Sri Lanka

Tuesday, July 30, 2013

ලුණු රසැති කෝපි


(මෙය අපිට පණිවුඩ බොහොමයක් දෙන ආදරය පිරුණු කතාවකි. එය කියවීමෙන් ඔබ යම් වින්දනයක් ලබන්නේ නම් අපගේ සතුටද එයමය. මෙම කතාව SALTY COFFEE නැමති ඉංග්‍රීසි කතාවේ සිංහල පරිවර්තනයකි.)

ලුණු රසැති කෝපි

ප්‍රිය සම්භාෂණයකදී ඔහුට ඇය හමු විය. ඇය අතිශයින්ම රූමත්, සෑම දෙනාගේම සිත් ඇදගන්නා ලාවණ්‍යයක් ඇති, බුද්ධිමත්, සුකොමළ තරුණියකි. ඇයගේ ඇසුර පැතූ පිරිමින්ගේ ගණන නිමක් නැත. එනමුත් ඔහු සාමාන්‍ය තරැණයෙකි. කිසිවෙකු ඔහු ගැන වැඩි තැකීමක් කරේ නැත. ප්‍රිය සම්භාෂණය අවසානයේ ඔහු ඇයට ආරාධනාවක් කළේය. ඒ ඔහු සමග අවන් හලකට ගොස් කෝපි පානය කිරීමටය. ඇය එක් වරම පුදුමයට පත් විය. ඇයට එවැන්නක් කිරීමට සිහිනයකින්වත් අදහසක් තිබුනේ නැත. එහෙත් මේ ආරාධනාව හේතුවක් නොමැතිව ප්‍රතිකෂේප කිරීමට ඇයට නොහැකි විය. අකාරුණික වීමට නොකැමැති වූ ඇය කුතුහලය මුසු හැගීමකින් ඔහුගේ ආරාධනාව පිළි ගත්තාය.
ශාන්ත, ශෘංගාරාත්මක පරිසරයක් ඇති අවන් හලක කෙළවරක ඇති මේසයක ඔවුන් වාඩි විය. ඔහුට ඇතිවූ චකිතය නිසා කිසිවක් හරියට කියාගත නොහැකි විය. ඇය ඉතාමත් අපහසු තත්ත්වයකට පත් වූවාය. "අනේ... මට මෙතනින් ඉක්මනට පිටවෙලා ගෙදර යන්න පුලුවන් නම්..." කියා ඇයට සිතුනි.
සේවකයා ඔවුන්ට කෝපි ගෙනැවිත් පිළිගැන්වීය.
"
මේ.. කරැණාකරල මට ලුණු ටිකක් දෙන්න පුල්වන්ද?.. මට මේ කෝපි එකට දාන්න ඕන..." ඔහු සේවකයාට පැවසීය.
ඇය පමණක් නොව සේවකයාද මේ කතාව නිසා පුදුමයට පත් විය. අසළ සිටි මිනිසුන්ද ඔහු දෙස කුතුහලය මුසු මුහුණු වලින් බැලුම් හෙලන්නට විය. ඔහුගේ මුහුණ ලැජ්ජාවෙන් රතු විය. එහෙත් ඔහු කිසිවක් නොකියා කොපි වලට ලුණු කළවම් කොට පානය කළේය.
 "මේක ඔයාගෙ පුරුද්දක්ද?.." කුතුහලය මුසු හැගීමකින් ඇය ඇසුවාය. එයට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
"
පුංචි කාලේ මම හැදුන වැඩුන ගේ තිබුනෙ මූද කිටිටුව.. මම හරිම ආසයි මූදු වැලිලෙ සෙල්ලම් කරන්න. ඒ එක්කම මූදෙන් එන හුළං වලින් මගේ තොල් වලට දැනෙන ඒ ලා ලුණු රසට මම හරිම ආසයි. හරියටම කෝපි වලට ලුණු දාල බොනව වගේ. ඉතින් දැන් මම කෝපි වලට ලුණු දාල බොන හැම පාරකටම මට මගේ පුංචි කාලේ මතක් වෙනව. මට මගේ ගෙදර මතක් වෙනවා. මට මගේ ගම මතක් වෙනවා. මට මගේ ගෙදර මතක් වුනාම ලොකු සාංකාවක් ඇති වෙනවා. අනේ.. මගේ අම්මයි තාත්තයි තවම ඒ ගෙදර ජීවත් වෙනවා.. මට නිතරම ඒ දෙන්නා මතක් වෙනවා.."
ළමා කාලයේ මතකයන් මෙසේ පවසන විට ඔහුගේ දෑසින් කදුළු කඩා වැටුනා.
ඔහුගේ හදවතින්ම මතුවන මේ අව්‍යාජ හැගීම් නිසා ඇය ඉතා සංවේදී භාවයකට පත් වුනා. නිතරම ගම මතක් වෙන, දෙමවිපියන් මතක් වෙන, පුංචි කාලෙ හැදුන ගෙදර මතක් වෙන පිරිමියෙක් තමන්ගේ බිරිදට ගොඩක් ආදරේ වෙනවා කියල ඇයට හිතුනා. ඇගේ හදවත ඔහු වෙනුවෙන් විවර වෙන්න පටන් ගත්තා. මේ නිසා ඇයත් ඇගේ ළමා කාලය, ජීවත් වූ නිවස සහ ගම, ඇගේ පවුල, ඇගේ දෙමව්පියන් ගැන ඔහු සමග කතා කළා. දෙදෙනාට නොදැනීම පැය ගණනාවක් අවන් හලේ රැදී සිටියා.
මේ දෙදෙනාගේ ලස්සන, ලිවිතුරු ආදර බැදීමේ ආරම්භය සිදු වුනා.
දෙදෙනා එතැන් පටන් නොකඩවා ඇසුරු කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ ආදරය දිනෙන් දින ශක්තිමත් වුනා. ඔහු මනා ක්ෂාන්තියෙන් යුත්, කරුණාබර, අවංක, ඇයට පිරිසිදු ආදරයක් පුද කරන කෙනෙකු බව ඇය තේරුම් ගත්තා. හමුවූ මුල් දවසේ ආකරෂණයක් එතරම් නොමැති ඔහුගේ පිට ඔපය නිසා ඔහු මග හැර නොයාම ගැන ඇය උදක්ම සතුටු වුනා. ලුණු රසැති කෝපි වලට ඇය ස්තූතිවන්ත වුනා.
සෑම ලස්සන ආදර කතාවක අවසානයේදී මෙන් ඇය ඔහු සමග අතිනත් ගත්තා. එතැන් පටන් රන් රස මෙන් එකට එකතු වී දෙදෙනා ආදරයෙන්, සතුටින් හා අවබෝධයෙන් පිරි සොදුරු විවාහ ජීවිතයක් ගත කළා. ඔහු ආසා කරන හැම දෙයක්ම ඇය ලබා දුන්නා. ඇය සෑම දිනකම තම ආදර සැමීයාට ලුණු රසැති කෝපි කෝප්පයක් දෙන්නට අමතක කළේ නැහැ.
ඉතා සැපවත් විවාහ ජීවිතයක් ගත කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා ජීවිත යතාර්ථයට මුහුණ දුන්නා. අවුරුදු 40ක යුග දිවියකට පසු ඇය මෙලොව තන්කර දමා ඔහු අවසන් ගමන් ගියා.
මෙලොව තනිවූ ඇය දිනක් තම සැමියාගේ ලියන මේසය අස් කරන්න ගත්තා. ඒ අතර තිබූ දේවල් අතර ඇයට සැමියා විසින් ඔහුගේ අත් අකුරින්ම ලියන ලද ලියුමක් දකින්නට ලැබුනා. ඒ ලියුමේ උඩින් මෙසේ ලියා තිබුනා.
"
මගේ ප්‍රියාදරිය වෙතටයි. මේ ලියුම යම් දිනක මා මෙලොව හැර ගිය පසු කියවන්න.."
චකිතය හා ශෝකය මුසු හැගීමකින් ඇය ලියුම විවෘත කළා.
******************************************
මගේ සදාදරණීය වස්තුවේ,
මට සමාවෙන්න මගෙ මැණීක.. ඔයාට කියපු බොරුවට මට සමා වෙන්න.. මගේ මුළු ජීවිතයෙදිම ඔයාට කියපු එකම බොරුව මේක විකරයි. මගෙ සුදු කෙල්ලෙ.. එ තමයි ලුණු රසැති කෝපි..
ඔයාට මතකද අපි ඉස්සෙල්ලාම හමුවුන දවස.. එදා ඔයා එක්ක එකට වාඩි වෙලා ඉන්නකොට මම හිටියෙ කියන්න බැරි තරම් කලබල වුන හිතකින්.. ඒ හින්දා මම සීනි වෙනුවට වැරදීමකින් සේවකයාට කිව්වෙ ලුණු ගේන්න කියල. ඒත් මට ඇතිවෙලා තිබුණ අවුල හින්දා මට ඒ වැරැද්ද හදා ගෙන සීනි ගේන්න කියල කියා ගන්න බැරි වුනා.. ඒත් මම හිතුවෙ නෑ ඒක අපේ ආදරයේ පටන් ගැනීම වෙයි කියල.
මම මේ ගැන ඔයාට කියන්න හිතා ගෙන හිටියත් එහෙම කරන්න මට හිත හදාගන්න බැරි වුනා. මම බය වුනා ඔයා මම බොරු කාරයෙක් කියල හිතයි කියල.. මම ඔයාට කවදාවත් බොරු කියන්නෙ නෑ කියල පොරොන්දු වුනා ඔයාට මතකද රත්තරන්.. අන්න ඒ නිසා මම මේ ගැන කියන්න ඇත්තටම බය වුනා.. මට ඔයා නැති ජීවිතයක් ගැන හිතන්න පුලුවන්කමක් තිබුනෙ නෑ..
මගේ අවසාන කාලේ දැන් ළගයි වස්තවේ.. මම කිසිම දේකට දැන් බය නැහැ. ඒ හින්ද මම ඔයාට දැන් ඇත්ත කියනවා.. මම කවදාවත් ලුණු රස කෝපි වලට කැමති නෑ. ඒකෙ මහ අමුතු තිත්ත රහක් තියෙනවා. ඒත් කෙල්ලෙ.. ඔයා එක්ක හිටිය ජීවිත කාලේ පුරාම මම ලුණු රස කෝපි බිව්වා..
 මම ගැන වරදවා හිතන්නවත් මම ගැන දුක් වෙන්නවත් එපා මගෙ සුදු මැණික.. මට ඔයා හමු වුන මුල් දවසෙ ඉදන් මම මගේ මුලු ජීවිතයම දුන්නෙ ඔයාට.. ඔයා මට ලැබුන එක තමයි මගේ ජීවිතයෙදි ලැබුන ලොකුම සතුට. ලොකුම සුවය. උපදින ආත්මයක් ආත්මයක් ගානෙ ඔයා මට ලැබෙන්න කියල මම ප්‍රරාර්ථනා කරනාවා. ඔව් මගේ රත්තරන් කෙල්ලෙ.. මට ආයිත් ලුණු රස කෝපි බොන්න වුනත් ඒ හැම ආත්මයකදීම ඔයා මට ලැබෙන්න ඕන.
මේ සංසාරෙදි අපි ආයෙත් හමු වෙමු මගේ රත්තරන්..
 ****************************************
මේ ලියුම කියවා අවසාන වන විට ඇගේ අතේ තිබුන ලියුම මුලුමනින්ම ඇගේ ඇස්වලින් කඩා හැලුනු උණු කදුළු වලින් තෙමිලා තිබුනා.
ටික කලකට පසු ඇගේ සැමියාගේ ලුණු රස කෝපි වලට ඇති ආසාව ගැන දන්නා ඇගේ මිතුරික් ඇගෙන් මෙසේ ඇසුවා.
"
ලුණු දැම්මම කෝපි වල රස කොහොමද?.."
"
ඒකෙ කියන්න බැරි තරම් රසයක් තියෙනවා..." ඇගේ පිළිතුර විය.

චතුරංග ජයසුන්දර

(මෙහි ඉංග්‍රීසි කතාව මේ ලින්ක් එකේන ලබා ගන්න. http://love-quotes-lovers.blogspot.com/2012/11/salty-coffee-motivational-story.html)

No comments:

Post a Comment