Sri Lanka

Saturday, June 29, 2024

උඩරට මැණිකේ 13

 


පෙර ලිපිය උඩරට මැණිකේ 12


උඩරට මැණිකේ සුන්දර දුම්රිය චාරිකාවේ කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා අපි මෙතෙක් පැමිණි ගමනට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීමක් ලබා ගැනීමට මෙතැන් සිට ඉදිරියට යන අපට ඉඩකඩ ලැබේ. උඩරට ගමනේ සුන්දරම කොටස ආරම්භ වන්නේ රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පසුවය. රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ඉදිරියට ඉතාමත්ම මනස්කාන්ත මෙන්ම රසාලිප්ත දර්ශන රැසක් අප නෙත ගැටෙනවා නොඅනුමානය. ලංකා දුම්රිය ඉතිහාසයේ ඉතාමත් වැදගත් කාරණා රැකට සම්බන්ධ වන රඹුක්කන දුම්රිය ස්ථානය පසු කරමින් අද අපි තවත් ඉදිරියට ගමන් කරමු.


රඹුක්කන සිට ඉදිරි මා ර්ගය

රඹුක්කන සිට සිට ඉදිරි ගමන පිළිබදව තවත් වැදගත් යමක් පැවසිය යුතුය. එනම් බදුල්ල රාත්‍රි තැපැල් දුම්රිය ගමනයි. බදුල්ල රාත්‍රි තැපැල් දුම්රිය සාමාන්‍යෙයන් මැදිරි 10කට වඩා වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ කර ඇති දුම්රියකි. එම නිසාම කොළඹ සිට එම මැදිරි ඇදගෙන පැමිණෙන M6 ජර්මානු දැවැන්තයාට රඹුක්කන සිට ඉදිරියට ඇති සීඝ්‍ර නැග්ම තනිවම නැගීමට අපහසුය. මේ නිසා රාත්‍රි තැපැල් දුම්රිය පැමිණෙන තුරු සූදානම් කර තිබෙන තවත් දුම්රිය එනිජිමක් මෙම දුම්රියේ පිටුපසින් අවසන් මැදිරියට සම්බන්ධ කරනු ලබයි. බොහෝ විට මෙම එන්ජිම M5 පන්තියේ ජපන් සගයෙකු හෝ W3 වර්ගයේ ජර්මානු සගයෙකු වේ.  එම දුම්රිය එන්ජිම මගින් ඉදිරියේ ඇති දුම්රියට කන්ද තරනය කිරීමට සහයක් ලබා දෙයි. මෙම කොටසේ දී දුම්රිය වේගය පැයට කිලෝමීටර් 20ක් තරම් වූ මන්දගාමී ගමනක යෙදෙයි. මෙසේ සම්බන්ධ කරන දුම්රිය කඩුගන්නාව දුම්රිය ස්ථානයේ දී ඉවත් කරනු ලබයි. පසුව එය බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා පැමිණෙන රාත්‍රි තැපැල් දුම්රියට සම්බන්ධකර මෙම සීඝ්‍ර පල්ලම් බැසීමට සහය වීම සදහා සූදානම් කර තබයි.


රාත්‍රි තැපැල් දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයට පැමිණීම


රාත්‍රි තැපැල් දුම්රිය පැමිණෙන තුරු සූදානමින් සිටින M5 ජපන් මිතුරා


අමතර එන්ජිම රාත්‍රි තැපැල් දුම්රියට පසුපසින් සම්බන්ධ කිරීම


රඹුක්කනින් ඉදිරියට ගමන් ආරම්භ කිරීම

රඹුක්කන සිට ඉදිරියට දුම්රිය මාර්ගය ඉහළ කෝට්ටේ දක්වා ගමන් කරන විට ඉතාමත් සීඝ්‍ර නැග්මක ගමන් කරයි. මෙතැනින් ඉදිරියට ඉතාමත් ප්‍රපාතාකාර බෑවුම් සහ දුම්රිය උමන්, මෙන්ම ගැඹුරු හෙල් සහිත පාලම්ද බොහෝ විට හමු වේ. එම නිසාම මෙම ගමන ඉතාමත්ම විනෝදකාමී මෙන්ම ත්‍රාසජනක ගමනක් බවට පත්වේ. එම නිසාම උඩරට මැණිකේ දුම්රිය සම්බන්ධ කරගෙන ලියවුන ගීත බොහොමයක් මතකයට නැගේ..


උඩරට කඳුකරයේ
ගමනක් යන කලයේ
දුම්රිය උඩරට මැණිකේ
ස්වර්ණා හමුවූයේ


******************


ලස්සන තාලෙට තිස්සෙම ගැස්සෙන යනවිට ගමන අගේ
ලිස්සන පීල්ලෙ කැරකෙන රෝදේ දුටුවම පුදුම නැගේ
 
මැණිකෙල බල බල නුවරට යන කල සුන්දර සිහින මැවේ
තේ වතු පොල් වතු ඈතින් කඳු පෙළ සැනසිලි සිසිල ගෙනේ
 
උතුරට දකුනට යන එන හැමවිට සිරි දෙව්දූ හමුවේ
පෙම් සිත් හමුවන තොරතුරු කියවෙන දිව යන තිප්පල වේ
 
උඩරට මැණිකේට පට කුඩ දෙක දෙක අරගෙන ගිය ගමනයි
රජවරු මැතිවරු මංගල නැකතට කැඳවා ගිය ගමනයි
 
*******************
රඹුක්කන දුම්රිය ස්ථානයත් ඉදිරියේ දී හමුවන ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථනයත් අතර අඩි 800කට ආසන්න නැග්මක් පවතී. මෙම නැග්ම සිදුවි ඇත්තේ ආසන්න වශයෙන් දුම්රිය මාර්ගය අඩි 45 ක් ඉදිරියට ගමන් කරන විට එක් අඩියක් පමණ ඉහළට එසවෙන ලෙසයි. එනම් 1:45 අනුපාතයටයි. මෙම ගමනේදී රඹුක්කනට පසුව මීලගට හමුවන දුම්රිය ස්ථානය කඩිගමුව දුම්රිය ස්ථානයයි. රඹුක්කන පසු කරමින් කදුගැට අතරින් දිවෙන තරමක් කැලෑබද ප්‍රදේශයක කිලෝමීටර් 4ක්පමණ ගමන් කල විට ළග ළග පිහිටි දිගින් අඩු අංක 02,03 බිංගෙවල් හමු වේ. ඒතැන් සිට තවත් මද දුරක් ගිය විට තරමක දිගින් යුතු අංක 04 බිංගෙය හමුවේ. එමන්ම කඩිගමුව දුම්රිය ස්ථානයට තරමක් මෙපිටින් රඹුක්කන මාවනැල්ල මාර්ගයේ දුම්රිය මාර්ගය හරහා දුම්රිය මාර්ගයට යටින් ගමන් කරන උමගක්ද දක්නට ලැබේ. මේ ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගය කෙමෙන් කෙමෙන් කදුකර ප්‍රදේශයට ඇතුල් වේ.

අංක 02 දරන උමග


අංක 02 උමග රාත්‍රි තැපැල් දුම්රියට දිස්වෙන අයුරු


අංක 03 දරන උමග


කදුවැටි කපාගෙන ඉදිරියට ඇදෙන දුම්රිය මාර්ගය


කඩිගමුව දුම්රිය ස්ථානය අවට


රඹුක්කනින් පසුව සුන්දර ඉසව් කරා අපව රැගෙන යන අයුරු



කඩිගමවු දුම්රිය ස්ථානයේ දී රාත්‍රි තැපැල් දුම්රියේ ටැබ්ලටය ලබා ගනිමින්


අංක 04 දරන උමග



කඩිගමුව උමග

කඩිගමුවෙන් පසුව යටිවැල්දෙණිය සහ ගංගොඩ දුම්රිය ස්ථාන හමුවේ. යටිවැල්දෙණිය සහ ගංගොඩ දුම්රිය ස්ථාන අතරදී අංක 05 දරන බිංගෙය හමුවේ. එය ආසන්න වශයෙන් දිගින් අඩි 700ක් පමණ වේ. ගංගොඩ පසුවූ විට දුම්රිය මග දෙපස සුන්දරත්වය තවත් වැඩිවේ. ඉදිරියේදී වම් පසින් විශාල අලගල්ල කන්ද දිස් වේ. එතැන් සිට දුම්රිය මාර්ගය දිව යන්නේ අලගල්ල පර්වතය ඇතුලට කපාගෙන ගොස් නෙරුවක් සාදාගෙන ඒ මත ඉදිකල දුම්රිය මාර්ගයයි. එම නිසාම මෙතැන් සිට වම් පසින් මහා විශාල තාප්පයක් බදු කපා සකස් කල අලගල්ල පර්වතයත් දකුණු පසින් මහා ප්‍රපාතාකාර බෑවුමකුත් දිස් වේ. එම බෑවුමෙන් ඈත දෙස බැලූ විට අපිට දිස් වන්නේ උතුවන්කන්ද සහ බතලේතල කන්දයි.



අංක 05 දරන උමග


ගංගොඩ දුම්රිය ස්ථානය


ගංගොඩ දුම්රිය ස්ථානය රාත්‍රි තැපැල් දුම්රියේ දී


අලගල්ල පර්වත මායිමෙන් ඉදිරියේ සුන්දරත්වය


අලගල්ල පර්වත මායිමෙන් ඉදිරියේ සුන්දරත්වය


අලගල්ල පර්වත මායිමෙන් ඉදිරියේ සුන්දරත්වය

ගංගොඩ දුම්රිය ස්ථානය පසුවූ විට ඉතාමත් සුවිශේෂී බිංගෙයක් හමු වේ. එනම් අංක 5A ලෙස නම් කර ඇති මියන්ගල්ල උමගයි. එය වර්ථමානය වන විට ලංකාවේ දුම්රිය උමන් අතරින් දිගින් තුන්වන ස්ථානය ගන්නා බිංගෙය බවට පත්වී ඇත. උඩරට මාර්ගයේ හමුවන අවසාන දුම්රිය උමග අංක 43 ලෙස නම්  කර තිබුනද මියන්ගල්ල බිංගෙය  අංක 5A ලෙස නම් කර ඇති බැවින් සහ ඉදිරියේදී හමුවන මෙලෙසම නම් කළ අංක 9A උමගත් නිසා සමස්ථ උමං ගණන 45 බවට පත්වේ.

මෙකී මියන්ගල්ල උමග ඉදි කිරීමත් එහි ඉතිහාසයත් පිළිබදව අපූරු කතාවක් අපට ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී හමුවේ. 

ආච්චිට හාල් ගැරූ මියන්ගල්ල

ගංගොඩ දුම්රිය ස්ථානය පිහිටි ප්‍රදේශයේ සිට ඉදිරියට දුම්රිය මග ඉදිකරන බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ඉන් පසුව හමු වූයේ අලගල්ල පර්වතයයි. ඔවුන් එම පර්වතය  පසෙකින් කැපුමක් යොදා නෙරුවක් සාදාගෙන ඉදිරියට මාර්ගය සදා නිම කරගෙන ගොස් තිබේ. නමුත් මෙ මාර්ගයේ දකුණු පසින් පහිටන්නේ මහා භයානක ප්‍රපාතාකාර බෑවුමකි. ඒ අතරම ඔවුනට මෙම කොටසේ දී තවත් බාධකයකට මුහුණ දෙන්නට සිදු විය. එනම් මෙම කොට අතරතුරදී අලගල්ල කදු මුදුනේසිට දුම්රිය මාර්ගය හරහා ගමන් කරන මියන් ඇල්ල නමින් හදුන්වූ දිය ඇල්ල පිහිටීමයි. අලගල්ල කදු වැටියෙන් ආරම්භ වන දිය පහරකින් ආරම්භ වන මියන් ඇල්ල නිර්මාණය කරන මෙම කුඩා ඔය වලගොඩ ඔයයි. පහළ ගම් කීපයක් ඔස්සේ ගලා බසින මෙම ඔය පසුව මා ඔයට එක්වේ. වර්ෂා කාලයේදී විශාල ජල ප්‍රවාහයක් මෙම දිය ඇල්ලෙන් පහළට වැටී දුම්රිය මාර්ගය තැනීමට නියමිත ප්‍රදේශය හරහා ගලා බසින නිසා එය විශාල අභියෝගයක් විය.

මේ හේතුව නිසා ඔවුන් මුලින්ම දියඇල්ල ආරම්භ වන ස්ථානයට බොහෝ ඉහළින් ජලපහර හරස් කොට දෙකට බෙදා පහළට වැටෙන්නට සලස්වා ඇත. එමගින් එක් වර එක් ස්ථානයකින් විශාල පල ප්‍රවහායක් පහළට කඩා හැලීම පාලනය කරගෙන ඇත. පසුව එම ජලය ගලා බසින ස්ථාන දෙකේදී පර්වතය ඇතුළට හාරා ජලපහර දුම්රිය මාර්ගයට වැටීම වළක්වාගෙන ඇත. පසුව එම ජල පහර දුම්රිය මාර්ගයට පහළින් යන ලෙස බෝක්කුවක් ඉදිකර ඒ මතින් දුම්රිය මාර්ගය තනා ඇත. මෙම දිය ඇල්ල මුලදී මියන් ඇල්ලලෙස හැදින්වුවද බ්‍රිතාන්‍යයන්ගේ උච්චාරන අපහසුතා නිසා එය මියන්ගල්ලබවට පත්වී ඇත. එම නිසා මෙම මාර්ගය ඉදිකල දුර්ගය මියන්ගල්ල දුර්ගය’ (Meengalla Pass)   ලෙස හදුන්වා ඇත.

අලගල්ල පර්වතදේ දී කන්ද තුළින් ගමන් නොකර පැති මාර්ගයක් තනා මාර්ගය සැදුවද මේ ඔස්සේ දුම්රිය ගමන් කරවීමේ දී විවිධ කරදර බාධක ඇති විය. අධික වර්ෂාව පවතින විට මේ ආශ්‍රිතව බොහෝ නාය යෑම් සිදුවී ඇති අතර දුම්රිය මාර්ගයට ගල් කුට්ටි කඩා වැටීම්ද නිරන්තරයෙන් සිදුවී ඇත. අධික වර්ෂාවත් සමගම වැඩි වන මියන් ඇල්ලේ ජල පහර ප්‍රමාණයෙන් විශාල වී දුම්රිය මාර්ගයට පතිත වන්නට පටන්ගෙන ඇත. මේ නිසා දුම්රිය මාර්ගය සේදී යාමේ අවදානමට ලක්වී ඇත.

 

අච්චිට හාල් ගැරූ කතාව සිදුවන්නේද දුම්රිය මාර්ගය මෙවන් අවධානමකට ලකිවී තිබූ සමයේ දීය.  එනම් වර්ෂ 1897දී කොළඹ සිට නානු ඔය බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය මහා ඛේදවාචකයන් සිනිටුහන් කරමින් මෙම ප්‍රපාතයෙන් පහළට පෙරලී විනාශ වී ඇත. එම නිසා 1906 දී අඩි 1364ක් දිගකින් යුතුව මියන්ගල්ල දුම්රිය උමග ඉදිකර දුමරිය මාර්ගය මහනුවර දක්වා උමග තුළින් ගමන් කරවා ඇත. මෙම බිංගෙය නිර්මාණය කර ඇති කළුගල ඉතාමත්ම ශක්තිමත් පාෂාණයකි. එම නිසාම මෙම උමග දෙපසින්ම කැණිම් කර ඇත. අර්ධ කවාකාර වංගුවක් සහිතව මෙම බිංගෙය නිර්මාණය කර ඇත. මේ තුළින් දුම්රියකට ගමන්කිරීමට විනාඩියක පමණ කාලයක් ගත වන අතර පයින් ගමන් කරන්නෙකුට විනාඩි හතරක පහක පමණ කාලයක් ගතවේ. මෙම උමග තැනීමේ දී උමගට පිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීමටත් ඇතුලත එකතු වන ගල් කැබලි ඉවත් කිරීමටත් උමග මධ්‍යෙයන් එලියට කුහරයක් තනා ඇත. එය අවසන් වනනේ මියන් ඇල්ල පහලට ඇදහැලෙන තැනට පිටුපසිනි. අධික වර්ෂා සමයක දුම්රිය උමග තුළින් ගොස් මෙම සිදුරට ඇතුළු වී මියන් ඇල්ල පහළට කඩා හැලෙන අයුරු බලා සිටීමට අපූරු දර්ශනයකි.

ඉහත කී පෙරලුන දුම්රිය පිළිබදව ගැමියන් අතර අපූරු ජනප්‍රවාදයක් පවතී. මෙහි පෙරලී ගිය දුම්රියේ ප්‍රරවාහනය කර ඇත්තේ හාල්ය. ගමේ සිටි ආච්චිලා විසින් මෙම සහල් එක්රස් කර ඇත. නමුත් මෙම හාල් වලට වැලි කලවම් වි තිබුන නිසා ඒවා ගරන්නට සිදුවී ඇත. ගමේ තරුණ පිරිස්ද ආච්චිලාගේ උදව්වට පැමිණ ඇත. ඒ යන එන ගමනේ දී තවත් කෙනෙකු හමු වුව හොත් ඔවුන් පවසා ඇත්තේ ආච්චිට හාල් ගරන්න යනවායනුවෙනි. එම ප්‍රකාශය අද දක්වාම ජන වහරේ පවතී.


මියන්ගල්ල දුර්ග මාර්ගය එකල


මියන්ගල්ල දුර්ග මාර්ගය එකල


මියන්ගල්ල දුර්ග මාර්ගය එකල


මියන්ගල්ල දුර්ග මාර්ගය එකල


දුම්රිය මාර්ගයට ඉහළින් තිබූ ගල් කුට්ටි දුම්රිය මාර්ගය වෙත කඩා වැටී ඇති අයුරු


මියන් ඇල්ල දිය ඇල්ල


මියන්ගල්ල උමග ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථනය දෙසින්


අංක 05A මියන්ගල්ල උමග

මියන්ගල්ල උමග සිට දිය ඇල්ල දෙට ඇති විවරය ඇතුළතින්

මියන්ගල්ල උමගෙන් ඉදිරියට ඇදෙන උඩරට මැණිකේ (බලවේග කට්ටල දුම්රිය භාවිතයට පෙර)

මියන්ගල්ල මාර්ගයේ අතහැර දැමූ කොටස අද දිස්වන අයුරු

මෙම ප්‍රදේශදී උඩරට අන්‍යතාවය කියාපාන හෙල්මළු කුඹුරු අපිට දැකගත හැකි වේ. දුම්රිය මාර්ගයට පහළින් පෙනෙන එම දර්ශනය මනස්කාන්තය. මේ ප්‍රදේශයේදී මන්දගමීව ගමන් කරන දුම්රිය මේ අවට පරිසරයේ සුන්දරත්වය හිතේ හැටියට විදගැනීමට ඉඩහසර සලසයි. ඈතින් පෙනෙන මීදුම් සළුව පොරවාගත් කදුවැටිත් කදුකරයේ මද පවනත් අවටින් ඇසෙන කුරුළු ගීත නාදයත් මනසට ඉතාමත් චමත්කාරජනක බවක් එක්කරයි. මේ ප්‍රදේශයේදී අපි කලින් සදහන් කල උතුවන්කන්දත්, බතලේගල කන්දත් විටින් විට දිස්වේ. 

 

උඩරට හෙල්මළු කුඹුරු

මියන්ගල්ල දුම්රිය උමග පසුකරන අපට ඉන් පසුව හමුවන්නේ ඉහළ කෝටේ දුම්රිය ස්ථානයයි. එය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 96.74 ක දුරකින් සහ මුහුදු මට්ට්මේ සිට මීටර් 322.17ක උසින් පිහිටයි. එය කොළඹ කොටුවේ සිට හමු වන 43 වන දුම්රිය ස්ථානනයි. මධ්‍යම ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් සහිත මෙම දුම්රිය ස්ථානය මුල් අවධියේ ගලගල්ල නමින් හදුන්වා ඇත. අලගල්ල පර්වතය අසල පිහිටා තිබීම එයට හේතු වන්නට ඇත. ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට මදක් ඔබ්බෙන් තවත් ගොඩනැගිල්ලක් දැකිය හැක.  ඉංග්‍රීසි යුගයේ ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල එවකට දුම්රිය මග ඉදිකල කොන්ත්‍රාත් කරුගේ නිල නිවස හැටියටත් පසුව දුම්රිය නිල නිවාසයක් හැටියටත් භාවිතා කර ඇත. වසර සියයකටත් වඩා පැරණි මෙම ගොඩනැගිල්ල අද දක්වාම සංරක්ෂණය කර පවතී.

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය



 

රාත්‍රි තැපැල් දුම්රිය ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය වෙත ළගා වෙමන්


ඉහළ කෝට්ටේ පසුකර යන රාත්‍රි තැපැල් දුම්රිය


ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති ඉපැරණි ගොඩනැගිල්ල


මීලග කොටසින් ඉහළ කෝට්ටේ සිට උතුවන්කන්දටත් බතලේගලටත් යමු.

 

සටහන

චතුරංග ජයසුන්දර






Friday, June 14, 2024

උඩරට මැණිකේ 12


 

 

පෙර ලිපිය උඩරට මැණිකේ 11 

 

 උඩරට මැණිකේ දුම්රිය ගමනේ ඉතාමත් සුන්දරම ඉසව් වලට පිවිසීම ආරම්භ වන්නේ පොල්ගලවෙල දුම්රිය ස්ථානයේ පටන් ය. පොල්ගහවෙල සිට ඉදිරියට ඉතාමත් මනස්කාන්ත මෙන්ම රසාලිප්ත දර්ශන රැසක් කාගේත් නෙත ගැටෙනු නොඅනුමානය. වර්ෂ 1866 නොවැම්බර් මස 01 වැනි දින පොල්ගහවෙල දුම්රිය ස්ථානය විවෘත කිරීමෙන් පසුව ඉදිකිරීම් කටයුතු දිගින් දිගටම කරගෙන ගිය ඉදිකිරීම් කරුවන් වර්ෂ 1867 වන විට මහනුවර දක්වාම දුම්රිය මාර්ගය ඉදි කර අවසන් කළහ. පොල්ගහවෙල සිට රඹුක්කන දක්වාම දිව යන්නේ ද්විත්ව දුම්රිය මාර්ගකි. පොල්ගහවෙල සිට පට්ටිපොල දක්වා ගමන 1:44 ක නැග්මකින් යුතුව දිව යන බව දුම්රිය වාර්තා සටහන් අධ්‍යයනය කරන විට පෙනී යයි. එනම් අඩි 44 ක් දුමරිය මාර්ගය ගමන් කරන විට එක් ඩියක් දුම්රිය මාර්ගය ක්‍රමානුකූලට ඉහළට එසවේ. පොල්ගහවෙල සිට කදුකරය බල ගමන් ආරම්භ කලද දුම්රිය මාර්ගය දෙපස බොහෝ දුරක් යන තුරු තැනිතලා ස්භාවයක් පෙන්නුම් කරයි. එම නිසාම පෙනෙන තෙක් මානයේ කුඹුරු යායවල් දැකිය හැකිය.

පනලිය දුම්රිය ස්ථානය සහ පනලිය රජමහා විහාරය

මෙසේ ගමන් අරඹන දුම්රිය ඉතාමත් සුන්දර මාර්ගයක් ඔස්සේ පනලිය දුම්රිය ස්ථානයට පැමිණේ. මෙම දුම්රිය ස්ථානය ගැන විශේෂයෙන් සදහන් කල යුත්තේ ලක්දිව අතීත ශ්‍රී විභූතිය සොය යන සංචාරකයෙකුට ඉතා වැදගත් ස්ථානයක් වන පනලිය රජමහා විහාරය වෙත මෙම දුම්රිය ස්ථානයේ සිට ගමන් කල හැකි නියාය. පනලිය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිය කිලොමීටර් 77.5ක දුරිකින් සහ මුහුද් මට්ටමේ සිට මීටර් 74.11ක උසින් පිහිටයි.

පනලිය දුම්රිය ස්ථානයෙන් දුම්රියෙන් බසින කෙනෙකුට දුම්රිය ස්ථානයේ  අසලින්ව වැටී ඇති රඹුක්කන-වල්ගම-පනලිය මාර්ගයේ ඊදැල්ල වත්ත නැමති රබර් වතුයාය මැදින් ගමන් කර පනලිය ගෝඨාභය රජමහා විහාරයට පිවිසිය හැකිය. මෙම විහාරයේ ඉතිහාසය ක්‍රි.පූ දෙවන සියවසේ රුහුණේ රජකම් කළ ගොඨාභය රජ සමය දක්වා දිව යයි. ගෝඨාභය රජතුමන් විසින් විහාරය ඉදි කිරීම සදහා අනුග්‍රහය දක්වා ඇත. මේ බව විහාරස්ථානයෙන් හමුවූ පුස්කොල පොතක සදහන් වන බව කියැවේ. මුලින්ම ගල් ගෙනක් තුළ සැතපෙන පිළිපමක් නිර්මානය කර ඇත. එමෙන්ස ගෝඨාභය රජුට තෑගි ලෙස හමුවි තිබූ බෝධියක්ද මෙහි රෝපණය කර ඇත.

නමුත් පසු කාලයක සීතාවක රාජසිංහ රජුගේ බෞද්ධ විරෝධී ක්‍රියාකාරකම්න නිසා මෙම විහාරස්ථානයේ වැඩසිටි භික්ෂූන් වහන්සේලා විහාරය හැර ගිය බව ජනප්‍රවාදයේ කියැවේ. එමෙන්ම මහනුවර රජකම් කළ පළමුවන විමලධර්මසූරිය රාඡ්‍ය සමයේ කන්ද උඩරටට පහරදීමට ගමන් ගත් පෘතුගීසි හමුදාවක් මෙම විහාරස්ථානය සමීපයේ කදවුරු බැදගත් බවත් ඔවුන්නේ ක්‍රියාකාරකම් නිසා විහරස්ථානයේ තිබූ සැතපෙන පිළිම වහන්සේ කැඩීබිදී ගිය බවද පනප්‍රවාද වල කියැවේ.

එයින් බොහෝ කලකට පසුව තිබ්බටුවාවේ සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සත්කෝරළ මහා දිශාව වූ මීගස්තැන්නේ අධිකාරමගේ මූලිකත්වයෙන් නැවත මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කර ඇත. එම නිසාම අද වන විට මෙහි දක්නට ඇත්තේ කටාරම් කෙටූ ගල් ලෙන වටා බිත්ති බැද උළු සෙවිලි කල වහලයක් සහිත විහාර ගෙයකි. මෙහි ඇති පිළිමය සහ බිතු සිතුවම් මහනුවර යුගයට සමීපතාවයක් දක්වයි. සිතුවම් වල වර්ණ හා රේඛා හැසිරවීමේ දී ඉතාමත් දක්ෂ සිත්තරුන් මෙම සිතුවම් නිර්මාණය කර ඇති බව සිතිය හැකිය. මෙහි පියස්සෙහි ඇති සිතුවම් අතර නෙළුම්, සපු, වැටකේ වැනි පාරම්පරික මල් මෝසතරද විවිධ ලියවැල් රටාද වල සිතුවම්ද දැකිය හැකිය.

පනලිය ගෝඨාභය ලෙන් විහාරය


ලෙන් විහාරයේ ඇතුලත සිතුවම්

පනලිය සිට රඹුක්කන දක්වා

තුන්තොට

පනලිය සිට ගමන් අරඹන උඩරට මැණිකේ දුම්රිය තිස්මල්පොල, කොරොස්ස සහ යටගම දුම්රිය ස්ථාන පසු කරයි. මෙම යටගම දුම්රිය ස්ථානය පසුකර මද දුරක් ගිය විට තවත් සුව්ශේෂී මෙන්ම ඉතාමත් සුන්දර ස්ථානයක් හමුවේ. එනම් රඹුක්කන ඔයත් මා ඔයත් එක්වන තුන්තොට නැමති ස්ථානයයි. මේ අසල ඇති දුම්රිය පාලම තුන්තොට පාලම නමින් හැදින්වේ. දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී මෙම පාලම වර්ෂ 1866 ඉදිකර ඇත.

මෙම පාලම මත සිට අවට දෙස බලන්නෙකුට ඈතින් පෙනෙන හරිත පැහැ කදු යාය මනස්කාන්ත සිතුවමක් මවා පායි. එමෙන්ම පාලමට පහළන් ගලන රඹුක්කන ඔයත් ඉදිරියෙන් ගලය මා ඔයට රඹුක්කන ඔය එක්වන ස්ථානයත් මනරම් දසුනක් මවාපායි. අරනායක පිහිටි අසුපිනි ඇල්ල නිර්මාණය කරමින් ආරම්භ වන මා ඔය කිලෝමීටර් 134 ක දුරක් ගෙවා ගොස් මීගමුව කොචිචකඩේ පාලම අසලින් මුහුදට වැටෙයි.

චාර්ල්ස් ද සිල්වා සමරසිංහ සිරිවර්ධන මහාතා විසින් රචනා කර ඇති ලංකා වර්ණනාව(1915)  නම් කෘතියේ මා ඔය පිළිබදව සදහන් කර ඇත්තේ මෙලෙසයි

‘‘දිග හැතැම්ම 68කි. දොළොස්බාගේ රාක්ෂව නමැති කන්දේ කම්මල් දොරටුව නම් ස්ථානයෙන් පටන් ගෙන උතුරු දෙසට ගොස් තලගොල්ලේ ඔය සම්භවෙන හරියේදී බස්නාහිර දෙසට හැරී පොල්ගහවෙල සමීපයේ පටන් බස්නාහිර සහ වයඹ පළාත් දෙකට මායිම් ව ගලා ගොස් කම්මල ළඟින් මුහුදට වැටේ. මහනුවර යන දුම්රිය පාර මෙය හරහට යයි. රඹුක්කන් ඔය සහ රාගල ඔය මෙහි අතුය. ’’

සුන්දර මාඔයේ මුල් දියතුත් රඹුක්කන ඔයත් එක්වී ප්‍රධාන මා ඔය නිර්මාණය කරන නිසා මෙම ස්ථානයට තුන් තොට නැමති නම ලැබී ඇති බව ජනප්‍රවාද වල සදහන් වේ. මේ අවට ප්‍රදේශය ස්වාභාව සෞන්දර්යයෙන් ඉතාමත් පොහොසත්ය. මෙහි පැමිණෙන සංචරකන්ගේ නෙත්සිත් වස කර ගන්නා සුන්දරත්වයක් මෙකී තුන්තොට සතු වේ.

 

තුන්තොට පාලම


තුන්තොට පාලම පහළ සිට


රඹුක්කන ඔයත් මා ඔයත් එක්වන ස්ථානය


තුන්තොට Google Maps වල දැක්වෙන අයුරු


 

 තුන්තොටින් පසුව නැවතත් රඹුක්කන දුම්රිය ස්ථානය බලා

උඩරට දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කිරීමේ දී හමුවන ඉතාමත් වැදගත් දුම්රිය ස්ථානයකි රඹුක්කන දුම්රිය ස්ථානය. කොළඹ කොටුවේ සිට මෙතෙක් පැමිණි ද්විත්ව දුම්රිය මාර්ගය රඹුක්කන දුම්රිය ස්ථානයෙන් අවසන් වේ. උදෑසන ගමන් ආරම්භ කරන කාර්යාල දුම්රිය වලද අවසාන නැවතුම වන්නේ රඹුක්කන දුම්රිය ස්ථානයයි. රඹුක්කන දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 85.14 ක දුරින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 116.82ක උසින් පිහිටා ඇත.

උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී රඹුක්කන දුම්රිය මාර්ගය විවෘත කර ඇත්තේ වර්ෂ 1867 දීය. වර්ෂ 1933 දී කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ද්විත්ව දුම්රිය මාර්ගය ඉදි කර ඇත. නමුත් වර්ෂ 1940දී මාර්ගයේ තිබූ පාලමක් කැඩී යාම හේතුවෙන් පොල්ගහවෙල සිට රඹුක්කන දක්වා කොටස තනි මාර්ගයකට සීමා කරන්නට සිදු විය. පසුව වර්ෂ 1998 දී පාලම නාවත ඉදි කිරීමෙන් පසුව නැවතත් දිවිත්ව දුම්රිය මාර්ගය ආරම්භ කර ඇත. දුම්රිය වර්ණ සංඥා පද්ධතිය නිමාවට පත්වන්නේද රඹුක්කන දුම්රිය ස්ථානයෙන්ය.

බෙලිඅත්ත දුම්රිය ස්ථානය ඉදිකිරීමට පෙර ලංකාවේ දිගම දුම්රිය වේදිකාව පිහිටා තිබුනේ රඹුක්කන දුම්රිය ස්ථානයේය. අද වන විට මෙය දෙවන ස්ථානයට පත්ව තිබේ. ඉංග්‍රීසි පාලන සමයේ ඉදි කළ මෙම ගොඩනැගිල්ලද ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශෛලියන්ට නෑකමි කියයි. එමෙන්ම අුරු කෝච්චි සහා ජලය ලබා ගත් නලයක්ද මෙහි දක්නට හැකිය.


 

රඹුක්කන දුම්රිය ස්ථානය


රඹුක්කන දුම්රිය ස්ථානය


රඹුක්කන දුම්රිය ස්ථානය

රඹුක්කන ඛේදාන්තය

රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුවී ඇති විශාලම දුම්රිය අනතුර සිදුවී ඇත්තේ 2002 වසරේ දීය. වර්ෂ 2002 ජනවාරි මස 15 වැනි දින  උදෑසන මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාත්තර සීඝ්‍රගාමී දුම්රියේ තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා එම දුම්රියට සවිකර තිබූ මැදිරි හයම රඹුක්කන දුම්රිය ස්ථානයට එපිටින් ඇති කුඹුරකට පෙරලී ගොස් ඇත. එම අනතුරින් එම දුම්රියේ ගමන් කල මගීන් 15 දෙනෙකු මිය ගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. මෙම අඛේදාන්තය සිදුවී 2024 වන විට අවුරුදු 22කි. අදටත් රඹුක්කන දුම්රිය ස්ථානයට එපිටින් එම මැදිරි හය දැකගත හැකිය.

අනතුරෙන් විනාශ වූ දුම්රිය මැදිරි


 

රඹුක්කන අවට ඔබට නැරඹීමට මගහැරෙන තවත් සුවීශේෂී ස්ථාන

පදවිගම්පොල ගල්මැස්ස

රඹුක්කනට නම ලැබී ඇත්තේ එම ප්‍රදේශයේ බහුල ලෙස ඇති කෙසෙල් ගස් නිසාය. අතීතයේ කෙසෙල් වලට රඹ යන නාමය බහුලව භාවිතා කර ඇති බවත් එම නිසා රඹුක්කන යන නම ලැබුන බවත් ජනප්‍රවාද වල සහන් වේ. රඹුක්කනට වයඹ දිශාවෙන් පිහිටි සුන්දර ගම්මානයක් වන පදවිගම්පොළදී අපිට සිවුශේෂී ගල් පියැස්සක් හමු වේ. විශාල ගල් පුවරු තුනක් මත තැබූ විශාල ගල් පුවරුව නිසා මෙය කාමරයක් ලෙස දිස්වේ.  මෙය දිගින් අඩි 11 ක් සහ පළලින් අඩි 6.5ක් පමණ වේ. මෙහි ඇති නිර්මාණ ලක්ෂණ මේ පදවිගම්පොළ ප්‍රදේශයේ ඉතිහාසය පූර්ව ඓතිහාසික යුගය දක්වා ගෙන යයි. දඹුල්ල ඉබ්බන්කටුව සහ යාපහුව කොණ්ඩදෙනිය වැනි ප්‍රදේශ වලින් මෙගලිතික ස්මාරක හමූවී තිබුනද මෙවන් විශාල ඉදිකිරීමක් හමුවන්නේ පදවිගම්පොළින් පමණයි.

මෙම ගල් පියස්සේ ඉතිහාසයටත් මලියදේව මහරහතන් වහන්සේ සම්බන්ධ කතාවක් සම්බන්ධවිඇත. එනම් උන් වහන්සේ වෙනත් ප්‍රදේශයක සිට වට්ටාරමට ආපසු වඩින අවස්ථාවේ හදිසියේ ඇදහැලුනු මහාවර්ෂාවක් නිසා අසල පිහිටි බෝ රුක් සෙවනකට වැඩම කල බවත් එහිදී මෙම ගල් පියැස්ස උන් වහන්සේට සෙවන සැලසූ බවත් එම ඉතිහාස කතා වල සදහන් වේ. 

 

පදවිගම්පොල ගල්මැස්ස

තවද ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපි සහිත පදවිගම්පොළ කන්ද මේ අවට පිහිටා තිබේ. එමෙන්ම කුරුණෑගල රඹුක්කන පාරේ පිහිටි කැලෑ දඹුල්ල නැමති ලෙන් විහාරයත්, දැලිවල රජමහා විහරයත් කුඩාගම පල්ලියත් සංචාරක අකාර්ශනය එතරම් දිනා නොගත්තද නැරඹිය යුතු ඉතාමත් වැදගත් ස්ථාන කිහිපයකි. 

කුඩාගම පල්ලිය


 

රඹුක්කන සුන්දරම ගමනානත්ය - පින්නවල අලි අනාථාගාරය සහ සත්වෝද්‍යානය

දේශීය මෙන්ම විශිකයන්ගේද නොමද ජනාදරයට පාත්‍ර වූ සුවිශේෂී සංචාරක ස්ථානයකි පින්නවල අලි අනාථාගාරය. රඹුක්කන දුම්රිය ස්ථානයෙන් දුම්රියෙන් බසින්නෙකුට රඹුක්කන කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ ගමන් කල විට පින්නවල අලි අනාථාගාරය හමුවේ.

තම කන්ඩායමෙන් වෙන් වී අතරමන් වන සහ තම මවිපියන් අහිමිවීම නිසා අනාථ වන අලි පැටවුන් රකබලා ගැනීම මෙන්ම විවිධ ආබාධයන්ට ගොදුරුවී අසරණ වන අලින්ට පිහිටක් වීම සහාත් පින්නවල අලි අනාථාගාරය ආරම්භ විය. වර්ෂ 1970 - 1977 සිරිමා බණ්ඩාරණායක රජයේ අමාත්‍යවරයෙකු වූ පී.බී.ජී කළුගල්ල පින්නවල අලි අනාථාගාරය ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කලේය. එම අමාත්‍යවරයාගේ මගපෙන්වීම යටතේ වර්ෂ 1975 පෙබරවාරි මස 16 වැනි දින අක්කර 25ක භූමි භාගයක අලි පැටවුන් 7  දෙනෙකුගෙන් මෙම අලි අනාථාගාරය අරම්භ කර ඇත. එම අලි පැටවුන් කුමාරි, නීලා, විජය, කදිරා, අනූෂා, ජදුරා, සහ මාතලී යන නම් වලින් හදුන්වා ඇත. වර්ථමානය වන විට මෙහි පරිපාලන කටයුතු සිදු කෙරන්නේ ජාතික සත්වෝද්‍යාන දේපාර්තමේන්තුව යටතේය.

කුමාරි


මාතලී

මෙම අලි අනාථාගාරය නැරඹීමට පැමිනෙන සංචාරකයින් සියලුම දෙනා ප්‍රවේශපත්‍රයක් ලබාගත යුතු අතර පෙ.ව 8.30 සිට 5.30 දක්වා කලය තුල මෙය නැරඹීමට අවස්ථාව සලසා දී ඇත. අද වන විට අලි ඇතුන් 80කට වැඩි ප්‍රමාණයක් මෙමගින් රැකවරණය ලබයි. මෙහි සියලුම කටයුතු නියමිත කාලසටහනකට අනූව සිදුවන අතර සංචාරකයන්ගේ ආකර්ශණීයම අංගය වන සතුන්ගේ දිය නෑමේ කටයුත්තට දවසේ අවස්ථා දෙකක් වෙන්කර තිබේ. එනම් පෙ.ව 10.00 සිට 12.00 දක්වාත්, ප.ව 02.00 සිට 04.00 දක්වාත් ලෙසය‍. අලි පැටවුන්ට දවසට තුන් වරක් කිරිත්, ලොකු අලින්ට දවසට දෙවරක් අහාරත් ලබා දීම සිදු කරයි.


 




පින්නවල අලි ඇතුන් දිය නෑම

මුල් අවධියේ පින්නවල අලි අනාථාගාරය අනාත වූ අලි ඇතුන් රැක බලාගැනීම සදහා පමණක් ආරම්භ කලට පසුව අභිජනන ක්‍රියාවලියද ආරම්භ කර ඇත. අද වන විට අලි පැටවුන් 50කට වැඩි ප්‍රමාණයකට මෙහිදී උපත ලබා දී ඇත. ආර්ම්භයේදීම සිටි මාතලී සහ කුමාරි යන ඇතින්නියන් දෙදෙනා තවමත් මෙහි වසය කරති. දැනට මෙම අලි රන්චුවේ නායකත්වය දරන්නේ මාතලී නම් ඇතින්නයි. එම ඇතින්න සාලිය, අමාලි, සාමා ඇතුළු අලි පැටවුන් පස්දෙනෙකුට උපත ලබා දී ඇත. 2024 වර්ෂය වන විය මාතලීට වසර 54 කුත් කුමාරිට වස 59කුත් සපිරේ. එමෙන්ම පින්නවල අලි අනාථාගාරයේ මුල් සාමාජිකයෙක් වූ එවකට 12හැවිරිදි වියේ පසුවූ විජය නම් ඇත් පැටවා පසු කලෙක අභිජනන ක්‍රියාවලිය සහා සක්‍රිය දායකත්වයක් ලබා දුන් අතර වර්ෂ 1999 දී මොළයේ ඇතිබූ පිළිකා තත්වයක් හේතුවෙන් මරණයට පත්වී ඇත.




 

පින්නවල එළිමහන් සත්වෝද්‍යානය

පින්නවල අලි අනාථාගාරය නැරඹීමට යන සංචාරකයෙකුට ගමන් කල හැකි අපූරු ස්ථානයකි පින්වල එළිමහන් සත්වෝද්‍යානය. වර්ෂ 2015 අප්‍රේල් මස 17 වැනි දින අක්කර 140 භූමි භාගයක මෙම එළිමන් සත්වෝද්‍යාය ආරම්භ කරන්නේ සංචාරක ආකර්ශනය ලබා ගැනීමේ අරමුණින්ය. මහින්ද රාජපක්ෂ රජය සමයේ පින්නවල අලි අනාථාගාරයට සමීපව පැරණි වාගොල්ල කෘෂිකර්ම ගොවිපොළේ මෙය පිහිටුවා ඇත. මෙය ලංකාවේ ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය වන අතර දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පසුව ඉදිකල දෙවන සත්වෝද්‍යානයයි.

නූතන සත්ව සංරක්ෂණ පූලධර්ම වලට අනූව යමින් සතුන්ට නිදහසේ සැරිසැරීමට ඉඩහසර සලසා දී ඇති මෙහි එක්එක් සතුන් සදහා වෙන වෙනම උයන් සකස් කර ඇත. සුරතල් මළුව, හංස පොකුණ, මුව අරණ, උභය ජීවි හා උරවෙන වෙනම උයන් සකස් කර ඇත. සුරතල් මළුව, හංස පොකුණ, මුව අරණ, උභය ජීවි හා උර උයන, කුරුළු උයන, සමනල උයන, වන අරණ ආදී එක් එක් සතුන් වෙනුවෙන් වූ අංශ වෙනවෙනම නැරඹීමට අවස්ථාව සලසා දී ඇත. මෙම උද්‍යානය සම්පූර්ණ කොටස් 15කින් යුක්ත වේ..





මීලග කොටසින් රඹුක්කන සිට මියන්ගල්ල දුර්ගය හරහා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය වෙත යමු.

සටහන....

චතුරංග ජයසුන්දර