Sri Lanka

Thursday, June 25, 2020

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 19


මහියංගනයේ සිට ඉදිරියට මහවැලි ගඟ දිගේ....

            නැවතත් වේරගන් තොටින් මහවැලි ගඟට පිවිසුනොත් අපිට මුලින්ම හමු වන්නේ මහියංගනය වේරගන්තොට පාලම. ආතීතයේ වේරගන්තොටට ඔරු පාරු වලින් පැමිණ මහියංගනය මියුගුණසෑය වන්දනා කිරීමට ගියත් වර්ථමානය වන විට මහියගනය සෑ රදුන් වන්දනා කිරීමට භාවිතා කාරන්නේ මේ වේරගන්තොට පාලම හරහා වැටී ඇති මාර්ගයයි. මේ හරියෙදි ගඟ ටික ටික සැර පරුෂ බව අඩු වෙනවා. බොහොම තැනි ස්වභාවයක් පෙන්නුම් කරන්නේ. මේ හරියෙන් පස්සෙ එන්න එන්නම ගගේ පළල වැඩි වෙනවා. අනිත් කාරණය තමයි මේ හරියෙන් පස්සෙ ගඟ බොහෝ දුරට කෙලින් ඒ කිවුවේ රේඛාවක් වගෙයි ගලන්නේ.

මහියංගනය වේරගන්තොට පාලම


            මහියංගනයේ වේරගත්තොට පාලමට කලින් දකුණු අත පැත්තෙන් අපිට හමුවෙනවා මහවැලි ගගට එකතු වෙන රිදීකොතල ඇල නම් කුඩා ඇලක්. එය එතරම් දීර්ඝ නොවන කුඩා ඇලක් පමණයි. වේරගන්තොට පාලම පහුකරගෙන ඉදිරියට යනවිට අපිට හමු වෙනවා වම් පැත්තෙන් හසලක ඔය. හසලක ඔය අපිට මුනගැහුනේ මිනිපේ වම් අවුරු ඇළ දිගේ යන විට. මේ හසලක ඔය ආරම්භ වෙන්නේ හුන්නස්ගිරිය සහ දුම්බර ප්‍රදේශයේ කදුවලින්. විශේෂයෙන්ම කුරගල කන්දෙන් තමයි මෙහි මුල් දියතු පිහිටන්නේ. මුහුදුමට්ටමේ සිට අඩි 3500ක් පමණ ඉහළින් තමයි මේ හසලක ඔය පටන් ගන්නේ. මුල් දියතු වල ඉදන් කිලෝමීටර් 20ක් මපණ දුර ගෙවාගෙන ඇවිත් තමයි හසලක ඔයට එකතු වෙන්නේ. ඒ අතරමගදි මේ හසලක ඔය දියඇලි 2ක් නිර්මාණය කරනවා. එකක් තමයි රත්න ඇල්ල. එහි උස මීටර් 111කි. අනෙක් ඇල්ල තමයි කලුවා වැටුන ඇල්ල. එහි උස මීටර් 30කි. හසලක වැවේදී මිනිපේ වම් ඉවුරු ඇලත් සමග සම්බන්ධ වන හසලක ඔය හසලක වැව පෝෂණය කරමින් ගලා විත් මහවැලි ගගේ වම් ඉවුරෙන් මහවැලි ගගට එක් වෙනවා. මහියංගනය පාලමේ සිට කිලෝමීටර් 3ක් පමණ උතුරු දෙසින් තමයි අපිට හසලක ඔය හමු වන්නේ. මීට අමතරව මේ හරියෙදිම අපි කලින් කතා කළ සොරබොර වැවට ජලය සැපයූ දියබාන ඔයත් දකුණු ඉවුරෙන් මහවැලි ගඟට සම්බන්ධ වෙනවා.

රත්න ඇල්ල

කලුවා වැටුන ඇල්ල


හසලක ඔය මහවැලි ගගට වැටෙන ස්ථානය


මහියංගනේ පාලමේ සිට තවත් කිලෝමීටර් 16ක් පමණ ගියතැන අපිට මුන ගැහෙනවා හීං ගග මහවැලි ගගට එකතුවෙන ස්ථානය. මිනිපේ අමුණෙන් පස්සේ මහවැලි ගඟට දියවර සපයන තවත් එක් ප්‍රධාන අතු ගංගාවක් තමයි හීං ගඟ. මෙහි මුල් දියතු පිහිටන්නේ  මීමුරේ. මීමුරේ ගම මැදින් ගලා බසිනා දිම්ගල් ඔයත්, කයිකාවල හරහා ගලා බසිනා පුස්සැල්ල ඔයත් එකතු වෙලා තමයි මේ හීං ගඟ හැදෙන්නේ. අපිට මුලින්ම හීං ගඟ හමුවන්නේ මිනිපේ වම් ඉවුරු ඇලේදීමයි. ඒ තමයි බොහොම අපූරු ක්‍රමයකට මිනිපේ වම් ඉවුරු ඇලේ ජලය හීං ගඟ තරණය කරගෙන රැගෙන ගිය හැටි.

හීං ගග මහවැලි ගගට එකතුවෙන ස්ථානය


මහියංගනය වේරගන්තොට පාලමේ සිට කිලෝමීටර් 21ක් පමණ ගඟ දිගේ පහළට ගියාම අපිට හමුවෙනවා තවත් අපූරු පාලමක්. ඒ තමයි විල්ගමුව නිපෝන් පාලම. මුලදී බතලයාය පාලම ලෙසින් හැදින්වූ මෙය ජපන් ආධාර යටතේ නවීකරණය වූ පසු නිපොන් පලම නැතහොත් සකුරා පාලම ලෙස හදුන්වා ඇත. දිග මීටර් 224වන මෙම පාලමේ වැඩ නිම කර ඇත්තේ 1999 වසරේ දීය.  මහියංගනයේ සිට නිපොන් පාලම වනතෙක් යන ගමනේ දී වම් පැත්තේන් දිස්වන්නේ සුන්දර නකල්ස් කදුවැටියයි. ඒ කදුවැටියේ පිහිටි යහන්ගල, කෙහෙල්පත්දොරුව හා දුම්බානාගල යන කදු ඉතාමත් සුන්දරව දැකගත හැකිය. ඒ වගේම දුම්බර නැගෙනහිර මිටියාවතේ පිහිටි උල්පතගම, උඩවෙල, මීගොල්ල, කොලොන්ගොඩ යන ගම් මේ හරියේදී අපට හමු වේ.

විල්ගමුව නිපෝන් පාලම

නිපොන් පාලමෙන් පසුව නාමල්ගම, හුන්ගමාලගම හා පලුදෙනිය යන ගම් අපිට හමු වෙනවා. ඒ වගේම නිපොන් පාලමේ සිට කිලෝමීටර් 2.25ක් පමණ ගිය තැන තවත් කුඩා ඔයක් මහවැලි ගගට එකත වෙනවා. මේ ඔය හරහා යමින් තමයි මිනිපේ වම් ඉවුරු ඇල වස්ගමුව දක්වා ගමන් කරන්නේ. මේ ඇල වම් ඉවුරු ඇලට හමුවන ස්ථානයේ දී නම් හීං ගගේදී වගේ විශේෂ උපක්‍රමයක් භාවිතා කරල නෑ. දිය පාරවල් දෙක එකිනෙක හරහා ගිහින් තමයි අදාල ප්‍රදේශ වලට ජලය ගෙනයනු ලබන්නේ. නිපොන් පලමේ සිට කිලෝමීටර් 11ක් පමණ දුර ගෙවා ගිය පසු උල්හිටිය ඔය මහවැලි ගගට එකතු වෙන ස්ථානය හමු වෙනවා. මේ උල්හිටිය ඔය තමයි උල්හිටිය ජලාශය නිර්මාණය කරන්නේ. ඒ ජලාශයත් නිර්මාණය කරගෙන ඇවිත් මහවැලි ගගේ දකුණු ඉවුරෙන් තමයි මහවැලි ගගට උල්හිටිය ඔය එකතු වන්නේ. මේ එකතුවෙන ජලය හදුන්වන්නේ වෙලපහු ජලය කියලා. ඒ කිවුවේ වෙල් වලට ජලය ලබාගෙන පහළට බැස එන ජලය.


උල්හිටිය ඔය මහවැලි ගගට එක්වන ස්ථානය


අපි මේ කතා කළ උල්හිටිය ඔය මහවැලි ගඟට එකතුවෙන ප්‍රදේශයෙන් තමයි වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළට මහවැලිය ප්‍රවිශ්ඨ වන්නේ. මෙතැන් පටන් මහවැලි ගගට අඹන් ගග එකතුවෙන ස්ථානය දක්වා වස්ගමුව වනෝද්‍යානය මැදින් මහවැලි ගග කිලෝමීටර් 36ක් පමණ ගමන් කරනු ලබනවා.මේ හරියෙදි පරිසරය ටික ටික වෙනස් වෙනවා. මේ හරියෙදි මහවැලි ගග දෙපස කුඹුක් ගස් විශාල වශයෙන් දකින්න පුලුවන්. ගගේ ස්වභාවය තැන් තැන් වල වෙනස් වෙනවා. සමහර තැන් වල වැලි එකතු වුන වැලිමණ්ඩි දකින්න පුලුවන් වගේම සමහර තැන් වලදි දිය සුළි දකින්න පුලුවන්. මේ හරියෙදි බෝට්ටු වලින් ත්‍රාසජනක ගමනක යෙදෙන්නෙකුට ඉතාම හොද තෝතැන්නක්. නමුත් ආරක්ෂාකාරීව මනා පුහුණුවක් ලබූ අයෙකුගේ අවවාද උපදෙස් ඇතුව සිදු කල යුතු ගමනක් බව විශේෂයෙන්ම මතක් කල යුතුයි.

මහ වනමැද කිරිඅම්මා ඇල්ල

වස්ගමුව වනෝද්‍යානය හරහා වැටී ඇති මහවැලි ගග දිගේ මද දුරක් ගිය විට මහවැලි ගගේ අන්තිම දියඇල්ල හමුවෙනවා. මේ ඇල්ල හදුන්වනු ලබන්නේ කිරිඅම්මා ඇල්ල නමින්. උල්හිටිය ඔය මහවැලි ගගට එකතුවෙන තැන ඉදන් තවත් කිලෝමීටර් 15ක් පමණ ගිය පසු තමයි මේ කිරිඅම්මා ඇල්ල හමුවන්නේ. මේ දිය ඇල්ල පිළිබදව විවිධ ජනප්‍රවාද පවතිනවා. බොහොම ඈත අතීතයේ ඉදන් තමයි මේ ඇල්ල කිරිඅම්මා ඇල්ල නමින් හදුන්වලා තියෙන්නේ. මේ වියළි කලාපය තුළින් තැන්නේ ගමන් කරන මහවැලි ගගේ දියඇල්ලක් පිහිටම පුදුම දනවන කරණක් වුවත් මෙයද දිය ඇල්ලකි. මේ ස්ථානය ගල්පර කිහිපයක් අතරින් ක්ෂණිකව ජලය ගලා බහින ස්ථානයක්. මහවැලි ගගේ අපිට මුලින් හමුවුන සෑම දියඇල්ලකටම පාහේ තබා තිබුනේ ඉංග්‍රීසි නම්ය. නමුත් මේ දියඇල්ලට සිංහල නමක් තබා තිබේ.

 

කිරිඅම්මා ඇල්ල

වස්ගමුව ජාතික වනෝද්‍යානය

            ලංකාවේ ඇති වනෝද්‍යාන අතරින් වස්ගමුව ජාතික වනෝද්‍යානයට සුවිශේෂී වැදගත්කමක් හිමිවේ. මේ වනාන්තරය වියළි කලාපයත් තෙත් කලාපයත් වෙන්වන මායිමක පිහිටා ඇත. ඒ නිසා මේ තුළ දේශගුණික කලාප දෙකක ලක්ෂණ දැකිය හැකිය. මධ්‍ය කදුකරයේ නැගෙනහිර බෑවුමෙන් ආරම්භවන මතලේ දිස්ත්‍රික්ක මායිමේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක මායිමේ මෙය පිහිටා ඇත. මෙහි පවතින වෙනස් දේශගුණික ලක්ෂණ නිසා ජෛව විවිධත්වය අතින් සංකීර්ණ ලක්ෂණ පෙන්නුම් කරයි.

වස්ගමුව වනෝද්‍යාන පිවිසුමේ සවිකර ඇති තොරතුරු පුවරුව


            වස්ගමුව ජතික වනෝද්‍යානය ගැන කතා කරන විට අපිට නිතැතින්ම සිහියට නැගෙන්නේ වන අලින්ය. ලංකාවේ අලි වර්ග දෙකක් හදුනාගාත හැකිය. එනම් සෝමාවතී විල් අලි සහ රුහුණු ගැටව් ලෙසය. අපිට වස්ගමුවේ දැකගත හැක්කේ සෝමාවතී විල් අලි කාණ්ඩයට අයත් වන අලින්ය. උන් තරමින් විශාල සද්දන්ත අලි ඇතුන්ය. උසින් වැඩිය. ලංකවේ වැඩිම අලි ඇතුන් ජීවත් වන වනෝද්‍යානය ලෙස හැදින්වෙන්නේ වස්ගමුව ජාතික වනෝද්‍යානයයි. මෙය හෙක්ටයාර 40000 ක පමණ භූමි භාගයක පැතිරී පවතී. පෙර රජ දවස සශ්‍රීක කලාපයක්ව තිබූ බවට බොහෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි මෙහි හමුවෙයි. නමුත් පසුව වනාන්තර ගතවී වන සතුන්ගේ වාස භූමියක් බවට පත්වී ඇත. 1937 දී රක්ෂිත භූමියක් ලෙස ප්‍රකාෂිත මෙම භූමිය 1984දි අභය භූමියක් ලෙස නම් කරන්නේ වන සතුන්ගේ හා ඔවුන්ගේ වාසස්ථානවල සුරක්ෂිත භාවය උදෙසාය. ඒ නිසාම මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. විශේෂයෙන්ව මහවැලි ව්‍යාපාරය යටතේ මහවැලි ගගෙන් මෙපිට ඉඩම් ජනතාව අතර බෙදාදීම නිසා එළිපෙහෙලි වන වනාන්තරයෙන් නිවාස අහිමිවන වන සතුන් මහවැලි ගගෙන් එපිට ඇති වස්ගමුව වනෝද්‍යානය වෙත සංක්‍රමණය වීමට ඉඩ හැර ඇත්තේ මහවැලි ගග වනෝද්‍යානයේ සීමාවක් කරගෙනය.

            අතීතයේදී මෙම ප්‍රදේශය වලසුන්ගෙන් පිරී පැවතුන ප්‍රදේශයක්ව තිබීම නිසා වලස්ගමුව වී පසුව වස්ගමුව ලෙස ප්‍රචලිත වී ඇති බව ජනප්‍රවාදයේ සදහන් වේ. වර්ථමානයේ දී මෙහි අලි ඇතුන් 500කට පමණ රැකවරණය සපයයි. මේ වනාන්තරය තුළ ක්ෂීරපායි සතුන් වර්ග 23ක් පමණත් කුරුල්ලන් වර්ග 143ක්, උරග විශේෂ 35ක්, සමනල විශේෂ 52ක්, ඒ වගේම උභජීවීන් වර්ග 8ක් පමණත් ජීවත් වන බව පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තිබෙනවා. මෙම සතුන්ට සෙවන සලසමින් පලු, බුරුත, කළුවර, කුඹුක්, මිල්ල වැනි වටිනා ගස් වර්ගද, ඖෂධීය ගුණයෙන් යුත් අතිඋඩයන්, බිං කොහොඹ වැනි පලෑටි ද ඉලුක් පොහොන් වැනි තෘණ ශාකද මෙම වනය පුරා එකසේ ව්‍යාප්තව පවතී.

වස්ගමුව වනෝද්‍යානයේ ඓතිහාසික වටිනාකම

            වස්ගමුව ජතික වනෝද්‍යානය ඓතිහාසික වටිනකම් බොහොමයක් රඳවගත් වනෝද්‍යානයකි. මෙහි පිහිටා ඇති යුදගනාපිටිය නමින් හැදින්වෙන ප්‍රදේශය ඉතා වැදගත්කමක් උසුලයි. මේ පිළිබදව එක් විශ්වාසයක් වන්නේ එළාර දුටුගැමුණු යුද්ධයේ එළාර දුටුගැමුණු ද්වන්ද සටන සිදුවුන තැන මෙය බවයි. නමුත් වඩාත් පිළිගන්නා තවත් ජනප්‍රවාදයක සදහන් වන්නේ කාවන්තිස්ස රජුගේ මරණින් පසු කඩොල් ඇතා සහ විහාරමහා දේවිය ලබාගැනීම සඳහා සිදුවුන සටන් දෙකම මෙම ස්ථානයේ සිදුවුන බවයි. මේ යුදගනාපිටියේ තැනින් තැන විශාල ගල් කුට්ටි දකින්නට පුලුවන්. මේ පිළිබඳව ජනප්‍රවාදවල සඳහන් වන්නේ ගැමුණු රජුගේ කැටපෝල වලට ගෙනාව ගල් කුට්ටි බවයි.

            ඓතිහාසික බුදුරුවාය බුදු පිළිමය හා පැරණි රජමාලිගයක නටඹුන්ද මෙහි දක්නට ඇත. පොළොන්නරු යුගයේ වාරිකර්මාන්තය පිළිබදව අපිට ඓතිහාසික සාධක සපයමින් කාලිංග ඇල හා පරාක්‍රමබාහු රජුගේ නැගණිය වූ මාලා දේවිය විසින් ඉදිකරවූවායැයි සැලකෙන මාලගමුව වැව මෙම වනෝද්‍යානයේ ඈත කෙලවරක දැකිය හැකිය. එහි බිසෝකොටුව සොරොව්වෙහි කොටස් මෙන්ම වැව් බැම්මේ කොටස් සහ රළපනාවද දැකිය හැකිය.උල්පත් හත ශිලා ලේඛනය, මැද උල්පත ශිලා ලේඛනය ද එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම අපට පසක් කර දෙයි. නමුත් මේ බිසෝකොටුවද මාදුරු ඔයේදී මෙන්ම අද ලංකවේ සිටින තුච්ච නිධන්හොරුන් විසින් විනාශ කර ඇත.

වනෝද්‍යානයේ දේශගුණික තත්වය සහ පරිසරය

            මෙම වනානත්රය දේශගුණික කලාප දෙකක පිහිටා ඇති නිසා තෙත් සහ වියළි දේශගුණික ලක්ෂණ දෙකම දැකිය හැකිය. වස්ගමුව වනෝද්‍යානය හරහා ගලා බසින වස්ගමු ඔය අති සුන්දර දිය දහරකි. මෙය වනය මැදින් ගොස් මහවැලි ගගට එකතු වේ. වනෝද්‍යානය තුළ ඇති විල්මිටිය, දම්බරාව, කිරියාය, කදුරුඔය, මාලගමුව වැනි විශාල වව් හා ස්වභාවික කුඩා වැව් වනයට සිසිලසක් එක් කරන අතර සතුන්ගේ ජල අවශ්‍යතාවයන්ද පසපුරාලයි. අතීතයේ දී කඩිනම් මහවැලි ව්‍යාපාරය නිසා විශාල භූමි ප්‍රමාණයක් සතුන්ට අහිමිවී ගිය අතර මේ වන විට මොරගහකන්ද හා කළුගග ව්‍යපෘති නිසා ද වනෝද්‍යානයේ හෙක්ටයාර් 4000ක භූමි ප්‍රමාණයක් වන සතුන්ට අහිමිවී ගොස් ඇත.

 

වස්ගමුවේ වන සතුන්
වස්ගමුවේ වන සතුන්

සුන්දර වස්ගමුව හරහා වැටී ඇති සෆාරි මාවතක්


වස්ගමුවේ වන සතුන්

වස්ගමුවේ වන සතුන්

වස්ගමුවේ වන සතුන්

වස්ගමුවේ වන සතුන්

වස්ගමුවේ වන සතුන්

වස්ගමුවේ වන සතුන්

වස්ගමුවේ වන සතුන්

වස්ගමුවේ සිට කාලිංග දූපත බලා

            වස්ගමුව වනෝද්‍යානයේ සිට ඉදිරියට මහවැලි ගග දිගේ ඉදිරියට යන විට ගගේ වම් පැත්තෙන් තවත් කුඩා ඔයක් මහවැලි ගගට එකතුවෙනවා. ඒ තමයි ඇලකොටලිය ඇල. ඒක පහුරගෙන තවත් ටිකක් ඉස්සරහට ගියාම හම්බ වෙනවා වස්ගමුව ඔය මහවැලි ගගට එකතුවෙන ස්ථානය. කාලිංග දූපතට කිලෝමීටර් 10ක් පමණ මෙහායින් තමයි මේ ස්ථානය හමු වන්නේ. මේ හරියෙදි මහවැලි ගඟ ගලන්නේ බදුල්ල දිස්ත්‍රික්කයත් මාතලේ දිස්ත්‍රික්කයත් වෙන්වන සීමාව හරහා. මේ හරිය ඒ කිවුවෙ මහවැලි ගගේ දකුණු ඉවුර අයිතිවෙන්නේ මහවැලි සී කලාපයට. අඹන් ගඟ මහවැලි ගගට එකතුවෙන ස්ථානය දක්වාම අක්කර 98000කින් යුත් ලංකවේ විශාලතම වනෝද්‍යානය වන වස්ගමුව වනෝද්‍යානය පැතිරි පවතිනවා. මහවැලි සී කලාපයේ ගම් බිම් සකස් කරනවිට මහවැලි ගගෙන් වම් ඉවුරු ප්‍රදේශය සතුන්ට අභය භූමියක් සකසනවා. බක්මීදෙණිය, මීවත්පුර, සදුන්දෙනිය යක්කුරේ වැනි ප්‍රෙද්ශවල සිටි සතුන් මහවැලි ගගෙන් එපිට අභයභූමි සීමාවට ගාල් කර මහවැලි සී කලාපයට අයත් ඉඩම් අත්පත්කරගනු ලැබුවා.

            අඩි 7000කටත් වඩා උසින් ආරම්භ වුන මහවැලි ගග  මහියංගනයට පැමිණෙන විට අඩි 300 සීමාව පසු කරනු ලබනවා. මහියංගනයේ සිට ත්‍රිකුණාමලය දක්වාම අඩි 300ක බැස්මක් පමණයි ගගේ දකින්නට ලැබෙන්නේ. මේ නිසා දියඇලි වැනිදෑ දකින්නට නොලැබුනත් විශාල ගල්පර මේ ප්‍රදේශයේදී දැකිය හැකිය. ගඟ එන්න එන්නම පිටාර තැන්නට ලං වෙනවා. මහවැලි ගගේ පරිණත අවධිය තමයි මේ ප්‍රදේශයේදී අපිට දකින්නට ලැබෙන්නේ. ටික ටික ගගේ පළල වැඩි වන නිසා ගඟ දිගේ බෝට්ටුවක යන කෙනෙකුට අව් රශ්මියට ඉතාමක් ධරුණු ලෙස මුහුණ දීමට සිදු වෙනවා. තවත් සුවිශේෂී කාරණයක් මෙහිදී දකින්නට පුලුවන්. ඒ තමයි වස්ගමුව වන සීමාවේදී කාලිංග දූපත දක්වාම මහවැලි ගඟ තනි කෙලින් රේඛාවක වැටුනු ගමන් මාර්ගයක කිලෝමීටර් 13ක් පමණ ගමන් කරනවා. ලංකාවේ වෙනත් කිසිදු ගංගාවක මෙවන් වූ ලක්ෂණයක් දැකිය නොහැකිය. මේ ප්‍රදේශයෙන් ගමන් කරන විට ගඟ දෙපස දකින්නට ලැබෙන සුන්දරත්වය නම් කියා නිම කළ නොහැකිය. මේ හරියෙදි කිඹුල්ලු විශාල වශයෙන් දැකගන්නට පුලුවන්. ගගේ ඉවුරු දෙපස උන්ගේ ගුහා බොහොමයක් දකින්නට ලැබෙනවා. ඒ වගේමයි අලින් ගගට බහින ස්ථානද මේ අවට බොහොමයක් දැක ගන්නට පුලුවන්.

 

කාලිංග දූපත සිතියමේ දැක්වෙන අයුරු

කාලිංග දූපත සහ කාලිංග ඇල

            කාලිංග දූපත යනු මනම්පිටිය පාලමේ සිට කිලෝමීටර් 15ක් පමණ මෙපිටින් මහවැලි ගගේ පිහිටි දූපතතකි. මේ දූපත හරි මැදට වන්නට දෙපසින් මහවැලි ගගේ ජලය ගලා යයි. කාලිංග දූපතට තරමක් මෙපිටින් තමයි කාලිංග ඇල ආරම්භ වෙන්නේ. කාලිංග ඇල ඉදිවන්නේ මේ ස්ථානයෙන් කාලිංග අමුන බැද කාලිංග ඇල දිගේ ජලය රට තුළට ගෙනයාමෙනි. කාලිංග අමුණේ වම් ඉවුරෙන් ගෝමතී ඇල නමින් තවත් ඇලක් තිබු බව ඉතිහාසයේ සදහන් වේ. මේවා පරාක්‍රමබාහු රජු විසින් කරවන ලදැයි හෝ නිශ්ෂංකමල්ල රජු විසින් කරවන ලද දැයි හරි හැටි තහවුරු කරගෙන නැත. තවද මහසෙන් රජු විසින් සාදන ලද මහාපබ්බත අමුණ මේ ඉසව්වේ සදන්නට ඇතැයි යනුවෙන්ද මතයක් ඇත. කෙසේ හෝ කාලිංග ඇල අදටත් මහවැලි ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කර යක්කුරේ වැව හොරිවිල වැව ආදී වැව් පෝෂණය කරනු ලබයි. නමුත් යක්කුරේ වැව අද වන විට අතහැර දමා ඇත.

කාලිංග දූපත



කාලිංග දූපත දෙපසින් ගලා යන මහවැලි ගග

            කාලිංග දූපත කිලෝමීටර් එකහමාරක් පමණ දිග, කිලෝමීටර් භාගයක් පමණ පළල දූපතකි. මේ කාලිංග දූපත කාලිංග පුරය නමින් අතීතයේ හදුන්වා ඇත. මෙහි අද අපට නටඹුන් ලෙස හමුවන නිර්මාණ එකල නිශ්ෂංකමල්ල රජුවිසින් කරවන්නට ඇතැයි බොහෝදෙනා සැක පල කරයි. නමුත් මේවා තවමත් තහවුරු කරගෙන නැත. එකල භික්ෂු හා උපසම්පදා විනයකර්ම සිදුකළ ස්ථානය ලෙස කාලිංග නුවර පැවති බවට ඉතිහාසයේ සදහන්වේ. විජයබාහු රජතුමාගේ අනුග්‍රහයෙන් 13වැනි සියවසේ සිදුකල විශාලම උපසම්පදා විනයකර්මය මේ කාලිංග දූපත මූලික කරගෙන සිදුකල බව මූලාශ්‍රවල සදහන්වේ. මෙම ස්ථානයට මදක් උතුරට වන්නට ඇති දාස්තොට ලෙස හැදින්වෙන මහවැලි ගගේ තොටමුණ සහස්සතිත්ථ ලෙසින් මහාවංශයේ අවස්ථා දෙකකදීම හමුවන ස්ථානය ලෙස හදුනාගෙන ඇත. දඹදෙණියේ විසූ දෙවැනි පරාක්‍රමබාහු සමයේ පැරණි පුලත්ථිනගරය (පොළොන්නරුව) පිළිසකර කරමහවාලිකා ගංගාවේ සහස්සතිත්ථ නම් වූ ස්ථානයේ උපසම්පදා කරමයක් කල බව සදහන් වේ.

කාලිංග ඇල


            මේ දූපත පුරාවටම විසිරී ඇති විශාල නටඹුන් පුමාණයක් දැකිය හැකි අතර මකර තොරණ නටඹුන්, සදකඩ පහණ, ඉලිප්සාකාර ගොඩනැගිලි සහ ගඩොල් බැමි සලකුණුසහ විශාල චෛත්‍යයක නටඹුන් මෙන්ම ගල් ඇතිරූ සැතපුම් භාගයක පමන මාර්ගයක සලකුණුද ප්‍රධාන වශයෙන් හදුනාගත හැකිය. නමුත් කනගාටුවෙන් වුවද කිව යුතු කරුණ නම් මේවා සියල්ලම ලංකාවේ තුච්ච නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතු වි හමාරය. ජාතියේ උරුමය විනාශ කරන මෙවන් වූ අපරාධකරුවන් නීතියට හසු නොවුනත් ස්වභාවධර්මයෙන් හෝ දඩුවම් ලැබිය යුතුය.

කාලිංග දූපතේ නටඹුන්


            කාලිංග නුවර පිළිබදව සහ එහි ඇති නටඹුන් පිළිබදව ප්‍රථමයෙන් අනාවරණය කරගන්නේ ආර්. එල් බ්‍රෝහියර් මහතා විසිනි. එසේම විජයබාහු රජතුමාගේ කාලයට කලින් පරාක්‍රමබාහු රජු විසින් බුරුමය ආක්‍රමණය සදහා භාවිත කළ නැව් තොට මෙය බවද මතයක් බවතී. මහවැලි ගගේ පළල මේ අදාල ස්ථානයේදී කිලෝමීටර් 1ට නොඅඩු නිසා මේ මතවාදයද බැහැර කල නොහැක.

 

යක්ෂ ගොත්‍රිකයන් ජීවත් වූ සුන්දර යක්කුරේ ගම්මානය

            අපි කලින් කතා කරපු කාලිංග දූපතට ආසන්නයේ මහවැලි ගගේ දකුණු ඉවුරේ තමයි යක්කුරේ ගම්මානය පිහිටා තිබෙන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නුවරගල ප්‍රදේශයේ පිහිටා ඇති යක්කුරේ ගම්මානයට නුවරගල සිට අතුරුමාර්ගයක කිලෝමීටර් කිහිපයක් ගමන් කල යුතුය. ඓතිහාසික කතන්දර වලට පාදක වුන පැරණි යක්කුරේ ගම්මානය අද වන විට දැකගැනීමට නොහැකිය. එදා තිබූ ඒ ජනාවාස අද මහවැලි ව්‍යාපාරය යටතේ විශාල කෙත්වතු බවට පත්වී ඇත. නමුත් එහි තැනින් තැන ගමේ තිබූ විශාල ගස්, ගොඩනැගිලි කොටස්ආදිය දැකිය හැදිය. ගමේ කොටසක්ද ඇතුළත් වන ලෙස ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර ඇත. ඉහළ යක්කුරේ හා පහළ යක්කුරේ නමින් ගම්මාන දෙකක් අද දක්නට පුලුවන්.

            ඈත අතීතයේ දී යක්ෂ ගෝත්‍රිකයන් ජීවත්වූ ප්‍රදේශයක් බැවින් යක්කුරය ලෙසින් නම් වූ බව එක් ජනප්‍රවාදයක පැවසෙනවා. කදු ශිඛර ආශ්‍රිතව යකුන් සිටින බැවින් යක්ගිරිපුර (යක් + ගිරි + පුර) යක්කුරේ වූ බවට ද විශාවසයක් පවතිනවා. මහාවංශයේ යක්කුරේ හදුන්වන්නේ යඛ්කසූකර නමින්. යකෙක් වගේ සිටි ශක්තිමත් ඌරෙක් දඩයම් කිරීමට යාමේදී ඌ මහවැලි ගගට වැටුනු බවත්, යක් ඌරා තොට යක්කුරේ වූ බවත් තවත් ජනකතාවක සදහන් වෙනවා. මහවැලිය හා මාදුරුඔය අතර ප්‍රදේශය අපේ ඉතිහාසය පොත්වල සදහන් වන්නේ අන්තර් ගංගා නමින්. යක්කුරේ ද ඒ කලාපයට අයත් මහියංගනයේ සිට පොළොන්නරුව රාජධානියට වැටී තිබුණු පුරාණ පාර ගමන් කළේ යක්කුරේ ද ඒ කලාපයට අයත්ය. මහියංගයේ සිට පොළොන්නරුව රාජධානියට වැටී තිබුණු පුරාණ පාර ගමන් කළේ යක්කුරේ හරහායි.

 

යක්කුරේ වැව

යක්කුරේ වෙල්යාය

යක්කුරේට දිඹුලාගල පර්වතය පෙනෙන අයුරු

නැවතත් මහවැලි ‍ගගේ

කාලිංග දූපත පසුකරනවිට තමයි මිනිපේදී උතුරට හැරුණ තැන සිට ප්‍රථම වතාවට මහවැලි ගගේ වංගුවක් හමුවන්නේ. මේ වංගුවෙන් දකුණට හැරෙනවාත් සමගම ඉතාමත් සුන්දර දර්ශනයක් හමුවෙනවා. ඒ තමයි දිඹුලාගල කන්ද. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ශේෂ කදුවැටියක් වන මෙය ලංකාවේ ඉතිහාසයට ඉතාමත් සුවිශේෂී සම්බන්ධයක් දක්වයි. ඒ නිසා අපි දිඹුලාගල ගැන වෙනමම පරිච්ඡේදයකින් කථාබහ කල යුතුමයි. මහවැලි ගගේ මේ දකුණු අතට නැම්ම ගන්නා ස්ථානයේ සිට සිට තවත් කිලෝමීටර් 4ක් පමණ යන තුරු මේ කන්ද මහවැලියට කෙලින්ම දර්ශනය වෙයි. කිලෝමීටර් 4ක් ගිය ගැන නැවත මහවැලිය අංශක 90කින් පමණ වමට හැරෙයි. එතැන්සිට අඹන් ගග මහවැලියට වැටෙන තැන දක්වා මහවැලි ගගට දකුණුපසින් මේ අතිසුන්දර දිඹුලාගල පර්වතය දිස්වෙයි.

කාලිංග දූපත පසුකල පසු මහවැලි ගගට දිඹුලාගල පර්වතය පෙනෙන අයුරු

Tuesday, June 9, 2020

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 18


මහවැලි සංවර්ධන ව්‍යාපාරය

මහියංගනයේ සිට ඉදිරියට ගමන් කරන්නට කලින් අපි මහවැලි කලාප ගැන කතා කළ නිසා මහවැලි කලාප ගැනත් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගැනත් යම් අවබෝධයක් ලබාගෙන ඉදිරියට යෑම පැහැදිලි කරගැනීම සදහා ප්‍රයෝජනවත් වේ.

 

මහවැලි කලාප

A කලාපය

වර්ථමාන තත්වය - ක්‍රියාත්මක කර නැත

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය, මහවැලි පහළ ඩෙල්ටාව

B කලාපය

වර්ථමාන තත්වය - ක්‍රියාත්මක වෙමින් පවතී.

පොළොන්නරුව මහවැලි නිම්නය, මඩකලපුව දිස්ත්‍රික්කය, මාදුරු ඔය ගංගා ද්‍රෝණිය පහළ නිම්නය

C කලාපය

වර්ථමාන තත්වය - ක්‍රියාත්මක වෙමින් පවතී, කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ නිම කර ඇත.

බදුල්ල, අම්පාර දිස්ත්‍රික්ක, උල්හිටිය රත්කිද ජලාශ ප්‍රදේශ

D(D1,D2) කලාපය

වර්ථමාන තත්වය - ක්‍රියත්මක වෙමින් පවතී

මින්නේරිය, කවුඩුල්ල, ගිරිතලේ සහ පරාක්‍රම සමුද්‍රය(පොළොන්නරුව දිස්ත්‍රික්කය), කන්තලේ සහ වෙන්ඩරාසකුලම්(ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය)

E කලාපය

වර්ථමාන තත්වය - ක්‍රියාත්මකයි

හීං ගඟ සහ හසලක ප්‍රදේශය, මිනිපේ වම් ඉවුරු ඇළ

F කලාපය

වර්ථමාන තත්වය - ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර ඉදිරියේ දී ප්‍රතිලාභ ලබාදීමට සූදානම් කර ඇත.

මාතලේ සිද්ත්‍රික්කයේ කළු ගඟ පහළ නිම්නය

G කලාපය

වර්ථමාන තත්වය - ක්‍රියත්මකයි

ඇළහැර, මින්නේරිය, යෝධ ඇල ප්‍රදේශ

H කලාපය

වර්ථමාන තත්වය - ක්‍රියාත්මකයි. කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ නිම කර ඇත.

අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක, කලා ඔය නිම්නය, මොදරගම්ආරු පහළ නිම්නය

I කලාපය

වර්ථමාන තත්වය - ක්‍රියාත්මකයි

වව්නියාව, අනුරාධපුර මන්නාරම දිස්ත්‍රික්ක. මල්වතු ඔය දෝණිය.

I/H කලාපය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මල්වතු ඔය ඉහළ නිම්නය, නාච්චාදූව වැව සහ අනුරාධපුර වැව් ප්‍රදේශ

J කලාපය

වර්ථමාන තත්වය - ක්‍රියාතමකයි

වව්නියාව, මන්නාරම දිස්ත්‍රික්ක සහ පරංගි ආරු, පාලි ආරු

K කලාපය

වව්නියාව, මුලතිව් දිස්ත්‍රික්ක සහ කනගරායනාරු ද්‍රෝණිය

L කලාපය

වර්ථමාන තත්වය - ක්‍රියාත්මකයි

වව්නියාව මුලතිව් අනුරාධපුර දිස්ත්‍රික්ක සම මාඔය, පදවිය සහ වැලිඔය ද්‍රෝණිය

M කලාපය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ යාන් ඔය ද්‍රෝණිය

M/C කලාපය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ යාන් ඔය ඉහළ ප්‍රදේශය, හුරුලු වැව ජලාශයෙන් පෝෂිත ප්‍රදේශය

 

මේ සියළුම කලාප ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය කරනු ලබනවා.

 

මහවැලි සංවර්ධන කලාප



මහවැලි සංවර්ධන ව්‍යාපාරය

මහවැලි සංවර්ධන අදිකාරියේ නිල ලාංඡනය


මහවැලි සංවර්ධන ව්‍යාපාරය ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක කරනු ලැබූ දැවැන්ත භෞතික හා මානව සම්පත් සංවර්ධන වැඩසටහනකි. මූලික වශයෙන් වියළි කලාපයේ ග්‍රාමීය සංවර්ධනය අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය 1968 එවකට පැති රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ලද කාත්ෂණික සහායන් මත සැලසුම් කරන ලදී. මධ්‍යම කදුකරයේ පවතින ස්ළවභාවික ජල සම්පත වියළි කලාපයේ කෘෂි කර්මාන්තයට හා ජනාවාස සංවර්ධනය සදහා යොදා ගැනීමේ කාර්යයේදී මහවැලි සංවර්ධන ව්‍යාපාරය මගින් සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන ලදී.

1940න් පසුව ලංකාවේ ජනගහ වර්ධන වේගය වැඩි වීමත් සමග රටේ පවතින කෘෂි නිෂ්පාදන ප්‍රමාණවත් නොවිනි. ඒ වගේම නව කාර්මීනරණයත් සමහ විදුලි අවශ්‍යතාවයද ඉහළ නැගුනි. ඒ නිසා මේ කාරණා වලට විසදුම් සෙවීම අත්‍යාවශ්‍ය කරණයක් බවට පත් විය. ලංකාවේ අනෙකුත් ගංගා හා සසදන කළ තෙත් කලාපයේ මධ්‍යම කදුකරයෙන් ඇරඹී දිවයිනේ මුළු භූමි ප්‍රමාණයෙන් 6න් 1කට ලැබෙන වර්ෂා ජලය සිය ග්‍රහනයට ගෙන වියළි කලාපය මැදින් මුහුද වෙත ගලායන මහවැලි ගඟ වසරේ සෑම කාලයකදීම සුපෝෂිත ගංගාවකි. මේ අනූව මහවැලි ගෙඟ වියළි කලාපයට හරවා එයින් ලැබෙන ජලයෙන් වියළි කලාපයේ කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති කිරීමත්, ඉහළ මහවැලි බල ප්‍රදේශ ආශ්‍රිතව විදුලිබලාගාර ඉදිකිරීමත් මගින් ශ්‍රි ලංකාවේ අනාගත අවශ්‍යතා සපුරා ගත හැකි බව ප්‍රත්‍යක්ෂ විය. මේ පිළිබඳව රජය කල ඉල්ලීමකට අනූව එක්සත් ජනපද මෙහෙයුම් දූත මණ්ඩලය වියළි කලාපය ආශ්‍රිත ඉඩම් සංවර්ධනය පිළිබදව ශාක්‍යතා අධ්‍යයනයක් 1956දී ආරම්භ කර ඇත. එ් සමගම ශ්‍රි ලංකාවේ වාරිමාර්ග හා මිනුම් දෙපාර්තමෙන්තුව යන ආයතනවල සහාය ඇතිව කැනේඩියානු රජයේ තාක්ෂණික ආධාර මත කැනේඩියන් හන්ටින් කෝපරේෂන් ආයතනයද ශ්‍රි ලංකා රජයේ ඉල්ලීම පරිදි මහවැලි ගඟ පිළිබද අධ්‍යයනයක් සිදු කරන ලදී. මෙම අධ්‍යයනය පිළිබදව ස්වාධීන වාර්තා දෙකක් 1961 දී ඉදිරිපත් කරන ලදී. මෙම වාර්තාව අනුමැතිය සදහා 1962 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. සමස්ථ මහවැලි ද්‍රෝණියේම ජල සම්පත පිළිබදව පූර්ණ අධ්‍යයනයක් සිදු නොකර මහවැලි ජලයෙන් කොටසක් හරවා යැවීම අයහපත් ප්‍රතිඵල ජනනය කරන බැවින් දේශීය විද්වතුන්ගේ අදහස් හේතුවෙන් පාර්ලිමේන්තුව මෙම යෝජනා අනුමත නොකරන ලදී.

ඉන් පසුව මහවැලි ගඟ ඇතුළු වෙනත් ගංගා ආශ්‍රිත ඉඩම් හා ජල සම්පත් පිළිබද සමස්ථ අධ්‍යයනයක් කර සංවර්ධනය සදහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු ව්‍යාපෘති තෝරා ස්වාධින නිර්දේශ ඉදිරිපත් කරන ලෙස 1962 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් එහි ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ විශේෂඥ පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවන ලදී. එයට අමතරව එම කණ්ඩායමට සහාය සදහා ශ්‍රී ලංකාවේ විශේෂඥ පිරිසක් හා කාර්ය මණ්ඩලයක් ද පත් කරන ලදී. සිව් වසරක දැඩි  ප්‍රරිශ්‍රමයකිනන් පසුව 1968 දී වෙන් වෙන් වූ විශේෂ වාර්තා 14කින් යුතු කාණ්ඩ තුනක අධ්‍යයන වාර්තාව ප්‍රකාශයට පත් කරන ලදී. මෙසේ ඉදිරිපත් කරන ලද මහවැලි සංවර්ධන සැලැස්ම 1968 වසරේදී පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී.

උතුරුමැද පළාත සහ නැගෙනහිර පළාත අශ්‍රිතව ප්‍රතිලාභ ලබන ප්‍රදේශය කලාප 13ක් ලෙස නම් කරන ලද අතර එය A සිට M දක්වා නම් කෙරුණි. ආර්ථික වශයෙන් වඩාත් ඵලදායී හා අඩු ආයෝජනයක් මගින් වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි ව්‍යාපෘති පළමු වන පියවර යටතට ගන්නා ලදී.

 

මහවැලි මහ සැලැස්ම

            මහවැලි මහ සැලැස්ම ප්‍රධාන අරමුණ වූයේ මහවැලි ගගේ ජල සම්පතෙන් ඝන මීටර් මිලියන 6900 ක් පමණ වූ ජල ප්‍රමණයක් විදුලි බල නිෂ්පාදනයට හා වාරි කටයුතු සදහා සැපයීමයි. දෙවන අරමුණ වූයේ ජලාශ 15ක් ඉදිකර 11ක් ප්‍රධාන වශයෙන් විදුලි බලය නිෂ්පාදනය සදහා යෙදවීමයි.

            එක්සත් ජතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද මහවැලි මහ සැලස්ම අනූව මහවැලි ගංගා ද්‍රෝණියේ සහ වියළි කලාපය තුළ වූ තවත් ගංගා ද්‍රෝණි වල පිහිටි ඉඩම්, හෙක්ටයාර 364,372 ක් සදහා යල මහ දෙකන්නයටම වගා කිරීමට වාරි ජල පහසුකම් සලසා දීමට යෝජනා කර තිබුණි. මෙයින් හෙක්ටයාර 264,777ක් අලුතින් අස්වැද්දීමට යොජිත වූ අතර  හෙක්ටයාර 110,404 ක් ඒ වන විට වසරකඑක් කන්නයක් පමණක් වලා කළ ඉඩම් විය. සැලසුම් කළ ජලාශ හා ඇල මාර්ග වල විභවයන් ප්‍රයෝජනයට ගැනීමෙන් ගිගා වොට් පැය 2037ක වාර්ෂික ස්ථාවර විදුලිය ප්‍රමාණයක් ජනනය කළ හැකි බවද එයින් පෙන්වා දී තිබුණි. මහවැලි මහා සැලැස්ම අනූව එම සංවර්ධන කටයුතු වසර 30ක් තුළ නිම කිරීමට යෝජනා විය. අරමුදල් යෙදවීම් හා ක්‍රියාත්මක කිරීමේ පහසුව මෙන්ම විශේෂයෙන්ම සංවර්ධන ප්‍රතිලාභ වල අවශ්‍යතාවය යන කරුණු පිළිබදව අවධානය යොමුකර සංවර්ධන කටයුතු පියවර තුනකට බෙදා තිබුණි.

01. ප්‍රථම පියවර

            1969 - 1980 අතර කාලය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජනා විය. මේතුළින් අළුත් ඉඩම් හෙක්ටයාර් 71,494 කට සහ පැරණි ඉඩම් හෙක්ටයාර් 58300කට වාරි ජලය සැපයීමටත් ගිගාවොට් පැය 820ක් වාර්ෂික ස්ථාවර විදුලිය බල ප්‍රමාණයක් ජනනය කිරීමට සැලසුම් කර තිබුණි. මෙම පියවරේ වැඩ කටයුතු ව්‍යාපෘති තුනකට බෙදන ලදී. එනම්

I පොල්ගොල්ල හැරවුම (1969 – 1973)

II වික්ටෝරියා මිනිපේ හැරවුම (1973 – 1977)

III මොරගහකන්ද බහුකාර්යය ඒකකය

 

02. දෙවන පියවර

            මේ යටතේ මාදුරු ඔය ජලාශය, තල්දෙන බහුකාර්ය සංකීර්ණය හා කන්දකාඩු අමුණ යන මූලස්ථ වැඩ කොටස් යටතේ මහවැලි හා මාදුරු ඔය නිම්නයෙහි ඉඩම් හෙක්ටයාර 93,117ක් වගා කිරීමට වාරි පහසුකම් ලැබෙන අතර මෙයින් ඉඩම් හෙක්ටයාර 8502ක් ඒ වන විටත් වගා කරමින් තිබූ ඉඩම් යැයි ගණන් බලා තිබේ. මෙගා වොට් 15ක ස්ථාපිත ජවයක් සහිත විදුලි බලාගාරයක් තල්දෙනදී ඉදිකිරීමට මාදුරුඔය ජලාශය පෝෂණය කිරීමට උල්හිටිය රත්කිද ජලාශයේ සිට උමගක් ඉදිකිරීමටද මාදුරුඔය ජලාශය ආශ්‍රිතව මෙගා වොට් 4.9ක ස්ථාපිත ජවයක් ඇති කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම මෙහි ප්‍රධාන කාර්යයන් විය.

 

03. තෙවන පියවර

            මෙමගින් දිවයිනේ උතුරු මැද පළාතේ අලුත් ඉඩම් හෙක්ටයාර 105,668ක් සංවර්ධනය කෙරේ. ජල විදුලිය නිපදවීමේ අවසන් සැලසුම ක්‍රියාත්මක කොට මෙගා වොට් 293ක ප්‍රමාණයක ස්ථාපිත ජවයක් ඇති විදුලි බලාගාර ඉදිකරන අතර එමගින් වාර්ෂිකව ගිගා වොට් පැය 1169ක් ස්ථාවර විදුලි ජනනයක් කරනු ඇත. පැරණි මිනිපේ වම් ඉවුර ඇල වැඩි දියුණු කිරීම, කිලෝමීටර් 164ක් උතුරුමැද ඇල ඉදිකිරීම, රොටලාවල, උමාඔය, රන්ටැඹේ, කොත්මලේ, කළුගඟ, ආදී ජලාශ ඉදිකිරීම මෙම පියවරට ඇතුලත් විය.

 

මහවැලි මහ සැලැස්ම ක්‍රියාත්මක කිරීම  (පළමු අදියර)

            මහවැලි මහ සැලැස්ම යටතේ ප්‍රථම ව්‍යාපෘතිය ලෙස පොල්ගොල්ල හා බෝවතැන්න ව්‍යාපාර 1970දී ආරම්භ කෙරුනු ලැබූ අතර, 1976 වන විට ඉදිකිරීම් කටයුතු අවසාන කිරීමට හැකි විය. මෙමගින් පෙර පැවති ඉඩම් හෙක්ටයාර 16,000කට හා නව ඉඩම් 23,000කට වාරි ජලය සැපයීමටද, මෙගාවොට් 40ක ස්ථාපිත ධාරිතාවයකින් යුත් ජල විදුලිය නිපදවීමට ද හැකි විය. මේ ව්‍යාපාරය යටතේ මහවැලි H කලාපයට අයත් කලා වැව නිම්නයේ ගොවි පවුල් 23,000ක් 1977 වන විට පදිංචි කරනු ලැබිණි. මේ වන විට පදිංචි කර ඇති මුළු පවුල් සංඛ්‍යාව 39,500කි.

            1977 වන විට ශ්‍රී ලංකා ආර්ථිකය ගැටලු රැසකට මුහුණ දී තිබිණි. සහල් ඇතුලු කෘෂි නිෂ්පාදන ආනයන වියදම ඉහළ යෑම ප්‍රධාන ගැටළුවක් විය. රට තුළ සහල් අවශ්‍යතාවයෙන් නිපදවූයේ 69% ක් වූ අතර 31% ක්  ආනයනය මත රදා පැවතිනි. එයට අමතරව තවත් අත්‍යාවශ්‍ය කෘෂි න්ෂාපාදන රැසක් ද ආනයන කරන ලදී.

            විදුලි බල නිෂ්පාදනය 1977 වන විට විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතාවය මෙගා වොට් 408ක ප්‍රමාණයක් රටේ විදුලිබල ඉල්ලුම සැපයීමට එය ප්‍රමණවත් නොවුනි. විදුලිබල  බිද වැටීම් සාමාන්‍ය දෙයක් වූ අතර එය වසරකට දින 70ක විදුලිය විසන්ධිවීමක් දක්වා වර්ධනය වී තිබිණි.

            මෙම ගැටළු ඉක්මනින් විසදීමේ පියවරක් ලෙස මහවැලි සංවර්ධන මහ සැලැස්ම කඩිනම් කලයුතු බවට 1977.10.22 දින එවකට පැවති ජේ. ආර්. ජයවර්ධන රජය තීරණය කරන ලදී.

 

පොල්ගොල්ල හැරවුම

බෝවතැන්න ජලාශය


මහවැලි කඩිනම් වැඩසටහන (දෙවන අදියර)

මහවැලි මහ සැලැස්මට අයත් තෝරාගත් ව්‍යපෘති කිහිපයක් එක විට අරඹා වසර 6ක් වැනි කෙටි කාලයකදී නිම කිරීමට 1977 දී රජය තීරණය කළේය. එය ක්‍රියාත්මක කිරීම සදහා වෙනම අමාත්‍යංශයක් ද ආරම්භ කරනු ලැබීය. ඒ අනූව කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල හා මාදුරු ඔය ජලාශ යෝජනා ක්‍රම අරඹා ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා විය. පසුව මෙයට රන්ටැඹේ ව‍්‍යාපාරය ද ඇතුළත් කෙරිණි. මහෙි මාදුරුඔය හැර අනෙකුත් ජලාශ පාදක කොට ගෙන ජල විදුලිය උත්පාදනය කරනු ලබන අතර, එම ජලයම වාරි කර්මාන්තය සදහා ද භාවිතා කෙරේ. මේ අනූව මහවැලි C හා B කලාප ස්වර්ධනය කොට ගොවි ජනයා පදිංචි කිරීමද මහවැලි කඩිනම් වැඩසටහනට අයත් විය. ඒ අනූව B කලාපයේ පවුල් 30, 46ක් ද, C කලාපයේ පවුල් 45,488ක් ද පදිංචි කර ඇත.

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සිතියම

මෙම වෘපෘති සදහා පිළිවෙලින් ස්වීඩනය, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, හා කැනඩාවත්, පහළ නිම්න සංවර්ධනය සදහා ලෝක බැංකුව, EEC , ජපන් හා කුවෙට් යන රටවල් මූල්ය ආධාර සපයන ලදී, මෙම ව්‍යාපෘතිය දියත් කිරීම සදහා 1979 දී ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ස්ථාපනය කරන ලද අතර, ඉංජිනේරු හා නිර්මාණ කාර්යයන් සදහා මහවැලි ඉංජිනේරු හා නිර්මාණ ඒජන්සියත්, නැවත පදිංචි කිරීම සදහා මහවැලි ආර්ථික ඒජන්සියත් ස්ථාපිත කරන ලදී. එමෙන්ම කඩිනම් මහවැලි සංවර්ධනය මගින් ඉදිවුන විශාල ජලාශ පාලනය සදහා මූලික වැඩ පාලන හා මෙහෙයුම් අංශය 1986 දී ස්ථාපිත කරන ලදී.

            1990 වර්ෂය වන විට කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යපෘති නිමවූ අතර එමගින් විදුලිබල ක්ෂේත්‍රය හා කෘෂිකර්මාන්තය නැංවීමට විශාල අයෝජනයක් සිදු විය. මේ නිසා තවදුරටත් කෘෂිකර්මාන්තය ආයෝජනය සිදු කිරීමට රජය මැලි වූ බැවින් මහවැලි මහ සැලසුමට අදාල මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටපත් විය. කෙසේ නමුත් දීර්ඝ කාලයක් මුළුල්ලේ සැලසුම් වලට පමණක් සීමා වී තිබූ මෙම සංවර්ධන වෘපෘතිය වර්ථමානය වන විට ක්‍රියාත්මක තත්වයට පැමිණ තිබීම මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීමට ඉවහල් වේ.

කොත්මලේ ජලාශය

වික්ටෝරියා ජලාශය

රන්දෙණිගල ජලාශය

රන්ටැඹේ ජලාශය

මිනිපේ අමුණ

මාදුරුඔය ජලාශය


මහවැලි ව්‍යාපාරයේ අනාගත ව්‍යාපෘති. (තෙවන අදියර)

            මහවැලි සංවර්ධන ව්‍යාපාරය මුලින් අදියර 3ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුනද ක්‍රියාත්මක වූයේ සැලසුම් කල පරිදි නොවේ. එම නිසා ක්‍රියාත්මක වුන අකාරය අනූව අපිට එහි අදියර තුනක් දැකිය හැකිය. එනම් සිරිමාවෝ බණ්ඩානායක මැතිනිය සමයේ පොල්ගොල්ලෙන් ඇරඹි පළමු අදියරත්, ‍ජේ.ආර් ජයවර්ධන මහතාගේ රජය යටතේ ගාමිණී දිසානායක මහතා ප්‍රමුඛව ඇරඹි දෙවන අදියරත් හා මහින්ද රාජපක්ෂ රජය යටතේ ඇරඹි තුන්වන අදියරත් ලෙසය. මේ තුන්වන අදියර යටතේ මොරගහකන්ද, කළුගඟ, උමා ඔය සහ ඉහල කොත්මලේ ජලාශ ව්‍යාපෘති ආරම්භ විය. තවද කාලිංගනුවර අංගමැඩිල්ල ජල පොම්පාගාර ව්‍යපෘතිය, මහවැලි ගගේ අතු ගංගාවක් වූ කුඩාඔය ආශ්‍රිතව බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වැලිඔය ජනපදය ආශ්‍රිතව කිවුල්ඔය ජලාශ ව්‍යාපෘතිය, ඉහළ ඇලහැර ඇල ව්‍යාපෘතිය, උතුරුමැද මහ ඇල ව්‍යාපෘතිය, වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය, මිණිපේ ඇල ව්‍යාපෘතිය යනාදිය ක්‍රියාත්මක වෙමින් පවතී.

            ඉදිරියේ දී නව ඉඩම් හෙක්ටයාර 30400ක් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන අතර මේ යටතේ මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ හෙක්ටයාර 5000ක් මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හෙක්ටයාර 18000ක්, කිවුල්ඔය ජලාශ ව්‍යපෘතිය යටතේ හෙක්ටයාර 2400ක්, උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යපෘතිය යටතේ හෙක්ටයාර 5000ක් අලුතින් සංවර්ධනය වේ.

ඉහළ කොත්මලේ ජලාශය

මොරගහකන්ද ජලාශය

උමා ඔය ව්‍යාපෘතිය - පුහුල්පොල ජලාශය


            ජල විදුලි නිෂ්පාදනය වෙනුවෙන් උමා ඔය යටතේ මේගාවොට් 120ක් ද මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 25ක්ද කුඩා ජලවිදුලි බලාගාර වලින් මෙගාවොට් 60ක් ද ජාතික විදුලිබල නිෂ්පාදනයට එකතුවේ. මෙම වැඩසටහන් වලදී මේ වන විට විශාල පාරිසරික ගැටළු රැසක් මතුවී ඇතත් ඒවාට නිසි විසදුම් ලබා දී නිවැරදිව ව්‍යාපෘති නිම කලහොත් මෙවායේ ප්‍රතිලාභ මගින් ජාතික ආහාර නිෂ්පාදනයට සහ විදුලිබල නිෂ්පාදනයට එකචතුවන වටිනාකම සුලුපටු නොවේ. මේ සියල්ල ඉතාමත් සාර්ථකව නිම වේවා යන්න රට වැසියන් වන අප කාගේත් පැතුමයි.