Sri Lanka

Sunday, March 23, 2014

මා එක්කලා අමනාප වී දඹර දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර



අපි මීට කලින් වතාවක වික්ටර් රත්නායකයන් ගයන "සදකැන් වැසිලා" ගීතය ගැන ලියපු සටහන. ගොඩක් අය ඒකට හොද ප්‍රතිචාර දක්වාලා තිබ්බ. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. අමතකනම් කලින්ම ඒක බලල එන්නකො. සදකැන් වැසිලා අදුරේ එතිලා . ගීතයේ පද වල අර්ථය එහෙම පැහැදිලි කළාට ඉතින් යම්කිසි පුද්ගලයෙක් සම්බන්ධයෙන් තමයි ඒ සිද්ධිය වෙලා තියෙන්නෙ. කෙනා කවුද කියන්නැතිව අපි කතාව කියමුකො කෙටියෙන්. මොකද අපි අද මේ සටහන ලියන්නෙ ඒ ගීතය ගැන කතා කරන්න නෙමෙයි ඒ සිද්ධියෙන් පස්ස ඒ සිද්ධියට සම්බන්ධ අය ඊළගට මොකද කළේ කියන්න.

අපි ඔය කළින් කිවුව සිද්ධියෙ සදහන් වුන පුද්ගලයා රජයේ සේවකයෙක්. ඉතින් හැමදාම වැඩකරල මහන්සිවෙලා ගෙදර එන මේ පුද්ගලයට තමන්ගෙ බිරිදගෙන් ලැබුනෙ පුදුම ආදරයක්. එයත් එහෙමයි. මවාගන්න පුළුවන්නෙ ඉතින් මෙහෙම ආදරෙන් ඉන්න දෙන්නෙක් කොහොමද කියල. බිරිද මෙයා එනකොටම ඉස්සරහට එනවා, බෑග් එක ගන්නව, තේ එකක් හදල දෙනව. පුදුමාකාර ආදරයක් ඉතින්.  නිවාඩු දවස්වල දෙන්න එකතුවෙලා තමා ගෙදර වැඩ ඔක්කොම කරන්නෙ. ඉතිං මෙහෙම කාලයක් ගියා කියමුකෝ....

ටික කාලයක් යනකොට මෙයාට තේරුනා තමන්ගෙ බිරිදගෙ වෙනසක්. ඒත් එකපාරම තේරුම් ගන්න අමාරුයි. දැන් ඔන්න රණ්ඩු ඒත් මෙයාට ඇයි මේ හේතුව කියල කොහොමවත් තේරෙන්නෑ. දැන් දැන් හැමදාම හවසට ඉස්සහට එන්නෙ නැහැ. බෑග් එක ගන්නෙ නැහැ. එනකොටම දෙන තේ එක නෑ. කියන්න ඕන නෑනේ ඉතින් මෙයාට මේ වෙනස තේරෙනව මොනවහරි අවුලක් කියල.

පස්සෙ මෙයා ටිකක් විමසිල්ලෙන් ඉන්න පටන්ගත්ත මොකද්ද මේ වෙන්නෙ කියල හොයාගන්න. ඔන්න දවසක් මෙයා ගෙදර සාලෙ වාඩිවෙලා පත්තරේ බලනව. හැබැයි බලනව නෙමෙයි බිරිද ගැන විමසිල්ලෙන් ඉන්නෙ බිරිද ඉදලත් අරගෙන මිදුලට ආව. ඔන්න දැන් අතුගානව. එත් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා බලනකොට මෙන්න අල්ලපු ගෙදර මනුස්සය ඇවිදන් ඇහැ දානව මෙයාගෙ බිරිදට. බලනකොට ගෑණිත් හිනාවෙනව, හොරෙන් බලනව. මෙයා සද්ද නැතිව හිටිය මොනවත් කිව්වෙ නෑ. ගියා කාමරයට ගත්ත කොලයක් ලිව්වලු මෙහෙම,

ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ

දැන් ඉතිරිටික පැහැදිලි කරන්න ඕන නෑනේ. අපේ කලින් ලිපිය බැලුව නම් කතන්දරේ තේරුම්ගන්න පුළුවන්. මතක් කරගන්නත් එක්ක පද ටික දන්නම්කො.

සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
ඝනදුරු රෑ තනිකම නෑ ............
සොයා එන්න ඝනදුර තරු නිවලා
මගේ එලිය අද ඔබ පමනී.........

ජීවිතයම මා සතු එකම සුවේ
 හී සර පහරක වෙලෙනු පෙනේ .............
මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු
 අසල්වාසියෙක් සොයනු පෙනේ ............

මා නැත අන්සතු සිත් බිඳලා
 දෑතම බැඳගෙන හිඳිමි බලා ............
මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු 
රහස් අහස් තලයට පවරා...........

අපි නම ගම නොකිවුවට සමහරු දන්නව ඇති කවුද දැන් මේ කෙනා කියල. මේ සිද්ධිය මුල් කරනෙ ඉහත ගීය ලියවුනාට මේ දෙන්නට ඊට පස්සෙ උනේ මොකද කියල කට්ටිය දන්නෙ නැහැනෙ ඉතින්.

ඉතින් මේ පුද්ගලය බොහොම තැන්පත් කෙනෙක්. බිරිද එක්ක රන්ඩු කලේ නැහැ. එත් ඔහු ගේ දාල යන්න ගියා. ගිහින් මේ දුක නැති කරගන්න කියල හිතල හොදටම බොන්න ගත්ත. ඉදල හිටල තමා ගෙදර එන්නෙ යන්නෙ. ඒ එන්නෙත් දුව බලල යන්න. මොකද මෙයා තමන්ගෙ දුවට ගොඩක් ආදරේ කලා. අනික වැඩිහිටියන්ගෙ මෝඩකම් වලට පොඩි දරුවො පලි නැහැනෙ.
 
දැන් ඉතින් බිරිදටත් වැඩේ තේරුණා තමන්ගෙ මහත්තයට දැන්නම් තමන්ගෙ මේ රහස ගැන ආරන්චිවෙලා කියල.... ඒත් දැන් මොනව කරන්නද. මහත්තයා එන්නෙ නෑ.

ඒක නෙමෙයි ලොකුම ප්‍රශ්නෙ දුව. මොකද දුව තාත්තට හරිම ලෙංගතුයි. දුවට දැං සාංකාව වගේ. වෙනද වගේ කිසිම කඩිසර ගතියක් නෑ. හැමදම ගේටුටව ලගමයි තාත්ත එයි කියලා බලාගෙන. සෙල්ලම් කරන්නෙත් නෑ. බිරිද ඉතින් හිතින් විදවනව දැන් තමන්ගෙ වැරැද්ද. එත් දැන් මොනා කරන්නද මහත්තය එනකල් බලාගෙන ඉන්නව මිසක්.

 ඉතින් මේ සිද්ධිය මූලික කරගෙන හැදුනා බොහොම අපූරු ගීතයක්....

මා එක්කලා අමනාප වී දඹර
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර
 
වැලි පොල්කටුයි හැදි වෑයයි පෙරලාලා
මිදුලේ වැටුන කොළ සේරම අතුගාලා
ගේ ලග වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එලිවෙන තුරා ඉමු මිදුලට වීලා

හද මාමා නැගෙන තුරු අපි තරු ගනිමු
දෙදෙනාම දුකු තල් අත්තක ලියමු
හද මාමා අත ඒ පණිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉදිමු

මා එක්කලා අමනාප වී දඹර
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර


Sunday, March 2, 2014

කළුබණ්ඩා කිරිඅත්තගෙ නිධන් ගැනිල්ල


පොඩි විවිධත්වයක් දැනෙන්නත් එක්ක අද මේ කතාව ලියන්න හිතුන. හැමදමත් වගේ කියන්න ඕන මුලින්ම මේක ලියන්නෙ පොඩ්ඩක් හිනා වෙලා අපේ ලේ පිරිසිදු කරගන්න මිසක් කාටවත් අපහස කරන්න නම් නෙමෙයි. මම දන්න තරමට මේ සිද්ධිය ඇත්තටම වෙලා තියනව. එත් කතාවෙ එන යම් යම් කොටස් කතාව පසුකාලීනව කියපු අය කතාව රසවත් වෙන්න එකතු කරපුව. ඒ කොහොම වෙතත් යම් ඇත්තක් තියනව. මොකද මේ සිද්ධියට සමබන්ධ අයගෙන් කෙනෙක් තාමත් අපි අතර ඉන්න හන්ද. ඔහු අතින් තමයි කියවුනේ මේ දෙය.

යාපහුව රාජධානිය කියන්නෙ ලංකාවේ හතරවෙනි රාජධානිය. අනික් තැන් වල වගේම යාපහුව රාජධානියෙ ඇතුළු නුවර තුළ සහ යාපහුව පර්වතය අවට නිම්නයෙත් නිධන් සැගවිලා තියනව කියල බොහෝ අය විශ්වාස කරනව. ඒ අතරින් මොණරා කන්ද අවට නිධන් බොහොමයක් වැළලිලා තියනව කියල ගැමි විශ්වාසයක් තියනව. ඔයාල යාපහුවට ඇවිල්ල තියන කෙනෙක් නම් අර ලෝක ප්‍රසිද්ධ සිංහ රූප දෙක ළග ඉදන් ඈත බැලුවම ලගින්ම පෙනෙන කන්ද තමයි මොනරා කන්ද. දැන් දැන් ඒ ළගට යන්න පුළුවන් උනාට ඉස්සර නම් හරිම අමාරුවෙන් තමයි ඒ ළගට ගිහින් තියෙන්නෙ. මතයක් තියනව යාපහුවෙ පළවැනි බුවනෙකබාහු රජ්ජුරුවො යාපහුවෙ ඉදන් උමගක් හෑරුවලු මොනරා කන්දට හදිසි අවස්ථාවකදි පැනයන්න. තාමත් ඒ උමගය හමු වෙලා නැතත් මොනරා කන්දෙ නම් ආදරක්ෂකාරී ගල් ගුහා 2ක් තියනව. ඒ හන්ද මේ කතාව පිළිගන්නත් පුළුවන්.


 
මොණරා කන්ද යාපහුව දාළදා මාළිගාවේ පිවිසුම් දොරටුව අසළට පෙනෙන අයුරු





 
ඉස්සර කාලෙ නිධන් වළදැම්මට නිදන් හොයාගන්න ලේසි වෙන්න නිධන් වදුලු ලියල තියනව. ඒකෙ කියල තියෙන විදියට ගියාම නිධානය ගන්න පුලුවන් කියල තමයි ජනප්‍රවාද වල එන්නෙ.

හරි දැං අපි අපේ කාතාවට එමුකො. කොහොමින් කොහොමින් හරි යාපහුවෙ මේ මොණරා කන්දෙ තියන නිධානයක් ගැන ලියපු වදුලක් හොයාගත්ත කොළඹ පැත්තෙ මහත්තයෙක් එනව අපේ කළුබණ්ඩා කිරිඅත්ත එහෙම නැත්තං කළුබංඩා ගුරන්නාන්සෙ හොයාගෙන.  කළුබණ්ඩා කිරිඅත්ත කිවුවම පැත්තම හොල්ලපු ගුරෙක්. යක්කු පන්නන්න, පෙරේතයෝ අල්ලන්න, ඇපනුල් දාන්න, ඔය එකී මෙකී නොකී ඕනම ගුරු කමකට නම් දරපු කෙනෙක් තමයි. අර මහත්තයත් කළුබණ්ඩා කිරිඅත්ත ගැන දැනගෙන තියෙන්නෙ මෙයාගෙන් සාත්තුවක් කරගත්ත එහෙ පැත්තෙ කෙනෙක්ගෙන්. මහත්තය ඇවිත් හෙමින් සීරුවෙ කළුබණ්ඩා කිරිඅත්තට විස්තරේ කිවුව. ඒත් කළුබණ්ඩා කිරිඅත්ත නිධන් ගැනිල්ලෙ තියන භයානක කම දන්න හන්ද මුලින් බැහැ කිවුව. ඒත මහත්තය ඒකට ලොකු ගානක් දෙන්න පොරොන්දු වුන හන්ද වැඩේට කැමති වුනා. හැබැයි මහත්තය දන්නව පොරොන්දු වන ගාන දුන්නැත්තං තමන්ටත් ගුරාගෙන් ගැලවිල්ලක් නැති බව.

ඔන්න ඉතින් හොද වෙලාවක් බලල වැඩේට දවසක් එහෙම කතිකා කරගත්ත. ඕන කරන අඩුම කුඩුම ටිකත් ලෑස්ති කරගත්ත. කළුබණ්ඩා කිරිඅත්තගෙ හොදම ගෝලයා තමයි කිරිහාමි මාමා. කිරිහාමි මාමා ඒ දවස්වල අඩි 6ක් විතර උස ඕන දෙයක් දුවල පැනල කරන කෙනෙක්. හැබැයි ඉතින් හෙන ගංජා කාරයා. මෙදත් ගංජා සුරුට්ටුවක් එහෙම ඇදල තමයි ගිහින් තියෙන්නෙ. ඉතින් කාටත් රහසෙ රෑ මැදියම් ජාමෙ තුන්දෙනා එකතුවෙලා වැඩේ පටන්ගත්ත. මළ බුලත් තට්ටුවක් එහෙම හදල කළුබණ්ඩා කිරිඅත්ත වැඩේ පටන්ගත්ත. කිරිය මාම තමයි පන්දමට දුම්මල ගහන්නෙ ඒ වගේම අනික් ආවතේව ඔක්කොම.
ඔන්න කොහොමින් කොහොමින් හරි ජාමෙ බලල කළුබණ්ඩා කිරිඅත්ත මතුරන්න ගත්ත. මතුරන්න පටන් අරන් ජාමයක් ගියාම වටේ පිටේ ගස් එහෙම හෙලවීගෙන එනව දැනුන. එතකොටම ඇහුනලු යටිගිරියෙන් හූවක්. ඒත් එක්කම කිරිහාමි මාමා අර ගංජා මතෙන්ම ගැහුවලු පන්දමට දුම්මල පාරක්.  කළුබණ්ඩා කිරිඅත්තට දැනුනලු මේ නම් භහිරවය තමයි කියල. තවත් ජාමෙකින් අයෙත් ඇහුනලු දෙවෙනි හූවත්. දැන්නම් කිරිඅත්තට හොදටම විශ්වාසයි මේනම් භහිරවයම තමයි කියල. ඒ පාර උන්දැ තවත් පරල වෙලා මතුරන්න ගත්තලු. එතකොටම තුන්වෙනි හූව ඇහෙනවත් එක්කම මළ බුලත් තට්ටුවට වැදුනලු පයින් පාරක්. ඒත එක්කම කිරිඅත්ත කෑගැහුවලු "කිරියො වැඩේ හරියන්නෑ පැනගං පැනගං" කියල.

කළුබණ්ඩා කිරිඅත්ත කොහොහොමින් හරි වැටි වැටී හති දාගෙන ගෙදරට දුවගෙන ආවලු. ඇවිත් කිරි අම්මට කෑගැහුවලු කෙල්ලම්මෙ කෙල්ලම්මෙ වතුර ටිකක් මෙහාට ගෙන කියල. (කෙල්ලම්මෙ කියන්නෙ කෙල්ලන්ගෙ අම්මෙ කියන එක නොවැ) අරුන්දැත් ලෙඩගානෙ ඉදල තියෙන්නෙ. උන්දැ කොන්ද ඇද ඇද පුංචි පොල් කට්ටකට වතුර ඩිංගක් ගෙනත් දුන්නලු. කළුබණ්ඩා කිරිඅත්ත බය වෙච්ච බය විල්ලට ඒ වතුර ටික මදි. උන්දැ විසික්කලු පොල්කට්ට පැත්තකට කලේම අරන් කට තියාගෙන හිස් වෙනකල්ම බීලලු කලේ බිමින් තිබ්බෙ.

ඒ දවස් වල කුඹුරු වපුරපු අලුතමයි. දිනදාස මාම පහුවදා උදේ කලන්දා වපුරපු කුඹුර බලල එන්න කියල ගියාලු මොණරා කන්ද පාමුල වෙලට. එකට කියන්නෙ අඹගහ වෙල කියල. ගිහින් ඇවිත් ඒ නැන්දත් එක්ක කියනවලු "ඈ සාන්තලගෙ අම්මෙ.. ඊයෙ රෑ අපේ වෙල මැද්දෙන් එකෙක් දුවල තියනව පුදුම දිවිල්ලක් දුවල තියෙන්නෙ. නියරෙ එක අඩියයි ලියද්ද මැද්දෙ එක අඩියයි... නියරෙ එක අඩියයි ලියද්ද මැද්දෙ එක අඩියයි..." කියල. බැලින්නම් මේ කියල තියෙන්නෙ කිරිහාමි මාමාගෙ දිවිල්ල ගැනනෙ. ඒ දවස් වල තිබිල තියෙන්නෙත් වී ලාහක් විතර ඉහෙන ලොකු ලියදු. බය වෙච්ච බයවිල්ලට කිරියා මාම ගංජා මතෙන් පුදුම දිවිල්ලක් තමයි දුවල තියෙන්නෙ.

උදේ වෙද්දි කොහොම හරි කට්ටියට වැඩේ ආරන්චි වෙලා. කට්ටිය එකතුවෙලා ගිහින් කොළඹින් ආව මහත්තය හොයන්න. අඹගහ වෙල කෙලවරේ තියනව ගල් ළිද කියල රජ කාලෙ ළිදක්. කටිටිය ගිහින් බලද්දි මහත්තය කලුවරේ දුවද්දි ළිදට වැටිල ඉන්නවලු වැලක එල්ලීගෙන දිය බරිය වගේ තෙමීගෙන. කට්ටිය සෑහෙන්න මහන්සි වෙලා තමයි මහත්තය ගොඩ අරගෙන තියෙන්නෙ.

ඔන්න කළුබණ්ඩා කිරිඅත්තගෙ නිධන් ගැනිල්ලෙ රග.................