Sri Lanka

Saturday, July 6, 2024

කතරගම පාද යාත්‍රාව ඇරඹින

 

 

ලංකාවේ ඉතිහාසයටත් සමාජ හා සංස්කෘතික කාරණා පිළිබදවත් ඇති ඇල්ම නිසාම කතරගම පාදයාත්‍රාව පිළිබදව සටහනක් ලිවීමට මා බොහෝසේ අශා කලත් මට ඒ සදහා වෙලවක් සොයාගැනීමටත් ප්‍රමාණවත් තරම් කරුණු සොයා ගැනීමටත් නොහැකි විනි. නමුත් මෙවර මේ කාරණාවට මා බොහෝ සෙයින් ආදරය කරන නිසාම කේසේ හෝ යම් තොරතුරු ප්‍රමාණයක් සොයාගත්තෙමි.

 

 මෙවර කතරගම පාද යාත්‍රාව 30.06.2024 දින උදෑසන ඔකඳ දේවාල භූමියෙන් ගමන් ආරම්භ කිරීම සිදු කර ඇත. මෙම පාද යාත්‍රාවට හින්දු භක්තිකයින් විශාල ප්‍රමාණයක් සහභාගී වී ඇත. ජාතික වනෝද්‍යාන දෙකක් හරහා ගමන් කරන මෙම පාද යාත්‍රාවට යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියා හා ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශ වලින් හින්දු බැතුමතුන් ඔකඳ දේවාලයට පැමිණේ. මඩකලපුව දෙසින් පා ගමනින් ඔකඳ දේවලය වෙත පැමිණෙන බැතිමතුන් හැඩ ඔය පසු කරමින් පැමිණෙන්නේ පානම්පත්තුව හෙවත් ලාහුගල ප්‍රාදේශීය බල ප්‍රදේශටය. එතැන් සිට පානම, පානකල, කුඩිමිබිගල හරහා ඔකඳට පැමිණෙති. ඔකඳ සිට භාගුරේ, කුඩා කැබිලිත්ත, කුඹුක්කන් ඔය දක්වා ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සපයන්නේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසිනි. 

 

පාද යාත්‍රාවේ ගමන් මග

පාද යාත්‍රාවේ එන නැගෙනහිර පළාතේ වැසියන්

කතරගම පාද යාත්‍රාව ලංකාවේ පවත්වන පා ගමන් අතරන් දිගම සහ ත්‍රාසජනකම පා ගමන යැයි කීම අතිශයෝක්තියක් නොවේ. වසර සියයකටත් එහා ගිය දිගු ඉතිහාසයක් මේ පාද යාත්‍රාව සතුව ඇත. නැගෙනහිර පළාතේ වාකරේ ආශ්‍රිතව විසූ දෙමළ සම්භවයක් සහිත වැදි ජනතාව මුලින්ම මෙලෙස පා ගමනින් කතරගම පෙරහැර මංගල්‍යයට පැමිණි බව පානම පැරණි ගැමියන් පවසති. එසේ පැමිණුන වැදි ජනතාව නිට්ටෑවන් ලෙස අතීතයේ හදුන්වා තිබේ.

පසුකාලීනව උතුරු නැගෙනහිර ප්‍රදේශවල විසූ කතරගම දේව භක්තික දමිළ ජනයා මාස ගණනාවක් මස් මාංශ හා සුරාව ආදියෙන් වැළකී පේවීමේ ගමන පැමිණෙන්නට පටන්ගෙන තිබේ. ඔවුන් මේ ගමනට සහභාගි වන්නේ හද තුළ ඇති ප්‍රභල දේව භක්තියකිනි.

දකුණු ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි ස්කන්ධ කුමාර හෙවත් මුරුගා වැනි බොහෝ නම් වලින් හැදින්වූ කතරගම දෙවියන් මුළින්ම ඔකදට පැමිණ තිබෙන බව සමහර ජනප්‍රවාද වල කියැවේ. එහදී කතරගම දෙවියන්ට මුලින්ම සැලකිලි දක්වා ඇත්තේ එකල බාගුරාව, මීයන්ගොඩ, හැලව, රදැල්ල ආදී ප්‍රදේශ වල විසූ සිංහල ජන කොටස් බව පානම ජනප්‍රවාද වල කියැවේ. එකල දමිළ ජනතාව කතරගම දෙවියන් පිළිබදව වැඩි තැකීමක් කර නැති බව පැවසේ.

කලක් ඔකඳ වාසය කල කතරගම දෙවියන් ඔකඳ සිට කුමණ, මඩමේතොට, පිළින්නාව කටුපිල, වරහන, කටගමුව, කොච්චිපතාන, හරහා වැඩහිටි කන්දට ආ කතරගම දෙවියන් තමන් බලන්නටත්, තමන්ගෙන් පිහිට ලබන්නටත් එන දෙමළ ජනතාවද තමන් ආ ලෙසම පාගමනින් ආයුතු බවට දුන් දඩුවමකට අනූව කාලයක් තිස්සේ දමිළ ජනයා මෙසේ පාද යාත්‍රාවෙන් මහා ඝන වනාන්තරය මැද්දෙන් කතරගම බලා යන්නේ යැයි පානම ජනප්‍රවාද වල කියැවේ. 

කුමණ වනයේ පාද යාත්‍රාව

යාල මහ වන මැද පාද යාත්‍රාව

 

කෙසේ නමුත් මේ පිළිබදව හින්දු භක්තිකයන්ගේ ඇත්තේ වෙනත්ම අදහසකි. ඔවුන් මේ දඩුවම් කතාව බැහැර කරන අතර ඔවුන් පවසන්නේ මේ පාද යාත්‍රාව ජීවිත පාඩමක්බවයි. උතුර සහ නැගෙනහිර පළාත් වලින් පාගමනින් එන හින්දු ජනයා කතරගමට පැමිණෙන විට ගමන් කර ඇති මුළු දුර කිලෝමීටර් තුන්සියය ඉක්මවයි. මෙම පාගමනේ නිරත වන වැඩිහිටියන් පවසන්නේ අන්‍යෝන්‍ය අවබෝධය, සමානාත්මතාව, ආහාර කළමනාකරණය, ශාරීරික සෞඛ්‍ය, අන්‍යයන්ගේ දුක වේදනාව, ඉවසීම, සතා සිවුපාවා මෙන්ම ගහකොලටත් ආදරය කිරීම, ආගමික විශ්වාසය වැනි කාරණා පිළිබදව බොහෝ පඩම් මේ පාද යාත්‍රාව තුළින් හින්දු සමාජයට කියා දෙන බවයි.

කණ්ඩායම් වශයෙන් විවිධ ප්‍රදේශ වලින් පාද යාත්‍රාවේ යන්නට පැමිණෙන බැතිමතුන් එකට එකතු වී ගිමන් හැරීම, ආහාර ගැනීම, නවාතැන් ගැනීම අදීය එකට සිදු කරන නිසා ඔවුනොවුන් අතර අලුත් මිතුදම් ඇති වෙයි. සමහර අවස්ථා වල එම මිතුදම් ආවාහ විවාහ දක්වා ගොස් ඥාතී සම්බන්ධකම් බවට පත්වේ. එවැනි අවස්ථාවන් වලදී ඔවුන් විශ්වාස කරන්නේ ඒවා කතරගමදෙවියන්ගේ ආශිර්වාදය අනූව සිදුවන දේවල් බවයි.

පාද යාත්‍රාවේ පැමිණෙන හින්දු බැතිමතුන් එකල කහ පැහැති ඇදුමින් සැරසී නවගුණ වැල පැළද මොනර පිහාටුවකින් සැරසූ වේලායුදයක් අතැතිව පැමිණ තිබේ. නමුත් වර්ථමානයේ එහි යම් යම් වෙනස්කම් සිදුවි ඇති බව වැඩිහිටියන් පවසන්නේ මහත් කනස්සලෙනි. නමුත් මංස් මාංශ සහ සුරාවෙන් වැළකී පේවීම නම් නිසියාකාරව වර්ථමාන තරුණ පරපුර සිදු කරන බව වැඩිහිටියන් විශ්වාසයෙන් පවසන්නේ කවුරුන් රැවටුවද මුරුගා නොහොත් කතරගම දෙවියන් රැවටීමට නොහැකි බව සියලුම දෙනා දන්නා කරුණක් නිසාය.

 

යාල මහ වන මැද ගමන

කුමණ ජාතික වනෝද්‍යානය, යාල කලාප අංක දෙක හරහා කටගමුව පිවිසුම පසු කරන බැතිමතුන් ගණන් ගැනීමකට ලක් වන්නේ බැතිමතුන්ගේ ආරක්ෂාව සදහාමය. ඔකඳ දේවාල භූමියේ සෞඛ්‍ය සායන සහ ප්‍රථාමාධාර කඳවුරුද පැවැත්වෙයි. බැතිමතුන්ගේ ආරක්ෂාව සදහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය යෙදවෙයි.

පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන් ගමන අතරමග රාත්‍රීන් ගෙවීමට තොර ගනු ලබන්නේ එදා අතීතයේ දී පාද යාත්‍රාවේ පැමිණි බැතිමතුන් නවාතැන් ගැනීමට තෝරාගත් ස්ථාන පමනයි. කිසි විටෙකත් එම ස්ථාන වලින් පරිබාහිර ස්ථාන වල නතරවීමක් සිදු නොකරයි. බාගුරා කළපුව, කුඹුක්කන් ඔය, යාල අංක දෙක කලාපය, කටුපිලආර, පිළින්නාව, වරහන, පොත්වල, උඩපොත්වල, කතරගම මැණික් ගඟ, යාල අංක 3 කලාපය, කටගමුව සහ කොච්චිපතාන ඔවුන් එසේ රාත්‍රී නවාතැන් ගන්නා තැන් ලෙස සැලකේ. බඩුමුට්ටු කර තබාගෙන පා ගමනින්ම කුඹුක්කන් ඔය සහ මැණික් ගඟ තරණය කිරීමට වන්දනා නඩවලට සිදුවේ. වගුරු සහ ආරවලින් ඔවුන් ගමන් ගන්නේ බඩු මුට්ටු හිස තබා ගෙන කරවටක් ජලයේ බැස ගෙන යි.

 

තම ආහාර සකසා ගැනීම


විඩා නිවාගන්නා වන්දනාකරුවන්


වන්දනාකරුවන්ගේ රාත්‍රි නවාතැන්


මඩමේතොට කුඩා කැබිලිත්ත දේවාල භූමියේ ගිමන් හරින බැතිමතුන්


 

ගමන් මලු හිස තබාගෙන කුඹුක්කන් ඔය තරණය කිරීම

කුමණ හා යාල වනෝද්‍යාන වල තැනින් තැන තාවකාලික ජල ටැංකි පිහිටුවා ඒවාට පානීය ජලය සැපයේ. වනසතුන්ගෙන් ඒවා රැක ගැනීමට යුධහමුදාව යොදවනු ලැබේ. අතරමැද තාවකාලික යුධ හමුදා කඳවුරු කිහිපයක්ද ඉදි කර බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කරනු ලැබේ.

 

පාද යාත්‍රාවේ පැමිණි බැතිමතුන් කතරගම පුදබිමේදී


මේ අතර තවත් කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන දන්සැල් කිහිපයක් සහ ප්‍රථාමාධාර කඳවුරුද තවත් ස්ථාන කිහිපයකම පවත්වනු ලබයි. කෙසේ හෝ මෙලෙස වන්දනාවේ පැමිණෙන බැතිමතුන් මහත් ගෞරවයෙන් කරතගම ඇසළ මංගල්‍යයට සහභාගී වී නැවතත් ආරක්ෂිතව ගම් බම් බලා පිටත්ව යති. 

සටහන

චතුරංග ජයසුන්දර

 

No comments:

Post a Comment