Sri Lanka

Saturday, August 8, 2020

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 22

 පෙර ලිපිය මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 21

 

සුදු ගග දිගේ

            මාතලේ අලුවිහාරයට ගියපු අපි මීළගට නැවතත් සුදු ගග දිගේ ඉදිරියට යනවා. මීලගට අපි පිවිසෙන්නේ බෝවතැන්න ජලාශයට. මේ ජලාශය ඉදිකරන්නට මත්තෙන් මේ ස්ථනයේදී තමයි නාලන්දා ඔය සුදු ගගට එක් වූයේ.  එසේ එක්වීමෙන් තමයි අඹන් ගග නිර්මාණ වන්නේ. මේ නිසා අපි නාලන්දා ඔය ගැනත් කතා කල යුතුමය.

නාලන්දා ඔය සහ නාලාන්දා ජලාශය

නාලන්දා ඔය ඇරඹෙන්නේ මාතලේ වයඹ පිහිටි බිලගල, අස්ගිරිකන්ද, මකුළුස්ස, අම්බොක්ක, අරංගල ආදී කදු ශිකරවලින් ගලා හැලෙන දිය දහරා වලිනි. නාලන්දා, අවුසැල්ල ආදී කෙත් යායවල් පෝෂණය ලබන්නේද නාලන්දා ජලාශයෙනි.

            ශ්‍රී ලංකාවේ පළමු කොන්ක්‍රීට් වේල්ල සහිත ජලාශය 1957 දීවැඩ ආරම්භ කර 1959 දී වැඩ නිම කෙරුණු නාලන්දා ජලාශයයි. එය අතිශයින්ම විස්මය විස්මය දනවන වාරි නිර්මාණයකි. මෙහි වේල්ලේ දිග අඩි 402 කි උස අඩි 102 කි. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසයේ පිහිටි නාලන්දා ජලාශයට මහනුවර යාපනය A 9 මාර්ගයේ 48 වැනි කිලෝමීටර් කණුව ආසන්නයෙන් දකුණු දෙසට තිබෙන මාර්ගයෙන් කිලෝමීටර් 1.2ක් පමණ ගිය තැන නාලන්දා ජලාශය හමු වේ. මෙම ජලාශයේ පෝෂක ප්‍රදේශය වර්ග සැතපුම් 48කි. ජලාශයේ දියවර නිකුත් වන්නේ වැමැඩිල්ල සහ දේවහූව ජලාශ වලටය. 

නාලන්දා ජලාශය
 

මේ ජලාශය විවෘත කරන ලැබුවේ එංගලන්තයේ එඩින්බරෝ ආදිපාද වරයා විසිනි. මෙරට වාරි ඉතිහාසයේ ඉංජිනේරුවන් අතින් ඉදිවූ මුල්ම කොන්ක්‍රීට් වේල්ල සහිත ජලාශය මෙය වේ. මෙහි ජලය පසෙකින් බෝවතැන්න ජලාශයට යාවෙන අතර අනෙක් පසින් වෑමැඩිල්ල ජලාශය ඔස්සේ මාතලේ සහ අනුරාධපුර ප්‍රදේශ වල කෙත්වතු සරුසාර කිරීමට දායක වෙයි.

 

නාලන්දාවේ ඉතිහාසය

            මේ නාලන්දා ප්‍රදේශය පරාක්‍රමබාහු රජුගේ කදවුරක් වී තිබූ බවට ඉතිහාසයේ දහන් වේ. එනම් පරාක්‍රමබාහු රජු අගරජු වීමට ප්‍රථම ගජබා රජු සහ රුහුණේ මානාභරණ රජු සමග කල සටනේ දී මෙම ස්ථනයේ බලකොටුවක් ඉදිකර ඇත. රටේ හරි මධ්‍යය මේ ප්‍රදේශයේ පිහිටා ඇති නිසාමදෝ 1818 වැනි කැරලි මර්ධනය කිරීමටද ඉංග්‍රීසීන් විසින් ද මෙහි කදවුරක් ඉදිකල බව සදහන් වේ. තවත් කාරණාවක් තමයි ඉංගීසි පාලන සමයේ ත්‍රීකුණාමලයේ සිට මහනුවරට යෑමට පාරක් මේ නාලාන්දාව හරහා වැටී තිබූ බවෙට සදහනක් පෙරදිග ඉන්දීය වෙළද සමාගමේ වාර්තා වල සටහන්ව තිබෙනවා. තවද ෆෝබ්ස් වාර්තා වලද තමන් නාලන්දාව හරහා මහනුවරට ගමන් කල බව සදහන් වේ.

 

බෝවතැන්න ජලාශය

මහවැලි මහ සැලැස්මට අනූව ඉදිවුන ජලාශයක් වන බෝවතැන්න ජලාශයේ වැඩකටයුතු ආරම්භ කරන්නේ 1973 දී වන අතර 1976දී විවෘත කරනු ලබනවා. මේ වේල්ලෙහි දිග මීටර් 226ක්. වේල්ලෙහි උස මීටර් 30කි. මේ ජලාශය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණු 3ක් හදුනාගත හැකිය.

01. පෝල්ගොල්ලෙන් හරවන මහවැලි ජලය උකුවෙලින් එළියට ආ පසු සුදු ගග හරහා පැමිණ ගබඩා කරන්නේ මෙහිය. මෙහිදී පටන් ගන්නා කිලෝමීටර් 6.8ක් දිග ලෙනදොර උමග මගින් රජරටට ජලය බෙදා හැරීම මෙහි එක් අරමුණකි.

02. මේ ජලාශයෙන් පහළ පිහිටි වැව් වලට ජලය නිකුත් කිරීම. මේ වෙල්ලෙහි පිහිටි මඩසොරොව්ව මගින් එම ජලය බෙදාහැරෙන අතර  ප්‍රදේශයේ පාරිසරික අවශ්‍යාවයන් නිසා ගඟ පහළ මළ ගඟක් බවට පත්වීමද වළක්වයි.

03. වේල්ලෙන් පටන් ගන්නා තවත් උමගකින් කිලෝමීටර් 1.5ක් පමණ දුර ගෙනගොස් බෝවතැන්න විදුලිබලාගාරයෙන් මෙගාවොට් 40ක පමණ ජලවිදුලියක් නිෂ්පාදනය කිරීම. බලාගාරයට ලබාගන්නා ජලය නැවතතන් අඹන් ගගටම එක්වේ.

 

 

බෝවතැන්න ජලාශය

නාලන්දා ගෙඩිගේ

            ලංකාවේ මධ්‍ය ලක්ෂය නැතහොත් ලංකාවේ හරි මැද පිහිටා ඇත්තේ නාලාන්දාවේ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. එමනිසා මධ්‍යලක්ෂය හදුනාගැනීම පිණිස නාලන්දා ගෙඩිගේ ඉදිකල බවට මතයක් ගොඩනැගුනා. තවත් විශ්වාසයකට අනූව රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් තමන්ගේ යාගහෝම කටයුතු සදහා මේ ස්ථානය භාවිත කළ බවත්, මේ ස්ථානයේ විශ්ව ශක්තියක් ගැබ්ව ඇති බවත් කියවෙනවා.

            නාලන්දා ගෙඩිගේ පිළිබදව මුලින්ම සඳහනක් හමුවන්නේ 1893 දී ඉංග්‍රීසි ජාතිකයන්ගේ වාර්තා වලයි. පසු කලෙක ප්‍රසිද්ධ වැඩ දෙපර්ථමෙන්තුව නම් ආයතනය විසින් එකල කුඹුරු යායක පිහිටා තිබූ මේ ඓතිහාසික ගොඩනැගිල්ල රජයට පවරාගෙන ඇත. මේ ස්ථානයේ මුලින්ම තහවුරු කිරීමක් සිදුකර ඇත්තේ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස් වරයා වන එචි. සී.පී බෙල් මහතා විසින් 1911 දී ය. පසුව 1953දී එවකට පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් දෙවන වර තහවුරු කිරීමක් සිදු කලා. නමුත් 1970 දී බෝවතැන්න ජලාශය ඉදිකිරිම නිසා නාලන්දා ගෙඩිගේ යටවීමේ තර්ජනයට ලක් වූවා. මේ නිසා එකල සිටි පුරාවිද්‍යාඥයන් ගෙඩිගේ ගලවා යළිත් ප්‍රතිනිර්මාණය කිරීමට සැලසුමක් සකස් කලා. මේහි ඇති සෑම ගලකටම අංක යොදා සැලසුම් සකස් කල ඔවුන් ගෙඩිගේ ගලින් ගල ගලවා වෙන් කලා. ඉන් පසු එම භූමිය කැණීම් කලා. මෙලෙස ගෙඩිගේ ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කරන ලද්දේ 1977 දීය. මුලින්ම ගෙඩිගෙය ගලවා ඉවත් කර එම භූමිය පස් පුරවා අඩි 23ක් උස් කර සකස් කලා. ඊට පසු මහාචාර්ය පී. එල් ප්‍රේමතිලකගේ උපදේශකත්වය යටතේ එය නැවත ඉදිකරීම ආරම්භ කලා.  ලංකාවේ නැවත ගලවා සකස් කල එකම පුරාවිද්‍යා ගොඩනැගිල්ල වන්නේ නාලන්දාව පමණයි. නැවත ගොඩනගන ලද ගොඩනැගිල්ල විවෘත කලේ 1985 ජූනි 13 වන දාය. නමුත් මේ ඉදිකිරීම අධ්‍යනය කරන නූතන ඉතිහාසඥයන් මෙම නැවත ඉදිකිරීමේ දී ගොඩනැගිල්ලේ දිශා වෙනස් කර ඇති බවට මතයක් ඉදිරිපත් කරනු ලබයි. එනම් ගොඩනැගිල්ලේ වහලය ඉදිකර ඇත්තේ එහි වක්‍රාකාර ප්‍රදේශය සූර්යා ගේ ගමන් මාර්ගය හා සමපාත වන ලෙසය. නමුත් අද එහි දිශාව වෙන් කර ඇති බවය. මේ පිළිබදව එක් එක් මතයන් ගොඩනගා ඇති නිසාත් ගොඩනැගිල්ල පිළිබදව ප්‍රභල සාක්ෂියක් තවමත් සොයාගෙන නැති නිසාත් අපහට මේ කිසිවක් පිළිබදව නිවැරදි මතයක් ඉදිරිපත් කල නොහැකිය.

1890 දශකයේ නාලන්ද ගෙඩිගේ


             මෙහි කැනීම් සිදුකිරීමේ දී බොහෝ දුරට ගෙවී ගිය සේල්ලිපයක් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගනු ලැබුවා. එය දැනට ගෙඩිගේ අසල කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. එවකට මේ ස්ථානයේ විහාරයක් පැවති බව ඉන් හෙලි වෙනවා. එහි කියවෙන්නේ විෂමාචාර ලෙස හැසිරෙන විහාර කාර්මිකයන් විහාර භූමියෙන් නෙරපිය යුතු බවත්, මිනීමරුවන්, සොරුන් විහාර භූමියට වැද්ද නොගත යුතු බවත්, විහාරයේ සියලු කටයුතු සංඝ සම්මුතියෙන් කළ යුතු බවත්ය. මෙහි ඇති අකුරු වල ලක්ෂණ අනූව මෙම සෙල්ලිපිය ක්‍රි.ව 9, 10 සියවස් වලට අයත් බව නිගමනය කර ඇති අතර මෙම කරුණු පාදක කොටගෙන නාලන්දා ගෙඩිගෙය ක්‍රි.ව 8-10 සියවස් අතර කාලයේ දී නිමවන්නට ඇතැයි සමහර ඉතිහාසඥයන් පවසනවා. මෙහි නිර්මාණ ශෛලිය පල්ලව සම්ප්‍රදායට නෑකම් කියනවා. දකුණු ඉන්දියාවේ පාලර් නදී මුවදොර, මහාබලිපුරම්හි කදුගැටයක පිහිටි මාමල්ල ශෛලියේ නිර්මාණ සම්පූර්ණ කළු ගලින් නිමවා තිබෙනවා. ඒ අතර නාලන්දට සමාන ගොඩනැගිලි හමුවෙනවා. කෙසේ වෙතත් දකුණු ඉන්දීය පල්ලව වාස්තු විද්‍යා ලක්ෂණ සහිත අප රටේ ඇති එකම ගොඩනැගිල්ල නාලන්ද ගෙඩිගෙයයි.

            මෙම ගොඩනැගිල්ල හින්දු මෙන්ම බෞද්ධ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ද ඇතුළත් ගොඩනැගිල්ලකි. මෙහි ඉදිරිපස පිවිසුම බෞද්ධ විහාරයක් මෙන් නිර්මාණය කර තිබෙනවා. මෙහි වහල ද සහිත සම්පූර්ණ ගොඩනැගිල්ලම කළුගල් කුට්ටි භාවිතයෙන් ඉදිකර තිබෙන අතර ඒවා පුරුද්දා ඇති ආකාරය ඉතා සියුම්ය. ගොඩනැගිල්ලට පිටින් එය වටකර ගඩොලින් නිමවූ ප්‍රාකාරයක් තිබූ බවට සතකුණු තිබේ. මෙය හින්දු මෙන්න බෞද්ධ වාස්තු විද්‍යාත්මක ලක්ෂණද ඇතුළත් ගොඩනැගිල්ලක් වන අතර පිවිසුම බෞද්ධ විහාරයක් මෙන් නිර්මාණ කර තිබෙනවා. එහි ප්‍රවේශය වෙනත් බෞද්ධ වෙහෙර විහාර වල මෙන්ම සදකඩ පහණ, කොරවක්ගල සහ පියගැටපෙළකින් යුක්තය. කොරවක් ගලෙහි ලියවැලකින් යුත් මකර රුවක්ද කැටයම් කර ඇත.

            මෙම ගොඩනැගිල්ලෙහි ගල් කණු 24කින් යුත් ආලින්දයක් වැනි කොටසක් සහිතයි. අන්තරාලයේ මණ්ඩපයක් ද එයට සම්බන්ධ කර ඇත. ගොඩනැගිල්ල වටා ගමන් කිරීමට ප්‍රදක්ෂිණා පථයක්ද සහිතය. අන්තරලය මත දක්නට ලැබෙන කැටයමින් යුක්ත ශිර්ෂය හින්දු කොවිලක් සිහිගන්වයි. ගොඩනැගිල්ල මැද පිහිටි ගර්භය තුළ ඇත්තේ අභය මුද්‍රාවෙන් යුත් හිටි බුද්ධ පිළිමයකි. එහි අනුරාධපුර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරයි. මෙහි පිටත බිත්ති වලින් මතුකර පෙන්වා ඇති කැටයම් පුරාණ පල්ලව සම්ප්‍රදායට නෑකම් කියයි. ගල්කුට්ටි වලින් තනා ඇති බිත්තියේ වාමන හිස්, සත්ව රූප සහ පේකඩ ආදිය දැකගත හැකිය.





පියස්ස ඇතුළතින්

සංවදායට තුඩුදී ඇති මෛතූන්‍ය කැටයම

සමරු ළුලකය
 

            ඉන්දියාවේ කාජුරාහෝ වැනි දේවාල වල විවිධ ලිංගික ඉරියව් සහිත කැටයම් සුලභ වුවද ලංකාවේ එවැනි කැටයමක් හමුවෙන එකම ස්ථානය නාලන්දා ගෙඩිගෙය පමණයි. මෙහි බිත්තියේ පහළ පේකඩයක තුන්දෙනෙකු පසුපසින් ලිංගිකව රමණය කරන ආකාරය දැක්වෙනවා. මෙම ස්ථානයේ කණුවක දක්නට තිබූ තවත් මෙවන් කැටයමක් පිළිබදව 1910-11 වර්ෂ සදහා වූ එච්.සී.පී බෙල් මහතාගේ පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවේ සදහන් වන මුත් මේ වන විට සොයාගැනීමට නොහැක. මෙම කැටයම නිසා මෙම ස්ථානය බෞද්ධ ආගමික ස්ථානයක් නොවන බවත් මෙය රාවනා යුගයට අයිති සූර්ය දෙවොලක් බවත් සමහරුන් පවසනවා. එනම් මෙය ඉදිකර ඇත්තේ සූර්යා නමස්කාර කිරීමට සහ විශ්ව ශක්තිය සමග ගනුදෙනු කිරීමට බවත් බෞද්ධ අංග පසුව රජවරුන් විසින් කල ප්‍රතිසංස්කරණ වලදී එක්වූ ඒවා බවත් ඔවුන්ගේ මතයයි.

 

බෝවතැන්නේ සිට රජරට බලා යන මහවැලි ජලය

            අපි පෙර සදහන් කල පරිදි පොල්ගොල්ල හැරවුමත්, උකුවෙල බලාගාරයත්, බෝවතැන්න ජලාශයත් යන තුනම මහවැලි මහ සැලැස්මේ මුල් අදියරේ ඉදිකිරීම් වේ. එකල මෙම ව්‍යාපෘතිය සැලසුම් කල පිරිසට බෝවතැන්න දක්වා ජලය ගෙන ආ පසු එතැනින් එහාට රජරට දක්වා ජලය ගෙනයාමට තවත් අභියෝගයකට මුහුණ දීමට සිදු විය. එනම් බෝවතැන්න ජලාශය වටා ඇති මුළු පරිසරයම කදු වලින් වටවී තිබීමයි. මේ නිසා බෝවතැන්නේ සිට උමගක් මගින් මෙම ජලය ඉදිරියට ගෙන යාමට තීරණය කරන ලදී. මේ අනූව බෝවතැන්න ජලාශයේ සිට කිලෝමීටර් 6.8ක් දිග සහ අඩි 11ක විෂ්කම්භයක් ඇති උමගක් නිර්මාණය කරන ලදී. මේ උමග ලෙනදොර උමග ලෙසින් හැදින්වේ. උමග අවසන් වන නාඋල ප්‍රදේශයෙන් දඹුලු ඔය ආරම්භ වේ.

            අපි මේ කියූ දඹුලු ඔය ආරම්භ වන ස්ථානයට එපිටින් මේ දියවර නැවත දෙකට බෙදේ. එයින් එක් ඇලමාර්ගයක් දඹුලු ඔය ලෙසින්ම ඉදිරියට යන අතර අනෙක් ඇල මාර්ගය හුරුළු වැව පෝෂිත ඇල ලෙස හුරුළු වැව බලා ගමන් කරයි. මහවැලි MH කපාලයට අයිති හුරුළු වැව ප්‍රදේශයට මෙන්ම හුරුළු වැවෙන් පහළ යාන් ඔය ද්‍රෝණිය, හබරන, සීගිරිය සහ කන්ඩලම ප්‍රදේශ සඳහාද මහවැලි දියවර ගෙනයනු ලබන්නේ මේ හුරුලු වැව පෝෂිත ඇලයි. බෝවතැන්න ජලාශයේ සිට ලෙනදොර උමග මගින් ගෙන එනු ලබන ජලයෙන් සියයට තිහක් පමණ මෙම ඇලට මුදා හැර අනෙක් සියයට හැත්තෑව දඹුලු ඔයට මුදා හරී.

            ලෙනදොර උමගෙන් පටන් ගන්නා දඹුලු ඔය කිලෝමීටර් 20ක් පමණ ගෙවා ගොස් ඉබ්බන්කටුව ජලාශයට එක් වෙනවා. මේ ඉබ්බන්කටුව ජලාශයද ඉදිකරනු ලබන්නේ මහවැලි ව්‍යපෘතිය යටතේමයි. මෙහි බැම්මෙහි දිග කිලෝමීටර් 1.5කි. එහි උස මීටර් 12කි. මෙම ජලාශය වර්ග කිලෝමීටර් 5ක පමණ පැතිරී තිබෙනවා. දඹුල්ල අවට ගොවිබිම් වලට ජලය සපයනු ලබන්නේ මෙම ජලාශයයි. ඉබ්බන්කටුව ජලාශයෙන් පටන් ගන්නා තවත් ඇලක් කිලෝමීටර් 16ක් පමණ ගොස් කලා වැවට එක්වෙනවා. මහවැලියෙන් පටන්ගෙන මෙසේ කලාවැවට එක්වන විට මහවැලි ජලය කිලෝමීටර් 90ක් පමණ දුර ගෙවාගෙන විත් තිබේ. එදා රජ දවසට වඩා අද වන විට කාලගුණික තත්වයන් වෙනස් වෙමින් පවතී ඒ නිසාම නිසි කලට රටේ සෑම ප්‍රදේශයකටම වැසි නොලැබේ. එදා රජදරුවන් ඉදිකල මහා ජලාශ වලට පවා නියන් සමයන් වලදී ජලය හිග වේ. මේවාට පිළියම් වශයෙන් කදුකරයේ මහවැලි නිම්නයේ සිට කලාවැව නිම්නයට මහවැලි දියවර ගෙන එමින් යල, මහ කන්න දෙකම වගා කරගැනීමට ගොවි ජනතාවට දිරිය දෙමින් රට සශ්‍රීක කරන්නට වෙර දැරූ සෑම කෙනෙකුට අපගේ ස්තූතිය හිමි විය යුතුය.


ඉබ්බන්කටුව ජලාශය


බෝවතැන්න ජලාශයේ සිට ලෙනදොර උමගෙහි ගමන් මග


පොල්ගොල්ල සිට කලාවැව දක්වා මහවැලි ජලය ගමන් ගන්න ගමන් මග

No comments:

Post a Comment