Sri Lanka

Wednesday, February 5, 2014

ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ



පහුගිය ලිපියෙන් පස්සෙ දින කිහිපයක් ගත උනත් තව අලුත් දෙයක් අද ලියන්න හිතුන. විශේෂෙන්ම කියන්න ඕන මේ ගීතය ගැන ලියන්න ඕන කියල හිතුනෙ 2013 සැප්තැම්බර් 4 වෙනිද ශ්‍රී ලංකා වියට්නාම් මිත්‍රත්ව පදනම මගින් සංවිධානය කල 68 වන වියට්නාම් ජාතික දින සමරුව අවසානයේ පැවති සංස්කෘතික සංදර්ශනයේදී වියටිනාම් ජාතික ගායිකාවක් බොහොම අපූරුවට මේ ගීතය ගායනා කරල තිබ්බ හන්ද. මේ ගීයෙන් කියවෙන වටිනා අර්ථය නම් ඇය සමහරවිට දැනන් ඉන්න නැතුව ඇති. නමුත් බොහොම අපූරුවට ඇය ඒ ගීතය ගායනා කරල තිබ්බ.

අපේ අම්ම අපිව පුංචි කාලෙ තොටිල්ලෙ තියල නලවනව උකුලෙ තියාගනෙ නලවනව. ඉතිං ඒ නලවන හැම අවස්ථාවකම අම්මා හිතන්නෙ ප්‍රාර්ථනා කරන්නෙ මගෙ පුතා මගෙ දුව අපේ රටට සමාජයට වැඩදායී පුද්ගලයෙක් වෙන්න ඕන කියල. ඒ වගේම තමයි හොද බුද්ධිමත් විදියට හැම මොහොතකම කටයුතු කරන්න ඕන කියල. තෙරුවන් වැදගෙන නියම මිනිහෙක් වගේ අන් අයටත් තමන්ට වගේම ජීවත් වෙන්න අයිතිය තියනව කියල හිතාගෙන ඒ අයට කරදරයක් නොවී ඉන්න ඕන කියල. ඉතිං ඒ අම්මගෙ පරමාර්ථය අධිෂ්ඨානය අපිට නිරතුරුවම ලැබෙනව. පෝසත් කම් දුප්පත් කම් අවශ්‍ය වෙන්නෙ නෑ අපි හොදට හැදිල හිටියොත් දෙවියන් පවා අපේ නමට වදිනව. සමහර විට ප්‍රභාකරන්ගෙ අම්මත් ඔහු ඉපදුන වෙලාවෙ එහෙම හිතන්න ඇති. මොකද කිසිම අම්ම කෙනෙක් කැමති නැහැ තමන්ගෙ පුතා මිනීමරුවෙක් වෙනව දකින්න. නමුත් ඉතින් එයාලගෙ අවාසනාවටද රටේ අවාදනාවටද මන්ද අන්තිමේදි ඔහු භයානක මිනීමරු පැසිස්ට් වාදියෙක් උනා.

ඉතිං ගොඩක් අය දන්නෙ නැතුව ඇති මේ ගීතය ඒන්නෙ ගොඩක් පැරණි චිත්‍රපටයක් වන "සූර චෞරයා" චිත්‍රපටයෙ තමයි. ඒ කතාවෙ හැටියට මේ දරුවගෙ තාත්ත පල් හොරෙක්. තුවක්කුවක් අතේ තියාගෙන තමයි නිතරම් ඉන්නෙ. ඉතින් දවසක් හොරකමේ ගිහින් එනකොට තමයි දරුවගෙ අම්ම මේ ගීතය ගායනා කරන්නෙ. පස්සෙ ගීතය අවසන් වෙනකොට ඔහුට දුක හිතිල තුවක්කුව පැත්තකට දාල දරුවව වඩා ගන්නව. මේ ටික මම දැනගත්තෙත් අපේ අම්මගෙන්. මම නම් චිත්‍රපටය නරඹලා නැහැ. අම්මත් ගොඩක් කාලෙකට ඉස්සර නරඹපු එකක් හන්ද ඇයගෙ මතකයෙත් හරියට මේක නැහැ. වැරැද්දක් තිබ්බොත් අපේ හිතවතුන් නිවැරදි කරයි කියල විශ්වාස කරනව.


ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ
රන්සළුපිළි වළලු කොයින්දෝ
දොයි දොයි පුත ලපටි බිළින්දෝ
රන් කඳ රැකදේවි සුරින්දෝ

රුසිරින් තරුමල් සර පරදා
නුවණින් ඝන පති ලෙස සැමදා
තෙරුවන් වැඳ දෙවියන් පුදනා
මිනිසුන් මැද මිනිසෙකු විලා
හිතමින් මවගේ කථා
දොයි දොයි දොයිය පුතා......

සලකණු පරපණ තම පණ සේ  
හොර බොරු නොකරනු කිසි දවසේ  
ඉපදුණ රට දැය සහ සමයයි
නැත මල පසුවද නම නොමරෙයි
හිටියොත් හොඳට හැඳි
දෙවියොත් නමට වඳි

රුසිරින් තරුමල් සර පරදා
නුවණින් ඝන පති ලෙස සැමදා
තෙරුවන් වැඳ දෙවියන් පුදනා
මිනිසුන් මැද මිනිසෙකු විලා
හිටියොත් හොඳට හැඳි
දෙවියොත් නමට වඳි

වියට්නාම් ජාතික ගායිකාව ගැයුව ගීය පහළින් බලන්න.

No comments:

Post a Comment