පෙර ලිපිය මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 30
නැවතත් මහවැලි ගඟ දිගේ
සෝමාවතිය ජාතික වනෝද්‍යානය
සෝමාවතිය - කන්දකාඩු පලමෙන් පස්සෙ වෙරුගල් ආර වෙන්වන ප්‍රදේශය දක්වාම මහවැලි ගඟ ගලා බසින්නේ සෝමාවතිය ජාතික වනෝද්‍යානය හරහායි. සෝමාවිත යනු පහළ මහවැලියේ පිහිටි, මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඇතිකල ප්‍රධාන වනෝද්‍යාන 4න් එකකි. අනෙක් ඒවා වන්නේ මාදුරු ඔය, වස්ගමුව සහ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයයි. මෙහි විශාලත්වය හෙක්ටයාර 37,645.5කි. මෙම වනෝද්‍යානයේ විශේෂත්වය වන්නේ මෙහි වෙසෙන සද්ධන්ත වන අලින්ය. ලංකාවේ අලි වර්ග දෙකක් හදුනාගෙන ඇත. ඒ සෝමාවතී විල් අලි සහ රුහුණු ගැටව් ලෙසය. මේ වර්ග දෙකෙන්ම ප්‍රමාණයෙන් ඉතා විශාල අලි වර්ගය වන්නේ සෝමාවතී විල් අලින්ය. සෝමාවතිය අවට ප්‍රදේශය පුරාම පැතිරී ඇති විල් නිසා මේ ප්‍රදේශය අලින්ට තෝතැන්නකි. අලින්ට අමතරව මෙහි මුවන්, ගෝනුන්, වල් ඌරන්, වලසුන් වැනි බොහෝ සතුන් දැකිය හැකිය. වියළි කලාපයට අයිති මේ වනාන්තරය වියළි කාලයට ඉතාමත් කර්කශ වන අතර වැසි කාලයේ දී මහවැලියේ ගං වතුරෙන් යටවී යයි.
![]() |
සෝමාවතී ජාතික වනෝද්‍යානයේ වන අලි |
මහවැලි ගඟ දිගේ කොඩ්ඩියාර් බොක්ක දක්වා
සෝමාවතියෙන් එපිටට මහවැලි ගඟ ගමන් ගන්නේ ඉතාමත් වක් ගැහුන මාර්ගයකයි. සෝමාවතිය පහු කරගෙන වනාන්තරය මැදින් විස්මිත රටාවකට ගලා බසින මහවැලිය මුහුදු මට්ටමේ සිට අඩි හතලිස් දෙකක් උසින් පිහිටි කරිඤ්ඤංමුණේදී පහත් තැනිතලාවට ගලා අවුත් එහිදී සිය ඩෙල්ටාව නිර්මණය කර ගනිමින් වෙරුගල් ආර නිර්මාණය කරන බව අපි මීට පෙර සදහන් කලා. ගංගා මුවදොරේ සිට වැඩිම ඈතක පිහිටි ඉසව්වකදී සිට ඩෙල්ටාව නිර්මාණය කරගත් ලංකාවේ ඇති එකම ගංගාව මහවැලි නදියයි. කරිඤ්ඤංමුණේ ඩෙල්ටාවේ සිට ප්‍රධාන මහවැලි ගග සතපුම් 21.75 ක් ඈතින් පිහිටි ත්‍රීකුණාමලයේ කොඩ්ඩියාර් බොක්කට පිවිසෙන්නේ ඇගේ වක්‍ර දුර ප්‍රමාණය සැතපුම් 35ක් වනසේ දගර ගැසෙමින් මුළු සෝමාවතී වනාන්තරයේ තුනෙන් දෙකකට වැඩි භූමි ප්‍රදේශයක් දියළු ගංගා ජලයෙන් පෝෂණය කරමිනි.
මේ ප්‍රදේශයෙන් ගලන මහවැලි ගගේ ඉතා උස් ඉවුරු දකගත හැකිය. එයට හේතුව කදුකරයේ දී එහි භූ විෂමතාවය විසින් ගඟට ගලා යාමට පහසු මාර්ගයක් සකසා දුන්නද මේ තැනිතලාවේදී ගඟ විසින්ම මාර්ගය තනාගෙන මුහුද බලා යා යුතුව ඇති නිසාය. එ නිසාමයි මහවැලිය මේ තැනිතලාවේ දී නිතර පිටාර ගලන්නේ. නමුත් එදා මෙන් අද පහළ මහවැලි ගඟ පිටාර ගලන්නේ නැත. වැලි ජාවාරම් කරුවන් විසින් ඒ පාරිසරික ක්‍රියාදාමය කණපිට හරවා ඇත. වැලි නිධි හා ගගේ පතුල හාරා වැලි ඉවත් කරගැනීම හේතුවෙන් පිටාර ගැලීමකින් තොරව ගඟ දිය අද මුහුදට ගලා යයි. වාර්ෂිකව සුපෝෂණය වූ විල්ලු බිම් දැන් වියැළී පිට්ටනි බවට පත්වී තබීම හේතුවෙන් සෝමාවතියේ අලි ඇතින් ඇතුළු සියලුම සතා සීපාවා ගොදුරු අහේනියකට පත්ව අතරමංව සිටිති. වනාන්තරයද කාෂ්ටකව වියැළී යමින් ඇති බවක් පෙන්නුම් කරයි.
කරිඤ්ඤංමුණේ දී පෙරිය ආර මහවැලි ගඟට එක්වී වෙරුගල් ආර මහවැලි ගගෙන් වෙන් වනවා සේම ප්‍රධාන මහවැලි ගඟද මෙතනදී කොටස් දෙකකට බෙදෙනවා. එතැන් සිට තවත් කිලෝමීටර්10.5 ක් පමණ ගිය තැන නැවතත් එම අපශාකාව මහවැලි ගඟට එක් වෙනවා. මේ ප්‍රදේශයේදී අලි ඇතුන් ආදී වන සතුන් ගඟට බසින ස්ථාන වගේම ගං ඉවුරේ කිඹුලන්ගේ වාසස්ථානද බොහොමයක් දැකිය හැකිය.මේ ස්ථානය පසු කරගෙන තවත් කිලෝමීටර් 10ක් පමණ ගිය පසු බෙරි විල නැමති ප්‍රදේශය හමු වෙනවා. මේ බෙරිවිලදී පැරණි ජලාශයක් හමුවෙනවා. එය කන්තලේ - සූරියපුර - ජනරංජන වැව ලෙස හදුන්වනවා. වෙරුගල් ආර වෙන් වන ස්ථානයේ දී බෙදුන මහවැලි ගඟ නැවත එකතු වෙන ස්ථානයට මදක් පහළින් මහවැලි ගගෙන් වෙන් වන හීන් ඔය තමයි මේ වැව පෝෂණය කරනු ලබන්නේ.යුධ සමයේ ජන ශුන්‍යවූ මේ ප්‍රදේශය දැන් දැන් නැවතත් සංවර්ධනය වෙමින් පවතිනවා. අපි කියු මේ වැව් පිටියේ යම් යම් තැන් වල ගල් කනු ආදී නටඹුන් දැකිය හැකි වුවත් ඒවා ගල්කණුවක් කැටයමක් දකින දකින තැන නිධන් හාරන තුච්ඡ නිධන් මංකොල්ල කරුවන්ගේ ග්‍රහණයට හසුවී තිබෙනවා.
![]() |
ගං ඉවුරේ කුළු හරක් |
![]() |
වැලි ගොඩදැමීම නිසා ඛාදනය වන ඩවුරු |
![]() |
ගං දෑලේ කිඹුලන් බහුලය |
![]() |
කෙමෙන් කෙමෙනි වියපත් වන මහවැලි ගග |
![]() |
කන්දකාඩු පාලම |
![]() |
සිත්තාරු පාලම |
![]() |
ඉවුරු දිගේ කෑම සොයන කුරුල්ලන් |
![]() |
සිත්තාරු වල තල් අරණ මහවැලියට එපිටින් |
![]() |
දිය කෙලින කුළු හරක් |
![]() |
වැල්ල මත කරුළු පාරාදීසය |
බෙරිවිල පසුකරගෙන යන මහවැලි ගඟට මීලගට හමුවෙනවා මහවැලි සිත්තාරු පාලම. මෙම පාලමේ දිග මීටර් 130 ක් පමණ වන අතර පළල මීටර් 8ක් පමණ වේ. මේ පාලම අසලම මහවැලි ගගේ වම් ඉවුරේ සිත්තාරු යුධ හමුදා කදවුර පිහිටා තිබෙනවා. මේ සිත්තාරුව ගැන අසන්නට ඇත්තේ එතරම් සුභදායි කතා ප්‍රවෘත්ති නොවේ. මන්ද මේ සිත්තාරු පාලම පිහිටන සේරුනුවර සිට කන්තලේ දක්වා දිවෙන අල්ල කන්තලේ මාර්ගය කොටි ත්‍රස්ථවාදීන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගයක් බවට පත්වී තිබුණ නිසා මෙහි බොහෝ විනාශකාරී ක්‍රියාවන් සිදු විය. . මේ මාර්ගය ඉතිහාසයට එක්වී ඇත්තේ වැඩිම මිනිසුන් ගණනක් මරා දැමූ මාර්ගය ලෙසය. සේරුවිල ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදීන් උන්ගේ බලය පැතිරවූ 1987 කාලයේ සේරුවිල - කන්තලේ මාර්ගයේ දී බස් රථ, ලොරි රථ, ට්‍රක් රථ, හා ජීප් රථ ඇතුලු මගීන් සහිත රථ 12ක් කොටි ත්‍රස්ථවාදීන් විසින් සිත්තාරු කැලෑ ප්‍රදේශයේ දී බිම් බෝම්බ මගින් පුපුරවා හැර තිබිණි. ඒ අනූව එම මාර්ගයේ දී මියගිය අහිංසක මිනිසුන් ගණන 600කට ආසන්නය.
සිත්තාරු පාලමෙන් පසුව ප්‍රදේශයේත් වැලි ගොඩ දමන පිරිස් නිතර හමු වෙන අතර මේ ප්‍රදේශයේ ධීවර කටයුතුද සිදු වෙනවා. මේ ප්‍රදේශයේ දී ගඟ දෙපස මිරිදිය මසුන් දුම් ගසන ධීවරයන් සහ එම වාඩි බොහොමයක් හමු වෙනවා. මීට අමතරව මේ ප්‍රදේශයේ දී පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති නටඹුන් සහිත ස්ථානද බොහොමයක් දකින්න පුලුවන්. ඒ වගේම වන සතුන් ගඟට බසින ස්ථානද බොහොමයක් දැකගන්න පුලුවන්.
![]() |
ගං ඉවුරේ දුම් ගැසූ මසුන් |
![]() |
ගං දෑලේ නිදහස් සුව විදින වන අලියෙක් |
![]() |
ගග දෙපස නටඹුන් |
සාම්පූර් මාර්ගයේ ඉදිකර ඇති පාලම
මේ ස්ථානය පසු කලාම අපිට මුන ගැහෙනවා මහවැලි ගගෙන් වෙන් වන තවත් අප ශාකාවක් වන උප්පු ආර. මේ උප්පු ආරට පහළින් බෙදී වෙන් වෙන තවත් අපශාකාවක් වන ශව ආරත් එක්වී කොඩ්ඩියාර් බොක්කේ දී මුහුදට එක්වෙනවා. දෙමළ භාෂාවෙන් උප්පු යනුවෙන් යනුවෙන් හදුන් වන්නේ ලුණු යන්නයි. මේ ස්ථානය පසුකර යන විට අපිට හමුවෙනවා කින්නියා සිට සාම්පූර් දක්වා දිව යන මාර්ගයේ ඉදි කර ඇති පාලම. මෙම පාලම මීටර් 170 ක් පමණ දිගකින් යුක්තයි.
මහවැලි ගගේ ගමනක අවසානය
අපි මේ කලින් කියුව පාලමෙන් පසුවත් ගඟ වක් ගැහුන මාර්ගයක වනාන්තරය මැද්දෙන් තමයි ගලා යන්නේ ඒ වගේම මේ ප්‍රදේශයෙන් ගගෙන් වෙන් වන අප ශාකා බොහොමයක් හමු වෙනවා. ඒ නිසා ගඟ දිගේ බොට්ටුවකින් ගමන් කරන්නෙකුට ප්‍රධාන ගංගාව සොයාගෑනිමට තරමක් අපහසුය. කෙසේ නමුත් එම පාලමේ සිට කිලෝමීටර් 7.5ක් පමණ ගමන් කර ගෙංගෙයි නැමති තොටමුනේදී, අපිව කිලෝමීටර් 334 නැතහොත් සැතපුම් 208 ක් දුර ගෙනආ, දහස් ගණනක් ජනතාවගේ නොමද ආදරයට පාත්‍ර වූ, දහස් ගණනක් ජනතාවගේ වන්දනාමාන වලට ලක් වූ ලංකවේ වෙනස්ම වාරි ඉතිහාසයක් මවමින් ලංකවේ හදබිම බවට පත්වූ මහා වාලුකා නදිය ගෙංගෙයි තොටමුනෙන්, කොඩ්ඩියාර් බොක්කෙන් මහ මුහුදට එක්වේ. මේ ගංගාව අපිට බොහෝ දේ කියා දී ඇත. මේ ගංගාවෙන් අපි බොහෝ පාඩම් උගත්තෙමු. එම නිසාම මහා වාලුකා නදියට අපි හදවතින්ම අදරය කරමු. එමෙන්ම මේ ගංගා තමෝ අනාගත පරපුර වෙනුවෙන්ද අපි රැකගත යුතුව ඇත.
![]() |
ගෙංගෙයි තොටමුනෙන් කොඩ්ඩියාර් බොක්කෙන් මහවැලිය මහ මුහුදට එක් වුන වගයි |
![]() |
මහවැලි ගගෙහි මෙතෙක් ගෙවා ආ කිලෝමීටර් 335ක දුරෙහි අවසාන මීටර් කිහිපය |
ගෙංගෙයි තොටමුනේදී අපට හමුවෙනවා මහවැලි ගගේ අන්තිම පාලම. ඒ ත්‍රීකුණාමලය - මඩකලපුව මාර්ගයේ හමුවන ගෙංගෙයි පාලම. එය ඉදිකරන්නේ යුධ සමයෙන් පසුවයි. මෙහි දිග මීටර් 300ක් පමණ වේ. මෙම පාලමත් කින්නියා පලාමත් ඉකිදිරීම නිසා ත්‍රීකුණාමලයේ සිට මඩකලපුව බලා ගමන් ගන්නා මගීන් සහ රථ වාහන වලට ඉතාමත් පහසුවෙන් ගමන්කල හැකි විය. මීට ප්‍රථම කින්නියා වලදී පාලම් පාරුවෙන් වාහන එතෙර කරගෙන ඉතාමත් අපහසු ගමන් මාර්ගයකයි එම ජනතාව ගමන් කර ඇත්තේ.
ත්‍රීකුණාමල වරාය
අපි මේ ලිපි පෙල ආරම්භ කලේ භද්ද්‍රකච්ඡායනා කුමරියගේ ලංකාගමනයත් සමගයි. එතුමිය ඊසානදිග ඉන්දියාවෙන් පැමිණ ලංකාවට ගොඩබසින්නේ වර්තමාන ත්‍රීකුණාමලය නැතහොත් එකල ගෝන ගංතොට නැමති වරායෙන්ය. එතැනින් මහවැලි ගඟට පිවිස මහවැලි ගඟ දිගේ උඩුගම් බලා විත් මනම්පිටියෙන් එතෙරවී උපතිස්ස නුවර වෙත ළගා වූ බව තමයි වංශ කතා වල සදහන් වන්නේ. එතුමිය සමග පැමිණි එතුමියගේ සහෝදරයන් හත් දෙනා ලංකාවේ එක් එක් ප්‍රදේශ වල ගම්මාන පිහිටුවා ගන්නවා. රෝහණය, විජිත ගාමය, උරුවෙල ගාමය ආදී නම් ලැබෙන්නේ එම ගම් වලටය. එතුමියගේ එක් සහොදරයෙතුගේ නම තමයි රාම ගෝන. ඔහු පිහිටවූ ගම තමයි ගෝන ගාමය. පසුකාලීනව ඒ ගෝන ගාමය, ගෝකණ්න වී, ගෝකණ්න තිත්ත වී ත්‍රීකුණාමලය බවට පත්වී ඇත. මේ ත්‍රිකුණමලය බවට පත්වන්නේ සිංහල සහ දෙමල භාෂා එක්වී විපර්යාසයක් සිදුවූ නිසාය. ඒ තිරු + ගෝන + මලෙයි යන නම් එක් වීමෙන් තමයි ත්‍රිකුණාමලය සැදී ඇත්තේ. තිරු යනු උතුම් යන්නයි. මලෙයි යනු කන්දයි. එම වචන තුන එක්වී තිරිගෝනමලෙයි යන නම සෑදී පසුව උච්චාරණයේ පහසුව සදහා ත්‍රිකුණාමලය බවට පත්වී ඇති බව විශ්වාස කෙරෙනවා.
ත්‍රිකුණාමල වරාය ශ්‍රී ලංකාවේපිහිටි විශාලතම ස්වභාවික වරාය වන අතර ලොව පිහිටා ඇති දෙවැනි විශාලතම ස්වභාවික වරායයි. එය හෙක්ටයාර 1630 ක පමණ ජල වපසරියකින් යුක්ත වන අතර වරායට ඇතුළු වීම සදහා වූ පිවිසුමේ මග මීටර් 500ක් පමණ පළලැති කුඩා පිවිසුමකි. මේ පිවිසුමේ ඇති විශේෂත්වය නිසාම වරායට ඇතුළු කරන නැව් ඈත මුහුදේ ගමන් ගන්නා නැව් වලට නොපෙනෙන සේ සගවා තැබිය හැකිය. එම නිසාම ලොව බොහෝ රටවල් වල අවධානය මෙම ස්වභාවික රැකවරණය සපයන වරාය වෙත යොමුවී තිබේ. විශේෂයෙන්ම ඉන්දියාව වැනි රටවල් හැකි සෑම විටම උත්සාහ ගන්නේ කෙසේ හෝ අප රටට අයිති මෙම සම්පත ඔවුන් සතු කරගැනීමටය. වර්ෂ 1942 දෙවන ලෝක යුද්ධ සමයේ දී ජපාන ගුවන් හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කර වරායේ නැංගුරම් ලා තිබූ බ්‍රිතාන්‍ය යුධ නෞකා තුනක් ගිල්වා දමන ලදී.
![]() |
ජපන් ප්‍රහාරයෙන් විනාශ වුන බ්‍රිතාන්‍ය නෞකා |
![]() |
ජපන් ප්‍රහාරයෙන් විනාශ වුන බ්‍රිතාන්‍ය නෞකා |
![]() |
ජපන් ප්‍රහාරයෙන් විනාශ වුන බ්‍රිතාන්‍ය නෞකා |
![]() |
ජපන් ප්‍රහාරයෙන් විනාශ වුන බ්‍රිතාන්‍ය නෞකා |
පෙර අපර දෙදිග සම්බන්ධ කරන්නා වූ වෙළෙද මධ්‍යස්ථානයක් ලෙසින් අතීතයේ සිටම ක්‍රියාත්මක වූ මෙම වරාය කදුවලින් ආවරණය වූ බොකු සහිත ප්‍රෙද්ශයක් වීම හා මෝසවම් සුළගින් නැව් ආරක්ෂා කර ගැනීමේ හැකියාව ඉහළ මට්ටමකින් යුක්ත බැවින් බටහිර ජාතීන් යටතේ ඉන්දීය සාගරයේ ආරක්ෂාව හා වෙළෙද කටයුතු සිදු කිරීමේ දී ත්‍රකුණාමලය වරාය සුවිශේෂී වරායක් විය. වරාය ආශ්‍රිත කලාපයේ ආරක්ෂාව සදහා බලකොටු කිහිපයක් ඉදිකරන ලද අතර වර්තමානයේ දි ෆෙඩ්රික් කොටුව ලෙසින් හැදින්වෙන ලන්දෙසීන් විසින් ඉදිකරන ලද බලකොටුව අතීතයේ දී මෙන්ම වර්ථමානයේ දී ද ඉතා වැදගත් ආරක්ෂිත මධ්‍යස්ථානයකි. විශේෂයෙන් ක්‍රි.පූ අවධියේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මහාමාර්ග පද්ධතියේ නැගෙනහිර කෙළවර වන්නේ ත්‍රීකුණාමලයේ පිහිටි මෙම වරායන්ගෙනි.
![]() |
ත්‍රීකුණාමලය වරාය |
![]() |
ත්‍රීකුණාමලය වරාය පරිශ්‍රයේ පිහිටා ඇති ප්‍රීමා කර්මාන්ත ශාලාව |
No comments:
Post a Comment