Friday, June 21, 2019
දවසක් පැල නැති හේනේ... ගීතය වෙනස් විදියකට දකිමු..
යුගයේ විශිෂ්ඨතම මව්ගුන ගීතය නමින් හැදින් වෙන දවසක් පැල නැති හේනේ ගීතයේ සිතා බැලිය හැකි තවත් එක් පැතිකඩක්...
ගුණදාස කපුගේ මහත්තයා ගුවන්විදුලි සංස්ථාවේ වැඩ කරන කාලෙ නැවතිලා හිටිය තැන පහල තට්ටුවෙ නැවතිලා හිටිය එක්තරා නීතිඥයෙක්. එක දවසක් රෑක නොදන්න තාලෙකට මහා ගීතයක් වගේ කවියක් ඔහු හඩ තලනව. කපුගේට මේක මහා කන්දොස්කිරියාවක් වුනා. කපුගේ පහත මාලයට බැහැල මේ නීතිඥයා මොකක්ද කරන්නෙ කියල ටිකක් හොයල බලනව.
බලපුවාම ඒ පද ගොන්න අස්සේ තියනව ලස්සන වචන ටිකක්.. කපුගේ ගොඩක් වෙලාවට ගීත පිරිපහදු කරන්න දක්ෂයෙක්... ඉතින් දෙන්නත් එක්ක සර්පිනාවත් ලග තියාගන හීනියට අඩියකුත් ගහන ගමන් රෑ එලි වෙනකල් මේ ගීතයට තනුවක් දානව
අන්න එහෙම තනුවක් දාපු ගීතය තමයි දවසක් පැලනැති හේනේ කියන්නෙ.. ඉතින් ගීතයේ පද රචනාව ගත්තම මුල් කොටසෙදි තමන්ගෙ ස්වාමියා අකලට සමුගත්ත අම්ම කෙනෙක් බොහොම දුක් මහන්සියෙන් දරුවන්ව හදාගෙන ජීවිතය ගෙනියපු කතාවක් බොහොම සුන්දර විදියට ලියල තියනවා.. ඒක පැහැදිලියි..
නමුත් ගීතයේ දෙවැනි කොටසින් තමයි ප්‍රශ්නය පටන් ගන්නෙ. එතැනදි කියවෙන්නෙ තමන්ගෙ බිරිද තමන්ව දාල ගියාම තමන්ට විදින්න සිද්ධ වුනා නින්දා අපහසය ගැන.. සමාජ අවමානය ගැන. ඔහු ඒ බව කියන්නෙ බොහොම ලස්සන පද වැලක් තමන්ගෙම ප්‍රදේශය වන නුවර කලාවියෙන්ම උදාහරණයක් අරගෙන... ප්‍රශ්න එනකොට කාලයත් එක්ක බිරිදගෙ ආදරය ටික ටික අඩු වෙලා යනව. ඒ යන්නෙ කොහොමද....
නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ...
යෝධ ඇලේ නැම්ම සැතපුමකට අගලයි.. මොකද කියනවනම් කලා වැවත් තිසා වැවත් අතර භූ විෂමතාවය ගත්තොත් තිසා වැව කලා වැවට වඩා පහත් වෙන්නෙ අඩි කිහිපයකින් විතරයි.. අන්න ඒ හේතුව නිසා කලා වැවේ ඉදන් තිසා වැවට වතුර ගෙන යන්න කපන යෝධ ඇල බැස්ම තියෙන්නෙ සැතපුමකට අගලක් බව තමයි කියවෙන්නෙ. අන්න ඒ බැස්ම වගේ තමයි ටික ටික බිරිදගේ ආදරය අඩු වෙලා යන්නෙ...
එතැනදි එලියට එනව අපි කාටත් පොදු ධර්මතාවයක්.. ඒ තමයි තමන්ට කරදරයක් වුන ඕනම වෙලාවක මුලින්ම මතක් වෙන්න තමන්ගෙ අම්ම කියන කාරනාව..
මේතන තියන ප්රශ්නය තමයි ඇත්තටම අම්ම ගැන ලියන්න ඕන වුනා නම් ගොඩක් සුන්දර වචන භාවිතා කරන්න තිබුන. දිවුල්ගනේ මහත්තයගේ ගීත ගත්තම.. කලා වැවේ නිල් දියවර අපේ අම්මා....සුනිල් එදිරිසින්හ මහත්තයගෙ ගීතය ගත්තම දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා.....අම්මා..... නන්දා මාලනිය ගත්තම මිහි මඩලේ අදුරු කුසේ දිය උල්පත අම්මා... නිහාල් නෙල්සන් මහත්තය ගත්තම කරුණා සුවද තවරාලූ හද පියුමේ මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ... ඉතින් මේ දේවල් බැලුවම අපේ ගීත සාහිත්‍යයේ මේ වගේ බොහෝ වර්ණණාවල් අම්ම ගැන තියනව... එහෙම තියෙද්දිත් මේ මව්ගුණ ගීතයේ මැද්දට තමන්ගෙ බිරිදගේ හැරයාම ඇතුලත් කිරීම මෙය හුදෙක් මව්ගුණ ගීතයක් පමණක්ද කියන ප්රශ්නය ඉතිරි වෙනවා.
ඉතින් මේ කාරණා සියල්ලක්ම සලකලා බැලුවම මේ ගීතයෙන් ඇත්තටම පෙනෙන්නෙ තමන්ගෙ බිරිද තමන්ව දාල ගියාට පස්සෙ තමන්ගෙ අම්මගෙ ආදරය සිහි කරල හිත සනසාගන් පුද්ගලයෙකුගෙ සිතේ මැවෙන හැගීම. මොකද ජීවිතේ වැඩි කොටසක් කොළඹට වෙලා හිටපු පුද්ගලයෙක් අම්මට හොදින් සැලකුවාද අම්මට මේ තරම් ලන් වෙලා සිටියද කියන එක ප්රශ්නයක්.
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ
කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment