Sri Lanka

Sunday, November 26, 2023

උඩරට මැණිකේ 7

 

පෙර ලිපිය උඩරට මැණිකේ 6


කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන උඩරට මැණිකේ දුම්රිය, මරදාන දෙමටගොඩ යන දුම්රිය ස්ථාන පසුකරමින් දුම්රිය ඉතිහාසයේ තවත් වැදගත්කම් කිහිපයකට හිමිකම් දුම්රිය ස්ථානයකට පැමිණේ. ඒ කැණිය දුම්රිය ස්ථානයයි. දුම්රිය මෙම ස්ථානයේ නවත්වනු නොලැබුවද මේ අවට වැදගත්කම් පිළිබදව අප තොරතුරු දැනගැනීම වැදගත් වේ.

කැණිය දුම්රිය ස්ථානය

කැණිය දුම්රිය ස්ථානය යනු කැණිය නගරාසන්නයේ පිහිටි දුම්රිය ස්ථානයකි. කැණිය රජ  මහා විහාරය සහ කැණිය පාලම ඇතුළු ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ස්ථාන වලට පහසුවෙන්ම පිවිසිය හැකි ස්ථානයක මෙම දුම්රිය ස්ථානය පිහිටා ඇත.

 කැණිය දුම්රිය ස්ථානය

කැණිය දුම්රිය ස්ථානය යනු කැණිය නගරාසන්නයේ පිහිටි දුම්රිය ස්ථානයකි. කැණිය රජ  මහා විහාරය සහ කැණිය පාලම ඇතුළු ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ස්ථාන වලට පහසුවෙන්ම පිවිසිය හැකි ස්ථානයක මෙම දුම්රිය ස්ථානය පිහිටා ඇත.

 

කැණිය දුම්රිය ස්ථානය

කැළණිය රජමහා විහාරය.

 

පසක් ගවුතම මුනිදු බුදු වී සාසනේ ලොව පැවතු යේ

එ සම්පත් ඇති අයත් මරුවා කැටුව යනවා උරුදි යේ

වසන් ඇතිදා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදි යේ

වරක්වැන්දොත් උපන් දා සිට කරපු පව් නැත කැලණි යේ

 

- කැළණි හෑල්ල - ලෝකුරු නයිදේ'තුමා.

 

එදවස එසේ කවි පොත්වල ලියැවුනේ කැළණිය පුදබිමේ ඇති පුන්‍යවන්ත බව නිසාම යැයි කිවහොත් නිවැරදිය. කැළණියේ ඉතිහාසය බුදුන් වහන්සේගේ ජීවමාන කාලය දක්වාම දිව යයි. එනම් බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් වසර අටක් ගතවූ තැනයි. එවර බුදුන් වහන්සේ ලංකාවට පැමිණියේ කැළණියේ විසු මණිඅක්ඛිත නම් නාගගෝත්‍රික රජතුමා කල ඉල්ලීම නිසාය. ඒ බුදුන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනයයි. එදින බුදුන් වහන්සේට ධර්මය දේශනා කිරීම සදහා රජු විසින් මැණික් එබ්බවූ පුටුවක් පිළියෙල කොට තිබුණි. ධර්ම දේශනාව අවසන් වීමෙන් පසුව එම මැණික් පුටුව තැන්පත් කර කැළණි ස්ථූපය ඉදිකල බව කියැවේ. මෙම ස්ථූපය ධාන්‍යකාර හැඩයක් ගන්නා අතර එය අඩි 90ක පමණ උසකින් යුක්තවූ අතර අඩි 180ක පමණ වට ප්‍රමාණයක් ඇත.

වරින් වර සිදුවූ විදේශ ආක්‍රමණ නිසා මුල් යුගයේ ඉදි කල ස්ථූපය විනාශ වූ අතර යඨාලතිස්ස, කණිෂ්ඨ තිස්ස, මහා පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල, තෙවන විජයබාහු රජතුමා ආදී රජවරු කිහිප දෙනෙකු විසින්ම චෛත්‍යයත් විහාර භූමියත් නැවත ප්‍රතිසංස්කරණය කරවා ඇත.

කැළණිය ප්‍රදේශය ඉතිහාසයට සම්බන්ධ වන තවත් කතා පුවතක් නම් විහාර මහා දේවියගේ කතා පුවතයි. එය දීර්ඝ ලෙස විස්තර කිරිම වෙනත් ලිපියකින් කල යුතු යැයි හැගේ.

කැළණි විහාරයේ සිතුවම්

කැළනි විහාරයේ යුග දෙකකට අයිති සිතුවම් දක්නට ලැබේ. එයින් එක් කොටසක් මහනුවර යුගයට අයත් සිතුවම්ය. ඒවා අතර වෙස්සන්තර, මහාසීලව, ධර්මපාල ආදී ජාතක කථා දැකිය හැකිය. එමෙන්ම විසිවන සියවස වන විට විනාශ වෙමින් තිබූ කැළනියේ ප්‍රධාන විහාරය නව කැළණි විහාරය ලෙස ඉදිකිරීමේ කටයුත්තේ මුල් තැනක් ගෙන කටයුතු කලේ හෙලේනා විජේවර්ධන මැතිණීයයි. ඇයගේ ආරාධනයෙන් සෝලියස් මෙන්ඩිස් මහතා නව විහාරයේ අදින ලද සිතුවම් ඉහත කී දෙවන යුගයට අයිති චිත්‍රයි. ඒ අතර බුදුන් වහන්සේ කැළණීයට වැඩම කිරීම, දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දළදාව වැඩම කරවීම, සංඝමිත්තා තෙරණීය වැඩම කරවීම ආදී සිතුවම් බොහොමයක් දැකිය හැකිය.

 

 





කැළණිය රජමහා විහාරය වැදපුදාගත් අපි නැවතත් කැළණිය දුම්රිය සාථනය අසලට පැමිණීයහොත් දුම්රිය ඉතිහාසයේ තවත් වැදගත් ස්ථානයකට පිවිසිය හැකිය. ඒ සපුගස්කන්ද දුම්රිය මාර්ගයයි.

සපුගස්කන්ද දුම්රිය මාර්ගය

ඉංග්‍රීසි ජාතිකයින් දුම්රිය මාර්ග ඉදිකිරීමෙන් පසුව මෙරට ඉංජිනෙරුවන් විසින් ඉදි කල මාර්ග දෙකක් තිබේ. එනම් කැළණීයේ සිට සපුගස්කන්ද දක්වා ඉදිකල මාර්ගයත් අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා ඉදිකල මාර්ගයත්ය. මිහින්තලය මාර්ගය ප්‍රධාන වශයෙන් ඉදිකලේ වන්දනා කරුවන් උදෙසාය. අදටත් එම මාර්ගයේ දුම්රියක් ධාවනය වන්නේ වන්දනා සමයන් වල පමණි.

1977 දී බලයට පැමිණි ජේ.ආර් ජයවර්ධන තමන් නියෝජනය කල කැළණීය හා බියගම ප්‍රදේශ කරමාන්ත පුර බවර පත් කරමින් සංවර්ධනය කිරීමේ උත්සාහයක යෙදුනි. එහි ප්‍රතිඵලයක් ලෙස බියගම අපනයන සැකසුම් කලාපය බිහි විය. සපුගස්කන්ද තෙල් පිරිපහදුව සමීපයේ පිහිටි පොහොර සංස්ථාව වැඩි දියුණු කර එහි නිපදවෙන පොහොර අපනයනය කිරීමේ අරමුණීන් කැළණීය දුම්රිය ස්ථානය අවට සිට සපුගස්කන්ද දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කෙරුණී. මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ හැත්තෑව දශකයේ අග භාගයේ දීය.

පොහොර සංස්ථාවට අවශ්‍ය අමද්‍රව්‍ය රැගෙන එමත්, එහි නිපදවෙන අතිරික්ත පොහොර දුම්රිය මගින් වරාය දක්වා ප්‍රවාහනය කිරීමත් මෙම මාර්ගය ඉදිකිරීමේ අරමුණ විය. කැළණියෙන් ආරම්භ වූ මෙම දුම්රිය මාර්ගය වරාගොඩ, නුංගමුගොඩ හන්දිය, පොල්හේන, කොහොල්විල, බතලහේන්වත්ත, ගෝනවල හරහා සපුගස්කන්ද වෙත ඉදිකිරීම් ආරම්භ විය‍.

මෙය දුම්රිය වේදිකා තුනකට ගමන්ගත් පැති මාර්ග පද්ධතියක් ලෙස ඉදිකර තිබුණි. මේවා පැති දුම්රිය මාර්ග ලෙස තනා තිබූ නිසා ඒවා හදුන්වා ඇත්තේ සයිඩිම ලෙසය. එවායින් පළමුවැන්න බවර් සමාගමේ සයිඩිම ලෙසත්, දෙවැන්න කැළණි ටයර් සමාගමාගමේ සයිඩිම ලෙසත්, තෙවැන්න සපුගස්කන්ද තෙල් පිරිපහදුව සයිඩිම ලෙසත් නම්කර තිබුණි. මෙම මාර්ගය ඉදිකර තිබී ඇත්තේ කැළණි පාලම පසු කිරීමෙන් පසුව කැළණිය දුම්රිය ස්ථානයට පිවිසීමට පෙර ප්‍රධාන මාර්ගයෙන් දකුණු දෙසට බෙදී ප්‍රධාන මාර්ගයට සමාන්තරව ගමන් කරන ලෙසයි. මෙම මාර්ගයටත් ප්‍රධාන මාර්ගයටත් අතරමැදිව කැළණිය දුම්රිය ස්ථානය පිහිටා තිබී ඇත. මෙම මාර්ගය බවර් සමාගමට ඇතුළු වීමේ දී ධාවන පථ දෙකක් ලෙස ඉදි කර තිබී ඇත. එකක් බවර් සමාගමේ සයිඩිම ලෙසත් අනෙක් මාර්ගය සපුගස්කන්ද දෙසටත් ගමන් කරන ලෙසත්ය.

සපුගස්කන්ද  මාර් ගය


බවර් සමාගම පසුකර ඉදිරියට ගිය මෙම මාර්ගයෙන් කැළණීය පොල්හේන හන්දිය ආසන්නයේ දී කැළනි ටයර් සමාගම දෙසට  තවත් සයිඩිං මාර්ගයක් බෙදී ගොස් ඇත. ප්‍රධාන මාර්ගය සපුගස්කන්ද සයිඩිම දෙසට ගමන් කර ඇත. මෙම මාර්ගයේ දුර ආසන්න වශයෙන් කිලෝමීටර් 12ක් පමණ වේ. ගෝනවල දක්වා කිලෝමීටර් 8කට වැඩි දුරක් දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් පසුව මාර්ග පරීක්ෂාව සදහා දුම්රිය එන්ජිමක්ද ධාවනය කෙරුනි. නමුත් අසූව දශකයේ මුලදී පොහොර සංස්ථාවේ නිෂ්පාදන කටයුතු අඩපණ වීම නිසා දුම්රිය මාර්ගයේ ඉතිරි කිලෝමීටර් 4 ඉදිකිරීමද ඇණහිට ඇත.

බවර් සමාගමේ සයිඩිම


දුම්රිය මාර්ගය ඉදිකිරීම් නිමකල කොටසේ කලක් යද්දී ඇතැම් ස්ථාන වල සිල්පර කොට සහ රේල් පීලි අතුරුදහන් වන්නට වූ අතර දුම්රිය මාර්ගයට අයිතිව තිබූ ඉඩම් අනවසර පදින්චිකරුවන්ගේ ග්‍රහණයට නතු විය. පසුව පත්වූ රජයන්ද මෙම මාර්ගය නැවත ඉදි කිරීමට උත්සාහා ගෙන නොමැත. රජයට අයත් කෝටි ගණනක දේපොල පාලකයන්ගේ අඥාන තීරණ නිසා මෙසේ විණාශ වී ගොස් ඇත.

 


සපුගස්කන්ද මාර් ගයේ අද ඉතිරිව ඇති කොටස්


නැවතත් උරට මැණිකේ දුම්රියේ.

උඩරට මැණීකේ දුම්රියෙන් කළණිය දුම්රිය ස්ථානය පසු කරන අපිට වනවාසල, හුණුපිටිය, එඩේරමුල්ල සහ හොරපේ යන දුම්රිය ස්ථාන හමු වේ. කැළණිය දුම්රිය ස්ථානයත් රාගම දුම්රිය ස්ථානයත් අතර මෙම දුම්රිය ස්ථාන පිහිටි ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ගමන් ගන්නේ විශාල වගුරු බිමක් හරහාය. මෙය කොළඹ සිට කිලෝමීටර් 11ක් පමණ ඈතින් පිහිටි ගොංගිතොට ප්‍රදේශයයි.


ගොංගිතොට ඛේදවාචකය

එඩේරමුල්ල දුම්රිය ස්ථානයේ සිට රාගම දුම්රිය ස්ථානය දෙසට ගමන් කරන විට හමුවන පළමු යකඩ පාලම ආශ්‍රිත ප්‍රදේශය ගොංගිතොට නමින් හදුන්වා ඇත. හුණුපිටියත් එඩේරමුල්ලත් අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය මුතුරාජවෙල වගුර මායිමෙන් ගමන් කලත් එඩේරමුල්ල පසුකරන විට ගොංගිතොට ප්‍රදේශයේදී මාර්ගය දෙපසම ඇත්තේ මහා වගුරකි. පතුලෙහි සීමාවක් කිව නොහැකි තරම් වගුර ගැඹුරුය. මේවා හදුන්වන්නේ හැල් යනුවෙනි. මෙම වගුර හදුන්වා ඇත්තේ බම්බු හැල යනුවෙනි. එසේ හදුන්වා ඇත්තේ අඩි 40ක් 50ක් පමණ උස උණගස් වුවද එම වගුරේ ගිල්ලවිය හැකි නිසාය.



මෙම වගුර හරහා දුම්රිය මාර්ගය ඉදි කිරීමට අඩි 8-9ක්  පමණ පළල සහ අඩි 4-5ක් පමණ උස වේල්ලක් ඉදි කිරීමට තීරණය කර තිබුණි. මේ සදහා අවශ්‍ය පස් රැගෙන විත් ඇත්තේ එකල පරණ කන්ද හා වෙඩි කන්ද නමින් හැදින් වූ ප්‍රදේශ වලිනි. රේල් පාර එඩේරමුල්ල දක්වා ඉදිකිරීමෙන් පසුව පස් පුරවන ලද බිමේ ඩක්කු වලට හා එන්ජිමට ගමන් කල හැකි ලෙස ගමන් කළ හැකිවන ලෙස තාවකාලිකව පීලි දමා පොළව සකස් කර තිබුණි. ඉහත කී බම්බු හැල උඩින් රෙල්පාර ඉදි කිරීමට පටන්ගෙන ඇත්තේ එයින්පසුවයි.

ගොංගිතොට වගුරු බිම හරහා ඇති දුම්රිය මාර් ගය අධිවේගී මාර්ගයට පෙනෙන අයුරු


ඉදිකිරීම් ආරම්භ කලද මෙම හැලෙහි තරම පිළිබද නිවැරදි අදහසක් ඉදිකිරීම් භාරව සිටි සුද්දන් හට තිබී නොමැත. කෙසේ නමුත් මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම නරඹන්නට සිය ගණනක් මිනිසුන් පැමිණුනද ඉදිකිරීම් භාරව සිටි සුද්න්ට හැල පිළිබදව උපදෙස් දෙන්නට කිසිවෙකුත් ඉදිරිපත් වි නැත්තේ සුද්දන් සිංහලයන්ගේ අදහස් වලට ගරු නොකරන තත්වයක් තිබූ නිසාය.

ඉහත කී අනතුර සිදුවන්නේ සිදුවන්නේ වර්ෂ 1864 ජනවාරි මස 14වන දින දහවල් 12ට පමණය. එය ඩක්කු මගින් පස් අදිමින් දුම්රිය මාර්ගය සකස් කරමින් සිටි මොහොති. එදින මාර්ගයේ වැඩ කරන මිනිසුන්ට පඩි ගෙවීම සදහා පැමිණි මාළු සිරා නයිදු නැමති ලිපිකරුවා තමන් පැමිණි ඩක්කුව මාර්ගයේ නොසැලකිලිමත් ලෙස නවත්වා තිබුණි. නමුත් කල යුතුව තිබුනේ ඩක්කුව පාරෙන් ඉවත්කර පස් පුරවාගෙන පැමිණෙන දුම්රියට යාමට හැකි වෙන ලෙස මාර්ගය නිදහස් කර දීමය. නමුත් ඔහු එසේ සිදු කර නොතිබුණි. පස් පුරවාගත් ඩක්කු 16ක් සවිකරගත් දුම්රියක් එඩේරමුල්ල දෙස සිට පසුපසට ධාවනය කරවා ඇත.

කුඩා ප්‍රමාණයේ ඩක්කුවක්

භාණ්ඩ ප්‍රවාහන  ගැල්


පසුපසට තිබුණ දුරත්, අව් රශ්මයත් තද දුහුවිල්ලත් නිසා දුම්රියේ රියැදුරුට ඩක්කුව පෙනී නොමැත. එමෙන්ම පසුපස නියාමක මැදිරියේ සිටි නියාමක වරයා දුන් සංඥාවද නොපෙනී ඇත. පිටුපසට ධාවනය කල දුම්රිය නයිදුගේ ඩක්කුවේ ගැටී ඇත. තාවකාලීක මාර්ගයක් නිසාත් පස් පිරවූ ඩක්කු වල බර නිසාත් ගැල් 16 පීලි පැන බම්බු හැලට පෙරළී නොපෙනී ගියේය. ඉවතට විසිවූ නියාමක වරයාට බරපතල තුවාල සිදු විය. ගැල්වල නැගී සිටි කම්කරුවන් 36 දෙනෙක් සහ ඉංග්‍රීසි ජාතික වැඩ මූලික තැන වූ ජෝර්ජ් ඉංග්‍රම් සමග ඩක්කු 14ක් සමග සම්පූර්ණයෙන්ම වගුර තුළ ගිලී ගොස් ඇත. ඩක්කු දෙකක් පමණක් තරමක් ගිලී ඉතිරිවී තිබී ඇත.

අනතුරට හේතුව වූ ඩක්කුවේ පැමිණි සිරා මාළු නයිදු නැමති ලිපිකරු ආගිය අතක් සොයාගැනීමට නොහැකි වන ලෙස අතුරුදහන් වී තිබුණි. ඉදිකිරීම් සමාගම විසින් ගොඩගතහැකි මට්ටමේ තිබූ ගැල් දෙක ගොඩගන්නා ලදී. එමෙන්ම මඩේ ගිලී අතුරුදහන් වූ සිරුරු කිහිපයක්ද ගොඩගැනීමට හැකි වී ඇත.

මෙම අනතුර සිදුවී වර්ෂ 2023 විට මෙම අනතුර සිදුවී වසර 159 කි. ලංකාවේ දුම්රිය ගමන නැමති පොතෙහි එම පුවත සදහන් වී ඇත්තේ මෙසේය.

කඩ නොව සෙනග යොදවා මෙමග නෙක ලෙස

වැඩ පළ කළේ ගලපා රිය                  මෙලෙස

ඉඩ නොව සෙනග පුරවා දවසක            සවස

සැඩ නළ වේගයෙන් දුවමින් නොපසු      බැස

 

එක්කුඩු රියෙහි සැපි තිබු මෙමග තද කොට

එක්විට පෙරළී ගැඹුරේ නිමි නැති හැලට

නෙක්රුදු බිය මරණ පැමිණෙන දන කැලට

දුක් මැද ගියෙමු දැක සිහිවී ගොංගිතොට

 

ඉතිරිය ඊළ කොටසට

 

සටහන

චතුරංග ජයසුන්දර 


Saturday, November 18, 2023

උඩරට මැණිකේ 6

 


පෙර ලිපිය උඩරට මැණිකේ 5

මරදාන දුම්රිය ස්ථානය පිළිබදවත්, කැලණි වැලි මාර්ගය ගැනත් තොරතුරු කතා කල අපි මෙතැන් පටන් ඉදිරියට ගමන් කරමු. මරදාන පසුකර මද දුරක් යන විටම හමු වන්නේ තවත් ඉතාමත් වැදගත් ස්ථානයකි. එනම් දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයයි.

දෙමටගොඩ දුම්රිය ධාවනාගාරය

දුම්රිය ධාවනය කෙමෙන් කෙමෙන් දියුණු වෙත්ම දුමරිය එන්ජින් ප්‍රමාණය වැඩි වෙත්ම ඒවාට අව්‍ය සේවා කටයුතු දිනපතාම සිදු කිරීමේ අවශ්‍යතාවය මතු වන්නට විය. ඒ නිසාම දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයත් රත්මලාන දුම්රිය නඩත්තු අංගනයත් ආරම්භ විය. මෙයින් දෙමටගොඩ දුම්රිය ධාවනාගාරය ආරම්භ කරනු ලබන්නේ වර්ෂ 1909 මාර්තු මස 09 වැනි දිනයි. මෙහි මං තීරු 10කින් මුලින්ම මෙම දුම්රිය අංගනය ආරම්භ විය. මුලින්ම මෙම දුම්රිය අංගනය තුළින් නඩත්තු කර ඇත්තේ පළල් අමාන වාෂ්ප එන්ජින් සහ පටු අමාන මාර්ගයේ වාෂ්ප එන්ජින්ය.

පසුකලීනව Class M, Class  W ආදී වූ ඩීසල් එන්ජින්ද, Class S 12, class S14 ආදී වූ නවීනතම බලවේග දුම්රියද මෙමගින් නඩත්තු වේ. එමෙන්ම දුම්රිය අනතුරු වලදී පීලි පැනීම් වලට ලක් වන දුම්රිය නැවත පීලි ගත කිරීමට භාවිතා කරන 5841 ස්ටීම් ක්රේන් එක නඩත්තු වන්නේද දෙමටගොඩ ධාවනාගාරය මගිනි.

අද වන විට මෙම ධාවනාගාරය තුළ ඉපැරණි වාෂ්ප එන්ඩින් සහ ඉපැරණි ඩීසල් එන්ජින් කිහිපයක්ද සංරක්ෂණය කර ඇත. මෙහි ඇති වාෂ්ප එන්ජින් තවමත් ධාවන තත්වයේ පවතී. සමහර අවස්ථා වල සංචාරක අවශ්‍යතා මත වාෂ්ප එන්ජින් ප්‍රයෝජනයට ගනු ලැබේ.


දෙමටගොඩ ධාවනාගාරයේ සංරක්ෂණය වන එන්ජින් පහත ඡායාරූප වල දැක්වේ





















දෙමටගොඩ ධාවනාගාරයේ සියවස් සැමරුම වෙනුවෙන් නිකුත් කල මුද්දරය


දෙමටගොඩ දුම්රිය ස්ථානය.

කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන උඩරට මැණිකේ දුම්රියට හමුවන තුන්වන දුම්රිය ස්ථානය දෙමටගොඩ දුම්රිය ස්ථානයයි. ප්‍රධාන පාරට කෙලින්ම සම්බන්ධ වන නිසා මෙම දුම්රිය ස්ථානය පවතින්නේ විවෘත දුම්රිය ස්ථානයක් ලෙසය. මුහුදු මට්ටමේ සිට මීටර් 3.05ක උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 4.54 ක දුරකින් පිහිටා ඇත. මෙම දුම්රිය ස්ථානයේ වේදිකා තුනක් පිහිටා ඇත. උදෑසන සහ සවස් කාලයේ කාර්යාල සේවය සදහා ගමන් කරන මගීන් ඉතා විශාල ප්‍රමාණයක් මෙම දුම්රිය ස්ථානය භාවිතා කරනු ලබයි.



දෙමටගොඩ දුම්රිය ස්ථානය

මුතුවැල්ල සහ කොලොන්නාව දුම්රිය මාර්ග

දෙමටගොඩ දුම්රිය ස්ථානය පසු කරනවාත් සමගම දකුණු පසට දිව යන තවත් දුම්රිය මාර්ගයක් දැකිය හැකිය. ඒ කොලොන්නාව තෙල් පර්යන්තය වෙතට දිව යන මාර්ගයයි. ලංකා දුම්රිය දෙපාරතමේන්තු ඉතිහාසයේ එතෙක් මෙතෙක් වැඩිම ආදායම ලැබෙන දුම්රිය ස්ථානය වන්නේ කොලොන්නාව දුම්රිය ස්ථානයයි. කොලොන්නාව නිමාව ඛනිජතෙල් පර්යන්තයේ සිට ආරම්භ වන ඉන්ධන ප්‍රවාහන දුම්රිය ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩිම ආදායමක් ලවන දුම්රිය බවට පත්වී ඇත.

වර්ෂ එක්දාස් නවසිය විසි වැනි දශකය වන විට භාන්ඩ ප්‍රවාහනය සදහා දුම්රිය බහුලව යොදාගනු ලැබිනි. මේ නිසා වර්ෂ 1923වන විට වෙළද භාන්ඩ කෙලින්ම කොළඹ වරාය වෙත ප්‍රවාහනය කිරීමත් කොළඹ වරාය සංවර්ධනය කිරීමත් අරමුණු කරගෙන ඔරුගොඩවත්ත සිට කොළඹ වරාය දක්වා දුම්රිය මාර්ගයකුත් කොලොන්නාව සිට ඔරුගොඩවත්ත දක්වා තවත් දුම්රිය මාර්ගයකුත් ඉදිකරන ලදී. එම නිසා ඔරුගොඩවත්ත එකල දුම්රිය මාර්ගයේ හතරමං හන්දියක් ලෙස භාවිතා වී ඇත.

ඔරුගොඩවත්ත සිට වරාය දෙසට දිව යන මාර්ගයේ ඔරුගොඩවත්ත, කැලණිතිස්ස, මහවත්ත, බිලූමැන්ඩල්, අළුත්වත්ත, වෝකර් ගේට්ටුව, පිටකොටුව ඛාන් ඔරලෝසු කණුව, කොළඹ නැව්තොට යන දුම්රිය ස්ථාන පිහිටා තිබුණි. එමෙන්ම කොලොන්නාව මාර්ගයේ කොලොන්නාව, සහ මීතොටමුල්ල යන දුම්රිය ස්ථාන පිහිටා තිබුණි. නමුත් වර්ෂ 1946/47 කාල වලදී කැලණි ගග පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරක් හේතුවෙන් මුතුවැල්ල මාර්ගය විනාශ වී ඇත. අද වන විට එය අනවසර පදින්චිකරුවන්ගේ ග්‍රහණයට නතුවී ඇත.නමුත් එම පැරණි මාර්ගයේ  නෂ්ටාවශේෂ තවමත් ඉතිරී වී පවතී.

කොලොන්නාව මාර්ගය ඛනිජ තෙල් සහිත ටැංකි ප්‍රවාහනය සදහා අදටත් භාවිතා කරනු ලබයි. මුතුවැල්ල මාර්ගය වරායට පැමිණෙන දුම්රිය මැදිරි, එන්ජින් ආදිය දුම්රිය අංගන වෙත ගෙන ඒම සදහා භාවිතා වන බවට තොරතුරු දැනගැනීමට ඇත.


නව දුම්රිය මාර්ගය වෙනුවෙන් පල කල පුවත්පත් දැන්වීම

කොළොඹ නැව්තොට දුම්රිය ස්ථානය ඉදිවෙමින්

දුම්රිය කාලසටහන

කොළඹ නැව්තොට දුම්රිය ස්ථානය අද





කොලොන්නාව දුම්රිය ස්ථානය

ඉන්ධන ප්‍රවාහන ටැංකි


කැළණිය දුම්රිය පාලම

කොළඹ සිට අඹේපුස්ස දක්වා ඉදිකෙරුණු පළමු දුම්රිය මාර්ගයේ පළමු භාදකය (obstacle) දෙමටගොඩ දුම්රිය ස්ථානය පසුකර මද දුරක් යන විට කැලණි ගගේ දී හමු විය. එනම් එතැනින් එහාට දුම්රිය මාර්ගය ගෙනයාමට කැලණි ගග තරණය කල යුතු වීමයි. මුල් යුගයේ ගග හරයා පාලම් පාරු යොද ඒ මත රේල් පීලි අතුරා දුම්රිය ධාවනය කර ඇති බව සදහන් වුවත් ඒ පිළිබදව සාක්ෂී සොයාගැනීමට නොහැකි විය.

කෙසේ නමුත් වර්ෂ 1881දී මුලින්ම අඩි 25ක පරතරයකින් යුතු ගල් කණු 12කින් සහ යකඩ කණු 8කින් යුතුව අඩි 800ක් දිගැති මුල්ම පාලම ඉදිකරන ලදී. එම යුගයේ දී වානේ සිලින්ඩර වල පහළ කොටස අඩි 7ක් සහ ඉහළ කොටස අඩි 6ක් විශ්කම්භ සහිතව පැවති අතර එවා අඩි 45ක්  50ක් පමණ දුරකට පොළව යටට ගිල්ලවා තිබී ඇත. පාලම මතුපිට වැලි සහ බොරළු අතුරා තාබී ඇත. නමුත් අධික වර්ෂව සහිත කාලයක මධ්‍යයේ වූ ගල් කණුවක් කඩා වැටී තිබේ. එම නිසා අඩි 80ක පරතරය ඇතිව කොටස් 6ක් සහ අඩි 25ක පළලකින් යුතුව යකඩ බාල්ක යොදා නැවත පාලම ඉදි කරන ලදී. මුලින්ම ද්විත්ව මාර්ගයකට සුදුසු ලෙස පාලම ඉදි කලද සැබෑ ලෙසම ද්විත්ව මාර්ගයක් ඉදි වන්නේ එයින් වසර 30කට පසුවය.

එකල කැලණි ගග හරහා ඉදිකර තිබූ පාරු පාලම. මෙය සාමාන්‍ය ගමනාගමනය සදහා ප්‍රයෝජනයට ගෙන ඇත. මෙවැනි පලමක් මතින් දුම්රියක් ධාවනය කල බවට සාධකයක් මෙම සටහන ලිවීමේ දී හමු නොවිනි


ඉපැරණි දුම්රිය පාලම

කැලණිය කළු පාලම

කැලණිය කළු පාලමත් නව පාලමත් අද දිස්වෙන අයුරු


කෙසේ නමුත් ද්විත්ව මාර්ගය ඉදි කල ඉංජිනේරවන්ගේ අදහස වූයේ දුම්රිය මාර්ග දෙක මතින් එකම වර දුම්රිය දෙකක් ධාවනය කිරීමට තරම් පාලම සවි ශක්තිමත් නැති බවය. නමුත් 1950දී පාලමේ සවි ශක්තිය නිර්ණය කිරීම සදහා කමිටුවත් පත්කරන ලදුව ඔවුන් විසින් නවීන තාක්ෂණික උපරණ භාවිතා කරමින් සිදු කල පර්යේෂන වල නිගමනය වූයේ එකවර පාලම මතින් දුම්රිය දෙකක් ධාවනය කිරීමට තරම් පාලම ශක්තිමත් බවය.

ඉතිරිය ඊළග කොටසට

 

සටහන

චතුරංග ජයසුන්දර