පෙර ලිපිය මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 27
සෝමාවතිය බලන්න යමු
සෝමාවතිය බලන්න යන කෙනෙකුට වර්ථමානයේ දී පාරවල් බොහොමයක්ම භාවිත කරන්න පුලුවන්. නමුත් ලංකාවේ ත්‍රස්තවාදය පැවතුන සමයේ භාවිතා කරන්නට හැකි වුනේ මහවැලි ගගෙන් වම් ඉවුර දෙසින් පැවතුන මාර්ග පමණයි. එයින් ප්‍රධාන මාර්ගය වන්නේ හබරන පොළොන්නරුව මාර්ගයේ හබරන දෙසින් පැමිණ මින්නේරිය හන්දියෙන් වමට හැරී හිගුරක්ගොඩට පැමිණ, හිගුරක්ගොඩ හන්දියෙන් දකුනට හැරි හිගුරක්ගොඩ - සෝමාවතිය මාර්ගයේ කිලෝමීටර් 35 ක් පමණ ගමන් කර සෝමාවතී පුද බිමට පිවිසෙන මාර්ගයයි. තවද පොළොන්නරුවේ සිට සේවාගම, ලංකාපුුුර, පුලතිසිගම හරහා පැමිණ, සෝමාවතිය හිගුරක්ගොඩ මාර්ගයට පිවිස සෝමාවතී පුද බිම වෙත පිවිසිය හැකිය. වර්ථමානයේදී කන්දකාඩු මාර්ගයේ පැමිණ කන්දකාඩු - සෝමාවතිය පාලමෙන් මහවැලි ගගෙන් එතෙර වී පැමිණිය හැකිය. මෙම කන්දඩු සොමාවතී පාලම ඉදිකරනු ලබන්නේ යුද්ධය අවසන්වීමෙන් පසුවය. දිගිම් මීටර් 187ක් වන මෙම පාලම විවෘත කරනු ලැබුවේ 2013 මැයි 25 වැනිදාය. මනම්පිටියේ සිට මහවැලි ගඟ දිගේ කිලෝමීටර් 27ක් පමණ ගමන් කල පසු ගගේ වම් ඉවුරෙන් සෝමාවතී පුද බිම වෙත පිවිසිය හැකිය.
![]() |
මින්නේරියේ සිට සෝමාවතිය දක්වා ගමන් මාර්ගය |
![]() |
වැලිකන්ද සිට කන්දකාඩු හරහා සෝමාවතිය ගමන් මග |
![]() |
කන්දකාඩු පාලම |
![]() |
කන්දකාඩු පාලම |
![]() |
පෙරිය ආර හරහා දිවෙන සෝමාවතිය මාර්ගය |
එරික් ස්වෝන් ගල් වැටිය
හිගුරක්ගොඩ සෝමාවතිය මාර්ගයේ ගමන් කරන විට සුංගාවිල ප්‍රදේශය හමු වෙනවා. මේ සුංගාවිලදී, මනම්පිටිය අසල ගල්ලෑල්ල ප්‍රදේශයේදී මහවැලි ගගෙන් වෙන් වුන පෙරිය ආර හරහා තමයි මේ මාර්ගය ගමන් කරන්නේ. පෙරිය ආර පාලම පසුකරන විට පිවිසෙන්නේ සෝමාවතිය අභය භූමියටයි. මේ අභය භූමිය පුරාම ඓතිහාසික නටඹුන් දකින්නට පුලුවන්. මෙයින් බොහොමයක් ඒවා තවමත් තහවුරු කර නොගත් ඒවායි. මේ වන විටත් ඒවා බොහොමයක් තුච්ච නිධන් හොරුන්ට ගොදුරු වී හමාරයි.
මේ සුංගාවිල පෙරිය ආර පාලම පසුකර කිලෝමීටර් 9ක් පමණ ගමන් කල පසු පාරේ දකුණුපසින් හමුවෙනවා එරික් ස්වෝන් ගල් වැටිය. මෙම ගල්වැටිය බොහොම වටිනාකමකින් යුත් සෙල් ලිපියක් සහිත ස්ථානයක්. මෙම ගල් වැටියට එරික් ස්වොන් නාමය ලැබීම පිළිබදවත් අපූරු කතාවක් තිබෙනවා.
විදේශ ආක්‍රමණයන්ට නතුවී තිබුන පොළොන්නරුව නැවතත් සොයාගනු ලබන්නේ 19වන සියවසේ දීයි. මිනිස් වාසයත් තිබි ඇත්තේ ඉතාමත් කුඩා ප්‍රමාණයකි. නමුත් මේ ප්‍රදේශයේ අලි ඇතුන් ඇතුළු සතුන්ගෙන් ගහන වූ ඉතාමත් සුන්දර ප්‍රදේශයක් බවට පත්වී තිබී ඇත. මේ කාලයේ සෝමාවතී දාගැබ ඇතුළු නටඹුන් සොයාගත් මුල්ම අවධියයි. එම නිසාම ඝන කැළෑව මැදින් ගමන් කිරීම සදහා යොදාගත්තේ කැලේ රජා නමින් ගැමියන් හදුන්වන ට්‍රැක්ටර් වර්ගයකි. මේ කාලයේදීම එංගලන්තයේ සිටි අති දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වන එරික් ස්වෝන් මහතා ලංකාවට පැමිණ තිබේ.
මොහු සමග පැමිණි පිරිස සෝමාවතිය අවට සුන්දරත්වය සහ වන සතුන් ගැන අසා ඒවා නැරඹීම සදහා සෝමාවතිය වෙත පැමිණ ඇත. සෝමාවතිය අවට ප්‍රදේශය විශාල විල්ලුවකි. එසේ වන්නේ පිටාර ගලන මහවැලි ගඟ නිසා එකතුවන ජලය ඒ ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් බැස නොයාමයි. මේ විල්ලුව තුල ඕනෑ තරම් අලි ඇතුන් රංචු පිටින් නිදහසේ ගැවසේ. මෙසේ ගැවසෙන අලි රංචුවක් දැක එරික් මහතා ඡායාරූප ලබාගෙන ඇත. මේ අතරම ඔහු සද්ධන්ත තනි අලියෙක් රැලෙන් වෙන්ව ආහාර බුදිමින් සිටිනවා දැක ඇත. ඒ අසල තිබූ ගල් තලාවකට මුවා වෙමින් ඔහු අලියාගේ ඉතා සමීප ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහා දරා ඇත. ඒ මොහොතේ කැමරාවෙන් නිකුත්වූ හඩට අලිියා කුලප්පු වී ඔහුට පහරදී එතනම මරා දමා ඇත. ඒ අවට සිටි මිනිසුන් විසින් ඔහුගේ සිරුර මැස්සක තබාගෙන විත් පවුලේ සාමාජිකයින් වෙත භාරදී ඇත. මෙසේ මරණයට පත් වුන එරික් ස්වෝන් නමින් පසුකාලීනව ඉංග්‍රීසි ජාතිකයින් විසින් මේ ගල හදුන්වා ඇත. නමුත් මේ ගල මතුපිට සෝමාවතිය සම්බන්ධ වැදගත් කරුණු රැසක් අඩංගු ශිලා ලේඛනයක් ඇත.
![]() |
එරික් ස්වෝන් මහතා |
එරික් ස්වෝන් මහතා විසින් අවසන් වරට ගත් ඡායාරූපය
එරික් ස්වෝන් ගල් වැටිය එරික් ස්වොන් ගල් වැටිය මත ඇති ශිලා ලේකනය
ඓතිහාසික සෝමාවතී පුද බිම.
ක්‍රි.පූ දෙවන සියවසේ ලංකාව ආක්‍රමණය කල එළාර නම් දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණිකයා අනුරාධපුරය අග නුවර බවට පත් කරගෙන රජකම් කරන සමයේ මහවැලි ගගෙන් දකුණු ඉවුරේ ලංකාවේ දකුණු දෙසට වන්නට එනම් එවකට රුහුණු පුරවරය දෙසට වන්නට ප්‍රාදේශීය රාජධානි රැසක් බිහිවී තිබුණි. රුහුණේ හෙවත් රෝහණයේ අගනුවර වූ මාගමට ඉතා ප්‍රභල තත්වයක් හිමිවී තිබුණි. එවකට මාගම පාලනය කලේ කාවන්තිස්ස රජතුමාය. එමෙන්ම කැළණිය (පරණවිතානයන්ට අනූව මේ කැළණිය යනු බුදුන් වහන්සේ වැඩි කැළණිය නොව මාගම් රාජධානියට සමීපව පානම්පත්තුව අසල පිහිටා තිබූ කැළිණියකි. කාලාණ කණ්නිකා යනුවෙන් අතීතයේ හදුන්වා ඇත.), ගිරි නුවර (හම්බන්තොට ගිරුවාපත්තුව) සේරු නුවර ආදී කුඩා රාජධානි පිහිටා තිබී ඇත.
කැළණියේ පාලකයා වූ ශිව රජු තම බෑණා වු අභය කුමාරයාට කාවන්තිස්ස රජුගේ සොහොයුරියක වූ සෝම කුමරිය විවාහා කර දුන්නේය. මේ විවාහයෙන් පසුව කාවන්තිස්ස රජු අභය කුමරුට මාගමට ආසන්නයේ වූ ගිරි නුවරෙහි පාලනය භාර දුන්නේය. ඒ නිසා ඔහු ගිරි අභය ලෙස හදුන්වා ඇත.
ටික කලකට පසු රටෙහි සිදු වූ සිදුවීම් නිසා කාවන්තිස්ස රජතුමා ගැමුණු කුමරුගේ ආරක්ෂාව පිණිස ඔහුව ගිරි නුවරට පිටත් කර යැවුවේය. අභය කුමරුන් විසින් ගැමුණු කුමරු හරසරින් පිළිගෙන සත්කාර කලද පසු කලෙක ඇතිවූ සිදුවීමක් නිසා අභය කුමරු තම බිරිද වන සෝම කුමරියත් කැටුව සේරු නුවර තම හිතවත් ශිව රජු ළගට ගියේය. එවකට සේරු නුවර පාලනය කල රජුගේ නමද ශිව ලෙස සදහන් වේ.
සේරු නුවර දී ශිව රජු අභය කුමරුන්ව මහත් ආදරයෙන් පිළිගත්තේය. ශිව රජතුමා අභය කුමරුට මහවැලි නදිය අසබඩ මනරම් භූමියක් ලබා දුන්නේය. මේ සුන්දර පුරවරය තම පදින්චියට තෝරාගත් අභය කුමරු මේ ප්‍රදේශයට සෝම නුවර යැයි නම් තැබීය. ධන ධාන්‍යයෙන් ස්වයංපෝෂිත වුවද මෙහි අඩුවකට පැවතියේ ආගමික පසුබිමක් ඉදි කිරීමය. ඒ සදහා දාගැබක් සහ විහාරයක් ඉදිකරන ලෙස සෝමා දේවිය ඉල්ලීමක් රජුගෙන් කළාය.
මේ ප්‍රදේශයේ සල් වනයක් පිහිටා තිබුණි. ඒ වනයේ මහා අරිට්ඨ සංඝ පරම්පරාවට අයත් මහින්ද නම් මහ තෙරුන් වහන්සේ තවත් භික්ෂූන් වහන්සේලා 60 නමක් සමග බවුන් වඩමින් වාසය කලහ. අභය රජතුමා උන්වහන්සේ වෙත තම අදහස ඉදරිපත් කල අතර උන් වහන්සේ එයට ප්‍රසාදය පල කලේය. චෙත්‍යයට ධාතු වැඩම්මවීම උන් වහන්සේ භාරගත් අතර රජතුමාට චෛත්‍යය ඉදිරන ලෙස උපදෙස් දුන්හ.
මෙසේ ගොඩනැගුනු චෙත්‍යය වෙත මහින්ද හිමියන් බුදුන් වහන්සේගේ දකුණු දන්ත ධාතුව වැඩම්මවීය. මේ මහා වටිනාකමකින් යුතු ස්ථූපය දේවියගේ ඉල්ලීම මත ඉදි කල නිසා සෝමාවතිය සෑ රදුන් ලෙස නම් කල බව වංශ කතා වල සදහන් වේ. මෙපමණක් නොව මෙය විහාර ආරාම සංකීර්ණයක් බවට පත් විය. එහි පැන් පොකුණු, මාලක, කූටාගාර, ප්‍රාසාද ආදී බොහෝ දෙයින් පරිපූර්ණ වී තිබුණි.
ගර්භ ස්ථර දැකලබා ගත හැකි ලෙස ඉතිරි කර ඇති ඉඩ සෝමාවති පුදබිම සෝමාවති පුදබිම සෝමාවති පුදබිම
මෙය සිදුවී ඇත්තේ මීට වසට 2100කට පමණ ඉහත දීය. ඒ වන විට රුවන්වැලි සෑය හෝ සේරු නුවර චෛත්‍යය ඉදිවී නොතිබුනි. ඉන් පසුව කූට කණ්නතිස්ස, මහාදාඨික මහා නාග, අමණ්ඩගාමිණී අභය, කණිට්ඨතිස්ස ආදී රජවරුන්ගේ ආජ්‍ය අනුග්‍රහය මෙම සෝමාවතී චෛත්‍යය වෙත ලැබුණු බව වංශකතා හා සෙල්ලිපි ආදියෙන් හෙළි වෙයි.
මේ පුරාවිද්‍යා භූමියෙන් හමුවූ බොහෝ පුරාවස්තු මේ වන විට පොළොන්නරුව කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර මේ විහාර භූමිය පිළිබදව ඉතා වටිනා සාධකයක් සපයන සෙල්ලිපි දෙකක් අද වන විට මෙම භූමියේම තැන්පත් කර තිබෙනවා. ඉන් එකක් පුවරු ලිපියක් ආකාරයෙන් සකස් කර ඇති අතර අනෙක් ලිපිය ටැම් ලිපියක ආකාරයෙන් සකසා ඇත. අකූරු විනාශ වී ගිය මෙම සෙල්ලිපි ඉතා අසීරුවෙන් කියවා ගැනීමට පුරාවිද්‍යාඥයන් සමත්වී තිබෙනවා.
"මහාදාඨික මහා නාග (රා.ව. 9-21) රජුගේ පුත්‍රයෙකු වන නඛෙල නම් පුතෙකු විසින් මේ ‘පජින නකල අරබ (ප්රාචීන නාගාරාමය)‘ ට බොහෝ ධන පරිත්‍යාගයන් කල බව සදහන් වේ. නමුත් එහි සෝමාවතිය යන නමින් හදුන්වා නැත. මේ විහාරාරාමයට පූජා කල කුඹුරු වල ආදායම විහාරයට ලැබිය යුතු බවත්, විහාරයේ සංවර්ධන කටයුතු වලට ඒවා යොදවා ඉතිරිය මේ විහාරයේ ස්වාමීන් වහන්සේලාගේ දානමාන කටයුතු සදහා භාවිතා කල හැකි බවත් සදහන්වේ. මීට අමතරව විහාරයට කිට්ටුවෙන් ඇති ගගෙහි ඇති තොටුපොලවල් තුනකින් ලැබෙන ආදායම විහාරයට පරිත්‍යාග කල යුතු බව සදහන් වන අතර මේ නියෝගයන් කඩ කල හොත් කහවනු 500ක් දඩ ගැසිය යුතු බවද සදහන් වේ. මීට අමතරව විහාරයට අයිති ගම් බිම් වල කුඹුරු වල වැඩ කරන ගැමියන් මහ වැව් කණ්ඩියේ වැඩට නොයවා විහාරයේ වැඩ වලට යැවිය යුතු බවත්, රජලි නම් කෙත් යායේ අස්වැන්න විහාරයට පූජා කල යුතු බවත් සදහන් වෙනවා."
සෝමාවතියෙන් හමුවූ පුවරු ලිපිය සෝමාවතියෙන් හමුවූ ටැම් ලිපිය
සෝමාවතිය අවට නටඹුන්
19 වන සියව වන විට සෝමාවතිය වල් බිහිවී පස් කන්දක් බවට පත්වී තිබී ඇත. මෙම චෛත්‍යය නැවත සොයාගැනීමේ ගෞරවය හිමියන්නේ මහනුවර මල්වතු විහාර පාර්ශවයේ සිරිමල්වත්තේ ශ්‍රී සරණංකර සුමංගල පියරතන හිමියන්ටය. උන් වහන්සේ විසින් 1947 වසරේ දී ඉංග්‍රීසි ආණ්ඩුවේ අනුමැතියෙන් එවකට ආණ්ඩුකාරවරයා වූ හෙන්රි මේසන් මන්ක් මුවර්ගේ සහයෙන් සෝමාවතිය දාගැබ අවට ප්‍රදේශය පූජාබිමක් බවට පත් කෙරිණි.
1948 ලංකාවට නිදහස ලැබීමෙන් පසුව වනය මැදින් බොරළු පාරක් ඉදි විය. නමුත් 1960 දශකයයේ රිජ්වේ තිලකරත්න දිසාපතිතුමාගේ මූලිකත්වයෙන් සෝමාවතී චෛත්‍යවර්ධන සමිතිය පිහිටුවාගෙන දාගැබ ප්‍රතිසංස්කරණය කිරීමට විවිධ කටයුතු පිළියෙල වෙමින් පැවතුනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1965, 1966, 1967 වර්ෂ වල ඉතාමත් සීඝ්‍රයෙන් මෙහි කැණීම් කටයුතු සිදුකර ඇත. මෙහි සිදුවන කැණීම් වලදී මේ චෛත්‍යයේ ධාතු ගර්භ 3ක් පිහිටා ඇති බව සොයාගන්නා ලදී. එ් නිසා මේ චෛත්‍යය තහවුරු කිරීමෙන් පසුව වුවද එහි තිබූ ගර්භ ස්ථර තුන ඕනැම කෙනෙකුට දැක බලා ගත හැකි පරිදි ඉඩක් ඉතිරි කර ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත.
මූලික ප්‍රතිසංස්කරණ වලින් පසුව ධාතු නිධාන උත්සවය පවත්වා ඇත්තේ 1974 දීය. සියලු ප්‍රතිසංස්කරණ කටයුතු නිමවා නැවත කොත් පැළදවීමේ උත්සවය සිදුවූයේ 1981 ජූලි 4 වනදා එවකට ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවරධන මහතා විසිනි. නමුත් 1987 වර්ෂයේදී සෝමාවතියට කොටි ත්‍රස්ථවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල විය. එම නිසා සෝමාවතිය අතහැර දැමුණු අතර නැවත් වල් බිහිවන තත්වයට ඇද වැටුනි. 1987දී කොටි ත්‍රස්ථවාදීන් විසින් ගලවා දමා තිබී නැවතත් හමුවූ චූඩා මාණික්‍ය 2002 වසරේ ජූනි 19 වන දින නැවත පැළදවීය.
![]() |
මහවැලි ගගේ ගං වතුරෙන් යටවන සෝමාවතී පුදබිම |
පුරාණ සෝමාවතිය යනු අද අපි වන්දනාමාන කරන සෝමාවතියමද?
වර්ථමානය වන විට බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සෝමාවතී පුදබිම ගිරිඅබා රජු සහ සෝමා දේවිය විසින් බුදුන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කරවා ඉදිකරන ලද චෛත්‍යය සහිත භූමිය විය හැකි බවයි. නමුත් එම දාගැබ සොයාගෙන ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකල කාලයේ පටන් එය බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කළ දාගැබ විය නොහැකි යැයි පුරාවිද්‍යාඥයන් අතර මතයක් තිබිණි.
මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා 1954 දී පුරාවිද්‍යා පාලන වාර්තාවේ මෙසේ දක්වා තිබේ.
“තමන්කාඩු දිසාවේ සෝමවතී චේතිය අසල පසින් යට වී පිහිටි තුන්වැනි සියවසට අයත් ලිපියක් සහිත ගල් පුවරුවක් සොයා ගන්නා ලද්දේ ය. මේ දාගැබෙහි දළදා නමක් තුන්වෙනි සියවසින් පෙර කාලයක දී නිදන් කරන ලද බැව් බොහෝ අය විශ්වාස කරති. එහෙත් ලේඛන විද්‍යාවෙන් ඒ විශ්වාසය තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නැත්තේය.” (1954 වර්ෂය පිළිබඳ පුරාවිද්‍යා අධිකාරි තැන ගේ පාලන වාර්තාව IV කොටස - අගෝස්තු 1955 ආණ්ඩුවේ නියමයෙන් මුද්රණය කරන ලදී. A.S.C.A.R 1954)
පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ ද පොළොන්නරුවේ වර්තමාන සෝමාවතී විහාරය දකුණු දළදා නිදන් කළ විහාරය විය නොහැකි යැයි පවසති.
“දැනට පොළොන්නරු දිස්ත්‍රික්කයේ
සෝමාවතී චෛත්‍යය ලෙස
හඳුන්වන ස්ථානයෙන් හමුවූ
සෙල් ලිපියක මහාදාඨික මහානාග
රජුගේ පරපුරේ සාමාජිකයන්
ගැන සඳහන් වෙයි.
එක් ලිපියක ස්ථාන
නාමය දක්වා ඇත්තේ
‘පජින
නකල අරබ (ප්රාචීන නාගාරාමය)‘ යන නමිනි. තවත්
ලිපියක ‘මණි අගිය රජමහ
විහර (මණිඅග්ගික රාජමහා
විහාරය)‘ වශයෙන්
දක්වා ඇත.
වංශ කතා වල සදහන් වන පරිදි සෝම නුවර පිහිටා තිබී ඇත්තේ මහවැලි ගගෙන් දකුණු ඉවුරෙහිය. නමුත් වර්ථමාන සෝමාවතිය පිහිටා ඇත්තේ වම් ඉවුරෙහිය. මේ අනූව බලන කල මෙය බුදුන් වහන්සේගේ දකුණු දණ්ත ධාතුව තැන්පත් කර ඉදිකල සෝමාවතියම නම් ගගේ ගමන් මග වෙනස්වී තිබිය යුතුය. වර්ථමාන භූගොල විද්‍යාත්මක සොයාගෑනිම් අනූව මේ ප්‍රදේශයෙන් ගගේ ගමන් මග වෙනස් වී ඇති බවට සැක කල හැකි සාධක හමුවී ඇත. නමුත් මේවා නිශ්චිතවම ඔප්පුකොට නොමැත. අපි පෙර කතා කල සෙල්ලිපි සැලකුවද එයින් පැරණිම සෙල්ලිපිය වන පුවරු ලිපියෙහි සදහන් වන්නේ නකල නම් කමරුවෙකු ගැනයි. නමුත් ඔහු ගැන වංශ කතා වල නොදැක්වේ. එමෙන්ම සෝමා දේවිය විසින් කරවූ සෝමාවති විහාරය මෙය නම් එය කරවා සියවස් දෙකක් යන්නට පෙර එය අමතක කර දැමීම හෝ නම වෙනස් වීමට හෝ හේතුවක් තිබිය යුතුය. එබදු හේතුවක්ද සොයාගත නොහැක. ගගේ ගමන් මග වෙනස් වීම පිළිගත්තද නියම සෝමාවතිය මෙය නොවන බව ඒල්ලාවල මේධානන්ද හිමියන් පවසා ඇත.
වර්ථමානය වන විට මහවැලි ගගෙන් දකුණුපස පිහිටා ඇති විල්ගම් වෙහෙර එදා ගිරි අබා කුමරුන් විසින් ඉදිකල බුදුන් වහන්සේගේ දකුණු දලදාව තැන්පත් කොට ඉදිකල චෛත්‍යය විය හැකි බව බුරාවිද්‍යාඥයෝ පවසති. සෝමාවතිය පිළිබදව පාලි ධාතුවංශය, සිංහල ධාතුවංශය, සහ ජිනකාලමාලි නම් ග්‍රන්ථ වල සදහන් වේ. මේවායේ සදහන් වන්නේ සේරු නුවර කෙලවර පැරණි සෝම නුවර, ගිරිඅබා රජතුමා විසින් බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කර ස්තූපයක් කරවූ බවයි. ඒ අනූව සේරුවිල කෙළවර සෝම නුවර පවතින්නට ඇති බව විද්වතුන්ගේ මතයයි.
විල්ගම් වෙහෙර චෛත්‍යය ප්‍රතිසංස්කරණයට පෙර විල්ගම් වෙහෙර චෛත්‍යය ප්‍රතිසංස්කරණයට පසු
නමුත් මේ කියූ කාරණා සියල්ලක්ම නිශ්චිතවම සනාත කර නොමැති කාරණා නිසා තව දුරටත් මේවා පිළිබදව පර්යේෂණ සිදු කල යුතුව ඇති බව සිහිපත් කල යුතුය.
No comments:
Post a Comment