පෙර ලිපිය උඩරට මැණිකේ 22
දියගල දියඇල්ල
උඩරට මැණිකේ
දුම්රියෙන් බදුල්ල බලා යන අපේ මේ ගමනේ
වටවල දුම්රිය ස්ථානයේ නැවතුන අපිට තවත් එක් වැදගත් ස්ථානයක් පිළිබදව කතාබහ කල
යුතුමය. මන්ද සංචාරකයන් වන අපිට මෙම ස්ථනයද අත්හැරිය නොහැකි ස්ථානයකි. දියගල
දියඇල්ල පිහිටා ඇත්තේ වටවල දුම්රිය ස්ථානය ආසන්නයේමය. දුම්රිය ස්ථානය අසළින් වැටී
ඇති මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගියවිට හැටන් ගඟ හරහා වැටී ඇති පාලමක්
හමුවේ. මේ පාලම පසුකර මද දුරක් ගිය විට මෙම දියඇල්ල හමුවේ. නමුත් අද වන විට
දියඇල්ලට ඉහළින් බැම්මක් බැද කුඩා ජලවිදුලි බලාගාරයකට ජලය ලබා ගන්නා නිසා මෙම
දියඇල්ල වියළි කාල වලදී දැකගත නොහැකිය. නමුත් වර්ෂාව පවතින කාල වලදී ඉතාමත්
දර්ශනීය දියඇල්ලකි. මෙහි උස මීටර් 20
ක් පමණ වේ.
 |
දියගල ඇල්ල ගුවනේ සිට |
 |
වැසි සමයේ දියගල ඇල්ල හරිම සුන්දරයි |
 |
දියඇල්ල හරස් කරමින් ඉදිකර ඇති වේල්ල |
නැවතත් වටවල
සිට ඉදිරියට යමු
වටවල දුම්රිය
ස්ථනයට සමුදී නැවතත් උඩරට මැණිකේ දුම්රියට නැගි අපි අපේ මීලග ගමනාන්තයට ගමන් කරමු.
වටවල සිට ඉදිරියට දුම්රිය මාර්ගය වැටීඇත්තේ උඩරට සුපුරුසු තේ වතු සහ හරිතවර්ණ වන
වදුලු සහිත කදු වැටි අතරින්ය. කොළඹ කොටුවෙන් පෙරවරු 5.55ට පිටත්වන පොඩිමැණිකේ
දුම්රිය වටවලට ලගාවන්නේ පෙරවරු 10.47ටය. දුම්රිය
ස්ථානයේ විනාඩික් නවත්වන දුම්රිය පෙරවරු 10.48ට නැවතත් ගමන්
ආරම්භ කරනු ලැබේ. එමෙන්ම කොළඹ කොටුවෙන් පෙරවරු 08.30 ගමන් අරඹන උඩරට මැණිකේ දුම්රිය වටවලට
ළගාවන්නේ පස්වරු 01.00 ට ය. දුම්රිය
ස්ථානයේ විනාඩියක් පමණ නවත්වන දුම්රිය නැවතත් පව 01.01 ට ගමන් අරඹනු ලැබේ.
අතිශය සුන්දර කදුවැටි අතරින් දුම්රිය ඉදිරියට ඇදෙන්නේ වටවල රකිෂිත ප්‍රදේශය හරහාය.
ඉදිරියේ දී ඉහළ වටවල දුම්රිය ස්ථානයත්, සංචාරක ආකර්ශනය වඩාත් දිනාගත් රොසැල්ල
දුම්රිය ස්ථානයත් හමුවේ. එයින් පසුව රොසැල්ල රක්ෂිත කලාපය හරහා ඇදෙන දුම්රිය, උඩරට
දුම්රිය මාර්ගයේ හමුවෙන තවත් එක් සුවිශේෂී ස්ථානයකට පැමිණේ. එනම් රොසැල්ල S වංගුවයි.
 |
වටවල දුම්රිය ස්ථානය |
 |
වටවල දුම්රිය ස්ථානය |
රොසැල්ල S වංගුව (දිවිත්ව වංගුව ලෙසද
හැදින්වේ)
දුම්රිය
මාර්ගය තැනීමේ දී නාවලපිටිය සිට පට්ට්පොල දක්වාම
1:44 ක අනුක්‍රමයක්
සහිත සීග්‍ර නැග්මක් සහිතව මාර්ගය ඉදිකරීමට බ්‍රිතාන්‍ය ජතිකයින්ට සිදු විය. එමෙන්ම
හමුවූ විවිධ භූගෝලීය භාදක නිසා විටින් විට දුම්රිය මාර්ගයේ ගමන් මග වෙනස් කරන්නටද
සිදුවිය. එලෙස ගමන් මග වෙනස් කිරිමට සිදුවූ තවත් ස්ථානයකි ඉහළ වටවල සහ රොසැල්ල
දුම්රිය ස්ථාන අතර හමුවන මෙම දිවිත්ව වංගුව. ඉහළ වටවල දුම්රිය ස්ථානයේ සිට රොසැල්ල
දෙසට කිලෝමීටර් 2.8ක් පමණ ගිය
විට මෙම තියුණු වංගුව හමුවේ. මේ ප්‍රදේශයේ ඇති ළග ළග පිහිටි කදු දෙකක් නිසා කදු
දෙක අතරින් දුම්රිය මාර්ගය ගමන් කරවීමට සිදුවීම නිසා මෙම තියුණු දිවිත්ව වංගුව
නිර්මාණ කිරීමට සිදුවී තිබේ. මෙම වංගු දෙකම දම්වැල් 5 1/2 ක (දම්වැල් 1ක් යනු අඩි 66කි) අරයක් සහිතව
නිර්මාණය කර තිබුණි. නමුත් මුලින්ම මෙහි පළමු වංගුව නිර්මාණය කර තිබුනේ වක්‍රයේ
අරය දම්වැල් 4 ½ වන ලෙසය.
එනමුත් වරක් සිදුවූ නායයාමක් නිසා මෙම වක්‍රයේ අරය දම්වැලේ 5 ½ දක්වා වැඩි කිරීමට
සිදුවී තිබේ. මෙම වංගුවේ තරම කෙතරම්දැයි දුම්රියේ ගමන්කරන අපිටම දැකගත හැකිය. අපම
පසුකරගෙන ආ දුම්රිය මාර්ගය එක් තැනකදී දුම්රියේ ව වම්පසින් දැකගත හැකි අතරම මෙම
වංගු සහිත ස්ථානයට කිලෝමීටරයක් පමණ ඇතින් පිහිටා ඇති රොසැල්ල දුම්රිය ස්ථානය
දුම්රියේ දකුණුපස කවුළුවෙන් දැකගත හැකිය.
 |
රොසැල්ල S වංගුව |
 |
රොසැල්ල S වංගුව |
 |
රොසැල්ල S වංගුව අවට සුන්දරත්වය |
 |
රොසැල්ල S වංගුව අවට සුන්දරත්වය |
 |
රොසැල්ල S වංගුව අවට සුන්දරත්වය |
 |
උඩරට අසිරිය විදින විදේශීකයින් |
 |
රොසැල්ල S වංගුව අවට සුන්දරත්වය |
 |
රොසැල්ල S වංගුව අවට සුන්දරත්වය |
අපි
ඉහතින් සදහන් කළ ද්විත්ව වංගුව පසුකරමින් දුම්රිය ඇදී
යන්නේ රොසැල්ල දුම්රිය ස්ථානයටයි. රොසැල්ල දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ලද වටවල
දුම්රිය ස්ථනයේ පවතින ගොඩනැගිල්ල මෙන්ම දෙමහල් ගොඩනැගිල්ලකි. මනරම් කදුවැටි වලින්
වටවී ඇති මෙම දුම්රිය ස්ථානයද සංචාරක ආකර්ශනය දිනාගෙන ඇත.
හැටන් දුම්රිය
ස්ථානය
හැටන් දුම්රිය ස්ථානය ඉදිකිරීම් ආරම්භ
වන්නේ වර්ෂ 1880 අගොස්තු මස 03 වන දින ඇරඹි උඩරට
දුම්රිය මාර්ගය නාවලපිටිය සිට නානුඔය දක්වා දීර්ඝ කිරිමේ අදියරට සමගාමීවය. හැටන්
දුම්රිය ස්ථානය විවෘත කර ඇත්තේ 1884 ජූනි මස 02 වන දිනය. හැටන්
දුම්රිය ස්ථානයේ විශාල බඩු ගබඩාවක්, පැරණි දොඹකර දෙකක්, පැරණි මගී ගුවන් පාලම්
දෙකක් සහ ගල්අගුරු එන්ජින් වලට ජලය ලබාගත් ජලස්ථම්භයක්ද දැකගත හැකිය. පැරණි බ්‍රිතානය
වස්තු විද්‍යාවට අනුකූලව ඉදිකර ඇති හැටන් දුම්රිය ධාවනාගාරය ඉදිකර ඇත්තේ 19 වන සියවසේ අග
භාගයේදීය.
හැටන්
දුම්රිය ස්ථානය වසරේ මාස 6ක් පමණ ඉතාමත් කාර්යබහුල වේ. ඒ සිරිපා වන්දනාකරවන් නිසාය. වසරේ දෙසැම්බර්
මාසයේ පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය අවසන් වන්නේ ඊළග වසරේ
වෙසක් පොහොයෙන් පසුවය. දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් වන්දනාකරුවන් දුම්රියෙන් හැටන්
දුම්රිය ස්ථානය වෙත පැමිණෙන නිසා මෙම සමයේ දුම්රිය දෙපාර්ථමේන්තුවත් ලංකා ගමනාගමන
මණ්ඩලයත් එක්ව ඒකාබද්ධ සේවයක් ලෙසින් වන්දනා කරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින්
දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙතත් එතැන් සිට ලංගම බස් රථ වලින් නල්ලතන්නිය
දක්වාත් ප්‍රවාහන සේවා සිදු කරගෙන යනු ලබයි.
 |
හැටන් දුම්රිය ස්ථානය |
 |
හැටන් දුම්රිය ස්ථානය |
 |
හැටන් දුම්රිය ස්ථානයේ ඇති අතීතයේදී දුම්රියට භානඩ පැටවීම සදහා භාවිතා කල දොඹකරය |
 |
හැටන දෙසින් පෙනෙන සිරීපාදය |
 |
රොසැල්ල සිට හඑැටන් දෙසට සිව යන දුම්රිය මාර්ගය ඇතීන් දිස්වේ
|
 |
හැටන් නගරය ආසන්නයේදී හමුවන දුම්රිය පාලම |
 |
හැටන් දුම්රිය ස්ථානයේ ඇති පැරණි මගී පාලම |
 |
හැටන් දුම්රිය ස්ථානය |
කොළඹ කොටුවේ
සිට බදුල්ල බලා ධාවනය වන උඩරට මැණිකේ, පොඩි මැණිකේ ආදී දුම්රිය සහ දුම්රිය
දේපාර්ථමේන්තුවෙන් විටින් විට එක් කරන
අතිරේක දුම්රිය වලින්ද සිරිපා වන්දනාව සදහා බැතිමතුන් ගමන් කරනු ලබයි. පුත්තලම
මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට එම මාර්යේ පැමිණෙන දුම්රියක පැමිණ රාගම දුම්රිය
ස්ථානයෙන්ද, අනුරාධපුර මාර්ගයේ පැමිණෙන මගීන්ට එම මාර්ගයේ පැමිණෙන දුම්රියක පැමිණ
පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන්ද හැටන් බලා ධාවනය වන දුම්රියකට ගොඩවීමට අවස්ථාව ලැබේ.
පොඩි මැණිකේ දුම්රිය රාගම දුම්රිය ස්ථානයට පෙ.ව 06.16ට ලඟා වන අතර පෙ.ව 06.17ට ගමන් අරඹනු ලැබේ. එමෙන්ම උඩරට මැණිකේ දුම්රිය පෙ.ව 08.51ට රාගම දුම්රිය ස්ථානයට ලගා වන අතර පෙ.ව 08.52 ට ගමන් ආරම්භ කරනු ලබයි. පොඩි මැණිකේ දුම්රිය පෙ.ව 07.16ට පොල්ගහවෙල
දුම්රිය ස්ථානයට ලගා වන අතර පෙ.ව 07.18ට ගමන් අරඹනු
ලැබේ. උඩරට මැණිකේ දුම්රිය පෙ.ව 09.48ට පොල්ගහවෙලට
ලගා වන අතර පෙ.ව 09.50ට ගමන් අරඹනු
ලැබේ.
ඉතිරිය මීලග
කොටසින්
සටහන
චතුරංග
ජයසුන්දර