වහල තියෙන්නෙ. මේ රජතුමාට බොහොම හතුරො ඉදල තියනව. ඒ හතුරන්ගෙ වැඩක් තමයි මේක. පස්සෙ රජතුමා මේතන සුද්ද කරගෙන නාල ඇවිත් තියනව. ඉතින් මේ ඇනල තිබුන උලට කිවුවේ ෂූලය කියල. ඒ බත්කූරෝ වර්ගයට කිවුවෙ කුණ්ඩා කියල. ඉතින් මේ කුණ්ඩා වහපු ෂූලය, කුණ්ඩෂූලය කියල හැදිල පස්සෙ කාලෙ කුණ්ඩසාලෙ කියල හැදුන කියල සදහන් වෙනව. 


 
සෙල්ලම් නිරිදු හෙවත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු කඩා කල හැදුනු වැඩුනු කඩතුරාව ගල් ලෙන

නරෙන්ද්‍රසිංහ රජතුමා කුණ්ඩසාලේ ලේවැල්ලේ මහවැලි ගගේ දිය නෑ ස්ථානය


            තවත් කතාවක් තියනව මේ කුණ්ඩසාලෙට නම හැදුන. බුද සහ ගුරු අතර සටනක් ඇති වෙලා ඒ දෙන්නගෙන් කෙනෙක්ගෙ කුණ්ඩලාභරණයක් මේ තැනට කඩා වැටෙනව කියල ඉන්දියාවෙ හිටපු බ්‍රාහ්මණයෙකුටත්, ලංකාවේ පොන්න නැකැත්තා නැත්තන් අපිට ඔය මුනගැහුන කොත්මලේ ගණිතයාටත් නක්ෂත්‍රයෙන් දැනගන්න ලැබෙනව. ඔවුන් ඒ කුණ්ඩලාභරණය වැටෙන තැන සහ නැකත දැනගන්නව. ඉතින් දෙන්නම මෙතෙන්ට ඇවිත් මේ නැකත උදාවෙනකල් බලන් ඉදල තියනව. හරියටම ඒ කිවුව නැකතට කුණ්ඩලාභරණය මෙතෙනුට කඩා වැටුනලු. ඉතින් කතාවට අනූව කුණ්ඩලාභරණය හම්බ වෙලා තියෙන්නෙ ඉන්දියාවෙන් ආපු බ්‍රාහ්මණයාට. පස්සෙ මේ බ්‍රාහ්මණයා මේ කුණ්ඩලාභරණය දළදා මාළිගාවට පූජා කළා කියල සදහන් වෙනව. ඉතින් මේ කුණ්ඩලාභරණය හමුවූ තැන මුල් කරගෙන මේ ප්‍රදේශයට කුණ්ඩසාලේ කියල හැදුන කියලත් සදහන් වෙනව.



අපි මේ කිවුව සෙල්ලම් නිරිදු නොහොත් නරේන්ද්‍රසිංහ රජතුමා ගැන අපූරු කවියක් අපිට අහන්න ලැබෙනව කුණ්ඩසාලේ ගැමියන්ගෙන්.

             

උඩින් තනාලා උඩනෙත්ති                මාලේ

බිමින් තනාලා බිමනෙත්ති               මාලේ

සාදා පොල් පුවක් ගග දෙපස            දෑලේ

සෙල්ලමි නිරිදු වඩිනා            කුණ්ඩසාලේ

            ඉතින් අපි මේ කතා කරපු නරේන්ද්‍රසිංහ රජතුමාගේ කුණ්ඩසාලේ මාළිගාව පිහිටා තිබෙන්නෙත් මේ මහවැලි ගග අසලමයි. ෆෝබිස් වාර්තාවන්ට අනූව 1804 දී සිදුවුන පෘතුගීසි ප්‍රහාරයකින් මේ මාළිගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියනව. දැන් නම් මෙහි පුරා වස්තු නැති තරම්.

මයිලපිටිය ජතික රණවිරු ස්මාරකය.

අපිට තවත් වැදගත් තැනක් මුනගැහෙනව ගග දිගේ යනකොට මේ හරියෙදිම.  ඒ තමයි මයිලපිටිය ජතික රණවිරු ස්මාරකය.   මෙය පිහිටලා තියෙන්නෙ මහවැලි ගගට මයිලපිටිය ඔය එකතුවෙන තැන. වික්ටෝරියා ජලාශයට කලින්  පොල්ගොල්ලෙන් පස්සෙ මහවැලි ගගේ දකුණු ඉවුරෙන් කුඩා ඔයවල් තුනක් එකතු වෙනව. කුන්ඩසාලෙදි තලාතුඔය එකතු වෙනව. මයිලපිටියෙදි මයිලපිටිය ඔය එකතු වෙනව. තවත් ඉදිරියේදි මා ඔය නමිත් තවත් කුඩා ඔයක් එකතු වෙනව.  දැන්නම් මේ හරියෙ තියෙන්නෙත් වික්ටෝරියා ජලාශයමයි. මෙය 2002 ඔක්තෝඹර් 03 වෙනිද තමයි එවකට හිටපු ජනාධිපිතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිනිය අතින් විවෘත වෙන්නෙ. රණවිරු සේවා අධිකාරිය මගින් තමයි මෙහි පරිපාලන කටයුතු පවත්වාගෙන යන්නෙ. මෙහි 1948න් පස්සෙ ක්‍රියාන්විත වලදි දිවිපිදූ රණවිරුවන් 21500කගේ පමණ තොරතුරු මෙහි සටහන් වෙලා තියෙනව.


මයිලපිටිය ජාතික රණවිරු ස්මාරකය



ලංකාවේ එතෙක් මෙතෙක් ඉදිවුන දැවැන්තයා - වික්ටෝරියා වේල්ල

ලංකාවේ දෛනික විදුලි අවශ්‍යතාව සඳහා වැඩිම දායකත්වයක් සපයන්නේ වික්ටෝරියා ජලාශය මඟිනි. අපට මෙය ලැබුණේ එංගලන්තයෙන් ත්‍යාගයක් ලෙසයි. ණයක් ලෙස ගැනීමට ගොස් ත්‍යාගයක් ලෙස මෙම ජලාශය අපට ලැබුණේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ තැනට සුදුසු නුවණ නිසාවෙනි.

වික්ටෝරියා ජලාශය සාදා තිබෙන්නේ මධ්‍යම කඳුකරයේ දුම්බර මිටියාවත මැද්දෙන් ගලන මහවැලි ගඟට හුළු ගඟ එකතු වන ස්ථානයට මඳක් පහළිනි. එනම් මෙය සාදා තිබෙන්නෙ මහවැලි ගඟේ පටුම ස්ථානයේදීයි. දෙනිගල කන්ද හා බෝලගල කන්ද එකට යා කර සාදා ඇති වික්ටෝරියා වේල්ල තිබෙන ස්ථානයේ එය සෑදීමට පෙර එයට 300m පහළින් තිබුණේ වික්ටෝරියා දියඇල්ලයි. වික්ටෝරියා වේල්ලට එම නම ලැබුණේ වික්ටෝරිය දිය ඇල්ල නිසයි. මෙම දිය ඇල්ල 10m උසකින් යුක්ත වූ අතර මහවැලි ගඟෙන්, හුළු ගඟෙන්, ගල්මල් ඔයෙන්, තලවතු ඔයෙන් හා මා ඔයෙන් එන ජලය දිය ඇල්ලෙන් බැස කිසිදු ප්‍රයෝජනයකින් තොරව මහ මුහුදට ගලා බසියි. වික්ටෝරියා වේල්ල සෑදීමට යන්නේ මෙයින් ප්‍රයෝජනයක් ගෙන රටේ දැවෙන ප්‍රශ්න කිහිපයකට විසදුමක් ලෙසටයි. 1948 වසරේදී ලංකාවට නිදහස ලැබෙන විට ලංකාව ‘සංවර්ධනය වෙමින් පවතින රටක්’ ලෙස නම් කළේය.

දැවැන්ත වේල්ලක් සෑදීමට ප්‍රථම එය පිළිබඳ සමීක්ෂණ පැවැත්විය යුතුයි. 1949 සිට 1980 වසර දක්වා පුරා වසර 31 කාලයක් ලංකාව පාලනය කළ සියලු රජයන් මෙම වේල්ල සෑදීම සඳහා වූ සමීක්ෂණවලට දායක වුණා. සමීක්ෂණ සිදු කළ නමුත් වේල්ල සෑදීමට තරම් ලංකාවට ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. එකල රටේ තිබූ මුදල අනුව මෙම වේල්ල සාදනවා නම් වසර 30ක කාලයක් ගතවන බව පැවසුවා. 1980 වසර වන විට ලංකාවේ ජනාධිපති වී සිටියේ ජේ.ආර්. ජයවර්ධන මහතා වන අතර ඉඩම් සංවර්ධන, මහවැලි සංවර්ධන හා විදුලිබල අමාත්‍ය ලෙස සිටියේ ගාමිණී දිසානායක මහතාය. වේල්ල සෑදීම සඳහා ලංකාවේ මුදල් නොමැති නිසා ජේ.ආර්, ගාමිණී සහ ලලිත් ඇතුලත්මුදලි යන තිදෙනා එක්සත් රාජධානිය වෙත යන්නේ මෙයට ණය මුදලක් ලබාගැනීම සඳහායි.

 
වික්ටෝරියා ජලාශය ඉදිකල ස්ථානය ඉදිකිරීම් කටයුතු ආරම්භ කල මොහොතේ

එංගලන්තයට ගොස් දෙවන එළිසබෙත් රැජින හමුවූ ජේ.ආර්. ජයවර්ධන මහතා තමන් ආ කාරණය පවසනවා. එනම්; ලංකාවේ සාදන විශාලතම ජලාශය සඳහා ණය මුදලක් අවශ්‍ය බවත් මෙය ණයක් ලෙස ගත්තත් ජලාශය නම් කරන්නේ එළිසබෙත් රැජිනගේ මිත්තනිය වන වික්ටෝරියා රැජිනගෙ නමින් බවත්‍ පවසනවා. නමුත් සැබවින්ම වික්ටෝරියා ජලාශයට එම නම මීට පෙර සිටම යෝජනා වී තිබුණු එකකි.

මන්ද වේල්ල නිර්මාණය වූයේ වික්ටෝරියා දියඇල්ල මත නිසාවෙනි. මෙයින් පැහැදුණු එළිසබෙත් රැජින,මෙම ජලාශය සාදන්නේ වික්ටෝරියා රැජිනගේ නමින් නම් ණයක් නොව ආධාරයක් දීමට කැමැත්ත පළ කරනවා. එදිනම ගාමිණී දිසානායක, ජේ.ආර්. සහ එළිසබෙත් රැජින එවකට එංගලන්තයේ අගමැතිව සිටි මාග්‍රට් තැචර් හමුවීමට තීරණය කරයි. මාග්‍රට් තැචර් හමුවූ විට ඇය, මෙම වික්ටෝරියා ව්‍යාපෘතිය සෑදීමේ අරමුණු අසා සිටිනවා. එයට පිළිතුරු ලෙස ගාමිණී දිසානායක වික්ටෝරියා ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු 5ක් කියාපානවා. එනම්;

1). ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් බැවින් කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය ගබඩා කරගැනීම

2). ජල විදුලිය නිශ්පාදනය

3). වේල්ලේ ඉහළ ප්‍රදේශයේ සිටිනා අයගේ ජල පරිභෝජනයට

4). මිරිදිය් ධීවර කර්මාන්තය නගා සිටුවීමට

5). ගංවතුර පාලනය කිරීම යන අරමුණුය.

 අවසානයේ දී වික්ටෝරියා ව්‍යාපෘතියට රු. මිලියන 8900ක ආධාරයක් දීමට ඔවුන් කැමති විය. එවිට ගාමිණී දිසානායක මහතා තවත් ඉල්ලීමක් මාග්‍රට් තැචර් හට යොමු කළා. ලංකාවේ ප්‍රමාණවත් තරම් ඉංජිනේරුවන් හා තාක්ෂණික ශිල්පීන් නොසිටින නිසා මෙම ව්‍යාපෘතිය එංගලන්තයේ ඉංජිනේරු ආයතනය භාර දෙන ලෙස ඔහු පවසනවා. එයටත් ඔවුන් කැමති වන අතර මෙම ව්‍යාපෘතිය එංගලන්තයේ CCB ආයතනය වෙත පවරා සිටිනවා. මීට පෙර පොල්ගොල්ල වේල්ල සෑදීමේදී එහි ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස කටයුතු කල චන්ද්‍රා පෙරේරා මහතාව වික්ටෝරියා ව්‍යාපෘතියේ නේවාසික ඉංජිනේරුවරයා ලෙස ඒකමතිකව පත්කර සිටිනවා.

චන්ද්‍රා පෙරේරා මහතා එංගලන්තයෙන් පැමිණි ඉංජිනේරුවන් තිදෙනෙක්ට වසර 31ක වික්ටෝරියා ව්‍යාපෘතිය සඳහා කරන ලද සමීක්ෂණ වාර්තා පෙන්වූ පසු ඔවුන් මාස තුනක දී පුළුල් සමීක්ෂණ වාර්තාවක් සාදනු ලබනවා. මෙය සිදු කරනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාල හා එංගලන්තයේ භූවිද්‍යා පිළිබඳ සොයිල් මෙකැනිකල් ආයතනය මඟිනුයි. මෙම සමීක්ෂණ වාර්තාවලට අනුව සොයාගනු ලබනවා මෙම වේල්ල සෑදීමට යන්නේ පිහිටි කළුගලක් මත බව. ගැඹුර 237m වන එහි 25m පළලට 25m ගැඹුරට හාරා වේල්ලේ අත්තිවාරම දමනු ලබනවා. වේල්ල සෑදූ පසු එහි උස 122, දිග 520m වන අතර මෙය දෙවක් ආරුක්කු කොන්ක්‍රීට් වේල්ලකි. ජලාශය තුළ ජලය ඝන මීටර මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ගබඩා කළ හැකියි.



වික්ටෝ්රියා වේල්ල ඉදිකිරීම් අතරතුර

මෙම වේල්ල අභ්‍යන්තරය තට්ටු හතකින් සමන්විත වන අතරම වේල්ලේ එක් කොනක සිට අනෙක් කොනටත් වේල්ලේ ඉහළ සිට අඩියටත් වේල්ල අභ්‍යන්තරයෙන් ඇවිදගෙන යා හැකි වීම මෙහි විශේෂත්වයක්. ජලාශයේ ජල මට්ටම එහි උපරිමයට (මුහුදු මට්ටමේ සිට 438.04m) ළඟා වූ විට වේල්ල පහළට ඉතා සුළු ප්‍රමාණයකින් තල්ලු වේ. (අවම - 30mm උපරිම -68mm). එයට විශේෂ හේතුවක්ද තිබේ. එනම් කොන්ක්‍රීට් තුළට කම්බි නොයොදා සාදන ලංකාවේ එකම වේල්ල වික්ටෝරියා වේල්ල වීමයි. වික්ටෝරියා ජලාශයේ සිට වික්ටෝරියා ජලවිදුලි බලාගාරය තෙක් උමඟක් මාර්ගයෙන් ජලය ගෙන යයි. මෙම උමඟ බෙලිගල කන්ද යටින් 5.4 km දුරක් ගමන් කර කොටස් තුනකට බෙදී ටර්බයින් තුනක් වෙත යයි. මෙමඟින් මෙගා වොට් 70 බැගින් වූ ටබයින තුනක් මගින් මෙගා වොට් 210ක විදුලිය නිපදවයි. වේල්ල හා උමග ඉදිකිරීම බ්‍රිතාන්‍ය බද්ධ ව්‍යාපාරයක් වූ බැල්ෆෝර් බියැටි සහ එඩ්මන්ඩ් නටාල් (Balfour Beatty & Edmond Nuttal )විසින් සිදු කරන ලද අතර, විදුලි බලාගාරය ඉදිකිරීම කොස්ටේන් සමූහය විසින් සිදුකරන ලදී. ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරුවන් ලෙස ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ගිබ් සහ හවුල්කරුවෝ කටයුතු කළහ. වේල්ල ඉදිකිරීම හේතුවෙන් ඇස්තමේන්තු ගත ප්‍රමාණය මෙන් සිව්ගුණයක (30,000) ජනකායක් නැවත පදිංචි කිරීමට සිදුවිය.


වැඩ නිම කල වික්ටෝරියා වේල්ල

වේල්ල ඇතුලත


වේල්ලේ ස්වයංක්‍රීයව පාලනය වන සොරොව් 8ක් තිබේ. මෙමඟින් ඕනෑම ගංවතුරක් පාලනය කළ හැකියි. වේල්ලේ පහළම තිබෙන සොරොව්ව මාස තුනකට වරක් විනාඩි 15 -20ක් දක්වා විවෘත කරනු ලබයි. එයට හේතුව වන්නේ ජලාශයේ ඇති රොන් මඩ ඉවත් කිරීමට හා විදුලි බලාගාරය දක්වා වූ ස්වභාවික ගඟේ ජලය ගලා යෑමටයි. වික්ටෝරියා ජලාශයේ මාළු අල්ලා ජීවත් විය හැකි පවුල් ගණන 6900කි. එය දැන් පවුල් 3900ක් දක්වා පහත බැස ඇත්තේ වික්ටෝරිය ගොල්ෆ් පිට්ටනිය අසලට සී ප්ලේන් ගොඩබෑම නිසාවෙනි.


වික්ටෝරියා ජලාශයට ජලය පිරවීමට පෙර



වික්ටෝරියා ජලාශයට මුලින්ම ජලය පිරවූ දින. දිනය .03-04-1983

වේල්ල සෑදීමේදී රෑ දවල් දෙකෙහි මිනිසුන් 7000ක් සේවයේ නියැළී සිටි අතර මුලදී පැවසුවේ වේල්ලේ වැඩ අවසන් වන විට අවම වශයෙන් මිනිසුන් 1200ක් මියයයි කියාය. නමුත් මියගියේ මිනිසුන් 50 දෙනෙක් පමණයි. (එංගලන්තයෙන් 3, ලංකාවෙන් 47) වේල්ල නැරඹීම සඳහා 1981 වසරේ ඔක්තෝබර 21 වන දින දෙවන එළිසබෙත් රැජින ලංකාවට පැමිණියාය. වේල්ල දුටු ඇය අතිශයින් සතුටට පත්වූ බව පවසයි. 1984දී ජලාශයට ජලය පුරවනු ලැබූ අතර 1985 අප්‍රේල් 12 වන දින මාග්‍රට් තැචර් විසින් නිල වශයෙන් මෙම වේල්ල ලංකාවට පවරනු ලබනවා.    

          
එලිසබෙත් රැජින ලංකාවට පැමිණි දා
                        
එවකට එංගලන්ත අග්‍රාමාත්‍ය ධූරය දැරූ මාග්‍රට් තාචර් මැතිනිය, ජනාධිපතති ජයවර්ධන මහතා සහ ගාමිනී දිසානයක මැති තුමන් සමගින්.

 
වික්ටෝරියා වේල්ල ජනතා අයිතියට පත් කළ දා.
වික්ටෝරියා ජලාශය අද

වසර ගණනාවකට වරක් පමණක් සිදුවන වික්ටෝරියා ජලාශය වාන් දමන සුන්දර දර්ශනය

වික්ටෝරියා වේල්ල තවත් කෝණයකින්

වික්ටෝරියා ජලාශය මැද පිහිටි ගොඩබිම් කොටසට වේල්ල පෙනෙන අයුරු.
වික්ටෝරියා ජල විදුලි බලාගාරය. (මෙහි සමීප ඡායාරූප ඉදිරිපත් කල නොහැක්කේ මෙය ලංකාවේ ජල විදුලියේ හදවත බදු බලාගාරයක් නිසා මෙහි ආරක්ෂාව වෙනුවෙන්ය. අපි මේ බලාගාරය නැරඹීමට කල සංචාරයේදී ද සියලුම කැමරා උපකරණ ආරක්ෂක අංශ වෙත භාරදීමට සිදු විය.)


වික්ටෝරියා ජලාශය සැදීමට විශාල ගම් බිම් ප්‍රමණයක් යට කරන්න සිද්ද වෙනව. විශේෂයෙන්ම තෙල්දෙනිය නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙනව. ඒ හේතුවෙන් එහි තිබුන පාසල්, තැපැල් ස්ථාන ආදී සියළුම වැදගත් ස්ථාන වෙනත් තැනකට ගෙනියනවා. 

වික්ටෝරියා ජලාශයට යටවූ තෙල්දෙනිය පාලම

වික්ටෝරියා ජලාශයේදි එහෙමත් නැත්තන් ජලාශය හදන්න කලින් මහවැලි ගගට එකතු වෙනඔයවල් 3ක් තියනව. ඒ තමයි මා ඔය, හුළුගග සහ ගල්මල් ඔය. මේ අතරින් වැදගත්ම එකක් තමයි හුළුගග. මහවැලි ගගට වැඩිම ඡලය සපයන ඡලපෝෂක ප්‍රදේශය තමයි නකල්ස් වනාන්තරය කියන්නේ. නැගෙනහිරින් දුම්බර නිම්නයත් බටහිරින් මාතලේ නිම්නයත් අතර මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක දෙක තුල පිහිටා තියෙන මේ නකල්ස් වනාන්තරය හෙක්ටයාර් 17825ක් එහෙමත් නැත්නම් වර්ග කිලෝමිටර් 230ක් වෙනවා. මෙන්න මේ කියන නකල්ස් වනාන්තරයෙන් තමයි හුළුගග පටන් ගන්නෙ. මෙම ගංගාව ඕරුතෝටා ජල විදුලි බලාගාරයට ජලය සපයන අතර හුළු ගංගාව පිරිසිදු පානීය ජලය ජනතාවට සපයයි.

 මහවැලි ගගේ වම් ඉවුරෙන් සම්බන්ද වන අනික් ගඟ වන්නේ "ගල්මල් ඔයයි" ගල්මල් ඔයෙත් මූලික ජල පෝශකය වන්නේත් නකල්ස් රක්ශිතයේ දකුණු බෑවුම් ප්රදේශයයි. මීටර 1400 ක් පමණ උස සීමාවකින් ආරම්බ වන කුඩා ජල අතු කිහිපයකින් සැදුම් ලත් ගල්මල් ඔය කිලෝමීටර 14 ක් පමණ කඳු බෑවුම් පසු කර විත් වික්ටෝරියා ජලාශයේදී මහවැලි ගඟ සමග එකතු වෙනවා. නමුත් ජලාශය ඉදිවෙන්න කලින් මේ ගල්මල් ඔය හුළුගගට එකතු වුන අතු ගංගාවක් විදියට තමයි තිබිල තියෙන්නෙ. 

ජලාශයෙ දකුනු ඉවුරෙන් එකතුවන අනික් ගoඟාව වන්නේ " මා ඔයයි". මා ඔයේ ආරම්බක ජල පෝශක ප්රදේශය වන්නේ පිදුරුතලාගල කඳු පන්තියේ උතුරු කොනේ පිහිටි "ලූල් කඳුර " උස් බිම් ප්රදේශයයි. ලූල් කදුර වතු යාය ගැන අපි කලින් කතා කලා ඔබට මතක ඇති ජේම්ස් ටේලර් විසින් ලන්කාවේ පළමු තේ වගාව ආරම්බ කරන ලද්දේද මෙම බිම් ප්රදේශයේය. මීට කලින් ගම්පොල ප්රදේශයේදී මහවැලි ගඟට එකතු වුනු නිලඹේ ඔයේ ජල පෝශක ප්රදේශය වූයෙත් මෙම ලූල් කඳුර උස් බිම් ප්රදේශයයි. කෙසේ හෝ මීටර 1500 ක පමණ උස් වූ ප්රදේශයකින් ආරම්බ වන මා ඔය පල්ලේගම, හඟුරන්කෙත ප්රදේශ හරහා කිලෝමීටර 18 ක් පමන දුර ගෙවා විත් වික්ටෝරියා ජලාශයට එකතු වෙනවා. ගුරුගල් ඔය ජලාශය මා ඔයේ පිහිටා තිබෙන අතර එය මුහුදු මට්ටමේ සිට මීටර 650 උසකින් පිහිටා තිබෙනවා

රන්දෙණිගල වේල්ල

වික්ටෝරියා වේල්ල බැඳ මහවැලිය හරස් කොට වේල්ලෙන් මෙපිට වික්ටෝරියා ජලාශය නිර්මානය කොට එම ජලාශයේ ජලය නල මාර්ග ඔස්සේ පහලට ගෙනයන නිසා වික්ටෝරියා වේල්ලෙන් එපිටට මහවැලි ගඟ ගලන්නේ මළ ගඟක් ලෙසටයි. මළ ගඟක්ව කිලෝමීටර 6 ක් පමන ගලන මහවැලියට වික්ටෝරියා විදුලි බලාගාරයේ විදුලි ජනනය සදහා අර නල මාර්ග දිගේ ගත්තු ජලය විදුලි ජනනයෙන් පසුව හකුරුතලේ ප්‍රදේශයේදි යලිත් එකතු වෙනවා. මේ එකතු වීමත් සමග කිලෝමීටර 6 ක් ජලය නොමැතිව ගලපු මහවැලි ගඟට යළි පණ ලැබෙනවා. එතැන් සිට දැන් මහවැලිය ගලන්නේ රන්දෙණිගල ප්රදේශයටයි.



රන්දෙණිගල වේල්ල


රන්දෙණිගල වේල්ල ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටි විශාල ජල වේල්ලකි. වේල්ලේ ඉදිකිරීම් කටයුතු 1982 නොවැම්බර් මස ආරම්භ වු අතර එය සම්පුර්ණ විමට ආසන්න වශයෙන් අවුරුදු 4 ක් ගත විය. වේල්ල හා බලාගාරය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා අතින් 1986 දි උත්සවාකාරයෙන් විවෘත විය.

 

වේල්ල ඉදිකිරිමේ පිරිවැය ආසන්න වශයෙන් රුපියල් බිලියන 4,898(1986) වු අතර අරමුදලෙන් 24.6% (රුපියල් බිලියන 1,207) දේශීය රජයත් ඉතිරි බහුතරය ජර්මනිය විසින්ද සපයන ලදී.

 

රන්දෙණිගල වේල්ල  පිහිටා ඇත්තේ කි.මි.19 ක් (සැතපුම් 11.8) වික්ටෝරියා වේල්ලට පහළින් හා කිලෝමීටර් 2.8 (සැතපුම් 1.7) ක් රන්ටැඹේ වේල්ලට ඉහළින්ය. එය උසන් මීටර් 94 (අඩි 308) , දිගන් මීටර් 485(අඩි 1,591)ක්ද , ශිර්ෂ හා පාදම පිළිවෙළින් මීටර් 10 (අඩි 33)ක් සහ මීටර් 303 (අඩි 994) ක පළලකින් ද යුක්තය. මෙම වේල්ල බහුලව පාෂාණ වලින් සාදා ඇති අතර හරය මැටියෙන් සමන්විත වේ.

 

ඒකාබද්ධ විසර්ජන පරිමාව 8,100 m3/s (290,000 cu ft/s) වු වාන් දොරටු 3 ක් වේල්ලේ දකුණු කෙළවරේ ඉදිකර ඇත.එහි දිග 270 m (886 ft)  හා ඒකාබද්ධ පළල 48 m (157 ft) වේ.

 

වේල්ල රන්දෙනිගල ජලාශය නිර්මාණය කරයි. කිලෝමීටර් 2,330 (සැතපුම් 1450) පෝෂක ප්‍රදේශයක් සහ 861.000.000 m3 මුළු ගබඩා ධාරිතාවක් සහිත රන්දෙණිගල ජලාශය මෙරට විශාලතම ජලාශ වලින් එකකි.  

ජලාශයේ වාර්ෂික වර්ෂාපතනයේ ප්‍රමාණය ආසන්න වශයෙන් 1,250–3,000 mm (49.21–118.11 in)කි. මීට අමතරව, ජලාශයට ජලය වික්ටෝරියා ජලාශයෙන් හා මහවැලි ගඟෙන් ද ලැබේ.

රන්දෙණිගල වේල්ලෙන් පහළ කොටස වේල්ල මතට පෙනෙන අයුරු

ලාගාරය

මෙම විදුලි බලාගාරය වේල්ල පහළ වම් ඉවුරේ පිහිටා ඇත. ජලාශයෙන් ජලය පිළිවෙලින් මීටර් 270 (අඩි 886) සහ මීටර් 6.2 (අඩි 20.3) ක දිගක් හා විශ්කම්භයක් සහිත තනි වානේ උමග හරහා විදුලිබලාගාරයට බෙදාහැරේ.

 

ඩොලී ටර්බයින දෙකක් විසින් බලය සපයන මෙගාවොට් 63 ක ධාරිතාවකින් යුත් විදුලි ජනක යන්ත්ර දෙකකින් බලාගාරය  සමන්විත වේ. මෙය පිළිවෙළින් 1986 අගෝස්තු සහ සැප්තැම්බර් වලදී විවෘත කරන ලදී. මෙගාවොට් (MW) 126 ක ඒකාබද්ධ ධාරිතාවකින් යුතු බලාගාරය වාර්ෂිකව ගිගාවොට් පැය(GWh) 428 ජනනය කරයි......


රන්දෙණිගල බලාගාරය

මහවැලි ගගට නැත්තන් රන්දෙණිගල ජලාශයට එකතු වෙන ඔයවල් දෙකක් තියනව. එයින් එකක් තමයි බෙලිහුල් ඔය. ඒ කිවුවෙ අර සබරගමුව සරසවිය පැත්තෙන් ගලන සමනලවැව ජලාශය නිර්මාණය කරන බෙලිහුල් ඔය නෙමෙයි. නමුත් මේක හදුන්වන්නෙත් බෙලිහුල් ඔය කියල. පිදුරුතලාගල කදු වැටියෙ උතුරු බෑවුමෙන් ආරම්භවෙලා සැතපුම් 16ක් පමණ දුර ගෙවාගෙන ඇවිත් තමයි මේ ඔය රන්දෙණිගල ජලාශයට එකතු වෙන්නෙ. අනිත් ඔය තමයි කුරුදු ඔය. මේ කුරුදු ඔය ආරම්භ වෙන්නෙත් පිදුරුතලාගල කන්දෙ උතුරු බෑවුමෙන්මයි. මේ කුරුදු ඔය තමයි කුරුදු ඔය ඇල්ල නිර්මාණය කරන්නෙ. මෙය නුවර එළිය දිස්ත්‍රික්කයේ,වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත. එය මුහුදු මට්ටමේ සිට මීටර් 1103ක උසකින් පිහිටා ඇති අතර එම දියඇල්ලේ උස අඩි 676 (206m) කි. එය ලංකාවේ උසින් දෙවන ස්ථානයට පත් වන දිය ඇල්ලද වේ.

No comments:

Post a Comment