රාජසිංහ රජුට විෂ උණ කටුව ඇණුන “පෙතංගොඩ රාජකීය උයනට” යමු
කටේ කිරි සුවඳ
යන්නද..බැරි වුනා..
යුද්දෙට උපන්
කුමරා යයි පතල වුනා..
කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුනා..
යුදට උපන් කුමරිදු යයි නමක් ඇති වුනා
මුල්ලෙරියා වෙලෙහි වතුර ලෙයට හැරවුනා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුනා
නිතර නිතර සීතාවක රණබෙර නැගුනා...
කොළඹ කොටුවෙ බළල් මසුත් ගිනි ගණන් වුනා..
පරංගි දේසේ රජුටත් මර උණ ගැනුනා...
රාජසිංහ දෙවි නාමේ ලොවෙහි රජ වුනා..
රුසිරු
පෙතන්ගොඩ උයනට අනේ ලං වුනා..
නපුරු උණකටුව
පතුලේ ඇනී වණ වුනා..
එක්වැ සිටි
සැවොම මතුරා විසද වැඩි වුනා..
රාජසිංහ දෙවි
නාමේත් ගියා නැති වුනා
ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ සංදේශය චිත්‍රපටයේ
එන, සීතාවක රාජසිංහ රජුගේ ජීවිත කතාව ගැන
කියවෙන මෙම ගීතය අප කවුරුත් අසා ඇතුවා නිසැකය. රාජසිංහ රජුගේ ඉතිහාසය කෝට්ටේ යුගය
දක්වාම දිව යයි. ක්‍රි.ව 1521 දී කෝට්ටේ රාජධානියේ සිදුවූ ‘විජබා කොල්ලය’ නැමති සිදුවීම ශ්‍රී
ලාංකික දේශපාලනයේ සුවිශේෂී කඩඉමකි. එකල කෝට්ටේ රජු වූ සයවැනි විජයබාහුට (සමහර
මූලාශ්‍ර වල සත්වැනි විජයබාහු) තම පළමු බිසවට දාව පුතුන් තියෙදෙනකු ලැබුණි. එනම්
බුවනෙකබාහු, පරරාජසිංහ නොහොත් රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ
කුමාරවරුයි. රජුගේ දෙවන බිසවට දේවරාජා නම් පුතෙකු විය. රජුගේ මුල් විවාහයේ
කුමාරවරුන්ට එදිරිව යමින් මෙම දෙවන බිසව තම පුත් දේවරාජාට කිරුළ ලබා දීමට කුමන්ත්‍රණයක්
දියත් කළාය. මේ බව දැනගත් කුමාරවරු රජුට එරෙහි විය. ඔවුන් විසින් ‘සල්මාන්’ නැමති මුස්ලිම්
වෙළෙන්දෙකු ලවා සිය පියා ඝාතනය කරවා රාජ්‍යය කොටස් තුනකට බෙදාගෙන පලානය කරන්නට පටන්
ගත්හ. බුවනෙකබාහු කෝට්ටේ රජවූ අතර රයිගම් බණ්ඩාර ශ්‍රී රාජසිංහ නමින් රයිගම රජ
විය. මයාදුන්නේ කුමාරයාට අයිති වූයේ සීතාවක රාජධානියයි.
සීතාවක රජු සහ ඔහුගේ බිසව වූ සත්සිය වරිගෙයි
සුමනා යන දෙපලට කුමාරවුරුන් තිදෙනෙක් සහ කුමාරිකාවන් දෙදෙනෙකු විය. මෙයින් වැඩිමල්
කුමරු මහරදගුරු බණ්ඩාර අවුරුදු විස්සේ දී මිය ගියේය. දෙවැනියා වූ තිඹිරිපොළේ
මහරදගුරු බණ්ඩාරව වීදිය බණ්ඩාර විසින්
සටනකදී කුමන්ත්‍රනයකින් ඝාතනය කළේය. බාල පුතනුවන් වූ සන්තාන බණ්ඩාර උපතින් බකල කුමරයෙකු විය.
මෙම හේතූන් නිසා සීතාවක කිරුළ මීළගට
හිමිවන්නේ කාටද යන පැණය ඇති විය. සීතාවක රාජසිංහ කුමරු නොහොත් ටිකිරි කුමරු
මායාදුනේ රජුගේ පුත්කුමරුවෙකු නොවීය. ඔහු මායාදුන්නේ රජුගේ අග බිසව වූසත්සිය
වරිගෙයි සුමනා දේවිය හා රාජ මාළිගාවේ සිටි හින්දු පූසාරියෙකු වූ පෙට්ටියාගොඩ
පත්තාමේස්ත්‍රී රාජවන්නියාර් මුදියන්සේ නැමති පුද්ගලයා අතර ඇතිවූ අනියම්
සබදතාවයකින් උපන් දරුවෙකි.
‘සීතාවක
රාජසිංහ රාජ්ජ කාලය’ ග්‍රන්ථයේ ඒ
බව සදහන් කර ඇත්තේ මෙසේය.
‘මායාදුනු මහ
රජු උකුත්වීමට පෙරාතුව සීතාවක වාහළ වේලාවේදී හිටි පෙට්ටියාගොඩ පත්තාමේස්ත්‍රී සිංහල කීර්ති රාජපක්ෂ භාතිරජ්ජ ව්නියාර්
මුදියන්සේ දිසාව මායාදුනු මහරජතුමන්ගේ අග්‍රබිසෝ සත්සිය වරිගෙයි සුමනා දේවීන්
වහන්සේට ජාතක කොට වැදුවා වූ මායාදුනු මහරජු තම පුත් කුමාරයෙකු සේ හැදූ වැඩුවා වූද ‘ටිකිරි රජ්ජුරු බණ්ඩාර
යාපා’ එකලට වයස
තෙවිසි මට්ටම පිරුණා පමණි’
මායාදුන්නේ රජතුමා ටිකිරි කුමරු පැලෑද සටනට
යවන්නේ කුමරුට වයස විසි තුනේ දීය. වීදිය බණ්ඩාර නැමති සෙන්පතියා දෙවැනි වර විවාහ
වී සිටියේ මායාදුන්නේ රජුගේ දියණියක් සමගය. ඇගේ නැගණියගේ දියණිය විවාහ වූයේ විදිය
බණ්ඩාරගේ වැඩිමහළු පුත් විජේපාල ආස්ථාන කුමරු සමගය. මෙම බිරින්දෑවරු දෙදෙනාට නිතර
නිතර සිදු වූ අඩන්තේට්ටම් මායාදුනේ වෙත පැමැණිලි කරන ලදුව, එකල පැලෑද නුවර නැමති
ප්‍රදේශය පාලනය කරමිව් සිටි වීදිය බණ්ඩාරට විරුද්ධව මෙම සටන සිදු කර ඇත. මෙම සටනින්
වීදිය බණ්ඩාර පරාජයට පත්වූ අතර ඔහුගේ සෙන්පතියා වූ සමරකෝන් නයිදේ ඇතුළු ප්‍රධානීන්
කීපදෙනෙකුගේ හිස් කපාගෙන අවුත් ටිකිරි කුමරු විසින් මායාදුන්නේ රජුට භාරදී ඇත.
ක්‍රි.ව 1580 දී මායාදුනේ රජතුමා මරණයට පත්
විය. එම නිසා ඇමතිවරු සහ සංඝයා වහන්සේලා ද මහා සේනාවද රැස්කරවා ටිකිරි කුමරු
පළමුවැනි රාජසිංහ නමින් සීතාවක රාජ්‍යත්වයට පත් කරන ලදී.
ඉතාමත් විශිෂ්ට රණ ශූරයෙකු වූ රාජසිංහ රජු
පෘතුගීසින්ට මුල්ලේරියාවේ දී අන්ත පරාජයක් අත්කර දුන්නේය. මුල්ලේරියා සටන සිදු
වූයේ ක්‍රි.ව 1562 දීය. එනම් ටිකිරි කුමරු රජ වීමටත් පෙරදීය. මුල්ලේරියා වෙලේදී
උපක්‍රමශීලීව විවෘත භූමියට කොටු කරගත් පරංගි සේනාවන් කුමරුන්ගේ විශ්මිත ප්‍රහාරය
හමුවේ සමූල ඝාතනය විය.
වීදිය බණ්ඩාරගෙනු පසුව රයිගම අත්පත් කරගත්
රාජසිංහ රජු පසුව කෝට්ටේට හා කොළඹ කොටුවට එකවර පහර දී කෝට්ටේ නගරය අත්පත් කර
පෘතුගීසීන් කොළඹ කොටුවට පමණක් සීමා කිරීමට සමත් විය. ‘කොළඹ කොටුවේ බළල්
මසුත් ගිණි ගණන් ගියා’ යන කියමන ඇති
වූයේ ඉන් පසුවය. එනම් කොටුවේ සිටි පෘතුගීසීන්ට කොටුව තුළ සිටින බළලුන් පවා මරා
ාහාරයට ගන්නා තැනට පත් කළ බව ඉතිහාසයේ කියැවේ.
මෙකල අරිට්ටකීවෙන්ඩු පෙරුමාල් මැනති කපටි
ආඩිගුරෙක් රජුගේ සිත දිනාගැනීමට සමත් විය. රජුට ධරුණු අපලයක්ඇති බව පැවසූ මෙම
කට්ටඩියා අවම වශයෙන් මන්ත්‍ර දන්නෙක් හෝ නොවීය. හෙතම සීතාවක ගඟ මැදට පහුරකින් ගොස් “රාජාහෝ මා හෝ ගංගාහෝ” යයි කියමින් මතුරන්නට
විය. පසුකාලීනව මෙය ජනප්‍රිය කියමනක් බවට පත්වී ඇත. අවසානයේ දී රජුගේ අපලය නැති
කිරීමට ගඟ නැසීමට තීරණය විය. ආඩිගුරා මැතිරූ ස්ථානයෙන් සීතාවක ගඟ ගොඩකර වෙනත් දිශාවකට
හරවා එම ස්ථානයේ ‘බරැණ්ඩි කෝවිල’ තැනූ බව කියැවේ. අදටත්
එම ස්ථානයෙන් ගඟ අංශක 45ක නැම්මක් ගනී.
රජු මෙම කපට් පුද්ගලයාව කෙතරම් විශ්වාස කලේද
යත් භික්ෂූන් වහන්සේලා කෙරෙහි රජුගේ සිත බිදවීමට ඔහු සමත් විය. සිවුරු හැදගත්
රාජගුරුගේ සහචරයින් කැරැල්ලක් ගසන්නාවූ ආකාරයට නාටකයක් රඟ දැක්වීය. මෙයින් කෝපයට
පත් රජු පූජකායගේ උපදෙස් පිට භික්ෂූන් වහන්සේලා හැට ඈදුත්තක් නොහොත් එකසිය විසි
නමක් විලංගු ලා ගඟේ ගිල්ලවා මරා දැම්මේය. එම ස්ථානය කණාමැදිරියන් වල ලෙස හැදින්වේ.
එය සීතාවක ගඟේ බැරැන්ඩි කෝවිල අසලින් වක ගැහෙන ස්ථානයේ පිහිටා ඇති අඩි 40ක් පමණ ගැඹුරු
මහා වලකි.
රජු භික්ෂූන් වහන්සේලාට දානය දීම තහනම් කළ
අතර බෞද්ධ පොත්පත් විනාශ කළේය. මේ සැහැසිකම් නිසා රජුගෙන් බිදුනු භික්ෂුන්
වහන්සේලා සහ මහජනතාව එවකට උඩරට රජු වූ විමලධර්මසූරියගේ ආරක්ෂාව පතා උඩරටට පලා
ගියහ. මෙයින් කෝප වූ රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කිරීමට සිය සේනා උඩරට බලා
මෙහෙයවීය. දෙපිරිස බලන කපොල්ලේ දී හමු විය. නමුත් සිදුවූයේ නොසිතූ දෙයකි. එහිදී
කොළඹ කොටුවේ පරංගින්ට බළල් මස් කෑමට සැලැස්වූ රාජසිංහ රජු නොසිතූ ලෙස උඩරට සේනාව
අතින් පරාජයට පත් විය.
පෙතංගොඩ උයන
සටනින් පරාජයට පත්වී පසු බසින රාජසිංහ රජු
විවේක ගැනීම සදහා රුවන්වැල්ලට නුදුරු පෙතංගොඩ නැමති ස්ථානයේ පිහිටා ඇති රාජකීය උද්‍යානයට
පැමිණ ඇත. මෙම උයන කටු සහිත උණ පදුරු සිටුවා තිබුණි. රජුගේ කකුලේ මෙම උණ කටුවක්
ඇණුන බවත් එම උණ කටු විෂ සහිත වූ බවත් ඉතිහාසයේ සදහන් වේ.
ටිකෙන් ටික අසාධ්‍ය වූ රජු කැළණි ගඟ ඔස්සේ
හංවැල්ලේ පිහිටි බලකොටුව කරා ගමන් කරමින් සිටින අතරතුර වර්ථමාන කරවනැල්ල නැමති ප්‍රදේශයේදී
රජුගේ රෝගී තත්වය උත්සන්න වී කකුල කොර ගැසී ඇත. එම කොරගැසූ ස්ථානය ‘කොරවූනැල්ල’ වී පසුව ‘කරවනැල්ල’ ලෙස ව්‍යවහාර වූ බව
ජනප්‍රවාදයේ කියැවේ.
මෙසේ පැමිණි රජුගේ තුවාලයට රාජකීය වෙදැදුරු
වූ දොඩම්පේ ගණිතයා විසින් මතුරා විෂ බැදීම හේතුවෙන් ‘කුකුළුබිත්තරවැල්ල’ නම් ප්‍රෙද්ශයේදී රජු
මිය ගිය බව ජනප්‍රවාද වල සදහන් වේ. දොඩම්පේ ගණියා රජුගේ තුවාලයට මෙසේ විෂ බැද
මරණයට පත් කිරීමට හේතුව ලෙස දැක්වෙන්නේ, ඔහුගේ දියණිය පීල්ලකින් දිය නාමින්
සිටින අවස්ථාවක රාජසිංහ රජු විසින් ඇයව
අන්තප්පුරයට ගෙන යාමය. තවද රජුගේ මුණූපුරෙකු වූ රාජසූරිය කුමාරයා ද මේ වන විට
ගණිතයාගේ දුවට ආදරය කරමින් සිට ඇත. රජුගේ තුවාලයට දොඩම්පේ ගණිතයා සමග එක්වී මතුරා
විෂ බන්දවා රජුව මරණයට පත් කලේ රාජසුර්ය කුමාරයා බවද සමහජ ප්‍රවාද වල සදහන් වේ.
ටිකිරි කුමරු හෙවත් සීතාවක රාජසිංහ රජුට
අයත් වූ සීතාවක රාජධාකීයට අයිතිව පැවත් මෙකී පෙතංගොඩ උයන, ගුරුගොඩ ඔයත්, අතලව ඇලත්
අතර පිහිටා තිබේ. වර්ථමානය වන විට සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල
ප්‍රාෙද්ශීය සභා බල ප්‍රදේශයේ ඇති සංචාරක ස්ථාන අතරට අයත් පෙතංගොඩ ග්‍රාමය අදටත්
ජනප්‍රිය වී පවතින්නේ එදා රාජසිංහ රජුට මරණය අත්කර දුන් නපුරු උන කටුව ඇණුනු
ස්ථානය මෙය නිසාය.
පෙතංගොඩ උයනට ප්‍රවිශ්ඨ වන්නෙකුට කොළ අඩු,
තරමක් උල්වූ කටු ඇති උණ පදුරු දෙකක් දක්නට හැකිය. මෙම කටු උණ විශේෂය දකුණු ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් ඇති බව මේ
පිළිබදව පර්යේෂණය කරන ලද පුද්ගලයන් මත පලකර ඇත. මෙම උයන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම
සදහා උයන වටා අගලක් කපා තිබූ බවද, ඒ අගලට පිටින් මෙම කටු උණ පදුරු සිටුවා තිබූ බවද
සදහන් වේ. සීතාවක රාජධානි සමයේ සිටවූ මෙම කටු උණ පදුරු වලින් අද වන විට ශේෂ වී
ඇත්තේ උණ පදුරු දෙකක් පමණි.
සටහන
චතුරංග ජයසුන්දර
No comments:
Post a Comment