Sri Lanka

Friday, August 21, 2020

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 23


 පෙර ලිපිය මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 22

අඹන් ගග ආරම්භය සහ ගග දිගේ ඉදිරියට

            රිවෙස්ටන් වලින් ආරම්භ වී බෝවතැන්නට පැමිණි සුදු ගග බෝවතැන්න ජලාශය නිර්මාණය කරනවා. නමුත් මීට පෙර මේ ස්ථානයේදී නාලන්ද ඔය සමග සුදු ගග එකතු වීමෙන් තමයි අඹන් ගග ආරම්භ වන්නේ. බෝවතැන්න ජලාශය නිසා අද අපිට එය දකින්නට නැතත් බෝවතැන්න ජලාශයේ එක් අන්තයකින් අඹන් ගග ගමන් ආරම්භ කරනවා. එතැනින් ආරම්භ වී තවත් කිලෝමීටර් 16ක් පමණ ගිය තැන අපි මුලින් කතා කල තේල්ගමු ඔය අඹන් ගගට එක් වෙනවා. මේසේ පෝෂණය වන අඹන් ගග තවත් කිලෝමීටර් හතරක් පමණ ගිය තැන මෑත කාලීන වාරි ඉතිහාසයේ සුවිශේෂීම ජලාශයක් හමු වෙනවා. ඒ තමයි මොරගහකන්ද ඒ.එන්.එස්. කුලසිංහ ජලාශය.

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ අවසන් ජලාශය - මොරගහකන්ද ජලාශය

            අපි පෙර සාක්ච්ඡා කල පරිදි මහවැලි මහ සැලැස්මට අනූව 1969 – 1980 දක්වා කාලයේ දී ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ පළමු අදියරේ ජලාශයක් ලෙස මොරගහකන්ද බහුකාර්ය ඒකකය නිර්මාණය කිරීමට සැලසුම් කර තිබුණි. මනුත් සිරිමාවෝ බණ්ඩරණායක මැතිනියගේ සමයේ දී පොල්ගොල්ල හැරවුම වුමටද, ජේ ආර් ජයවර්ධන රජයෙන් ඉදිකල නෙකුත් ජලාශ වලටද ප්‍රමුඛත්වය ලබා දුනි. 1990 වර්ෂය වන විට කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යපෘති නිමවූ අතර එමගින් විදුලිබල ක්ෂේත්‍රය හා කෘෂිකර්මාන්තය නැංවීමට විශාල අයෝජනයක් සිදු විය. මේ නිසා තවදුරටත් කෘෂිකර්මාන්තය ආයෝජනය සිදු කිරීමට රජය මැලි වූ බැවින් මහවැලි මහ සැලසුමට අදාල මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටපත් විය.

මොරගහකන්ද ජලාශය
 

            කෙසේ නමුත් දීර්ඝ කාලයක් මුළුල්ලේ සැලසුම් වලට පමණක් සීමා වී තිබූ මෙම සංවර්ධන වෘපෘතිය වර්ථමානය වන විට ක්‍රියාතමක කර, වැඩ නිමකොට ඇත. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය සැලකෙන්නේ ලංකාවේ සුවිශේෂීම වාරී ව්‍යාපෘතියක් ලෙසය. එයට හේතු සාධක කිහිපයක් ඇත. එයින් ප්‍රධනතම හේතුව වන්නේ ලංකාවේ විශාලම වාරි ව්‍යාපෘතිය වීමයි. දෙවැන්න නම් කාලයෙන් කාලයට මෙය ඉදිකිරීම වැලැක් වීම විවිධ හේතු සාධක මතු වීමයි. එනම් මහවැලි මහ සැලැස්මෙන් යෝජනා වූ දා පටන් අද වනතෙක්ම එල්ල වුන භාදක. 


මොරගහකන්ද ජලාශය
 

            මෙම ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2007 ජනවාරි 25 වැනි දින මහින්ද රාජපක්ෂ රජය යටතේ කෘෂිකර්ම හා මහවැලි සිවර්ධන අමාත්‍ය වරයාව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනූවය. චීන ආධාර යටතේ ඉදිකිරීම් සිදු කෙරුණු මෙම ජලාශය විවිධ හැලහැප්පීම් මත බොහෝ කාලයක් ඇදුනි. නමුත් නැවතත් මෙම ජලාශ පුන්ර්ජීවනය ලබන්නේ 2015දී මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වරයා ලෙස පත්වීමත් සමගය.

ජලාශයේ ස්වභාවය

මොරගහ කන්ද ජලාශයේ ප්‍රධාන වේලි දෙකක් දැකිය හැකිය. එයට ප්‍රධාන හේතුව මේ වේල්ල ඉදිකිරීමට යෝජනා වූ භූමයේ හරි මැදට වන්නට කුඩා කදු ගැටයක් පිහිටීමයි. එම නිසා වේල්ල කොටස් දෙකකින් මෙම දකු ගැටය දෙපසින් ඉදි කිරීමට සැලසුම් කෙරුණි. ඉන් එක් වේල්ලක් ගල් පිරවීම මගින් ඉදිකරනු ලබන එහි දිග මීටර් 470 ක් වන අතර උස මීටර් 61.3 කි. මෙහි මුදුනේ පළල මීටර් 8කි. විදුලිබලාගාරය සහ වාන් දොරටු පිහිටා ඇති කොන්ක්‍රිට් වේල්ලේ දිග මීටර් 375කි. එහි උස මීටර් 58ක් වන අතර මුදුනේ පළල මීටර් 8කි. මෙම ප්‍රධාන වේලි දෙකට අමතරව තවත් වේල්ලකි පස් පරවීම මගින් ඉදිකර ඇත. එහි දිග මීටර් 275කි. එහි උස මීටර් 21.5ක් වන අතර මුදුනේ පළල මීටර් 7කි.      

 

මොරගහකන්ද ජලාශයේ පිහිටීම Google Maps වල දක්වා ඇති අයුරු

මොරගහකන්ද ජලාශය වර්ග කිලෝමීටර් 29.5ක් පුරා පැතිරී ඇති. අතර ජලාශයේ පූර්ණ ජල ධාරිතාවය ඝන මීටර් දසලක්ෂ 569.9 (569.9 x 106) කි. එනම් අක්කර අඩි 462,121 කි එනම් පරාක්‍රම සමුද්‍රයේ ජලාධාරිතාවය මෙන් හතරගුණයකි. පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය ඝන මීටර් දසලක්ෂ 134.07 (134.07 x 106) කි. එනම් අක්කර අඩි 109203කි. මෙහි සමස්ථ වියදම රුපියල් මිලියන 33872.6ක් වන අතර එයින් සියයට 85ක් හෙවත් රුපියල් මිලියන 28952.1ක් චීන සංවර්ධන බැංකුවෙනුත් සියයට 15ක් හෙවත් රුපියල් මිලියන 4920.5ක් ලක් රජයෙනුත් සපයා ඇත.

විදුලි බලාගාරය

            මොරගහකන්ද ජලාශයේ දීත් රන්දෙණිගල හා රන්ටැඹේදී මෙන්ම විදුලිබලාගාරයෙ පිහිටා ඇත්තේ වේල්ල අසලින්මයි. මෙම බලාගාරයේ දි ටබයින 4ක් මගින් මෙගාවොට් 25ක ජල විදුලියක් නිපදවීමට නියමිතය. බලාගාරයෙන් නිරතුරු ජලය නිකුත් කරන නිසා මොරගහකන්දට කිලෝමීටර් 2ක් පමණ පහළින් පිහිටා ඇති ඇළහැර අමුණට නිරතුරුවම ජලය සැපයීම සිදුවේ. මීට අමතරව නිරන්තරයෙන් ජලය නිකුත් කරන දොරටුවක්ද වේල්ලේ ඉදිකර ඇත. ඒ විදුලි බලය නිපදවීම සිදු නොකරන මොහොතක ගගට ජලය නිකුත් කිරීම සදහාය.

මොරගහකන්ද විදුලි බලාගාරය
 

කළුගග ජලාශය.

            අඹන් ගගට ඉදිරියේදී එක්වන තවත් අතු ගංගාවක් තමයි කළුගග. මේ කළුගග තමයි අඹන් ගගට එක්වන කළුගගවල් වලින් ප්‍රධානතම කළුගග. මොරගහ කන්ද ව්‍යාපෘතිය සලකනු ලබන්නේ ද්විත්ව ව්‍යාපෘතියක් ලෙසිනි. ඒ මොරගහ කන්ද ජලාශයට සමගාමීව කළුගග ජලාශය සැදීමත් සහ මොරගහකනදත් කළුගග උමගක් මගින් ඒකාබද්ධ වීමත් නිසාය.

            මේ කළුගග ආරම්භ වන්නේත් රිවෙස්ටන් වලින්මය. නකල්ස් කදු වල සීතල දිය දහරාවන් එක් කරගෙන දුම්බර මිටියාවත හරහා ගලන මේ කළුගග කිලෝමීටර් 36ක් පමණ දුර ගෙවා විත් වස්ගමු වන සීමාවේ දී අඹන් ගගට එක් වෙයි. මෙසේ ගලා යන කළුගග ලග්ගල පල්ලේගම ප්‍රදේශයේදී හරස් කිරීමෙන් තමයි කළුගග ජලාශය නිර්මාණය කරන්නේ.



කළුගග ජලාශය
 

            මෙම කළුගග ජලාශයේ ප්‍රධාන වේල්ලක් සහ අතුරු වේලි 2ක් දැකිය හැකිය. ප්‍රධාන වේල්ල ගල් පිරවීම මගින් ඉදිකරනු ගලන අතර එය දිගින් මීටර් 546ක් ද උසින් මීටර් 67ක් ද මුදුනත පළල මිටර් 8ක්ද වේ. අනෙක් වේලි දෙකෙන් පළමු වේල්ල දිගින් මීටර් 238ක් වන අතර උස මීටර් 47ක් වේ. දෙවන වේල්ලෙහි දිග මීටර් 65කි. කළුගග ජලාශය වර්ග කිලෝමීටර් 84ක ප්‍රදේශයක පැතිරෙන අතර ධාරිතාවය අක්කර අඩි 216,000 කි.මෙහි ප්‍රධාන වේලි ඉදිකිරීම සදහා කුවේට් සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 48883.03ක් ද සෞදි සංවර්ධන අරමුදලෙන් රුපියල් මිලියන 6779.94ක් ද ඔපෙක් ජාත්‍යන්තර අරමුදල විසින් රුපියල් මිලියන 2358.24ක් ද ලබා දී ඇති අතර ඉතිරි 2434.28 ලබා දී ඇත්තේ ලක් රජය විසිනි.

කළුගග ජලාශය Google Maps වල දක්වා ඇති අයුරු
 

            මොරගහකන්ද සහ කළුගග ඒකාබද්ධ ව්‍යපෘතියේ සමස්ථ ධාරිතාවය අක්කර අඩි 660,000ක් වශයෙන් සැලකේ. පරාක්‍රම සමුද්‍රය සමග සසදන විට මේම ධාරිතාවය එමෙන් 6 ගුණයකි. කළුගග ජලාශයේ එකතුවෙන ජලය මොරගහ කන්ද ජලාශය වෙත ගෙන එනු ලබන්නේ කිලෝමීටර් 7.7ක් දිග උමන් පද්ධතියක් මගිනි.

 

මෙහි රතුපාට කඩ ඉරිවලින් දක්වා ඇත්තේ කළුගග ජලාශයේ සිට ජලය මොරගහකන්ද ජලාශයට ගෙනයන උමන් මාර්ගයයි

            මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධව  නාච්චාදූව දක්වා කිලෝමීටර් 94ක් දිග ඇළක් ඉදිකෙරෙන අතර මීට සමගාමීව ඉදිකෙරෙන වයඹ ඇල කිලෝමීටර් 93ක් ද වේ. මීට අමතරව තවත් ඇල මාර්ග කිහිපයක් ඉදි කෙරෙන අතර මෙමගින් උතුරුමැද පළාතේ විශාල වැව් ප්‍රමාණයකට දියවර සැපයේ. මීට අමතරව මිරිදිය ධීවර කර්මාන්තය ඉහල නැංවීමද මෙමගින් සිදුවේ.

 

මොරගහකන්ද සහ කළුගග ව්‍යාපෘති ආරම්භවීමට ප්‍රථම මහවැලි ගගේන් පෝෂණය වූ ජලාශ පද්ධතිය

 

අපි ඇලහැර අමුණ බලන්න යමු

            මොරගහකන්ද ජලාශයෙන් කීලෝමීටර් 2ක් පමණ පහළට අඹන් ගග දිගේ පහළට යන අපිට මීලගට හමුවන්නේ ඇලහැර යෝධ අමුණයි. අපි පෙර සදහන් කල පරිදි බෝවතැන්න ජලාශයෙන් ආරම්භ වී තෙල්ගමූ ඔයත් එක් කරගෙන ගලන අඹන් ගගේ මහා ජලස්කන්ධය මොරගහකන්ද මහා ජලාශය මගින් ගබඩා කරගනු ලබයි. නමුත් එම ජලාශයෙන් නිරතුරුවම පහළට ජලය නිකුත් කරන නිසා ආළහැර අමුණට අකන්ඩව ජලය සැපයෙයි. තවද මොරගහකන්ද සුවිශාල ජලාශයක් නිසා එහි ගබඩා කරගන්න ජලය වියළි කාලයේදීද ඇලහැර අමුණ වෙත නිකුත් කල හැකි නිසා පෙරටත් වඩා වර්ථමානයේදි ඇලහැර අමුන උතුරුමැද පළාතේ ගොවි ජනතාවට ප්‍රයෝජනවත් වනු ඇත.

 

ඇළහැර අමුණේ ඓතිහාසික පසුබිම

            ඇළහැර ප්‍රදේශය අතීතයේ හදුන්වා ඇත්තේ “ආළිසාර” යන නමිනි. ආළිසාර නම මහාවංශයේ     පළමුවෙන්ම හමුවන්නේ වසභ රජු (ක්‍රි.ව 67 – 111) විසින් තිස්සවඩ්ඪමානකයෙහි මුවෙල විහාරය කරවා ආළිසාර ඇලේ දිය භාගය එම විහාරයට පිදූ බව පැවසෙන අවස්ථාවේදීය. එහෙත් එම පාඨයෙන් ආළිසාර ඇල කරවූවේ වසභ රජු ලෙස නොපැවසෙන බැවින් ඇතැම් විට ඊටත් පෙර කලෙක සිටම එම ඇල තිබුනා විය හැක.

            කෙසේ නමුත් පසු කාලීන සිංහල ග්‍රන්ථයක් වූ පූජාවලියේ සදහන් වන්නේ මහසෙන් රජු (ක්‍රි.ව 274 – 301) විසින් මිනිහිරි වැව බදවා, කරාගග මිනිහිරි වැවට දිය යන ලෙසට අමුනු බදවා, දෙවියන් පෑ සලකුණෙන් තලවතු ඇළ බිදුවා දියවර සපයා විසි දහසක් කුඹුරු කරවූ බවය. මෙහි මිනිහිරි වැව ලෙස හදුන්වන්නේ වර්ථමානයේ මින්නේරිය වැවය. මන්ද මහසෙන් රජුදේ සොළොස්මහ වැව් අතරේ මණිහීර නම් වැවක් ගැන සදහන්වේ. එම මණිහීර වැව මෙම මින්නේරිය වැව බව පසුව හදුනාගන්නා ලදී. කරාගග ලෙසින් ලෙසින් හැදින්වෙන ගග මහාවංශයේ වෙනත් අවස්ථා වලදී කාරගංගා ලෙසින් හැදින්වෙන ගග වේ. මහා පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුද්‍රයට ජලය ගෙනයාම සදහා කාරගංගාවේ සිට ගොඩවාරි ඇල කැපු බව මහාවංශයේ සදහන් වේ. වර්ථමානයේ අපි පරක්‍රම සමුද්‍රයට අඹන් ගගේ සිට ජලය ගෙනයන   යන එහි ප්‍රධාන ජල ප්‍රවාහය වන අංගමැඩිල්ල ඇල ගොඩවාරි ඇල ලෙස හදුනාගතහොත් කාරගග යනු අඹන් ගග ලෙස උපක්ලපනය කල හැකිය. 



ඉපැරණි ඇළහැර අමුණේ නටඹූන්

            ඉතිහාස කතා සියල්ලන්ම එකට ගත් කල මෙම ඇලහැර අමුණ වසඹ රජුගෙන් ආරම්භ වී පසුව මහසෙන් රජතුමා, මහා විජයබාහු රජතුමා සහ මහා පරාක්‍රමබාහු රජතුමා යන සියලුම දෙනා ප්‍රතිසංස්කරණය කර වඩ වඩාත් දියුණු කර ඇති බව නිගමනය කල හැකිය. මේ ස්ථානයේ ඇති විශාල ගල් කුට්ටි අපිට අපේ සාඩම්බර වාරි ඉතිහාසයේ අභිනය ලොවටම කියා දෙයි. එම නිසා එම එජවරුන් ඇතුළු සියලුම නිර්මාණ කරවන්ට අපි වැද නමස්කාර කර ස්තූති කල යුතුය.

 

ඇලහැර අමුණේ තාක්ෂණය

            අපි කලින් කතා කල පරිදි මෙම පැරණි ඇලහැර අමුණ මුලින් වසභ රජතුමන් විසින් ඉදිකර පසුව මහසෙන් රජතුමා විසින් වැඩිදියුණු කර ඇති බව අනුමාන කල හැකිය. ගල් තලාවක් මත ඉදිකර තිබූ මෙම අමුණෙහි අද විශෘල ගල් කුටිටි දැකිය හැකිය. මේවායේ කැටයම් සහ අක්ෂර ඇති බව හදුනාගත හැකිය. අමුණ ඉදි කිරීමට මෙම ස්ථානයම තෝරාගෙන ඇත්තේ විශේෂ කාරණා කිහිපයක්ම නිසාය. ගල්තලාවක් මත ඉදිකර ඇති නිසා අමුණට අමතර ආරක්ෂාවක් ලැබේ. එසේම ප්‍රධාන පෝෂකය වන අඹන් ගගට අමතරව ඇලහැර ඇලේ වම් ඉවුර දෙසින් පිහිටි කොදුරුවාව කදු පන්තියේ සිට ඇදී එන කොන්ගැට ඔය, හීරටි ඔය, බකමූණන්ගේ ඇල, කෝට්ටපිටිය ඔය, අත්තනකඩවල ඔය වැනි ජල මූලාශ්‍ර මගින් රැගෙන එන අමතර ජලයෙන් ඇලහැර ඇල තව දුරටත් පෝෂණය වේ. එම ඔයවල් ඇල හා එක්වන සථාන වල ශක්තිමත් ගල් අත්තිවාරම් සහ ගල් බැමි දමා වේගයෙන් ගලා එන එම ජලපහරවල් වලින් ඇලේ බැමි වලට වන හානිය වලකා ඇත. එසේම විශාල ජලස්කන්ධයක් ඇතුළු වන ස්ථාන වල වතුර උතුරා යෑම පිණිස අඩි 50ක් පමණ පළල් වූ ගල්වානවල් සාදා තිබී ඇත. කුඹුරු වලට වතුර ගැනීම සදහා සෑදූ සොරොව්ද ගලින්ම නිර්මිතය.

 

වර්ථමාන ඇලහැර අමුණ

සියවස් ගණනාවක් අතහැර දමා තිබූ ඇලහැර ඇල පසුකාලීනව ප්‍රතිසංස්කරණය කිරීමේ ගෞරවය හිමිවන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර වරයෙකු වන හෙන්රි වෝඩ් ටය. ඒ 1886 දීය. ඉන් පසුව 1945 දී මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන්ගේ වාරි ව්‍යාපෘති යටතේ තමයි වර්ථාමාන ස්වරූපයට මෙම අමුණ ප්‍රතිසංස්කරණය කර ඇත්තේ. ඉන් පසුව 1970 දී මහවැලි මහ සැලැස්ම යටතේ පොල්ගොල්ලෙන් රජරටට හැවුන මහවැලියෙන් ඇලහැර අමුණ තව තවත් පෝෂණය වූවා.

 




වර්ථමාන ඇලහැර අමූණ

   

ඇළහැර අමුණෙන් ඇලහැර යෝධ ඇළට ජලය නිකුත් කරන සොරොව්ව

ඇලහැර අමුණ Google Maps වල දැක්වෙන අයුරු

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            

 

Saturday, August 8, 2020

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 22

 පෙර ලිපිය මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 21

 

සුදු ගග දිගේ

            මාතලේ අලුවිහාරයට ගියපු අපි මීළගට නැවතත් සුදු ගග දිගේ ඉදිරියට යනවා. මීලගට අපි පිවිසෙන්නේ බෝවතැන්න ජලාශයට. මේ ජලාශය ඉදිකරන්නට මත්තෙන් මේ ස්ථනයේදී තමයි නාලන්දා ඔය සුදු ගගට එක් වූයේ.  එසේ එක්වීමෙන් තමයි අඹන් ගග නිර්මාණ වන්නේ. මේ නිසා අපි නාලන්දා ඔය ගැනත් කතා කල යුතුමය.

නාලන්දා ඔය සහ නාලාන්දා ජලාශය

නාලන්දා ඔය ඇරඹෙන්නේ මාතලේ වයඹ පිහිටි බිලගල, අස්ගිරිකන්ද, මකුළුස්ස, අම්බොක්ක, අරංගල ආදී කදු ශිකරවලින් ගලා හැලෙන දිය දහරා වලිනි. නාලන්දා, අවුසැල්ල ආදී කෙත් යායවල් පෝෂණය ලබන්නේද නාලන්දා ජලාශයෙනි.

            ශ්‍රී ලංකාවේ පළමු කොන්ක්‍රීට් වේල්ල සහිත ජලාශය 1957 දීවැඩ ආරම්භ කර 1959 දී වැඩ නිම කෙරුණු නාලන්දා ජලාශයයි. එය අතිශයින්ම විස්මය විස්මය දනවන වාරි නිර්මාණයකි. මෙහි වේල්ලේ දිග අඩි 402 කි උස අඩි 102 කි. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසයේ පිහිටි නාලන්දා ජලාශයට මහනුවර යාපනය A 9 මාර්ගයේ 48 වැනි කිලෝමීටර් කණුව ආසන්නයෙන් දකුණු දෙසට තිබෙන මාර්ගයෙන් කිලෝමීටර් 1.2ක් පමණ ගිය තැන නාලන්දා ජලාශය හමු වේ. මෙම ජලාශයේ පෝෂක ප්‍රදේශය වර්ග සැතපුම් 48කි. ජලාශයේ දියවර නිකුත් වන්නේ වැමැඩිල්ල සහ දේවහූව ජලාශ වලටය. 

නාලන්දා ජලාශය
 

මේ ජලාශය විවෘත කරන ලැබුවේ එංගලන්තයේ එඩින්බරෝ ආදිපාද වරයා විසිනි. මෙරට වාරි ඉතිහාසයේ ඉංජිනේරුවන් අතින් ඉදිවූ මුල්ම කොන්ක්‍රීට් වේල්ල සහිත ජලාශය මෙය වේ. මෙහි ජලය පසෙකින් බෝවතැන්න ජලාශයට යාවෙන අතර අනෙක් පසින් වෑමැඩිල්ල ජලාශය ඔස්සේ මාතලේ සහ අනුරාධපුර ප්‍රදේශ වල කෙත්වතු සරුසාර කිරීමට දායක වෙයි.

 

නාලන්දාවේ ඉතිහාසය

            මේ නාලන්දා ප්‍රදේශය පරාක්‍රමබාහු රජුගේ කදවුරක් වී තිබූ බවට ඉතිහාසයේ දහන් වේ. එනම් පරාක්‍රමබාහු රජු අගරජු වීමට ප්‍රථම ගජබා රජු සහ රුහුණේ මානාභරණ රජු සමග කල සටනේ දී මෙම ස්ථනයේ බලකොටුවක් ඉදිකර ඇත. රටේ හරි මධ්‍යය මේ ප්‍රදේශයේ පිහිටා ඇති නිසාමදෝ 1818 වැනි කැරලි මර්ධනය කිරීමටද ඉංග්‍රීසීන් විසින් ද මෙහි කදවුරක් ඉදිකල බව සදහන් වේ. තවත් කාරණාවක් තමයි ඉංගීසි පාලන සමයේ ත්‍රීකුණාමලයේ සිට මහනුවරට යෑමට පාරක් මේ නාලාන්දාව හරහා වැටී තිබූ බවෙට සදහනක් පෙරදිග ඉන්දීය වෙළද සමාගමේ වාර්තා වල සටහන්ව තිබෙනවා. තවද ෆෝබ්ස් වාර්තා වලද තමන් නාලන්දාව හරහා මහනුවරට ගමන් කල බව සදහන් වේ.

 

බෝවතැන්න ජලාශය

මහවැලි මහ සැලැස්මට අනූව ඉදිවුන ජලාශයක් වන බෝවතැන්න ජලාශයේ වැඩකටයුතු ආරම්භ කරන්නේ 1973 දී වන අතර 1976දී විවෘත කරනු ලබනවා. මේ වේල්ලෙහි දිග මීටර් 226ක්. වේල්ලෙහි උස මීටර් 30කි. මේ ජලාශය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණු 3ක් හදුනාගත හැකිය.

01. පෝල්ගොල්ලෙන් හරවන මහවැලි ජලය උකුවෙලින් එළියට ආ පසු සුදු ගග හරහා පැමිණ ගබඩා කරන්නේ මෙහිය. මෙහිදී පටන් ගන්නා කිලෝමීටර් 6.8ක් දිග ලෙනදොර උමග මගින් රජරටට ජලය බෙදා හැරීම මෙහි එක් අරමුණකි.

02. මේ ජලාශයෙන් පහළ පිහිටි වැව් වලට ජලය නිකුත් කිරීම. මේ වෙල්ලෙහි පිහිටි මඩසොරොව්ව මගින් එම ජලය බෙදාහැරෙන අතර  ප්‍රදේශයේ පාරිසරික අවශ්‍යාවයන් නිසා ගඟ පහළ මළ ගඟක් බවට පත්වීමද වළක්වයි.

03. වේල්ලෙන් පටන් ගන්නා තවත් උමගකින් කිලෝමීටර් 1.5ක් පමණ දුර ගෙනගොස් බෝවතැන්න විදුලිබලාගාරයෙන් මෙගාවොට් 40ක පමණ ජලවිදුලියක් නිෂ්පාදනය කිරීම. බලාගාරයට ලබාගන්නා ජලය නැවතතන් අඹන් ගගටම එක්වේ.

 

 

බෝවතැන්න ජලාශය

නාලන්දා ගෙඩිගේ

            ලංකාවේ මධ්‍ය ලක්ෂය නැතහොත් ලංකාවේ හරි මැද පිහිටා ඇත්තේ නාලාන්දාවේ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. එමනිසා මධ්‍යලක්ෂය හදුනාගැනීම පිණිස නාලන්දා ගෙඩිගේ ඉදිකල බවට මතයක් ගොඩනැගුනා. තවත් විශ්වාසයකට අනූව රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් තමන්ගේ යාගහෝම කටයුතු සදහා මේ ස්ථානය භාවිත කළ බවත්, මේ ස්ථානයේ විශ්ව ශක්තියක් ගැබ්ව ඇති බවත් කියවෙනවා.

            නාලන්දා ගෙඩිගේ පිළිබදව මුලින්ම සඳහනක් හමුවන්නේ 1893 දී ඉංග්‍රීසි ජාතිකයන්ගේ වාර්තා වලයි. පසු කලෙක ප්‍රසිද්ධ වැඩ දෙපර්ථමෙන්තුව නම් ආයතනය විසින් එකල කුඹුරු යායක පිහිටා තිබූ මේ ඓතිහාසික ගොඩනැගිල්ල රජයට පවරාගෙන ඇත. මේ ස්ථානයේ මුලින්ම තහවුරු කිරීමක් සිදුකර ඇත්තේ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස් වරයා වන එචි. සී.පී බෙල් මහතා විසින් 1911 දී ය. පසුව 1953දී එවකට පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් දෙවන වර තහවුරු කිරීමක් සිදු කලා. නමුත් 1970 දී බෝවතැන්න ජලාශය ඉදිකිරිම නිසා නාලන්දා ගෙඩිගේ යටවීමේ තර්ජනයට ලක් වූවා. මේ නිසා එකල සිටි පුරාවිද්‍යාඥයන් ගෙඩිගේ ගලවා යළිත් ප්‍රතිනිර්මාණය කිරීමට සැලසුමක් සකස් කලා. මේහි ඇති සෑම ගලකටම අංක යොදා සැලසුම් සකස් කල ඔවුන් ගෙඩිගේ ගලින් ගල ගලවා වෙන් කලා. ඉන් පසු එම භූමිය කැණීම් කලා. මෙලෙස ගෙඩිගේ ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කරන ලද්දේ 1977 දීය. මුලින්ම ගෙඩිගෙය ගලවා ඉවත් කර එම භූමිය පස් පුරවා අඩි 23ක් උස් කර සකස් කලා. ඊට පසු මහාචාර්ය පී. එල් ප්‍රේමතිලකගේ උපදේශකත්වය යටතේ එය නැවත ඉදිකරීම ආරම්භ කලා.  ලංකාවේ නැවත ගලවා සකස් කල එකම පුරාවිද්‍යා ගොඩනැගිල්ල වන්නේ නාලන්දාව පමණයි. නැවත ගොඩනගන ලද ගොඩනැගිල්ල විවෘත කලේ 1985 ජූනි 13 වන දාය. නමුත් මේ ඉදිකිරීම අධ්‍යනය කරන නූතන ඉතිහාසඥයන් මෙම නැවත ඉදිකිරීමේ දී ගොඩනැගිල්ලේ දිශා වෙනස් කර ඇති බවට මතයක් ඉදිරිපත් කරනු ලබයි. එනම් ගොඩනැගිල්ලේ වහලය ඉදිකර ඇත්තේ එහි වක්‍රාකාර ප්‍රදේශය සූර්යා ගේ ගමන් මාර්ගය හා සමපාත වන ලෙසය. නමුත් අද එහි දිශාව වෙන් කර ඇති බවය. මේ පිළිබදව එක් එක් මතයන් ගොඩනගා ඇති නිසාත් ගොඩනැගිල්ල පිළිබදව ප්‍රභල සාක්ෂියක් තවමත් සොයාගෙන නැති නිසාත් අපහට මේ කිසිවක් පිළිබදව නිවැරදි මතයක් ඉදිරිපත් කල නොහැකිය.

1890 දශකයේ නාලන්ද ගෙඩිගේ


             මෙහි කැනීම් සිදුකිරීමේ දී බොහෝ දුරට ගෙවී ගිය සේල්ලිපයක් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගනු ලැබුවා. එය දැනට ගෙඩිගේ අසල කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. එවකට මේ ස්ථානයේ විහාරයක් පැවති බව ඉන් හෙලි වෙනවා. එහි කියවෙන්නේ විෂමාචාර ලෙස හැසිරෙන විහාර කාර්මිකයන් විහාර භූමියෙන් නෙරපිය යුතු බවත්, මිනීමරුවන්, සොරුන් විහාර භූමියට වැද්ද නොගත යුතු බවත්, විහාරයේ සියලු කටයුතු සංඝ සම්මුතියෙන් කළ යුතු බවත්ය. මෙහි ඇති අකුරු වල ලක්ෂණ අනූව මෙම සෙල්ලිපිය ක්‍රි.ව 9, 10 සියවස් වලට අයත් බව නිගමනය කර ඇති අතර මෙම කරුණු පාදක කොටගෙන නාලන්දා ගෙඩිගෙය ක්‍රි.ව 8-10 සියවස් අතර කාලයේ දී නිමවන්නට ඇතැයි සමහර ඉතිහාසඥයන් පවසනවා. මෙහි නිර්මාණ ශෛලිය පල්ලව සම්ප්‍රදායට නෑකම් කියනවා. දකුණු ඉන්දියාවේ පාලර් නදී මුවදොර, මහාබලිපුරම්හි කදුගැටයක පිහිටි මාමල්ල ශෛලියේ නිර්මාණ සම්පූර්ණ කළු ගලින් නිමවා තිබෙනවා. ඒ අතර නාලන්දට සමාන ගොඩනැගිලි හමුවෙනවා. කෙසේ වෙතත් දකුණු ඉන්දීය පල්ලව වාස්තු විද්‍යා ලක්ෂණ සහිත අප රටේ ඇති එකම ගොඩනැගිල්ල නාලන්ද ගෙඩිගෙයයි.

            මෙම ගොඩනැගිල්ල හින්දු මෙන්ම බෞද්ධ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ද ඇතුළත් ගොඩනැගිල්ලකි. මෙහි ඉදිරිපස පිවිසුම බෞද්ධ විහාරයක් මෙන් නිර්මාණය කර තිබෙනවා. මෙහි වහල ද සහිත සම්පූර්ණ ගොඩනැගිල්ලම කළුගල් කුට්ටි භාවිතයෙන් ඉදිකර තිබෙන අතර ඒවා පුරුද්දා ඇති ආකාරය ඉතා සියුම්ය. ගොඩනැගිල්ලට පිටින් එය වටකර ගඩොලින් නිමවූ ප්‍රාකාරයක් තිබූ බවට සතකුණු තිබේ. මෙය හින්දු මෙන්න බෞද්ධ වාස්තු විද්‍යාත්මක ලක්ෂණද ඇතුළත් ගොඩනැගිල්ලක් වන අතර පිවිසුම බෞද්ධ විහාරයක් මෙන් නිර්මාණ කර තිබෙනවා. එහි ප්‍රවේශය වෙනත් බෞද්ධ වෙහෙර විහාර වල මෙන්ම සදකඩ පහණ, කොරවක්ගල සහ පියගැටපෙළකින් යුක්තය. කොරවක් ගලෙහි ලියවැලකින් යුත් මකර රුවක්ද කැටයම් කර ඇත.

            මෙම ගොඩනැගිල්ලෙහි ගල් කණු 24කින් යුත් ආලින්දයක් වැනි කොටසක් සහිතයි. අන්තරාලයේ මණ්ඩපයක් ද එයට සම්බන්ධ කර ඇත. ගොඩනැගිල්ල වටා ගමන් කිරීමට ප්‍රදක්ෂිණා පථයක්ද සහිතය. අන්තරලය මත දක්නට ලැබෙන කැටයමින් යුක්ත ශිර්ෂය හින්දු කොවිලක් සිහිගන්වයි. ගොඩනැගිල්ල මැද පිහිටි ගර්භය තුළ ඇත්තේ අභය මුද්‍රාවෙන් යුත් හිටි බුද්ධ පිළිමයකි. එහි අනුරාධපුර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරයි. මෙහි පිටත බිත්ති වලින් මතුකර පෙන්වා ඇති කැටයම් පුරාණ පල්ලව සම්ප්‍රදායට නෑකම් කියයි. ගල්කුට්ටි වලින් තනා ඇති බිත්තියේ වාමන හිස්, සත්ව රූප සහ පේකඩ ආදිය දැකගත හැකිය.





පියස්ස ඇතුළතින්

සංවදායට තුඩුදී ඇති මෛතූන්‍ය කැටයම

සමරු ළුලකය
 

            ඉන්දියාවේ කාජුරාහෝ වැනි දේවාල වල විවිධ ලිංගික ඉරියව් සහිත කැටයම් සුලභ වුවද ලංකාවේ එවැනි කැටයමක් හමුවෙන එකම ස්ථානය නාලන්දා ගෙඩිගෙය පමණයි. මෙහි බිත්තියේ පහළ පේකඩයක තුන්දෙනෙකු පසුපසින් ලිංගිකව රමණය කරන ආකාරය දැක්වෙනවා. මෙම ස්ථානයේ කණුවක දක්නට තිබූ තවත් මෙවන් කැටයමක් පිළිබදව 1910-11 වර්ෂ සදහා වූ එච්.සී.පී බෙල් මහතාගේ පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවේ සදහන් වන මුත් මේ වන විට සොයාගැනීමට නොහැක. මෙම කැටයම නිසා මෙම ස්ථානය බෞද්ධ ආගමික ස්ථානයක් නොවන බවත් මෙය රාවනා යුගයට අයිති සූර්ය දෙවොලක් බවත් සමහරුන් පවසනවා. එනම් මෙය ඉදිකර ඇත්තේ සූර්යා නමස්කාර කිරීමට සහ විශ්ව ශක්තිය සමග ගනුදෙනු කිරීමට බවත් බෞද්ධ අංග පසුව රජවරුන් විසින් කල ප්‍රතිසංස්කරණ වලදී එක්වූ ඒවා බවත් ඔවුන්ගේ මතයයි.

 

බෝවතැන්නේ සිට රජරට බලා යන මහවැලි ජලය

            අපි පෙර සදහන් කල පරිදි පොල්ගොල්ල හැරවුමත්, උකුවෙල බලාගාරයත්, බෝවතැන්න ජලාශයත් යන තුනම මහවැලි මහ සැලැස්මේ මුල් අදියරේ ඉදිකිරීම් වේ. එකල මෙම ව්‍යාපෘතිය සැලසුම් කල පිරිසට බෝවතැන්න දක්වා ජලය ගෙන ආ පසු එතැනින් එහාට රජරට දක්වා ජලය ගෙනයාමට තවත් අභියෝගයකට මුහුණ දීමට සිදු විය. එනම් බෝවතැන්න ජලාශය වටා ඇති මුළු පරිසරයම කදු වලින් වටවී තිබීමයි. මේ නිසා බෝවතැන්නේ සිට උමගක් මගින් මෙම ජලය ඉදිරියට ගෙන යාමට තීරණය කරන ලදී. මේ අනූව බෝවතැන්න ජලාශයේ සිට කිලෝමීටර් 6.8ක් දිග සහ අඩි 11ක විෂ්කම්භයක් ඇති උමගක් නිර්මාණය කරන ලදී. මේ උමග ලෙනදොර උමග ලෙසින් හැදින්වේ. උමග අවසන් වන නාඋල ප්‍රදේශයෙන් දඹුලු ඔය ආරම්භ වේ.

            අපි මේ කියූ දඹුලු ඔය ආරම්භ වන ස්ථානයට එපිටින් මේ දියවර නැවත දෙකට බෙදේ. එයින් එක් ඇලමාර්ගයක් දඹුලු ඔය ලෙසින්ම ඉදිරියට යන අතර අනෙක් ඇල මාර්ගය හුරුළු වැව පෝෂිත ඇල ලෙස හුරුළු වැව බලා ගමන් කරයි. මහවැලි MH කපාලයට අයිති හුරුළු වැව ප්‍රදේශයට මෙන්ම හුරුළු වැවෙන් පහළ යාන් ඔය ද්‍රෝණිය, හබරන, සීගිරිය සහ කන්ඩලම ප්‍රදේශ සඳහාද මහවැලි දියවර ගෙනයනු ලබන්නේ මේ හුරුලු වැව පෝෂිත ඇලයි. බෝවතැන්න ජලාශයේ සිට ලෙනදොර උමග මගින් ගෙන එනු ලබන ජලයෙන් සියයට තිහක් පමණ මෙම ඇලට මුදා හැර අනෙක් සියයට හැත්තෑව දඹුලු ඔයට මුදා හරී.

            ලෙනදොර උමගෙන් පටන් ගන්නා දඹුලු ඔය කිලෝමීටර් 20ක් පමණ ගෙවා ගොස් ඉබ්බන්කටුව ජලාශයට එක් වෙනවා. මේ ඉබ්බන්කටුව ජලාශයද ඉදිකරනු ලබන්නේ මහවැලි ව්‍යපෘතිය යටතේමයි. මෙහි බැම්මෙහි දිග කිලෝමීටර් 1.5කි. එහි උස මීටර් 12කි. මෙම ජලාශය වර්ග කිලෝමීටර් 5ක පමණ පැතිරී තිබෙනවා. දඹුල්ල අවට ගොවිබිම් වලට ජලය සපයනු ලබන්නේ මෙම ජලාශයයි. ඉබ්බන්කටුව ජලාශයෙන් පටන් ගන්නා තවත් ඇලක් කිලෝමීටර් 16ක් පමණ ගොස් කලා වැවට එක්වෙනවා. මහවැලියෙන් පටන්ගෙන මෙසේ කලාවැවට එක්වන විට මහවැලි ජලය කිලෝමීටර් 90ක් පමණ දුර ගෙවාගෙන විත් තිබේ. එදා රජ දවසට වඩා අද වන විට කාලගුණික තත්වයන් වෙනස් වෙමින් පවතී ඒ නිසාම නිසි කලට රටේ සෑම ප්‍රදේශයකටම වැසි නොලැබේ. එදා රජදරුවන් ඉදිකල මහා ජලාශ වලට පවා නියන් සමයන් වලදී ජලය හිග වේ. මේවාට පිළියම් වශයෙන් කදුකරයේ මහවැලි නිම්නයේ සිට කලාවැව නිම්නයට මහවැලි දියවර ගෙන එමින් යල, මහ කන්න දෙකම වගා කරගැනීමට ගොවි ජනතාවට දිරිය දෙමින් රට සශ්‍රීක කරන්නට වෙර දැරූ සෑම කෙනෙකුට අපගේ ස්තූතිය හිමි විය යුතුය.


ඉබ්බන්කටුව ජලාශය


බෝවතැන්න ජලාශයේ සිට ලෙනදොර උමගෙහි ගමන් මග


පොල්ගොල්ල සිට කලාවැව දක්වා මහවැලි ජලය ගමන් ගන්න ගමන් මග