Sri Lanka

Sunday, February 9, 2025

උඩරට මැණිකේ 23



පෙර ලිපිය උඩරට මැණිකේ 22 

දියගල දියඇල්ල

            උඩරට මැණිකේ දුම්රියෙන් බදුල්ල බලා යන අපේ මේ  ගමනේ වටවල දුම්රිය ස්ථානයේ නැවතුන අපිට තවත් එක් වැදගත් ස්ථානයක් පිළිබදව කතාබහ කල යුතුමය. මන්ද සංචාරකයන් වන අපිට මෙම ස්ථනයද අත්හැරිය නොහැකි ස්ථානයකි. දියගල දියඇල්ල පිහිටා ඇත්තේ වටවල දුම්රිය ස්ථානය ආසන්නයේමය. දුම්රිය ස්ථානය අසළින් වැටී ඇති මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගියවිට හැටන් ග හරහා වැටී ඇති පාලමක් හමුවේ. මේ පාලම පසුකර මද දුරක් ගිය විට මෙම දියඇල්ල හමුවේ. නමුත් අද වන විට දියඇල්ලට ඉහළින් බැම්මක් බැද කුඩා ජලවිදුලි බලාගාරයකට ජලය ලබා ගන්නා නිසා මෙම දියඇල්ල වියළි කාල වලදී දැකගත නොහැකිය. නමුත් වර්ෂාව පවතින කාල වලදී ඉතාමත් දර්ශනීය දියඇල්ලකි. මෙහි උස මීටර් 20 ක් පමණ වේ.


දියගල ඇල්ල ගුවනේ සිට

වැසි සමයේ දියගල ඇල්ල හරිම සුන්දරයි

දියඇල්ල හරස් කරමින් ඉදිකර ඇති වේල්ල


නැවතත් වටවල සිට ඉදිරියට යමු

            වටවල දුම්රිය ස්ථනයට සමුදී නැවතත් උඩරට මැණිකේ දුම්රියට නැගි අපි අපේ මීලග ගමනාන්තයට ගමන් කරමු. වටවල සිට ඉදිරියට දුම්රිය මාර්ගය වැටීඇත්තේ උඩරට සුපුරුසු තේ වතු සහ හරිතවර්ණ වන වදුලු සහිත කදු වැටි අතරින්ය. කොළඹ කොටුවෙන් පෙරවරු 5.55ට පිටත්වන පොඩිමැණිකේ දුම්රිය වටවලට ලගාවන්නේ පෙරවරු 10.47ටය. දුම්රිය ස්ථානයේ විනාඩික් නවත්වන දුම්රිය පෙරවරු 10.48ට නැවතත් ගමන් ආරම්භ කරනු ලැබේ. එමෙන්ම කොළඹ කොටුවෙන් පෙරවරු 08.30 ගමන් අරඹන උඩරට මැණිකේ දුම්රිය වටවලට ළගාවන්නේ පස්වරු 01.00 ට ය. දුම්රිය ස්ථානයේ විනාඩියක් පමණ නවත්වන දුම්රිය නැවතත් පව 01.01 ට ගමන් අරඹනු ලැබේ. අතිශය සුන්දර කදුවැටි අතරින් දුම්රිය ඉදිරියට ඇදෙන්නේ වටවල රකිෂිත ප්‍රදේශය හරහාය. ඉදිරියේ දී ඉහළ වටවල දුම්රිය ස්ථානයත්, සංචාරක ආකර්ශනය වඩාත් දිනාගත් රොසැල්ල දුම්රිය ස්ථානයත් හමුවේ. එයින් පසුව රොසැල්ල රක්ෂිත කලාපය හරහා ඇදෙන දුම්රිය, උඩරට දුම්රිය මාර්ගයේ හමුවෙන තවත් එක් සුවිශේෂී ස්ථානයකට පැමිණේ. එනම් රොසැල්ල S වංගුවයි.

වටවල දුම්රිය ස්ථානය

වටවල දුම්රිය ස්ථානය


රොසැල්ල S වංගුව (දිවිත්ව වංගුව ලෙසද හැදින්වේ)

            දුම්රිය මාර්ගය තැනීමේ දී නාවලපිටිය සිට පට්ට්පොල දක්වාම  1:44 ක අනුක්‍රමයක් සහිත සීග්‍ර නැග්මක් සහිතව මාර්ගය ඉදිකරීමට බ්‍රිතාන්‍ය ජතිකයින්ට සිදු විය. එමෙන්ම හමුවූ විවිධ භූගෝලීය භාදක නිසා විටින් විට දුම්රිය මාර්ගයේ ගමන් මග වෙනස් කරන්නටද සිදුවිය. එලෙස ගමන් මග වෙනස් කිරිමට සිදුවූ තවත් ස්ථානයකි ඉහළ වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර හමුවන මෙම දිවිත්ව වංගුව. ඉහළ වටවල දුම්රිය ස්ථානයේ සිට රොසැල්ල දෙසට කිලෝමීටර් 2.8ක් පමණ ගිය විට මෙම තියුණු වංගුව හමුවේ. මේ ප්‍රදේශයේ ඇති ළග ළග පිහිටි කදු දෙකක් නිසා කදු දෙක අතරින් දුම්රිය මාර්ගය ගමන් කරවීමට සිදුවීම නිසා මෙම තියුණු දිවිත්ව වංගුව නිර්මාණ කිරීමට සිදුවී තිබේ. මෙම වංගු දෙකම දම්වැල් 5 1/2 ක (දම්වැල් 1ක් යනු අඩි 66කි) අරයක් සහිතව නිර්මාණය කර තිබුණි. නමුත් මුලින්ම මෙහි පළමු වංගුව නිර්මාණය කර තිබුනේ වක්‍රයේ අරය දම්වැල් 4 ½ වන ලෙසය. එනමුත් වරක් සිදුවූ නායයාමක් නිසා මෙම වක්‍රයේ අරය දම්වැලේ 5 ½ දක්වා වැඩි කිරීමට සිදුවී තිබේ. මෙම වංගුවේ තරම කෙතරම්දැයි දුම්රියේ ගමන්කරන අපිටම දැකගත හැකිය. අපම පසුකරගෙන ආ දුම්රිය මාර්ගය එක් තැනකදී දුම්රියේ ව වම්පසින් දැකගත හැකි අතරම මෙම වංගු සහිත ස්ථානයට කිලෝමීටරයක් පමණ ඇතින් පිහිටා ඇති රොසැල්ල දුම්රිය ස්ථානය දුම්රියේ දකුණුපස කවුළුවෙන් දැකගත හැකිය.


රොසැල්ල S වංගුව

රොසැල්ල S වංගුව

රොසැල්ල S වංගුව අවට සුන්දරත්වය

රොසැල්ල S වංගුව අවට සුන්දරත්වය

රොසැල්ල S වංගුව අවට සුන්දරත්වය

උඩරට අසිරිය විදින විදේශීකයින්

රොසැල්ල S වංගුව අවට සුන්දරත්වය

රොසැල්ල S වංගුව අවට සුන්දරත්වය

     
    අපි ඉහතින් සදහන් කළ ද්විත්ව වංගුව පසුකරමින් දුම්රිය ඇදී යන්නේ රොසැල්ල දුම්රිය ස්ථානයටයි. රොසැල්ල දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ලද වටවල දුම්රිය ස්ථනයේ පවතින ගොඩනැගිල්ල මෙන්ම දෙමහල් ගොඩනැගිල්ලකි. මනරම් කදුවැටි වලින් වටවී ඇති මෙම දුම්රිය ස්ථානයද සංචාරක ආකර්ශනය දිනාගෙන ඇත.

රොසැල්ල දුම්රිය ස්ථානය

රොසැල්ල දුම්රිය ස්ථානය

රොසැල්ල දුම්රිය ස්ථානය

රොසැල්ල දුම්රිය ස්ථානය

රොසැල්ල දුම්රිය ස්ථානය දෙසට ඇදෙන පොඩි මැණිකේ දුම්රිය

රොසැල්ල අවට සුන්දරත්වය

රොසැල්ලට ඇදෙන උඩරට මැණිකේ දුම්රිය

රොසැල්ල අවට සුන්දරත්වය

රොසැල්ල අවට සුන්දරත්වය

රොසැල්ල අවට සුන්දරත්වය

    රොසැල්ල දුම්රිය ස්ථානය පසු කරමින් ඉදිරියට ඇදෙන දුම්රියට තවත් සුවිශේෂී වංගුවක් හමුවේ. මෙම වංගුව හදුන්වා ඇත්තේ C වංගුව ලෙසිනි. එනම් එය C අක්ෂරයේ හැඩයට දිවෙන තනි වංගුවකි. ආසන්න වශයෙන් අඩි 300ක පමණ අරයක් සහිතව මෙම මංගුව ගමන් කරනු ලබන අතර වංගුව අතරමැදදි හමුවන කුඩා ඔය පහරවල් දෙකක් නිසා ඉදිකරන ලද පාලම් දෙකක්ද දැකිය හැකිය. මෙම ස්ථානයද පසු කරමින් අපගේ උඩරට මැණිකේ දුම්රිය ගමන් කරන්නේ හැටන් නගරය වෙතයි.

රොසැල්ල C වංගුව

රොසැල්ල C වංගුව

රොසැල්ල C වංගුව

වතු පාලක වරුන් නිසා නම ලැබුණ හැටන් නගරය.

          හැටන් නගරයට නම ලැබුන ආකාරය පිළිබදව එක් ජනප්‍රවාදයක් ඇත. නමුත් මෙය එතරම්ම පිළිගත හැකි නොවේ.

          සමනල අඩවියට යාබදව පිහිටි ප්‍රධානතම නගරයකි හැටන් නගරය. බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙම ප්‍රදේශයේ තේ වතු බහුලව තිබී ඇත. ඒ අතරින් වැඩි ප්‍රදේශයක පැතිරුණ එක් විශාල තේ වත්තක් තිබී ඇත. එම වත්තෙහි පාලකවරයා ඉතාමත් තද ගති පැවතුම් ඇත්තෙකි. එම නිසාම ඔහුගේ සුදු පැහැති තොප්පිය ගස් අතරින් දිස් වෙත්ම කම්කරුවන් ඉතාමත් යුහුසුළුව තම කාර්යයන්හි නිරත වන්නට පුරුදු විය. තමාගේ තොප්පිය යාන්තමින් දිස්වත්ම කම්කරුවක් ඉතාමත් හොදින් වැඩකරන බව තේරුම් ගත් වතු පාලක වරයා කන්ද මුදුනෙහි පිහිටි බංගලාව අසළ තිබූ පදුරක් මතින් තම තොප්පිය පහළට පෙනෙනසේ තබා ගමන්ගේ කටයුතු සිදු කරගැනිමට පටන් ගත්තේය. කන්ද මුදුනෙන් පාලක වරයාගේ තොප්පිය දිස් වන නිසා කම්කරුවන් පාලකවරයා තමන් දෙස බලා සිටිනවා යැයි සිත උනන්න්දුවෙන් තම කාරයය කරගෙන ගොස් ඇත. පසුව මෙම තොප්පිය පදුරමත තබන කතාව අනෙක් බ්‍රිතාන්‍ය ජාතිකයින් අතරටද දොගොස් තොප්පිය පදුර උඩ තැබීම නොහොත් Hat On ලෙස මෙම ක්‍රියාව ප්‍රචලිතවී ඇත. මෙය නිතර නිතර භාවිතා වීම නිසා පසුකාලීනව මෙම වත්ත සහිත ප්‍රදේශයට Hatton යන්නෙන් හැදී අවුත් අද වන විට හැටන් යනුවෙන් භාවිතා වන බව ජනප්‍රවාද වල සදහන් වේ. මේ බව මහින්ද කුමාර දළුපොත මහතාගේ ගම් වලට නම හැදුන හැටිනැමති පොතේද සදහන් වේ.

හැටන් සුන්දරත්වය

හැටන් සුන්දරත්වය

හැටන් නගරය


    නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් හැටන් නගරය පාලනය වන්නේ හැටන්-දික්ඔය නගරසභාව මගිනි. හැටන් යනු උඩරට තේ කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය බදු වූ නගරයකි. තේ කර්මාන්තය නිසාම අතිශය කාර්ය බහුල නගරයක් වන හැටන් මස්කෙළිය, තලවාකැලේ, බගවන්තලාව සහ දික්ඔය වැනි උඩරට තේ වගාව පහුලව සිදුවන කලාප වල කේන්ද්‍රස්ථානය වන බැවින් එය ලංකාවේ තේ අගනුවර ලෙසද හැදින්වේ.

          මුහුදු මට්ටමේ සිට මීටර් 1271ක් පමණ උසකින් පිහිටා ඇති හැටන් නගරයේ බ්‍රිතාන්‍ය පාලන සමයේ මුල් අවධියේ කෝපි වගා කළ අතර පසුකාලීනව තේ වගාව සදහා යොමුවී ඇත. හැටන් යන නම ස්කොට්ලන්තයේ Aberdeenshire ප්‍රාන්තයේ පිහිටි Hatton නැමති ගමෙහි නාමයේ හුරුවට නිර්මාණය වූවකි යැයි සැලකේ. හැටන්හි පිහිටි තේ වතු ගණනාවත් ද ස්කොට්ලන්තයේ පිහිටා ඇති ගම්මාන වල නම් වලින් නම් කර ඇත.

          ඉතාමත් සුන්දර කදුකර ප්‍රදේශයක මැදිව ඇති මෙම නගරය සානුවක පිහිටා ඇත. එය හැටන් සානුව යනුවෙන් හදුන්වයි. හැටන් නගරයේ දේශගුණය මධ්‍යාම කදුකරයේ අනෙක් නගර වලට සාපේක්ෂව තරමක් උණුසුම් ස්වභාවයක් ගනී. එමෙන්ම තෙත් සහිත පරිසරයක් සහ වලාකුළු වලින් බරවූ අහසක් බොහෝදුරට දැකිය හැකිය. සාමාන්‍යෙයන් උෂ්ණත්වය ෆැරන්හයිට් 55  සිට 80 දක්වා වෙනස් වන අතර කලාතුරකින් ෆැරන්හයිට් 50 සිට 86 දක්වා වෙනස් වේ. සංචාරක කටයුතු සදහා හැටන් වෙත යාමට හොදම කාලය වන්නේ ජනවාරි මස මැද සිට අප්‍රෙල් මුල දක්වා වේ.


ස්කොට්ලන්තයේ Aberdeenshire ප්‍රාන්තයේ පිහිටි Hatton නැමති ගම්මානය

අතීතයේ Hatton city mill අද අවන්හලකි


හැටන් දුම්රිය ස්ථානය

          හැටන් දුම්රිය ස්ථානය ඉදිකිරීම් ආරම්භ වන්නේ වර්ෂ 1880 අගොස්තු මස 03 වන දින ඇරඹි උඩරට දුම්රිය මාර්ගය නාවලපිටිය සිට නානුඔය දක්වා දීර්ඝ කිරිමේ අදියරට සමගාමීවය. හැටන් දුම්රිය ස්ථානය විවෘත කර ඇත්තේ 1884 ජූනි මස 02 වන දිනය. හැටන් දුම්රිය ස්ථානයේ විශාල බඩු ගබඩාවක්, පැරණි දොඹකර දෙකක්, පැරණි මගී ගුවන් පාලම් දෙකක් සහ ගල්අගුරු එන්ජින් වලට ජලය ලබාගත් ජලස්ථම්භයක්ද දැකගත හැකිය. පැරණි බ්‍රිතානය වස්තු විද්‍යාවට අනුකූලව ඉදිකර ඇති හැටන් දුම්රිය ධාවනාගාරය ඉදිකර ඇත්තේ 19 වන සියවසේ අග භාගයේදීය.

          හැටන් දුම්රිය ස්ථානය වසරේ මාස 6ක් පමණ ඉතාමත් කාර්යබහුල වේ. ඒ සිරිපා වන්දනාකරවන් නිසාය. වසරේ දෙසැම්බර් මාසයේ පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය අවසන් වන්නේ ඊළග වසරේ වෙසක් පොහොයෙන් පසුවය. දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් වන්දනාකරුවන් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන නිසා මෙම සමයේ දුම්රිය දෙපාර්ථමේන්තුවත් ලංකා ගමනාගමන මණ්ඩලයත් එක්ව ඒකාබද්ධ සේවයක් ලෙසින් වන්දනා කරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙතත් එතැන් සිට ලංගම බස් රථ වලින් නල්ලතන්නිය දක්වාත් ප්‍රවාහන සේවා සිදු කරගෙන යනු ලබයි.

හැටන් දුම්රිය ස්ථානය

හැටන් දුම්රිය ස්ථානය

හැටන් දුම්රිය ස්ථානයේ ඇති අතීතයේදී දුම්රියට භානඩ පැටවීම සදහා භාවිතා කල දොඹකරය

හැටන දෙසින් පෙනෙන සිරීපාදය

රොසැල්ල සිට හඑැටන් දෙසට සිව යන දුම්රිය මාර්ගය ඇතීන් දිස්වේ


හැටන් නගරය ආසන්නයේදී හමුවන දුම්රිය පාලම

හැටන් දුම්රිය ස්ථානයේ ඇති පැරණි මගී පාලම

හැටන් දුම්රිය ස්ථානය

    කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන උඩරට මැණිකේ, පොඩි මැණිකේ ආදී දුම්රිය සහ දුම්රිය දේපාර්ථමේන්තුවෙන්  විටින් විට එක් කරන අතිරේක දුම්රිය වලින්ද සිරිපා වන්දනාව සදහා බැතිමතුන් ගමන් කරනු ලබයි. පුත්තලම මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට එම මාර්යේ පැමිණෙන දුම්රියක පැමිණ රාගම දුම්රිය ස්ථානයෙන්ද, අනුරාධපුර මාර්ගයේ පැමිණෙන මගීන්ට එම මාර්ගයේ පැමිණෙන දුම්රියක පැමිණ පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන්ද හැටන් බලා ධාවනය වන දුම්රියකට ගොඩවීමට අවස්ථාව ලැබේ. පොඩි මැණිකේ දුම්රිය රාගම දුම්රිය ස්ථානයට පෙ.ව 06.16 ඟා වන අතර පෙ.ව 06.17ට ගමන් අරඹනු ලැබේ. එමෙන්ම උඩරට මැණිකේ දුම්රිය පෙ.ව 08.51ට රාගම දුම්රිය ස්ථානයට ලගා වන අතර පෙ.ව 08.52 ට ගමන් ආරම්භ කරනු ලබයි. පොඩි මැණිකේ දුම්රිය පෙ. 07.16ට පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ලගා වන අතර පෙ.ව 07.18ට ගමන් අරඹනු ලැබේ. උඩරට මැණිකේ දුම්රිය පෙ.ව 09.48ට පොල්ගහවෙලට ලගා වන අතර පෙ.ව 09.50ට ගමන් අරඹනු ලැබේ.

 

ඉතිරිය මීලග කොටසින්

සටහන

චතුරංග ජයසුන්දර


Monday, December 23, 2024

උඩරට මැණිකේ 22

 

පෙර ලිපිය උඩරට මැණිකේ 21 

 

උඩරට දුම්රිය ගමන අවධානමට හෙලූ පට්ටිපොල නාය යාම.

          උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සිට ගම්පොළ දක්වා කොටසේ ඉදිකිරීම්  අවසන් වූයේ වර්ෂ 1873 දීය. එයින් පසුව ගම්පොළ සිට නාවලපිටිය දක්වා කොටස 1874  දේසැම්බර් මස 01 දිනා විවෘත කරන ලදී. මෙම ඉදිකිරීමත් සමගම තේ වගාවේ දියුණුව සදහා එය මහත් රුකුලක් විය. අරමුදල් සහ විවිධ හේතු කාරණා නිසා උඩරට මාර්ගයේ ඉතිරි ඉදිකිරීම් තවත් වර්ෂ හතක් පමණ ප්‍රමාද විය. එයින් පසුව නාවලපිටියේ සිට නානුඔය දක්වා කොටසේ ඉදිකිරීම් සිදු කිරීම ආරම්භ කර ඇත්තේ වර්ෂ  1880 අගෝස්තු මස  03 වන දිනය. නාවලපිටියේ සිට නානුඔය දක්වා වූ මාර්ගයේ දිග සැලතම් 41 ½ කි. මෙම කොටසේ ඉදිකිරීම් ආරම්භය සනිටුහන් කරමින් මංගල පස්පිඩැල්ල කපා ඇත්තේ ජේම්ස් ලෝඩ්න් ආණුඩුකාරවරයාය. නමුත් මෙම කොටසේ ඉදිකරීම් අවසන්වූයේ අදියර තුනක් යටතේය. එයින් පළමු අදියර ලෙස නාවලපිටිය සිට හැටන් දක්වා කොටස වර්ෂ 1884 ජූනි මස 04 වන දිනද , දෙවන අදියර ලෙස හැටන් සිට තලවාකැලෙක් දක්වා වර්ෂ 1884 නොවැම්බර් මස 02 දිනද, තුන්වන අදියර ලෙස තලවාකැලේ  සිට නානුඔය දක්වා කොටස වර්ෂ 1885 මැයි මස 20 වන දිනද විවෘත කරන ලදී.

          මේසේ ඉදිකල දුම්රිය මාර්ගයේ අපගේ අද කතාබහට වඩාත්ම වැදගත් වන්නේ ගලබොඩ සහ වටවල දුම්රිය ස්ථාන අතර කොටසයි. එනම් මෙම දුම්රිය මාර්ගය ඉදිකර ටික කලක් ගතවත්ම මෙම කොටසින් විටින් විට නායයාම් වාර්තා වීමයි. පළමුවෙන්ම මෙම ප්‍රදේශයේ සිදු වූ නායයෑමක් පිළිබදව වාර්තා වන්නේ 1886 අගෝස්තු මාසයේය. එම අවස්ථාවේ දී දුම්රිය මාර්ගයේ වම්පසින් පිහිටි කදු කොටස නායයාමට ලක්වු අතර අඩි 70ක් පමණ උස පස් කන්දකින් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගිස් තිබුනි. එයින් පසුව අවස්ථා ගණනාවකදී නායයාම් වාර්තා විය. ඒ අනූව 1957, 1981, 1985, 1988 හා 1991 යන වර්ෂ වලදී නායයාම් වාර්තා වී ඇත. එම නිසා මෙම කොටස නායයාම් සම්බන්ධව අධි අවධානම් කලාපයක් ලෙස නම් කර තිබුණි.

 

දුම්රිය මාර්ගයට මහා විපත්තියක් සිදු කල 1992

          මෙම සිදුවීම සිදුවී ඇත්තේ 1992 ජූනි මස 03 වන දිනය. දිනාපතා බදුල්ලේ සිට මහනුවරටත්, මහනුවර සිට බදුල්ලටත් ගමනේ යෙදෙන අංක 1596 මිශ්‍ර දුම්රිය එදිනද බදුල්ලෙන් මහනුවර බලා ගමන් ඇරඹා තිබුණි. මෙම දුම්රියේ මගීන් මෙන්ම භාණ්ඩද ප්‍රවාහනය කරන නිසා මෙය මිශ්‍ර දුම්රිය ලෙස හදුන්වනු ලැබේ. එදිනද මෙහි තෙල් ටැංකි දෙකක්, ගවයින් සහිත සත්ව ප්‍රවාහන මැදිරියක්, භාණ්ඩ ප්‍රවාහන මැදිරි දෙකක් සහ මගීන් ප්‍රවාහනය කරනු ලබන පැරණි මැදිරි දෙකකින් සමන්විත වී ඇත. මාර්ගයේ පැමිණෙන සියළුම දුම්රිය වලට ඉඩ දෙමින් ඉබි ගමනින් ඇදෙන මෙම දුම්රියට මහනුවර වෙත ළගා වීමට සාමාන්‍යෙයන් දිනකට පැය 12කට ආසන්න කාලයක් ගතවී ඇත. මෙම දුම්රියෙන් සේවය ලබා ගන්නා වතු ජනතාව මෙම දුම්රිය හදුන්වා ඇත්තේ ලෑල්ල යන නාමයෙනි. මෙම දුම්රියට සවිකර තිබී ඇත්තේ ජර්මනියේ නිෂ්පාදිත class M6 වර්ගයේ අංක 790 දරන එනිජිමයි.

 

          ජූනි මාසය යනු කදුකරයට අධික වර්ෂාපතනයක් ලැබෙන මාසයකි. ඉපැරණි වාර්තාවලට අනූව මෙදින වටවල ප්‍රදේශයට මිලිමීටර් 240කට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පැවතී ඇත. හෙමින් සීරුවේ ඇදෙමින් තිබූ දුම්රියට සැතපූම් 100 කණුව පසුකරමින් ගමන් කරන්නට තිබුනේ පෙර කී අධි අවදානම් කලාපය හරහාය. පදින්චිකරුවන් පවා ඉවත්කර තිබූ මෙම ප්‍රදේශයට ඇතුළු වූ දුම්රියට සිදුවූයේ කන්ද දෙසින් ඇදී ආ මඩ සහ පස් මිශ්‍ර ජල ප්‍රවාහයට හසුවී පහළ ප්‍රපාතයට තල්ලුවී යාමටය. එදින තිබූ මහා වැසිද නොතකා සිද්ධිය දුටු වතු සේවකයින් දුම්රියේ සිටි මගීන් හැකි ඉක්මනින් වටවල දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් ඇත. සිද්ධියෙන් සුලු තුවාල හැරුණු කොට කිසිවෙකුටත් ධරුණු තුවාල සිදුවී නොමැත. නමුත් මෙම දුම්රිය අනතුරෙන් දුම්රිය මාර්ගයේ මීටර් සියයක පමණ කොටසක් විනාශ වී තිබූ නිසා දුම්රිය මාර්ගය මාස ගණනාවකට වසා දමන්නට සිදුවිය.

 

නායයාමට හසුවූ ස්ථානයේ දුම්රිය එන්ජිම ගිලා බැස ඇති අයුරු


පසු දින වන විට දුම්රියට සවිකර තිබූ එක් මැදිරියක් හැරෙන්නට අනෙක් සියළු මැදිරි බදුල්ල දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් තිබුණි


පැරණි දුම්රිය මාර්ගයේ ඉදි කර තබූ බෝකුවක්


පැරණි දුම්රිය මාර් ගය ගමන් කළ ප්‍රදේශය



නායයාම සිදුවූ කන්ද අද දිස්වන ආකාරය


නායයාම සිදුවූ ස්ථානය අද දිස්වන ආකාරය


නායයාම සිදුවූ ස්ථානය 1993

    පසුව සිදුකළ පුළුල් අධ්‍යයනයකින් පසුව දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කිරීම සදහා භාර දී ඇත්තේ ඉන්දීය සමාගමක් වූ AFCONS සමගමටය. එහි ඉංජිනේරුවරුන් දුම්රිය මාර්ගය නැවත සකස්කිරීමේදී මාර්ගයෙන් ඉවතට තල්ලුවී ගිය දුම්රිය එන්ජිම නැවතත් මාර්ගයට ගැනීමට නම් හෙලිකොප්ටරයක සහාය ලබාගත යුතු යැයි අනුමාන කළහ. නමුත් ලාංකික දුම්රිය සේවකයින්ගේ දක්ෂතාවය නිසා තාවකාලික අතුරු මාර්ගයක් සකසා දින ගණනාවක උත්සාහයෙන් නැවතත් දුම්රිය එන්ජිම පීලි ගත කරන ලදී. සිදුවූ හානි නිසා අලුත්වැඩියා කිරීමෙන් අනතරුව එම එන්ජිම අදටත් සේවයේ යෙදේ. ඉන්දීය සමාගමේ උපදේශනය යටතේ මාසයක් පමණ ගතවූ තැන නැවතත් උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කරන්නට හැකියාව ලැබුණි. 

 

ඉන්දියානු සමාගමේ මගපෙන්වීම යටතේ නැවතත් මාරගය ඉදි කරමින්


           තත්වය මෙසේ වුවද
1992 යනු මෙම ප්‍රදේශ වලට එතරම් යහපත් නොවූ වර්ෂයකි. වර්ශය අවසන් වන විට නැවතත් එම ප්‍රදේශයට මිලිමීටර් 300කට අඩික වර්ෂාපතනයක් ලැබුණ බැවින් ඉන්දීය සමාගම සමග එක්ව ස්ථීරව ඉදිකෙරෙමින් තිබූ දුම්රිය මාර්ගයට නැවතත් හානි සිදු විය. නමුත් මෙම අවස්ථාවේ දිගින් දිගටම සිදුවන මෙම ස්වාභාවික විපත ජය ගැනීමට තරම් ප්‍රමාණවත් සැලසුම් තමන් සතුව නොමැති බව ඉන්දීය සමාගමට නිල වශයෙන් පිළිගැනීමට සිදුවිය.

 

ඉන්දීය සමාගමට ජයගත නොහැකිවූ අභියෝගය ජයගත් ඕස්ට්‍රේලියානු සමාගම Jhon Holands

 

          සිදුවූ මහා විනාශයත් එමගින් දුම්රිය දෙපාරථමේන්තුවට දරාගැනීමට සිදු වූ විශාල පාඩුවත් නිසා සහ යළි යළින් මතු වන මෙම අවධානම නිසා මෙම ප්‍රදේශයේ දිගින් දිගටම සිදුවන නායයාම් වලට හේතු සාධක සෙවීම සදහා පුළුල් අද්‍යයනයක් කිරීමට දුම්රිය දෙපාර්ථමේන්තුව තීරණය කරන ලදී. එම නිසා එම කටයුත්ත මේ සම්බන්ධ අදාල අයතන වන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, වාරිමාර්ග දේපාරථමේන්තුව සහ කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවට භාරදෙන ලදී. එම ආයතන මගින් සිදුකළ අධ්‍යයනයෙන් මෙම ප්‍රදේශයේ සිදුවන නිරන්තර නායයාම් සදහා හේතු කාරණා සොයාගන්නා ලදී.  ඔවුන්ගේ වාර්තාවන්ට අනූව එම භූමියේ නාරන්තරව සිදු වන අභ්‍යන්තර ජල වහනයක් පැවතී ඇත. අධික වර්ෂා සමයේ දී එම ජලය පසෙහි සවිවර තැන් වලින් පස මතුපිටට පැමිණ ගලා යාම නිසා පසේ ස්ථර බුරුල් වීමෙන් මෙම නායයාම් සිදු වන බව වාර්තාවෙන් පෙන්වා දී තිබින. මෙම ප්‍රදේශයේ නැවතත් දුම්රිය මාර්ගය ඉදිකිරීමට නම් පස අභ්‍යන්තරයෙන් ගලා යන මෙම ජල ධාරාවන් නිසි ක්‍රමවේදයක් භාවිතා කර පහළින් ගලා යන හැටන් ගට ගෙන යායුතු බව ඔවුන්ගේ නිගමනය වී ඇත.

 

          ඉන්දීය සමාගමට මේ පිළිබදව නිසි සැලසුමක් නොවූවත් පසුව ඉදිරිපත්වූ ඕස්ටේලියානු සමාගමක් වූ Jhon Holands සමාගම විසින් මෙම අභියෝගය භාරගන්නා ලදී. ඒ අනූව ඔවුන් විසින් මුලින්ම නායයාම සිදුවූ ස්ථානය දෙපසින් මෙහි අභ්‍යන්තරව තත්පරයට ලීටර් 200 ක සීඝ්‍රතාවයකින් එකතු වන ජලයෙන් විශාල ප්‍රමාණයක් නායයාම සිදුවූ ස්ථානයේ දෙපසින් සකසන ලද කාණු දෙකකින් ගලා යාමට සල්වන ලදී. අනෙක් කොටසේ කන්ද දෙසට භූමිය සිදුරු කර පසුව එම සිදුරු තුළට සිදුරු කරන ලද ප්ලාස්ටික් නළ 15ක් ඇතුල්කර එම නළ වලින් වෑස්සෙන ජලය එක්රැස් කිරීමට ස්ථාන 6ක් නිර්මාණය කරන ලදී. එම ස්ථාන වලට එක්වන ජලය භූගත නල මාර්ගයක් ඔසේසේ ගෙන ගොස් විධිමත්ව සැකසූ කාණු පද්ධතියකට යොමු කර හැටන් ග දක්වා ගෙනගොස් ඇත.




කන්දේ සිට පහළට ගමන් කරන කාණු පද්ධතිය


 

කන්ද අභ්‍යන්තරයේ සිට එළියට එන බට


කොන්ක්‍රිට් කාණු


අදටත් සිදුවන නඩත්තු කටයුතු

    මහත් පරිශ්‍රමයකින් සිදුකරනු ලැබූ මෙම සුවිශේෂී ජල කළමණාකරණ කටයුත්ත ආරම්භ කළදා පටන් අද දක්වාම මනාව නඩත්තු කරගෙන යනු ලබන අතර ඒ සදහාම පිහිටුවනු ලැබූ කාර්යාලයක්ද මේ අවට ඇත. එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව හා වාරිමාර්ග දෙපාර්ථමේන්තුව යන ආයතන දුම්රිය දෙපාර්ථමේන්තුව හා එක්ව අද දක්වාම මේ ස්ථානයේ අභ්‍යන්තර ජලවහන තත්වය පිළිබද නිරන්තර අවධනයෙන් පසුවේ. 

 

නඩත්තු කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන කාර්යාලය

    Jhon Holands සමාගම විසින් මෙම අභ්‍යන්තර ජලවහන තත්ත්වය කළමණාකරණ කිරීමෙන් පසුව දුම්රිය දෙපාරණමේන්තුව විසින් පැවති දුම්රිය මාර්ගයේ ගමන් මග වෙනස් කරමින් පැරණි දුම්රිය මාර්ගයට තරමක් ඉහළින් යෙදූ කැපුමක් හරහා නව දුම්රිය මාර්ගයක් ඉදිකර නැවතත් දුම්රිය මාර්ගය සම්බන්ධ කරන ලදී. මාස ගණනාවක මහත් පරිශ්‍රමයක් දරමින් නැවතත් දුම්රිය මාර්ගය ඉදිකරීම නිසා කොළඹ බදුල්ල දුම්රිය ගමන යළිත් ආරම්භ විය. නායයෑම් අවධනාම නිසා ජනතාව ඉවත් කිරීම නිසා අද වන විට මෙම ප්‍රදේශය ජන ශුන්‍ය ප්‍රදේශයක් බවට පත්වී ඇත.

වරථමාන දුම්රිය මාර්ගය ඉදිකර ඇති අයුරු

එම ස්ථනයේ අලුතෙන් ඉදිකරන ලද මාර්ගය අද දිස්වෙන අයුරු




 

ඉතිරිය මීළග කොටසට

 

සටහන

චතුරංග ජයසුන්දර