Sri Lanka

Thursday, May 11, 2017

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..





කාලෙකට පස්සෙ ආයෙම අපි මේ කියන්න යන්නෙ තවත් සුන්දර ගීතයක් ගැන. අපි බොහොම ආසාවෙන් රසවිදපු ගීතයක්. ඒ ගීතය හැදුන හැටිත් බොහොම සංවේදී සිදුවීමක්.

රත්න ශ්‍රී විජේසිංහයන් කියන්නේ අපේ රටේ ඉන්න අග්‍රගන්‍ය කලා කරුවෙක්. ඔහු එක්තරා කාලයක එක්තරා අමාත්‍යංශයක වැඩ කරන කාලෙ රාජකාරීමය කටයුත්තකට යන්නට සිදු වෙනව අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය කියන ප්‍රදේශයට. මොවුන්ගෙ රාජකාරි කටයුතු අතරතුර ඒ ප්‍රදේශයේ පැවති අධික උෂ්ණත්වයත් එක්ක දැඩි පිපාසයක් හටගන්නව. ඔවුන් වතුර ටිකක් බොන්න ගෙයක් හොයාගෙන යනව.

ඒ යනකොට ඔවුන්ට හමු වෙනව ඉතාම සාම්ප්‍රදායික වටපිලක් තියන ඉතාම සිරියාවන්ත සුන්දර ගැමි ගෙදරක්. ගෙදර ඉස්සරහම ඉතාමත් අලංකාර වී බිස්සක් එහෙමත් තිබුන. මේ ගෙදර හිටියෙ වයස අවුරුදු අසූවක විතර වියපත් අම්ම කෙනෙක්. ඒ අම්ම විතරමයි ගෙදර හිටියෙ, වෙන කවුරුත්ම පේන්න හිටියෙ නෑ. මේ අම්ම හරිම ප්‍රියමනාපයි. වයස අසුවක් උනත් ඇයගෙ තරුණකාලේ සුන්දරත්වය සිහි ගන්නව රූප ලක්ශන තාමත් ඇය සතුව රැදිල තිබුන. ඒකෙන් මේ කන්ඩායම හිතාගන්නව මේ අම්ම තරුණ වියේ ඉතාමත් ලස්සන කාන්තාවක්ව ඉන්න ඇති කියල.
ඉතින් කට්ටියම මේ අම්මගෙන් වතුර ඉල්ලගෙන බොන අතරෙ ඇයත් සමග කතාවට වැටෙනව. රත්න ශ්‍රී අම්ම ලගට කිට්ටු වෙලා මෙහෙම අහනව,
" මොකෝ අම්මෙ ගෙදර කවුරුත් පේන්න නැත්තෙ ළමයෙක්වත් නැද්ද" කියල.
අම්ම උත්තර දෙනව,
"කො නැහැනෙ පුතේ අපේ උන්දැට උවමනාවක් තිබුනෙ නැහැනෙ. උදේ පාන්දර අඹුඩ කෙටිය ගහගෙන හේනට යනව ආයෙ එන්නෙත් නෑ. රෑට එන්නෙත් නෑ. වැඩි හරියක් හේනට වෙලාම තමයි හිටියෙ. කිසිම උවමනාවක් තිබ්බෙ නෑ.." කියල.
ඇයගෙ මේ කතාවත් එක්ක රත්න ශ්‍රී සංවේදී වෙනව. ඔහු උත්සාහ කරනව ඔහුගෙ පරිකලපනයෙන් මේ අම්මගෙ කතාව ගීතයක් විදියට ලියන්න.

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..

සංවේදී කාන්තාවක් තමන්ගෙ ස්වාමියා ගෙදර නැති රැයක තමන්ගෙ හැගීම් අවදි වුන මොහතෙක ඇයගෙ සිතට නැගෙන සිතුවිලි තමයි මේ විදියට ගැයෙන්නෙ. 

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...

ඇය ඉතාමත් අවංක සවේදී කානත්වක්. කොයි තරම් තමන්ගෙ හැගීම් සිර කරගෙන සිටියත් ඇයට වෙනත් කෙනෙක්ගෙ පහසක් උවමනා නැහැ. ඇයගෙ ජීවිතය තමන්ගෙ ස්වාමියාම පමණයි. නමුත් ඇය තමන්ගෙ ස්වාමියාගෙන් දරුවෙක් ලබන්න අසාවෙන් හිටියට ඒක ඉ්ෂ්ඨ නොවුන හීනයක් විතරයි. ඒකයි මල් පිපුන අඹ ගහේ තාම ගෙඩි හැදිල නැත්තෙ.

මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...

මේ ගීතය සංගීතවත් කරනව සංගීතවේදී විශාරද ඔස්ටින් මුණසිංහයන් ගායනා කරනව ගායන ශිල්පිනී විශාරද නිරෝශා විරාජිනී..

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...

රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...


ගායනය : නිරෝෂා විරාජිනි
සංගීතය : ඔස්ටින් මුණසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ


රත්න ශ්‍රී

ඔස්ටින් මුනසිංහ



නිරෝෂා

ගීතය බලන්න මෙතනින්



No comments:

Post a Comment