Sri Lanka

Friday, June 9, 2023

මොනවද මේ තින්නෝරු නොහොත් පරහඳ



 ලංකාවේ මෙන්ම ඉන්දියාවේත් කොතැනක පිහිටි දේවාලයකට ගියත් ඔබේ නළලේ අලේප කරන සුදු පැහැති කුඩු වර්ගයක් ඔබ දැක ඇතුවා නිසැකය. මේවා මිනී අළු යැයි මමද බොහෝ අවස්ථා වල විහිලු කලද සැබැවින්ම මේ මොනවාදැයි නොදැන සිටියෙමි. තින්නෝරු විභූති හෝ පරහඳ යනුවෙන් හදුන්වන මේවා පිලිබදව සොයා බලන විට බොහොම අපූරු කරුණු ටිකක් හමුවේ..

සැබැවින්ම මේ තින්නෝරු යනු කුඩු කරගත් සුවිශේෂී පාෂාණ වර්ගයකි. ලංකාවේ පමණක් නොව ලෝකයේ ඇති එකම තින්නෝරු නිධිය පිහිටා ඇත්තේ කතරගම ප්රදේශයේය. කතරගම වැසියන්ගේ විශ්වාසය නම් ස්වභාවිකව ඇතිවන මෙම පාෂාණය ඇතිවන්නේ දේව හාස්කමකින් බවය. කෙසේ හෝ මුලු ලංකාවටම තින්නෝරු බෙදාහරින්නේ මෙම තින්නෝරු නිධියේ පාෂාණ වලින්ය.
මෙකී තින්නේරු නිධිය පිහිටා ඇත්තේ, කතරගම වැඩිහිටි කන්දට ඊසාන දිගින් සහ ප්රකාශ කන්දට උතුරින් මහා දේවාලයට ගිනිකොණ දිසාවෙන් පිහිටි කැලෑවකය. වර්තමානයේදී මෙම ප්රදේශය හඳුන්වන්නේ හුණුකැටවල ලෙසය. එය පිහිටා ඇත්තේ දෙටගමුව ග්රාම සේවා වසමේය. අතීතයේ දී එය තිරිනෝරුමල වීභූති කන්ද ලෙසත් හඳුන්වා තිබේ.
සෑම වසරකම කතරගම ඇසළ මංගල්ය ආසන්න වන ජුනි - ජූලි මාසය වලදී තින්නෝරු ලෙස හඳුන්වන ද්රව්යය ස්වභාවිකවම පොළොවේ හට ගනී. කුඩා කැට වශයෙන් පස්වල හට ගන්නා තින්නෝරු මාස 3 වැනි කෙටි කාලයකින් නැවත ගල් වී අතුරුදහන් වී යයි.
කතරගම මහ පෙරහැරට කප් සිටුවීමෙන් පසුව සිදුකරන දේව පූජාවෙන් පසුව තින්නෝරු කැණීම ආරම්භ වේ. පුරාණයේ පටන්ම තින්නෝරු නෙළීම සිදුකරන පාරම්පරික පිරිසක් කතරගම සිටි. මෙම පිරිස මේ කටයුත්ත සඳහා දින 45ක් පමණ මස් මාංශයෙන් තොරවී පේවීමක් සිදු කරනු ලබයි. තින්නෝරු නිධිය අසලට ගොස් චාරිත්ර වාරිත්ර ඉටු කිරීමෙන් පසුව කැණීම් ආරම්භ කරනු ලබයි.
ඔවුන් පොළාවේ මතුපිට සිට අඩි 3 ක් පමණ ගැඹුරට වළක් කැපීමෙන් පසු කුඩා දෝනා ලෙස හාරමින් මෙම ද්රව්ය ලබා ගනී. ඉන්පසු ඒවා එකතු කර හලා ගල් වැලි ඉවත් කරගනු ලබයි. සුදු වු මෙම කැට අව්වේ වියළා ගෙන පිටි බවට පත්කර හලා දේවාලයට ලබා දීම සිදුවේ.







තින්නෝරු හටගැනීම පිළිබදව ජනප්රවාදයක් පවතී. සුරපත්මා නම් අසුරයෙකු ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන් සමග සටන් වැදී ඇත.. නමුත් අසුරයාගේ සියලු සේනාවන් පරජය වී ඇති අතර සුරපත්ම අසුරයා දිවි බේරාගෙන පලා ගොස් ඇත. එම අවස්ථාවේ ඔහුගේ මව වන මායා පැමිණ පවසා ඇත්තේ ලොව එක ප්රහාරයකින් යටත් කර ගැනීමේ වික්රමයක් ඇති තොපට ඊශ්වර මුර්ති ස්වරූප ස්කන්ධයන්ගෙන් නම් කවදාවත් ජයගත නොහැකි බවයි. එම නිසා සටන නවතන ලෙස මායා පවසා ඇත.
නමුත් හිතුවක්කාර අසුරයා තම සහෝදරයන් වන තාරකා සහ සිංහමුඛ යන අසුරයන් සමඟ ගොස් කඳ කුමරු හා සටන් වැදුනේය. එහෙත් සිදුවූයේ එම සහෝදරයන් දෙදෙනාත් කඳ කුමරුන් අතින් මිය යාමයි. සිය මව යළිත් හමු වූ සුරපද්මා අසුරයා සටන් රණ ශූරයකු වු තමන්ට මින් අත්වන ලජ්ජාව නිසා තමන් කඳ කුමරු සමඟ තනිවම සටන් කරන බව පවසා ඇත. හිතුවක්කාරකමින් සටන් කරන්නේ නම් හිමාල කඳු මුදුනේ ඇති මෘත සංජිව නම් ඖෂධයෙන් පිරුණු කන්ද මෙහි ගෙනවිත් තබන ලෙස මායා මෑණියන් අසුරයාට පවසා ඇත. මෙම කන්ද ලංකාවට රැගෙන ආවොත් තුවාල ලබා මිය යන සේනාවලට යළිත් නින්දෙන් පිබිදුණා මෙන් ජිවය ලැබිය හැකි බව ඇය පවසා ඇත.
ඒ අවවාදය පිළිගත් අසුරයා ඖෂධ කන්ද අද තින්නෝරු පිහිටි බිමට රැගෙන ආ බව පැවසේ. එය දුටු කඳ කුමරු කන්ද අළු බවට පත් කළා. ඖෂධ පැළෑටි පිරි කන්ද ගිනි ගෙන අළු ගොඩක් බවට පත් වු අතර එම අළු අද තින්නෝරු ලෙස ගොඩ ගන්නා බව ජනප්රවාදයේ පැවසේ.
සටහන
චතුරංග ජයසුන්දර

No comments:

Post a Comment