Sri Lanka

Wednesday, October 9, 2019

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 10


අපි බලන කපොල්ල බලන්න යමු.

පෙර ලිපිය ... lමහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 09

            පේරාදෙණිය නානු ඔය පාලම පහුකරගෙන ටික දුරක් යනකොට අපිට හම්බවෙනව පේරාදෙණිය දුම්රිය පාලම. බදුල්ල බලා ගමන් කරන දුම්රිය මේ පාලමෙන් තමයි යන්නෙ.



පේරාදෙණිය දුම්රිය පාලම



 මේ පාලම පහුකරගෙන ටික දුරක් යනකොට අපිට හම්බවෙනව පේරාදෙණිය මහ පාලම. පේරාදෙණිය දෙසට ගමන් කරන සියලුම වාහන මේ මතින් තමයි ගමන් කරන්නෙ.

 

පේරාදෙණිය මහ පාලම

  නමුත් අපි මේ කාලෙ මේ පාලම උඩින් පේරාදෙණියට ආවා ගියාට ඉස්සර නම් මහනුවරට ඇතුල් වෙලා තියෙන්නෙ මීට එහායින් බලන කපොල්ල බලන දුර්ගය තරනය කරගෙන ගැටඹේ දෙසින් තමයි මහනුවරට ඇතුල් වෙලා තියෙන්නෙ.

            කන්ද උඩරට රාජධානිය පිහිටුවාගන්නෙ කොපොලු ගිරි දුර්ග වැනි ස්වභාවික ආරක්ෂක උපක්‍රම බොහොමයක් ප්‍රයෝජනයට අරගෙනයි. සෙන්කඩගල රාජධානිය ගත්තම අපිට හම්බ වෙනව කපොලු කිහිපයක්ම. බලන කියන්නෙ කපොල්ලක්, දන්තුරේ කියන්නෙත් කපොල්ලක්, ගන්නෝරුව කියන්නෙත් කපොල්ලක් ඒ වගේම ගැටඹේ කියන්නෙත් මහවැලි ග නිසා ඇති වෙන ජල කපොල්ලක්. මේ හැම තැනකම විශාල සටන් ඇති වුනා. දන්තුරේ විශාල සටනක් ඇති වුනා. දන්තුරේ සටන පෘතුගීසි ආක්‍රමණයට විරුද්ධව දේශීය නැගීසිටීමේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සලකනු ලැබේ. ලොව පළමු වතාවට එකල ප්‍රබල ජාතියක් වූ පෘතුගීසින්ගේ හමුදාවක් සිංහල හමුදාව හමුවේ සම්පූර්ණයෙන්ම පරාජයට පත්ව විනාශ වූ අතර එය ඔවුන් මුළු දිවයිනම ජයගැනීමට ඉතා ආසන්නව සිටි ශක්තිමත් අවස්ථාවක සිදුවීමද විශේෂත්වයකි. ඒ වගේම තමයි ගන්නෝරුවේදි ඇති වුන සටන. 1638දී පෘතුගීසි 'දියෝගෝ ද මෙලෝ' ආණ්ඩුකාරවරයා විසින් සිංහල රජුට විරුද්ධව උඩරට බලා මෙහෙයවන ලද 28,700ක යුද හමුදාවක් සමග 1638 මාර්තු 28 වැනිදා ගන්නෝරුවේදී බිහිසුණු සංග්‍රාමයක් ඇතිවිය. මෙම සටනේදී දෙවැනි රාජසිංහ රජුගේ සිංහල සේනාව පෘතුගීසි සේනාව සුනුවිසිනු කර, සටන ජයගෙන ඉතිරි වූ සතුරන් තිස්දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇත.

බලන කපොල්ල

අපි මේ කථා කරන කොපොලු අතරින් වැදගත්ම කපොල්ලක් තමයි බලන කපොල්ල. කන්ද උඩරට රාජධානිය ආක‍්‍රමණය කිරීමට පැමිණි පරදේසක්කාර සතුරන්ට කදිම පාඩම් කියාදුන් ස්ථානයක් වශයෙන් බලන බළ කොටුව හැඳින්විය හැකිය. කන්ද උඩරටට ඇතුළුවන ප‍්‍රධාන කපොල්ල වශයෙන් හැඳින්විය හැකි මෙම ස්ථානය පසුකරමින් පර සතුරන් ගමන් ගත්තේ අවස්ථා කිහිපයකදී පමණි. මෙහිදී සිදුවූ සටන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගරිල්ලා සටන් වශයෙන් හැඳින් විය හැකිය. අපගේ වීරෝදාර උඩරට සිංහල හමුදා අපගේ දේශයේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම සඳහා එහිදී ජීවිත පරිත්‍යාගයෙන් සටන් වදින ආකාරය එහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. එහිදී අපගේ වීරෝදාර සොල්දාදුවන් සටන් භූමියේ ඇති පිහිටීම උපයෝගී කර ගනිමින් ගස් හා ගල් පෙරළමින් ප‍්‍රතිවාදී ආක‍්‍රමිණිකයන් මෙල්ල කළ අයුරු බලන සටන්වල දී දැක ගත හැකිය. බලන දුර්ගය ආක‍්‍රමණය කිරීම සඳහා පැමිණෙන ප‍්‍රතිවාදී පරසතුරු හමුදාවන්ට එරෙහිව දැවැන්ත ගල් පෙරළා ගෙනවිත්, ආධාරක මතින් රඳවා තබාගෙන සතුරා ළඟා වූ වහාම ආධාරකය ඉවත් කිරීම මගින් සතුරා විනාශ කරයි. සතුරා පැමිණෙන මාර්ගයේ ඇති දැවැන්ත ගස් කිහිපයක් අඩක් මුලින් කපා තබා කඹ මාර්ගයෙන් ඒ සියලූ ගස් එකිනෙකට සම්බන්ධ කොට තබා සතුරා කඳු නැග ඉහළට පැමිණීමත් සමග පහළට ගස් පෙරළීම මගින් එයට ඇඳා ඇති ඉහළ ගස් සියල්ලම පෙරළීමෙන් සතුරා විනාශ කිරීම වැනි එදා උඩරට සටනට ආවේනික ගරිල්ලා ආකාරයේ සටන් ක‍්‍රම එම අවදියේ භාවිත කෙරුණි.


බලන කපොල්ල

එක්දහස් හයසිය තුනේ ජනවාරි මස 18 වැනි දින ලක්දිව ඉතිහාසයේ සුප‍්‍රකට බලන සටන ඇරඹිණි. මේ අතර දඹදෙණියට හා හාරිස්පත්තුවට විශාල පෘතුගීසි හමුදා පිරිසක් පැමිණ ඇති බව සැලවීමත් සමග සේතුපාල බණ්ඩාර සෙනෙවියා මහනුවරින් සේනාංකයක් රැගෙන ගොස් පෘතුගීසින් විශාල පිරිසක් මරණයට පත් කෙළේය. කපිතාන් ජෙනරාල් අසවේදු බලන සටන අරඹමින් තම සේනාව මෙහෙය වීය. එහිදී පෘතුගීසි සේනා එකා පිට එකා වැටී මරුමූවට පත්වන්නට විය. තම සේනාව ඉතාම පහසුවෙන් සිංහල හමුදාවන්ට ගොදුරුවන බව දැනගත් අසවේදු තම යුද සැලසුම වෙනස් කොට බලන කොටුව සීමාවෙන් ඉවතට පසුබැස විශාල කාලතුවක්කු යොදා ගනිමින් බලන කොටුවට පහරදීමට දිවා රාති‍්‍ර උත්සහ කළේය. එහෙත් කඳු හෙල් නිසා එම උත්සාහය අසාර්තක විය. අවසානයේ අසවේදු ඇතුලූ පෘතුගීසි හමුදා මාරාන්තික සටනක නිරතවෙමින් තම සේනා බලන කඳු මුදුනට රැගෙන ගියේය.


 
කපිතාන් ජෙනරාල් අසවේදු

  අසවේදු ඇතුළු පෘතුගීසී හමුදාව බලන කොටුව ආසන්නයට පැමිණීමත් සමග ඔවුන්ට එවකට තිබූ ප‍්‍රබලතම අවිය වූ බතරෝයි කාලතුවක්කු බැඳ කොටුවට පහර දෙන්නට විය. බලන කොටුවේ සිට තම සේනාංක මෙහෙයවමින් සිටි විමලධර්මසූරිය රජතුමා වෙනත් විකල්පයක් නොමැති වූ බැවින් බලන කොටුවට ගිනි තබා තම සේනා සමගින් තාවකාලිකව පසු බැස්සේය. මේ අතර බලන කොටුවට යන්නේ කෙසේ දැයි ජෙනරාල් අසවේදු විමසිල්ලෙන් සිටින විට පෘතුගීසින් අතර සිටි සිංහලයෝ බලන කොටුවට යන රහස් මාර්ගයක් පෙන්වාදීමට ඉදිරිපත් වූහ. පෘතුගීසින් එම මාර්ගය ඔස්සේ බලන කොටුවට ඇතුළු විය. එක්දහස් හයසිය තුනේ පෙබරවාරි මස 02 වැනි දින බලන කොටුවට පෘතුගීසීන් ඇතුලූ වනවිට එහි කිසිදු සිංහලයකු සිට නොමැත. එහෙත් මෙම බලකොටුව අල්ලා ගැනීම සඳහා පෘතුගීසීන්ට විශාල ජීවිත සංඛ්‍යාවකින් වන්දි ගෙවීමට සිදුවිය. බලන කොටුව අල්ලා ගැනීම සඳහා ඔවුන් වසර නවයක කාලයක් සැලසුම් කළ බැවින් ඔවුනට එදින විශේෂ දිනයක් විය. එහෙත් නැවත වරක් සේනා සංවිධානය කරගත් විමලධර්මසූරිය රජතුමා බලන කොටුවට දිවා රාතී‍්‍ර පහර දෙන්නට විය. මෙම සටනේ අවසන් ප‍්‍රතිඵලය වූයේ රට ජාතිය ආගම වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කළ අපේ සිංහල භටයන්ගේ උත්තරීතර ධෛර්යයෙන් කටුගම්පොල අට්ටාපිටිය රක්ගහවත්ත යන ප‍්‍රදේශයද උඩරට සිංහල හමුදා සතුවීමයි. මෙහිදී පෘතුගීසි හමුදාවේ විශාල පිරිසක් මරණයටපත් පත්වූහ. සිංහලයෝ පෘතුගිසීන්ගේ හිස් කඳින් වෙන්කොට ගස්වල එල්ලා ඔවුන්ගේ ජයග‍්‍රහණය සනිටුහන් කළහ.

බලන සටන

             උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානයකට තමයි කපොල්ල කියල කියන්නෙ. බලන කපොල්ල හැදෙන්නෙ බලන කන්දටත් මුදලිවත්ත කියල හදුන්වන කන්දටත් අතරමැදි වෙන කොටසින්. මේ ගිරිදුර්ගය හරහා තමයි අදටත් කන්ද උඩරටට ඇතුල් වෙන්න තියෙන්නෙ. අපි කවුරුත් දන්න ගලවිදපු හන්දිය තියෙන්නෙත් ඔය හරියෙමයි. මහනුවර දුම්රිය මාර්ගය තියෙන්නෙ ඊට මදක් ඉහළින්. බලන කොටුව පිහිටලා තියෙන්නෙ අපි මේ කියන බලන කන්දෙ. මේ බලකොටුව හදල තියෙන්නෙ මුලු හතර කෝරලයම පෙනෙන තැනක.

බලන කොටුව

 මේම සිථානය google maps වලින් නැරඹීමට මෙතනින් යන්න

            මේ බලන කොටුව සම්බන්ද බොහොම අපූරු කථාවක් තියනව. දවසක් දෙවන රාජසිංහ රජු තම මුරකාවල්වල තත්ත්වය පිරික්සීමට මඟියෙකු ලෙස වෙස්වලාගෙන බලන කඩයිම වෙත ඇවිත්. ඒ කඩඉමෙන් ඇතුළුවීමට අවසර ඇති වේලාවෙන් පසුව. අවේලාවේ කඩයිම පසු කිරීමට ඉල්ලා සිටිය දී ඒ සිටින්නේ මගියෙකු ලෙස වෙස් වලාගත් රජු බව නොදත් හේවායෙක් රජුට එම කඩයිම පසු කිරීමට ඉඩ ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ... රජතුමා ඒ සෙබලගෙන් අහල තියනව "තෝ කවුද?" පස්සෙ සෙබල කියල තියනව "බොල දැනගං මම තමයි බලනෙ ගජා" කියල. පස්සෙ රජතුමා කියනව "උඹ මොකා උනත් කමක් නෑ මට යන්න දීපන්" කියල. නමුත් සෙබල කියනව "වාසලෙන් අනක් නැතුව යන්න දෙන් බෑ" කියල කෙතරම් පැවසුවත් අවසරය ලබා නොදුන් නොදුන් නිසා දෙන්න අතර බහින් බස් වීමක් වෙනව. දෙන්නම හොදම අංගම් සටන් කාරයෝ දෙන්නෙක්. දෙන්න අතරෙ සටනක් යනව. මේ සටනෙ අවසානෙ වුනේ මොකක්ද? කොච්චර පුහුනු වුන කෙනෙකු වුනත් රජතුමා මේ ගජා කියන සෙබලට පරදිනව. රජතුමා බිම වැටෙනව. ගජා පැනල රජතුමාගෙ බෙල්ල මිරිකනව.  පස්සෙ රජතුමා කියල තියනව "යකෝ මම වාසලේ රජා උඹ බලනෙ ගජා. හෙට වරෙන් වාසලට මාව මුනගැහෙන්න" කියල. එතකොටයි දැනගන්නෙ මේ ඉන්නෙ රජතුමා කියල. පහුවදා බයෙන් ගැහි ගැහී ගජා වසලට යනව තමන්ට දඩුවමක් දෙයි කියල. නමුත් දඩුවමක් දීල නෑ. තෑගි බෝග දීල ඉහළ තනතුරක් දීල තියනව.

බලන කොටුව කියන්නේ උඩරට රාජධානියේ මුරපොළක්. පෘතුගීසි බලපෑම් නිසා මැණික්කඩවර බලකොටුව උඩරට රාජධානියට අහිමි උනාගෙන් පස්සේ ඉතිරිවුණ වැදගත්ම මුරපොළ තමයි “බලන කොටුව” කියන්නේ. නිරිත දිගෙන් කඳුකරයට ඇතුළු වෙන දොරටුවට ඉහළින් තමයි බලන කොටුව ගොඩනඟල තියෙන්නේ… මේ කොටුව ගොඩනඟල තියෙන්නේ පළමුවන විමලධර්මසූරිය රජතුමා… 1592 රජවූ විගසම අමුණූපුර මුදලි ලවා මෙම බළකොටුව ඉදිකොට ඇති අතර 1597 දි ඇතිවූ දන්තුරේ සටන පාලනයට මෙම බළකොටුව උපායමාර්ගිකව වැදගත්වි ඇති බව කියැවෙනවා… මේ බළකොටුව ඉදිකිරීමට අමුණුපුර මුදලි යටතේ සේවය කළ පිරිස් වලින් බලන ප්‍රදේශය ජානාකීර්ණ වූ බවද සඳහන්. වර්ග අඩි දෙදහකට ආසන්න බිමක පැතිරුණු බලන කොටු ගොඩනැගිල්ලේ සිව් කෙළවර මුර අට්ටාල වල පාදම හඳුනාගත හැකියි. දකුණු දෙසින් මාවනැල්ල නඟරය පසුකොට බතලේගල ප්‍රදේශය සිසාරා ඈත සබරගමුව දක්වාම දැකිය හැකි අතර, නැගෙනහිරෙන් සහ උතුරෙන් පෙනෙන්නේ නිල්වන් කඳු මුදුන් පමණයි.

බලන කොටුවට එහයින් තියනව බලන බැලුම්ගල. මේ බැලුම්ගලට මේ කපොල්ල හොදටම පේනව.

 
බැලුම් ගල

බැලුම්ගල සිතියමේ දැක්වෙන අයුරු..

 අපට හොදටම හුරු පුරුදු කඩුගන්නාව ගල විදපු හන්දියේ ඒ ගලට උඩින් තියන මහ කදුගැටයෙ තමයි මේ බැලුම්ගල පිහිටලා තියෙන්නෙ.

 
ප්‍රසිද්ධ සුද්දා ගල විදපු ස්ථිනය නැතහොත් කඩුගන්නාව උමග

මෙම ස්ථානයේ street view නැරඹීමට මෙතනින් යන්න

බලන කපොල්ල ගූගල් සිතියමේ දැක්වෙන අයුරු
මේ කපොල්ල හරහා තමයි මහනුවරට පිවිසෙන දුමරිය මාර්ගය පිහිටලා තියෙන්නෙත්...

 

බලන කපොල්ල හරහා වැටී ඇති දුමරිය මාර්ගය


 

බලන කපොල්ල හරහා වැටී ඇති මහා මාර්ගය

 කපොල්ලෙන් එක පැත්තක මාවනැල්ල. අනික් පැත්තෙන් උඩරට රාජධානිය. ඒ නිසා මේ බැලුම් ගලට මාවනැල්ල පැත්තෙන් හතුරෝ එනවනම් හොදට පේනව. එතන ඉන්න සෙබලෙක් අනෙක් මුර කපොලු වලට මේ බව සන්නිවේදනය කරනව. ඒ පනිවුඩත් එක්ක සේනාවට සතුරාට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ලේසියි.  


No comments:

Post a Comment