Tuesday, June 13, 2023
1818 උඩරට කැරැල්ලේ අප්‍රසිද්ධ වීරයා කොහුකුඹුරේ රටේ රාල
1818 උඩරට කැරැල්ලේ මහා සේනාපතියකු වූ කොහුකුඹුරේ රටේ රාල පිළිබඳ තොරතුරු එතරම් ප්රකට නොවේ. සිංහලේ නිදහස් සටනේ ජාතික වීරයන්ගේ නම් ලැයිස්තුවේ ඔහුගේ නම ඉහළින්ම සඳහන් වේ. ඔහු ගැන බොහෝ දෙනා නොදත් තොරතුරු මෙහි සඳහන් වේ.
වෙල්ස්සේ ප්රධාන නගරයක් වූ බිබිල මැදගමට නොදුරින් කොහුකුඹුර පුරාණ ගම්මානය පිහිටා තිබිණි. කොහුකුඹුරේ රටේ රාල කොහුකුඹුරේ පාරමුල වලව්වේ වෙද නිලමේගේ වැඩිමහල් පුත්රයාය. ඔහු නමින් ඇතුළත් හේරත් මුදියන්සේලාගේ ලොකු බණ්ඩාර විය. දැඩි කායශක්තියකින් හෙබි රටේ රාල පුරාණ සටන් ක්රම ඔහු ශිල්ප ප්රගුණ කළ තැනැත්තෙකි. ඔහුට බිරින්දෑවරු දෙදෙනෙක් සිටියහ. එක් බිරියක් කැන්ද වින්න දිසාවේ මොහොට්ටාලගේ වැඩිමල් සොහොයුරියයි. ඇය සිටියේ කොහුකුඹුරේ අලුපොත වත්තේය.
දෙවැන්නිය නිල්ගල කටුගම්පල වෙදරාලලාගේ දියණිය වූ ඩිංගිරි එතනාය. ඇය ජීවත් වූයේ කොහුකුඹුර ගොඩිගමුව වලව්වේය. (දැනට ගොඩිගමුව පල්ලිය පිහිටි තිබෙන්නේ එම ස්ථානයේය.) රටේ රාලට පුතුන් දෙදෙනකු සහ එක් දියණියක් සිටියේය. වැඩිමහල් පුතා නමින් සෙනරත් බණ්ඩාරය. ඔහු තඹානේ මුදියන්සේ නමින් ප්රසිද්ධව සිටියේය. එගොඩපත්තුවේ විදානේ තනතුර දැරීය. දෙවන පුත්රයා විජයලත් බණ්ඩාර ඔක්කම්පිටිය බැද්දෙ විදානේ තනතුර දැරීය. දියණිය ටිකිරි මැණිකා නම් වූ අතර ඇය බකිණිගහවෙල වලව්වේ උපසේකර මුදියන්සේ සමඟ විවාහ වී සිටියාය.
කොහුකුඹුරේ රටේ රාලගේ නැඟණිය හා විවාහ වී සිටියේ බූටාවේ රටේ රාලයි. කැරැල්ලේ බර හරි හරියට දැරුවේ මේ දෙමස්සිනාලාය. කොහුකුඹුරේ රටේ රාල බොහෝවිට රාත්රිය ගත කළේ කොහුකුඹුරේ අලුපොත වෙල්යාය ඉස්මත්තේ පිහිටි අලුපොත බිරියගේ නිවෙසේය. කැරැල්ල පවතිද්දී කොහුකුඹුරේ රටේ රාල අල්ලා ගැනීම සුදු හමුදාවට අසීරු කාරණයක් වූයේය. වරක් කනුල්වෙල කට්ට හින්නා, පොතුබන්ධන රටේ රාල, ඉකිරියන්කුඹුරේ කිඹුල් නයිදේ යන ඔත්තුකරුවන් තිදෙනා රාත්රියක සුද්දන් සමඟ අලුපොතවත්ත වට කළහ. රටේ රාල තරුණ බිරියත් සමඟ පලා ගියේය. ඔහු අත වූයේ එක් තුවක්කුවක් පමණි. එයද බෙහෙත් කොටන සාමාන්ය එකකි. අලුපොත ඔය හරහා දමා තිබූ ඒදණ්ඩද ඉවත්කර පලාගිය රටේ රාල පසු පස්සේ පැන්නූ සුදු ජාතිකයන් උල්පත්කුඹුර මහ වගුරේ එරුණි. ඔත්තුකරුවන් වගුරේ තරම දැන එගොඩ වුවද වගුරු ගැන නොදත් සුද්දෝ රැයක් පහන් වනතුරු කරවටක් මඩේ දඟලමින් පසුවූහ. කොහුකුඹුරේ රටේ රාලගේ මල්ලී පුංචිරාල සෙබළ මුළක් රැගෙන පැමිණ ඔත්තුකරුවන් තිදෙනා අල්ලා ගත්හ. මේ වෙල්යාය ප්රදේශය අදත් හඳුන්වත්තේ බොක්කේ මඩ නමිනි.
1818 කැරැල්ල බිඳ වැටෙද්දී මොනරාගල මරගල කන්දේ පිහිටුවා තිබූ කඳවුරේ සිටි කොහුකුඹුරේ රටේ රාල අත්අඩංගුවට පත් වූයේ බූටාවේට සම්බන්ධ පිරිස් ලබාදුන් ඔත්තුවකින් බවටද මතයක් පවතී. බ්රවුන්රිග් ආණ්ඩුකාරයා 1818 ජනවාරි 10 දා ප්රසිද්ධියට පත් කළ ආඥාවක් මඟින් කැප්පෙට්පොළ, බූටාවේ රටේ රාල, කිවුලේගෙදර මොහොට්ටාල සහ කොහුකුඹුරේ රටේ රාල ඇතුළු 12 දෙනකු රාජ ද්රෝහීන් ලෙස නම් කෙරිණි. ඔවුන්ගේ දේපොළ රාජසන්තක කළේය. කොහුකුඹුරේ අත්අඩංගුවට පත් වූයේ 1818 අප්රේල් මාසයේය. ඔහු අල්ලා ගැනීමට මරගල කන්ද වට කළේ සේගු නූර්දීන් නම් කපිතාන්වරයකු සමඟ පැමිණි මැලේ හමුදාවකිනි. කලක් කොළඹ රඳවා සිටි ඔහු 1819 පෙබරවාරි 2 ලිවර්පුල් නෞකාවෙන් මුරුසියට පිටුවහල් කරනු ලැබ 1825 ජුනි 20 දා මුරිසියේදී මරණයට පත්විය.
Friday, June 9, 2023
මහවැලි ගගේ අන්තිම දියඇල්ල - කිරිඅම්මා ඇල්ල
වස්ගමුව වනෝද්යානය හරහා වැටී ඇති මහවැලි ගඟ දිගේ මද දුරක් ගිය විට මහවැලි ගඟේ අන්තිම දියඇල්ල හමුවේ. මේ ඇල්ල හදුන්වනු ලබන්නේ කිරිඅම්මා ඇල්ල නමිනි. උල්හිටිය ඔය මහවැලි ගඟට එක්වන තැන සිට තවත් කිලෝමීටර් 15ක් පමණ ගිය පසු මෙම කිරිඅම්මා ඇල්ල හමුවේ. මේ දිය ඇල්ල පිළිබදව විවිධ ජනප්රවාද පවතී. බොහොම ඈත අතීතයේ සිටම මෙම ඇල්ල කිරිඅම්මා ඇල්ල නමින් හදුන්වා තිබේ.
කිරිඅම්මා වරු ගැන කතා කරන විට ජනප්රවාද වල අපට කිරි අම්මාවරු හත්කට්ටුවක් හමුවේ. එනම් වෙල්ලස්සේ කිරි අම්මා, සලම කුමාරි කිරි අම්මා, කුකුලාපොළ කිරි අම්මා, හඳුන් කුමාරි කිරි අම්මා, ගෝනතලාවේ කිරි අම්මා, ඉඳිගොල්ලේ කිරි අම්මා, කොස්ගම කිරි අම්මා ලෙසයි. මොවුන් විවිධ ප්රදේශවල පූජනීය කොට සැලකූ අය වේ. එම නිසා බොහෝ විට කිරි අම්මා දානයටද කිරි අම්මා වරු හත් දෙනෙකු කැදවනු ලබයි. පුරාණ පොතපත අනුව හඳුන් කුමාරි කිරි අම්මා හා සලම කුමාරි කිරි අම්මා ලෙස හැඳින්වූයේ පත්තිනි දේවියම බව ද සඳහන්ය. ජනප්රවාද වලට අනුව කුකුලාපොල කිරි අම්මා කුවේණිය ලෙසත්, කොස්ගම කිරි අම්මා කොස්ගම දෙවිඳුන්ගේ දේවිය බවත් කියැවේ.
එක් ජනප්රවාදයකට අනූව එකල පැවති කිරිඅම්මා දානයකට සභාගී වී ආපසු පැමිණෙන ගමනේදී මහවැලි ගඟේ මෙම කිරි අම්මා ඇල්ල පිහිටන ස්ථානයෙන් ගඟ තරණය කිරීමේ දී එක් කිරි අම්මා කෙනෙකු මෙම ස්ථානයෙන් සැඩපහරට හසුව ගසාගෙන ගිය බව කියැවේ. එම නිසා මෙම ඇල්ල කිරි අම්මා ඇල්ල ලෙස හැදින්වු බව කියැවේ. ජනප්රවාදයේ සත්ය අසත්යතාව කෙසේ වුවත් තවමත් මෙම ඇල්ල කිරි අම්මා ඇල්ල ලෙසම හදුන්වයි.
මහියංගනයෙන් ඉදිරියට වියළි කලාපය තුළින් තැන්නේ ගමන් කරන මහවැලි ගඟේ දියඇල්ලක් පිහිටීම පුදුම දනවන කරණක් වුවත් මෙයද දිය ඇල්ලකි. මේ ස්ථානය ගල්පර කිහිපයක් අතරින් ක්ෂණිකව ජලය ගලා බහින ස්ථානයකි. මහවැලි ගගේ අපිට මුලින් හමුවන සෑම දියඇල්ලකටම පාහේ තබා තිබුනේ සෙන්ට් ක්ලෙයාර්, ඩෙවෝන්, ඩන්සිනන් ආදී ඉංග්රීසි නම්ය. නමුත් මේ දියඇල්ලට සිංහල නමක් තබා තිබේ.
සටහන
චතුරංග ජයසුන්දර
මොනවද මේ තින්නෝරු නොහොත් පරහඳ
ලංකාවේ මෙන්ම ඉන්දියාවේත් කොතැනක පිහිටි දේවාලයකට ගියත් ඔබේ නළලේ අලේප කරන සුදු පැහැති කුඩු වර්ගයක් ඔබ දැක ඇතුවා නිසැකය. මේවා මිනී අළු යැයි මමද බොහෝ අවස්ථා වල විහිලු කලද සැබැවින්ම මේ මොනවාදැයි නොදැන සිටියෙමි. තින්නෝරු විභූති හෝ පරහඳ යනුවෙන් හදුන්වන මේවා පිලිබදව සොයා බලන විට බොහොම අපූරු කරුණු ටිකක් හමුවේ..
මෙකී තින්නේරු නිධිය පිහිටා ඇත්තේ, කතරගම වැඩිහිටි කන්දට ඊසාන දිගින් සහ ප්රකාශ කන්දට උතුරින් මහා දේවාලයට ගිනිකොණ දිසාවෙන් පිහිටි කැලෑවකය. වර්තමානයේදී මෙම ප්රදේශය හඳුන්වන්නේ හුණුකැටවල ලෙසය. එය පිහිටා ඇත්තේ දෙටගමුව ග්රාම සේවා වසමේය. අතීතයේ දී එය තිරිනෝරුමල වීභූති කන්ද ලෙසත් හඳුන්වා තිබේ.
සෑම වසරකම කතරගම ඇසළ මංගල්ය ආසන්න වන ජුනි - ජූලි මාසය වලදී තින්නෝරු ලෙස හඳුන්වන ද්රව්යය ස්වභාවිකවම පොළොවේ හට ගනී. කුඩා කැට වශයෙන් පස්වල හට ගන්නා තින්නෝරු මාස 3 වැනි කෙටි කාලයකින් නැවත ගල් වී අතුරුදහන් වී යයි.
කතරගම මහ පෙරහැරට කප් සිටුවීමෙන් පසුව සිදුකරන දේව පූජාවෙන් පසුව තින්නෝරු කැණීම ආරම්භ වේ. පුරාණයේ පටන්ම තින්නෝරු නෙළීම සිදුකරන පාරම්පරික පිරිසක් කතරගම සිටි. මෙම පිරිස මේ කටයුත්ත සඳහා දින 45ක් පමණ මස් මාංශයෙන් තොරවී පේවීමක් සිදු කරනු ලබයි. තින්නෝරු නිධිය අසලට ගොස් චාරිත්ර වාරිත්ර ඉටු කිරීමෙන් පසුව කැණීම් ආරම්භ කරනු ලබයි.
ඔවුන් පොළාවේ මතුපිට සිට අඩි 3 ක් පමණ ගැඹුරට වළක් කැපීමෙන් පසු කුඩා දෝනා ලෙස හාරමින් මෙම ද්රව්ය ලබා ගනී. ඉන්පසු ඒවා එකතු කර හලා ගල් වැලි ඉවත් කරගනු ලබයි. සුදු වු මෙම කැට අව්වේ වියළා ගෙන පිටි බවට පත්කර හලා දේවාලයට ලබා දීම සිදුවේ.
තින්නෝරු හටගැනීම පිළිබදව ජනප්රවාදයක් පවතී. සුරපත්මා නම් අසුරයෙකු ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන් සමග සටන් වැදී ඇත.. නමුත් අසුරයාගේ සියලු සේනාවන් පරජය වී ඇති අතර සුරපත්ම අසුරයා දිවි බේරාගෙන පලා ගොස් ඇත. එම අවස්ථාවේ ඔහුගේ මව වන මායා පැමිණ පවසා ඇත්තේ ලොව එක ප්රහාරයකින් යටත් කර ගැනීමේ වික්රමයක් ඇති තොපට ඊශ්වර මුර්ති ස්වරූප ස්කන්ධයන්ගෙන් නම් කවදාවත් ජයගත නොහැකි බවයි. එම නිසා සටන නවතන ලෙස මායා පවසා ඇත.
නමුත් හිතුවක්කාර අසුරයා තම සහෝදරයන් වන තාරකා සහ සිංහමුඛ යන අසුරයන් සමඟ ගොස් කඳ කුමරු හා සටන් වැදුනේය. එහෙත් සිදුවූයේ එම සහෝදරයන් දෙදෙනාත් කඳ කුමරුන් අතින් මිය යාමයි. සිය මව යළිත් හමු වූ සුරපද්මා අසුරයා සටන් රණ ශූරයකු වු තමන්ට මින් අත්වන ලජ්ජාව නිසා තමන් කඳ කුමරු සමඟ තනිවම සටන් කරන බව පවසා ඇත. හිතුවක්කාරකමින් සටන් කරන්නේ නම් හිමාල කඳු මුදුනේ ඇති මෘත සංජිව නම් ඖෂධයෙන් පිරුණු කන්ද මෙහි ගෙනවිත් තබන ලෙස මායා මෑණියන් අසුරයාට පවසා ඇත. මෙම කන්ද ලංකාවට රැගෙන ආවොත් තුවාල ලබා මිය යන සේනාවලට යළිත් නින්දෙන් පිබිදුණා මෙන් ජිවය ලැබිය හැකි බව ඇය පවසා ඇත.
ඒ අවවාදය පිළිගත් අසුරයා ඖෂධ කන්ද අද තින්නෝරු පිහිටි බිමට රැගෙන ආ බව පැවසේ. එය දුටු කඳ කුමරු කන්ද අළු බවට පත් කළා. ඖෂධ පැළෑටි පිරි කන්ද ගිනි ගෙන අළු ගොඩක් බවට පත් වු අතර එම අළු අද තින්නෝරු ලෙස ගොඩ ගන්නා බව ජනප්රවාදයේ පැවසේ.
සටහන
චතුරංග ජයසුන්දර
Subscribe to:
Posts (Atom)