Sri Lanka

Thursday, December 16, 2021

රිජ්වේ ආර්යාව යනු කවුද



මරදානේ ඉදන් බොරැල්ල පැත්තට යනකොට හැමදාම දකින තැනක් තමයි රිජ්වේ ආර්යා ළමා රෝහල. ළමා රෝහලේ දැන් කෙරෙන්නේ මොනාද කියලා හැමෝම දන්නවා වුනාට කවුද මේ රිජ්වේ ආර්යාව? ඇයි මේ රෝහල ඒ නමින් නම් කලේ කියලා මට නම් ප්රශ්න ගොඩක් තිබුනා. සොයන්නාට සම්බවේ කියලා මෙන්න මේ විස්තරේ හම්බ වුනා මට හොයාගෙන හොයාගෙන යනකොට.
රිජ්වේ ආර්යාව යනු 1896 සිට 1903 දක්වා ශ්රී ලංකාවේ ආණ්ඩුකාර ධුරය දැරූ ශ්රීමත් ජෝසප් වෙස්ට් රිජ්වේ මහතාගේ බිරිඳයි. නමුත් රිජ්වේ ආර්යා රෝහල ඉදිකිරීම සදහා මුලින්ම සම්බන්ධ වී ඇත්තේ මේ කියන රිජ්වේ ආර්යාව නොවේ. මෙම ඉතිහාසය ආරම්භ වූයේ තේ වැවිලිකරුවෙකු සහ දානපතියෙකු වූ ජෝර්ජ් වෝල් කාන්තාවන් සහ ළමුන් සඳහා වෙනම රෝහලක් නිර්මාණය කිරීමේ නවමු අදහස 1890-1895 කාලසීමාව තුළ ලංකාවේ ආණ්ඩුකාරවරයාව සිටි ශ්රීමත් ආතර් හැව්ලොක් මහතාගේ ආර්යාව සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවයි. මේ කාරණාව සදහා උද්යෝගිමත් වූ හැව්ලොක් ආර්යාව මේ රෝහල ඉදිකිරීම වෙනුවෙන් මහජනතාවගෙන් අරමුදල් රැස් කිරීම සඳහා කමිටුවක් පිහිටුවා ඒ වෙනුවෙන් නායකත්වය දුන්නාය. කමිටුව විසින් එක්රැස් කරගත් මුදල රුපියල් 46,000 ක් විය. එහි ප්රතිපලයක් වශයෙන්, 1895 ජනවාරි 17 වන දින ආණ්ඩුකාරවරයා විසින් කාන්තා හා ළමුන් සඳහා වූ හැව්ලොක් ආර්යා රෝහල (LHH) ලෙස හැඳින්වීමට නියමිතව තිබූ ස්ථානයට මුල්ගල තැබීය.
එය ඉදිකිරීමට වසරකට වැඩි කාලයක් ගත වූ අතර, ඒ වන විට ශ්රීමත් ආතර් හැව්ලොක් මහතාගේ ආණ්ඩුකාර කාලසීමාව අවසන්වී තිබූ බැවින් නව ආණ්ඩ්කාරවරයා ලෙස ශ්රීමත් ජෝසප් වෙස්ට් රිජ්වේ මහතාව පත් කර තිබූ අතර, එබැවින් 1896 ඔක්තෝබර් 12 වන දින චාරිත්රානුකූල රෝහල විවෘත කළේ රිජ්වේ ආර්යාවයි. දේශීය සමාගම් කිහිපයක සහාය ඇතිව විශිෂ්ට උත්සවයක් සැලසුම් කර තිබුණත්, වර්ෂාව නිසා උත්සවයේ උත්කර්ෂවත් බව තරමක් අඩු වූ අතර, සැලසුම් කළ සංදර්ශන කිහිපයක් සිදු කිරීමට නොහැකි විය. කෙසේ වෙතත් සම්භාවනීය පුද්ගලයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
බොරැල්ලේ කොළඹ තදාසන්න ප්රදේශයේ ඉඩකඩ සහිත වටපිටාවක පිහිටා ඇති මෙම රෝහලේ ගෘහ නිර්මාණ ශිල්පය සාමාන්ය බ්රිතාන්ය යටත්විජිත පන්නයේ රතු ටෙරාකොටා බිත්ති, විසිතුරු ජනේල වලින් සමන්විත වූ අතර, සිසිලස සලසන කොරිඩෝව සහ සෙවන දෙන කුළුණු විය. .

හැව්ලොක් ආර්යා රෝහල


පසුකාලීනව බටහිරකරණය වූ වෛද්ය යුගයක, ආකර්ෂණීය LHH ඉතා ඉක්මනින් ජනාකීර්ණ වූ අතර අඩු කාර්ය මණ්ඩලයක් සහිත රෝහලක් බවට පත් විය. දරුවන්ට වෙන වෙනම නවාතැන් නොදීම නිසා යම් යම් ගැටලු ඇති විය. එබැවින් 1909 පෙබරවාරි 26 වන දින, එවකට ආණ්ඩුකාර ශ්රීමත් හෙන්රි මැකලම්, රිජ්වේ ආර්යාවගේ ප්රධානත්වයෙන් මෙම අවස්ථාවේදී, මහජන දායකත්වයෙන් නැවත වරක් දරුවන් සඳහා වෙනම වාට්ටුවක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීය. 1910 සැප්තැම්බර් 27 වන දින විවෘත කරන ලද මෙම නව කොටස හැඳින්වූයේ රිජ්වේ ආර්යා රෝහල (LRH) ලෙසිනි, එය තට්ටු දෙකකින් යුත් ගොඩනැගිල්ලක් වන අතර එය “විසිතුරු බිම් මහලකින් යුත් තේජාන්විත අභ්යන්තර සහිත විය.
රටේ පළමු ස්වාධීන ළමා රෝහල නිර්මාණය කරමින් එක් රෝහලක් දෙකක් බවට පත් විය. කෙසේ වෙතත්, ළමා රැකවරණය සඳහා ප්රධානතම සන්ධිස්ථානයක් වූ මෙම රෝහලට 1937 වන තෙක් ළමා රෝග විශේෂඥ වෛද්යවරයෙකු පත් කරනු නොලැබුණි. 1948 නිදහසෙන් පසු සෞඛ්යය අමාත්යාංශය LRH ක්රනමානුකූලව ප්රතිසංස්කරණය කිරීමට සැලසුම් සකස් කළේය. නව වාට්ටු සහිත නව රෝහලේ පළමු අංශය 1950 දී (LRH එහි පළමු X-ray යන්ත්රය ලබා ගත් වර්ෂයේදී), බාහිර රෝගී අංශය (OPD) 1957 දී, ඉතිරි වාට්ටු 1961 දී සහ නව ශල්යාගාරයක් 1971 දී විවෘත කරන ලදී.
හැව්ලොක් ආර්යා රෝහල සම්බන්ධයෙන් ගත් කල, එය 1954 දී කාන්තාවන් සඳහා අසල කාසල් වීදි රෝහල විවෘත කිරීමත් සමඟ එහි පැවැත්ම නතර විය. 2000 දී විවෘත කරන ලද චීන රජය විසින් අරමුදල් සම්පාදනය කරන ලද මහල් දහයකින් යුත් තටුවක් සඳහා ඉඩ සැලසීම සඳහා ඉතිරි ගොඩනැගිලි 1990 ගණන්වල මැද භාගයේදී කඩා ඉවත් කරන ලදීරිජ්වේ ආර්යා ළමා රෝහල ඇඳන් 700 සිට 1,100 දක්වා වැඩි කර, එය ලොව විශාලතම ළමා රෝහල බවට පත් විය.

රිජ්වේ ආර්යා ළමා රෝහල අද




අද, LRH වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා ළමා වෛද්ය ශල්ය සත්කාර සඳහා ජාතික යොමු මධ්යස්ථානය ලෙස සේවය කරයි. එය කොළඹ සහ ඒ අවට ජනගහනය සඳහා ප්රාදේශීය රෝහලක් ලෙස ද සේවය කරයි. නමුත් වර්ථමානයේ එහි ඇඳන් සංඛ්යාව 900 බව ඔප්පු වී ඇත. එබැවින් LRH දැන් ලෝකයේ විශාලතම නොවූවද මෙම රෝහලෙන් සැපයෙන් සේවාවන් සහ එම රෝහල ලබා ඇති ජයග්රහණ අතිමත්ය.
වාට්ටු 22ක් සහ විශේෂ ඒකක හයක් ඇති අතර, වෛද්යවරුන් 450ක් (සීමාවාසික සහ නේවාසිකයන් දෙකම), උපදේශකයින් 44ක්, ලියාපදිංචි හෙදියන් 600ක් සහ මුළු කාර්ය මණ්ඩලය 2,100ක් ඇත. OPD, පැය විසිහතර පුරාම විවෘතව පවතින අතර, දිනකට රෝගීන් 2,500-3,000ක් (එනම් වසරකට මිලියනයක්) ප්රතිකාර ලබයි. ඒ හා සමානව පැය 24 පුරා ක්රියාත්මක වන හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකක සේවා තිබේ. ශ්රී ලංකා රජයේ රාජ්ය සෞඛ්ය ප්රතිපත්තියට අනුව සියලුම සේවාවන් නොමිලේ.
ඊට අමතරව, LRH සෞඛ්ය අමාත්යාංශය යටතේ ප්රමුඛතම ශික්ෂණ රෝහලක් ලෙස ක්රියා කරන අතර, ශ්රී ලංකාවේ උපාධි අපේක්ෂකයින් සහ පශ්චාත් උපාධි වෛද්ය සහ ශල්ය වෛද්ය හා ශල්ය ළමා පුහුණු බොහෝමයක් සඳහා වගකීම දරයි.

රුවක් ඇදෙනවා... කවුදෝ එනවා.....


 


රුවක් ඇදෙනවා ගීතයට සමලිංගික ලේබල් අලවගෙන සමහර අය දගලපු කාලයක් තිබුනා. ඒත් මේගීතය බිහිවීම පිටිපස්සේ තියෙන්නේ වෙනස්ම කතාවක්. රුවක් ඇදෙනවා කවුදෝ එනවා ගීතය ලියන්නේ මහින්ද දිසානයාකයන්. එවකට ඔහු ගීත ලියන්නට පටන් ගත්තා පමණි. විශාරද ගුණදාස කපුගේ රජරට සේව කරන අවදියේ මහින්ද දිසානාකන් උවමනා වෙනවා කපුගේ ලවා ඔහු ලියූ ගීතයක් ගායනා කරවා ගන්න. නමුත් එවක ඔහුත් කපුගේත් අතර කිට්ටු සබ්ද කාවයක් තිබුනේ නෑ. ඒ නිසා ඔහු ඒ බව ඔහුගේත් කපුගේගේත් දෙදෙනාගේම මිත්ර යෙකු වූ ධනසේන කඹුරුගමුව මහතාට පවසනවා. එතුමන් දිසානකන් පවසනවා ගීතයක් ලියන ලෙසත් කපුගේව මුනගැහීමට අවස්ථාවක් සූදානම් කරන බවත්.

දිනක් ධනසේන කඹුරුගමුව මහතාගේ නිවසේ මේ අවස්ථාව සූදානම් කරනවා. මහින්ද දිසානයකයන් එතැන යන්නේ පිරිමි දෙදෙනක් අතර ගැයෙන යුග ගීතයකුත් ලියාගෙන එතැන යනවා. එතැනදි ඔහුට ගුණදාස කපුගේ, ජයතිලක බණ්ඩාර සහ කරුණාරත්න දිවුල්ගනේව මුන ගැහෙනවා. සිසානායකයන්ගේ රචනාව අතට ගත් කපුගේගේ මුහුණේ එතරම් සතුක් තිබෙන බවක් පෙනෙන්න තිබුනේ නැහැ. මහින්ද දිසානායකයන්ගේ මුල් පද රචනාවේ තිබුනේ “මීවිතෙන් ගිණිකත වටුන ඇස කාගෙදෝ රුව ඇදෙන්නේ..... නිමේෂයකින් ඔබට සැසදෙන හිතවතෙකි ඔබ දකින්නේ.....” කියලා.
මේක දිහා බලාගෙන හිටපු කපුගේ මහින්ද දිසානායකයන්ට කියනවා “ මහින්ද තරහා වෙන්න එපා. මේක ගීපද මාලාවක වඩා කවියක්. කවියක් කෙනෙකුට දෙතුන් පාරක් හරි කියවලා තේරුම් ගන්න පලුවන්. නමුත් ගීතය එහෙම බෑ. ගීතයේ යම් සරළ බවක් තිබෙන්න ඕනෑ. දැන් ඔබ කියන්නේ බීමත් පුද්ගලයෙක් ලගට තවත් කෙනෙක් මේ සුරාව බොන්න එන කතන්දරේනේ. දැන් බීමත් පුද්ගලයෙක් ස්සරහට එන කෙනාගේ රූපය හරියට පෙනෙන්නේ නැහැනේ. ඉතින් “රුවක් ඇදෙනවා.... කවුදෝ එනවා...”වගේ දැම්මොත් කොහොමද?”. මහින්ද දිසානායකයන් මේකට කැමති වෙලා මේකේ මුල් පද ටික ලියනවා.
පස්සේ එ මොහොතෙම කපුගේ මේ ගීතකයට තනුව දාලා මේ විදිය තමයි ඉතිරිය ලයන්න ඔනා කියලා දිසානායකයන්ට කියනවා. ඉතින් රෑ 1,2 වෙනකොට ගීතයත් ලියලා සංගීතයත් යොදනවා. කපුගේ ඊට පස්සෙ සතියෙම ඔහුගේ සරළ ගී වැඩසටහනකට මේ ගීතය ගායනා කරනවා.
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇදිරිය දෑස වසනවා
හද පොදි බැදි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා
සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ //
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ
නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා //
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා

හංස විලක්





හංස විලක් කියන්නේ සැබෑ කතාවක් පදනම් වුන චිත්රපටයක්. එහි එන සියලුම සිදුවීම් සත්ය සිදුවීම් බව තමයි එහි රචකයා සහ අධ්යක්ෂවරයා වන ධර්මසිරි බණ්ඩාරනායකයන් පවසන්නේ. මෙහි ප්රධාන චරිතය නිරූපණය කරන්නෙත් බන්ඩාරණායකයන්මයි. ඒ නිශ්ශංක වීරසේකර නමින්. ඔහුගේ නීත්යානුකූල බිරිඳ ලෙසින් චිත්රපටයේ රඟපාන්නේ වසන්ති චතුරානි. ඒ වගේම නිශ්ශංක වීරසිංහගේ අනියම් සම්බන්ධය වන මිරුන්ඩා රණවීර ලෙසින් රගපාන්නේ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය සහ ඇගේ නීත්යානුකූල සැමියා වන ඩග්ලස් ලෙස හෙන්රි ජයසේනයන් රංගනයෙන් දායක වෙනවා.
මෙහි තිර පිටපතට හිමිවන්නේ එකල ශ්රේණිගත කිරීම් වලට අනූව සී ශ්රේණියයි. එය ඒ ශ්රේණියේ වූවා නම් එකල චිත්රපටයේ පිරිවැය බැංකුවක් මගින් ලබා දීමට චිත්රපට සංස්ථාව කටයතු කරනවා. නමුත් තම චිත්රපටයට අනුග්රාහකයෙකු සොයාගැනීමට බණ්ඩාරනායකයන්ට සිදු වෙනවා. කෙසේ හෝ එකල ඇස්වාටුවේ බේක් හවුස්හි සභාපති ඇල්බට් ජයසිංහ මහතා නිෂ්පාදනය සදහා කැමැත්ත පල කරනවා. නමුත් චිත්රපටය අතරමඟදී එතුමන් මිය යනවා. නමුත් සී ශ්රේණියේ තිබූ හංස විලක් චිත්රපටයට සම්භාව්ය පස්වන මණ්ඩලයේ තිරගත කිරීමට අවසර හිමි වෙනවා.
මිරැන්ඩා රණවීර සහ නිශ්ශංක වීරසිංහ අතර ඇතිවන අනියම් ප්රේමයේ උච්චතම අවස්ථාවට පැමිණි විට මොවුන් දෙදෙනා පෙම් සුව විදීම සදහා හෝටල් කාමරයකට යෑමට තීරණය කරනවා. නමුත් හෝටල් කමරයේ පෙම් සුව විදින මොවුන් අතරට හදිසියේම පොලීසිය කඩා පනිනවා. මොවුන් දෙදෙනාගෙන් ප්රශ්න කිරීමට පොලීසිය මොවුන් දෙදෙනා වෙන වෙනම ගන්නවා. නිශ්ශංක පොලීසිය නොමග යැවීමට විවිධ දේ කියුවත් දෙදෙනාගේ ප්රකාශ පරස්පර නිසා අවසානයේ දී සත්ය පැවසීමට සිදු වෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි අපිට හෙමින් සැරේ පියා විදා ගීතය මුලින්ම ඇහෙන්නේ. අන්තිමේ දී දෙදෙනාටම දෙදෙනාගේ සැමියා සහ බිරිද සමගින් උසාවියට පැමිණෙන්නට සිදුවෙනවා. මේ උසාවියේ නඩුකාරයා තීන්දුව ප්රකාශ කරන වස්ථාවෙත් මේ ගීතය ඇහෙනවා.
මේ ගීතය නිර්මාණය කිරීමත් බොහොම අපූරු විදියටයි සිදුවන්නේ. මේ ගීතය ලියන්නේ ධර්මසේන පතිරාජයන්. බණ්ඩාරනායකයන් පතිරාජයන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ චිත්රපටයට ගීතයක් ලියා දෙන්න කියා. පතිරාජයන් ඔහුගෙන් පිටපත ඉල්ලනවා මුලින්ම. පිටපත කියවපු පතිරාජයන්ට මේ ගීතය ලියන්න වැල්ලවත්තේ මුහුදු වෙරළට ගිහින් විනාඩි පහලොවයි ගත වුනේ. බණ්ඩාරනායකන් මේ ගීතය දෙන්නේ ආචාර්ය කේමදාසයන්ට. කේමදාසයන් මේ ගීතය ගායනා කරන්න තෝරගන්නේ ටී.එම්. ජයරත්නයන් සහ සුනිලා අබේසේකරයන්.
ඇත්තටම මේ ගීතය ගැන කියනවා නම් පදරචනාව ඉක්මවා සංගීතය ගිය අවස්ථාවක් කිවුවොත් නිවැරදියි. නමුත් මෙතැනදී පදරචනාවත් සංගීතයත් ඉතාම ප්රභලයි. නමුත් මේ ගීතය ගත්තම වචනයෙන් වචනය ගලවලා වෙන් කරන්න පුලුවන් ගීතයක් නෙමෙයි. මේ වචන පොකුරම ගත්තම මේ හොටල් කාමරයේ තනිවුන පෙම්වතුන් යුවලගේ හිත්වල ඇතිවන සම්පූර්ණ හැගීමම විස්තර කරනවා. මේ ගීතයේ එන ප්රභලතම ප්රකාශණයක් තමයි “නැවුම් වත්සුණු රොනින් මත් වී... සිහින නිම්නය සුපුෂ්පිත වෙයි” කියන කොටස. මේ දෙදෙනාගේ හැගීම් උච්චතම අවස්ථාවට පැමැණීම තමයි මේ මගින් රචකයා ශ්රාවකයාට ගෙනහැර දක්වන්නේ. පෙම් කරන්න තැනක් නැතුව හෝටලයක් හොයාගෙන යන යුවලකට ඒ කාමරයේ හම්බවෙන පුස් ගඳ ගහන කුනු දූවිලි පිරුන ඇදත් සිනිදු ඇතිරිලි වලින් සරසපු සුමුදු සයනයක්ම තමයි.
1980දී තරගත වුන හංස විලක් චිත්රපටය වෙනුවෙන් එහි අති විශිෂ්ඨ රංගනයක යෙදෙන ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියට 1981දී ජනාධිපති සම්මානය හිමි වෙනවා. ඒ වගේම හෙන්රි ජයසේනයන්ට 1981 සරසවිය සම්මාන උලෙළේදී හොදම සහාය නළුවා සම්මනය හිමි වෙනවා. එමෙන්ම එම සම්මාන උලෙළේදීම හොදම තිර රචනය සදහා වූ සම්මානය ධර්මසිරි බණ්ඩාරනායකයන් හිමිකරගන්නවා.
ඔබත් අවස්ථාවක් ලැබුනොත් නැරඹිය යුතුම චිත්රපටයක් තමයි හංස විලක්...
හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින
නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ
ගායනය : ටී.එම්.ජයරත්න සමඟින් සුනිලා අබේසේකර
සංගීතය : ප්රේමසිරි කේමදාස
පද රචනය : ධර්මසේන පතිරාජ



Monday, December 13, 2021

වන්නියේ මිනිසුන්ගේ කඳුල නිවූ රිදී බැඳි ඇල්ල

 



    කුරුණෑගල අනුරාධපුර ප්රධාන මාර්ගයේ පාදෙනියේ සිට මාර්ග අංක 57 ඔස්සේ පැමිණෙන විට මිනුවන්ගැටේ පසුකරන විට හමුවන්නේ දැදුරු ඔයයි. අතීතයේ මේ දැදුරු ඔය හදුන්වා ඇත්තේ ජජ්ජර නදී නමිනි. දැදුරු ඔය පසු කර මීටර් 150ක් පමණ ගිය තැන තවත් කුඩා ඇලක් හමු වේ. එය වර්ථමාන රිදී බැදි ඇල්ල වාරි ඇලයි. නමුත් අපි මේ කතා කරන්නේ මෙයින් වසර 1700කට පමණ පෙර ඉදිවූ රිදී බැදි ඇල්ල ගැනයි.
 
    ඒ මහසෙන් රජතුමන් මාගල්ල වැව සදා නිම කල අවදියයි. වැව නිම කර ටික කලක් යන විට වැවේ ධාරිතාවයට ප්රමාණවත් තරම් ජලය නොලැබෙන බව රජුට පෙනී ගියේය. එම නිසා මෙම වැවට ජලය ලබා ගැනීමට ක්රමයක් කල්පනා කරමින් රජු එදවස් ගතකරමින් හුන්නේය. දිනක රජු ගමනක් යන විට දැදුරු ඔය හරහා ගමන් කරන්නට සිදුවී ඇත. රජු ගමන් කරන්නට පැමිණි ස්ථානයේ තිබූ සිදුවීමක් ගැන රජු වඩාත් සැලකිලිමත් විය. එම ස්ථානයේ දැදුරු ඔය හරහා ස්වභාවික ගල් වැටි පිහිටා තිබුණ ස්ථානයකි. එය ඔයේ ජලය අඩු නියන් සමයකි. එම නිසා එම ස්ථානයේ කාන්තාවක් මේ ස්වභාවික පිහිටීම ප්රයෝජනයට ගෙන ගල්වැටියක් බැද අමුණක් සාදාගෙන තමන්ගේ රෙදි පොට්ටනි සෝදමින් උන්නාය. මෙය දුටු රජු ඇයගේ මේ බුද්ධිය පිළිබදව මහත් විශ්මයට පත්වී ඇත. මෙම ස්ථානය තම වැවට ජලය ලබා ගැනීමට අමුණක් ඉදිකිරීමට හොදම ස්ථානය බව වටහාගත් රජතුමා එම ස්ථානයෙන් දැදුරු ඔය හරස් කර අමුණක් බැද ඇලමාර්ගයක් ඔස්සේ මාගල්ල වැවට ජලය ලබාගෙන ඇත.
 
එම ස්ථානයේ ගල් වැටියක් බැද රෙදි සෝදමින් හුන්නේ එකල රෙදි සෝදන කුලයේ කාන්තාවකි. රෙදි සෝදන කුලය හදුන්වන්නේ රදා කුලය නමිනි. එම කුලයේ කාන්තව පොදුවේ හදුන්වා ඇත්තේ රදවි නමිනි. එම නිසා රජු ඇයගේ නුවනක්කාර කම සිහිවීම පිණිස එම ඇලට “රදවි බැදි ඇල්ල” නමින් නම් තබා ඇත. පසුකාලීනව ව්යවහාරයත් සමග රදිවි බැදි ඇල “රිදී බැදි ඇල්ල” බවට පත්වී ඇත. රිදී බැදි ඇල්ල සම්බන්ධ ජනප්රවාදය එයයි
ක්රි. ව 1855 දී ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ සර් හෙන්රිවෝඩ් ආණ්ඩුකාර තුමාට මෙම අමුණෙහි නටඹුන් මෙන්ම නටඹුන්වී ගිය මාගල්ල වැව ගැනද දැන ගන්නට ලැබී ඇති අතර ඒ පිළිබදව සොයා බැලීමට මේජර් ස්කිනර් මහතාට භාර කල බව ඉතිහාස වාර්තා වල සදහන්වේ. එහි ප්රතිඵලයක් ලෙස 1873 දී එවකට ආණ්ඩුකාරවරයා විසින් මාගල්ල වැව ප්රතිසංස්කරණය කර ඇත.
 
මහාමාන්ය ඩී.එස් සේනානායකයන්ගේ වාරි ව්යාපෘති යටතේ (1937-1949) පැරණි රිදීබැදි ඇල්ල තිබු ස්ථානයේම නව රිදීබැදි ඇල්ල නිර්මාණය කරමින් පැරණි වාරි ඇලෙහි ඉතිරිවී තිබූ කොටස් සමග නව වාරි ඇල සම්බන්ධකර මාගල්ල වැවට ජලය ලබාගැනීමට කටයුතු කර ඇත. මහසෙන් රජුට කරන ගෞරවයක් වශයෙන් මෙම අමුණටද රිදී බැදි ඇල්ල නමින් නම් තබා ඇත. මෙම අමුණ අසල ඇති පුවරුවක මේ පිළිබද තොරතුරු ඉංග්රීසි බසින් සදහන් කර ඇත. ඔබත් සංචාරයට කැමති අයෙක් නම් මේ ස්ථානයද නැරඹිය යුතුම ස්ථානයකි.
 






 

යකා බැදි ඇල්ලේ මායාව

 


    මා ඔය පිටාර ගලපු කතාව අහපු නිසා මා ඔය සමග බැදුනු අපූරු කතාවක් ලියන්නට සිතුනා. මම මේ කතා කරන යකා බැදි ඇල්ල පිහිටා ඇත්තේ මා ඔයේ වීම ඊට හේතුවයි. මෙම යකා බැදි ඇල්ලේ ඉතිහාසය දඹදෙනි රාජධානියටත් එහා ක්රි .පූ 2වන සියවසේ දුටුගැමුණු යුගය දක්වා දිව යයි. 
 
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්රික්කයේ ගිරිඋල්ල නගරය අසලින් ගලා බසිනා මා ඔය             ගිරිඋල්ලේ අනන්යතාවය කියාපාන්නාක් මෙන් ගිරිඋල්ලට අපූරු සුන්දරත්වයක් එක් කර දීමට සමත්වී ඇත. කෑගල්ලෙන් ආරම්භ වන මාඔය ඉක්මන් ගමනින් ගිරිඋල්ල දක්වා පැමිණුනද, ගිරිඋල්ලෙන් පසුව හමුවන පහත් බිම් වලදී විවිධ භාදක වලට මුහුණ දීමට මා ඔයට සිදුවෙයි. මෙම ප්රදේශයේදී ගඟ හරස්කර ඉහළට මතුවී පෙනෙන ගල්කුළු සහිත ඉසව් බොහොමයක් දකින්නට ලැබේ. මේ භූගෝලීය පිහිටීම ප්රයෝජනයට ගනිමින් තැනූ වේල්ලක නටඹුන් මේ ප්රදේශයෙන් දැකිය හැකිය. ඒ අපි මේ කතා කරන යකා බැදි ඇල්ලයි. ගිරිඋල්ල සිට මීගමුව වෙත දිවෙන ප්ර්ධාන මාර්ගයේ ගිරිඋල්ල සිට කිලෝමීටර් දෙකක් පමණ මීගමුව දෙසට ගමන් කල විට යකා බැදි ඇල්ල නමින් දැන්වීම් පුවරුවක් දැකිය හැකිය. එතැනින් හැරී මෙම ස්ථානයට පිවිසිය හැකිය. 
 
ගිරිඋල්ල මීගමුව මාර්ගයේ යන විට යකාබැදි ඇල්ල පාර ලෙස නම් කල පුවරුවක් හමුවේ

 
    මේ ප්රදේශයේදී මා ඔය වඩා පළල්ව ගමන් කරයි. ඒ නිසාම මේ ප්රදේශයේදී මා ඔය හරස් කර වේල්ලක් බැදීම මිසෙකුට කල නොහැකි වැඩකි. එම නිසා මෙම ස්ථානයේ වෙල්ලක් බැදීම යකුන් විසින් කල වැඩකැයි සැලකීම නිසා යකා බැදි ඇල්ල යනුවෙන් පවසන්නට ඇතැයි විශ්වාසයක් පවතී. එමෙන්ම එකල ජීවත්වූ යක්ෂ ගෝත්රික ජනතාව විසින් මෙය කරවූ නිසා මෙයට ඒ නම ලැබෙන්නට ඇතැයිද තවත් මතයක් පවතී. තවද වසභ රජුගේ මුනුපුරෙකු ලෙස සැලකෙන මායා රට රජකම් කල ගජබාහු රජුගේ සමයේ මෙය ඉදිවන්නට ඇතැයිද තවත් මතයක් පවතී.
 
 
මා ඔය

 
    නමුත් වඩාත් පිළිගැනෙන ජනප්‍රවාදය වෙනස්ම එකකි. එළාර දුටුගැමුණු යුද්ධයෙන් දුටුගැමුණු රජු ජයග්රනහණය කිරීමෙන් අනතුරුව අරඹන්නේ ආගමික කටයුතු සේම රට සහලින් සශ්රීක කිරීමේ කටයුත්තයි. මෙහිදී දුටුගැමුණු සේනාවේ වඩාත් ජනප්රියම (මා එසේ පවසන්නේ අනෙක් යෝධයන්ට වඩා බොහොමයක් කතන්දර ගෝටයිම්බර යෝධයා වටා ගෙතී ඇති නිසාවෙනි) යෝධයා වූ ගෝටයිම්බර යෝධයා ගොවිතැන් කටයුතු වල නියැලීමට තෝරගන්නේ වර්ථමාන කටුගම්පොල ආසනයේ පිටිගල් කෝරලයයි. මේ කටයුත්තට පැමිණි යෝධයා මාකදුර ප්රදේශයේ තිබූ ඉඩම් වල කුඹුරු අස්වද්දා ඒවාට ජලය ලබා ගැනීමට ඒ අසළින් ගලා බසිනා මා ඔය හරස් කර බැම්මක් බැද ජලය ලබා ගැනීමට තීරණය කර ඇත. ඒ අනූව වර්ථමානයේ මත්තේගම නමින් හදුන්වන ප්රදේශයෙන් මා ඔය හරස් කර බැම්ම බැදීම ආරම්භ කර ඇත. බැම්ම ඉදිකිරීම සදහා විශාල කළුගල් කුට්ට රැගෙනවිත් තිබේ. දවස පුරාමා වැඩ කර වේලේල බැදීම කටයුතු එදිනට නිමාකර නිවසට ගොස් නැවත පසුවදා පැමිණෙන විට ඉදිකර තිබූ වේල්ල කඩා බිද දමා ඇති අයුරු යෝධයාට දැකගන්නට ලැබී තිබේ.
 
 
    මෙලෙස තම කටයුතු කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේ කවුදැයි සෙවීමට යෝධයා උපක්රමයක් කල්පනා කලේය. දිනක් මහරෑ මේ පිළිබදව සොයා බලමින් යෝධයා සගවී සිට ඇත. එදින මධ්යකම රාත්රියේදී යක්ෂයෙකු පැමිණ වේල්ල කඩා දමන අයුරු යෝධයාට දකින්නට ලැබී තිබේ. වහා කෝපාවිශ්ඨ වූ යෝධයා එල්ලකල පහරින් යක්ෂයා මරණයට පත්වී ඇත. එයින් නොනැවතුනු යෝධයා යක්ෂයා බැම්මට තබා බැද වේල්ල ඉදිකිරීම අවසන් කර ඇත. ඉන් පසුව කිසිවෙකුගෙන් වත් වේල්ලට හානියක් සිදුවී නොමැති අතර යෝධයා වේල්ල ඉදිකිරීම් අවසන් කර වේල්ලෙන් කුඹුරු වලට ජලය ගෙනයාම සදහා “බල ඇල” නම් වාරි ඇලක්ද ඉදිකර ඇත. ගෝටයිම්බර යෝධයා ඉදිකල මෙම ඇල යක්ෂයෙකු බැද ඉදිකල නිසා මෙයට “යකා බැදි ඇල්ල” යන නම ලැබී ඇති බව ජනප්රවාදයේ කියවේ.
මෙම වේල්ලෙහි දිග අඩි තුන්සියයකටත් වඩා වැඩි වන්නට ඇතැයිද පළල අඩි විසිපහක් පමණ වන්නට ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති. විශාල ප්රමමාණයේ කල් කුට්ටි හරි හතරැස්ව කපා එකින් එක පිළවෙලට පුරුද්දා යන්තම් හෝ ජල කාන්දුවක් නොවන අයුරින් වේල්ල නිමවා තිබූ අයුරු විශ්මයජනකය. මන්ද මේ ගල් කුට්ටි එකිනෙකට සම්බන්ධ කිරීම සදහා කිසියම් බදාමයක් යොදාගත් බවට සාක්ෂී හමුවී නොමැත. මෙම ගල් කුට්ටි මනාව ඔප දමා යම්කිසි තාක්ෂණික ක්රමවේදයකට තබා මෙම වේල්ල ඉදිකරන්නට ඇතැයි අපට විශ්වාසකල හැකිය.
 
    යකා බැදි ඇල්ල විනාශ වූ අයුරු කියෙවෙන බොහොම ශෝචනීය කතාවක්ද ඇත. රාජසිංහ රජ සමයේ මහනුවර රාජධානියේත් කුරුණෑගල ප්රදේශයේත් විසූවන් අතර ඇතිවූ ආරවුලකදී, ඉතා සශ්රීක ප්රදේශයක් වූ කුරුණෑගල ප්රදේශයේ මිනිසුන්ගෙන් පළිගැනීමට කල යුතු හොදම දෙය නම් කුරුණෑගලට ආසන්නයෙන්ම පිහිටා තිබූ යකා බැදි ඇල්ල විනාශ කිරීම බව සිතූ රාජසිංහ රජතුමා විසින් මෙම අපූරු වාරිකර්මාන්තය විනාශ කල බව කියවේ. එය හුදෙක් ජන කතාවක් පමණි. නමුත් යකාබැදි ඇල්ලෙන් පෝෂණය වූ පිටිගල් කොරලයේ සමහර කුඹුරු අදටත් පාළුවට ගොසිනි. එ නිසා රාජසිංහ රජුගේ අරමුණ ඉටුවූ බව පෙනේ. පහත කවියෙන්ද එය සත්ය යක් යැයි සිතීමට අපව පොළඹවනු ලබයි.
 
කන්නට තලා හෝ පැණිවැල්ල පොතු ගෙනේ
බොන්නේ බොර දියයි මඩ කඩිති ඉසි මිනේ
ඉන්නේ අතු පැලෙයි නෙක ගැහැට විඳිමිනේ
දුන්නේ ඇයි මෙදුක රාසිංහ දෙවිඳුනේ
 









 

Wednesday, February 3, 2021

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 32

 පෙර ලිපිය මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 31 

 

මහවැලි ගග උපතේ සිට මෝය දක්වා නැවත හැරී බලමු

            මහවැලි ගගේ මුල් දියත්ත අපට හමුවන්නේ හොර්ටන් ගැන්නේ පිහිටි අග්‍රා බෝපත් කදු වලිනි. එතැනින් පටන් ගන්න මේ කුඩා දිය පාරෙන් අග්‍රා බෝපත් ඔය නිර්මාණ වෙනවා. මේ අග්‍රා බෝපත් ඔයට තොටුපොල කන්දෙන් එන දිය සීරාවල් එකුවී අග්‍රා ඔය බවට පත්වෙනවා. අග්‍රා ඔය මහා වන මැදදී සුන්දර දිය ඇල්ලකුත් නිර්මාණය කරගෙන ඩයගමට පිවිසෙනවා. යගමින් පසුව මහවැලි ගග ජනසතු වෙනවා.

අග්‍රා ඔයේ මුලි දියත්ත

ඩයගම පවර් හවුස්

 

            මේ අග්‍රා ඔය ඩයගමදී පවරෝස් ඇල්ල නිර්මාණය කරනවා. ඩයගමදී මහවැලි ගගේ අපට හමුවන පළමු බලාගාරය වන ඩයගම පවර් හවුස් හමුවෙනවා.  ඩයගම පසු කරන අග්‍රා ඔයට තිස්පනේ හරියෙදි අඹේවෙලින් ආරම්භ වන දඹගස්තලා ඔය එකතුවීමෙන් කොත්මලා ඔය නිර්මාණය වෙනවා. කොල්මලා ඔයට තලවාකැලේදී, නුවර එළිය ග්‍රෙගරි වැවෙන් ආරම්භ වන නානු ඔය එකතු වෙනවා. එතැනින් පහළට ගලන කොත්මලා ඔය හරස් කරමින් ඉහළ කොත්මලේ ජලාශය ඉදිවෙනවා. ඉහළ කොත්මලේ බලාගාරයට පහළින් අපට හමුවෙනවා සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල. මේ ඇල්ලට මදක් පහළින් ඩෙවොන් ඇල්ල හමුවෙනවා. මේ දියඇල්ල පසුකරගෙන යන කොත්මලා ඔයට මල්දෙනිය හරියෙදි සුන්දර ඩන්සිනන් ඇල්ල නිර්මාණය කරන පූඩලු ඔය එක්වෙනවා.

ඉහළ කොත්මලේ ජලාශය

 

            මෙලෙස ගලන කොත්මලේ ඔය හරහා කොත්මලේදී තිස්පනේ කන්දත් කඩදොර කන්දත් යා කරමින් කොත්මලේ යෝධ වේල්ල ඉදිවෙනවා. කොත්මලේ ජලාශය පසුකරගෙන යන කොත්මලේ ඔයට මහවිල්ලාවෙදි, හැටන් ඇබෝස්ලි වත්තෙන් ආරම්භ වන හැටන් ගග එකතුවීමෙන් මහවැලි ගග නිර්මාණය වෙනවා. මීලගට අපට හමුවෙනවා උලපනේ පැරණි යකඩ පාලම, උලපනේ නව පාලම වගේම උලපනේ මෝඩයාගේ පාලම. 

කොත්මලේ ජලාශය

 

            මෙසේ ගලන මහවැලි ගග ගම්පොලට පැමිණෙනවා. ගම්පොලදී ගලහ ප්‍රදේශයෙන් ආරම්භ වන නිල්ලඹේ ඔය එකතු වෙනවා. ඒ වගේම ගම්පොල පාලමත් පසු කරනවා.  එයින් පසුව මහවැලි ගඟ පේරාදෙණියට පිවිසෙනවා. පෙරාදෙණිය විශ්වවිද්‍යලය පසුකරන මහවැලි ගග පේරාදෙණිය මහ පාලම වගේම පේරාදෙණිය සුදු පාලමද පසු කරණවා. පෙරාදෙණියේදී නානු ඔය නැමති කුඩා ඔයක් මහවැලි ගගේ වම් ඉවුරෙන් එකතු වෙනවා. ඒ වගේම මෙහිදී පේරාදෙණිය දුම්රිය පාලමත් පසු කරනවා.

            පේරාදෙණියේ ගැටඹේ තොටෙන් දළදා වහන්සේගේ අශිර්වාදය ලබාගන්නා මහවැලි ගඟ මීලගට ගලන්නේ කටුගස්තොට දෙසටයි. කටුගස්තොට පාලම පසු කරන මහවැති ගඟ ත්‍රි සිංහලේ සීමා මයිම් ලකුණු කරන්නේ පිගා ඔය මහවැලි ගගට වැටෙන ස්ථානයෙන්. මෙතැන පසුකරන මහවැලි ගඟ මීලගට පිවිසෙනේ ලංකාවේ මෑත යුගයේ විෂ්මිතම වාරි ව්‍යාපරය වන පොල්ගොල්ල හැරවුම වෙතටයි. පෙල්ගොල්ල අමුණ පසුකරන මහවැලි ගඟ කුණ්ඩසාලේ පාලම පසු කරනවා. එතැනින් පසුව මහවැලි ගගේ හමුවනා මහා ජලාශ ත්‍රිත්වය වන වික්ටෝරියා, රංන්දෙණිගල හා රන්ටැඹේ යන ජලාශ නිරිමාණය කරනවා. වික්ටෝරියා ජලාශයේ දී මහවැලි ගගට මා ඔය, හුළුගග සහ ගල්මල් ඔය එක්වෙනවා.ඒ වගේම මයිලපිටියෙදි මයිලපිටිය ඔය ද මහවැලි ගඟට එක්වෙනවා. ඒ වගේම රන්දෙණිගල දී බෙලිහුල් ඔය සහ කුරුදු ඔය එක්වෙනවා. රන්ටැඹේදී ප්‍රසිද්ධ උමා ඔය මහවැලියට එක්වෙනවා.

පොල්ගොල්ල අමුණ

 
වික්ටෝරියා ජලාශය

රන්දෙණිගල ජලාශය

රන්ටැඹේ ජලාශය

 එතැනින් පසුව මහවැලි ගඟ මිනිපේ අමුණ නිර්මාණය කරනවා. මිනිපේ අමුනට පහළින් බදුලු ඔය මහවැලියට එක්වෙනවා. මිනිපේ අමුණෙන් පසුව මහවැලි ගඟ පිවිසෙන්නේ මහියංගනයටයි. මහියංගනයේ දී  මහියංගනේ චෛත්‍යය වැදපුදාගන්නා මහවැලි ගග වේරගන්තොට පාලම මෙන්ම නිපොන් පාලමද පසු කරනවා. වෙරගන්තොටදි රිදීකොතල ඇල නමින් කුඩා ඇලක් මහවැලියට එකතු වෙනවා. මීලගට හසලක ඔය එකතු වෙනවා. මේ හරියෙදිම දියබාන ඔයත් මහවැලියට එක්වෙනවා. ඒ වගේම මීලගට හීං ගග නැමති ඔයත් මහවැලියට එක්වෙනවා. තවත් ඉදිරියට යන මහවැලියට උල්හිටිය ඔය එක්වෙනවා.

 

මිනිපේ අමුණ

             උල්හිටියෙන් පසුව මහවැලිය පිවිසෙන්නේ වස්ගමුව ජාතික වනෝද්‍යානයටයි. මේ වනාන්තරය තුළින් කිලෝමීටර් 36ක් පමණ ගමන් කරන මහවැලියට අතරමගදී කාලිංග දූපත හමුවෙනවා. මේ අතරෙදිමයි මහවැලියේ අවසාන ඇල්ල වන කිරිඅම්මා ඇල්ල හමුවන්නේ. එතැනින් පසුව අපට හමුවෙනවා දිඹුලාගල චෙත්‍යය. දිඹුලාගල ආකාස චෛත්‍යය වැදපුදාගෙන ඉදිරියට ඇදෙන මහවැලි ගඟට මීලගට හමුවෙනවා අඹන් ගඟ මහවැලි ගඟට එක්වෙන ස්ථානය.

වස්ගමුව ජාතික වනෝද්‍යානය

             අඹන්ගඟ මහවැලි ගගට එක්වන ස්ථානය පසුකරන මහවැලි ගඟ මනම්පිටිය පාලම පසු කරනවා. මනම්පිටිය පාලම පසු කරගෙන යන මහවැලි ගගෙන් පෙරිය ආර වෙන්වනවා. එතැනින් ඉදිරියට යන මහවැලි ගඟට කන්දකාඩු පාලම හමුවෙනවා.  කන්දකාඩුවේදී කන්දකාඩු ආර මහවැලි ගගෙන් වෙන්වෙනවා. එතැන වම් ඉවුරේ පිහිටි සෝමාවතිය වැදපුදාගන්නා මහවැලිය ඉදිරියට යනවිට කොම්බනාච්චිය නැමති ප්‍රදේශයේ කරිඤ්ඤංමුණේදී පෙරිය ආර මහවැලි ගගට එක්වන අතර වෙරුගල් ආර මහවැලියෙන් වෙන් වනවා. සේමාවතී වනෝද්‍යානය හරහා ගලන මහවැලි ගඟ බෙරිවිල පසුකරනවා. බෙරිවෙලෙන් පසුව සිත්තාරු පාලම පසුකරන මහවැලිය සාම්පූර් මාර්ගයේ ඇති පලමද පසු කරනවා. 

මනම්පිටිය පාලම

 
සෝමාවතී දාගැබ

            එයින් පසුව උප්පු ආර මහවැලි ගගෙන් වෙන්වනවා. එතැනින් පසුව කිලේමීටර් 334 හෙවතත් සැතපුම් 208ක් දුර ගෙවා පැමිණි මහවැලි ගග ගෙංගෙයි තොටමුනේ දී ගෙංගෙයි පාලම පසුකරමින් කොඩ්ඩියාර් බොක්කේ දී මහමුහුදට එක්වෙනවා.

           

ගෙංගෙයි තොටමුනෙන් කොඩ්ඩියාර් බොක්කෙන් මහමුහුදට