Sri Lanka

Tuesday, July 28, 2020

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 21

පෙර ලිපිය මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 20


දිඹුලාගලින් පසුව නැවතත් මහවැලි ගගේ

            දිඹුලාගල වැදපුදාගෙන පණ්ඩුකාභය රජතුමාගේ කථාවත් අහපු අපි නැවතත් මහවැලි ගඟ දිගේ ඉදිරියට ගමන් කරනවා. දිඹුලාගල පෙනෙන මානයන් අංශක 90ක හැරවුමක් වම් පැත්තට ගත්ත මහවැලි ගග තවත් කිලෝමීටර් 3ක් පමණ ගියතැන අඹන් ගඟ මහවැලි ගඟට එක්වන ස්ථානය හමුවෙනවා. මේ ප්‍රදේශය හදුන්වන්නේ ගල්ලෑල්ල නමිනුයි. අඹන් ගඟ තමයි මහවැලි ගඟට එතුවෙන දිගම අතු අගංගාව. ඒ වගේම ලංකාවේ වාරි ඉතිහාසයට වැඩිම දායකත්වයක් ලබා දුන් අතු ගංගාවයි. ඒ වගේම වර්ථමානයෙත් අති විශාල කුඹුරු ඉඩම් ප්‍රමණයකට දියවර සපයන සහ මෑත යුගයේ ඉතාමත් කතා බහට ලක් වුන අතු ගංගාවයි. මේ නිසා අපි අඹන් ගගේ මුල් දියතු සොයාගෙන උඩුගම් බලා යායුතුමයි.

අඹන්ගග
            අඹන් ගගේ මුල් දියතු සොයාගෙන ගියොත් අපි යායුතු වන්නේ සීතල නකල්ස් කදු පන්තිය වෙතටයි. නකල්ස් යනු දුම්බානා කන්ද, හුන්නස්ගිරිය කන්ද, ගොම්බානා කන්ද, කලුපහණෙ කන්ද, කොබෝලීල කන්ද හා ලකේගල කන්ද ආදී කදු සංකීර්ණයේම එකතුවකට. අපේ අත මිට මොලවන විට පිටි අල්ල පැත්තෙන් ඇගිලි මුල් වල ගැටිති පිහිටන ආකාරයට එක්නෙක පරයමින් උස්ව පිහිටන කදු පන්තියක් තමයි නකල්ස් කියන්නේ.අතීතයේ දී බටදඩු කන්ද ලෙසින් හදුන්වපු මෙය මෙරටට පැමිණි විදේශිකයින් විසින් තමයි නකල්ස් නමින් හැදින්වූයේ. මේ කදු පන්තිය ඇතුළු සමස්ථ ප්‍රදේශයම හදුන්වනු ලබන්නේ රිවෙස්ටන් නමිනි. මෙම ප්‍රදේශය මේ නමින් හදුන්වා ඇත්තේ බ්‍රිතාන්‍යය ජතිකයන් විසිනි. එයට හේතුව නුවර එළියට ප්‍රථමයෙන් ඔවුන්ට හදුනාගැනීමට ලැබී ඇත්තේ මේ ප්‍රදේශයි. මේ ප්‍රදේශයෙන් දැනුන සෞම්‍ය සිසිල් දේශගුණය නිසා ඔවුන්ට නැවතත් බ්‍රිතාන්‍යයේ පරිසරය දැනේනට විය. ඒ නිසා Re + westernයන නම මුලින් භාවිතා කර පසුකාලීනව Reverston යනුවෙන් භාවිත වන්නට ඇතැයි මතයක් බවතී. මේ කදු පන්තියේ බටහිර බෑවුම් වලින් අරම්භ වන දිය සීරා එකතුවීමෙන් තමයි අඹන් ගගේ ප්‍රධාන අතු ගංගා වන සුදු ගඟ සහ කළු ගඟ නිර්මාණය කරන්නේ. 
 
නකල්ස් කදු

රිවෙස්ටන්


පිටවල පතන

            මේ දුම්බර කදු පෙදෙසෙහි පරිසරය විවිධාකාරයි. මේ පෙදෙසට යන කෙනෙකුට නුවරඑළියේ කදු ප්‍රදේශ වල දි දැනෙනවාට වඩා වෙනස් අත්දැකිම් විදගන්නට පුලුවන්. මේ ප්‍රදේශයේ පතන් බිම් බහුලයි. ඒ අතරිනුත් පිටවල පතන සුවිශේෂයි. පිටවල පතන යනු විශාල කළුගල් පර්වතයක් මත අගල් කිහිපයක් උසට තැන්පත් වූ පස් ස්ථරයක්. එම නිසා ඒ මත විශාල ගස් වලට වැවීමට හැකියාවක් නැහැ. මේ ප්‍රදේය පුරාවටම බහුලවම දකින්නට ලැබෙන්නේ තෘණ වර්ගයි. නමුත් මුලු ලෝකයෙන්ම මේ පුන්චි පස් ස්ථරයේ ජීවත්වන ජීවීන් කිහිපයක්ම සිටිනවා. රළු ගල්පර මැඩියා ඉන් එකෙක්. ඒ වගේම පතන් අල ශාඛයත්, කඳුලැස්ස ශාඛයත්, වටැස්ස ශාඛයත් මේ ප්‍රදේශයේ පමණක්ම තිබෙන ඒවා. මාංශ භක්ෂක ශෘකයක් වන නිල්මොණරුස්ස ශාඛයත් මේ ප්‍රදේශයේ පමණක්ම තිබෙන ඒවා. 
 
පිටවල පතන
            ප්‍රග් ඓතිහාසික යුගය පමණක් නොව පිටසක්වල ජීවීන් සමග ගනුදෙනු කල ස්ථානයක් බවට පත්වී තිබුණු බවට සැක කෙරෙන ප්‍රදේශයක් ලෙස මෙය හදුනාගන්නට පුලුවන්. රාම - රාවණ කතා පුවත, විජය - කුවේණි පුවත මෙන්ම ආදිවාසීන් සම්බන්ධයෙන් වූ විවිධ ජනශ්‍රැති හා ජනප්‍රවාද මෙම ප්‍රදේශය හා බැදී පවතී. එම කාරණා සනාථ වන සාක්ෂි සාධකද දුම්බර ප්‍රදේශයෙන් හමුවී ඇති බව පැවසේ. අනුරාධපුරය හා පොළොන්නරු යුගවලදී බොහෝ රජවරුන්ද දුම්බර කදුපෙත ආශ්‍රිතව සැගව සිටි බව සදහන්වේ. මේ පතනේ කෙලවරක පුන්චි ලෝකාන්තය නැමති ස්ථානයක් දැකිය හැකි අතර මෙයද මොහොර බෑවුමකි. රත්නින්ද, අටන්වල ආදී පුරාණ ගම්මාන වල හෙල්මළු කුඹුරු පතනට ඉතා හොදින් දර්ශනය වේ.
 
පිටවල පතනෙහි පිහිටා ඇති පුංචි ලෝකාන්තය
මානිගල කන්ද

ඇළහැර, බකමූණ සිට ඉලුක්කුඹුර හරහා රිවෙස්ටන් පසු කරන්නෙකුට සහ මාතලේ රතුතොට සිට මිඩිලන්ඩ් වතුයාය හරහා රිවෙස්ටන් පසු කරන්නෙකුටත් ඈතින් පෙනෙන අති විශාල සුන්දර පර්වතය වනාහි මානිගල කන්දයි. රිවෙස්ටන් වතු යායේ අතීතයේ රස්සාව කළ දමිළ කම්කරුවන්ට වෙලාව හෙවත් “මනිය” කියු ගල මනිගල ය. එනම් මානිගල ගලේ ඇති එක්තරා කුහරයක් තුළට එහි උඩ කොටසේ හෙවනැල්ල වැටෙන දිග අනූව ඔවුන් වෙලාව නිර්ණය කරගත් බව සදහන් වේ. දෙමලෙන් කියූ “මනිගල” සිංහල කටට හුරු වූයේ “මානිගල” කියාය.
මානිගල කන්ද

මානිගල කන්දේ ඇති කුහරය


තෙල්ගමු ඔය

            අඹන් ගගේ ප්‍රධානම සහ දිගම අතු ගංගාව තමයි තෙල්ගමු ඔය.අපි මුලින් කතා කල විදියට නකල්ස් වල නැගෙනහිර බෑවුම් වලින් පටන් ගන්නේ අපි මේ කියන තෙල්ගමු ඔයයි. මෙය කිලෝමීටර් 32ක් පමණ දුරක් ගෙවා ගොස් සුදු ගගට එක්වේ. ලංකාවට ආවේණික මල්පෙතියා නම් සුන්දර මත්ස්‍යයා මෙකී තෙල්ගමු ඔයේ ජීවත් වෙයි. මේ තෙල්ගමු ඔයෙත් දියඇලි කිහිපයක්ම පිහිටනවා.
තෙල්ගමු ඔය


වැද්දා පැනි ඇල්ල

            රිවස්ටන් වල ඉදින් කිලෝමීටර් 12ක් පමණ ගිය තැන ඇටන්වල ගම ආසන්නයේදී වැද්දා පැනි ඇල්ල නම් දියඇල්ල හමු වේ. පිටවල ගමට පැමිණි පිටවැද්දාගේ සොයුරු ඇටගොඩ වැද්දා පදිංචිව ඇත්තේ මෙහි බැවින් ඇටන්වල යන නම ව්‍යාවහාර වී ඇති බව ජනප්‍රවාද වල සදහන් වේ. වැද්දන් විසින් දඩයම් කල සතුන්ගේ ඇටකටු වලක් මෙහි තිබූ නිසා ඇටන්වල නම් වී ඇත. ඇටන්වල සිටි වැද්දෙකු මී පැණි කදක් ගෙන ඔය තරණය කිරීමේසී දිය ඇල්ලෙන් වැටී මිය ගිය නිසා මෙම ඇල්ල වැද්දා පැණි ඇල්ල ලෙස ව්‍යවහාර වී ඇති බව ජන කතා වල සදහන් වේ. මේ දිය ඇල්ලේ උස මීටර් 6ක් පමණ වේ.
වැද්දා පැනි ඇල්ල


සේර ඇල්ල

            තෙල්ගමු ඔයටම එකතුවෙන තවත් කුඩා ඔයක් තමයි පුවක්පිටිය ඔය. මේ පුවක් පිටිය ඔයේ තමයි සේර ඇල්ල පිහිටන්නේ. මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල අසල ස්ථානයක් වන පොත්තවෙල ගම්මානයේ තමයි මේ දිය ඇල්ල පිහිටා තිබෙන්නේ. මෙහි දිය ඇල්ල කොටස් දෙකකින් පිහිටයි. ඉහළ සේර ඇල්ල සහ පහළ සේර ඇල්ල ලෙස මේවා නම් කර ඇත. මේ දෙකම මීටර් 10ක් පමණ උස වේ.
 
සේර ඇල්ල
රජරට රන් දොරටුව සහ උකුවෙල ජල විදුලි බලාගාරය

            අපි මුලින් කතා කලා මහවැලි ගඟ පොල්ගොල්ලේ දී හරස් කර කිලෝමීටර් 8.5ක් පමණ දිග උමගක් මගින් රජරටට මහවැලි ජලය ගෙන ආ හැටි. පොල්ගොල්ලෙන් ඇතුල් වන ජලය එළියට එන්නේ උකුවෙලදීය. පොල්ගොල්ලේ දී තනි ජල කඳක් ලෙසින් අඩි 19ක විෂ්කම්භයක් ඇති උමග දිගේ එන ජලය උකුවෙලදී අඩි 9 බැගින් වූ නල දෙකකට බෙදනු ලබයි. මේ නල දෙක එතනැන් සිට මීටර් 322.4ක් ගොස් බලාගාරට ඇතුල්වෙනවා. මෙසේ නල දෙකකට බෙදා ඇත්තේ බලාගාරයේ දී මෙගාවොට් 19 බැගින් වූ ටබයින් දෙකක් ක්‍රියත්මක වන නිසාය. ඒ නිසා මෙහි දී මුලු ධාරිතාවය මෙගා වොට් 38ක විදුලියක් නපදවෙනවා. මේ නල දෙක ගමන් කරනු ලබන්නේ මහනුවර මාතලේ දුම්රිය මාර්ගයට උඩින්. මෙස් බලාගාරය අසලට එන නල දෙකෙන් තවත් නල දෙකකට ජලය බෙදා හරිනු ලබනවා. එයට හේතුව තමයි පොල්ගොල්ල හැරවුමේ ප්‍රධාන අරමුණ විදුලිබලය නිපදවීම සහ රජරටට ජලය සැපයීම. ඒ නිසා බලාගාරයේ විදුලය නිපදවීම නවතා ඇති විට ජල සැපයුම අඛණ්ඩව පවත්වාගැනීමට අවශ්‍ය නිසා මෙම අතිරේක නල දෙක නිර්මාණය කර ඇත.
 
පොල්ගොල්ල උමගෙන් ඇතුළු වන ජලය දුම්බර කදුවැටිය හරහා විත් උකුවෙලදී එළියට එන නලය

කන්ද අසලදී දෙකට බෙදුන නල දෙක බලාගාරය දක්වා වැටී ඇති අයුරු

මහනුවර මාතලේ දුම්රිය මාර්ගයට ඉහළින් ගමන් ගන්නා නල දෙක

නලදෙක බලාගාරයට ඇතුළු වෙන ස්ථෘනයෙන වෙන් වන අනෙක් නල දෙක


            මෙම විදුලි බලාගාරය විවෘත කරනු ලබන්නේ 1976 අගෝස්තු 4 වෙනිදා. මුල් අවධියේදී මෙම බලාගාරයේ මෙගාවොට් 40ක විදුලියක් නිපදවා ඇතත් වර්ථමානයේදී නිපදවනු ලබන්නේ මෙගාවොට් 38ක විදුලියක් පමණි. මේහිදී විදුලිය නිපදවීමෙන් පසු බලාගාරයෙන් එළියට එන ජලය ඇල මාර්ගයක් ඔස්සේ දුන් ඔයට සම්බන්ධ කර ඇත. දුන් ඔය තවත් කිලෝමීටර් 3ක් පමණ ගමන් කර සුදු ගගට එකතු වෙයි. සුදු ගග යනු වසර පුරාම ඒකාකාරීව ජලය ලැබෙන ගංගක් නොවේ. මේ මහවැලි දියවර එකතු කිරීමත් සමග සුදු ගග වසර පුරාම ප්‍රකෘතිමත්ව ගලයි. මහවැලි මහ සැලැස්මේ ඉදිවන පළමු ජල විදුලි බලාගාරය තමයි උකුවෙල ජල විදුලි බලාගාරය.

 
කන්දේ උමගේ කෙලවර සිට බලාගාරය දක්වා නල දෙක වැටී ඇති අයුරු Google Maps වල දැක්වෙන අයුරු

පොල්ගොල්ල සිට උමගෙහි ගමන් මාර්ගය

 
බලාගාරයෙන් එන ජලය ඇල මාර්ගයට මුදා හරින අවස්ථාවක්

ඇදන්වල ඔය

            උකුවෙල බලාගාරයෙන් නිකුත්වෙන ජලයත් එකතුකරගෙන සුදු ගඟ තවත් කිලෝමීටර් 6ක් පමණ ගිය තැන කටුදෙණිය ප්‍රදේශයෙන් ගගේ දකුණු ඉවුරෙන් තවත් අතු ගංගාවක් එක් වෙනවා. ඒ තමයි ඇදන්වල ඔය. මුහුදු මට්ටමේ සිට මීටර් 1200ක් පමණ උස් වූ මාතලේ සෙම්බුවත්ත ප්‍රදේශයේ මුල් දියතු පිහිටන මෙම ඇදන්වල ඔය කිලෝමීටර් 12ක් පමණ දුර ගෙවා විත් සුදු ගඟට එකතු වෙනවා. මේ ඇදන්වල ඔය කුඩා දියඇලි 2ක් නිර්මාණය කරනවා. 

ඇදන්වල ඇල්ල

            මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රදේශයේ ලලිම්බ නැමති ගම්මානයේ පිහිටා ඇති මෙම ඇල්ල උසින් මීටර් 12ක් පමණ වේ. උකුවෙල ඇල්කඩුව මාර්ගයේ ගමන් කර මෙම ඇල්ල වෙත පිවිසිය හැකිය.

ඇදන්වල ඇල්ල

අශ්බුරාම් වත්තේ පිහිටි ඇල්ල

උකුවෙල ප්‍රදේශයේ ඇත් අශ්බුරාම් නැමති වත්තේ පිහිටා ඇති මෙම දිය ඇල්ල එතරම් සංචාරක ආකර්ශනයට ලක්වූ ඇල්ලක් නොවේ. මේ නිසාම මෙ ගැන වැඩිපුර තොරතුරුද වාර්තා නොවේ.

 හල්කදුර ඇල්ල

හපුවිද ඔය යනු ඇදන්වල ඔයට එකතු වෙන තවත් කුඩා අතු ගංගාවකි. හපුවිද ඔයේ පිහිටලා තියනවා සුන්දර දිය ඇල්ලක්. ඒ තමයි හල්කදුර ඇල්ල. මීටර් 10ක් පමණ උසැති මෙම දියඇල්ල පිහිටා ඇත්තේ පල්ලේ හපුවිද ගමේය. මෙම ගම්මානය ලාක්ෂා කර්මාන්තය සදහා ප්‍රසිද්ධ සාම්ප්‍රදායික ගම්මානයකි.
හල්කදුර ඇල්ල


සුදු ගග දිගේ ඉදරියට

මෙසේ ඇදන්වල ඔය එකතු කරගත් සුදු ගඟ මාතතලේ නගර සීමාවට ඇතුල්වෙයි. එහිදී සුදු ගගේ අනිත් අනත්තය එහෙම නැත්තන් කළුගඟ ප්‍රධාන ගගට එකතු වෙනවා. මේ කළු ගග අඹන් ගඟට එකතුවෙන තවත් එක් කළු ගගක්. මොකද අඹන් ගගට එක්වන ප්‍රධාන කළු ගගේ තමයි ඔය කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය එහෙම පිහිටලා තියෙන්නේ.   මාතලේ බටහිර ප්‍රදෙශයේ පිහිටි කදුවැටි වලින් පෝෂණය ලබන මෙම අතු ගංගාව කිලෝමීටර් 10 ක පමණ දිගකින් යුක්තය. කදුරුවල ඇල්ල  සහ වටගොඩ ඇල්ල පිහිටා ඇත්තේ මෙම අතු ගංගාවෙහිය. මෙසේ පෝෂණය වන සුදු ගඟ මතලේ නගර සීමාවෙන් ගමන් කරයි. මේ හරියේ දී සුදු ගඟ හරස් කොට කුඩා ජල විදුලි බලාගාරය 3ක් නිර්මාණය කර ඇත.

01. ඕවල කුඩා විදුලි බලාගාරය - මෙගාවොට් 2.2
02. අන්කන්ද කුඩා විදුලිබාලාගාරය - මෙගාවොට් 6.5
03. බ්‍රැන්ෆෝඩ් පුද්ගලික විදුලිබාලාගාරය

මෙසේ ඉදිරියට උතුරු දිශාව බලා ඉදිරියට යන සුදු ගගට තවත් අතු ගංගාවක් වන බඹරකිරිඔය එකතුවෙනවා. අපි කලින් කතා කල නකල්ස් කදු පන්තියේ බටහිර බෑවුමෙන් ගමන් ආරම්භ කරන බඹරකිරි ඔය කිලෝමීටර් 25ක් පමණ දුර ගෙවා විත් සුදු ගගට එකතු වේ. මේ එන ගමනේ දී බඹරකිරිඔය, බඹරකිරිඇල්ල හා කන්ද සුදු ඇල්ල නැමති දියඇලි දෙකක් නිර්මාණ කරයි. එමෙන්ම රජ්ජම්මන බලාගාරය නැමති කුඩා ජලවිදුලි බලාගාරයක්ද මේ ඔය හරස්කොටඉදිකර ඇත.

මාතලේ අලුවිහාරය

මාතලේ නගරය පසුකරගෙන යන අපිට වැදපුදාගෙන යා යුතුම ස්ථානයක් පවතිනවා. ඒ තමයි බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් බදු වූ මාතලේ අලුවිහාරය. මාතලේ අලු විහාරය අපේ ඉතිහාසයට සම්බන්ධ වනනේ වළගම්බා රජතුමා නිසාය. මෑත කාලයේ නිර්මාණය වුන ආලෝකෝ උදපාදි නැමති චිත්‍රපටය නැරඹුවහොත් මේ ඉතිහාස කතාව ඉතාමත් හොදින් වටහාගත හැකිය. මාතලේ අලුවිහාරය අතීතයේ දී හදුන්වා ඇත්තේ මාතුල දන්ව්වේ අලුලෙන  ලෙසිනි. මාතලේ නගරය ආසන්නයේම නගරයට උතුරු දෙසින් පිහිටි වර්ථමානයේ අලුවිහාරය ලෙස හැදින්වෙන ගල් ලෙන් වලින් සමන්විත විහාරයෙහි වළගම්බා රජතුමාගේ අනුගහයෙන් එවකට වැඩසිටි රහතන් වහන්සේලා විසින් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කල බව ප්‍රකට මතයයි. එහෙත් බොහොමයක් විද්වතුන් අද වන විට මෙම කාරණාව විවාදයට බදුන් කර තිබේ. එයට හේතුව ඒ පිළිබදව සදහන් වන මූලාශයන් මේ සිදුවීමෙන් බොහෝ කලකට පසු ලියවුන ඒවා නිසාය. මෙරට පැරණිම වංශ කතා වන මහා වංශය හා දීපවංශය සදහන් කරන්නේ ත්‍රිපිටකය සහ එහි අට්ඨ කතාව පෙර සිට මහා ප්‍රඥා ඇති භික්ෂූන් කට පාඩමින් ගෙන ආ මුත් වළගම්බා රජු කල සිටි භික්ෂූන් අනාගතයේ මිනිසුන්ගේ පරිහාණිය දැක ධර්මයෙහි චිරස්තිථිය පිණිස එය පොත්වල ලියවූ බව පමණි. එය සිදුවූ ස්ථානයක් ගැන එම වංශ කතා වල සදහන් නොවේ. 
 
මාතලේ අලුවිහාරය

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන අයුරු - අලුවිහාරයේ පිළිම

            කෙසේ නමුත් බොහෝ දෙනා පිළිගන්නා මතය නම් මෙහි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කල බව නිසා වඩත් සාක්ෂි සාධක සහිතව වෙනත් මතයක් ඉදිරිපත් වෙන තුරු අපිද මෙය පිළිගනිමු. එයට හේතුව අස්ගිරි තල්පත නැමති ඓතිහාසික ලේඛනයේ මාතුල දනව්ව අලුලෙන ලෙස හැදින්වූ ස්ථානය නම් වර්ථමාන අලුවිහාරය බව පිළිගැනීම නිවැරදි විය හැක්කේ මාතුල දනව්ව නමින් හැදින්වූ වෙනත් ප්‍රදේශයක් පිලිබදව එය ලියවෙන අවධියේ අනෙකුත් මූලාශ්‍රයක සදහන් නොවන නිසා සහ වෙනත් අලුලෙනක් එම ප්‍රදේශයේ හමු නොවන බැවිනි. සිදුවීම සිදුවීමෙන් සියවස් ගණනාවකට පසු මුල් වරට සදහන් වන මූලාශ්‍රයකින් පැහැදිලි නිගමනයකට ඒම එතරම් සුදුසු නොවන බැවින් වර්ථමාන මාතලේ අලුවිහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ වූ බවට නිසැකවම කිව නොහැක. එහෙත් බුදු දහම මෙරටට හදුන්වාදුන් යුගයේ මෙම ගල් ලෙන් සඟ සතු කල බවට සාක්ෂි ඇති බැවින් මෙය එම කාලයේ සිටම පැවතෙන පුද බිමක් බව නම් අවිවාදිතය.

No comments:

Post a Comment