පෙර ලිපිය මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 26
අඹන්ගගේ අවසානය සහ නැවතත් මහවැලි ගඟ දිගේ
අංගමැඩල්ල අමුණේ සිට තවත් කිලෝමීටර් 18ක් පමණ ගිය තැන අඹන් ගඟ මහවැලි ගඟට එකතුවන ස්ථානය හමුවේ. මේ ප්‍රදේශයේ දි අඹන් ගගේ වැලි තලා බොහොමයක් දැකිය හැකිය. ලංකාවේ වාරි ඉතිහාසයට අමිල සේවයක් කල අඹන් ගඟ මිනිස් ජීවිත ගණනාවකගේ කුසගින්න නිවා දමමින් වෘද්ධ අවස්ථාවට පත්වී මෙලෙස මහවැලි ගඟට එකතු වේ. අපි නැවතත් මෙතැන් සිට ගමන් කරන්නේ මහවැලි ගඟ දිගේය.
![]() |
අඹන් ගග මහවැලි ගගට එක් වන ස්ථානය |
මෙතැන සිට කිලෝමීටර් 4ක් පමණ ගිය තැන අපිට හමුවෙනවා තවත් සූවිශේෂී ස්ථානයක්. ඒ තමයි මනම්පිටිය පාලම. මේ හරියෙදි මහවැලි ගඟ වෘද්ධ අවස්ථාවට කෙමින් කෙමෙන් ළගා වෙනවා. ඒ නිසාම බොහෝ තැන් වලදී ගගේ ගැඹුර ටික ටික අඩුවීමට පටන් ගන්නවා.
මනම්පිටිය පාලම
මනම්පිටිය කිව්ව සැනින් අපිට සිහිවන්නේ ඉතාමත් ප්‍රසිද්ධ මනම්පිටිය පැරණි පාලමයි. වර්ථමානයේ දී මේ ස්ථානයේ දුම්රිය පාලමත්, මහාමාර්ගයේ පාලමත් ලෙස පාලම් දෙකක් දැකිය හැකිය. නමුත් ඉහත කී මේ ප්‍රසිද්ධියට බල පෑ පාලම පැරණි දුම්රිය පාලමයි. වර්ෂ 2007 වන තුරුම මෙම පැරණි යකඩ පාලම මතින් තමයි දුම්රිය සහ අකෙුත් රථවාහන සියල්ල ගමන් කලේ. දුම්රියක් මේ මතින් ගමන් කරන විට මහාමාර්ගය දෙපසින් වසා දමන අතර දුම්රිය ගමන් කල පසු නැවතත් මාර්ගය විවෘත කරයි. මෙම පැරණි යකඩ පාලම 1922 වසරේදී ඉදිකොට තිබේ. එය මීටර් 291ක් දිග වන අතර පළල මීටර් 5ක් පමණ වේ.
![]() |
මනම්පිටිය පාලම |
![]() |
මනම්පිටිය පැරණි පාලම |
නමුත් 2007 වසරේ දී ජපාන රජයේ සහය ඇතිව රථවාහන ගමනාගමනය සදහා වන නව පාලම සාදා නිම කරන ලදී. එය ශ්‍රී ලංකා - ජපන් සාම මිත්‍රත්ව පාලම ලෙස නම් කර තිබේ. වර්ෂ 2007 ඔක්තෝඹර් 25 වන දින විවෘත කරන ලද මෙම නව පාලමෙහි දිග මීටර් 302ක් වන අතර පළල මීටර් 10.4ක් වේ. එතැන පටන් රථවාහන සියල්ල මෙම නව පාලම මතිනුත් දුම්රිය පැරණි පාලම මතිනුත් ධාවනය වේ.
![]() |
පැරණි පාලම සහ නව පාලම |
මනම්පිටිය ඓතිහාසික පසුබිම
අපි මීට පෙර දිඹුලාගලදී කතා කලා පණ්ඩුකාභය කුමාරයාගේ කතාව. එහි සදහන් වුනා පණ්ඩුකාභය කුමාරයාට ස්වර්ණපාලී කුමරිය මුණගැසුන ආකාරය. එහිදී පණ්ඩුකාභය කුමාරයාට ස්වර්ණපාලී කුමරිය මුණගැසී, මන බැදුන ස්ථානය වන මේ ප්‍රදේශය මන බැදුන බැදුන පිටිය ලෙසට නම් කරන ලද බව ජනකතා වල සදහන් වේ. එයින් පසුව මන බැදුන පිටිය මනම්පිටිය බවට පත්වූ බව සදහන් වේ.
එයින් පසුව පණ්ඩුකාභය කුමාරයා උපතිස්ස නුවර අභය රජතුමාට විරුද්ධව සටන් මෙහෙය වූයේ මහවැලි ගගෙන් දකුණුපස පිහිටි රුහුණු රටේ සිටය. එම නිසා අභය රජතුමා ගගෙන් වම් කොටස නැතිනම් පිහිටි රට තමන් පාලනය කරන බවටත් කුමාරයාට රුහුණු රට පාලනය කරනා ලෙසටත් සටන් කිරීමට උවමනාවක් නැති බවත් සදහන් කරමින් වැටකෙයියා පත්‍රයක ලිපියක් පණ්ඩුකාභය කුමාරයට එවා ඇත. නමුත් කුමරයා එයට එකඟ නොවී තම සටන කරගෙන ගොස් මාමාවරුන් පරදවා ජය ලැබීය.
එයින් පසුව අපිට මනම්පිටිය හමුවන්නේ ගැමුණු කුමරුන්ගේ කාලයේ දිය. රුහුණු රටෙන් ආරම්භ කල ගැමුණු කුමාරයාගේ සටන මේ මනම්පිටියෙන් එතෙර වී අනුරාධපුරය බලා ගමන් කල බවද ඉතිහාසයේ සදහන් වේ.
මනම්පිටියේ සිට සෝමාවතිය දක්වා මහවැලි ගඟ දිගේ
අපි මෙතෙක් දුර ආව ගමනට වඩා මෙතැන පටන් ගමන බොහෝ වෙනස් වෙනවා. දැන් අපි ගමන් කල යුත්තේ ගගේ වෘද්ධ අවස්ථාවේයි. එම නිසා මහා වැලි දළු අපශාඛා මැදින් තමයි ගමන වැටී ඇත්තේ. එ වගේමයි ගඟ දෙපස පරිසරය සහ සමාජීය මෙන්ම සංස්කෘතික පරිසරයද වෙනස් වෙනවා.
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය
අපි නැවත මහවැලි ගඟට එකතු වුන අඹන් ගගේ මෝය හරියේ ඉදන් සෝමාවතිය දක්වාම අපට හමුවන්නේ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයයි. මේ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය යනු මහවැලි ගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පිහිටවනු ලැබූ ජාතික වනෝද්‍යාන හතර අතුරින් එකකි. මෙය වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන්නේ 1984 අගෝස්තු මහ 7 වැනිදාය. මහවැලි ගගෙහි පිටාර තැන්න මේ ප්‍රදේශය පුරාම පැතිරී ඇති නිසා මෙය ඉතාමත් සශ්‍රීක ප්‍රදේශයක් ලෙස හදුනාගෙන ඇති අතර එම නිසාම මෙහි වෙසෙන අලි ඇතුන්ට ආහාර බහුල ප්‍රදේශයක් ලෙස හැදින්වේ. මෙම වනෝද්‍යානය රක්ෂිතයක් ලෙස නම් කිරීම නිසා වස්ගමුව සහ සොමාවාතිය යන වනෝද්‍යාන අතර වන සතුන්ට ගමන් කිරීමට අවකාශය ලබාදෙන බිම් තීරයක් ලෙසද හදුනාගනු ලැබේ. මෙහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 17350ක් පමණ වේ.
![]() |
ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා ගලන මහවැලි ගග |
![]() |
ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය |
මනම්පිටිය පාලම පසු කර ඉදිරයට යන විට තැනින් තැන ගගෙහි අප ශාකා හමුවේ. මෙතෙක් දුරක් අපට හමු වූයේ අතු ගංගා වේ. එනම් වෙනත් ප්‍රදේශ වලින් පටන්ගෙන මහවැලි ගගට එකතු වෙන අතු ගංගා ය. මෙතැන් පටන් ඒවා සියල්ල වෙනස් වී මහවැලි ගගෙන් පටන් ගෙන ඉවතට ගලා යන අප ශාකා බොහොමයක් හමුවේ. මේවා අතරින් අපි කතා කල යුතු වැදගත් අප ශාකා කිහිපයක්ම හමු වෙනවා.
පෙරිය ආර
මනම්පිටිය පාලමට පහළින් ගල්ලෑල්ල කියන හරියෙදි මහවැලි ගගෙන් වෙන්වන අප ශාකාවක් හමු වෙනවා. මේ අප ශාකාව හදුන්වන්නේ පෙරිය ආර ලෙසින්. මේ පෙරියආර මහවැලි ගගේ වම් ඉවුරට සමාන්තරව කිලෝමීටර් 32ක් පමණ ගමන් කර නැවතත් මහවැලි ගඟට එකතු වෙනවා. මේ පෙරිය ආර සුංගාවිල හරහා තමයි ගලන්නේ. සුංගාවිල නමින් අතීතයේ හදුන්වලා තිබෙන්නේ බදු එකතු කරපු ස්ථානයක් විදියට. එ කින්නේ දෙමළ භාෂාවෙන් සුංගම් කියන්නේ බදු එකතු කරන ස්ථානයට. හරියට දැන්නම් රේගුව වගේ තැනක්.
මනම්පිටිය පාලමේ සිට කිලෝමීටර් 5ක් පමණ ඉදිරියට යන විට අපට හමුවෙනවා මහවැලි ගගෙන් බෙදී ගිය තවත් අප ශාකාවක්. මේක මහවැලි ගගේ දකුණු ඉවුරට සමාන්තරව ගමන් කර මහවැලි ගගට කිලෝමීටර් 4ක් පමණ පහළින් නැවතත් මහවැලි ගඟට එක් වෙනවා. මේ හරියෙදි ගගේ ඩලේටාවන් ඇති වීමට පටන් ගන්නවා. මෙම ගංගා දෙක අතර ඇති ප්‍රදේශයත් ඉතාමත් සශ්‍රීක ප්‍රදේශයක්. නිතර ජල ගැලීම් වලට මුහුණ දෙන මෙම ප්‍රදේශ ඉතාමත් සශ්‍රීකයි
![]() |
සෝමාවතියට යන මාර්ගයේදී හමුවන පෙරිය ආර |
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය
මනම්පිටිය පාලමේ සිට තවත් කිලෝමීටර් 28ක් පමණ මහවැලි ගග දිගේ ගමන් කරන විට අපිට හමු වෙනවා ඉතාමත් සුවිශේෂී පාලමක්. මේ පාලමෙන් මහවැලි ගගේ වම් ඉවුර දිශාවට ගමන් කලොත් අපිට හමුවෙනවා ඓතිහාසික සෝමාවතී පුදබිම. ඒ වගේම දකුණු ඉවුර දෙසට ගමන් කලොත් අපිට හමුවෙනවා කොරෝනා ව්‍යවසනය සම්බන්ධයෙන් කතාබහට ලක්වුන ස්ථානයක් වන කන්දකාඩු පුණරුත්තාපන මධ්‍යස්ථානය. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම් මත අධික මානසික ආතතියකින් පෙලෙන පිරිස් පුනරුත්තාපනය කර නැවත් සමාජයට මුදාහැරීම අරමුණු කරගෙනයි කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය ආරම්භ කරන්නේ. කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය අක්කර හැත්තෑ තුනක භූමි ප්‍රදේශයක පිහිටා ඇත. එය දැනට අධිකරණ අමාත්‍යංශය යටතේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය විසින් මෙහෙයවනු ලැබේ. වර්ෂ 2020 මාර්තු මස අරඹි කොරෝනා තත්වය නිසා කන්දකාඩු මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් ද භාවිතා කර ඇත.

කන්දකාඩු පුණරුත්තාපන මධ්‍යස්ථානය ඉදිරිපිට සවිකර ඇති නාම පුවරුව
No comments:
Post a Comment