Sri Lanka

Tuesday, July 9, 2024

උඩරට මැණිකේ 15

 


පෙර ලිපිය උඩරට මැණිකේ 14


උඩරට මැණිකේ දුම්රියෙන් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය දක්වා පැමිණි අපි, උතුවන්කන්දත්, බතලේගලත් තරණය කිරීමෙන් පසුව නැවතත් දුම්රිය මග දිගේ ඉදිරියටම ගමන් කරමු. ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය පසුකරගෙන ඉදිරියට යන අපිට උඩරට අපූර්වත්වය කියා පාන මෙන්ම උඩරට ගොවීන්ගේ අපූර්වතම නිර්මාණයක් වන හෙල්මළු කුඹුරු බොහොමයක් දැකගත හැකිය. මේවා චමත්කාරවත් බවින් අනූනය. ඉහළ කෝට්ටේ සිට තවත් බොහෝ දුරක් ඉදිරියට අලගල්ල කදු බෑවුමේම දුම්රිය මාර්ගය ගමන් කරයි.

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය

අතීතයේ සැවී ගිය ආරුක්කු පහේ පාලම නොහොත් අංජි පහේ පාලම

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිට මිටර් හයසියයක් පමණ ඉදිරියට ගිය විට අංජි පහේ බෝක්කුව නොහොත් ආරුක්කු පහේ පාලම හමුවේ. උඩරට මාර්ගයේ සැතපුම් පනස් නවය හමාරේ සැතපුම් කණුව පිහිටා ඇත්තේ මෙම අංජි පහේ බෝක්කුව මතය. උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ මුල් යුගයේ දී මෙම ස්ථානයෙන් ගලා බසින හක්ඔළුව ඔය හරහා අලගල්ල කන්ද හා කෙල්වරාව කන්ද යා කරමින් ආරුක්කු පහක් සහිතව ගඩොල් සහ ග්‍රැනයිට් පාෂාන යොදාගෙන මෙම බෝක්කුව නිර්මාණය කර තිබේ. පැරණි වාර්තා වලට අනූව එම පාලම අඩි 350ක් පමණ දිග සහ අඩි 40ක් පළල අඩි 45ක් උස දම්වැල් 10 ප්‍රමාණයේ (දම්වැල් 1ක් අඩි 66කි) වංගුවක් සහිතව ඉදිකර තිබූ පාලමකි.

නමුත් පාලම ඉදිකර දශක කිහිපයක් ගත වන විට මෙම පාලමට හානි සිදුවීම නිසා තනි ආරුක්කුවක් පමණක් ඉතිරි කර අනෙක් කොටසට වර්ථමානයේ පෙනෙන උස දක්වා බැම්මක් ඉදිකර පස් පුරවා නැවත දුම්රිය මාර්ගය සකස් කර ඇත. මේ නිසා අද වන විට මෙහි දක්නට ඇත්තේ තනි ආරුක්කුවක් සහිත බෝකුවක් පමණි. මෙම බෝක්කුව මතින් එහි යටට පිවිසීමට එතරම් අපහසුවක් නොමැත. එහි යටට ගිය පසු එතුළින් ගලා යන හක්ඔළුව ඔයේ සුන්දරත්වය මැනවින් දැක බලා ගත හැකිය.

මෙහි වැඩි ප්‍රමාණයක් සේවය කර ඇත්තේ ඉන්දියානු දමිළ කම්කර්වන්ය. දමිළ භාෂාවෙන් අංජි යනුවෙන් භාවිතා වන්නේ පහටය. එම නිසා මෙම ආරුක්කු පහේ පාලමට අංජි පහේ පාලම ලෙස භාවිතා වූයේ යැයි ජනප්‍රවාදයක් පවති. නමුත් එහි සත්‍ය අසත්‍ය තාවය පිළිබදව කිසිවක් පැවසිය නොහැක.

ආරුක්කු පහේ පාලම ඉදිකරමින්


ඉදිකෙරෙමින් පවතින් ආරුක්කු පහේ පාලම


ආරුක්කු පහේ පාලම හක්ඔලුව බෝක්කුව ලෙසින් අද පෙනෙන අයුරු


දෙකි බෝක්කුව සහ දෙකි බැම්ම

ඉහළ කෝට්ටේ සිට ඉදිරියට යන විට බඹරගල නැමති දුම්රිය නැවතුමකුත්, මාකෙහෙල්වල නැමති කුඩා දුම්රිය ස්ථානයකුත් හමුවේ. උඩරට දුම්රිය මාර්ගයේ සැතපුම් හැටයි කාලේ සැතපුම් කණුව අසළ පිහිටි මාකෙහෙල්වල දුම්රිය ස්ථානය පසුකරගෙන ඉදිරියට යන විට දුම්රිය මාර්ගයේ අපූරු නැම්මක් හමුවේ. මේ නැම්ම මධ්‍යයේ උඩරට මාර්ගයේ තවත් අපූරු නිමැවුමක් හමුවේ. එනම් මෙහිදී හමු වන දෙකි ඔය හරහා දුම්රිය මග ගමන් කරවීම සදහා ඉදිකර ඇති තනි ආරුක්කු පාලමයි. මෙය අඩි විස්සක් පමණ පළල සහ අඩි තිහක පමන දිගකින් යුක්ත වේ. ඉතාමත්ම අපූරු සුන්දර ස්ථානයක් වන මෙහි බෝක්කුව තුළින් දෙකි ඔයේ සිසිල් ජල ධාරාවන් දෙකි නිම්නය කරා කර ඇදී යන අයුරු ඉතාමත් අපූරු දර්ශනයක් අපේ නෙත් මානයට ගෙන එයි.

මෙහි විශ්මකර්ම නිර්මාණය වන්නේ මෙම දෙකි බෝක්කුවත් ඇතුළුව මෙම දෙකිද නිම්නය හරහා නිර්මාණය කර ඇති දෙකි බැම්මයි. මෙම බැම්මේ දිග අඩි 540කි. අඩි 18ක් පළල මෙම බැම්ම අඩි 90ක් උස වේ. මෙම යෝධ පිරවුම සදහා පස් කියුබික් අඩි 220,000ක් පමණ යොදාගත් බව එවකට ඉදිකිකරීම් භාරව සිටි ඉංජිනේරුවරයා වූ ෆේවිල්ගේ වාර්තාවල සහන් වී ඇත. දුම්රියේ ගමන් කරන්නෙකුට කිසිවිටෙකත් මෙම යෝධ නිමැවුම දැකගත නොහැකිය. මෙය දැක බලා ගැනීමට නම් දුම්රිය මාර්ගය දිගේ පයින්ම ගමන් කල යුතුය.

දෙකිද බෝක්කුව


දෙකිද ඔය


දෙකිද බෝක්කුව හරහා ගලා බසින දෙකිද ඔය

අපගේ මෙම උඩරට මැණිකේ දුම්රිය චාරිකාව පිළිබදව ලියවෙන ලිපි පෙල හුදෙක් චාරිකා සටහනක් පමණක් නොව මේ දුම්රිය ගමනේ මග දෙපස හමුවන ඓතිහාසික ස්ථාන පිළිබදවත් සංචාරක ස්ථාන පිළිබදවත් කෙරෙන ගවේශනාතමක චාරිකාවක් නිසා ඉහත කී මාකෙහෙල්වල ඉතිහාසය පිළිබදව අපි විශේෂයෙන් කතා කල යුතුමයි.

 

මාකෙහෙල්වල කැප්පෙටිපොල ටැම්පිට විහාරය

සබරගමු පළාතේ ගල්බොඩ කෝරළයේ එගොඩපොත පත්තුවට අයිති මාකෙහෙල්වල ඉතිහාසය පුරාණ රජ දවස දක්වාම දිව යයි. 1818 උඩරට කැරැල්ලේ වීරයා වූ කැප්පෙටිපොල නිළමේ තුමාගේ ජන්ම භූමිය වන්නේද මාකෙහෙල්වලයි. එතුමන්ගේ සොහොයුරා වූ මද්දුම බණ්ඩාර කැප්පෙටිපොල නිලමේ වාසය කළේද මෙම ගමේය. කැප්පෙටිපොල නිළමේ තුමාගේ අකල් මරණයෙන් කම්පාවට පත්වූ මද්දුම බණ්ඩාර නිලමේ ද අකාලයේම මිය ගොස් ඇත. මේ හේතුව නිසා ඔහුගේ බිරි වූ ටිකිරිකුමාරි කුමාරිහාමිය විසින් කැප්පෙටිපොළ පරපුරට අයත් වලව්ව පන්සලක් බවර පත්කර ඒ ආසන්නයේ ටැම්පිට විහාරයක්ද ඉදි කරවා මහා සංඝරත්නයට පූජා කළාය. ඒ 1855 ඔක්තෝඹර් 02 වන දාය. එහිදී වලව්වේ ඉඩම්වල රාජකාරි කළ පවුල් කිහිපයක්ද සමග එම ඉඩම් පූජා කර ඇත. අදටත් විහාරයට අයත් මෙම ඉඩම් භුක්ති විදිමින් රාජකාරි කරන්නේ එම පවුල් වලින් පැවත එන පිරිස් විසින්ය. අඩි 7ක් උසැති ගල්ටැමි 21ක් මත මෙම විහාරය ඉදිකර ඇත. මාවනැල්ල රඹුක්කන මාර්ගයේ කිලෝමීටර් 11.5 ක් පමණ ගිය තැන හමුවන කැප්පෙටිපොල හන්දියේ ශ්‍රි අභයරාජ විහාර භූමියේ මෙය පිහිටා ඇත. 

කැප්පෙටිපොල ටැම්පිට විහාරය

මාකෙහෙල්වල අම්බලම

මාකෙහෙල්වල මනරම් කුඹුරු යායකට යාබදව පිහිටා ඇති මෙම අම්බලම ඉතාමත්ම පැරණි ඉතිහාසයකට නැකම් කියතත් නියත වශයෙන්ම මෙය ඉදිකිළේ කවුරුන් විසින්ද යන වග දැනගැනීමට ප්‍රමාණවත් තරම් කරුණු හමු නොවේ. මෙය ගඩොල් හා බදාම බාවිතා කර නිර්මාණය කර ඇත. මෙහි වහලය ඵල දෙකට සාදා ඇත. මෙහි වහලය දරා සිටින්නේ විශාල කණු මගිනි. මහනුවර යුගයේ බොහෝ තැන් වලින් බහුලව හමු වන පැතලි උළු වලින් මෙහි වහල සෙවිලිකර ඇත. මහනුවර යුගයේ ප්‍රසිද්ද කැණිමඩල මෙහි දක්නට නැතත් වහලය මුදුනේ දෙකෙලවර මැටි කොත් දෙකක් සවි කර ඇත. බොහෝ ඉඩකඩ සහිත අම්බලමක් වන මෙය මෑත කාලයේ පූර්ණ ප්‍රතිසංස්කරණයකට භාජනය කර ඇත. මෙම අම්බලමට ඉහළින් අලගල්ල පර්වතය ඉතාමත් අලංකාරව දිස්වේ.

මාකෙහෙල්වල අම්බලම


මාකෙහෙල්වල අම්බලමට උඩින් පෙනෙන අලගල්ල පර්වතය


මාකෙහෙල්වල දුම්රිය ස්ථානයට පසුව හමු වන දෙකි බෝකුවට පසුව හමුවන මාර්ගයේ බොහෝ විට දැකිය හැක්කේ පර්වත මුහුණත L හැඩයට කපා නෙරුවක් සාදාගෙන ඒ ඔස්සේ දුම්රිය මාර්ගය අතුරා ඇති අයුරුයි. Sensation Rock යනුවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින් හැින් වූ මෙම පර්වත කොටස අයිති වන්නේ අලගල්ල පර්වතයටයි. මේ ඔස්සේ දුම්රියෙන් ගමන් කිරීම ඉතාමත්ම අපූරු අත්දැකීමකි. පහළින් පෙනෙන හෙල්මළු කුඹුරුත්, සුන්දර මිටියාවතත්, විටින් විට ඈතින් පෙනෙන උතුවන්කන්දත් සහ බතලේගල කන්දත් අපූරු රූපරාමුවක් අපගේ මනසේ සනිටුහන් කරනු ලබයි. මාකෙහෙල්වල සිට බලන දුම්රිය ස්ථානය දක්වා කොටසේ දී දිගින් අඩි සියයක් තරම් වූ අංක 06,07,08 යන බිංගෙවල් හමුවේ.


ඉහළ කෝට්ටේ සිට බලන දක්වා වූ දුම්රිය මාර් ගයේ සිතියම


අංක 05 දරන උමග


අංක 06 දරන උමග


අංක 07 දරන උමග

අංක 08 අදරන උමග


පර්වතයේ L හැඩැති කැපුම දිගේ ඉදිකර ඇති දුම්රිය මාර් ගය


දුර් ගය දිගේ ඇදෙන දුම්රිය මාර් ගය


ඈත මිටියාවතේ සුන්දරත්වය


සුද්දන් දුටු හො දසුන නොහොත් Good view

කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගය තැනීමේදී හමුවූ මියන්ගල්ල සේම තවත් ත්‍රාසජනක ඉසව්වක් වන හකුරා වැටුන ගල දුර්ග මාර්ගය ඉදි කිරීම සම්බන්ධ කතා ප්‍රවෘති බොහොමයක් ඇත. මෙය හමුවන්නේ දෙකි බැම්ම පසුකරමින් ඉදිරියට ඇදෙන විටය. මෙම මාර්ගය තැනීමේ දී එම පර්වතයේ කොටසක් කඩා ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. මේ පිළිබදව නිරීක්ෂණයක නියැලීම සහා කඹයක ආධාරයෙන් එම ස්ථානයට ගිය බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවෙකු එම බිහිසුනු ප්‍රපාතයෙන් පහළට ඇද වැටී මිය ගිය බවට වාර්තා ඇත. කෙතරම් අපහසුකම් මද්‍යයේ වුවද උඩරට දුම්රිය මාර්ගය තැනීමෙන් පසුව මෙම දුර්ගයේ සිට බැලූ විට දකින්නට ලැබෙන හාත්පස දර්ශනය කොතරම් සුන්දරවීද යත් ඉංග්‍රීසි ජාතිකයින් සකස් කළ සිතියමේ මෙම සථානය දක්වා ඇත්තේ Good view (හො දසුන) ලෙසයි. මෙතැන් සිට බැලූ විට සබරගමු මිටියාවතේ කදුවැටි සහ ඉන් ඔබ්බට ඇති මධ්‍යම කදුකරයේ උස් කදු මුදුන් වල දර්ශන මැනවින් පෙනේ.


මෙම ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය තනා ඇත්තේ පර්වත මුහුණත දෙසට අනතියක් පිහිටන ලෙසයි. එමෙන්ම ප්‍රධාන රේල් පීලි දෙකට අමතරව තවත් ආරක්ෂිත අතිරේක පීලි දෙකක්ද සවි කර තිබේ. එම නිසා මේ ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැන්නද ආරක්ෂිත පීල්ල අතර හිරවෙන නිසා ප්‍රපාතය දෙසට ඇදී නොයයි.


ඉංග්‍රීසි ජාතිකයින් Good view ලෙසින් හැදින්වූ ප්‍රදේශය


හො දසුනට පහළින් පෙනෙන හො දසුන්


හො දසුනට පහළින් පෙනෙන හො දසුන්


දුම්රිය මාර්ගය අවට සුන්දරත්වය

හො දසුනට පහළින් පෙනෙන හො දසුන්


හො දසුන කොළඹ සිට එන විට පෙනෙන අයුරු


හො දසුන මහනුවර දෙස සිට එන විට පෙනෙන අයුරු


මෙම ප්‍රදේශයේදී ගමන් කරන දුම්රිය  බලා සිටීමට අපූරුය


අවට පරිසරයේ සුන්දරත්වය


L හැඩයට කැපූ පර්වත මුහුණත මත ඉදිකර ඇති මාර් ගය

කුදිර පාලම

කුදිර පාලම

කුදිර පාලම

මෙම දුර්ග මාර්ගය කෙලවරට වන්නට බලන දුම්රිය ස්ථානය ආසන්නයේ මොටන කන්දෙන් ප්‍රපාතයට ඇදහැලෙන දිය පහරක් මතින් ඉදිකළ කුඩා දුම්රිය පාලමක් දක්නට ලැබේ. මෙය කුදිර පාලම යනුවෙන් හදුන්වනු ලබේ. මෙම දුර්ග මාර්ගය ඉදිකරන සමයේ එහි පැමිනි ඉංග්‍රීසි ජාතික නිලධාරීන්ගේ අශ්වයන්ට ගමන් කිරීම සදහා මුලින්ම මෙතැන පාලමක් ඉදිකර තිබේ. මෙහි සේවය කල දමිළ කම්කරුවන් මෙතැනට කුදිර පාලම යන නම තබා තිබේ. මන්ද දමිළ භාෂාවෙන් අශ්වයා හදුන්වනු ලබන්නේ කුදිර (Kutirai )යනුවෙනි. පසුව මෙහි ඇති යකඩ පාලම ඉදිකල පසුවත් එම නමම භාවිතා කර තිබේ.


බලන දුම්රිය ස්ථානය

 

උඩරට මැණිකේ දුම්රිය මීලගට පැමිණෙන්නේ බලන දුම්රිය ස්ථානයටයි. බලන දුම්රිය ස්ථානය අපේ ගමනේ තවත් සුවිශේෂී ස්නධිස්ථානකි. මෙය කොළඹ කොටුවේ සිට එන විට හමු වන 46 වන දුම්රිය ස්ථානයයි. මුහුදු මට්ටමේ සිට මීටර් 428.35 ක උසකින් පිහිටා ඇති මෙය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 101.66 ක දුරින් පිහිටයි. තෙත් කලාපීය පරිසරයක පිහිටි මෙම දුම්රිය ස්ථානය සමහර දින වලදී මීදුමෙන් වැසී යන්නේ අපට ඉදිරියේදී හමුවන ඉදල්ගස්හින්න හපුතලේ වැනි දුම්රිය ස්ථාන සිහිපත් කරමිනි. 

 

බලන දුම්රිය ස්ථානය

බලන දුම්රිය ස්ථානය

බලන ප්‍රදේශයට පිවිසෙන අපට කෙසේවත් අමතක කල නොහැකි කාරණා දෙකක් තිබේ. එනම් බලන කපොල්ල සහ බලන බලකොටුවයි. එම නිසාම එම කාරණා ගැන අප කතා කල යුතුමයි.

බලන කපොල්ල

            කන්ද උඩරට රාජධානිය පිහිටුවාගෙන ඇත්තේ කොපොලු ගිරි දුර්ග වැනි ස්වභාවික ආරක්ෂක උපක්‍රම බොහොමයක් ප්‍රයෝජනයට අරගෙනයි. සෙන්කඩගල රාජධානිය අවට අපිට ප්‍රධාන කපොලු කිහිපයක්ම දැකගත හැකිය. ඒ බලන, දන්තුරේ, ගන්නෝරුව හා ගලගෙදරයි. එමෙන්ම ගැටඹේ යනු මහවැලි ගඟ නිසා ඇති වෙන ජල කපොල්ලකි. මේ සෑම තැනකම විශාල සටන් ඇති විය. අපි මේ කථා කරන මෙකී කපොලු අතරින් වැදගත්ම කපොල්ලකි බලන කපොල්ල. කන්ද උඩරට රාජධානිය ආක‍්‍රමණය කිරීමට පැමිණි පරදේසක්කාර සතුරන්ට කදිම පාඩම් කියාදුන් ස්ථානයක් වශයෙන් බලන බලන කපොල්ල හැඳින්විය හැකිය. කන්ද උඩරටට ඇතුලුවන ප‍්‍රධාන කපොල්ල වශයෙන් හැඳින්විය හැකි මෙම ස්ථානය පසුකරමින් සතුරන් ගමන් ගත්තේ අවස්ථා කිහිපයකදී පමණි. මෙහිදී සිදුවූ සටන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගරිල්ලා සටන් වශයෙන් හැඳින් විය හැකිය. අපගේ වීරෝදාර උඩරට සිංහල හමුදා අපගේ දේශයේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම සඳහා එහිදී ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදි ආකාරය එහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. එහිදී අපගේ වීරෝදාර සොල්දාදුවන් සටන් භූමියේ ඇති පිහිටීම උපයෝගී කර ගනිමින් ගස් හා ගල් පෙරළමින් ප‍්‍රතිවාදී ආක‍්‍රමණිකයන් මෙල්ල කළ අයුරු බලන කපොල්ලේ දී ඇති වූ සටන් පිළිබව සොයාබැදීමේ දී දැක ගත හැකිය. බලන දුර්ගය ආක‍්‍රමණය කිරීම සඳහා පැමිණෙන ප‍්‍රතිවාදී පරසතුරු හමුදාවන්ට එරෙහිව දැවැන්ත ගල් පෙරළා ගෙනවිත්, ආධාරක මතින් රඳවා තබාගෙන සතුරා ළඟා වූ වහාම ආධාරකය ඉවත් කිරීම මගින් සතුරා විනාශ කර ඇත. සතුරා පැමිණෙන මාර්ගයේ ඇති දැවැන්ත ගස් කිහිපයක් අඩක් මුලින් කපා තබා කඹ මාර්ගයෙන් ඒ සියලූ ගස් එකිනෙකට සම්බන්ධ කොට තබා සතුරා කඳු නැග ඉහළට පැමිණීමත් සමග පහළට ගස් පෙරළීම මගින් එයට ඇඳා ඇති ඉහළ ගස් සියල්ලම පෙරළීමෙන් සතුරා විනාශ කිරීම වැනි එදා උඩරට සටනට ආවේනික ගරිල්ලා ආකාරයේ සටන් ක‍්‍රම එම අවදියේ භාවිතා කෙරුණි.

උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානයක් කපොල්ලක් ලෙස හැින්වේ. බලන කපොල්ල හැදෙන්නේ බලන කන්දටත් මුදලිවත්ත නමින් හදුන්වන කන්දටත් අතරමැදි වෙන කොටසිනි. වර්ථමානයේදීත් කන්ද උඩරටට ඇතුල්වෙන මාර්ගය වැටී ඇත්තේ මෙම කපොල්ල තුළින්මය. අපි කවුරුත් දන්නා සුද්දා ගලවිදපු හංදිය පිහිටා ඇත්තේද මේ අවටය. මහනුවර දුම්රිය මාර්ගය පිහිටා ඇත්තේ ඊට මදක් ඉහළින්ය. බලන කොටුව පිහිටා ඇත්තේ බලන පර්වතය මුදුනේය. මෙම බලකොටුව තනා ඇත්තේ මුළු හතර කෝරළයම දර්ශනය වන ස්ථානයකය.

බලන කොටුව

බැලුම්ගල

බැලුම්ගල සිතියමේ දැක්වෙන අයුරු

මෙම බලන කොටුව සම්බන්ද බොහොම අපූරු ජනප්‍රවාදයක් ඇත. දිනක් දෙවන රාජසිංහ රජු තම මුරකාවල්වල තත්ත්වය පිරික්සීමට මඟියෙකු ලෙස වෙස්වලාගෙන බලන කඩයිම වෙත එම කඩඉමෙන් ඇතුළුවීමට අවසර ඇති වේලාවෙන් පසුව පැමිණ අවේලාවේ කඩයිම පසු කිරීමට ඉල්ලා සිටිය දී ඒ සිටින්නේ මගියෙකු ලෙස වෙස් වලාගත් රජු බව නොදත් හේවායෙක් රජුට එම කඩයිම පසු කිරීමට ඉඩ ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ. රජතුමා ඒ සෙබලගෙන් "තෝ කවුද?" යැයි විමසා ඇත. පසුව සෙබලා විසින් "බොල දැනගං මම තමයි බලනෙ ගජා" යනුවෙන් පවසා ඇත. පසුව රජතුමා "උඹ මොකා උනත් කමක් නෑ මට යන්න දීපන්" යැයි පවසා ඇත. නමුත් සෙබලා "වාසලෙන් අනක් නැතුව යන්න දෙන්න බෑ" යනුවෙන් පවසා ඇත. කෙතරම් පැවසුවත් අවසරය ලබා නොදුන් නොදුන් නිසා දෙදෙනා අතර බහින් බස් වීමක් ඇතී තිබේ. දෙදෙනාම හොදම අංගම් සටන් ශීල්පියෝ දෙදෙනෙකි. පසුව දෙදෙනා අතරේ සටනක් ඇතිවී තිබේ.

නමුත් මේ සටන අවසානයේ සිදු වූයේ කුමක්ද? කොතරම් පුරුදු පුහුණු වූ කෙනෙකු වුවද රජතුමා මේ ගජා නැමති සෙබලාට පරාජය වී බිම ඇදවැටී ඇත. එවිටම ගජා පැන රජතුමාගෙ බෙල්ල මිරිකීමට උත්සාහා කර ඇත. පසුව රජතුමා "යකෝ මම වාසලේ රජා උඹ බලනෙ ගජා. හෙට වරෙන් වාසලට මාව මුනගැහෙන්න" යැයි පවසා ඇත. ගජා මේ සිටින්නේ රජතුමා යැයි දැනගෙන ඇත්තේ එවිටයි. පසුවදා බයෙන් ගැහි ගැහී ගජා වසලට ගොස් ඇත්තේ තමන්ට දඩුවමක් දේවි යැයි බියෙනි. නමුත් රජු විසින් කිසිදු දඩුවමක් ලබා දී නොමැත. තෑගි බෝග මෙන්ම ඉහළ තනතුරක්ද ලබා දී ඇත.

බලන කොටුව යනු උඩරට රාජධානියේ මුරපොළකි. පෘතුගීසි බලපෑම් නිසා මැණික්කඩවර බලකොටුව උඩරට රාජධානියට අහිමිවූ පසු ඉතිරිවුණ වැදගත්ම මුරපොළ බලන කොටුවයි. නිරිත දිගෙන් කඳුකරයට ඇතුළු වෙන දොරටුවට ඉහළින් පිහිටි ස්ථානයක බලන කොටුව ගොඩනගා ඇත. මෙම කොටුව ගොඩගා ඇත්තේ පළමුවන විමලධර්මසූරිය රජතුමා විසින් 1592 දීය. රජවූ විගසම අමුණූපුර මුදලි ලවා මෙම බළකොටුව ඉදිකොට ඇති අතර 1597 දි ඇතිවූ දන්තුරේ සටන පාලනයට මෙම බළකොටුව උපායමාර්ගිකව වැදගත්වි ඇති බව කියැවේ. මෙම බළකොටුව ඉදිකිරීමට අමුණුපුර මුදලි යටතේ සේවය කළ පිරිස් වලින් බලන ප්‍රදේශය ජානාකීර්ණ වූ බවද සඳහන්ය. වර්ග අඩි දෙදහකට ආසන්න බිමක පැතිරුණු බලන කොටු ගොඩනැගිල්ලේ සිව් කෙළවර මුර අට්ටාල වල පාදම හඳුනාගත හැකිය. දකුණු දෙසින් මාවනැල්ල නඟරය පසුකොට බතලේගල ප්‍රදේශය සිසාරා ඈත සබරගමුව දක්වාම දැකිය හැකි අතර, නැගෙනහිරෙන් සහ උතුරෙන් පෙනෙන්නේ නිල්වන් කඳු මුදුන් පමණයි.

බලන කපොල්ලෙහි තවත් වැදගත් කොටසකි බැලුම්ගල. කඩුගන්නාව ගල විදපු ස්ථානයට ආසන්නයෙන් මහා මාර්ගයේ වම් පසින් බලන කදු මුදුන දිස්වන අතර දකුණු පසින් දිස් වන්නේ බලුම්ගල කදු මුදුනය. කඩුගන්නාව නගරය ආසන්නයෙන්ම බැලුම්ගල වෙත යෑමට මාර්ගයක් ඇත. කපොල්ලෙන් එක පැත්තක මාවනැල්ලය. අනික් පැත්තෙන් උඩරට රාජධානියය. එම නිසා මේ බැලුම් ගලට මාවනැල්ල දෙසින් පැමිණෙන සතුරන් හොදට නිරීක්ෂණය කල හැකිය. එතන සිටින සෙබලෙක් අනෙක් මුර කපොලු වලට මේ බව සන්නිවේදනය කරනු ලබයි. ඒ පනිවුයඩත් සමග සේනාවට සතුරාට මුහුණ දීමට ලෙහෙසියෙන්ම සූදානම් විය හැකිය.  

බැලුම්ගල සිට බැලූ විට පෙනෙන දුම්රිය මාර්ගය

බැලුම්ගල සිට බැලූ විට පෙනෙන මහා මාර්ගය

වර්ථමානයේ කා අතරත් ප්‍රසිද්ධ සුද්දා ගල විදපු හංදිය

බලන කපොල්ල හරහා ඇති කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය සහ දුම්රිය මාර්ගය කොතරම් මහන්සියකින් ඉදි කර ඇත්දැයි දැක ගැනීමට නම් බැලුම්ගල මුදුනට නැගිය යුතුමය. බැලුම්ගල සිට ප්‍රධාන මාර්ගයට ඉහළින් ඇති දුම්රිය මාර්ගය පෙනෙන්නේ කන්දට අලවා ඇති ලෙසිනි. කන්ද මුදුනෙට ඈතින් ගමන් කරන කොළඹ නුවර දුම්රිය බිංගෙවල් අතරින් නයෙක් ඇදෙන්නාක් මෙන් හරි අපූරු දර්ශනයක් මවා පාමින් ගමන් කරනවා දැකිය හැකිය. බැලුම්ගල එක් පසෙකින් අඩි ගණනාවක ප්‍රපාතයක් දැකිය හැකිය. එමනිසා වර්ෂා කාලයේ දී සංචාරය කරන්නන් වඩාත් ප්‍රවේසම්විය යුතුය.

ඉතිරිය මීල කොටසට

සටහන

චතුරංග ජයසුන්දර

No comments:

Post a Comment