පෙර ලිපිය උඩරට මැණිකේ 16
පිළිමතලාව දුම්රිය ස්ථානය
කඩුගන්නාව
පුරවරයේ සැරි සැරූ අපි නැවතත් උඩරට මැණිකේ දුම්රියෙන් ඉදිරියට ගමන් කරමු.
කඩුගන්නාවෙන් පසුව කොටබගොල්ල සහ ඌරාපොල යන කුඩා දුම්රිය ස්ථාන දෙක හමුවේ. මින්
පසුව දුම්රිය පිළිමතලාව දුම්රිය ස්ථානයට පිවිසේ. පිළිමතලාව දුම්රිය ස්ථානය කොළඹ
කොටුවේ සිට හමුවන 51 වන දුම්රිය ස්ථානයයි. අතීතයේ දී මෙම දුම්රිය ස්ථානය ගිරාගම
දුම්රිය ස්ථානය ලෙසද හදුන්වා ඇත. මෙය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 109.94 ක් දුරින් සහ මුහුදු
මට්ටමේ සිට මීටර් 500.93ක උසකින්
පිහිටා ඇත. මෙම ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ගමන් ගන්නේ තැනිතලා ප්‍රදේශයක නිසා
දුම්රිය ස්ථානය අවට සාමාන්‍ය නාගරික සවභාවයක් ගෙනඇත. කෙසේ නමුත් මෙම
දුම්රිය ස්ථානය සංචාරකයන් වන අපට නම් බොහෝසෙයින් වැදගත් දුම්රිය ස්ථානයකි. මෙම දුම්රිය ස්ථානයෙන් ගම්පොළ රජධානියේ
සුවිශේෂී ස්ථාන කිහිපයකටම ගමන් කල හැකිය. එම නිසා අපි එම ස්ථාන පිළිබදව සොයා බලමු.
![]() |
පිළිමතලාව දුම්රිය ස්ථානය |
![]() |
පිළිමතලාව දුම්රිය ස්ථානය |
ප්‍රභූ පවුල් දෙකක ආරවුල් නිසා ගොඩනැගුන ගඩලාදෙණිය, ලංකාතිලකය හා ඇම්බැක්ක දේවාලය
ගම්පොළ
රාජධානිය තම රාජ්‍ය පාලනය සදහා තෝරාගනු ලබන්නේ හතරවන බුවනෙකබාහු රජු විසින්ය. ඒ ක්‍රි.ව
1341 දීය. මෙකල
ගම්පොළ රාජධානියේ ප්‍රධාන ප්‍රභූ පවුල් දෙකක් වාසය කර ඇත. ඒ නිශ්ශංක අලගක්කෝණාර
(වීර අලකේශ්වර) පවුල සහ සේනාධිලංකාර පවුලයි. මෙයින් හතරවන බුවනෙකබාහු රජුගේ ප්‍රධාන
ඇමතිවරයා වූයේ සේනාධිලංකාර සෙනවි තුමාය.
හතරවන
බුවනෙකබාහු රජුගේ ඇවෑමෙන් පස්වන පරාක්‍රමබාහු ගම්පොළ රජු බවට පත්විය. ඔහුගේ ප්‍රධාන
ඇමතිවරයා බවට පත්වූයේ ද සේනාධිලංකාර සෙනවි තුමන්ය. නමුත් මේ පිළිබදව නොසතුටෙන්
සිටි නිශ්ශංක අලගක්කෝනාර, වික්‍රමබාහු නැමති කුමාරයෙකු හට උදව් උපකාර කර, ගම්පොළ
සිහසුන පැහැරගෙන, තුන්වන වික්‍රමබාහු නමින් කුමාරයා රජකරවීය. රජතුමා සිය ප්‍රධාන
ඇමතිවරයා ලෙස තෝරාගත්තේ නිශ්ශංක අලගක්කෝනාරය.
මේ පිළබදව
අකමැත්තෙන් සිටි සේනාධිලංකාර විසින් වීරබාහු නැමැත්තෙකුට උපකාර කර ක්‍රි.ව 1391 දී ගම්පොළ රජු බවට
පත්කරවීය. මේ වකවානුවේ
දී රයිගම පාලනය කළේ අලගක්කෝනාර විසින්ය. මේ නිසා වීරබාහු සේනාව යවා ඔහුව අල්ලා
ගැනීමට කටයුතු කර ඇත. නමුත් මෙම සටනින් පරාජය වූ අලගක්කෝනාර ඉන්දියාවට පලාගියේය.
පසුව ඉන්දියානු සහය සමඟින් පැමිනි අලගක්කෝනාර, වීරබාහු පරදා නැවත
රයිගම රජ විය. ඔහුගේ මෙම ආගමනයෙන් වියරු වැටුන සේනාධිලංකාර පවුල නැවතත් ගම්පොළ
පරාක්‍රම ඈපා නම් තැනැත්තෙකුට උදව් උපකාර කර රාජ්‍යත්වයට පත්කර ඇත.මේ කලාවකවානුවේ
දීම චීනයේ සිට චෙංහෝ නැමති සෙන්පතියෙක් ලංකාවට පැමිණ ඇත. අලගක්කෝනාර ඔවුන් සමග
ගැටුමක් ඇත්කරගත් අතර පසුව චෙංහෝ විසින් අලගක්කෝනාරව සිරභාරයට ගෙන චීනයට රැගෙන
ගොස් ඇත.
මෙසේ විටින්
විට රාජ්‍යත්වට පත්වූ රජවරුන්ගේ පිටුපසින් සිටි මේ පවුල් දෙකට අයත් පිරිස් ඒ ඒ කාල
වකවානු වලදී තරඟයට මෙන් විවිධ
වෙහෙර විහාර කරවීමට මුල්වී ඇත. ඒ අතරින් ගඩලාදෙනිය, ලංකාතිලකය හා ඇම්බැක්ක දේවාලය ප්‍රධාන
තැනක් ගනී.
ගඩලාදෙණිය
පිළිමතලාව
හන්දියෙන් හැරී දවුලගල මාර්ගයේ කි.මී 1පමණ ගමන් කළ
විට මහා මාර්ගයට ආසන්නව උස් පර්වතයක් මත ඉදිකරන ලද මෙම විහාරය දැකිය හැකිය. ගඩලාදෙණිය විහාරයේ ඉතිහාසය ක්‍රි.ව 14 සියවවන සියවස දක්වා
දිව යයි. ඉපැරණි මූලාශ්‍රයන් වල දැක්වෙන පරිදි මෙම විහාරය හතරවන බුවනෙකබාහු රජ
සමයේ ඉදිකරන ලද්දකි. නමුත් මෙම විහාරයේ ඉදිකිරීම් වල මූලිකත්වය ගෙන කටයුතු කර
ඇත්තේ සේනාධිලංකාර අමත්‍යවරයාය. ඔහු විසින් දකුණු ඉන්දියානු වාස්තුවේදී ‘ගණේශ්වරාචාරී’ගේ සැලසුමකට අනූව
විහාරය ගොඩනැගූ බව සදහන් වේ. මෙම විහාරය ගම්පොළ පළමුවන සීලවංස ධර්මකීර්ති
හිමියන්ගේ අනුශාසනා මත ඉදිවූ නිසා මුල් අවධියේ ධර්මකීර්ති විහාරය නම්න් හදුන්වා
ඇත.
දකුණු ඉන්දීය
විජය නගර් ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනූව යමින් ඉදිකර ඇති මෙම විහාරයේ ඉදිකිරීම් ක්‍රි.ව 1344 අප්‍රේල් මස 28 වන බදාදා දින නිම කල
බව ගඩලාදෙණිය සේල්ලිපියෙහි දැක්වේ. ඉපැරණි පිළිම සහිත විහාරගෙය, පිවිසුම් තොරණ,
බෝධි වෘක්ෂය, සංඝාවාසය හා දේවාල දෙකක්ද මෙහි දැකිය හැකිය. මෙම විහාරය ඉදිකර ඇති
පර්වතය අවට සෙල්ලිපි අටක් පමණ දැකගත හැකිය. ගෙඩිගේ සම්ප්‍රදායට අනූව ඉදිකර ඇති
පිළිම ගෙහි පියස්සද කළුගලෙන්ම නිමවා ඇත. මෙම විහාරය යුගල විහාරයක් ලෙස නිම කරවා ඇත
එනම් මෙම විහාරගෙහි කොටස් දෙකක් ඇත. ඇතුල් කාමරය තුළ රියන් 12ක් පමණ උස හිදි
පිළිමයක් හා එහි දෙපස හිටි පිළිම හතරක් ඇත. පිටත මණ්ඩපය ඉදිරිපිට ඇති ගල් කළුණු
ද්විත්වයේ කාලා ශිල්ප දෙකකට අයත් ලක්ෂණ දැකිය හැකිය. එනම් වම් කුළුණේ හින්දු ආභාෂය
ඇති නිසා එය ගණේශ්වරාචාරී විසිනුත්, දකණු කුළුණේ දේශීය ලක්ෂණ ඇති නිසා එය ලාංකීය
ගල් වඩුවෙකු විසිනුත් නෙළන්නට ඇතැයි විශ්වාස කෙරේ. මීට අමතරව මෙම විහාරගෙය තුළ
මහනුවර යුගයට අයත් සිතුවම් කිහිපයක්ද දැකගත හැකිය.
ක්‍රි. ව 1412 දී රාජ්‍යත්වයට පත්වූ
හය වන පරාක්‍රමබාහු (1412 - 1467) රජු විසින්
ගඩලාදෙණිය විහාරය ප්‍රතිසංස්කරණය කර හුණු පිරියම් කරවා ඇත. ක්‍රි.ව 1707 දී රජ පැමිණි වීර
පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (1707 - 1739) විසින් වැලිවිට
සරණංකර සංගරාජ මාහිමියන්ට සන්නසක් මගින් මෙම විහාරය පැවරූ බව ඉතිහාසයේ සදහන් වේ.
![]() |
ගඩලාදෙණි විහාරය |
![]() |
පිටත මඩුවේ ගල්කණු |
![]() |
පිටත මඩුවේ ගල්කණු |
![]() |
විහාරගෙයි ඇති කල් කැටයමක් |
![]() |
විහාරගෙයි ඇතුළත ඇති චිත්‍ර |
![]() |
හිදි පිළිමය |
![]() |
වර්ථමානයේ දී විහාරගෙය සංරක්ෂණය කර ඇති අයුරු |
![]() |
විජයෝත්පාය නමින් හදුන්වන කොටසෙහි ඇති චෛත්‍යය |
ලංකාතිලක විහාරය
මෙම විහාරයත්
ක්‍රි.ව 1344 දී හතරවන බුවනෙකබාහු
රජු වසින් කරවා ඇත. මෙයද සේනාධිලංකාර අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ඉදිකරන ලද
විහාරයකි. මෙම විහාරය බුදුන් වහන්සේ මෙන්ම හින්දු භක්තිකයන්ට දෙවියන් වැඳීමටද ඉදිකරන ලද පූජනීය
ස්ථානයකි. පිළිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගිය විට මෙම
විහාරස්ථානයට පිවිසිය හැකිය.
මෙම විහාරයේ
බෞද්ධ පිළිමගෙය නැගෙනහිරට මුහුණලා ඇති අතර හින්දු දේවාලය බටහිරට මුහුණලා ඇත. සමතලා
නොවන ගල්තලාවක් මත ඉදිකර ඇති මෙම විහාරය කළුගල් සහ ගඩොල් භාවිතයෙන් නිමවා ඇත.
ලංකාතිලක තඹ සන්නසේ දැක්වෙන පරිදි මෙම ගොඩනැගිල්ල අඩි 80පමණ උසට ඉදිකරවා ඇත.
මුල් අවධියේ මහල් 4ක්ව පැවති මෙම ගොඩනැගිල්ලෙහි සැලැස්ම කුරුස හැඩයක් ගනී. පසු
කාලීනව මහල් ප්‍රමාණය අඩුවී වර්ථමාන ස්වරූපයට පත්වී ඇත.
විහාරස්ථානයට
ඇතුළු වන තැන සඳකඩ පහණක්
දැකිය හැකි අතර එය කලා ලක්ෂණ වලින් පොහොසක් එකක් නොවේ. විහාරයට ඉහළින් මකර තොරණක්
දැකිය හැකිය. විහාරය ඇතුළත සූවිසි විවරණය දැක්වෙන සිතුවම් දැකිය හැකිය. විහාරය තුළ
විශාල පමාණයේ හිඳි පිළිමයක්ද
දැකිය හැකිය. මෙම පිළිමය දෙපස හිටි පිළිම දෙකක්ද දැකිය හැකිය.
මෙම විහාරය
අසළින් සිංහල හා ද්‍රවිඩ භාෂා වලින් නිම කරන ලද සෙල්ලිපි දෙකක් හමුවී ඇත. මෙම
සෙල්ලිපි වලින් විහාරයට හා දේවාලයට පූජාකළ ගම්වර පිළිබදව විස්තර සදහන් කර ඇත. ශ්‍රී
වික්‍රම රාජසිංහ රජතුමා විසින් ක්‍රි.ව 1798 දී මෙම විහාරස්ථානයේ
අලුත්වැඩියා කටයුතු සිදුකරගැනීම සදහා අරව්වාවල නැමති ගම කොබ්බෑකඩුව ශ්‍රී නිවාස
ස්වාමීන් වහන්සේට පූජාකල බව මෙහිදී හමුවූ තඹ සන්නසක දැක්වේ.
![]() |
ලංකාතිලක විහාරයේ ඇති සූවිසි විවරණය දැක්වෙන සිතුවම් |
![]() |
ලංකාතිලක විහාරයේ ඇති සූවිසි විවරණය දැක්වෙන සිතුවම් |
![]() |
බිත්තිමත සිතුවම් කර ඇති මොස්තර |
![]() |
විහාරගෙයි ඇති හිදි පිළිමය |
![]() |
ලංකාතිලක විහාරය |
හෙළයේ මහා කලාගාරය ඇම්බැක්කේ දේවාලය
උඩරට මැණිකේ
දුම්රියෙන් බදුල්ල බලා චාරිකාවේ යෙදෙන අපි අතහැර නොගත යුතුම තැනකි ඇම්බැක්කේ
දේවාලය. ඇම්බැක්කේ නම ඇසූ පමණින්ම අපේ සිහියට එන්නේ ලී කැටයම්ය. මෙම දේවාලයේ ඇති
කැටයම් ඒ තරම්ම ලෝකප්‍රසිද්ධය. පිළිමතලාව හංදියෙන් දවුලගල මාර්ගයේ කිලෝමීටර් 8ක පමණ දුරක් ගෙවා ගිය
පසු මෙම ස්ථානයට පිවිසිය හැකිය.
ඇම්බැක්කේ
දේවාලය ඉදිකිරීම පිළිබදව කියැවෙන පුරාවෘතයක් පිළිබදව ‘ඇම්බැක්කේ වර්ණනාව’ නැමති කාව්‍ය කෘතියෙහි
සදහන්ව ඇත. රංගම නම් ගමේ වාසය කල බෙර වයන්නෙකුට වැළදුන කුෂ්ඨ රෝගයක් සුවකරගැනීමට
කතරගම දෙවියන්ට වූ භාරයක් සම්බන්ධ සිදුවීම් මාලාවක් නිසා මෙම දේවාලය ඉදිකිරීමට
සිදුවූ බව එම පුරාවෘතයෙහි සදහන් වේ. කෙසේ වෙතත් මෙම දේවලය ඉදිකර ඇත්තේ ක්‍රි.ව 14 වන සියවසේ ගම්පොළ
රාජධානියේ රජ බවට පත් වූ තුන්වන වික්‍රමබාහු රජ සමයේ දීය. මෙම දේවාලයේ ඉදිකිරීම්
වලට වික්‍රමබාහු රජුගේ ප්‍රධාන ඇමති වරයා වූ නිශ්ශංක අලගක්කෝනාර සම්බන්ධ වූ බවට
සමහර ජනප්‍රවාද වල කියැවේ.
ඇම්බැක්කේ
දේවාලය යනු තනි දේවාලයක් නොවේ. එය ගොඩනැගිලි සංකීර්ණයකි. මෙය ප්‍රධාන ගොඩනැගිලි
අටකින් සමන්විත වේ. මෙම දේවාල සංකීරණය වෙත ඇතුල් වීමට සිදු වන්නේ වාහල්කඩ නමින්
හදුන්වන ගොඩනැගිල්ල හරහායි. එය උස අඩි 2.5ක් පමණ වූ
පාදමක් මත ඉදිකරන ලද අඩි 23ක් පමණ දිග
අඩි 19 ක් පමණ පළල
ගොඩනැගිල්ලකි. එහි වහලය දැව කණූ 10කින් දරාගෙන
සිටින ලෙස නිමවා ඇත. එයින් පසුව වැඩ සිටින
මාලිගය හෙවත් මහා දේවාලය හමුවේ. මෙය හේවිසි මඩුව හෙවත් දික් ගෙය, මැද දික් ගෙය,
වැඩ සිටින මාලිගාව, සදුන් කුඩම හා පිරිත් කියන ගේ යනුවෙන් කොටස් පහකින් සමන්විත වේ.
මේ සියළුම
ගොඩනැගිලි අතරින් කාගේත් අවධානයට ලක් වන්නේ හේවිසි මඩුව හෙවත් දික්ගෙය වෙතය. ඒ
ලෝකයේ විශිෂ්ඨතම ලී කැටයම් මෙම මඩුවේ දක්නට හැකි නිසාය. මෙම හේවිසි මඩුව අඩි 2.5 පමණ උස්වූ පාදමක් මත
ඉදිකර ඇති අතර දිගින් අඩි 53ක් සහ පළලින්
අඩි 26 ක් පමණ වේ.
මෙහි වහලය දැව කණු 32ක් මත ඉදිකර ඇත. මෙම විශිෂ්ඨ නිර්මාණයේ නිර්මාණ කරුවා ලෙස
හදුනාගෙන ඇත්තේ ඉන්දීය සම්භවයක් ඇති දෙල්මඩ මුලාචාරී නොහොත් දේවේන්ද්‍ර මූලාචාරී
නැමැත්තාය. මෙම මඩුවේ සුවිශේෂත්වය වන්නේ මෙහි ඇති කුළුණු 32 මත අති විශිෂ්ඨ ලී
කැටයම් 514ක් නිර්මාණය
කර අත. මෙම කැටයම් 514ම එකිනෙකට
වෙනස්වූ කැටයම් වලින් සමන්විත වේ. මෙසේ
එකිනෙකට වෙනස් කැටයම් විශාල ප්‍රමාණයක් ලෝකයේ වෙනත් කිසිම තැනක දැකගත
නොහැකි විශිෂ්ඨත්වයකින් නිර්මාණය කිරීමට නම් එම කලා ශිල්පියා තුළ පැවති හැකියාව සහ
පරිකල්පන ශක්තිය කෙතරම් දැයි සිතීමට අපිට ඉඩක් ඉතිරි වේ. මෙම කණු නිර්මාණය කිරීම
සදහා යොදාගෙන ඇත්තේ ගම්මාලු, පිහිඹියා වැනි කැටයම් නිර්මානය කිරීමට පහසු ලී වර්ගය.
![]() |
හෙවිසි මඩුව |
![]() |
වාහල්කඩ |
![]() |
හේවිසි මඩුව |
ඇම්බැක්කේ ලී කැටයම්
ඉහත සඳහන් කළ කළුණු 32 මත
ඇති හතරැස් පැති 128ක් මත විවිධ
රූප සහිත කැටයම් 128ක් සහ පේකඩ
කැටයම් ඇතුළුව සියලුම කැටයම් 514ක් දැකගත
හැකිය. මෙම නිර්මාණය කල ශිල්පියා මේ සදහා අල්ප උන්නත ශිල්පීය ක්‍රමය භාවිතා කර ඇත.
එසේම හතරැස් මුහුණතේ ඇති සෑම කැටයමක් වටාම අරිම්බුව සහ කුන්දිරික්කන් යන පාරම්පරික
සිංහල සැරසිලි මෝස්තර දෙක යොදාගෙන ඇත. කෙසේ නමුත් අධ්‍යයනයේ පහසුව සඳහා මෙම කැටයම් කොටස්
කිහිපයකට බෙදා වෙන් කළ හැකිය.
01 මිනිස් රූප ඇතුළත් කැටයම්
මෙකී නිර්මාණ අතර මිනිස් රූප යොදාගෙන කරන ලද නිර්මාණ රැසක් පවතී. ඒ අතරින් අශ්වාරෝහකයා, මව සහ දරුවා, මල්ලවපොරය, හේවායා, නවනාරි කුංජරය, සප්තනාරි පල්ලැක්කිය, පංච නාරි ඝටය ඒ අතර විශේෂයි. මෙහි නවනාරි කුංජරය යනු කාන්තාවන් නව දෙනෙකුගේ රුව යොදාගෙන නිර්මාණය කළ හස්තියෙකුගේ රැවකි. සප්තනාරි පල්ලැක්කිය යනු කාන්තා රූප හතක් යොදාගෙන නිර්මාණය කර ඇති දෝලාවක රූපයයි. එමෙන්ම පංච නාරි ඝටය යනු කාන්තා රූප පහක් යොදාගෙන නිර්මාණය කර ඇති පුන්කලසක හෝ කළයක රූපයටයි.02 මනඃකල්පිත මිනිස් රූප
සදකිදුරු ජාතකයේ එන කිදුරාගේ රුව, නාරිලතා රූපය වැනි රූප මනඃකල්පිත මිනිස් රූප යොදාගෙන කරන ලද නිර්මාණයන්ය![]() |
නාරිලතා රූපය |
03 මනඃකල්පිත සත්ව රූප
ඇම්බැක්කේ
දේවාලයේ ඇති කැටයම් අතර මනඃකල්පිත සත්ව රූප බොහොමයක් දැකගත හැකිය.
වෘෂභ කුංජරය, මකරා, භේරුණ්ඩ පක්ෂියා, හංස පූට්ටුව, සැරපෙන්දියා, ඇත්කද ලිහිණියා,
කිහිඹි රූපය, ගජසිංහ රූපය, හස්තිකුම්භ විදාරණය වැනි බොහෝ කැටයම් මේ අතර දැකගත
හැකිය.
![]() |
හස්ති කුම්භ විදාරණය |
04 ජ්‍යාමිතික සැරසිලි මෝස්තර
මෙම කොටසට
අයත් වන්නේ බිනර මල, සපු මල, වැටකෙයා මල, නෙළුම් මල, බෙරලිය මල, ලියපත් ගැටය වැනි
නිර්මාණයි. මෙවා බොහෝ ප්‍රමණයක් මෙම කැටයම් අතර දැකගත හැකිය.
මීට අමතරව
මෙකී කුලුනු හිසෙහි මුතුදැල් මෝසතරයක්ද ඇත. කුලුනු පාද අටපට්ටම්ය. චතුරස්‍රය
පෙන්වන තැන නාගබන්ධන හා ගැටලියපත් මෝස්තරය හදුනාගත හැකිය. කුලුනු මුදුනෙහි ඇති
පේකඩ මත මෙන්ම එම පේකඩ මත නැංවූ තලාඳ වලද කැටයම් දැකිය හැකිය.
මඩොල් කුරුපාව
ඇම්බැක්කේ
නිර්මාන ශිල්පියාගේ තවත් විශිෂ්ඨතම නිර්මාණයක් වන්නේ මඩොල් කුරුපාවයි. මෙය කැණිමඩළ
ලෙසද හදුන්වයි. මඩොල් කුරුපාව යනු පල හතරකින් යුත් හේවිසි මඩුවේ වහළයේ දිගින් අඩු
පැත්තෙහි ඇති පරාළ 26ක් එකට
පුරුද්දා ඇති තනි ලීයයි. මේවා සම්බන්ධ කිරීම සඳහා කිසි විටෙකත් යකඩ
ඇණ යොදාගෙන නොමැත. වහළයෙහි මෙම කොටසට හානියක් සිදු වුවහොත් එම වහල කොටස සම්පූර්ණයෙන්ම
කඩා වැටේ. එම නිසාම මෙම නිර්මාණය අති විශිෂ්ඨ නිර්මාණයක් ලෙස සැලකේ.
![]() |
මඩොල් කුරුපාව |
මෙසේ සුවිශේෂී
ඓතිහාසික ස්ථාන කිහිපයකම චාරිකාවේ යෙදුන අපි මීලඟ කොටසින් ඓතිහාසික
දළදා මාළිගාව වෙත ගමන් කරමු.
ඉතිරිය මීළඟ කොටසට
සටහන
චතුරංග
ජයසුන්දර
No comments:
Post a Comment