Sri Lanka

Wednesday, September 30, 2020

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 25

 පෙර ලිපිය මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 24 

 

කවුඩුලු ඔය සහ මැදිරිගිරිය පාලම

            කවුඩුල්ල වැව නිර්මාණය කරන්නේ කවුඩුලු ඔයට අලුත් ඔය සහ ගල් ඔය( අම්පාරේ ඉගිනියාගල ජලාශයේදී අපට හමුවන ගල් ඔය නොවේ) එකතුවෙන ස්ථානයේදීයි. වැව නිර්මාණය කිරීමෙන් පසුව කවුඩුලු ඔය මළ ගගක් බවට පත් වුවත් වැවේ පිට වානෙන් නිකුත් වෙන ජලය නැවතත් කවුඩුලු ඔයටම වැටේ. මේ කවුඩුලු ඔය සැතපුම් තිහක් පමණ ගෙවාගෙන ගොස්  මහවැලි ගගට එක්වේ. මේ කවුඩුලු ඔය දිගේ යනකොට අපිට මුන ගැහෙනව ඉතාමත් සුවිශේෂී ස්ථානයක්. ඒ තමයි මැදිරිගිරිය පාලම. පාලම් ගැන කියනකොට මහවැලි ගග දිගේ යන අපට පලම් බොහොමයක් හමු වුනා. මුලින්ම හමුවුනේ උලපනේ පාලම, පස්සේ කොත්මලේ වැල් පාලම, ගම්පොල පාලම, පේරාදෙණිය පාලම, ගන්නෝරුව පාලම, කටුගස්තොට පාලම, කුණ්ඩසාලේ පාලම ආදිය පහුකරගෙන මිණිපෙට ගියා. පසුව අපි උමා ඔය දිගේ යනකොට බෝගොඩ පාලම හමු වුනා ඒ වගේම හලාබ යකඩ පාලමත් හමු වුනා. නැවතත් මහවැලි ගග දිගේ යනකොට වේරගන්තොට පාලම සහ ඊලගට බතලයාය නිපෝන් පාලම හමු වුනා. මේ හැම පාලමක්ම හදලා තිබුනේ එක්කෝ ඉංග්‍රීසි ආණ්ඩුව විසින් නැතහොත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ මහාමාර්ග දෙපාර්ථමේන්තුව. නමුත් මේ මැදිරිගිරිය පාලම හදන්නේ ඉතිහාසයේ පළමු වතාවට පුරාවිද්‍යා දේපාර්ථමේන්තුව. ඒකට හේතුව තමයි මේ මැදිරිගිරිය ප්‍රදේශයෙන් ඉතාමත් සුවිශේෂී පුරාවිද්‍යා පරිශ්‍රයක් මුණ ගැසීම. 1897 දී තමයි ලංකාවේ පළමු පුරාවිද්‍යා අධ්‍යක්ෂ වරයා වන මහාචාර්ය එච්.සී.පී බෙල් මහතා විසින් මේ මැදිරිගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය සොයාගනු ලබන්නේ. මේ ස්ථානයට ළගා වීමට හරි හමන් පාරක් නොතිබූ යුගයක 1941 දී කරත්ත පාරවල් වාහන ගමන් කල හැකි පාරවල් ලෙස ප්‍රතිසංස්කරණය කරමිනුයි මෙම මැදිරිගිරිය පාලම ඉදිකරන්නේ. මැදිරිගිරිය මණ්ඩලාරාමය නොහොත් මැදිරිගිරිය පුරාවිද්‍යා පරිශ්‍රයේ කැණීම් කටයුතු සිදුකරන්නේ ඉන් පසුවයි. මෙම පාලමෙහි දෙපස ආරක්ෂක බැම්මට යොදා ඇත්තේද මැදිරිගිරිය වටාදාගේහි පිටත බැම්මේ ඇති හැඩයමයි.

 

කවුඩුලු ඔය හරහා මැදිරිගිරිය දක්වා වැටී ඇති පාලම. මෙය ඉදිකර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසිනි

මැදිරිගිරිය මණ්ඩලාරාමය

            මැදිරිගිරිය මණ්ඩලාරාමය නොහොත් මැදරිගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය කොයි තරම් වටිනාකමකින් යුක්තද කිවහොත් බෙල් මහතා මෙය හැදින් වූයේ වාස්තුවිද්‍යාවේ මැණිකක් ලෙසය. වර්ෂ 1952 වසරේ සිට 1965 වසර දක්වා ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරණ ලද රුපියල් දෙකේ මුදල් නොට්ටුවේ මුද්‍රණය කර තිබුනේ මැදිරිගිරිය වටදාගේ දැක්වෙන පින්තූරයකි. එවන් වූ වටිනාකමක් ඇති මැදිරිගිරිය වටදාගේ නරඹන්නට යන්නේ ඉතාමත් කුඩා පිරිසකි. 

රුපියල් දෙකේ කාසියෙහි මුද්‍රනය කර තිබූ මැදිරිගිරිය වටදාගෙහි ඡායාරූපය

 

            ඓතිහාසික වශයෙන් ගත් කල මැදිරිගිරියට බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී තැනක් හිමිවේ.  මෙම සිද්ධස්ථානය ක්‍රි.පූ 3 වන සියවසේ සිට ක්‍රි.ව 13 වන සියවස දක්වාම පවත්වාගෙන ගොස් ඇත. පළමුවෙන්ම කවුරුන් විසින් ගොඩනගන ලද දැයි නිශ්චිතව හදුනාගෙන නොමැති මෙම සිද්ධස්ථානය මණ්ඩලගිරි, මැඩිලිගිරි ආදී නම් වලින් හදුන්වා ඇත. ක්‍රි. ව දෙවන සියවස අග භාගයේ දී කනිට්ඨ තිස්ස රජුත්, හත්වන සියවසේ මුල් කාලයේ දී දෙවන අග්බෝ රජුත්, නව වන සියවසේ මැද භාගයේ දී දෙවන සේන රජුත් මෙහි ඉදිකිරීම් කළ බව මහා වංශයේ සදහන්ව ඇත.

මැදිරිගිරිය වටදාගෙය

 

            එකොලොස්වන සියවසේදී පළමුවන විජයබාහු රජු මෙම විහාරය ප්‍රතිසංස්කරණය කල බව සදහන් වන අතර මේ ස්ථානයේ තිබූ සේල්ලීපියක් අනූව මෙහි ඉතා දියුණු සිද්ධස්ථානයක් හා දියුණු රෝහලක් තිබුණු බව හෙළිවේ. 13 වන සියවසේ මාඝ ආදී ආක්‍රමණ නිසා රජරට අතහැර සිංහලයන් දකුණට පල ගියෙන් මේ සිද්ධස්ථානය පසුව වල් බිහි විය.

            මහ වනාන්තරයක් මැද හුදකලා වී සියවස් ගණනාවක් වල් බිහිවූ මේ ඓතිහාසික භූමිය 1897 දී පමණ H.C.P බෙල් මහතා විසින් සොයා ගන්නා ලදී. 1939 දී මේ ප්‍රදේශය පුරාවිද්‍යා සංරක්ෂිත භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරින. 1941 දී මේ භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර, පාරක් තොටක් හා බීමට ජලය පවා නොමැති මිනිස් වාසයෙන් තොර මහ වන මැද පිහිටි මේ භූමිය පාදාගෙන ප්‍රතිසංස්කරණය කිරීම මහත් දුෂ්කර කටයුත්තක් වූ බව සෙනරත් පරණවිතාන මහතාගේ වාර්තාවලින් පැහැදිලි වේ. මේ අතරතුර තමයි අපි මුලින් සදහන් කල කවුඩුලු ඔය මතින් ඉදිවන පාලම ඉදිවන්නේ. ඒ මතින් තමයි මෙහි වැඩකටයුතු සදහා ගමන් කරනු ලබන්නේ.

            මැදිරිගිරිය වඩාත් ප්‍රචලිත වී ඇත්තේ එහි පිහිටා ඇති අලංකාර වටදාගේ නිසාය. මැදිරිගිරිය වටදාගෙය පැරණි වාස්තු විද්‍යාවේ හා ගෘහ නිර්මාණ ශිල්පයේ අති විශිෂ්ඨ නිර්මාණයකි. මෙය භූමි මට්ටමට වඩා ඉහළින් ගල් කුලක් මත ඉදිකර ඇති නිසා එහි ප්‍රෞඩත්වය කැපී පෙනේ. පොළොන්නරුව වටදාගෙය සහ මෙය වෙනස් වන්නේ මේ උස් පීතිකාව නිසාය.  වටදාගෙය ඉදිකර ඇත්තේ අඩි 91ක් පමණ විශ්කම්භය හා අඩි 14 - 17 පමණ උස බැම්මකින් ආරක්ෂා වී ඇති වටකුරු වේදිකාවක් මතයි. ඊට පිවිසීම සදහා උතුරු දෙසින් ඇති අඩි 10ක් පමණ උස අඩි 5ක් පමණ පළල ගල් උළුවස්සකින් ඇතුළුවී පියගැට පෙළක් නැගිය යුතුය. වටදාගේ බාහිර මළුවට ඇතුළු වූ විට දෙපස කැටයම් සහිත ගල් පීටිකා දෙකක් මත පූර්ණ ඝට දෙකකි. වටදාගෙයට උතුරින් ඇති කදු ගැටය මත තවත් ස්ථූපයක් දක්නට ඇත.

 









මැදිරිගිරිය පුරාවිද්‍යා පරිශ්‍රයෙහි ඇති නටඹුන්

 

මැදරිගිරියෙහි පිහිටීම Google Maps වල දක්වා ඇති අයුරු

කන්තලේ වැව

කවුඩුල්ලට ගනාව මහවැලි ජලය මීලගට ගමන් කරන්නේ කන්තලේ වැවටයි. කන්තලේ වැව ඉදිකලා යැයි සැලකෙන්නේ දෙවන අග්බෝ රජතුමන් විසින්ය. මෙහි ධාරිතාවය අක්කර අඩි 114000කි බැම්මෙහි දිග මීටර් 2524ක් වන අතර උස මීටර් 16.75කි. දෙවන අග්බෝ රජුගෙන් පසු මහා විජයබාහු රජු මෙහි මහා ප්‍රතිසංස්කරණයක් සිදු කරන අතර මහා පරාක්‍රමබාහු සහ නිශ්ෂංකමල්ල රජු ආදී රජවරු මෙහි ප්‍රතිසංස්කරණයන් සිදු කර ඇත. මේ කන්තලේ වැව පිළිබදව අපූරු වාර්තාවක් සපයන්නේ 1802දී පෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාර වරයාය. ඔහුගේ වාර්තාවක  සෞන්දර්යයනේ අනූන වූ මේ වැව දකින විට ශ්‍රි ලංකාවේ වාරි තාක්ෂණය ගැන ආඩම්බරයක් ඇති වන බවත් මොවුන් භාවිතා කල තාක්ෂණය ගැන පුදුමයට පත් වන බවත් සදහන් කර ඇත. 

 

කන්තලේ වැව

වෙන්ඩරාසන් වැව

            කන්තලේ වැවෙහි කෙලවරේ ඇති සොරොව්වකින් ඇල මාර්ගයක් ඔස්සේ වෙන්ඩරාසන් වැව දක්වා ජලය ගෙන යනු ලබයි. මෙම වැවට එම නම ලැබෙන්නේ වෙන්ඩග්‍රාෆ් නැමති ලන්දේසි ආණ්ඩුකාරයාගේ මූලිකත්වයෙනි. මෙම වැව ඉදිකර ඇත්තේ ලන්දේසීන් විසින්ය. ලංකාව තුළ ලන්දේසීන් ප්‍රසිද්ධ වන්නේ හැමිල්ටන් ඇල ආදී ඇල මාර්ගයන් තැනීමට වුවත් වැවක් ඉදි කල පළමු අවස්ථාව මෙයයි.

 

වෙන්ඩරාසන් වැව

නැවතත් අඹන් ගග දිගේ නාමල් කුමාර ඇල්ල බලන්න යමු.

            ඇලහැර අමුණෙන් ආරම්භ වී ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල කන්තලේ ආදී වැව් වෙත ගිය අපි නැවතත් ඇළහැර අමුණ ලගින් අඹන් ගග දිගේ ගමන ආරම්භ කරමු. ඇලහැර අමුණෙන් පස්සෙ අපිට හමුවන වැදගත්ම ස්ථානයක් තමයි නාමල් කුමාර ඇල්ල. මේ ස්ථානයේදී අඹන් ගගේ ඉවුරු දෙක ඉතාමත්ම ලං වෙනවා. මේ ස්ථානයේ විශාල ගල් තලාවක් අතිරින් තමයි අඹන් ගග ගලන්නේ. මේ ඇල්ලට නම ලැබීම පිළිබදවත් ජනප්‍රවාදයක් පවතිනවා. ඒ තමයි නාමල් කුමාර නැමති කුමාරයා බුදුරුව යාය විහාරයට මල් පූජා කිරීමට ගොස් ආපසු එන විට මේ ස්ථානයෙන් ගඟට වැටී මිය ගිය නිසා මේ ස්ථානයට නාමල් කුමාර ඇල්ල යැයි නම් ලැබී ඇති බවයි. මෙතැනදී යම් කෙනෙකුට එක පිම්මකින් අඹන් ගගේ එක් ඉවුරක සිට අනෙක් ඉවුරට පනින්න පුලවන්.

 

නාමල් කුමාර ඇල්ල 

මේ විදියට අඹන් ගග දිගේ ඉදිරියට යන විට අපිට හමුවෙනවා තවත් සුවිශේෂී ස්ථානයක්. ඒ තමයි කළු ගග අඹන් ගගට එක්වන ස්ථානය. අපි කලින් කිවුව නාමල් කුමාර ඇල්ලට පහලින් තමයි මේ ස්ථානය පිහිටන්නේ. මේ කළු ගඟ අපිට හමු වන දෙවැනි කළු ගගයි. මේ කළු ගගේ තමයි අපි මොරගහකන්ද ජලාශය ගැන කතා කරන විටම කතා කරපු කළු ගඟ ව්‍යාපෘතිය පිහිටලා තියෙන්නේ. මේ හරියෙදි අපිට හමු වෙනවා ඓතිහාසික වශයෙන් වැදගත් තවත් සථානයක් වන බුදුරුවයාය විහාරය.

 



බුදුරුවයාය විහාරය.

            බකමූණ නගරයේ සිට දඹුල්ල හෙට්ටිපොල මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ ගමන් කර බුදුරුවයාය පුරාණ විහාර භූමියට පැමිණිය හැකිය. මේ ස්ථානය පොළොන්නරුව සංචාරය කරන්නෙකුට මගහැරී යන ස්ථානයකි. මෙම විහාරය මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදි කරන්නට ඇතැයි ජනප්‍රවාද වල සදහන් වේ. මේ ස්ථානයේ චන්ද්‍රකාන්ත පාෂානයෙන් නිමවා ඇති අඩි 40ක් පමණ දිග සැතපෙන පිළිමයක් පිහිටා ඇත. අතීතයේ දී මේ පිළිමයේ ශීර්ෂය හොදින් පැවතුනද අද වන විට තුච්ච නිධන් හොරුන්ගේ ගොදුරක් වී විනාශ වී ගොස් ඇත. මෙම පිළිමය දෙවැනි වන්නේ පොළොන්නරුවේ ගල් විහාරයේ ඇති සැතපෙන පිළිමයට පමණි.

            මෙම සැතපෙන පිළිමය පමණක් නොව මේ අවට පුරාවස්තු බොහොමයක් විසිරී පවතී. වෙනත් පිළිම, ගල්කණු සදකඩ පහණ, චෛත්‍යය ගල් පුවරු ආදි බොහෝ දේ දැකිය හැකිය. පරාක්‍රමබාහු රජතුමාගේ යැයි සලකෙන මාලිගයක නටඹුන්ද මීට තරමක් නුදුරෙන් දැකිය හැකිය. පොළොන්නරු යුගයේ බිද වැටීමත් සමගින් වල් බිහිවී ගිය මේ විහාරස්ථානය නැවත් සොයාගනු ලබන්නේ දිඹුලාගල අපේ පින්වත් සීලාලංකාර ස්වාමීන් වහන්සේයි. උන් වහන්සේ මේ ස්ථානයේ අවුරුදු 12ක් පමණ වැඩ වාසය කර ඇත.

 

 

බුදුරුවයාය විහාරයේ ඇති සතපෙන පිළිමය සහ අනෙකුත් නටඹුන්

 

 

 


Tuesday, September 8, 2020

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 24

 පෙර ලිපිය මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 23 

 

ඇලහැර යෝධ ඇල දිගේ යමු

ඇලහැර ඇලේ ප්‍රධාන ඇල මාර්ගය අමුන ඇති ස්ථානයට මීටර් 800ක් පමණ මෙපිටින් ආරම්භ වේ. මේ මගින් ප්‍රධාන වැව් කිහිපයක්ම පෝෂණය වේ. මේ අතරින් මින්නේරිය වැව සහ ගිරිතලේ වැව ප්‍රධාන තැනක් ගනී. මේ ඇල නිර්මාණය කර ඇති තාක්ෂණය ඉතාමත් අපූරුය. සිතියම් අද්‍යනය කිරීමේ දී අපට නිරීක්ෂණය කල හැකි වැදගත්ම කරුණ නම් සමෝච්ච රේඛා සැලකීමේ දී මෙම ඇල මාර්ගය ගෙන ගොස් ඇත්තේ ඉතාමත්ම නිවැරදි මාරගයේය. එනම් සමෝච්ච රේඛා බැස්ම බොහෝ දුරට ලං ලංව පිහිටන මාර්ගයකය. නමුත් වියළි කලාපයේ දී සමෝච්ච රේඛා බැස්ම සිදුවන්නේ බොහෝ දුරට ඇතීන් ඈතය. එනම් බොහෝවීට භූමිය තැනි ස්වභාවයක් ගනී. මේ තැන්න තුළ භූමියේ උස් වෙනස් වන ස්ථාන සොයාගෙන ඇල ඉදි කර ඇති අයුරු අපූරුය. ඇලහැර අමුණ පිහිටා ඇති ස්ථානයත්, මින්නේරිය ඇතුළු වැව් පිහිටා ඇති ස්ථානයත් සැලකූ විට මහා විශාල ලෙස සමෝච්ච රේඛා වල අගයේ වෙනසක් සිදු නොවේ. එම නිසා ලංකාවේ ඉදිකර ඇති අනෙක් යෝධ ඇලවල් වල මෙන්ම මෙම ඇලහැර යෝධ ඇලේද බැස්ම සැතපුමකට අඟලකි.

ඔරුබැඳි සියඹලාව

            ඇලහැර යෝධ ඇල දිගේ සැතපුම් පහ හමාරක් පමණ ගිය තැන අපිට හමුවෙනවා සුවිශේෂී ස්ථානයක්. ඒ තමයි ඔරු බැදි සියඹලාව. මේ සියඹලා ගහ පිළිබදව අපිට පැරණිම වාර්තාවක් මහුවන්නේ 1856 දී ඇලහැර පිළිබදව සොයා බැලිම් කරපු ඇලෙක්ස් යන්ග් ඇඩම්ස් මහත්තයාගෙන්. ඇඩම්ස් මහත්තයාගේ වාර්තාව බ්‍රෝහියර් මහත්තයාගේ පොතෙත් උපුටා දක්වලා තිබෙනවා. ඒ වාර්තාව අනූව එතුමාට හමුවෙන ගොවි මහත්තයෙක් මේ සියඹලා ගස පිළිබදව එතුමාට පවසනවා. ඇලහැර ඇල දිගේ සැතපුම් පහ හමාරක් පමණ ගියාට පස්සේ සියඹලා ගහත් තියෙනවා. ඒ සියඹලා ගසේ මහසෙන් රජතුමා තමන්ගෙ ඔරුව බැදපු ලකුණු තියනවාය කියලා. මේ මං සලකුණු අනූව අඩම්ස් මහත්තයා මේ ස්ථානයට යනවා. ඒ අනූව එතුමන් වාර්ථා කරනවා අඩි 26ක් විෂ්කම්භය සහිත විශාල සියඹලා ගසක් මෙම ස්ථානයේ තිබුනාය, එහි ඔරු බැදීමෙන් ලණු වලට කැපුන තැන් එතුමන්ට දකින්න ලැබුණාය කියලා.  නමුත් අද වන විට එම පැරණි වෘක්ෂය මෑත කාලයේ ඇති වුන මහා සුළි සුළගකින් විනාශ වෙලා ගොසින්. නමුත් එහි මුල කොටස තාමත් දකින්නට ලැබෙනවා. ගම්මුන් පවසන විදියට මෙම සියඹලා ගසට අවුරුදු 700ක් පමණ වයසයි.  

ඔරු බැදි සියඹලාවෙහි ඉතිරිවී ඇති කොටස


 

ඒ සියඹලා ගසේ මුලකින් ඇති වුන පැලයක් අද විශාල වෘක්ෂයක් ලෙසින් කාගේත් ගෞරවාදරයට පත් වෙනවා. මේ ස්ථානයේ දේවාලයක් දකින්නට ලැබෙනවා. මේ දේවලය හදුන්වන්නේ කුඩා මින්නේරි දේවාලය ලෙසින්. මින්නේරි දෙවියන් ලෙසින් හදුන්වන්නේ මහසෙන් රජතුමායි. මහසෙන් රජතුමා මින්නේරි දෙවියන් බවට පත්වූ හැටි අපි මින්නේරිය වැවේදි කතා කරමු. ගැමියන්ට අනූව මෙම සියඹලා ගසේ ඔරුව බැද බුදුරුව යායේ ගලින් කරන ලද සැතපෙන බුද්ධ ප්‍රතිමාව ලගට ගියා කියලයි.

 

ඔරු බැදි සියඹලාව

දිය බෙදුම‍

            ඇලහැර ඇල දිගේ සැතපුම් 20ක් පමණ ගිය තැන දියබෙදුම නම් ස්ථානය හමු වෙනවා. මේ ස්ථානයේදී ඇල කොටස් තුනකට බෙදෙනවා. මින් ඇලවල් දෙකක් තලාවතුර ලෙසින් වර්ථමානයේ හැදින්වෙන ස්වභාවික ඔයක නිම්නය දෙපසින් මින්නේරිය වැව දක්වා ගමන් කරනවා. තුන්වැනි ඇල ගිරිතලේ වැව දක්වා ගමන් කරනවා. ඇලහැර සිට ගිරිතලේ දක්වාම ඇලේ දිග සැතපුම් 27ක් පමණ වේ. ගිරිතලේ වැව දක්වා ගමන් කරන ඇල දියබෙදුම සිට මද දුරක් ගොස් ගිරිතලේ වැවට ගලා බසින ස්භාවික ඔයක් වන නාහින්න ඔයට වැටෙනවා.

 

දිය බෙත්ම


ගිරිතලේ වැව

            අපි කලින් සාකච්ඡා කල පරිදි දියබෙදුමේ දී දෙකට බෙදී ගිරිතලේ පැත්තට හැරවුන ජලය නාහින්න ඔයට වැටෙනවා. මේ ඔයට වැටුන ජලය ගිරිතලේ වැවට ඇතුළු වීමට ප්‍රථම  නාහින්න වැව නමින් හැදින්වෙන කුඩා වැවකට වැටෙනවා. දෙපසින් පිහිටි කදු ගැට දෙකක් යා කරමින් තැනු  බැම්මක් මගින් සාදා ඇති මෙම වැවේ ජලයෙන් අස්වැද්දිය හැකි කුඹුරු ප්‍රමාණයක් එම වැව සම ගිරිතලේ වැව අතර ප්‍රදේශයේ නැති නිසා බ්‍රෝහියර් මහතාගේ වාර්තාවල මේ ගැන සටහන් කර ඇත්තේ මෙම වැව ගිරිතලේ වැව සැදීමට ප්‍රථමයෙන් තිබී පසුව අත්හැර දැමූවක් හෝ නැතිනම් ගිරිතලේ වැවට ජලය රැස් කිරීමට ඉදි කල වැවක් වන්නට ඇති යැයි කියාය.

ගිරිතලේ වැව


 

            ගිරිතලේ වැව ඉදිකරනු ලබන්නේ දෙවන අග්බෝ (ක්‍රි.ව 608 - 618) රජුගේ පාලන සමයේදීය. පසුව මහා පරාක්‍රමබාහු (1153 – 1186) රජු විසින් මෙම වැව ප්‍රතිසංස්කරණය කරන ලදැයි විෂ්වාස කෙරේ. පසුව එය යටත් විජිත යුගයේ දී 1905, 1942 සහ 1952 දී ප්‍රතිසංස්කරණයට භාජනය වී ඇත.

පළමුවන පරාක්‍රමබාහු රජතුමා විසින්  කාවේරි ඇළ මගින් ගිරිතලේ සිට කදුරුදමන දක්වා ජලය ගෙන ගියේය යනුවෙන් මහවංශය සදහන් කරයි. මෙම වැවේ වැව් බැම්හි දකුණු කෙලවරේ ඉපැරණි බිසෝකොටුව සොරොව්වක් ඇති අතර දැනට එහි ඉතිරිවී ඇත්තේ ජලය පිටවීමේ කොටස පමණයි. ශතවර්ශ 7කට ආසන්න කාලයක් තිස්සේ අතහැර දමා තිබීමෙන් පසු 1905දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ජලාශය ප්‍රතිසංස්කරණය කරන විට මෙම පුරාණ සොරොව්ව ජලාශය පැත්තෙන් වසා දමා නව සොරොව්වක් ඉදි කර ඇත. මෙම වැවෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් 4කි. මීටර් 550ක් දිග ප්‍රධාන බැම්මක් සහිත මෙහි ජල ධාරිතාවය ඝන මීටර්  මිලියන 26කි. ඇල මාර්ග සිය ගණනකින් බෙදී යමින් මෙම වැව හෙක්ටයාර 2617ක් පමණ පෝෂණය කරනු ලබයි.

 

ගිරිතලේ වැව අසල ඇති බුද්ධ ප්‍රතිමාව


මහසෙන් රජු සහ මින්නේරිය වැව

දියබෙත්මෙන් ඇලහැර යෝද ඇලේ ජලය දෙකට බෙදීමෙන් පසුව ගිරිතලේ දක්වා එක් ඇලක් ගමන් කරන අතර අනෙක් ඇල ගමන් කරන්නේ මින්නේරිය වැව දක්වාය. මින්නේරිය වැව ඉදිකරනු ලබන්නේ මහසෙන් රජතුමා විසින්ය. මහසෙන් රජතුමාගේ මුල් අවධිය එකල ජනතාව එතරම් කැමැත්තකර දැක්වූ එකක් නොවෙයි. අභගිරි වාසී මහායාන අදහස් දරන ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් අනූව මහා විහාරික දේපල කඩා බිද දමා විනාශ කරමින් මෙතුමන් ඒ අවධියේ මහත් විනාශයක් කළේය. නමුත් පසු කලෙක මහසෙන් රජු තම ප්‍රධාන ඇමතිවරයා වූ මේඝවර්ණ අභයගේ උපදෙස් මත නැවත මහා විහාරික භික්ෂූන් වහන්සේලා සමග සුහදව කටයුතු කරනු ලබනවා. ඒ මහජනතාවගෙන් එල්ලවන විරෝධතාවය වැළැක්වීමේ අරමුණෙන්. නමුත් පසුකාලීනව මේ සියලු අදහස් වෙනස් කරගන්නා රජු තම ජනතාව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරනු ලබනවා. ඒ අනූව රට පූරාම වැව් 16 ක් පමණක් අමුණු කිහිපයකුත් ඇලවල් කිහිපයකුත් ඉදිකරනු ලබනවා. මේ අතරින් මින්නේරිය වැව, මහකනදරා වැව, හුරුළු වැව හා මහගල්කඩවල වැව ආදීය අතීත ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ විශිෂ්ඨ නිර්මාණ ලෙස සැලකෙනවා. ඔබට මතක ඇති මාදුරුඔය ජලාශය අසලින් හමුවුන ඉපැරණි සොරොව්ව එයත් මහසෙන් රජගේ නිර්මාණයකි.

මින්නේරි වැව


 

මින්නේරි වැවේ කතාව

            මින්නේරිය වැව ඉදිකිරීම පිළිබදව බොහොම අපූරු ඉතිහාස කතාවක් තිබෙනවා. පියසේන කහදගමගේ ශූරීන්ගේ පොතකත් මේ කතාව ඇතුළත්. මහසෙන් රජු දුර බැහැර ගමනක් ගොස් එනවිට පොළොන්නරුව හරහා ගොස් තිබේ. මේ ගමනේ දී රජු ඇතුළු පිරිස නවාතැන් ගත් එක් ප්‍රදේශයකදී පිරිසට නැවුම් එළකිරි පානය සදහා ලැබෙනවා. මේ කිරි පානය කල පසු ඒවා ඉතා රසවත් බව පිරිසට දැනෙනවා. මේ ගමන නියං සමයක ගොස් ඇති බැවින් රජු මෙතරම් රසවත් කිරි මෙවැනි නියං සමයක ලැබීම පිළිබදව මහත් පුදුමයට පත්වෙනවා. ඒ නිසා මේ කිරි ලැබෙන්නේ කොහෙන්දැයි සොයා බැලීමට පිරිසක් පිටත් කර හරිනවා. නියං සමයේදී ගවයන් කැළය තුලට මුදා හරින බවත් දවස පුරාම ගවයන් නිදහසේ තණ කමින් සිට හවසට පැමිණෙන බවත් මේ පිරිස ගැමියන්ගෙන දැනගන්නවා. නමුත් ගවයන් නිදහසේ යවන නිසා උන් තනකොල කන ප්‍රදේශය පිළිබදව හරි හැටි තොරතුරක් දීමට ගැමියන්ට නොහැකි වෙනවා.

            ගවයන් තණ කන ප්‍රදේශය දැනගැනීමට රජතුමා විශේෂ උපක්‍රමයක් භාවිතා කරනවා. ඒ තමයි ගවයන්ගේ පිටේ තල ඇට පිරවූ ගෝනි බැද ඒවා තැන් තැන් වලින් හිල් කර උන්ව කෑමට පිටත් කර හරිනවා. ටික දිනක් යන විට උන් ගමන් කල පාරේ තිබුන තල ඇට පින්නට පැලවෙනවා. මේ පැලවුන තල පැල වැටී ඇති ගමන් මග දිගේ ගොස් ගවයින් තණ කෑ ප්‍රදේශය සොයාගැනීමට හැකි වෙනවා. මෙවන් වූ නියං සමයකත් කොල පැහැයෙන් තනකොල වැවී තිබුන මේ ප්‍රදේශයේ වැල්මී බහුලව තිබෙන බව රජුගේ පිරිස සොයා ගන්නා අතර වැල්මී ගවයන් විසින් ආහාරයට ගැනීම නිසා කිරි මෙලෙස රසවත් වන බව පිරිස තේරුම් ගන්නවා. මේ අසල ඇති කුඩා දියපාරක් පිරිස සොයාගන්නවා. එම ඔය මින්නේරි ඔය ලෙස පසුව නම් කෙරෙනවා. රජු මෙම ස්ථානයේ වැවක් ඉදිකරීමට තීරණය කරනු ලබනවා.

            මේ ප්‍රදේශයෙන් මිහිරි කිරි හමුවුන නිසා මේ ප්‍රදේශය මිනිහිරිගම ලෙසත්, පසුව මින්නේරිය ලෙසත් හැදින්වූ බව ජනප්‍රවාද වල සදහන් වෙනවා. තවත් කතාවක සදහන් වන්නේ මෙම ප්‍රදේශයේ ඉතා සරුවට මෙනේරි වැවුණු බැවින් මෙනේරිගම වී පසුව මින්නේරිය වූ බවයි. නමුත් මහාවංශයේ මහසෙන් රජු සැදූ වැව් යටතේ මිණිහිරි වැව යනුවෙන් වැවක් සදහන් වෙනවා. පසු කලෙක එම මිණිහිරි වැව මේ මින්නේරිය වැවම බවට හදුනා  ගන්නවා. මින්නේරිය වැව ඉදිකරන ලදැයි සැලකෙන්නේ ක්‍රි.ව 286 දී පමණය. 

මින්නේරි දෙවියන් නොහොත් මහසෙන් රජතුමා


මින්නේරිය වැව් බැම්ම මත ඉදිකර ඇති මින්නේරි දෙවියන්ගේ දේවාලය

 

            කදුගැට දෙකක් අතර කෙටි බැම්මකින් යාකර ඇති මින්නේරිය වැවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 18.9 කි. මින්නේරිය පිළිබදව ඉංග්‍රීසි පලාන සමයේ වාර්තාවන් කිහිපයක් හමු වෙනවා. ඒ අතරින් ක්‍රි. ව. 1820දී බ්‍රිතාන්‍ය ජාතික නිළධාරියෙකු වූ රැල්ෆ් බේචස් විසින් මින්නේරිය වැව පිළිබදව තම සටහන් වල දක්වා ඇත. එමෙන්ම ක්‍රි.ව 1856දී බ්‍රිතාන්‍ය ජාතික අණ්ඩුකාරවරයෙකු හෙන්රි වෝඩ් විසින්ද මින්නේරිය වැව පිළිබදව සටහන් කොට ඇත. මීට අමතරව 1903 හා 1953 දී වැවෙහි ප්‍රතිසංස්කරණ සිදුකොට ඇත.

            මින්නේරිය අයිති වන්නේ වියළි කලාපයටය. මේ නිසා වර්ෂය පුරාම එක දිගට ප්‍රමාණවත් තරම් ජලය ලැබෙන්නේ නැත. මහසෙන් යුගයේදී පවා මේ කාරණාව එලෙසම සිදුවී ඇත. එම නිසා මහසෙන් රජු විසින් තමන් ඉදිකල මේ සුවිශාල නිර්මාණයෙන් නිසි ලෙස ප්‍රයෝජනය ගැනීම සදහා ඇලහැර අමුණ ඉදිකරවා යෝධ ඇල මගින් මින්නේරිය වැව ක්වා ජලය ගෙනැවිත් තිබේ. වර්ථමානයේදී පොල්ගොල්ල හැරවුම සහ මොරගහකන්ද ජලාශයෙන් තවත් පෝෂණය වී ඇලහැර මගින් මින්නේරිය දක්වාම මහවැලි ජලය ගෙනයනු ලබයි.

මින්නේරි වැව


 

කවුඩුල්ල වැව

                        යෝධඇල දිගේ ගෙන එන ජලය මින්නේරිය වැවෙන් පසුව ජලය ගෙන එනු ලබන්නේ කවුඩුලු වැව දක්වාය. කවුඩුලු වැවේ නිර්මාපකයා ලෙස ඇතැමුන් සලකනු ලබන්නේ මහසෙන් රජතුමාය. මහසෙන් රජතුමාගෙන් පසුව පොළොන්නරුව යුගය දක්වාම මේ වැව ප්‍රතිසංස්කරණය කරනු ලබනවා. එ අවධියේ මෙම වැව හදුන්වා ඇත්තේ රණතිස්ස වැව නැතහොත් තිස්ස වඩ්ඩනක වාපී ලෙසයි. මෙහි ධාරිතාවය අක්කර අඩි 10400කි. මේ වැව පිළිබදව බොහොම අපූරු පුරාවෘතයක් පවතිනවා. එහි හැටියට මේ වැව නිර්මාණය කරන්නේ බොසෝබණ්ඩාර දේවිය ලෙසයි.

            පූජාවලිය, රජාවලිය, රාජරත්නාකරය වැනි කෘති වල මේ වැව ගැන සදහන් වී ඇත. පාලි භාෂාවෙන් තිස්සවඩ්ඩනක වාපි, සිංහලෙන් රණතිස වාපි ලෙස තමයි වේ කඩුඩුල්ල ජලාශය ගැන සදහන් වන්නේ. මහසෙන් රජුගෙන් පසු රජවරුන් ගණනාවක් මේ වැව යළි යළිත් ප්‍රතිසංස්කරණය කරනවා. පොළොන්නරුවේ මහා විජයබාහු රජු විශාල ප්‍රතිසංස්කරණයක් සිදු කරනවා. ඒ වගේම මහා පරාක්‍රමබාහු රජතුමාත් නිශ්ෂංකමල්ල රජතුමාත් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනවා.මෑත ඉතිහාසයේ කවුඩුල්ල ගැන තැන් කිහිපයක සදහන් වෙනවා. හෙන්රි වෝඩ් මහතා කවුඩුල්ල ප්‍රදේශයට පැමැණ තිබෙනවා. මේය දැක පුදුමයට පත්වූ බව සදහන් වෙනවා. 1809 දී එතුමන් සදහන් කරනවා ඓතිහාසිකව උස්ම වැව් බැම්මකට හිමිකම් කියන මේ වැව තැන් තැන් වලින් කැඩී ගොස් නමුත් වැවක් ලෙස හදුනාගත හැකි ලෙස මෙය දිස්වූ බව සදහන් කර ඇත. තවද ෆෝබ්ස් වාර්තා සද බ්‍රෝරියර් වාර්තා වලත් මේ පිළිබදව සදහන් වෙනවා. 1930 ගණන වලදී ඩී එස් සේනානයක මහතාගේ අවධියේදී මෙය ප්‍රතිසංස්කරණය කර ඇත. 1957දී ඇතිවූ මහා ගං වතුරෙන් වියළි කලාපයේ වැව් බොහොමයක් විනාශ වූ අතර 1958 දී බණ්ඩාරනායක මහතාගේ අගමැතීත්වය යටතේ නැවත මෙය ප්‍රතිසංස්කරණය කර ඇත.

බිසෝබණ්ඩාර දෙවිය සහ කවුඩුලු වැව

            බිසෝබණ්ඩාර දේවිය යනු මහසෙන් රජතුමාගේ සොහොයුරියයි. මහසෙන් රජතුමා මින්නේරිය වැව ඉදිකරන සමයේම බිසෝබණ්ඩාර දේවියද ඒ අවටින් වැවක් ඉදිකිරීමට පටන්ගෙන ඇත. මහසෙන් රජුගේ මින්නේරි වැව විවෘත කරන දවසේම බිසෝබණ්ඩාර දේවිය රජු අසළට පැමිණ “අයියාගේ නෑබිලියට මම කොරහ් හැදුවා” යැයි පවසමින් තමන් සැදූ කවුඩුලු වැව විවෘත කිරීමට තම සොහොයුරාට ආරාධාන කලාය. මෙම ප්‍රකාශයෙන් මහත්සේ කිපෙන මහසෙන් රජු තමන් යටතේ සිටි යක්ෂ ගෝත්‍රිකයින් යොදවා වැව විනාශ  කිරීමට කටයුතු කළ බව ජනප්‍රවාදයේ සදහන්වේ. තමන් ඉතා මහන්සියෙන් නිර්මාණය කරවූ වැව විනාශ වීම දරා ගැනීමට නොහැකිව කුමරිය වැවේ සොරොව්ව අසලට පැන දිවි නසාගත් බවත් ඉතිහාස කතාවේ සදහන් වෙනවා. පසු කලෙක මේ ප්‍රදේශයේ වැසියන් අතර බිසෝබණ්ඩාර දේවිය දේවත්වය ලබා ඇතැයි මතයක් ගොඩනැගෙනවා. ඒ අනූව කවුඩුලු වැවේ බැම්ම මත බිසෝ බණ්ඩාර දේවාලය ගොඩනගනවා. මේ දේවලය අදටත් දකින්නට පුලුවන්.

කවුඩුල්ල වැව


 

මින්නේරිය වැවට තම පුත්‍රයා බිලි දුන් බිසෝ බණ්ඩාර දේවිය.

            මහාසෙන් රජු මින්නේරිය වැව නිර්මාණ කිරීමේ කටයුත්තට මින්නේරිය වැව තෝරාගත්තද මින්නේරිය ප්‍රෙද්ශය එකල යක්ෂ ගෝත්‍රිකයන්ගේ භුමියක්ව තිබී ඇත. එහි විසූ නායකයන් දෙදෙනාගෙන් එක් අයෙක් වැව සැදීමට විරුද්ධ වූ නිසා ඔහුව මරා දැමීමට රජු කටයුතු කරනවා. දෙවන නායකයා සමහින් සාකාච්ඡා කිරීමෙන් අනතුරුව වැව සැදීමට ඔහු කැමැත්ත පල කරනවා. නමුත් වැවැ සදා නිම කිරීමට ප්‍රථම සෑම දිනකම මහ රෑ එකම ස්ථානයකින් වැව් බැම්මේ කොටසක් කැඩී යාම සිදුවෙනවා. මෙයට හේතුව සොයාගැනීමට නොහැකිව  රජු මහත් කනස්සල්ලට පත්වන අතර දිනක් සිහිනෙන් මියගිය යක්ෂ නායකයා පැමිණ වැවේ වැඩ නිම කිරීමට නම් තමන්ට රාජකීය ලේ සහිත නර බිල්ලක් අවශ්‍ය බව රජුට දන්වනවා. රජු විසින් මෙය රජකීය පවුලට දැන්වීමෙන් අනතුරුව බිසෝබණ්ඩාර කුමරිය තම පුත්‍රයාව වැවට බිලි දීමට කැමැත්ත ප්‍රකාශ කරනවා

            අංග සම්පූර්ණ රජ ඇදුමෙන් සැරසූ ඒ කුමාරයා මව විසින්ම රජුට භාර දෙන ලදී. එහෙත් අවසානයේ දරුවා බිලි නොදී ඒ වෙනුවෙන් ප්‍රයෝගයක් කොට කළු වලසෙකු බිලිදී බැම්ම සාදන ලදී. මෙය වැවේ නිර්මාතෘ ඉංජිනේරුවා වූ නළුදෑකඩරාළ විසින් කරන ලද ප්‍රයෝගයක් යැයි ඉතිහාස කතාවේ සදහන්වේ.

            මෙය ප්‍රයෝගයක් බව නොදත් රජතුමා ඒ දරුවාගේ මරණය පිළිබදව අධික ශෝකයෙන් පසු විය. එය දැනගත් පිරිස සමාව ඉල්ලා තමන් කල ප්‍රයෝගය හෙළි කොට දරුවා රජ ඉදිරියට පමුණුවන ලදී. බේරාගත් ඒ හිඟුරණ බණ්ඩාර කුමාරයා නැවත රජු ඉදිරියට පමුණූවන තෙක් කලක් සඟවා තබන ලද්දේ හිඟුරක්ගල මුදුනේය. මියගිය යක්ෂ නායකයා ප්‍රයෝගය දැන ගත් බවත් රජුගේ උදාර පරමාර්ථය හමුවේ ඔහු රජුට සමාව දුන් බව කියැවේ.

බිසෝ බණ්ඩාර කුමරිය දේවත්වයට පත්වේ.

            තම නැගනියගේ දිවි නසාගැනීමෙන් සහ රජුගේ ක්‍රියා කලාපය ගැන ජනතාවගෙන් එල්ලවූ අප්‍රසාදය නිසා විනාශ වූ කවුඩුල්ල වැව නැවත ගොඩනංවීමට රජු කටයුතු කරනවා. සමහර ඉතිහාස මූලාශ්‍ර වල කවුඩුල්ල වැව කරවූයේ මහසෙන් රජු ලෙසින් සදහන් වී තිබුණත් මැදිරිගිරිය ආදී ප්‍රදේශ වල පවතින ජනශ්‍රැති වලට අනූව කවුඩුල්ල වැවේ හිමිකාරීත්වය හිමි වන්නේ බිසෝ බණ්ඩාර කුමරියටයි.

            මින්නේරිය ප්‍රදේශයේ ගොවි ජනයා මින්නේරිය ඉදිකළ මහසෙන් රජු මින්නේරි දෙවියන් ලෙස දේවත්වයෙන් සලකනවා සේම, මැදිරිගිරිය ප්‍රදේශයේ ජනතාව බිසෝ බණ්ඩාර කුමරිය බිසෝ බණ්ඩාර දේව මෑණියන් ලෙස දේවත්වයෙන් සිහි කරනු ලබයි. 

 

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය

            වර්ෂ 2002 අපේල් මස පළවැනි දින සිට කවුඩුල්ල වැව අවට වනාත්තර ප්‍රදේශය ජාතික වනෝද්‍යානයක් බවට පත් කර ඇත. මෙහි වපසරිය හෙක්ටයාර 6900කි. මෙහි පැමිණෙන සංචාරකයන්ට විශාල වශයෙන් වන අලින් මෙන්න අනෙකුත් සත්ව වර්ග බොහොමයක්ද දැක බලා ගත හැකිය. වන සතුන් ශ්‍රී ලංකාවේ වෙ‍ෙසන ක්ෂීරපායි (Mammals) සත්ව වංශේෂ 24 මෙම උද්‍යානය නිජබිම් කොටගෙන සිටිති. උද්‍යානය පරිහරණය කරන අලි සංඛ්‍යාව 200ක් පමණය. එහෙත් උන් වාසික නොවේ. සංචාරකයින් හට දකින්නට ලැබෙන අනිකුත් සතුන් වන ගෝනා, තිත් මුවා, කොටියා, වලසා සහ රිළවාය. පක්ෂි විශේෂ 435 න් 160ක් උද්යානය තුළදී හඳුනාගෙන තිබ්. වලිකුකුලා, ගිරා මලිත්තා, දෙමලිච්චා, කළු ඉසැසි කොන්ඩයා විශේෂයෙන් සඳහන් කළ හැක. උභය ජීවීන් හැටියට - Slender Wood Frog, common tree frog වැනි සත්ව විශේෂද උරග වීශේෂ 25ක් ද උද්‍යානය නිජබිම් කරගෙන සිටිත්.

            මෙහි විශේෂයෙන් හදුනාගත හැකි ශෘක වන්නේ පලු, වීර, බුරුත, මිල්ල, හල්මිල්ල, කළු මැදිරිය සහ කටු උණ ආදියයි. මීට අමතරව කුකුරුමාන්, කැප්පෙටියා, වරා, වලි ඉදි, ඉලුක් පදුරු තැන තැන දැකිය හැකිය.