Sri Lanka

Monday, July 29, 2024

උඩරට මැණිකේ 17



පෙර ලිපිය උඩරට මැණිකේ 16

පිළිමතලාව දුම්රිය ස්ථානය

කඩුගන්නාව පුරවරයේ සැරි සැරූ අපි නැවතත් උඩරට මැණිකේ දුම්රියෙන් ඉදිරියට ගමන් කරමු. කඩුගන්නාවෙන් පසුව කොටබගොල්ල සහ ඌරාපොල යන කුඩා දුම්රිය ස්ථාන දෙක හමුවේ. මින් පසුව දුම්රිය පිළිමතලාව දුම්රිය ස්ථානයට පිවිසේ. පිළිමතලාව දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට හමුවන 51 වන දුම්රිය ස්ථානයයි. අතීතයේ දී මෙම දුම්රිය ස්ථානය ගිරාගම දුම්රිය ස්ථානය ලෙසද හදුන්වා ඇත. මෙය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 109.94 ක් දුරින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 500.93ක උසකින් පිහිටා ඇත. මෙම ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ගමන් ගන්නේ තැනිතලා ප්‍රදේශයක නිසා දුම්රිය ස්ථානය අවට සාමාන්‍ය නාගරික සවභාවයක් ගෙනඇත. කෙසේ නමුත් මෙම දුම්රිය ස්ථානය සංචාරකයන් වන අපට නම් බොහෝසෙයින් වැදගත් දුම්රිය ස්ථානයකි.  මෙම දුම්රිය ස්ථානයෙන් ගම්පොළ රජධානියේ සුවිශේෂී ස්ථාන කිහිපයකටම ගමන් කල හැකිය. එම නිසා අපි එම ස්ථාන පිළිබදව සොයා බලමු.


පිළිමතලාව දුම්රිය ස්ථානය


පිළිමතලාව දුම්රිය ස්ථානය

ප්‍රභූ පවුල් දෙකක ආරවුල් නිසා ගොඩනැගුන ගඩලාදෙණිය, ලංකාතිලකය හා ඇම්බැක්ක දේවාලය

ගම්පොළ රාජධානිය තම රාජ්‍ය පාලනය සදහා තෝරාගනු ලබන්නේ හතරවන බුවනෙකබාහු රජු විසින්ය. ඒ ක්‍රි.ව 1341 දීය. මෙකල ගම්පොළ රාජධානියේ ප්‍රධාන ප්‍රභූ පවුල් දෙකක් වාසය කර ඇත. ඒ නිශ්ශංක අලගක්කෝණාර (වීර අලකේශ්වර) පවුල සහ සේනාධිලංකාර පවුලයි. මෙයින් හතරවන බුවනෙකබාහු රජුගේ ප්‍රධාන ඇමතිවරයා වූයේ සේනාධිලංකාර සෙනවි තුමාය.

හතරවන බුවනෙකබාහු රජුගේ ඇවෑමෙන් පස්වන පරාක්‍රමබාහු ගම්පොළ රජු බවට පත්විය. ඔහුගේ ප්‍රධාන ඇමතිවරයා බවට පත්වූයේ ද සේනාධිලංකාර සෙනවි තුමන්ය. නමුත් මේ පිළිබදව නොසතුටෙන් සිටි නිශ්ශංක අලගක්කෝනාර, වික්‍රමබාහු නැමති කුමාරයෙකු හට උදව් උපකාර කර, ගම්පොළ සිහසුන පැහැරගෙන, තුන්වන වික්‍රමබාහු නමින් කුමාරයා රජකරවීය. රජතුමා සිය ප්‍රධාන ඇමතිවරයා ලෙස තෝරාගත්තේ නිශ්ශංක අලගක්කෝනාරය.

මේ පිළබදව අකමැත්තෙන් සිටි සේනාධිලංකාර විසින් වීරබාහු නැමැත්තෙකුට උපකාර කර ක්‍රි.ව 1391 දී ගම්පොළ රජු බවට පත්කරවීය. මේ වකවානුවේ දී රයිගම පාලනය කළේ අලගක්කෝනාර විසින්ය. මේ නිසා වීරබාහු සේනාව යවා ඔහුව අල්ලා ගැනීමට කටයුතු කර ඇත. නමුත් මෙම සටනින් පරාජය වූ අලගක්කෝනාර ඉන්දියාවට පලාගියේය. පසුව ඉන්දියානු සහය සමින් පැමිනි අලගක්කෝනාර, වීරබාහු පරදා නැවත රයිගම රජ විය. ඔහුගේ මෙම ආගමනයෙන් වියරු වැටුන සේනාධිලංකාර පවුල නැවතත් ගම්පොළ පරාක්‍රම ඈපා නම් තැනැත්තෙකුට උදව් උපකාර කර රාජ්‍යත්වයට පත්කර ඇත.මේ කලාවකවානුවේ දීම චීනයේ සිට චෙංහෝ නැමති සෙන්පතියෙක් ලංකාවට පැමිණ ඇත. අලගක්කෝනාර ඔවුන් සමග ගැටුමක් ඇත්කරගත් අතර පසුව චෙංහෝ විසින් අලගක්කෝනාරව සිරභාරයට ගෙන චීනයට රැගෙන ගොස් ඇත.

 

මෙසේ විටින් විට රාජ්‍යත්වට පත්වූ රජවරුන්ගේ පිටුපසින් සිටි මේ පවුල් දෙකට අයත් පිරිස් ඒ ඒ කාල වකවානු වලදී තරයට මෙන් විවිධ වෙහෙර විහාර කරවීමට මුල්වී ඇත. ඒ අතරින් ගඩලාදෙනිය, ලංකාතිලකය හා ඇම්බැක්ක දේවාලය ප්‍රධාන තැනක් ගනී.

 

ගඩලාදෙණිය

පිළිමතලාව හන්දියෙන් හැරී දවුලගල මාර්ගයේ කි.මී 1පමණ ගමන් කළ විට මහා මාර්ගයට ආසන්නව උස් පර්වතයක් මත ඉදිකරන ලද මෙම විහාරය දැකිය හැකිය.  ගඩලාදෙණිය විහාරයේ ඉතිහාසය ක්‍රි.ව 14 සියවවන සියවස දක්වා දිව යයි. ඉපැරණි මූලාශ්‍රයන් වල දැක්වෙන පරිදි මෙම විහාරය හතරවන බුවනෙකබාහු රජ සමයේ ඉදිකරන ලද්දකි. නමුත් මෙම විහාරයේ ඉදිකිරීම් වල මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ සේනාධිලංකාර අමත්‍යවරයාය. ඔහු විසින් දකුණු ඉන්දියානු වාස්තුවේදී ගණේශ්වරාචාරීගේ සැලසුමකට අනූව විහාරය ගොඩනැගූ බව සදහන් වේ. මෙම විහාරය ගම්පොළ පළමුවන සීලවංස ධර්මකීර්ති හිමියන්ගේ අනුශාසනා මත ඉදිවූ නිසා මුල් අවධියේ ධර්මකීර්ති විහාරය නම්න් හදුන්වා ඇත.

 

දකුණු ඉන්දීය විජය නගර් ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනූව යමින් ඉදිකර ඇති මෙම විහාරයේ ඉදිකිරීම් ක්‍රි. 1344 අප්‍රේල් මස 28 වන බදාදා දින නිම කල බව ගඩලාදෙණිය සේල්ලිපියෙහි දැක්වේ. ඉපැරණි පිළිම සහිත විහාරගෙය, පිවිසුම් තොරණ, බෝධි වෘක්ෂය, සංඝාවාසය හා දේවාල දෙකක්ද මෙහි දැකිය හැකිය. මෙම විහාරය ඉදිකර ඇති පර්වතය අවට සෙල්ලිපි අටක් පමණ දැකගත හැකිය. ගෙඩිගේ සම්ප්‍රදායට අනූව ඉදිකර ඇති පිළිම ගෙහි පියස්සද කළුගලෙන්ම නිමවා ඇත. මෙම විහාරය යුගල විහාරයක් ලෙස නිම කරවා ඇත එනම් මෙම විහාරගෙහි කොටස් දෙකක් ඇත. ඇතුල් කාමරය තුළ රියන් 12ක් පමණ උස හිදි පිළිමයක් හා එහි දෙපස හිටි පිළිම හතරක් ඇත. පිටත මණ්ඩපය ඉදිරිපිට ඇති ගල් කළුණු ද්විත්වයේ කාලා ශිල්ප දෙකකට අයත් ලක්ෂණ දැකිය හැකිය. එනම් වම් කුළුණේ හින්දු ආභාෂය ඇති නිසා එය ගණේශ්වරාචාරී විසිනුත්, දකණු කුළුණේ දේශීය ලක්ෂණ ඇති නිසා එය ලාංකීය ගල් වඩුවෙකු විසිනුත් නෙළන්නට ඇතැයි විශ්වාස කෙරේ. මීට අමතරව මෙම විහාරගෙය තුළ මහනුවර යුගයට අයත් සිතුවම් කිහිපයක්ද දැකගත හැකිය.

ක්‍රි. ව 1412 දී රාජ්‍යත්වයට පත්වූ හය වන පරාක්‍රමබාහු (1412 - 1467) රජු විසින් ගඩලාදෙණිය විහාරය ප්‍රතිසංස්කරණය කර හුණු පිරියම් කරවා ඇත. ක්‍රි.ව 1707 දී රජ පැමිණි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (1707 - 1739) විසින් වැලිවිට සරණංකර සංගරාජ මාහිමියන්ට සන්නසක් මගින් මෙම විහාරය පැවරූ බව ඉතිහාසයේ සදහන් වේ.

ගඩලාදෙණි විහාරය

පිටත මඩුවේ ගල්කණු


පිටත මඩුවේ ගල්කණු


විහාරගෙයි ඇති කල් කැටයමක්


විහාරගෙයි ඇතුළත ඇති චිත්‍ර


හිදි පිළිමය

වර්ථමානයේ දී විහාරගෙය සංරක්ෂණය කර ඇති අයුරු


විජයෝත්පාය නමින් හදුන්වන කොටසෙහි ඇති චෛත්‍යය


ලංකාතිලක විහාරය


මෙම විහාරයත් ක්‍රි. 1344 දී හතරවන බුවනෙකබාහු රජු වසින් කරවා ඇත. මෙයද සේනාධිලංකාර අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ඉදිකරන ලද විහාරයකි. මෙම විහාරය බුදුන් වහන්සේ මෙන්ම හින්දු භක්තිකයන්ට දෙවියන් වැීමටද ඉදිකරන ලද පූජනීය ස්ථානයකි. පිළිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගිය විට මෙම විහාරස්ථානයට පිවිසිය හැකිය.

මෙම විහාරයේ බෞද්ධ පිළිමගෙය නැගෙනහිරට මුහුණලා ඇති අතර හින්දු දේවාලය බටහිරට මුහුණලා ඇත. සමතලා නොවන ගල්තලාවක් මත ඉදිකර ඇති මෙම විහාරය කළුගල් සහ ගඩොල් භාවිතයෙන් නිමවා ඇත. ලංකාතිලක තඹ සන්නසේ දැක්වෙන පරිදි මෙම ගොඩනැගිල්ල අඩි 80පමණ උසට ඉදිකරවා ඇත. මුල් අවධියේ මහල් 4ක්ව පැවති මෙම ගොඩනැගිල්ලෙහි සැලැස්ම කුරුස හැඩයක් ගනී. පසු කාලීනව මහල් ප්‍රමාණය අඩුවී වර්ථමාන ස්වරූපයට පත්වී ඇත.

විහාරස්ථානයට ඇතුළු වන තැන සකඩ පහණක් දැකිය හැකි අතර එය කලා ලක්ෂණ වලින් පොහොසක් එකක් නොවේ. විහාරයට ඉහළින් මකර තොරණක් දැකිය හැකිය. විහාරය ඇතුළත සූවිසි විවරණය දැක්වෙන සිතුවම් දැකිය හැකිය. විහාරය තුළ විශාල පමාණයේ හිි පිළිමයක්ද දැකිය හැකිය. මෙම පිළිමය දෙපස හිටි පිළිම දෙකක්ද දැකිය හැකිය.

මෙම විහාරය අසළින් සිංහල හා ද්‍රවිඩ භාෂා වලින් නිම කරන ලද සෙල්ලිපි දෙකක් හමුවී ඇත. මෙම සෙල්ලිපි වලින් විහාරයට හා දේවාලයට පූජාකළ ගම්වර පිළිබදව විස්තර සදහන් කර ඇත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින්  ක්‍රි.ව 1798 දී මෙම විහාරස්ථානයේ අලුත්වැඩියා කටයුතු සිදුකරගැනීම සදහා අරව්වාවල නැමති ගම කොබ්බෑකඩුව ශ්‍රී නිවාස ස්වාමීන් වහන්සේට පූජාකල බව මෙහිදී හමුවූ තඹ සන්නසක දැක්වේ.


ලංකාතිලක විහාරයේ ඇති සූවිසි විවරණය දැක්වෙන සිතුවම්


ලංකාතිලක විහාරයේ ඇති සූවිසි විවරණය දැක්වෙන සිතුවම්


බිත්තිමත සිතුවම් කර ඇති මොස්තර


විහාරගෙයි ඇති හිදි පිළිමය


ලංකාතිලක විහාරය

හෙළයේ මහා කලාගාරය ඇම්බැක්කේ දේවාලය

උඩරට මැණිකේ දුම්රියෙන් බදුල්ල බලා චාරිකාවේ යෙදෙන අපි අතහැර නොගත යුතුම තැනකි ඇම්බැක්කේ දේවාලය. ඇම්බැක්කේ නම ඇසූ පමණින්ම අපේ සිහියට එන්නේ ලී කැටයම්ය. මෙම දේවාලයේ ඇති කැටයම් ඒ තරම්ම ලෝකප්‍රසිද්ධය. පිළිමතලාව හංදියෙන් දවුලගල මාර්ගයේ කිලෝමීටර් 8ක පමණ දුරක් ගෙවා ගිය පසු මෙම ස්ථානයට පිවිසිය හැකිය.

 

ඇම්බැක්කේ දේවාලය ඉදිකිරීම පිළිබදව කියැවෙන පුරාවෘතයක් පිළිබදව ඇම්බැක්කේ වර්ණනාව නැමති කාව්‍ය කෘතියෙහි සදහන්ව ඇත. රංගම නම් ගමේ වාසය කල බෙර වයන්නෙකුට වැළදුන කුෂ්ඨ රෝගයක් සුවකරගැනීමට කතරගම දෙවියන්ට වූ භාරයක් සම්බන්ධ සිදුවීම් මාලාවක් නිසා මෙම දේවාලය ඉදිකිරීමට සිදුවූ බව එම පුරාවෘතයෙහි සදහන් වේ. කෙසේ වෙතත් මෙම දේවලය ඉදිකර ඇත්තේ ක්‍රි.ව 14 වන සියවසේ ගම්පොළ රාජධානියේ රජ බවට පත් වූ තුන්වන වික්‍රමබාහු රජ සමයේ දීය. මෙම දේවාලයේ ඉදිකිරීම් වලට වික්‍රමබාහු රජුගේ ප්‍රධාන ඇමති වරයා වූ නිශ්ශංක අලගක්කෝනාර සම්බන්ධ වූ බවට සමහර ජනප්‍රවාද වල කියැවේ.

ඇම්බැක්කේ දේවාලය යනු තනි දේවාලයක් නොවේ. එය ගොඩනැගිලි සංකීර්ණයකි. මෙය ප්‍රධාන ගොඩනැගිලි අටකින් සමන්විත වේ. මෙම දේවාල සංකීරණය වෙත ඇතුල් වීමට සිදු වන්නේ වාහල්කඩ නමින් හදුන්වන ගොඩනැගිල්ල හරහායි. එය උස අඩි 2.5ක් පමණ වූ පාදමක් මත ඉදිකරන ලද අඩි 23ක් පමණ දිග අඩි 19 ක් පමණ පළල ගොඩනැගිල්ලකි. එහි වහලය දැව කණූ 10කින් දරාගෙන සිටින ලෙස නිමවා ඇත.  එයින් පසුව වැඩ සිටින මාලිගය හෙවත් මහා දේවාලය හමුවේ. මෙය හේවිසි මඩුව හෙවත් දික් ගෙය, මැද දික් ගෙය, වැඩ සිටින මාලිගාව, සදුන් කුඩම හා පිරිත් කියන ගේ යනුවෙන් කොටස් පහකින් සමන්විත වේ.

මේ සියළුම ගොඩනැගිලි අතරින් කාගේත් අවධානයට ලක් වන්නේ හේවිසි මඩුව හෙවත් දික්ගෙය වෙතය. ඒ ලෝකයේ විශිෂ්ඨතම ලී කැටයම් මෙම මඩුවේ දක්නට හැකි නිසාය. මෙම හේවිසි මඩුව අඩි 2.5 පමණ උස්වූ පාදමක් මත ඉදිකර ඇති අතර දිගින් අඩි 53ක් සහ පළලින් අඩි 26 ක් පමණ වේ. මෙහි වහලය දැව කණු 32ක් මත ඉදිකර ඇත. මෙම විශිෂ්ඨ නිර්මාණයේ නිර්මාණ කරුවා ලෙස හදුනාගෙන ඇත්තේ ඉන්දීය සම්භවයක් ඇති දෙල්මඩ මුලාචාරී නොහොත් දේවේන්ද්‍ර මූලාචාරී නැමැත්තාය. මෙම මඩුවේ සුවිශේෂත්වය වන්නේ මෙහි ඇති කුළුණු 32 මත අති විශිෂ්ඨ ලී කැටයම් 514ක් නිර්මාණය කර අත. මෙම කැටයම් 514ම එකිනෙකට වෙනස්වූ කැටයම් වලින් සමන්විත වේ. මෙසේ  එකිනෙකට වෙනස් කැටයම් විශාල ප්‍රමාණයක් ලෝකයේ වෙනත් කිසිම තැනක දැකගත නොහැකි විශිෂ්ඨත්වයකින් නිර්මාණය කිරීමට නම් එම කලා ශිල්පියා තුළ පැවති හැකියාව සහ පරිකල්පන ශක්තිය කෙතරම් දැයි සිතීමට අපිට ඉඩක් ඉතිරි වේ. මෙම කණු නිර්මාණය කිරීම සදහා යොදාගෙන ඇත්තේ ගම්මාලු, පිහිඹියා වැනි කැටයම් නිර්මානය කිරීමට පහසු ලී වර්ගය.


හෙවිසි මඩුව


වාහල්කඩ


හේවිසි මඩුව

ඇම්බැක්කේ ලී කැටයම්

ඉහත සහන් කළ කළුණු 32 මත ඇති හතරැස් පැති 128ක් මත විවිධ රූප සහිත කැටයම් 128ක් සහ පේකඩ කැටයම් ඇතුළුව සියලුම කැටයම් 514ක් දැකගත හැකිය. මෙම නිර්මාණය කල ශිල්පියා මේ සදහා අල්ප උන්නත ශිල්පීය ක්‍රමය භාවිතා කර ඇත. එසේම හතරැස් මුහුණතේ ඇති සෑම කැටයමක් වටාම අරිම්බුව සහ කුන්දිරික්කන් යන පාරම්පරික සිංහල සැරසිලි මෝස්තර දෙක යොදාගෙන ඇත. කෙසේ නමුත් අධ්‍යයනයේ පහසුව සහා මෙම කැටයම් කොටස් කිහිපයකට බෙදා වෙන් කළ හැකිය.

 

01 මිනිස් රූප ඇතුළත් කැටයම්

මෙකී නිර්මාණ අතර මිනිස් රූප යොදාගෙන කරන ලද නිර්මාණ රැසක් පවතී. ඒ අතරින් අශ්වාරෝහකයා, මව සහ දරුවා, මල්ලවපොරය, හේවායා, නවනාරි කුංජරය, සප්තනාරි පල්ලැක්කිය, පංච නාරි ඝටය ඒ අතර විශේෂයි. මෙහි නවනාරි කුංජරය යනු කාන්තාවන් නව දෙනෙකුගේ රුව යොදාගෙන නිර්මාණය කළ හස්තියෙකුගේ රැවකි. සප්තනාරි පල්ලැක්කිය යනු කාන්තා රූප හතක් යොදාගෙන නිර්මාණය කර ඇති දෝලාවක රූපයයි. එමෙන්ම පංච නාරි ඝටය යනු කාන්තා රූප පහක් යොදාගෙන නිර්මාණය කර ඇති පුන්කලසක හෝ කළයක රූපයටයි.








02 මනකල්පිත මිනිස් රූප

සදකිදුරු ජාතකයේ එන කිදුරාගේ රුව, නාරිලතා රූපය වැනි රූප මනකල්පිත මිනිස් රූප යොදාගෙන කරන ලද නිර්මාණයන්ය


නාරිලතා රූපය

03 මනකල්පිත සත්ව රූප

ඇම්බැක්කේ දේවාලයේ ඇති කැටයම් අතර මනකල්පිත සත්ව රූප බොහොමයක් දැකගත හැකිය‍. වෘෂභ කුංජරය, මකරා, භේරුණ්ඩ පක්ෂියා, හංස පූට්ටුව, සැරපෙන්දියා, ඇත්කද ලිහිණියා, කිහිඹි රූපය, ගජසිංහ රූපය, හස්තිකුම්භ විදාරණය වැනි බොහෝ කැටයම් මේ අතර දැකගත හැකිය.





හස්ති කුම්භ විදාරණය

04 ජ්‍යාමිතික සැරසිලි මෝස්තර

මෙම කොටසට අයත් වන්නේ බිනර මල, සපු මල, වැටකෙයා මල, නෙළුම් මල, බෙරලිය මල, ලියපත් ගැටය වැනි නිර්මාණයි. මෙවා බොහෝ ප්‍රමණයක් මෙම කැටයම් අතර දැකගත හැකිය.






මීට අමතරව මෙකී කුලුනු හිසෙහි මුතුදැල් මෝසතරයක්ද ඇත. කුලුනු පාද අටපට්ටම්ය. චතුරස්‍රය පෙන්වන තැන නාගබන්ධන හා ගැටලියපත් මෝස්තරය හදුනාගත හැකිය. කුලුනු මුදුනෙහි ඇති පේකඩ මත මෙන්ම එම පේකඩ මත නැංවූ තලා වලද කැටයම් දැකිය හැකිය.






මඩොල් කුරුපාව

ඇම්බැක්කේ නිර්මාන ශිල්පියාගේ තවත් විශිෂ්ඨතම නිර්මාණයක් වන්නේ මඩොල් කුරුපාවයි. මෙය කැණිමඩළ ලෙසද හදුන්වයි. මඩොල් කුරුපාව යනු පල හතරකින් යුත් හේවිසි මඩුවේ වහළයේ දිගින් අඩු පැත්තෙහි ඇති පරාළ 26ක් එකට පුරුද්දා ඇති තනි ලීයයි. මේවා සම්බන්ධ කිරීම සහා කිසි විටෙකත් යකඩ ඇණ යොදාගෙන නොමැත. වහළයෙහි මෙම කොටසට හානියක් සිදු වුවහොත් එම වහල කොටස සම්පූර්ණයෙන්ම කඩා වැටේ. එම නිසාම මෙම නිර්මාණය අති විශිෂ්ඨ නිර්මාණයක් ලෙස සැලකේ.

මඩොල් කුරුපාව



මෙසේ සුවිශේෂී ඓතිහාසික ස්ථාන කිහිපයකම චාරිකාවේ යෙදුන අපි මීල කොටසින් ඓතිහාසික දළදා මාළිගාව වෙත ගමන් කරමු.


ඉතිරිය මීළ කොටසට

සටහන

චතුරංග ජයසුන්දර


Sunday, July 21, 2024

උඩරට මැණිකේ 16

 


පෙර ලිපිය උඩරට මැණිකේ 15


පසුගිය කොටසින් බලන කපොල්ල නැරඹීමට ගිය අපි අද නැවතත් බලන දුම්රිය ස්ථානයේ සිට ඉදිරියට ගමන් කරමු. මුහුදු මට්ටමේ සිට මීටර් 428.35 උසින් පිහිටි බලන දුම්රිය ස්ථානයෙන් ඉදිරියට දුම්රිය මාර්ගය තරමක් දුරට තැන්නක ස්වභාවයක් ගනී. බලන පසුකර ඉදිරියට මීටර් නවසියයක් පමණ ගිය විට උඩරට දුම්රිය මාර්ගයේ දිගින් 04 වැනි ස්ථානය ගන්නා අංක 09 දරන මොරගල්ල උමග හමුවේ. මෙහි දිග අඩි 1048.75 කි. සාමාන්‍ය දුම්රියකට මේ තුළින් ගමන් කිරීමට විනාඩි 5ක් පමණ ගතවේ. දුම්රියෙන් ගමන් කරන විට එක් වරම අදුරේ ගිලී යන මේ විනාඩි කිහිපය මෙම උමං කැණීම සදහා සහභාගී වූ කම්කරුවන්ගේ කැපකිරීම මැනවින් සිහිපත් කරවයි. මෙම උමග පසුකර මද දුරක් ගමන් කරන විට වෙරළුගොල්ල නැමති කුඩා දුම්රිය ස්ථානය හමුවේ. එම දුම්රිය ස්ථානය පසුකර තවත් මද දුරක් ගමන් කරන විට අංක 9A දරණ උමග හමුවේ. මියන්ගල්ලේදී සේම මෙහිදීද මුලින්ම පර්වත මුහුණත කපා මාර්ගය අතුරා තිබුනද පසුව එහි ඇතිවූ අවධානම් තත්වය නිසා   පසුකාලීනව දිගින් මීටර් 189.59 ක් වූ මෙම උමග ඉදිකර ඇත.

අංක 09 දරන මොරගල්ල උමග



අංක 09 මොරගල්ල උමග ඉදිකිරීම් අතරතුර 


අංක 09A අරන උමග



සිංහ මුඛය

ඉහත සදහන් කල  අංක 9A බිංගයෙ පසුකර මීටර් තුන්සියයක් පමණ ඉදිරියට යනතුරුම දුම්රිය මාර්ගය ඉදිකර ඇත්තේ පෙර අපට හමුවූ පරිදිම කදු මුහුනත L හැඩයට කපා සාදාගත් මාර්ගයකය. පහළන් ප්‍රපාතාකර බෑවුමක් ඇත. මොරගල්ල කදුවැටිය පසුකරමින් යන රේල් පාරට ඇතීන් පෙනෙන මනස්කාන්ත කදුවැටි අනන්තය දක්වාම ඇදී යන්නාක් මෙන් පෙනේ. මේ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය දෙපසින් දුම්රියේ ගෑවී නොගෑවී යන ලෙස වැවී ඇති පදුරු අතරින් ඈත පෙනෙත දර්ශනයේ සුන්දරත්වය වචනයෙන් කියාගත නොහැකි තරම් සුන්දරය. අංක 9A උමග පසුකර මීටර් තුන්සියයක් පමණ ගිය විට දුම්රිය මාර්ගයේ තියුණු වංගුවක් හමුවේ. මෙම වංගුව මධ්‍යයේදී දිගින් මීටර් 17.68 ක් පමණ වූ අංක 10 දරන බිංගෙය හමුවේ. එය පසුකර තවත් මීටර් පනහක් පමණ ගිය විට සිංහ මුඛය නැමති ස්ථානය හමුවේ.

එකල උඩරට දුම්රිය මාර්ගය ඉදි කල බ්‍රිතාන්‍ය ජාතිකයින් මොරගල්ල පර්වතය කපා දමමින් ඉදිරියට යන විට පර්වතය තරමක් ඉදරියට නෙරා ගිය කොටසක් හමුවී ඇත. මෙම ස්ථානයේ පළල උමගක් කැණීමට තරම් ප්‍රමාවත් නොවූ නිසා ඔවුන් සිදු කර ඇත්තේ පර්වතයේ වම් පස උමගක ආකාරයෙන් කැණීම් සිදු කළද දකුණ පස විවෘතව පවතින ලෙස කැණීම් සිදු කිරීමය. මෙහි උඩ කොටස සම්පූර්ණයෙන් කඩා ඉවත් නොකර පියස්සක් සේ ඉතිකර කර ඉදිරියට මාර්ගය ඉදිකරගෙන ගොස් තිබේ. මෙම ඉදිකිරීමෙන් පසු එම ස්ථානය පෙනී ඇත්තේ සිංහයෙකු සිය මුව අයාගෙන සිටින ආකාරයකි. එම නිසා එම ස්ථානය බ්‍රිතාන්‍යයන් විසින් සිංහ මුඛය හෙවත් Lion’s Mouth ලෙස හදුන්වා ඇත. මෙම ස්ථානයෙන් පයින් ගමන් කරන්නෙකුට දුම්රියෙන් ගමන් කරන්නෙකුට වඩා මෙහි සුන්දරත්වය විගත හැකිය. නමුත් මෙහි එන ඕනෑම කෙනෙකු මතකයේ තබා ගත යුතු වැදගත්ම කාරණය වන්නේ පරිසරය රකිමින් පරිසරය විදිය යුතුය යන්නයි. මෙම ස්ථානයට පහළින් කොළඹ නුවර මහාමාර්ගය සමීපව දැකගත හැකිය. 

අංක 10 බිම්ගෙය


අංක 10 බිම්ගෙය


අංක 10 බිම්ගෙය තුළින් මහනුවර දෙසට ගමන් කරන දුම්රිය


නාරිලතා චිත්‍රපටයෙන් 1969




අංක 10 බිම්ගෙය සහ සිංහ මුඛය ඉදිකිරීම් අතරතුර


මොරගල්ල පර්වතය දිගේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අතරතුර


සිංහ මුඛය අසල ඉදිකිරීම් අතරතුර


සිංග මුඛය තුළින් ඉදිරියට ඇදෙන උඩරට මැණිකේ දුම්රිය


සිංහ මුඛය



දුම්රිය මාර්ගයේ මෙම කොටස කඩුගන්නාව දුර්ගය ලෙස හැදින්වේ. මේ අවට විවිධ ශාක සහ සතුන්ගේ ජෛව විවිධත්වයෙන් පිරි පරිසර පද්ධතියක් නිර්මාණය වී ඇත. මෙම මොරගල්ල පර්වතය කඩුගන්නාව සංකීර්ණය නමින් හදුන්වන තද ග්‍රැනයිට් පාෂානයෙන් සැදි ඇති පර්වතයක් නිසා පර්වතය විසින් නිර්මාරණය කරන ලද විවිද හැඩතල දුම්රිය මාර්ගයට එක්කරන්නේ පුදුමාකාර සුන්දරත්වයකි. මෙම පාෂාන පොදුවේ විපරීත පාෂාන නමින් හදුන්වන අතර මෙයට වසර මිලියන ගණනකට පෙර අවසන් වරට විපරීත වී ඇති බවට හදුනාගෙන ඇති බව භූ විද්‍යාඥයන්ගේ මතයයි.

දුම්රිය මාර්ගයට පෙනෙන ඈත දසුන්


දුම්රිය මාර්ගයට තවමත් පෙනෙන බතලේගල කන්දේ සමීප දසුනක්




මෙසේ සුන්දරත්වය විදිමින් යන අපට කඩුගන්නවට පිවිසීමට ප්‍රථමයෙන් තවත් උමගක් හමුවේ. අංක 11 ලෙසින් නම් කර ඇති මෙහි දිග මීටර් 25.91කි. එම උමග පසු කරමින් අදිරියට ඇදෙන දුම්රිය මාර්ගට නුවර කොළඹ මහා මාර්ගය වඩාත් සමීපව ගමන් කරයි. කඩුගන්නාව දුම්රිය ස්ථානයට පිවිසීමට පෙර මාර්ගයේ දකුණු පසින් තවත් සුවිශේෂී ස්ථානයක් හමුවේ. එනම් ඩෝසන් කුළුණයි.


අංක 11 දරන උමග


අංක 11 දරන උමග



ඩෝසන් කුළුණ

වර්ෂ 1815 දී ඉංග්‍රීසීන් විසින් ලංකාව අල්ලා ගැනීමෙන් පසුව තමන්ගේ පරිපාලන පහසුවටත් පසුව සිදුවූ විවිධ කැරලි වලට මුහුණ දීමට තම සේනාංක කොළඹ සිට මහනුවරට හැකි ඉක්මනින් යැවීමටත් අවශ්‍ය වූ නිසාත් කොළඹ නුවර මහා මාර්ගය ඉදි කිරීම ඔවුන්ට අත්‍යාවශ්‍ය කාරණයක් විය. වර්ෂ 1820 වන විට ඔවුන් මුලින්ම එකල තිබු ලංදේසි බලකොටු හරහා සීතාවක, ඉද්දමල්පාන, අරන්දර, හෙට්ටිමුල්ල, උස්සාපිටිය හා බලන ඔස්සේ ගුරු පාරක් නිර්මාණය කළහ. නමුත් එය කොළඹ සිට දුරින් තරමක් වැඩිවූ නිසා 1821 දී මහර, කඩවත, යක්කල, වරකාපොල, කෑගල්ල හා මාවනැල්ල යන නගර හරහා මාර්ගයක් ඉදිකිරීමට යෝජනා විය.

මෙම මාර්ගයේ ඉදිකීරීම් භාර වූයේ කපිතාන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් නම් බ්‍රිතාන්‍ය ඉංජිනේරුවරයාටය. වර්ෂ 1821 ආරම්භ කර 1831 වැඩ අවසන් වූ කොළඹ නුවර මාර්ගයේ කැපී පෙනෙන වැඩ කොටසක් ඉටුකළේ කැප්ටන් ඩෝසන් විසින්ය. අද මෙන් ඩෝසර් හෝ වෙනත් යන්ත්‍ර සූත්‍ර නොතිබී යුගයක කදු, හෙල් දිය දහරා, වනාන්තර, සතුන් සර්පයින් වෙතින් එල්ලවන අභියෝග ජයගනිමින් මොහු විශිෂ්ඨ සේවයක් ඉටු කර ඇත. මෙකල කැළෑ උණ හෙවත් මැලේරියාවද පැතිර ගොස් ඇත.  මාර්ගය ඉදිකරන අතරතුර රෝගාතුර වූ මොහු නැවත එංගලන්තයට ගොස් රෝග සුව වී නැවත 1822 දී මාර්ගය ඉදිකිරීම් කටයුතු සදහා එක් විය.

කොළඹ නුවර මාහාමාර්ගයේ ඉතාමත් අමාරුම කොටස වූ කඩුගන්නව දුර්ගයේ දී ගල් පොත්ත විද බිංගෙය තුළින් මාර්ගය ගමන්කරවා කඩුගන්නාව නගරය දක්වා සිදුකල වැඩ කොටස විශ්ම කර්ම වැඩක් බව එකළ සටහන් පොත් වල සටහන් කර ඇත. ඔහුගේ වැඩ පිළිබදව මවිතයට පත්වූ එඩ්ඩව් බාන්ස් ආණ්ඩුකාරවරයා ඔහුව ලංකාවේ රාජකීය විධායක ඉංජිනේරු වරයා ලෙස පත් ක‍ළේය.

මාර්ගය මහනුවර දක්වා ඉදිකිරීම් සිදුවෙමින් පවතින විට වර්ෂ 1829 මර්තු 28 වන දින පාචන රෝගයකින් මියගිය බව වාර්තාවක සදහන් වේ. සමහර ජනප්‍රවාද වල සදහන් වන පරිදි කැප්ටන් ඩෝසන් මියගොස් ඇත්තේ සර්පයෙකු දෂ්ඨ කිරීමෙනි. කෙසේවෙතත් විවිධ කරදර භාකද මධ්‍යයේ වර්ෂ 1832 වැඩ නිම කල කොළඹ නුවර මහාමාර්ගය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට කැප්ටන් ඩෝසන් ජීවතුන් අතර සිටියේ නැත.  කෙසේ හෝ ජීවිත පර්ත්‍යාගයෙන් මෙම මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් සිදුකළ කැපකිරීම නිසා ඔහුට දක්වන උපහාරයක් වශයෙන් ඔහුගේ මිතුරන් එක්වී තම පරිත්‍යාගයෙන් කඩුගන්නාව දුම්රිය ස්ථානයට එපිටින් ඩෝසන් කළුණ ඉදි කළහ.

වර්ෂ 1829 දී ඉදිකරන ලද මෙහි උස මීටර් 13.5කි. ගඩොල් සහ සිමෙන්ති බදාමයෙන් නිමවා ඇති කළුණ මධ්‍යයේ බුරුත දැවයෙන් කරවන ලද කණුවක් දැකිය හැකිය. මෙම කණුවත් බිත්තියත් සම්බන්ධ වන ලෙස පියගැට පෙළක් නිර්මාණය කර ඇත. කුළුණ තුළට වාතය ඇතුළු විමට සාදන ලද වා කවුළු දැකිය හැකිය. කුළුණ මුදුනේ වේදිකාවක් දැකිය හැකි අතර ඒ මත ඉදිකල ගඩොල් ආරුක්කුවක් සහිත පියස්සක්ද දැකිය හැකිය. 

ඩෝසන් කුළුණ


කඩුගන්නාව දුම්රිය ස්ථානය

උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් ගන්නා අපි මීළගට පිවිසෙන්නේ කඩුගන්නාව දුම්රිය ස්ථානයටයි. කඩුගන්නව යනු කොළඹ කොටුවේ සිට හමු වන 48 වන දුම්රිය ස්ථානයයි. එය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 106.1 ක් දුරින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 515.24ක උසින් පිහිටයි. රඹුක්කනින් ඇරඹි සීඝ්‍ර නැග්ම කඩුගන්නව දුම්රිය ස්ථානයෙන් අවසන් වේ. එතැන් සිට දුම්රිය මාර්ගය තරමක තැනිතලා ස්වභාවයක් ගනී.

වර්ෂ 1867 මාර්තු මස 20 වන දින කඩුගන්නාව දුම්රිය ස්ථානය විවෘත කර ඇතත් එම පැරණි ගොඩනැගිල්ල අද වන විට දක්නට නොමැත. පැරණි ඡායාරූප වල පමණක් එය දැකගත හැකිය. නමුත් මුල් ඉදිකිරීම් වල කොටස් කිහිපයක් අදටත් දැකගත හැකිය. කඩුගන්නාව එකල බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ ප්‍රධාන නවාතැන් පොලක් බවට එහි ඇති බංගලා සමූහය හා එකල පැරණි සමාජ ආයතනය ඇතුළු ඉදිකිරීම් සාක්ෂි දරයි. එමෙන්ම මෙහි වාෂ්ප එනිජින් සදහා ජලය ලබා ගත් ජල ස්ථම්භ, ජල නල පද්ධතිය හා අතහැර දමන ලද ළිං, දුම්රිය එන්ජින් නඩත්තුව හා ගාල් කර තැබී ම සදහා වූ පැරණි දුම්රිය ධාවනාගාරය, දුම්රිය හැරවුම් වේදිකාව, පැරණි යකඩ ගුවන් පාලම, පැරණි ගබඩා ගොඩනැගිල්ල, සංඥා කුළුණ, පැරණි සංඥා ආලෝක ලාම්පු, පැරණි තරාදිය හා දොඹකරය මෙන්ම වාත්තු යකඩින් කරන ලද දුම්රිය මාර්ගය හා සම්බන්ධ සංඥා ආදිය තවමත් දැකගත හැකිය. වර්ෂ 1873 දී ස්ථාපිත කරන ලද ටෙලිග්‍රාෆ් පණිවුඩ හුවමාරු ක්‍රමය හා 1879 දී ආරම්භ වුන පැති සංඥා ක්‍රමයේදී භාවිතා කරන ලද උපකරණ වල කොටස් අදටත් මෙහි දක්නට ඇත. එමෙන්ම 1895 වර්ෂයේ ස්ථාපිත කරන ලද ටැබ්ලට් ක්‍රමය හා 1969 ඉදිකරන ලද පැරණි සැමපෝ සංඥා කුළුණු ද අදටත් භාවිතයට ගනු ලැබේ. මෙකී සියල්ලක්ම කියා පාන්නේ කඩුගන්නාව දුම්රිය ස්ථානය පිළිබදව බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ විශේෂ උනන්දුවක් තිබූ බවය.


කඩුගන්නාව එකල 1880 (ඩෝසන් කුළුණ සහ කඩුගන්නාව දුම්රිය ස්ථානය


පැරණි යකඩ ගුවන් පාලම හා පැරණි ජලස්ථම්භය


පැරණි දොඹකරය


පැරණි ගබඩා සංකීර්ණය


අතහැර දැමූ ළිදක්


පැරණි ජලස්ථාම්භය


එකල වාෂ්ප එන්ජින් වලට ජලය පිරවූ නල


කඩුගන්නාව බ්‍රිතාන්‍ය පාලන සමයේදී


කඩුගන්නාව දුම්රිය ස්ථානය මුල් යුගයේ ඡායාරූපයක් (AI මගින් වර්ණ ගන්වා ඇත)


කඩුගන්නාව දුම්රිය ස්ථානය අද


කඩුගන්නාව දුම්රිය ස්ථානය අද


කඩුගන්නාව අවට සුන්දරත්වය


කඩුගන්නාව අවට සුන්දරත්වය


කඩුගන්නාව අවට සුන්දරත්වය

කඩුගන්නාව ජාතික දුම්රිය කෞතුකාගාරය

ශ්‍රී ලංකා දුම්රිය සේවයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් 2014 දෙසැම්බර් 27 වන දින මෙය විවෘත කර ඇත. කඩුගන්නව දුම්රිය ස්ථානයට යාබදව අක්කරයකටත් අඩු ඉඩක මෙය පිහිටා ඇත. නමුත් කුඩා ඉඩ ප්‍රමාණයක වුවද දුම්රිය ඉතිහාසය පිළිබදව වැදගත් තොරතුරු රැසක් ලබා ගත හැකි ලෙස මෙය පිහිටුවා ඇත. මෙරටට ගෙනා පළමු ඩීසල් එන්ජිම, පටු මාර්ග වල ධාවනය වූ N1  පංතියේ දුම්රිය එන්ජිම, ලංකාවට ගෙන්වන ලද මුල්ම බලවේග කට්ටල ත්‍රිත්වය, ප්‍රතිංස්කරණය කරන ලද වාෂ්ප එන්ජිමක්, සමරු ඵලකය, ගැරට් එන්ජිම, ටැබ්ලට් සංඥා ක්‍රමය, 1930 දී මෙරටට ගෙන්වන ලද කාලගණකයක්, විවිධ දුම්රිය ලාම්පු වර්ග, ඩක්කුවක ආකෘතියක්, ආදී දුම්රිය ඉතිහාසයට අයත් බොහෝ දේ මෙහිදී දැකගත හැකිය.


කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති විවිධ දේ


කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති විවිධ දේ


කඩුගන්නාව අම්බලම

කඩුගන්නව අවට සැරිසරන අපි තවත් වැදගත් ස්ථානයක් පිළිබදව කතාබහ කළ යුතුමයි. ඒ කඩුගන්නාව අම්බලමයි. කොළඹ නුවර මහාමාර්ගයේ කොළඹ සිට මහනුවර වෙත ගමන් කරන විට හමුවන කඩුගන්නාව කන්ද නගින විට වම් පසින් මෙම අම්බලම දැකගත හැකිය. පැරණි වාර්තා වලට අනූව මෙම අම්බලම වසර 200 පමණ පැරණිය. 18 වන සියවසේ මුල් භාගයේ දී ඉදිකරන්නට ඇතැයි විශ්වාස කරන මෙය ඉදිකළේ කවුරුන් විසින්ද යන වග නිශ්චිතව හදුනාගෙන නොමැත. පැරණි වලව්වක කුඩා ආකෘතියක් ලෙසින් දිස්වන මෙය ගඩොල් සහ බදාම යොදා නිම කර ඇත. වහලය මහනුවර යුගයට නෑකම් කියන අතර වහලයට පැරණි උළු සෙවිලි කර ඇත. එනම් මෙම ගොඩනැගිල්ල මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පීය භාවිතා කරමින් ඉදිකර ඇත.

කඩුගන්නාව අම්බලම

ඉතිරිය මීළග කොටසට

සටහන

චතුරංග ජයසුන්දර