කුරුණෑගල අනුරාධපුර ප්රධාන මාර්ගයේ පාදෙනියේ සිට මාර්ග අංක 57 ඔස්සේ පැමිණෙන විට මිනුවන්ගැටේ පසුකරන විට හමුවන්නේ දැදුරු ඔයයි. අතීතයේ මේ දැදුරු ඔය හදුන්වා ඇත්තේ ජජ්ජර නදී නමිනි. දැදුරු ඔය පසු කර මීටර් 150ක් පමණ ගිය තැන තවත් කුඩා ඇලක් හමු වේ. එය වර්ථමාන රිදී බැදි ඇල්ල වාරි ඇලයි. නමුත් අපි මේ කතා කරන්නේ මෙයින් වසර 1700කට පමණ පෙර ඉදිවූ රිදී බැදි ඇල්ල ගැනයි.
ඒ මහසෙන් රජතුමන් මාගල්ල වැව සදා නිම කල අවදියයි. වැව නිම කර ටික කලක් යන විට වැවේ ධාරිතාවයට ප්රමාණවත් තරම් ජලය නොලැබෙන බව රජුට පෙනී ගියේය. එම නිසා මෙම වැවට ජලය ලබා ගැනීමට ක්රමයක් කල්පනා කරමින් රජු එදවස් ගතකරමින් හුන්නේය. දිනක රජු ගමනක් යන විට දැදුරු ඔය හරහා ගමන් කරන්නට සිදුවී ඇත. රජු ගමන් කරන්නට පැමිණි ස්ථානයේ තිබූ සිදුවීමක් ගැන රජු වඩාත් සැලකිලිමත් විය. එම ස්ථානයේ දැදුරු ඔය හරහා ස්වභාවික ගල් වැටි පිහිටා තිබුණ ස්ථානයකි. එය ඔයේ ජලය අඩු නියන් සමයකි. එම නිසා එම ස්ථානයේ කාන්තාවක් මේ ස්වභාවික පිහිටීම ප්රයෝජනයට ගෙන ගල්වැටියක් බැද අමුණක් සාදාගෙන තමන්ගේ රෙදි පොට්ටනි සෝදමින් උන්නාය. මෙය දුටු රජු ඇයගේ මේ බුද්ධිය පිළිබදව මහත් විශ්මයට පත්වී ඇත. මෙම ස්ථානය තම වැවට ජලය ලබා ගැනීමට අමුණක් ඉදිකිරීමට හොදම ස්ථානය බව වටහාගත් රජතුමා එම ස්ථානයෙන් දැදුරු ඔය හරස් කර අමුණක් බැද ඇලමාර්ගයක් ඔස්සේ මාගල්ල වැවට ජලය ලබාගෙන ඇත.
එම ස්ථානයේ ගල් වැටියක් බැද රෙදි සෝදමින් හුන්නේ එකල රෙදි සෝදන කුලයේ කාන්තාවකි. රෙදි සෝදන කුලය හදුන්වන්නේ රදා කුලය නමිනි. එම කුලයේ කාන්තව පොදුවේ හදුන්වා ඇත්තේ රදවි නමිනි. එම නිසා රජු ඇයගේ නුවනක්කාර කම සිහිවීම පිණිස එම ඇලට “රදවි බැදි ඇල්ල” නමින් නම් තබා ඇත. පසුකාලීනව ව්යවහාරයත් සමග රදිවි බැදි ඇල “රිදී බැදි ඇල්ල” බවට පත්වී ඇත. රිදී බැදි ඇල්ල සම්බන්ධ ජනප්රවාදය එයයි
ක්රි. ව 1855 දී ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ සර් හෙන්රිවෝඩ් ආණ්ඩුකාර තුමාට මෙම අමුණෙහි නටඹුන් මෙන්ම නටඹුන්වී ගිය මාගල්ල වැව ගැනද දැන ගන්නට ලැබී ඇති අතර ඒ පිළිබදව සොයා බැලීමට මේජර් ස්කිනර් මහතාට භාර කල බව ඉතිහාස වාර්තා වල සදහන්වේ. එහි ප්රතිඵලයක් ලෙස 1873 දී එවකට ආණ්ඩුකාරවරයා විසින් මාගල්ල වැව ප්රතිසංස්කරණය කර ඇත.
මහාමාන්ය ඩී.එස් සේනානායකයන්ගේ වාරි ව්යාපෘති යටතේ (1937-1949) පැරණි රිදීබැදි ඇල්ල තිබු ස්ථානයේම නව රිදීබැදි ඇල්ල නිර්මාණය කරමින් පැරණි වාරි ඇලෙහි ඉතිරිවී තිබූ කොටස් සමග නව වාරි ඇල සම්බන්ධකර මාගල්ල වැවට ජලය ලබාගැනීමට කටයුතු කර ඇත. මහසෙන් රජුට කරන ගෞරවයක් වශයෙන් මෙම අමුණටද රිදී බැදි ඇල්ල නමින් නම් තබා ඇත. මෙම අමුණ අසල ඇති පුවරුවක මේ පිළිබද තොරතුරු ඉංග්රීසි බසින් සදහන් කර ඇත. ඔබත් සංචාරයට කැමති අයෙක් නම් මේ ස්ථානයද නැරඹිය යුතුම ස්ථානයකි.
No comments:
Post a Comment