Sri Lanka

Friday, February 14, 2014

හෙට දවසේ අප දෙදෙනා.... අද වාගෙම හමුවිය යුතුවේ...



ටික දවසක් අලුත් දෙයක් ලියන්න බැරි උනත් අද ආදරවන්තයින්ගෙ දිනය හන්දම ලස්සන කතාවක් අරන් එන්න හිතුන ඔයාලට. හැමදාම වගේ කියන්න ඕන ඉතින් අපි මේ කතා කියන්නෙ රසවත් දෙයක් බෙදාගන්න මිසක් කාටවත් අපහස කරන අරමුණින් නම් නෙමෙයි කියල.

අපි දන්නව ප්‍රියා සූරියසේන කියන්නෙ අපි බොහොම ආදරය කරන කෙනෙක්. ඈත රන් විමන්... ආදරණීය නේරංජනා... වගේ ගීත බොහොමයක් අපි හද බැදගත්ත බව අපි හොදින්ම දන්නව. ඒ වගේම තමයි ප්‍රේමකීර්තිද අල්විස් කියන්නෙත් බොහොම අග්‍ර ගණයේ ගී පද රචකයෙක්. ඒ වගේම දක්ෂ මධ්‍යවේදියෙක්. අපි ගොඩක් ආදරය කරන ආදරයේ උල්පත වූ අම්මා කියන ගීතය එහම ලියුවේ මෙතුමන් තමයි. ඒත් මට මතක හැටියට 88-89 පසුගිය භීෂණ සමයේ සාහසිකයින් පිරිසක් අතින් මෙතුමන්ව ආමානුෂික විදියට ඝාතනය වෙනව.

ඉතින් ප්‍රියා සූරියසෙන් මහත්තයයි ප්‍රේම කීර්තිද අල්විස් මහත්තයයි බොහොම ගජ යළුවෝ ඒ කාලෙ. ප්‍රියාගෙ ගීත බොහොමයක් අල්විස් මහත්තය ලියල තියනව. ඉතිං ඔන්න ඔහොම ඉද්දි දවසක් ප්‍රියා සූරියසේන මහත්තයට සිංදුවක් ලියාගන්න ඕනවෙලා ගියාලු ප්‍රේම කීර්තිද අල්විස් මහත්තයගෙ ගෙදර. කට්ටිය දන්නවනෙ ඉතිං දෙන්න ඔය යන එන ගමන් වලදි සෙට් උනාම පොඩ් අඩියක් පුඩියක් එහෙම ගහනවලු. 

ඉතින් මෙදත් ප්‍රියා යනකොට ගියෙ නිකම්ම නෙමෙයි පොඩි බෝතලයක් එහෙම අරගෙනලු.. දැං කාලෙ වගේ නෙමෙයිනෙ ඉතින් දුරකතන එහෙමත් හිගයිනෙ. ඒ හන්ද ප්‍රියාට එනව කියල කියල යන්නත් බැරි උනාලු. අනේ ඉතින් කරුමෙ කියන්නෙ ප්‍රේමකීර්ති මහත්තය හදිස්සියකට ගෙදරින් එළියට යන්න ලෑස්ති වෙනවලු ප්‍රියා ගෙට ගොඩවෙලා බලනකොට. ඒ මදිවට ප්‍රේමකීර්ති මහත්තයට බස් එකත් පරක්කු වෙලාලු. එත් තමන්ගෙ අතිජාත මිත්‍රයගෙ හිත රිද්දන්නත් බැහැ.

ඒ මදිවට ඉතිං ප්‍රියාගෙ අතේ බොතලේකුත් තියනවනෙ. හැබැයි ඉතින් ප්‍රේමකීර්ති මහත්තයත් නියම කොල්ලනේ බෝතලේ දිහා බලනවළලු, අතේ ඔරලෝසුව දිහත් බලනවලු. මාරම අවුලකට තමයි ප්‍රේමකීර්ති මහත්තයත් පත් වෙලා තියෙන්නෙ. පස්සෙ කරන්නම දෙයක් නැති තැන කොළයක් අතට අරගෙන මොනවද පේලි 2,3ක් ලියල ප්‍රියාගෙ අතට දීල ප්‍රේම කීර්ති මහත්තය දිව්වලු බස් එකට.

ප්‍රියා සූරියසේන මහත්තය ඉතින් වැඩේ කෙරුණෙ නැති හන්ද අපසෙට් එකේම ආපහු යන්න පාරට බැස්සලු. එත් බහින ගමන් නිකමට වගේ බැලුවලු අර ලියල තියෙන පේලි 2,3 මොකද්ද කියලා.
ඒකෙ තිබුනලු මෙන්න මෙහෙම...

"
හෙට දවසේ..... අපදෙදෙනා.....
මේ වාගෙම හමු විය යුතුවේ.....
අද දවසේ.... මවෙත ගෙනා.....
මිහිර හෙටත් ගෙන ආ යුතුවේ.....

දැක්ක ගමන් ප්‍රියාට හිනා ගියාලු. එත් කියල තියෙනදේ මොකක් උනත් ප්‍රියාට දැනුනලු ඒකෙ පොඩි ගතියක් තියෙනව කියල. එකත් දෙකට තුනට නමල පර්ස් එකේ දාගෙන යන්න ගියාලු.

 ඉතිං පස්සෙ දවසක දෙන්න සෙට් වෙලා අඩියක් ගහන ගමන් ප්‍රියාට මතක් උනාලු තමන් ගුලි කරල පර්ස් එකට දාගත්ත කඩදාසිය. එදා තමයි ප්‍රේම කීර්ති මහත්තය ගීතයෙ ඉතුරු ටික ලියල තියෙන්නෙ.

හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ

කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා හද රැදි ආදරයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි

අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකය දිවයයි වෙනස් වෙලා
එලෙස වෙනස්‍වන ලොවෙහි අළුත්වන්
ආදරයම මම ඉදිමි බලා

ගායනය : ප්‍රියා සූරියසේන
සංගීතය : ප්‍රියා සූරියසේන
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්

ගීතය බලන්න පහල ලින්ක් එකෙන්

No comments:

Post a Comment