Sri Lanka

Thursday, July 16, 2020

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 20


දිඹුලාගල සහ පණ්ඩුකාභය කුමාරයාගේ කථාව.

             දිඹුලාගල පර්වතය අවට ප්‍රදේශය ශ්‍රි ලාංකීය ඉතිහාසයේ එක් වැදගත් සහ සුවිශේෂී පරිච්ඡේදයක් ලියවුන ස්ථානයකි. අපි මේ කතාවේ ආරම්භය අපේ පළමු කොටසින් කතා කළා. විජය රජතුමාගේ මරණයත් සමගින් ඔහුගේ සොහොයුරා සුමිත්තගේ පුතනුවන් වන පණ්ඩුවාසුදේව කුමාරයා ලංකවේ රජකමට පත්වීම සදහා පැමිණෙනවා. ඔහුගේ විවාහය සදහා ශාඛ්‍ය වංශික කුමාරිකාවක් වන භද්දකච්චායනා කුමරිය පැමිණෙනවා. අපි කතාව හමාර කළේ එතැනින්. ජැක්සන් ඇත්තනී මහතාගේ අබා චිත්‍රපටයේ එතැනින් මෙහා කතාවේ යම් කොටසක් අන්ර්ගත වෙනවා. නමුත් ඒ පණ්ඩුකාභය කුමාරයාගේ කතාවේ බොහො දෙනා කතාවෙන කොටසයි. එතැනින් එහා ඉතිහාසය අප හැදෑරිය යුතුයි. ඉතින් මහවැලි ගග දිගේ යන අපට හමුවුන මේ දිඹුලාගල පණ්ඩුකාභය කුමාරයාගේ කථාවට සම්බන්ධ වන්නේ කෙසේදැයි අප සොයා බැලිය යුතුය.

            පණ්ඩුවාසුදේව රජතුමා සමග විවාහ වීමට පැමිණි භද්දකච්චායනා කුමරිය සමග එතුමියගේ සොහොයුරන් සය දෙනෙකුද පැමිණෙනවා. ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඔවුන්ගේ නම් වලින් ගම් පුහිටුවාගෙන ජීවත් වෙනවා. රාම නම් කුමරා රාමගෝණ ගාමයි ඉදිකළේය. උරුවෙල කුමාරය උරුවෙල ගාමය ඉදිකළේය. අනුරාධ කුමාරයා ඉදිකළ ගම අනුරාධගාමයයි. විජිත කුමාරයා විජිතපුරයත් රෝහණ කුමාරයා රුහුණත් ඉදිකලේය. අපේ කතාවේ වැදගත් ස්ථානයක් හිමිවන දිඝායු කුමාරයා ඉදිකළේ දිගාමඩුල්ලයි.

            මෙසේ කුමාරවරු ඒ ඒ ප්‍රදේශ පාලනය කරන අතරතුර පණ්ඩුවාසුදේව රජවසලේ ඉතාම දෛවෝපගත සිදුවීමක් සිදුවෙනවා. ඒ සිදුවීම ලංකාවේ මහා දේශපාලනික පෙරළියක් ඇති කරාවි යයි කිසි කෙනෙක් සිතුවේ නැහැ. ඒ තමයි පණ්ඩුවාසුදේව රජතුමාට දාව භද්දකච්චායනාවගේ කුසේ දරුවන් 11 දෙනෙකු ඉපදෙනවා. ඒ අතරින් එකොළොස්වැන්නේ උපදින මහත් රූප ශෝභාවෙන් යුතු කුමරිය චිත්‍රා නමින් නම් තබනවා. නමුත් ඇගේ උපන් දවසේ ඇයගේ උපන් වෙලාවට අනූව ජන්ම පත්‍රය කියවන නැකැත් කරුවන් දේශපාලනික වශයෙන් ඉතාමත් වැදගත් කාරණයක් ප්‍රකාශ කරනු ලබනවා. ඒ තමයි මේ කුමරියගේ කුසේ උපදින පිරිමිදරුවා ඇගේ සහෝදරයන් එනම් මාමා වරුන් සියල්ල මරා දමා ලක්දිව රජ වන බවය. මේ නිමිත්ත කරුවන් පවසන දෙය ඉතාමත් තදින් විශ්වාස කරන ඇගේ සහෝදරයින් භයෙන් තැති ගන්නවා. ඒ නිසා වහාම තමන්ගේ නැගනිය මරා දැමිය යුතු යයි තීරණය කරනු ලබනවා.

            නමුත් බෞද්ධ කාන්තාවක් වුනු භද්දකච්චායනාවට අනූව මෙසේ කිරීම මහත් පාපකර්මයකි. මන්ද ඇය ශුද්ධෝදන රජුගේ සොයුරු අමිතෝධන රජුගේ පුත් පණ්ඩුශාඛ්‍යා කුමරුට දාව සුසීමා නම් කුමරියට උපන් දියණියයි. ඇය උපක්‍රමයක් යොදනවා තමන්ගේ මේ පිරිමි දරුවන් මෙල්ල කරන්නට. ඇය ඇයගේ අදහස ඔවුන්ට ඉදිරිපත් කරනවා. මේ දියණිය වැඩි වියට පත්වී පිරිමි ඇසුරකට පත්වී පිරිමි දරුවෙක් බිහි කලොත් පමණයිනෙ මේ කියන දෛවපත්‍රයේ අනාවැකිය ක්‍රියත්මක වන්නේ. ඒ නිසා කුමාරිකාව එක්ටැම්ගෙයක තබා පිරිමි ඇසුරෙන් වෙන්කර සැදීමට ඇය යෝජනා කරනවා. මේ උපක්‍රමයට තමන්ගේ පිරිමි දරුවන් කැමැත්ත ප්‍රකාශ කරනවා. චිත්‍රා කුමරිය එක්ටැම් ගෙයි වැඩිවියට පත්වෙනවා. මේ සිදුවීම උපතිස්ස නුවර මෙසේ සිදුවන විට භද්දකච්චායනාවගේ සොහොයුරෙකු වූ දඝායු කුමරුගේ දිගාමඩුල්ලේ තවත් අපූරු සිදුවීමක් සිදුවෙනවා.

            දිහාමඩුල්ල තම පාලන ප්‍රදේශය කරගත් දිඝායු කුමරුන් තමන්ගේ අගමෙහෙසිය ලෙස තෝරාගන්නේ යක්ෂ ගෝත්‍රික කාන්තාවක්. මන්ද ඉතිහාස කථා අධ්‍යයනයේදී භද්දකච්චායනාවගේ සොහොයුරන් තම විවාහය සදහා ඉන්දියාවෙන් කුමාරිකාවන් ගෙන්වාගත් බවක් අපට සොයාගැනීමට නොහැකියි. ඒ නිසා අපි විශ්වාස කරනවා දිඝායු කුමරුගේ අගමෙහෙසිය ශ්‍රි ලාංකිය යක්ෂ ගෝත්‍රික කුල කුමරියක් බව. මේ දෙපලට උපදින පිරිමි දරුවාට නම් තබන්නේ දීඝගාමිණි ලෙසයි.

            මේ දිගාමඩුල්ලේ තමයි යක්ෂ ගෝත්‍රික නායකයින් වන චිත්තරාජ සහ කාලවේල ජීවත් වන්නේ. චිත්තරාජ කාලවේල ඇතුළු යක්ෂ ගෝත්‍රිකයන්ට මේ දිඝගාමිණී කුමාරයා තමන්ගේම කෙනෙක්. ඒකට හේතුව තමයි යක්ෂ ගෝත්‍රිකයන් තමන්ගේ පරම්පරා උරුමය ලෙස පිළිගන්නේ මව් පාර්ශවයේ උරුමයයි. ඒ නිසා යක්ෂ ගෝත්‍රික කාන්තවක් මව වුන දිඝගාමිණි කුමාරයා තමන්ගේ අනාගත උරුමය යැයි ඔවුන් විශ්වාස කරනවා. ඒ නිසාමයි ඔවුන් දිඝගාමිණි කුමාරයා පෙරටුකරගෙන උපතිස්ස නුවරට යන්නේ. මේ දිඝගාමිණී කුමරුවන් උපතිස්ස නුවරට රැගෙනයාම දීර්ඝ දේශපාලනික සැලැස්මක පියවරක් ලෙස මිසක් නිකන්ම ඔහේ ගෙතූ කතාවක් නොවේ. එය ලක්වාසී මුල් පදින්චිකරුවන්ට අහිමිවූ රාජ්‍යත්වය නැවත තමන් අතට පත්කරගැනීමේ දීර්ඝ මෙන්ම සූක්ෂම සැලැස්මක්. මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ විශාල පිරිසක එකතුවෙන්. එ අතරින් වැඩි ගෞරවයක් පණ්ඩුල නම් භ්‍රාහ්මණයා ඇතුළු චිත්තරාජ සහ කාලවේලගේ පිරිසට හිමිවෙනවා.

            දිගාමඩුල්ලෙන් උපතිස්ස නුවරට පැමිණි දිඝගාමිණි ඇතුළු පිරිසට හොද පිළිගැනීමක් ලැබෙනවා. මන්ද ඒ භද්දකච්චායනවගේ බෑනනුවන් වූ බැවින්ය. මෙහි පැමිණි චිත්තරාජ සහ කාලවේල දෙපලට නිල තනතුරු ලැබෙනවා. මේ අතරින් චිත්තරාජට චිත්‍රාකුමරියගේ එක්ටැම්ගෙයි ප්‍රධාන මුරකාර තනතුර ලැබෙනවා. මේ ධුරය ලබාගැනීම පිටුපස භද්දකච්චායනව සිටිනවා යැයි සිතන්නට කරුණු කාරනා තිබේ. එයට හේතුව මේ එක්ටැම්ගෙය තනා ඇත්තේ පණ්ඩුවාසදේව රජුගේ සිරියහන්ගබඩාව අසලම බව වංශ කතා වල සදහන් වෙනවා. කෙසේ හෝ මේ ලබාගත් තනතුර නිසා දිඝගාමිණී කුමරුට එක්ටැම්ගෙය අසලට යාමට ඉඩ සලසා දීමට චිත්තරාජට හැකි වෙනවා.

            මේ වන විට නව යොවුන් වියට පැමිණ සිටි චිත්‍රාව දුටු දටුවන් මන බන්දන කුමාරිකාවක් බවට පත්වෙනවා. ඒ නිසාම ඇයට උන්මාද චිත්‍රාව යයි නම් පටබැදෙනවා. දිනක් තම කුටියේ කවුළුවෙන් පිටත බලන ඇයට කඩවසම් දිඝගාමිණී කුමරුන්ව දැකගන්නට ලැබෙනවා. දුටුවනම ඇයගේ සිත කුමාරයා කෙරේ බැදෙනවා. ඇය ඇගේ සේවිකාවගෙන් ඒ ඇයගේ ඇවැස්ස මස්සිනා බව දැනගන්නවා. කෙසේහෝ චිත්තරාජගේ උදව්වෙන් දිඝගාමිණී කුමරු එක්ටැම්ගෙය තරණය කරනවා. ඉතිහාස කතා වල සදහන් වන පරිදි දීඝගාමිණී කුමාරයා එක්ටැම් ගෙය තරණය කරන්නේ කර්කටක යන්ත්‍රයේ අධාරයෙන් බවයි. කර්කටක යනු කකුළුවෙකුගේ ආකාරයට තැනූ යන්නයි. මෙය මෙසේ යැයි කීමට තාමත් කිසිවෙක් සමත්වී නොමැත. නමුත් කුමක් හෝ උපක්‍රමයක් භාවිත කර දිඝගාමිණී කුමරුන් එක්ටැම්ගෙය තරණය කරනවා.  මෙතැන් පටන් ලක් ඉතිහාසය කනපිට පෙරලූ ප්‍රේම වෘතාන්තයක් දිගහැරෙනවා.

උන්මාද චිත්‍රා කුමරිය ( අබා චිත්‍රපටයෙන්)

            මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය නිසා උන්මාද චිත්‍රාව ගැබ් ගන්නවා. මේ ගැබ් ගැනීම සැලවූ වහාම ඇගේ සහෝදරයින් කුපිතවනවා. ඔවුන් නැවතත් චිත්‍රාව මරාදැමීමට සූදානම් වනවා. මෙතැනදීත් ප්‍රාණඝාතයට විරුද්ධ භද්දකච්චායනාව තවත් උපක්‍රමයක් යොදනවා. එවර ඇය පවසන්නේ දෛව පත්‍රය ක්‍රියාත්මක වන්නේ ඇය පිරිමිදරුවෙක් වැදුවොත් පමණක් නිසා යම් විදියකින් ගැහැණු දරුවෙක් ඉපදුනොත් මේ දෛවපත්‍රය ක්‍රියාත්මක නොවන බවයි. එම අදහසට කුමාරවරුන් කැමතිවුන නිසා නැවතත් චිත්‍රාවගේ ජීවිතය බේරෙනවා. චිත්‍රා කුමරිය එක්ටැම් ගෙයිම දසමාසය සම්පූර්ණ කරනවා.

            උන්දමා චිත්‍රව වැදුම්ගෙට කැදවනු ලබනවා. ඇගේ සහෝදරයින් කඩු අමෝරාගෙන බලා සිටිනවා ඇයට පිරිමි දරුවෙක් බිහිවුනොත් මරා දැමීමට. නමුත් කිසිවෙකුත් නොදත් රහසිගත කුමන්ත්‍රණයක් මේ වැදුම්ගෙය තුළ ක්‍රියාත්මක වුනා. භද්දකච්චායනාව විසින් ශරීර ලක්ෂණ අනූව උන්මාද චිත්‍රාව දරුවා බිහිකරන දිනයේම ගැහැණු දැරියක බිහිකිරීමට සූදානම් යක්ෂ ගොත්‍රික කාන්තාවක් රහසිගතවම වැදුම්ගෙට කැදවනු ලබනවා. මේ දෙදෙනා එකම මොහොත් දරුවන් බිහිකරනවා. යක්ෂ ගෝත්‍රික කාන්තාව ගැහැණු දැරියකත්, උන්මාද චිත්‍රාව අනාවැකියේ පරිදි මේ දෛවෝපගත කුමාරයාත් බිහිකරනු ලබනවා. කාටත් හොර රහසේම දරුවන් දෙදෙනා මාරු කරන අතර චිත්‍රා කුමරියට ගැහැණු දරුවෙකු ඉපදුන බව පෙන්වනවා. සහෝදරයන් මේ කතාව පිළිගන්නවා. නමුත් රාජ්‍ය උරුමය සහිත කුමාරයා දීර්ඝකාලීන සැලසුමකට අනූව මාලිගාවෙන් පිටමන් කරනු ලබනවා. කුම්භකභූතා නැමති කාන්තාවක අත රහසිගත පැසක දරුවා සඟවා දොරමඩලාව නැමති ගොපළු ගමට පිටත් කර හරිනවා.

කුම්භකභූතා සහ හබරා (අබා චිත්‍රපටයෙන්)

            චිත්‍රාව පිළිබදව කියවුන අනාවැකියේ සදහන් වන්නේ චිත්‍රාවට බලගතු නැකතකින් කුමාරයෙකු උපදින බවත්, ඒ නැකතින්ම කෙළඹි ගමක වෙළඹකට කළු වෙළඹ පැටියෙක් උපදින බවත්ය. චිත්‍රාවට කුමරියක ඉපදුනු බව අසා රාජකීය දෛවඥයාගේ අනාවැකිය මුසාවක් වූයේ කෙසේදැයි සිතමින් සිටින කුමාරවරුන්ට කෙළඹි ගමකට ඉස්තාලයක වෙළඹකට කළු වෙළඹ පැටියෙක් ඉපදී ඇති බව දැනගන්නට ලැබෙනවා. මේත් සමගම රජ වාසල මහත් කැළඹිල්ලකට ලක් වන අතර රාජකීය වැදුම් ගෙය තුළ සිදුවුන ක්‍රමන්ත්‍රණය පිළිබදව කුමාරවරුන් සැක පහළ කරනවා. මේ නිසාම දීඝගාමිණී කුමරුට චිත්‍රාව මුනගැසීමට උදව් කල චිත්තරාජ සහ කාලවේල හිස ගසා මරා දමුනු ලබනමා. චිත්තරාජ සහ කාලවේල උපතිස්ස නුවරට පැමි‍ණෙන්නේ තමන්ට අහිමිවුන රාජ්‍යත්වය නැවතත් ලබාගැනීමේ උදාර චේතනවෙන් නිසා මරණින් පසුව යක්ෂයන් ලෙස ඉපදී කුමාරයාට ආර්කෂාව  ලබා දුන් බව වංශ කතා වල සදහන් වේ.

චිත්තරාජ සහ කාලවේල හිස ගසා මරා දැමීම (අබා චිත්‍රපටයෙන්)

        කුමරයා රැගත් කුම්භකභුතා තඹරුකදුර නැමති කැලෑ ප්‍රදේශය දෙසට පැමිණේ. මේ වනාන්තරය යනු පඩුවස්දෙව රජුගේ දරුවන් දඩයමේ යන කැලයයි. මෙදිනත් ඔවුන් දඩයමේ ගිය දිනයකි. පැසක් සහිතව යන මේ ගැහැණිය දුටු කුමාවරු පැස බිම තැබීමට අනකරන අතර පැස තුළ මොනවාදැයි විමසනවා. ඇය මේ තුළ ඇත්තේ තම දෙමව්පියන්ට ගෙන යන ගොඩපූ යැයි පවසනවා. ගොඩපූ යනු එකල තිබූ කැවුම් විශේෂයකි. නමුත් මේ විටම වාගේ උරන් රන්චුවක් ඔවුන් අතරින් දිව ගියේය. මේ දුටු කුමාරවරු කාන්තාව අමතක කොට ඌරන් පසුපස දුව ගියහ. මේ ඌරන් එවීමේ උපක්‍රමය චිත්තරාජ සහ කලවේලගේ වැඩක් බව ඉතිහාස කතා වල සදහන්වේ.

            කුමාරවරුන් ඌරන්ගේ පසු පස දිවගිය නිසා ඒ මොහොතේ කුමාරයාගේ දිවි බේරුණි. දරුවා සහිත පැස හිස තබාගත් කාන්තාව දොරමඩලාව බලාම ගමන් කරනවා. මැය යන්නේ දොරමඩලාවේ පරුමුකයාගේ ගෙදරටයි. පරුමුකයා යනු ගම් නායකයායි. මේ දොරමඩලා ගමනද පෙර අප කියූ සැලැස්මෙහිම කොටසකි. මන්ද එදිනම පරුමුකයාගේ බිරිදටද දරුවෙකු ලැබීමට නියමිතව තිබුණි. ඇය මහ රෑ පිරිමි දරුවෙකු බිහිකළාය. හොර රහසින්ම ගමට ගෙනා කුමාරයාද ඇයට ලබා දුන් නිසා පසුදා දරුවා බැලීමට ගමට පැමිණෙන ගම්මුන්ට දැනගන්නට ලැබෙන්නේ පරුමුකයාගේ බිරිදට නිවුන් දරුවන් ලැබී ඇති බවය. මේ ලෙසින් කුමාරයා දොරමඩලාව ගොපළු ගමේ හොර රහසේම හැදී වැඩුනා. නමුත් යමි විදියකින් මාලිගාවේ සිටින කුමාරවරුන් චිත්‍රාවට ඉපදුන කුමාරයා දොරමඩලාව ගොපලු ගමේ රහසිගතව වැඩෙන බව දැනගන්නවා.

දොරමඩලාව රජමහා විහාරය
දොරමඩලාව රජමහා විහාරය Google Maps වල දැක්වෙන අයුරු


            දොරමඩලාව යනු ගොපළු ගමක්. එනම් ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගව පාලනයයි. දිනක් මේ ගොපල්ලන් තම ගවයන් තන කැවීමට රැගෙන යනවා. එසේ ගවයන් තන කමින් සිටින විට ගොපල්ලන් එක්ව දඩයමක් සොයාගනු ගබනවා. නමුත් දඩයම පුලළුස්සා ගැනීමට ඔවුන් සතුව ගින්දර නොතිබුන නිසා පිරිස අබා කුමාරයාව නිවසට එවනු ලබනවා ගින්දර රැගෙන ඒමට. නිවසට පැමිණෙන කුමරුන් තම සොහොයුරාට ගිණිහුල ලබා දී නිවසෙහි නතර වනවා. මේ වන විට චිත්‍රාවගේ සොහොයුරන් ගොපළු සංහාරය නැතහොත් ගොපලු දරුවන් මර දැමීව අරඹා තිබෙනවා. ඒ නිසා ගවයන්ට තන කවමින් සිටි සියලුම දරුවන් මරා දමනවා. නමුත් නිවසෙහි සිටි පඩු අබා කුමරුන්ගේ ජීවිතය තුන්වන වරටත් බේරෙනවා.

            මේ ගොපළු ගමේ දරුවන් දිය නාන පොකුණක් තිබෙනවා. මේ පොකුණෙහි මොවුන් දිය යට හැංගී සිටීමේ ක්‍රිඩාවක් කරනු ලබනවා. වැඩිම වෙලාවක් දිය යට සිටින කෙනාට දිනුම හිමිවේ. මේ පොකුණේ අයිනක දිරා ගිය නබඩ ගසක් තිබුනා. මෙ දිරා ගිය ගසේ තිබුන ගස්බෙනයක් දිය යටින් ඇතුල්වීමට හැකි ලෙස පිහිටා තාබුනා. කුමාරයා මේ සිදුර තුළට රින්ගා හැන්ගුන නිසා අන්තිමේටම ගොඩ ඒමට හැකිවුනා. ඒ නිසා නිතරම ජයගත්තේ කුමරුවන්. තම පිරිස කොතෙක් ඇහුවද ඔහු හැංගුන තැන කිසිවෙකුටත් කීවේ නැත. දිනක් මොවුන් දියකෙළියේ සිටින විට රාජ පුරුෂයන් පිරිමි දරුවන් ඝාතනයට පැමිණියා. ජලයේ සිටි සියල්ලන් මරා දමා පොකුණ ඉවුරෙහි තිබූ ඇදුම් ගණනට මළමිණී ගාන ගනන් කර හරිදැයි තහවුරු කරගෙන ඔවුන් යන්නට ගියෝය. ගස් බෙනයේ හැංගී සිටි කුමාරයාගේ ජීවිතය එදින සිව්වන වරටත් බේරුණි.

            සිව් වතාවක්ම ජීවිතය බේරුණ අබා කුමාරයා සොළොස්වියට පැමිණි පසුව අධ්‍යාපනය ලැබීම සදහා පණ්ඩුල නම් බ්‍රාහ්මණයා වෙත භාර කරනු ලබනවා. පණ්ඩුල යනු දොරමඩල ගම්මනාය අසල එහි දරුවන්ට අද්‍යාපනය ලබා දුන් බ්‍රාහ්මණයෙක්. එතැන් පටන් පණ්ඩුල ඇදුරුතුමන්ගේ පුතණුවන් වන චන්ද්‍ර සමග මිත්‍ර වන අබා කුමරුන් ඉතා මැනවින් ශිල්ප හදාරනු ලබනවා. ඒ නමුත් කුමාරයා දොරමඩලාවේ යහතින් ජීවත් වන බවත් පණ්ඩුල අදුරු සෙවනේ ශිල්ප හදාරන බවත් උපතිස්ස නුවර සිටින රාජකීයයන් දැනගන්නවා. මේ නිසා කුමාරයා නැසීමට ඔවුන් තව තවත් බොහෝ සමුල ඝාතනයන් සිදු කරනවා. නමුත් දොරමඩලාවේ යක්ෂ ගෝත්‍රිකයන් දිවිහිමියෙන් කුමාරයාගේ පණ රැක ගන්නවා. බොහෝ දෙනා මියගොසින් පවා කුමාරයාගේ ජීවිතය ආරක්ෂා වෙනවා.

          

පණ්ඩුකාභය කුමරු දොරමඩලේ දී (අබා චිත්‍රපටයෙන්)


මේ කාරණා මෙසේ සිදු වන විට උපතිස්ස නුවර තවත් සුවිශේෂී කාරණයක් සිදු වෙනවා. ඒ තමයි පණ්ඩුවාසුදේව රජතුමාගේ මරණය. එතුමන්ගේ මරණයෙන් පසු එතුමන්ගේ පුතුන් දසදෙනා අතරින් වැඩිමල් පුතනුවන් වන අභය කුමාරයා රාජ්‍යත්වයට පත්වෙනවා. ඔහු එසේ රාජ්‍යත්වයට පත් වන විට තරුණවියට එළැඹි පණ්ඩුකාභය කුමාරයා උපතිස්ස නුවරට එරෙහිව කැරලි ගැසීමට පටන් ගන්නවා. දිවයිනේ විවිධ ප්‍රදේශ වල සැගවෙමින් කුමාරයා සේනාව සංවිධානය කරනු ලබනවා. කුමාරයා සැගවී ඇතැයි සැක කරන අභය රජතුමාගේ සේනාව ගම්බිම් පීරනවා.

 

කසාගල

            කුමාරයා සැගවී සිට සටන් සංවිධානය කල ස්ථාන තුනක් ගැන මහාවංශයේ සදහන් වෙනවා. ඒ තමයි කසාගල, දුම්රක්ගල සහ රිටිගල. මේ කසාගල නැමති ප්‍රදේශයේ අද අපිට දකින්නට පුලුවන් කොස්සෝකන්ද රජමහා විහාරය. මේ කොස්සෝකන්ද රජමහා විහාරය අයිති කසාගල ප්‍රදේශය පණ්ඩුකාභය රජතුමා තම සටන් සදහා යොදාගත්තද මේ විහාරය පිළිබදව සදහන් වන්නේ දුටුගැමුණු රජතුමාගේ කාලයේදීය. මේ ප්‍රදේශයෙන් හමුවන සෙල්ලිපියකින් අපිට විශේෂ කාරණයක් හමුවෙනවා. මේ සෙල්ලිපිය කියවූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් මේ සෙල්ලිපිය කවි ආකාරයෙන් ලියවුන එකක් බව පවසා ඇත. එහි මහරජ ගමිණි අභය දෙවනපිය ආදී ලෙස පටන්ගෙන දුටුගැමුණු රජතුමාගේ කති නම් බිසව විසින් මේ කොස්සෝකන්ද විහාරය කරවූ බව සදහන් කර ඇත. කති යනු දුටුගැමුණු රජුට කොල්මලේදී හමු වූ රණ්මැණිකාය. එම නිසා මේ සෙල්ලිපියෙන් දුටුගැමුණු රජුගේ බිසව පිළිබදව පැහැදිලි සදහනක් අපිට හමු වෙනවා.

කොස්සෝකන්ද රජමහා විහාරයේ පිවිසුමේ ඇති තොරණ


කොස්සෝකන්ද රජමහා විහරය Google Maps වල දැක්වෙන අයුරු

කොස්සෝකන්ද රජමහා විහාරයේ ඇති සෙල්ලිපිය

            පණ්ඩුකාභය කුමාරයාට කසාගලදී සිදුවන්නේ යුධ සංවිධානයටත් වඩා බොහොම ප්‍රේමාන්විත සංසිද්ධියක්. තරුණ වියට එළැඹී යුද්ධය සදහා යන කුමාරයාට පණ්ඩුල අරණේදී පණ්ඩුල බ්‍රාහ්මණයා හරි අපූරු අනාවැකියක් ප්‍රකාශ කරනවා. ඒ තමයි “නුදුරු දිනකදි නුඹට පත්‍ර නෙලා දෙන දෑතක් අතින් ඒ පත්‍ර රන්වන් පැහැයට හැරේද, ඇය නුඹේ සහකාරිය ලෙසින් තෝරාගනින්” කියා. මේ සිතුවිල්ලත් සිතේ තබාගෙන කුමාරයා සටන් සංවිධානය කරනු ලබනවා. කුමාරයාට කසාගලින් පන්සියයක සේනාවක් සංවිධානය වෙනවා. කුමාරයාගේ මව් බිසව, උන්මාදචිත්‍රාවන් විසින් කුමාරයාගේ සටන් සංවිධානය සදහා මසුරන් පන්සියයක් එවනවා. ඒ වගේම පණ්ඩුල ඇදුරුතුමා මසුරන් ලක්ෂයක් ලබා දෙනවා. එ්ත් එක්කම තම පුත්‍රයා වන චන්ද්‍ර, කුමාරයාගේ පුරෝහිත තනතුරට පත්කර මේ සේනාවටම එක් කරනවා.

පණ්ඩුල ඇදුරු ඇතුළු පිරිස (අබා චිත්‍රපටයෙන්)


දුම්රක්ගල සටන් සංවිධානය

            පණ්ඩුකාභය කුමාරයා කසාලගින් පසුව සේනා සංවිධානය සදහා පැමිනෙන්නේ දුම්රක්ගල වෙතයි. මේ දුම්රක්ගල යනු කමක්දැයි අපි සොයා බැලිය යුතුය. දුම්රක්ගල යනු දූමරක්ඛ  පබ්බතයයි. එනම් දිඹුලාගලයි.  දුතින්දර නම් යක්ෂ සේනාධිපතියාගෙන් තමයි පණ්ඩුකාභය කුමාරයාට දිඹුලාගල ලැබෙන්නේ. මහවැලි ගග දිගේ ආව අපිට මුණගැසුන දිඹුලාගල පණ්ඩුකාභය කුමාරයාගේ කතාවට සම්බන්ධ වන්නේ මෙලෙසයි.

            දිඹුලාගල දක්නට ලැබෙන සෙල්ලිපි වලින් හෙලිවන්නේ මෙහි ඇති ලෙන් ක්‍රි.පූ මුල් සමයේ දී භික්ෂුන්ගේ ආවාස ලෙන් වශයෙන් ප්‍රයෝජනයට ගත් බවය. බෞද්ධ ආරාමයකට අවශ්‍යවූ ස්ථුපය, බොධිඝරය, පිළිමගෙය සහ උපෝසතාගාඝාර ආදී ගොඩනැගිලිවල අවශේෂ මෙහි හදුනාගාත හැකිය. සෙල්ලිපි සාක්ෂි අනූව විහාරාරාම සංකීර්ණයේ සංඝයා පන්සියයක් පමණ වැඩ වසන්නට ඇති බව පැහැදිලිවේ.

            දිඹුලාගල පර්වතයට පිවිසෙන මාර්ගය මාර වීදිය වීදිය නමින් හැදින්වේ. මෙයට නම ලැබිමට හේතු කිහිපයක් සදහන් වෙයි. එකක් නම් මාර යනු පාණ්ඩ්‍ය වංශිකයන්ට පුදකරන ගෞරව නාමයකි. ලංකාව ආක්‍රමණය කල පලයමාර, පිලයමාර, පුල්ලත්තන, දාඨිය, පීඨිය, භාහිය යන අයගෙන් පලයමාර සහ පිලයමාර යන අයගේ නම් වල මාර නම් කොටසක් ඇත. මේ කියන දිඹූලාගල මාර වීදියෙත් ඔවුනගේ යම්කිසි ඉදිකිරීමක් පැවතී එයට මාර වීදිය ලෙස නම් තබා ඇතැයි  මතයක් පවතී. අනෙක් මතය නම් මෙම වීදියේ මාරගස් තිබූ බැවින් මාරවීදිය යැයි නම් තබා ඇති බවයි. දිඹුලාගල පරිවත මුදුනෙහි ඇති චෛත්‍යය අහස් මාලිගාවයි. නැතහොත් ආකාස චෛත්‍යයයි. දිඹුලාගල සීලාලාංකාර හිමියන්ගේ මහත් වෙහෙස මහන්සියෙන් ඉදිකරවන ලද්දක් වන මේ ආකාස චෛත්‍යය ඉතාමත් සුන්දර ස්ථානයකි.

දිඹුලාගල රජමහා විහාරය Google Maps වල දැක්වෙන අයුරු
දිඹූලාගල සීලාලංකාර ලොකු හාමුදුරුවෝ

දිඹූලාගල පර්වතයේ ඇති නටඹූන්

දිඹූලාගල ලෙන් වල ඇති චිත්‍ර

දිඹුලාගල ආකාස චෛත්‍යය සම පහළ ඇති චෛත්‍යය

            දිඹුලාගල ගැන කතා කරනවිට දිඹුලාගල නායක ස්වාමීන්වහන්සේ ගැන කතා නොකරම බැරිය. මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන් 1948දී පොළොන්නරුවට වැඩමකරවීමත් සමඟ මේ දිඹුලාගල නවෝදය ඇති විය. වර්ෂ 1954දී සීලාලංකාර හිමියන් දිඹූලාගල සොයාගන්නා විට එහි ජීවත් වූයේ ආදිවාසී වැදි ජනතාවය. නමුත් සීලාලංකාර හිමියන් මහත් වෙහෙසක් දරා මෙම ස්ථානයේ ආරන්‍ය සේනාසනය යළිත් ගොඩනැගුවේය. විවිධ ජාතීන්ට අයත් දරුවන් මෙහි මහනදම් පුරා ඇති අතර වර්ථමානය වන විට මේ තුළින් බොහෝ විදවතුන් බිහිකර ඇත. නමුත් ජාතියේ අවාසනාවට 1995.05.26 වැනි දින ත්‍රස්ථවාදියෙකුගේ වෙඩි පහරින් අපේ සීලාලංකාර ස්වාමීන් වහන්සේ අපවත් විය.

            දිඹුලාගල මෑත ඉතිහාසය ගැන කථා කරපු අපි නැවතත් පණ්ඩුකාභය කුමාරයාගේ කතාව දෙසට හැරෙමු.

            කසාගලින් නික්මුන කුමාරයා ඇතුළු සේනාව ගිරිකණ්ඩ නැමති පර්වතයට පැමිණියා. එහි ගිරිකණ්ඩසිව නැමති පණ්ඩුකාභය කුමාරයාගේ මාමා කෙනෙකු පණ්ඩුවාසුදේව රජු විසින් තමන්ට ලබා දුන් මෙම ප්‍රදේශය පාලනය කරමින් සිටියා. එදා ගිරිකණ්ඩසිව තමන්ගේ හාරසිය අමුණක ප්‍රමණයකින් යුත් මහා වෙල්යායෙහි ගොයම් කප්පවමින් සිටියා. ඔහුට පාලි නැමති ඉතාමත් රූ සම්පන්න දියනියක් සිටියා.

            එදින පාලි කුමරිය රථයක නැගී තම ආරක්ෂක සේනාව සමග පියානන් ඇතුළු පිරිසට ආහාරපාන රැගෙන එමින් සිටියා. පණ්ඩුකාභය කුමාරයාගේ සේනාව කෙතට යමින් සිටි මේ රූමත් කුමරිය දැක ඒ බව කුමරුන්ට සැල කර සිටියා. කුමාරයා වහාම එතැනට ගියා. කුමරියගේ පිරිවර ජනයා දෙපසට කරමින් කුමරිය ලගට ගිය කුමරුන් කුමරියගෙන් කොහේ යන්නේදැයි විමසුවේය. එවිට කුමරිය සියලු විස්තර පැවසුවාය. දුටු වනම කුමරිය කෙරේ කුමාරයා තුළ සිතක් පහළ වුවා. එවිට "අපිටත් බඩගිනි නොවැ. අපිටත් කෑම ටිකක් දෙන්නට පුලුවන්දැ"යි කුමාරයා විමසුවේය.

            එවිට කුමරිය යානාවෙන් බැස්සාය. නුගරුක් සෙවනේ හිදගත් කුමාරයාට බත් බෙදීම පිණිස ඒ නුග රුකෙන්ම ලොකු නුගපත් කැඩුවාය. එසැණින්ම ඈ කඩන ලද නුග පත්‍ර සියල්ලම රන් පැහැයට හැරුණි. එය දුටු කුමරුන්ට.... “නුදුරු දිනකදි නුඹට පත්‍ර නෙලා දෙන දෑතක් අතින් ඒ පත්‍ර රන්වන් පැහැයට හැරේද, ඇය නුඹේ සහකාරිය ලෙසින් තෝරාගනින්” යැයි පණ්ඩුල ඇදුරුතුමන් කිවූ අනාවැකිය සිහි විය. තමාගේ රාජමහේසිකාව වෙන්නට සුදුසු වූ කුමරිය ලැබුනා යැයි සිතා කුමරුන් සතුටට පත් විය. කුමරිය සියලු දෙනාටම බත් බෙදා දුන්නාය. නමුත් බත් අවසන් වූයේ නැත. බත් තිබූ බදුනෙහි අඩු වී පෙනුනේ එක්කෙනෙකු උදෙසා බෙදා ඉවත් කල බත් කොටසක් ලෙසින්ය. මෙවැනි පුණ්‍ය ගුණයෙන් යුතු වූ පාලී කුමරිය එතැන් පටන් ස්වර්ණපාලී කුමරිය බවට පත් විය.

            පණ්ඩුකාභය කුමාරයා ස්වර්ණපාලී කුමරිය සිය යානාවට නංවාගත්තේය. තම සේනාවද සමග දිඹුලාගල බලා පිටත් විය. සිය දියණිය පැහැරගෙන ගිය පුවත ඇසූ ගිරිකණ්ඩශීව කුමාරයාට විරුද්ධව කැරැල්ලක් ඇති කරනු ලබනවා.   නමුත් කුමාරයා විසින් ගිරිකණ්ඩශිවගේ සේනාව පරාජය කරනු ලබනවා. මේ කෝලහාලය සිද්ධවුන තැන කලහනගර යැයි නම් කෙරෙනවා. නමුත් කුමාරයාට දෙවැනි කැරැල්ලකටත් මුහුණදීමට සිදු වෙනවා. එනම් කුමරියගේ සහෝදරයන් තම නැගනිය බේරා ගැනීමට සටන් මෙහෙයවනවා. මේ සටනට මුහුණ දෙන්නේ කුමාරයාගේ ප්‍රධාන අමාත්‍යයා වන චන්ද්‍ර කුමාරයා. මේ සටනිනුත් රජුගේ සේනාව ජයගන්නවා. ‍මේ කැරැල්ල ඇතිවූ තැන ලෝවාකඩ ලෙස හදුන්වනු ලබනවා.

            කුමාරයා කුමරියත් සමගින් ඉතාමත් පරිස්සමින් දුම්රක්ගල හෙවත් දිඹුලාගලට පැමිණෙනවා. යක්ෂ ගෝත්‍රිකයන් සමග කුමාරයාගේ තිබුණ හිතවත් කම මේ ප්‍රදේශයේදී තව තවත් වැඩි වෙනවා. දිඹුලාගල ගල්ලෙනක් වාසභවන කරගත් පණ්ඩුකාභය කුමරාට චිත්තරාජ සහ කාලවේල යන යක්ෂ සේනාධිපතින් දෙදෙනා ප්‍රකෘති වේශයෙන් පෙනී සිට සියළු ආධාර උපකාර කල බව ඉතිහාස කතා වල සදහන් වේ. මෙසේ කල් ගත වන අතර මේ ගල්ගෙය තුළදීම ස්වර්ණපාලි කුමරිය පින්වත් පුත්‍රරත්නයක් ලැබුවාය. මේ කුමාරයාට ස්වර්ණපාලී කුමරියගේ පියාණන්ගේ නමද අල්ලා මුටසීව යයි නම් තබන ලදී.

            චිත්තරාජ කලවේලට අමතරව තවත් බොහෝ පිරිසක් ආධාර උපකාර කරනු ලබනවා. ඒ අතරින් චේතියා නම් වෙළඹ අශ්වයාගේ කතාව ඉතාම වැදගත්. චේතියා නැමති වෙළඹ අශ්වයා පිළිබදව දිඹුලාගල සිටින කුමාරයාට දැනගන්නට ලැබෙනවා. එ අවිදියේ තිඹිරියන්ගල නැමති ගුහාවක් තිබී ඇත. ඒ ගුහාව තුළ මුළුමනින්ම සුදු වෙළඹ අශවයෙක් සිට ඇත. ඇයගේ පාද පමනක් රෝස පැහැතිය. දින ගණනාවක වෙහෙසකින් පසුව කුමාරයා මේ වෙළඹ දකිනවා.  මේ වෙළඹ අශ්වයා දුටු වනම කුමාරයා වෙළඹගේ ඇග මතට පනිනවා. මහවංශයේ සදහන් වන පරිදි ඇය අශ්ව වේශයෙන් සිටින යකින්නක්. නමුත් ඇයට වේශය අමතක වී අශ්ව වේශයෙන්ම දිව යනවා. කුමාරයා ඇය පසුපස තිඹිරියන්ගල විල වටා ඇය පසුපස වට හතක් දිව ගොස් ඇයගේ ගෙලේ ඇති ලොම් කැටියෙන් අල්ලා ගන්නවා. අල්ලාගෙන කුමාරයා ඇයව මරන්නට තර්ජනය කරන විට ඇය විසින් “මාව නොමරන්න ස්වාමීණි. මම ඔබට මේ රාජ්‍යය ලබා දෙන්නම් ” යැයි පැවසුවාය. පසුව ඇයට අභයදානය දුන් කුමරු ඇයව තමන්ගේ යුධ අශ්වයා බවට පත්කරගන්නවා.

            මේ කාරණා මෙසේ සිදුවන විට උපතිස්ස නුවරත් දුම්රක්ගලත් අතර අපූරු සන්දේශ හුවමාරුවක් සිදුවෙනවා. දුම්රක්ගල ඇතුලු පණ්ඩුකාභය කුමාරයාගේ ප්‍රදේශය පිහිටියේ මහවැලි ගගෙන් දකුණේ. උපතිස්ස නුවර පිහිටියේ මහවැලි ගගෙන් වම් පැත්තේ. දකුණු ඉවුර යනු යක්ෂ ගෝත්‍රිකයන්ගේ නිජබිමයි. ඒ නිසා මේ ප්‍රදේශයේ කුමාරයාට ආරක්ෂාවයි. මහවැලි ගගෙන් වම් පැත්තේපිහිටි උපතිස්ස නුවර පාලනය කලේ අභය රජතුමන්. අභය රජතුමා මේ මොහොතේ පණ්ඩුකාභය රජුගේ සේනාව සොයාගෙන ගොස් යුධ වැදුනහොත් තමන්ට අවාසි සහගතවන තේරුම්ගත්තා. ඒ නිසා රජතුමා කුමාරයාට වැටකෙයා පතක ලියන ලද සන්දේශයක් යවමින්, මහවැලි ගගෙන් වම් පැත්තේ ප්‍රදේශය තමන් පාලනය කරන බවත් දකුණු ඉවුර කුමාරයාට පාලනය කරන ලෙසත් පවසා සාම ගිවිසුමකට ඇරයුම් කරනවා. නමුත් අභය රජතුමා සහ පණ්ඩුකාභය කුමාරයා අතර හිතෛෂී සම්බන්ධයක් පවතින බව තිස්ස නැමති යුධකාමී කුමාරයා සැක කරනවා. මේ නිසා අභය රජතුමන්ව අල්ලා සිරගත කරන තිස්ස රජකම බාරගන්නා අතර එතැන් සිට යුද්ධය මෙහෙයවනවා.

රිටිගලදී අවසන් සටන 

            උපතිස්ස නුවර කාරණා කටයුතු මෙසේ සිදුවන විට කුමාරයා දැන් පැමිණ සිටින්නේ රිටිගලටයි. කුමාරයා තම උරුමය වෙනුවෙන් කරන සටනේ අවසාන සටන සදහා තෝරාගනු ලබන්නේ රිටිගලයි. රිටිගල යනු මහත් පුදුම උපදවන භූමි ප්‍රදේශයකි. අනෙක් කරුණ නම් රිටිගල ජයසේනගෙන් පැවතෙන යක්ඛ පරම්පරාවද වාසය කලේ මේ ප්‍රදේශයේමය. මේ පිළිබදව වෙනමම පරිච්ඡේදයකින් කථා කල යුතුය. රිටිගල යනු ජෛව විවිධත්ව සංකීර්ණයකි. ඒ වගේම මෙහි ඇති නටඹුන් වලින් කියැවෙන්නේ අතීතයේ භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරන ලද ස්ථානයක් බවය. මෙහි ඇති නටඹුන් සහ සෙල්ලිපි වලින් පැහැදිලි වන කාරණයක් නම් මෙහි භික්ෂූන් වහන්සේලාගේ පොහොයකර්ම විනයකර්ම සිදුකල ස්ථානයක් මෙන්ම භික්ෂූ රෝහලක්ද මෙහි තිබී ඇති බව සදහන්ය.

     උපතිස්ස නුවරට පහරදීමට පණ්ඩුකාභය කුමාරයාට විවිධ උපක්‍රම ගණනාවක් භාවිතා කළා  මේ නිසා උපතිස්ස නුවරට පණ්ඩුකාභය කුමාරයාව මහත් හිසරදයක් වුනා. පණ්ඩුකාභය කුමාරයා තම මාමාවරුන් රවටන්නට වැරදි පණිවිඩ යවනවා. තමන් සාමයට කැමති බව හැගවෙන පණිවිඩ යවනවා. මේවාට හසුවන මාමා වරුන් තරමක් මෙල්ල වෙනවා. ඉන් පසුව තමයි තම යක්ෂගෝත්‍රික සගයන්ගේ උදව්වෙන් උපතිස්ස නුවරට පහරදෙන්නේ.

රිටිගල පර්වතය

රිටිගල නටඹුන්

රිටිගල නටඹුන්

රිටිගල නටඹුන්

රිටිගල නටඹුන්

            කුමාරයාගේ යක්ෂගෝත්‍රික සේනාව උපතිස්ස නුවර වටලනවා. වටලා දැවැන්ත ප්‍රහාරයක් දියත් කරනු ලබනවා. මෙයට මුහුණදීමට නොහැකිව තිස්ස ප්‍රමුඛ සහෝදර පිරිසට යටත්වීමට සිදු වෙනවා. අවසානයේදී පණ්ඩුකාභය කුමාරයා තමාට විරුද්ධත්වය නොදැක්වූ අභයත්, ගිරිකණ්ඩශිව නම් තම මාමණ්ඩිය නැතහොත් ස්වර්ණපාලි කුමරියගේ පියාණනුත් හැර අනෙක් මාමාවරුන් අට දෙනාවම හිස ගසා මරාදමනු ලබනවා. ඒ තමන් වෙනුවෙන් ජීවිතය දුන් සියලුම දෙනා වෙනුවෙන්.

පණ්ඩුකාභය මහරජතුමා


            යුද්ධය අවසානයේ උපතිස්ස නුවර අල්ලාගනු ලැබුවත් පණ්ඩුකාභය කුමාරයා තම රාජාභිශේකය සදහා යන්නේ අනුරාධපුරයටයි. අනුරාධපුරය ලක් දිව අග නගරය බවට පත් කරන රජතුමා එහිදී තම රාජාභිශේකය ලබනවා. මෙත් සමගම ලංකා ඉතිහාසය වෙනත් මගකට යොමුවූ පරිච්ඡදෙයක් අවසන් වෙනවා. මෙසේ ලක්දිව එක්සේසත් කරමින් අගරජ බවට පත්වන පණ්ඩුකාභය මහරජතුමන් වසර 70ක් ලක්දිව පාලනය කර මිය යනවා. අනුරාධපුරයේ බසවක්කුලම නොහොත් අභය වැව පණ්ඩුකාභය රජතුමාගේ නිර්මාණයක් වන අතර එය ලංකාවේ පළමු වැව ලෙස පිළිගැනීමට ලක්ව ඇත. එමෙන්ම අනුරාධපුර නගරය නගරයක් ලෙස නිසි සැලසුමක් සහිතව මං මාවත්, කාණු පද්ධති ආදී පහසුකම් සහිතව නිර්මාණය කිරීමේ මුල් ගෞරවය හිමිවන්නේද පණ්ඩුකාභය රජතුමාටය.

 

අනුරාධපුර අභය වැව මත්තෙන් රුවන්වැලි මහා සෑය පෙනෙන අයුරු

No comments:

Post a Comment