Sri Lanka

Monday, December 14, 2020

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 29

 

පෙර ලිපිය මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 28 

 

සෝමාවතියෙන් පසු නැවතත් මහවැලි ගග දිගේ

            සෝමාවතිය පසුකලායින් පසුව මහවැලි ගගේ දිස්වන්නේ ඉතාමන් මන්දගාමි ගමන් විලාශයක්. ගඟ පුරාම වැලි කදු දැකිය හැකි අතර ඒ වැලි ගොඩැලි අතරින් ලැබෙන ඉඩකින් පමණයි ගඟ ගලා බසින්නේ. නමුත් මේ ප්‍රදේශයට යහමින් වර්ෂාව ලැබෙන ඊසානදිග මෝසම් කාලයට නම් මේ මුලු ප්‍රදේශයම ගං වතුරෙන් යටවී යනවා. සෝමාවතිය පාලමේ සිට ඉදිරි කොටස දෙපසටම වක් ගැහුන මාර්ගයක ගමන් කරන අතර එතැන්සිට කිලෝමීටර් 7ක් පමණ ගිය තැන කොම්බනාච්චිය නැමති ප්‍රදේශයට පිවිසෙනවා. මේ කොම්බනාච්චිය නැමති ප්‍රදේශයේ කරිඤ්ඤංමුණේදී හරියෙදි තමයි මනම්පිටියෙන් මහවැලි ගගෙන් වෙන් වුන පෙරිය ආර නැවතත් මහවැලි ගගට එක්වන්නේ. ඒ වගේම මේ ස්ථානයේදී මහවැලි ගඟ දෙකට බෙදෙනවා. මේ බෙදෙන අප ශාකාව ඉදිරියේදී නැවතත් මහවැලි ගගට එක් වෙනවා.

 

වෙරුගල් ආර

          අපි ඉහත කියූ මේ බෙදීමෙන් වෙන් වන ගංගා දෙකෙහි දකුණු ඉවුරෙන් වෙන් වන අප ශාකාවක් මගින් මැත කාලීන ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ වැදගත්ම කඩ ඉමක් සනිටහන් කල ස්ථානයකට අපව රැගෙන යනු ලබයි. ඒ මාවිල් ආරු අමුණයි. මෙකී මාවිල් ආරු අමුණ හමුවන අපශාකාව වෙරුගල් ආරයි. මෙම වෙරුගල් ආර කොම්බනාච්චියේදී මහවැලි ගගෙන් වෙන්වී කිලෝමීටර් 24ක් පමණ ගමන් කළ පසු මාවිල් ආරු අමුණ, වෙරුගල් ආර අමුණ ඇතුළු ජල කලමණාකරණ පද්ධතිය හමුවේ. නමුත් අමුණ ඉදිවන්නට පෙර මෙම වෙරුගල් ආර මහවැලි ගගෙන් වෙන්වුන තැන සිට කිලෝමීටර් 42ක්පමණ දුර ගෙවාගෙන ගොස් වෙරුගල් නැමති ප්‍රදේශයේ දී මුහුදට වැටේ.

 

වෙරුගල් ආර Google සිතියමේ දැක්වෙන අයුරු

කන්දකාඩු ආර

            කන්දකාඩු ආර යනු කන්දකාඩු ප්‍රදේශයෙන් මහවැලි ගගෙන් වෙන්වන අප ශාකාවකි. මහවැලි ගගේ හමුවන සෝමාවතී - කන්දකාඩු පාලමට කිලෝමීටර් 4ක් පමණ උඩින් මෙම අප ශාකාව බෙදී වෙන්වේ. මෙසේ වෙන් වුන කන්දකාඩු ආර කිලෝමීටර් 30ක් පමණ ගමන් කර මාවිල් ආර අමුණට එක්වේ.

කන්දකාඩු ආර Google සිතියමේ දැක්වෙන අයුරු

 

 මාවිල් ආර

           මාවිල් ආර යනු වෙරුගල් අර අමුණට මදක් ඉහළින් වෙරුගල් ආරෙන් බෙදී වෙන්වී වර්ථමාන මාවිල් ආරු අමුණ ඉදිකර ඇති ස්ථානයට තරමක් පහළින් නැවතත් වෙරුගල් ආරට එක් වූ අප ශාකාවකි. කන්දකාඩු වලින් ආරම්භ වූ කන්දකාඩු ආර, මාවිල් ආර වෙරුගල් ආරෙන් බෙදෙන තැනට මදක් පහළින් මාවිල් ආරට එක්වුණි.

 

අමුණු ඉදි කිරීමට පෙර මාවිල් ආරු ජලාශය පිහිටා ඇති ස්ථානයෙන් වෙරුගල් ආර, කන්දකාඩු ආර සහ මාවිල් ආර ගලා ගිය ආකාරය

වෙරුගල් ආර අමුණ සහ මවිල් ආරු අමුණ

           වෙරුගල් ආර අමුණ සහ මාවිල් ආර අමුණ යන දෙකම එක්ව ගත් විට මේ තුළින් නිර්මාණය වන්නේ නැගෙනහිර පළාතට වාරි ජලය සපයන තනි වාරි පද්ධතියකි. මේ පිළිබදව කතා කිරීමට මත්තෙන් මේ ස්ථානයට ප්‍රවේශ වෙන ආකාරය පැහැදිලි කර ගත යුතුය. ත්‍රිකුණාමලය - මඩකලපුව A15 ප්‍රධාන මාර්ගයේ සේරු නුවරට පැමිණ සේරු නුවරින් අල්ලේ කන්තලේ  B10 ප්‍රධාන මාර්ගයට පිවිස කිලෝමීටර් 5ක් පමණ පැමිණ සේරුවිල සිවිල් ආරක්ෂක දේපාර්තමේන්තු බලකා මූලස්ථානය අසළින් වමට ඇති ගුරු පාර දිගේ කලෝමීටර් 5ක් පමණ පැමිණ මාවිල් ආරු අමුණ වෙත පිවිසිය හැකිය.

            මාවිල් ආරු සොරොව්ව මෑත අපේ මෑත ඉතිහාසයේ දේශපාලනික මෙන්ම සමාජීය හැරවුම් ලක්ෂයකි. මහවැලි පහළ නිම්නයේ අල්ලේ වාරිමාර්ග පද්ධතියට ජලය සපයන කල්ලාරු ප්‍රධාන ඇල මාර්ගයට ජලය නිකුත් කරන මෙම සොරොව්ව නිර්මාණය කළ ඉංජිනේරුවන් මාවිල් ආරු සොරොව්ව එවැනි ඉතිහාසයකට නිමිත්තක් වනු ඇතැයි කිසි දිනක නොසිතන්නට ඇත. නිල වශයෙන් අක්කර 16500ක වාරි පද්ධතියක් (ඊට අමරතරව අනවසර අක්කර දෙදහස් පන්සීක්) වටා ජීවන රටාව ගොඩ නගා ගෙන ඇති සිංහල, දමිළ හා මුස්ලිම් ගොවි ජනතාවකට වාරිමාර්ග ජලය සැපයීමට මෙම නිර්මාණය ඉදිකර ඇත.

            ගොවි ජනපද පිහිටුවීමේ එකල රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට අයත් අල්ලේ ගොවි ජනපදය නිල වශයෙන් ආරම්භ කර ඇත්තේ 1952 වසරේ පමණය. මහවැලි ගඟටත් වෙරුගල් ආරටත් මුහුදටත් මැදි වූ ත්‍රිකෝණාකාර හැඩයෙන් යුත් වර්ග කිලෝමීටර් 655ක පමණ ඩෙල්ටාව අල්ල ගොවිජනපදය ලෙස ලංකා සිතියමේ දැක්වෙයි. අල්ල ගොවි ජනපදය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3කට වෙන් කර ඇත. ඒ සේරුවිල, මුතූර් හා ඊච්චලම්පත්තු වශයෙනි.

            මෙම ප්‍රදේශය ආශ්‍රිතව පවතින ඓතිහාසික වටිනාකම් ඇති බුදු පහස ලැබූ බවට විශ්වාස කෙරෙන සේරුවාවිල හා සෝමාවතී පුදබිම් මෙන්ම වෙරුගල් කෝවිලද සෑම ආගම් භක්තිකයින්ගේ ම ගෞරවයට පාත්‍ර වී ඇත. එම ප්‍රදේශයේ ඉතිහාසය කාවන්තිස්ස රජ සමය දක්වා විහිදෙන බව මෙම රජ මහා විහාරආශ්‍රිත වංශ කතා පෙන්වා දෙයි. මහවැලි ගංගාවේ ඩෙල්ටාව ආශ්‍රිතව පැවති ජනාවාස පිළිබදව ඓතිහාසික තොරතුරු ගවේශණයට තව බොහෝ ඉඩ තිබෙන බව අවබෝධ වන්නේ මිනුම් දේපාර්තමේන්තුවෙන් ප්‍රකාශිත භූ විෂමතා සිතියම් වල සටහන් කර ඇති සිය ගණනක් වූ නටඹුන් සහිත ස්ථාන නිරීක්ෂණය කිරීමෙනි.

            පැරිණි වාරිමර්ග පුනර්ජීවනය ඇරඹි 19වන ශත වර්ෂයේ මැද භාගයේ දී මෙම ප්‍රදේශයේ තිබූ අල්ලේ වැව ඇතුලු කුඩා වැව් කීපයක් හා කුඩා අතු ගංගා හරහා ඉදි කර තිබූ තාවකාලික ලි හා වැලි අමුණු වලට ජීවය ලබා දීමට වාරිමාර්ග නිලධාරීන්ගේ පිඹුරුපත් සකස් විය. අල්ලේ වැව ප්‍රතිසංස්කරණය 1860 දශකයේ අග දී බ්‍රිතාන්‍ය පාලන සමයේ ඇරඹුන බව ප්‍රසිද්ධ වැඩ දේපාර්තමේන්තු සටහන් පෙන්වා දෙයි. සැතපුම් 20කට පමණ ඈතින් පිහිටි කන්තලේ වැව ප්‍රතිසංස්කරණය ඇඹුනේද මෙම කාල වකවානුව තුළ වීම විශේෂත්වයකි. 1890 වන විට වැව යටතේ අක්කර 2262ක් අස්වැද්දිය හැකි පරිදි සංවර්ධන කටයුතු සිදු කර අවසන් කර තිබුනේ රුපියල් 65415ක මුදලක් යොදවමිනි. එම මුදල මේ අවධියෙන් නම් මිලියන හත් අටසියකින් එහා අගයකි. කොම්බනාච්චිය නැමති ප්‍රදේශයෙන් බෙදී වෙන් වන වෙරුගල් ආර හරහා ඉදි කර තිබූ ලී කොට යෙදූ ඉපැරණි අමුණ වෙනුවට ගලින් නිම කල අමුණක් ඉදි කිරීම 1907 දී සිදු කෙරිණි. එම අමුණ අද පවතින තත්වයට පත්වී ඇත්තේ 1941  සිදු කරන ලද ප්‍රතිසංස්කරණ වලින් පසුවය. එම ප්‍රතිසංසකරණ වලම තවත් ප්‍රථිඵලයක් ලෙස මෙම වාරිකර්මාන්තය තවත් පුළුල් කිරීම සදහා කන්දකාඩු ආරත් මාවිල් ආරත් එක් වන තැන හරස් කරමින් මාවිල් ආර අමුණ නිර්මාණය කෙරුණි. එමගින් අල්ලකන්තලේ ගොවි ජනපදයට සැපයෙන වාරි ජලය මනා කරළමණාකරණයකින් යුතුව සැපයීමට අවස්ථාව සැලසුනි. වෙරුගල් ආර සහ මාවිල් ආර අමුණ ඉදිකිරීමට සැලසුම් කිරීම, ඉදිකිරීම සහ පවත්වාගෙන ගිය ආකරය පිළිබදව තොරතුරු සහ වාර්තා ඇත්තේ ඉතාමත් අඩු වශයෙනි. මේ පිළිබදව ගවේෂණ පවා සිදු කර ඇත්තේ ඉතාමත් අඩුවෙනි. එම නිසාම ඉදිරියටත් ගවේෂණය කළ යුතු ප්‍රදේශයක් මාවිල් ආරු අමුණ ඇතුළු මේ ප්‍රදේශය සදහන් කල හැකිය.

 

1980 දශකයෙන් පසුව මෙම ප්‍රදේශයේ පාලනය පැවතුනේ LTTE ත්‍රස්ථවාදීන් සතුවය. එම නිසා මෙම පද්ධතියේ කළමණාකරණය සම්පූර්ණයෙන්ම බිද වැටුනි. අමුණු ඇතුළු සොරොව් පද්ධතිය විනාශ වෙමින් පැවතුනි. 2004, 2005 සමයේ ජැක්සන් ඇන්තනී මහතා ගග දිගේ වැඩසටහන සමගින් මෙම මාවිල් ආරු අමුණ වෙත පැමිණ තිබුනේද එහි ඉදිකර තිබූ ත්‍රස්ථවාදී කදවුරේ නායකයින්ගෙන් අවසර ගැනීමෙන් පසුවය. නමුත් 2006 අග භාගයේ දී වීරෝධාර රණවිරුවන් විසින් මෙම ප්‍රදේශය අත්පත් කරගැනීමෙන් පසුව, නැවතත් මෙම අමුණු ප්‍රතිස්සකරණය කර ගොවි ජනතාව වෙත දියවර සපයමින් විශාල කෙත්වතු සහ ගම් බිම් ප්‍රමාණයක් සශ්‍රීක කරමින් පවතී.

 

වෙරුගල් ආර අමුණ සහ මාවිල් ආර අමුණ ඉදි කර ඇති ආකාරය

 

වෙරුගල් ආර අමුණ මත ඇති පාලම

වෙරුගල් ආර අමුණ

වෙරුගල් ආර අමුණ

මාවිල් ආර අමුණ

මාවිල් ආර අමුණ

මාවිල් ආර අමුණ

 

ත්‍රස්ථවාදයේ මිනී වල කපාගත් මාවිල් ආරු සොරොව්ව

            1941 වසරේ දී ඇරඹි ඊලග වටයේ අල්ලේ සංවර්ධන යෝජනා ක්‍රමය මගින් වෙරුගල් ආර අමුණ ප්‍රතිසංස්කරණ කල අතර කන්දකාඩු ආර සහ මාවිල් ආර එක්වන ස්ථානයේ නව අමුණක් ලෙස මාවිල් ආර අමුණ නිර්මාණය කෙරුණි. ඉන් පසුව මාවිල් ආරු හා වෙරුගල් ආරු අමුණු යා කර බැම්මක් ඉදි කර ජලාශයක් බවට පත් කිරීම මගින් ගං වතුර පාලය කිරීමට පියවර ගැණුනි. ඉන් පසුව තමයි මේ ආන්දෝලනයට තුඩු දුන් මාවිල් ආර සොරොව්ව නිර්මාණය කරන්නේ. මේ සොරොව්වෙහි සොරොව් පහක් පිහිටා තිබෙනවා. මේ සොරොව් මගින් කල්ලාරු ඇලට ජලය හරවා යවා එහි වම් හා දකුණු ඉවුරු ඇල මාර්ග ඉදිකර ගොවි බිම් පෝෂණය කරන්නට දියවර සැපයුනි. මේ ජලය අවසානයේ අල්ලේ වැවට එක්වේ. නමුත් අල්ලේ වැව අද පැහැදිලිව හදුනාගත නොහැක.

 

ලංකාවේ ඉතිහාසය වෙනස් කල මාවිල් ආරු සොරොව්ව



කොට් ත්‍රස්ථවාදීන් මාවිල් ආර සොරොව්ව නිසා තමන්ගේ මිණී වල තමන්ම කපාගත්තේ කෙසේද?

            මහවැලි ගඟ දිගේ අපෙ මාතෘකාවට තරමක් එපිටින් වුනත් මහවැලිය හදබිම කරගත් ජනතාවට වැදගත් සාධකයක් වූ මේ කාරනාව මාවිල් ආර ගැන කතා කරන විට කතා නොකරම බැරිය. 2002 රනිල් වික්‍රමසිංහ රජය යටතේ අත්සන් කෙරුණු ඊනියා සටන් විරාම ගිවිසුම බලපෑවේ රජයේ හමුදා වලට පමණක් බව අමුතුවෙන් කිවයුතු කරුණක් නොව්. සටන් විරාම ගිවිසුමට මුවා වී LTTE ත්‍රස්ථවාදීන්  විසින් 2002 වසරේ සිටම තැනින් තැන කුඩා යුධ ප්‍රහාර එල්ල කලත් මහා පරිමාණ ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත සටනක් සදහා අනුබල දෙන්නේ මාවිල් ආර සොරොව්ව වසා දැමීමෙන් අනතුරුවයි.

            මාවිල් ආර සොරොව්ව වසා දැමීමට පෙර 2005 පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කල මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් මුලින්ම ත්‍රස්ථවාදීන් වෙත සාම සාකච්ඡා පැවැත්වීම සදහා ඇරයුම් කලද ත්‍රස්ථයන්ගෙන් ඒ සදහා එතරම් යහපත් ප්‍රතිචාර නොලැබුණි. ඔවුන් විසින් හමුදා නායකත්වය දුර්වල කිරීම සදහා 2006 අප්‍රේල් මස 25 වනදා එවකට යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මරගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කල අතර එයින් යුධ හමුදාපතිවරයා බරපතල තුවාල ලබනවා. එමෙන්ම 2006 ජූනි 26 වැනිදා එවකට ශ්‍රී ලංකා යුධ හමුදාවේ තෙවැනියා වූ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වේජර් ජෙනරාල් පාරමී කුලතුංගට පන්නිපිටියේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කරනු ලබනවා.

            ඉන් පසුවයි නැගෙනහිර ප්‍රදේශයේ සිංහල, දමිළ හා මුස්ලිම් ජනතාවගේ කුඹුරු අක්කර 30,000 කට පමණ දියවර සපයන මාවිල් ආර සොරොව්ව වසා දමන්නේ. මේ හේතුවෙන් එයින් දියවර ලැබූ කුඹුරු සියල්ල විනාශ වී යනවා. මෙලසෙ ත්‍රස්ථවාදීන් විසින් මාවිල්ආරුවේ ජලය ඇපයට තබාගත් පළමු අවස්ථාව මෙය නොවේ. 1991 ජනවාරි 30 වැනි දිනද ඔවුන් විසින් මෙම සොරොව්වේ දොරටු 3ක් පුපුරවා හැර ජලය ලබාගැනීමට බාධා එල්ල කලහ. නමුත් දෙවන වර සොරොව්ව වසා දැමීම ඔවුන් විසින්ම ඔවුන්ගේ මිනී වල කපගත්තා යැයි ඔවුන් කිසි දිනකත් නොසිතන්නට ඇත.

            ජලය නොමැති කමින් පීඩාවට පත් ජනයා වෙනුවෙන් මාවිල් ආර ජලාශය මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම ආරම්භ කිරීමට එවකට ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් තීරණය කරන්නේ නිල වශයෙන් සටන් විරාම ගිවිසුම අහෝසි කර නොමැතිව තිබූ පසුබිමකයි. එවකට සිගප්පූරුවේ පතිකාර ලබමින් සිටි යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ මග පෙන්වීම යටතේ පෙනරාල් පරාක්‍රම පන්නිපිටියගේ නායකත්වයෙන් භට පිරිස් යුද්ධය සදහා අවතීරණ වූ අතර ගුවන් හමුදාව විසින් ත්‍රස්ථ ඉලක්ක වෙත 2006 ජූලි 26 වනදා දැඩි ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග පාබල හමුදාව 28 වනදා සිට තම ප්‍රහාර එල්ල කරමින් ඉදිරයට ඇදෙනවා. මේ අතර තවමත් නිසි ලෙස සුව නොවූ තුවාල ඇතිව වුවද සටන මෙහෙයවීම සදහා සරත් ෆොන්සේකා මහතා දිවයිනට පැමිණෙනවා. රණවිරුවන්ද යම් ප්‍රමාණයක් දිවි පුදමින් කොටි ත්‍රස්ථයන්ට අන්ත පරාජයක් ලබා දෙමින් 2006 අගොස්තු 15 වනදා වන විට සම්පූර්ණයෙන් බලය තහවුරු කරගන්න ලදී. එමෙන්ම ජනතාව වෙනුවෙන් දියවර නිකුත් කිරීමද සිදු කරනු ලබනවා. 

යුධ ජයග්‍රහණයෙන් පසුව මාවිල් ආරු සොරොව්ව විවෘත කරන රණවිරුවන්. මෙහි ආවරණයක් යොදා ඇත්තේ ත්‍රස්ථවාදීන්ගේ Sniper වෙඩික්කරුවන්ගේ ඉලක්ක වලට හසු නොවීම සදහාය

 

            මෙතැනින් අරඹි නැගෙනහිර මුදාගැනීමේ මෙහෙයුම 2007 ජූලි මස 11 වන දින තොප්පිගල මුදාගැනීමෙන් පසුව නිමා වූ අතර 2009 මැයි මස 18 වන දින නන්දිකඩාල් කලපුවේදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් සමස්ථ යුද්ධයම නිමා කරනු ලබනවා.

            තවත් විශේෂ කාරණාවක් කිව යුතුය එනම් ගඟ දිගේ රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කල ජැක්සන් ඇන්තනී මහතා මාවිල් ආරුවේ දී LTTE ප්‍රාණ ඇපකරුවෙකු බවට පත් නොවී වාසනාවකට මෙන් බේරී ඇවිත් තමයි වැඩ සටහනේ ඉතිරි කොටස් රූපගත කරනු ලැබුවේ. එම නිසා එතුමන්ටද අපගේ ස්තූතිය හිමි විය යුතු වේ.

           


No comments:

Post a Comment