ගොවිතැන යනු වන්නියේ මිනිසුන්ගේ හදගැහෙන
රාවයයි. මහව, ගල්ගමුව හා ගිරිබාව යන ප්‍රදේශ වලින් වටවූ, විමලරත්න කුමාරගමයන් පවා
වන්නිය නමින් හැදින්වූ වන්නිය ප්‍රදේශයේ මිනිසුන්ගේ ප්‍රධානතම ජීවනෝපාය ගොවිතැනයි.
ප්‍රධාන කන්න දෙක වන යල සහ මහ අතරින් වන්නියේ මිනිසුන්ගේ වැඩිම බලාපොරොත්තුව මහ
කන්නයයි. එනම් ඔක්තෝඹරයෙන් පටන් ගෙන මාර්තු දක්වා දිව යන කාලයයි. මෙහෙදී ඊසාන දිග
මෝසමෙන් විශාල ලෙස වර්ෂාපතනය වර්ෂාපතනය ලැබෙයි.
වී ගොවිතැන වන්නියේ මිනිසුන්ගේ ප්‍රධාන වගා
බෝගයයි. සෑම ගමකටම වැවක් ඇති නිසා බොහෝ කුඹුරු වගා කරන්නේ වැව් යටතේය. එම නිසා වැව
යනු වන්නියේ වැසියන්ගේ හදවත බදුය. කන්න ලංවත්ම කන්න රැස්වීම පවත්වා වැවෙහි ජල පාලක
නොහොත් වෙල් විදානේ කෙනෙක් පත් කරගනී. පසුව නියමිත කලට වැසි වැටුනොත් කුඹුරු සී
සාන හා වපුරන දිනද කතිකා කරගනී.
වැස්සට පෙර ජූනි, ජූලි, අගෝස්තු හා
සැප්තැම්බර් මාස වල නියගය නිසා කුඹුරු වල
ඇති වියළී මැරී ගොස් ඇති තනකොල ගිණි තබා
කුඹුරු සූදානම් කරගෙන සිටී. වැපිරීම සදහා කල් තබා බිත්තර වී සූදානම් කරගෙන ගොවියන්
වැස්ස එන තුරු බලා සිටින්නේ වප්, ඉල් මාස
වලය. සමහර අවුරුදු වල දී වැස්ස එතරම් ඉක්මන් නොවෙයි. ඊසාන මෝසමේ ජලවාෂ්ප සහිත සුළග
විටෙක ඔක්තෝබර නොවැම්බර මාස දක්වාත් මෙහි නොලැබෙයි. එහෙයින් වහින්නට ලෑස්ති වෙවී,
නැවත කල් දම දමා හුග දවසක් තිබී පසුව වහින්නට වෙයි.
කුඹුරු සී සෑම, නියර කෙටීම, නියර මඩ තැබීම
ආදී මූලික කටයුතු මේ සමගම සිදු කරයි. නමුත් සමහර විටෙක මේ කටයුතුද වැසි නොතකා වැස්සට
තෙමි තෙමි කිරීමට සිදුවෙයි. පසුගිය දිනවල මටද එම ඉරණමට මුහුණ දීමට සිදුවිය. නමුත්
වැස්සේ කුඹුරු වැඩ කිරීම භිතිය දනවන කරුණකි. මන්ද යත් බක් මහේ දී මෙන් මේ මාස වල
අකුණු බලාපොරොත්තු නොවුනද හිටි ගමන් හෙන පුපුරණ නිසාය. මගේ ඇසින් දුටු අත්දැකීමත්
ඇති නිසා එය කොතරම් බිය ජනකදැයි මම හොදින් දනිමි.
කෙසේ හෝ බිම් සකස් කරගැනීමෙන් පසුව බීජ
බැපිරීම සිදු කරයි. වැපිරීමෙන් පසුව කෙමෙන් කෙමෙන් වැවෙන වගාව ආදරයෙන් රැක බලා ගත
යුතුය. කලට වෙලාවට පොහොර ආදිය යෙදිය යුතුය. වතුර ටික හැරවිය යුතුය. වැවෙහි සොරොව්ව
ඇර වතුර හැරවීම නම් සමහර විටෙක අවදානම් කටයුත්තකි. මන්ද සොරොව්වෙහි ඇති දොර අගුලු
වලින් ඉවතට පැන්නහොත් එය යතා තත්වයට පත් කිරීම එතරමි පහසු කටයුත්තක් නොවේ. එසේ
වුවහොත් වැවෙහි ජලය බොහෝ ප්‍රමාණයක් අපතේ යයි.
ඉතින් අපහසුවෙන් හෝ පැස්සවා ගන්නා ගොයම සමහර
කාල වල අස්වනු නෙලන කාලයේ ඇතිවන අකල් වැසි වලට අසු වෙයි. තවත් කලෙක වල් අලින්ට අසු
වෙයි. මේ සියලු බාධක ජයගෙන කෙසේ හෝ අස්වැන්න ගෙට ගත් විට දැනෙන සතුට නම් කියා
නිමකල නොහැක.
No comments:
Post a Comment